6ක් ඉල්ලද්දී 5ක් දීපු මොකක්ද මේ 19 ? ( 19 වන ව්‍යවස්ථා සංශෝධනය )

බලය කියන්නේ දෙපැත්ත කැපෙන කිණිස්සකි. රිලවෙකුට දැලි පිහිය දුන්නාම රිලවා කරගන්නා දෙය අප පැරැන්නන්ගේ කතා බහ තුළ අසා තිබේ. ඒ නිසාවෙන් එය නැවත නැවත පුනර්වාචනය කළ යුතු යැයි නොසිතමි. මේ කිණිස්ස අතට ගත් අයෙකුට කළ නොහැකි දෙයක් නැති තරම් ය. දේශපාලනය යන්න පුද්ගලයෙකු තුළ බලය ආරුඩ කරන තැනකි. දේශපාලන විද්‍යාව යන්න රාජ්‍යය හා පාලනය පිළිබඳව සමාජ ශික්ෂණය ඉගැන්වීමක් වුව මෙයින් සැබෑවටම ජනතා නායකයා තුළ රෝපණය වන්නේ ජනතා බලය යැයි මා තරයේ විශ්වාස කරමි. දේශපාලඥයෙකුට ලැබිය හැකි ඉහළම බලය විධායක බලයයි. බලවත්ම විධායක බලය ඇත්තේ ශ්‍රී ලංකාව තුළය. ලෝක බලවතෙකු වන ඇමරිකානු විධායකය තුළවත් නොපවතින බලයක් ශ්‍රී ලංකා විධායක තුළ ඇත.


වත්මන් ජනාධිපතිවරයාගේ දින සියයේ ප්‍රතිපත්ති සටහනට අනුව විධායකය අහෝසි කිරීමත් විධායකයේ බලය විමධ්‍යගත කිරීමත් ඡන්ද පොරොන්දුවක් ය. එය වත්මන් ජනාධිපතිවරයා පමණක් නොව ඊට පෙර බලයට පත්වූ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරිය හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඇතුළු කොටගත් සියලු දෙනාගේම  ඡන්ද පොරොන්දු විය. එහෙත් ඒවා බලයට පත්වූ පසුව ඡන්ද ගුණ්ඩු පමණක්ම යැයි සිතාගත හැකිය. ඒ කෙසේ වෙතත් ඔවුන් දැන් බලයේ නැත. ඔවුන් විධායකය අහෝසි කළේ ද නැත. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පාලනය බිඳ හෙලීමට පොදු අපේක්ෂකයෙක් වශයෙන් ඉදිරිපත් වූ කාලයේදී ඔහු ජනවරමක් ඉල්ලන්නේ විධායකය අහෝසි කරනවා යැයි පොරොන්දුව ඉත්තෙකු සේ තබාගෙන ය. අපවත් වූ සෝභිත හිමියන් ඇතුළු කොටගත් කණ්ඩායම් පවා රට තුළ විශාල අරගලයක් ක්‍රියාත්මක කරන්නේ විධායකයේ බලයේ අහෝසි කළ යුතු බවත් ඒ වෙනුවෙන් මෛත්‍රිපාල සිරිසේන මහතා බලයේ පිහිටිය යුතු බවත් සඳහන් කරමින් ය. එහෙත් සෝභිත හිමියන් දුටු සිහිනය තවමත් ඉටු වී ඇත්දැයි යන්න හෝ ජනතාව විසින් ජනවරම ලබා දෙන්නට හේතු කාරකය වූ ජනපති පොරොන්දු ඉෂ්ට සිද්ධ වී ඇත්දැයි යන්න ගැටලුවකි.

ව්‍යවස්ථාව සංශෝධනය කරද්දී එයට පක්ෂග්‍රාහී වූ හා නොවූ පිරිස් බොහෝ ඇත. එය අධිරාජ්‍යයවාදීන් ගේ චින්තන අභිමතාර්ථ පරිදි ඔවුන්ගේ ඩොලර් කොළ සාක්කුවේ දමාගෙන සපත්තු ලෙවකමින් සිදු කරන කාර්යයක් බව ඇතැම් දේශපාලන නායකයින් ප්‍රසිද්ධ වේදිකාවේ සිට කෑ ගසමින් කියන්නට විණි. එහෙත් 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය 2015 අප්‍රේල් 28 වන දින ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුවෙහිදී  සම්මත විය. මේ සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය අවැසි වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 235දෙනා අතරින් නොපැමිණි සත්දෙනා හැරුණුකොටගෙන ඉතිරි  215 දෙනෙක් පක්ෂව ද එක් අයෙකු විපක්ෂව ද තවත් එක් මන්ත්‍රීවරයෙකු ස්වාධීනව ඡන්දය පාවිච්චි කිරීමෙන් 19 වන ව්‍යවස්ථා සංශෝධනය ලෙස සම්මත විය.

මෙම ව්‍යවස්ථාවේ ප්‍රධාන අරමුණ වූයේ 18 වන ව්‍යවස්ථාවේ දී ජනාධිපතිවරයාට හිමි වූ අධික බලතල ප්‍රමාණය අවලංගු කිරීමත් රටේ ප්‍රජාතන්ත්‍රවාදය තවදුරටත් ශක්තිමත්ව ස්ථාපිත කිරීමත් ය. එහෙත් 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ මුල් කෙටුම්පත තුළ සඳහන් වූ විධායකයේ බල තල අහෝසි වී එය අගමැති ඇතුළු කොටගත් කැබිනට් මණ්ඩලයකට පැවරෙන බවට විධි විධාන ඇතුළත් වුව ද ශේෂ්ටාධිකරණ තීන්දුවක් මත එය ඉවත් කර ගැනීමට යෙදුණි.

මෙහිදී ශේෂ්ටාධිකරණ විසින් දුන් තීන්දුව වූයේ 19 වන සංශෝධනය ශේෂ්ටාධිකරණයට පටහැනි නොවූව ද එහි ඇතැම් වගන්ති පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකින් සම්මත වූ වහාම ජනමත විචාරණයකින් ද සම්මත විය යුතු බවය. එහෙයින් ජනමත විචාරණයකට යා යුතු යැයි පැවසෙන සියලුම වගන්ති කෙටුම්පතින් ඉවත් කරගත් අතර විධායකයේ ද බලතල සීමා වූවා මිසක විධායක ජනාධිපතිධූරය අහෝසිවීමක් සිදු වූයේ නැත.

19 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව නැවත කථිකාවතක් ඇරඹෙන්නේ ජනාධිපතිවරයා විසින් පසුගියදා ශේෂ්ටාධිකරණය වෙතින් තම ධූර කාලය පිළිබඳව විමසීමක් කළ හෙයිනි. 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මතවීමෙන් පසුව 18 වන සංශෝධනය මුළුමනින්ම අහෝසි විය. ඒ තුළින් ජනාධිපතිවරයාට වසර හයක් ධූරයේ රැඳී ඉන්නට තිබු ඉඩ ප්‍රස්තාව වසර පහක් දක්වා සංශෝධනය විය. පෙර පැවති සංශෝධනයේ තිස්වන වගන්තිය වෙනස් කර   ජනරජයේ ජනාධිපතිවරයා ජනතාව විසින් තෝරා පත් කර ගනු ලැබිය යුතු අතර පස් අවුරුදු කාලයක් ධූරය දරන්නේ ය. ” යැයි ප්‍රතියෝජනයක් සිදු කර ඇත. එහෙත් තිස්වෙනි ව්‍යවස්ථාවේ ප්‍රතියෝජනය තුළ ඇති “  ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයෙක් වන්නේ ය. ජනාධිපතිවරයා රජයේ ප්‍රධානියා ද විධායකයේ ප්‍රධානියා ද ආණ්ඩුවේ ප්‍රධානියා ද සන්නද්ධ සේවාවන්හි සේනාධිනායකයා ද වන්නේ ය. ” යන තිහේ පළවන උප වගන්තියේ කිසිදු වෙනස්වීමක් සිදුවන්නේ නැත. එය පෙර පැවති ලෙසම පවතියි.

 19  වන ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර පහකි. ඔහුට දෙවරකට වඩා ජනාධිපති ධූරය දැරිය නොහැකිය.
එය ආණ්ඩුකම ව්‍යවස්ථාවේ පෙර පැවති තිස් එක්වනවන ව්‍යවස්ථාව සංශෝධනය කර ඇති අතර "ජනතාව විසින් ජනාධිපති ධූරයට දෙවරක් තෝරා පත් කර ගනු ලැබූ තැනැත්තෙකු ජනතාව විසින් නැවත එකී ධූරය සඳහා තෝරා පත් කර ලැබීමට සුදුස්සෙකු නොවන්නේ ය."
යන මැයෙන් 19 වන ව්‍යවස්ථාව තුළ සඳහන් වේ.

19 වන ව්‍යවස්ථාවේ කරුණු කාරණා පදනම් කරගෙන ජනාධිපතිවරයාට අවුරුදු හයක කාල සීමාවක් ධූරයේ බලය පිහිටුවා ගත නොහැකිය යන්න පැහැදිලි කරුණකි. එසේම ඔහුට දෙවරකට වඩා ධූරයේ සිටිය නොහැකිය. ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනය තුළ ඔහු ඒ සඳහා සුදුස්සෙකු නොවන බවට විධි විධාන සකස් කර අවසන් ය.

මුල් කෙටුම්පතේ ජනාධිපතිවරයාගේ පුද්ගලික කාරණා වලට ද නඩු පැවරීමේ හැකියාවක් පැවතිය ද මුල් කෙටුම්පතේ වගන්ති ශේෂ්ටාධිකරණ තීන්දුවෙන් පසුව සංශෝධනය වූ නිසා ඔහුට නඩු පැවරීමේ හැකියාව ඇත්තේ මූලික අයිතිවාසිකම් පිළිබඳව ඇති නඩු පැවරීම් පමණි. මූලික අයිතිවාසිකම් සම්බන්ධව නඩු පැවරීමට හැකියාවක් පැවතිය ද ඔහුට විරුද්ධව අපරාධ නඩු පැවරීමේ හැකියාවක් නොමැත.

මෙම නව සංශෝධනය තුළින් විධායකය තුළ පැවති බලතල බොහොමයක් ව්‍යවස්ථාදායක සභාවක් තුළ පිහිටුවා ඇති අතර, පෙර පැවති 17 වන සංශෝධනය තුළ අඩංගු වූ බොහෝ කරුණු නැවත 19 වන ව්‍යවස්ථා සංශෝධනය තුළ ප්‍රතිෂ්ටාපනය කර තිබීමක් දැකිය හැකිය.

පැරණි කිනිස්සක් ගෙන දුහුවිලි පිස දමා ඔප මට්ටම් කර දිලිසෙන්නට නැවතත් තිබු තැනින්ම අළුත් පැහැයකින් බබලන්නට තබා ඇති බව පමණක් මෙහිදී පෙනෙන අතර ඒ හැරුණුකොට කෙටුම්පතින් ඉවත් කරගත් වගන්ති තුළ තිබු බොහෝ දෑ ජනමත විචාරණයකට නොගොස් ඉවත් කර ඇති නිසා විධායකයේ බලය තවමත් එසේම පවතියි.  පිටු හැත්තෑවක නව සංශෝධනය පුරාවටම ඇත්තේ බලයේ ලක්ෂ්‍යය සීරු මාරු කිරීමකි. එකී සීරුමාරුව ජනතාව විසින් ලබාදුන් ජනවරම වෙනුවෙන් කෙසේ බලපාන්නේ දැයි යන්න ජනතාව විසින් තීරණය කළ යුතු දෙයක් යැයි හැඟෙ.

  •           සඳරු දසනායක


 
Share on Google Plus

About Unknown

0 අදහස්:

Post a Comment

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..