ආදරේදී ප්‍රශ්නයක් ආපුවම / ආදරේ කරන කෙනා අතින් වැරද්දක් උනාම


වැරදි ඉතින් කා අතිනුත් වෙනවා නේ. වැරදි නොකරන මිනිහෙක් ඉන්නවද. වැරදි වෙච්ච මිනිස්සු තමයි, ඒ වැරදි නිවැරදි කරගෙන ඉස්සරහට යන්නෙත්. ඒත් ඔය වැරදි ගැන කියද්දීත් වැරදි කරන ක්‍රම තියෙනවා නේ.


1. සිතා මතා කරන වැරදි

ඇස් දෙක ඉස්සරහම ටොක්ක ඇනලා, ඇන්නේ නෑ වගේ හිනා වෙනවා. නැත්නම් රිදුනද කියලත් අහනවා. ඒ වෙලාවට ඉතින් මරන්න තරහා ආවත් ආතල් එකනේ කියනා හිනා වෙලා ඉන්න පුළුවන්. ඒත් දිගින් දිගටම එහෙම වෙනකොට මඟ ඇරලා යන්න වෙනවා නේ. ඒ වගේ වැරදි වලට එක සැරයක් සමාව දුන්නාම ඇති. හරිනම් එක සැරයක්වත් දෙන්න වටින්නේ නැහැ. ඒත්..


2. නොසිතා සිද්ධ කරන වැරදි

සමහර මිනිස්සු අනවබෝධයෙන් වැරදි කරනවා. තේරුම් ගැනීමක් නැතිකමට, එහෙමත් නැත්නම් තමන්ගේ තියෙන අසරණකමට වැරදි කරනවා.
මේ වැරදි ගැන කතා කරනවට වඩා, අපිට වෙන කෙනෙක්ගෙන් වැරද්දක් උනහම අපි ඒ කෙනාට සළකන්න ඕනේ කොහොමද කියලයි කියන්න යන්නේ. මොකද කවුරුහරි රිදෙන වැඩක් අපිට කලහම ඒ ගැන දොඩවා දොඩවා හැම තැනම දුව දුවා හත් පොලේ ගා ගන්නවට වඩා, පොඩ්ඩක් ඩීසන් විදියට විසඳා ගන්න පුළුවන්.

-------------------------

1. ඉවසන්න.

දැඩිව විශ්වාස කරන කෙනෙක් බොරුවක් වංචාවක් හෝ වෙන ඕනෑම වැරද්දක් කළෝතින් එයාගේ ඇඟට ගොඩ වෙන්න එපා. ඒ වැරැද්ද ඔයාට සිද්ධ වෙලා ඉවරයි. ඒ වගේම ඔයාගේ සිත් වේදනාව ඇති වෙලත් ඉවරයි. ඒ දේවල් එයාගේ ඇඟට ගොඩ වෙලා විසඳගන්න ගියොත් කවදාවත්ම විසඳුමක් ලැබෙන්නේ නැහැ.
අපි උදාහරනයක් විදියට මෙහෙම හිතමු. ඔයාට ඔයාගේ පෙම්වතිය බොරුවක් කරනවා. එයා ඒ ගැන ඔයාට කියනවා. නැත්නම් ඔයාගේ අතටම අහු වෙනවා.
ඔයා ඒ වෙලාවේ හැසිරෙන විදිය මත තමයි ඉදිරියේදී සිද්ධ වෙන හැමදේම තීරණය වෙන්නේ. ඔයා ඉවසන්න ඕනේ. ඉවසලා ඉවසලා තවත් ඉවසන්න ඕනේ. ඔයාගේ ඉවසීම දකින මිනිස්සු ඔයාට හිනා වෙයි. ඒත්, ඔයා ඉවසන තරමට තවත් ගැටළුවක් ඇති නොවෙන්න වග බලාගන්න පුළුවන්.

2. පොහොර වතුර දාන මිනිස්සු අත අරින්න.

ගොඩක් ළඟින් ඉන්න දෙන්නෙක් අතර ප්‍රශ්නයක් ඇති වෙලා කියලා දැනගත්තාම ගොඩක් අය දුවගෙන එනවා. ඇවිදින් පණ දෙන්න හදනවා. කරට අතකුත් දාගෙන, " මෙහෙම කරපන්.. මෙහෙම කරපන්.." කියනවා. ඒත්, ඇත්තටම ඒ මිනිස්සු හදන්නේ බොර දියේ මාළු බා ගන්න. මිනිස්සු එන්නේ ඔයාට උදව්වක් වෙන්න නෙමෙයි. ඔයාගේ ස්ටොරිය අහගෙන ගිහිං තැන තැන, කැලෑ පත්තර ගහන්න.
ඒ වගේමයි, ලෝකයා කියන දේවල් කරන්න යන්න එපා. එයාලගේ උපදෙස් ගන්න. ඒත් ඒ දේවල් ක්‍රියාත්මක කරන්න යන්න එපා. හොඳම දේ තමයි ප්‍රශ්නය වැඩෙන්න පොහොර දාන මිනිස්සු අත ඇරලා දාන එක.
ඔයාට හිත එකලාසයක් කරගන්න ඕනේ නම්, ඔයා ගාව ඉන්න ස්විශේෂම පුද්ගලයා තෝරාගන්න. එයා ආදරය කරපු කෙනෙක් වෙන්න ඕනේ. ඔයාට වඩා වයසින් වැඩි, අත්දැකීම් වලින් ඔයාට වඩා මුහුකුරා ගියපු කෙනෙක් වෙන්න ඕනේ. ඒ වගේම එයා සමාජශීලි කෙනෙක් වෙන්නත් ඕනේ.. එයා රහස් රකින කෙනෙක් වෙන්න ඕනේ. එයා ඔයාගේ ආදර කතාවට වචනයකින් හරි උදව් කරපු කෙනෙක් වෙන්නත් ඕනේ.. එයා හොඳ අසන්නෙක් වෙන්නත් ඕනේ..
එයාට කියන්න, හැමදේම එයාට කියලා හිත නිදහස් කරගන්න. එයා හැම පැත්තම බැලන්ස් වෙන්න උත්තරත් හොයලා දෙයි.

3. ඕනෙම දෙයකට හිත හදාගන්න.

තමන් ආදරය කරන කෙනාගේ වංචාවක් අහු උනාම, දෙන්නාගේ බැඳීම විශාල කම්පනයක් එක්කයි දෙදරලා යන්නේ. හුඟක් වෙලාවට ගොඩක් ආදරෙන් ඉඳපු දෙන්නෙක් නම්, වැරැද්ද කරපු කෙනාට අනිත් කෙනාගේ මූණ බලන්න බැරි තරමට අසරණ වෙනවා. ඒ අසරණකම, තමන් ගැනම පවත්නා පිළිකුල ඇති ඒ කතාව ටිකෙන් ටික බිඳිලා යන්න. අනෙක් පැත්තෙන් අනිත් කෙනාගේ හිතේ නලියන විශ්වාස භංගයත් හවුල් උනාම ඒ බැඳීම කැඩිලා බිඳිලා යනවා.
ඔබ අතින් වැරද්දක් වෙලානම්, ඔබට සිද්ධ වෙනවා අනෙක් කෙනාගේ තීරණයට හිස නමන්න. ඒ තීරණය මොකක් උනත් ඔබට දරාගෙන ඉන්න වෙනවා.
ඒත්, ඔබට අනිත් කෙනා අතින් වැරද්දක් සිද්ධ වෙලා නම් ඔබට පුළුවන් එයා ගැන තීරණයක් ගන්න. ඔබ ඔබේ හදවතින් අහන්න, තව දුරටත් එයාව අවශ්‍යයි ද කියලා. ඉදිරියේදී ඔබට එයත් එක්ක ජීවත් වෙන්න පුළුවන් ද කියලා අහන්න. ඒත්, මේක හදවතින් අහලා බුද්ධියෙන් තීරණය කරන්න ඕනේ දෙයක්. ඔබට ඒ තීරණය ගන්න අපහසු වෙයි. ඒත්, සැලැස්මක් ඇතුව හතරවෙනි අදියරට යන්න ඕනේ. හතරවෙනි එකේදී ඔබට තීරණයක් ගන්න පහසු වෙයි.
ඒ හින්දා ඕනෙම දෙයකට ප්‍රතිචාර දක්වන්න හිත දැඩි කරගන්න.

1-3 එන්න එක දවසකින් බෑ. දවස් දෙක තුනක් යාවි. ඒත්, මේ දේවල් වලට යන කාලය තීරනය වෙන්නේ ගැටළුවේ ප්‍රමාණය මතයි.

4. ප්‍රශ්නය සාකච්ඡා කරන්න

එයත් එක්ක අදාළ දෙය විතරක් කතා කරන්න.
" අනේ මට ඔයා නැතුව බෑ. මම ඔයා නැති උනොත් මැරෙනවා. මගේ පපුව පැලෙන්න එනවා " ඒ වගේ කතාන්දර කියන්න එපා.
" තමුසේ මොනවද මේ කලේ.. තමුසේ මාව විනාශ කළා.. මාව රැවට්ටුවා.." එයාට බනින්න යන්න එපා.
එයාගෙන් අහන්න ඇයි එහෙම දෙයක් කළේ කියලා. ඇයි ඒ විදියට හැසිරුනේ කියලා අහලා දැනගන්න. එයා කියන්නේ නැත්නම් දෙතුන් වතාවක් එකම දේ අහන්න. ඒ සෙක්ෂන් එක ස්කිප් කරලා ඉස්සරහට වෙන වෙන කතන්දර වලට යන්න එපා.
හොඳම දේ මොබයිල් එහෙකින් කතා කරනවට වඩා, මුණ ගැහිලා කතා කරන එකයි.
සමහරවිට එයා ඇත්තටම ඔයාට ළෙන්ගතුයි නම්, ඔයාට ඇත්තටම ආදරෙයි නම්, එයා අතින් සිද්ධ වෙච්ච වැරැද්ද අගක් මුලක් නැතුව වමාරන්න ගනීවි. ඔයාට හැමදේම කියාවි.
දෙවියන්ගේ නාමයෙන්, ඒ වෙලාවේ නම් තරහා අරගෙන එයාට බනින්න එපා. එයා ඔයාගෙන් සමාව ගන්නයි හදන්නේ. එයාට ඕනේ එයාගේ වැරැද්ද හදා ගන්නයි.
" මම දන්නවා මම ඔයාගෙන් සමාව ඉල්ලන්නවත් සුදුසු කෙනෙක් නෙමෙයි. ඒත් මට සමාවෙන්න.."

5. ආසයි.. ! ඒත් භයයි... !

දැන් තමයි ආසයි භයයි කියන තැනට ඔයා එන්නේ. එයාට සමාව දුන්නොත් එයා හැදේවිද.. නැත්නම් එයා ආයෙත් රවට්ටයි ද.. මම කොහොමද එයා මට මේ වගේ වැරද්දක් කරා කියලා දැන දැනම ජීවත් වෙන්නේ. මට ඒ දේවල් හිතේ මැවිලා පෙනෙද්දී මම කොහොමද සමාව දීලා ඉවසාගෙන ඉන්නේ.
මිනිස්සු එක පාරම සමාව ඉල්ලනවා. ඒ වගේම අනිත් අය ඉල්ලපු ගමන් සමාව දෙනවා. ඒත්, ඇත්තටම සමාව කියන දේ දෙන්න හරිම අමාරු දෙයක්. ඒත් ආදරයේදී කැප කිරීමක් කරන්න වෙනවා. කොහොමත් හිනා වෙවී ඉන්න බලාගෙන ආදරය කරන්න බැහැ. ආදරය කරනවා නම් අඬන්නත් ලැහැස්ති වෙලා ඉන්න ඕනේ. තමන්ගේ ආදරය වෙනුවෙන් ඒ කැප කිරීම කරන්න.
එයාට සමාව දෙන්න. හැබැයි එකපාරම නිකන්ම නෙමෙයි. දැඩි තේරුම් කිරීමකුත් එක්ක. එයාට කියන්න ඔයා ආදරය කලේ කොහොමද, ඔයා එයාට ඇයි මේ වෙනකන් කිසිම වැරද්දක් නොකළේ, ඒ වගේම එයා කරපු වැරැද්දේ බරපතලකම හැමදේම එයාට තේරුම් කරන්න.
එයා අසරණකමට, ඔයා එයාව දාලා යයි කියන භයට ඒ දේවල් නොකියා හිටියානම්, ඒ නිසා ප්‍රශ්නය දුර දිග ගියානම්, එයාව වැළඳගෙන සමාව දෙන්න.

----------------------------------


" ඇයි වැරද්දක් කරපු කෙනෙකුට, එහෙමත් නැත්නම් රිද්දපු කෙනෙකුට සමාව දෙන්නේ ? අපි එහෙම කරන්න ඕනේ ද ? ඇයි අපි සෙකන්ඩ් වෙන්නේ ? "
අපි වැරදි කරපු කෙනෙකුට සමාව දෙන්න ඕනේ. එයා අපි ආදරය කරන කෙනෙක්නම් අපි නොදෙන සමාව එයාට වෙන කෙනෙක්ගෙන් ලැබෙන්නේ නැහැ කවදාවත්ම. ඒ හින්දයි අපි සමාව දෙන්න ඕනේ කරන්නේ. බොහෝ කාලයක් එකට ජීවත්වෙලා, තේරුම් අරගෙන, හැමදෙයක්ම බෙදාගෙන, එකට හීන දැකලා, බලාපොරොත්තු තියාගෙන, අවසානෙට වැරැද්දක් දැකපුවාම දාලා යන්න හොඳ නැහැ. මොකද අපි එහෙම දාලා ගියොත්, එච්චර ළඟින් ඉඳපු අපි එයාලව දාලා ගියොත් එයාලව මේ ලෝකේ කවුරුත්ම බාර ගන්නේ නැහැ.
එයාලා දිගින් දිගටම වැරදි කරනවා. එයාලගේ වැරැද්දේ බරපතලකම තේරෙන්නේ නැහැ. එයාලා සමාවක් ලැබෙන්නේ නැහැ කියලත් දන්නවා. මොකද එයාලට සමාව දෙන්න කෙනෙක් හිටියේ නැති හින්දා.
අපිට පුළුවන් එයාලව හදාගන්න.
වැරද්දක් සිද්ධ වුණා, ඒ වැරැද්ද හදාගෙන හෝ ඒ දේවල් නැවත සිද්ධ නොවෙන්න වග බලාගන්න අවස්ථාවක් ලැබුණා කියන්නේ ඒ ජීවිතේට ඊට වඩා වැදගත් දෙයක් තවත් නැහැ. ඔබට වේදනාවක් දැනේවි. ඔබට උහුලන්න බැරි රිදුමක් හිතට අරගෙන ඒවි. මෙයා මට මෙහෙම කළා නේ කියලා හිතේවි. ඒත්, ඔබට පසුකාලීනව ඔබ ඇත්තටම ආදරය කරපු කෙනෙක් කියන හැඟීමෙන් ඔබව සුවපත් කරාවි.

---------------------------------------

ඔබ අතින් වැරද්දක් වෙලා, ඔබට සමාව යම් කෙනෙකුගෙන් ලැබෙනවා නම්....
ඔබ ඊළඟ දවසේ ඉඳන්, ඔබට සමාව දුන්නු ස්විශේෂී පුද්ගලයා ඔබේ ආත්මය කරගන්න. මොකද ඔබට ඒ දේ මේ ලෝකේ වෙන කිසිම පුද්ගලයෙකුගෙන් නොලැබෙන්න පුළුවන්. මේ ලෝකේ මිනිස්සු පිච්චෙන්නේ දුක් විඳින්නේ ලිංගික ඊර්ශ්යාව හින්දයි. එහෙම ලෝකයක, එහෙම මිනිස්සු අතරේ ඉන්න කෙනෙක්, සමාව දීලා ලඟට ගන්නවා කියන එකේ අදහස විස්තර කරන්න බෑ.
ඉතිං ඔයාට පුළුවන් එයාගේ විශ්වාසය තහවුරු කරන්න. අමතක කරන්න එපා එයා ඔයා නිසා මොහොතක් මොහොතක් ගානේ, ඔයාට නොකිව්වට පිච්චෙනවා කියලා. වෙනදට වඩා ඔයා ගැන සැකයෙන් බලාවි, වෙනදට වඩා ඔයාට තරහා පෙන්වාවී. ඔයාට සිද්ධ වෙනවා එයත් එක්ක ඉවසීමෙන් වැඩ කරන්න. එයාගේ හිතේ ගින්න නිවන්න පුළුවන් වෙන්නේ ආදරයෙන්ම විතරයි. එහෙම නොවුනොත්, ඔයා සමාව අරගෙන ඔයාගේ පෙර පුරුදු විදියටම ජීවත් උනොත්, ඔයාලා අතර ප්‍රශ්න ඇති වෙනවා. අවසානෙට ඔයාලගේ ප්‍රශ්නේ කුරුවල් වෙලා ලෝකයාත් දැනගෙන ඔයාලා වෙන් වෙලා යන්න යනවා.

------------------------------------
Share on Google Plus

About Unknown

0 අදහස්:

Post a Comment

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..