මේ
ලෝකයේ උතුම් වූත් ගෞරවනීය වූත් පදවිය වන්නේ මාතෘත්වය හා පීතෘත්වය බව සැබෑවකි. ඒත්
ඒවා මිනිසෙකුට බර වැඩිය. ඒවා මේ මහා පොළවේ දුහුවිල්ලෙන් බැට කන, ගිණියම් හිරු
රැසින් පිච්චෙන මිනිහෙකුට දරාගන්නට අසීරු වැඩිය. එහෙත් ඔවුන් ඒවා මහා ධෛර්යෙන්,
මහා ඕනෑකමකින්, මහා ආදරයකින් දරාගෙන සිටින්නෝය.
වියලිකලාපය
කියන්නේම හඬන්නට තටමා කළු ගැහෙන අහස්කුළු වලට රැවටී සුසුම් හෙළන මිනිසුන්ගේ පළාතක්
ය. අන්දර යායවල් වල කටු වලට හීරී තුවාල වූ දෙයත් ද මඩ කහට බැඳී කුණු වී වක් ගැසුණු
නියපොතු ද ගල් තැලුම් පිරුණු දෙපා ඇති, ඒ දෙපා බිම තබා ගන්නට නොහැකිව කොර ගසන
අප්පච්චිලා එකී මිනිසුන් අතර අඩුවක් නැත. වැව් තාවුල්ලක මුගුණුවැන්න කොළ මිටක් කඩා
වේලක වෑන්ජනයක් පිහිමහන, දිය සිඳී ගොස් ඉරිතැළුණු වැව් පතුළේ නෙලුම් අලයක් වෙනුවෙන්
බිම කණින, වියලුනු පොළවකින් ඵලයක් ලැබිය නොහැකි තැන ගම් මැදි හතේ කුලී වැඩ සොයා
සක්මනේ යන අම්මලා මෙහි බොහෝය.
ඒ
අම්මලාගේ ආදරණීය හිස පිරිමැදුම් වලින් තන මඩලේ කිරි උරා බිව්, බඩ මහත ඇට කෝටු බේරුණු නාවර පිරී සැරව පාට හොටු
වලින් හැඩ වුණු පැටවුන්ට උදානැක්කේ වැඩට ගිය අප්පච්චි විස්කිරිඤඤා පැකට්ටුවක් හෝ
බනිස් ගෙඩියක් රැගෙන සැන්දෑ කළුවරත් එක්කම ගෙට ගොඩවෙනවා දැකීම තරම් නිවනක් තවත්
නැත. සැබෑවටම එය නිවනකි. කරගැට පිරුණු අප්පච්චිලාගේ සුරතක ගොරෝසු පිරිමැදීම වියලි
කලාපයේ දුහුවිල්ලට හුරුවන ගිණියම් අව්වට සිනිදු හම පුච්චමින් හා තවමින් අනාගතය වෙනුවෙන් පදම් කරන දරුවෙකුට මහා
ආදරණීය දෙයකි. එතරම් ආදරයක් තවත් මේ ලෝකයේ නැත.
එක්ටම්
ගෙයක සිර කල උන්මාද චිත්‍රාට ප්‍රේම කළ දීඝ ගාමිණි ප්‍රේමය දිනාගත් තැන පණ්ඩුකාභය
නම් රාජ්‍යත්වය ඉපැදිණි. පඬුවස්දෙව් රජ මී මුත්තා වූ ද පණ්ඩුකාභය කුමරු සීයා වූ ද
ඒ මහා පුරවරයේ එවුන්ගේ භූමිය පඬුවස්නුවර නම් විය. දැදුරු ඔයේ අතු රිකිලි ඒ පුරවය
මැදින් ගලාගෙන ගියේ කොළමුණු ඔය ලෙස ය. එකී ඔය අසබඩ තැනුණු ඒ කුඩා ගම උක්ත වියලි කලාපයේ
මිනිසුන්ගේ එකම එක නවාතැන් පොළකි. එය මන්ඩපොල නම් වීය. මන්ඩලපොල ග්‍රාමයේ හිස්තැන්
පිරෙන්නේ උක්ත කියූ මිනිසුන් තුළිණි.
වැස්සටවත්
ඉස්කෝලේ නොගිය පරල් වූ මිනිසුන් අතර පඬුවස්නුවර, මණ්ඩපොළ විජේරත්න යන්න තවත් එක්
පියෙකි. එකී පීතෘත්වයේ අඩුලුහුඩුකම් දුටුවන් බොහෝය. දුටුවන් මන බඳින තරම් වූ හැඩ
ශරීරයක් නොතිබුන ද ඔහුගේ බිරිය ද ඔහුට දාව දරුවන් සිව් දෙනෙකු වැදු ආදරණීය අම්මා
කෙනෙකු වූවා ය. දරුවන් සිව් දෙනෙකුගේ කුසගින්න පිරිමසාලන විජේරත්නට ඔහු නැති
තැනේදී ගම්මුන් කීවේ “චොකා” කියාය. කුලී වැඩ නැති කාලයට චොකා සිය බිරියත් සමඟ පොල්
ලෙලි ගසන්නට ගියේය.
රටේ
ගැහැණුන් අරක්කු බොන්නට ඕනෑ කියමින් කොළඹ කාක්කන් සමඟ හාදකම් පා ගෙන්දගම් පොළව
දෙවනත් වෙන්නට බර අඩි තබමින් උසාවි නගිනවිට කීවේ පිරිමින්ට වාගේම අපටත් සම තැන දියව්
කියාය. එහෙත් විජේරත්නලාගේ බිරින්දෑවරු සැමියා මෙන්ම දහඩිය කඳුළු බොමින් බර
උසුලමින් අත පය කරගැට දරමින් ජීවිතයේ අනෝරා දුක් වේදනා විඳිමින් නිසි තැන නොලැබ
පිරිමියා සමඟ සම තැන ගත්තේ දරුවන්ගේ කුසට රහට යමක් දෙන්නට ය.
ගොවිතැන
උපන් ගෙයි ලැබුණු තෑග්ගකි. වියලි කලාපයේ නියඟයට දැන් ඒ තෑග්ග වේලිලා ගොසින් ය.
කරකුට්ටන් වූ කුඹුරු උදැල්ලක් ගසන්නට බැරි තරමට පුරන් වී ගොසින් ය. සාරවත් පස
වෙනුවට බේරුණු වැල්ල දුහුවිල්ලට මුහුව දෑස් හා නාස් පුඩු වලට එබී, මුහුණ දවා, ඔච්චම්
කරමින් පලා යනවා ය. උදලු කෙටිය කරේ තියාගෙන හිස් අහසට සුසුම් හෙලනවාට වඩා
විජේරත්නට කුලී වැඩක් කර හාල් කැටයක් තම්බාගෙන ලුණු ටිකක් හෝ ඉහාගෙන රත්තරන් දරු
පැටවුන් සමඟ තුන් වේලම කුස පුරවාගන්නට විජේරත්නලාගේ ස්වන්වරය තුළම හැඩ ගැසීමක්
තිබිණි.
කරුමයක
මහත ! ඔය අල්ල පනල්ල අස්සේ ලොකු එකා නයා ගහලා මලා ය. දැන් විජේරත්නට දරුවන්
තිදෙනෙකි. පුංචිම එකී රන් කුරුළු බිත්තරයක් වාගේ ය. තුන් අවුරුදු පුංචි එකීට මේවර
පලඳා හැඩ බැලු පිතෘත්වයට ශාපයක් වැදිණි. ඒ ශාපය අගහිගකම නිසා සත් සතියක් මුළුල්ලේම
කුස අඩක් පුරවා ගනිමින් ගෙවා දැම්මේය. සත් අවුරුදු වියේ පසුවන දෙවෙනියා මන්ඩපොල
විද්‍යාලයේ ඉගෙනුම ලැබුවේ ය. ගම්මුන් නම් කීවේ කොල්ලා දක්ෂයා කියාය. තුන්වෙනියා
කොබෙයිගනේ මහා විද්‍යාලයේ සිප් සතර හදාරන්නට විණි.
මෙය
විජේරත්නලාට හරිහමන් කුලී වැඩක් නැති කාලයකි. කුරුණෑගල පොල් ත්‍රිකෝණයේ යැයි
කියන්නේ නමට ය. එහි ඇති පොල් ගෙඩියක් නැත. පොල් ගෙඩි තිබුණු මිනිසුන්ට දැන් හෙණ
ගෙඩිය. එහෙයින් මෙයැ පොල් ලෙලි ගහන විජේරත්නලාට කුලී වැඩක් නොලැබුණු කාලයකි. කුසට
හොරා කෑවා මිසක, කුසට දැනෙන්නට කෑ දවසක් නැත. තේ උගුරක් බී කුසගින්නේම තුන් දෙනා
පැදුරු කඩමල්ලක ගුලි වූ දිනයන් අනන්තය. අප්‍රමාණ ය.
“බඩගිනියි
අම්මේ..” කියාගෙන පුංචි එකී කෑ ගහන වෙලාවට විජේරත්න ඇස් හංගාගෙන ඉබාගාතේ සක්මන් කළ
දවස් අනන්තය. ඒ දවස් වලට කරුමය උරුමය වූ වැරැද්ද ගැන හිතන විට ඔළුව යකාගේ කම්මල
වාගේ ය.
කාලකන්ණි
සමාජ රටාවකට මැදිව ජීවිතයට හුස්ම අදින ලද විජේරත්නගේ පවුල බඩගින්නේ වෙළුනහ. ඒ
වියලීම මහා අභිරුචියකින් ඔවුන් වින්දේ නැත. අමාෂය අම්ල වලින් පිච්චෙන විට, මහා
ගින්නක් නොතේරෙන සිතට වේදනාවක් ලෙසින් දැනෙනා විට අහුවන දෙයක් කෑම දරුවන්ගේ
පුරුද්දක් ය. ඒ පුරුද්ද විජේරත්නගේ දරුවන්ට ද තිබිණි. විජේරත්න එදා වෙව්ල වෙව්ලා
පොල් කැඩුවේ ය. බිරිඳ අහුලන්නට ආවා ය. කුලී රස්සාවන් එහෙමය. අවසානයේ ලැබුන සොච්චම්
මුදලත් රැගෙන දෙදෙනාම සෙනසුරාදා පොළට ගියහ.
ගෙදර
ළූණු ගෙඩියක්වත් තිබුණේ නැත. නගරයේ ඇත්තෝ සීනී දාගෙන තේ බොද්දි ගමේ ඇත්තෝ තේ ටික
බිව්වේ සීනී අල්ලේ හලාගෙන ය. ඒත් විජේරත්නලාට තේ බොන්නට සිද්ධ වූයේ අල්ල ලෙවකාගෙන
ය.
“පුතේ
කොහෙවත් යන්න එපා.. අපි එනකං මල්ලිවයි නංගිවයි බලාගෙන ඉන්න ඕනේ..”
අම්මා
එහෙම කියද්දී ලොකු පුතා ඔලුව වැනුවේ ය. ඒ පොළෙන් රැගෙන එන බූන්දි මල්ල ගැන ඇති
සිහිනයට ය. තමන්ගේ බඩට වඩා දරුවන්ගේ බඩ හිඳී ගොසින් ය. ඒ බව මේ අහිංසක දුප්පත්
අම්මයි තාත්තාගෙයි හදවත දන්නවා ය.
අම්මයි
අප්පච්චියි ගෙදරින් පිටවූවාට පසුව දරුවෝ නිදැල්ලේ ය. ඔවුන් ඔවුන්ගේ ලෝක වල තනි
විය. දෙවෙනියා වූ කසුන්ට ලැබුණු නිදහසට වඩා කුසගින්න ත්වුර විය. එරමිණියා කැලෑ වල
ගෙඩි කෑ මතකය ඔහුට ඇත. වත්තේ කොණකට වන්නට ඇති ලැහැබ තුළ කරඹ ගෙඩි කෑ මතකය ඔහුට ඇත.
ගෙදර වැටේ ද එවැනිම ගෙඩිය. ඒවා රස පාට ය. ඕනෑම ගෙඩියක් ඉදුනාම රතු පාට ය. බඩගින්න
ඇවිලෙන කසුන්ගේ පුංචි හිත එහෙම හිතන්නට ඇති ය. කසුන් කෝවක්කා ගෙඩි කඩාගෙන කුසගිනි
නිවාගන්නෙ එහෙම ය. ඒ කුසගින්න නිවාගැනීම, ඔහුගේ අවසන් නිවීම විය. කසුන් නැමැති
අහිංසක ප්‍රදීපය නිවී ගියේය. ඒ දුප්පත් කුරුළු කූඩුවේ පැටවුන් කුසගින්නේම නිවී
ගියේය.
කරුමය
කියන්නේ මහා පුදුම දෙයකි. එයට පිහාටු ඇත. කසුන්ගේ ප්‍රාණය නිරුද්ධ සිරුර
කුලියාපිටිය මූලික රෝහලේ පක්ශාත් මරණ පරීක්ෂණයට භාජනය විය. එහිදී රුධිරයේ සීනි
මට්ටම අඩුවීම හේතුවෙන් ඔහු මිය ගිය බවට සාක්ෂ්‍ය තිබිණි. එහෙත් කසුන්ගේ මෘත ශරීරය
තැබුවේ ගිලන් රථ ගාල් කරන තැනක ය. කසුන්ගේ ප්‍රාණය නිරුද්ධ සිරුරට අවසන් ගෞරව
දක්වා තිබුනේ මීයන් රැළකි. මීයන් සිරුර හපා හප කර තිබිණි.
මෙය
තිස් තුන් කෝටියක් දෙවිවරු රකින රටකි. මෙය බුදුන්ගේ පා පහස තෙවරක් ලැබී රටකි. කෑම
වලින් පූජා තබන රටකි. කුණු කූඩ වල කෑම කුණු වී හරින රටකි. එහෙත් මේ භූමියේ
අහිංසකයින් ජීවත්වෙන්නේ කන්නට නැතිව බඩගින්නේ ය. ඒ අහිංසකයින්ගේ කුස පිරෙන්නේ වස
විසෙන් ය. අන්දරයායේ අප්පච්චි කෙනෙකුට තවත් එක් පුතෙකු අහිමි වී ගියේ එහෙමය.
- සඳරු දසනායක. (ඉරිදා ඇපල් පුවත්පත)
0 අදහස්:
Post a Comment
විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.
පාඨක ඔබ විත -
මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..