දුප්පත්තු - the poor



මේ දවස් වල අව් කාෂ්ටකේ නම් කියලා වැඩක් නැහැ. ආයේ රෙඹ යන්න පොලව රත් වෙනවා. කාන්තාරෙට බැස්ස වගේ, නිකං වත්තට බැහැලා ඇවිද්දොත් වතුර පනිට්ටු දෙකක් විතර දාඩිය පිට වෙනවා. වතුර ටැංකි තුනක් විතරම ඉතිං පස්සේ නා ගන්න ඕනේ. නානවා කිව්වටත් කෝ ලිං වල වතුර. එව්වත් හිඳිලා ලිං අඩිය පේනවා. අනේ අනිච්චං දුක්ඛේ.. මේ කාලෙට තමයි ඔය ලිං අස්සේ නයි පොලොඟු ගැරඬි එහෙම රිංගන්නේ. අනේ අෆ්ෆේ ඉතිං ගෑණු නාන්න බලන්න නෙමෙයි. මොනවා බලන්නද ඕකේ ඉතින්. බොන්න දිය පිපාසෙ මයේ හිතේ. අපේ ලිං කණ්ඩියේ මෙන්න සයිස් අඟල් පහේ වතුර බටයක් විතර පොරක් ඉන්නවා. පොර හැබැයි එන්නෙම ගෑණු නාන වෙලාව අල්ලලා, මාත් ඒ වෙලාවට උදළු කෙටියෙන් කොටන නිසා  වෙලට වෙලා මට ඔය කසු කුසු නෑහෙනවා නෙමෙයි. 


එක යමතෙට ගෑණු හු කියනවා. හෙණ සිද්ධිය කියන්නේ උන් කැමති නැහැ ගැරඬි බීපු වතුර පොදක් නාන්න. වෙලේ ඉන්න අපේ අත්තා කාරය ඉතිං මම අවුස්සනවා.

“බලන්නකෝ අත්තේ සද්දේ ගෑනුන්ගේ.. මොන කරච්චලයක් ද ? බොරුවට ගැරඬින්ට භයේ හු කියනවා නොවෑ..”
“ ඉන්දකින් ද හා කොල්ලෝ... තුහ්...! ඕකුන්ට කිව්වට වැඩක් නැහැ.. #^&*(^%..”

කෝම කෝම හරි හොඳ කුණුහරුප පාරක් එහෙම අහගත්තාම ගෑණුන්ගේ සද්දේ අඩු වෙලා හීනියට ඇහෙනවා. ඔය වෙලාවට තමයි එහා ගෙදර චූටි නංගි නාන්න එන්නේ. ඒ වෙලාවට මටත් කික්. අනේ වලත්තකමකට නෙමෙයි. ඒ ඇත්ති මට හෙණ මනාපයි නොවෑ. ඒ මනාපකම් නම් මොකෑ, ඇත්තටම සහෝදරියක් වගේ. මයේ එළු රැවුල ඒකිට පේන්න බෑ. හයියෙන් අදිනවා. :D 

පායනවා කියලා පටන් අරගෙන හෙණ වට වන්දනාවක් ගියා නොවෑ. ඉතිං මේ දවස් වල වියලි කලාපයේ හැම පැත්තකටම නොසෑහෙන්න පායනවා. වී ටික ගෙට අරගෙන, හැන්දෑවට දාම් පාරක් ඇදලා, පොඩි රා කට්ටක් ගහලා ආතල් එකේ හවසට කලින්ම බත් ජුන්ජක් කාල නිදා ගන්න ඕනේ කාලේ තමයි මේ කාලේ. ඉස්සරනම් එහෙමයි මයේ හිතේ. මම හිටියෑ.. අපේ අත්තා තමයි එයෑලෑ කෙරුවාව කියන්නේ.. මම ඉතිං ඔය එව්වා මෙව්වා අහන ගමන් කොන්ඩේ තෙල් ගානවා උන්දෑ ගේ. සෙල්ලන් ද අවුරුදු දැන් 75ක්ම ඇති මයේ හිතේ. 

දැන් ඉතිං ඒ කාලේ වගේ නෑ. වී ටික ගෙට අරගෙන ඉන්න බෑ. එව්වා විකුණලා ණය ගෙවන්න ඕනේ. එහෙම නැත්නම් බඩ රස්සාව කරන්න ඕනේ. ආයෙත් වැහි දිය ඉහින්න කලින් පොලව එක්ක මෝටර් එකෙන් දිය ඉහලා හරි ඔට්ටු වෙන්න ඕනේ. මමත් බෝඩ් වෙලා උන්නට යමින් එමින් ලැප් කටු, පෑන් පැන්සල් විසික් කරලා ඔය වැඩ වලට උදව් කරන්නේ හිතේ ගොඩක් දුකින්. ඒ මගේ නිදහස නැතුව යනවට නෙමෙයි. මේ මිනිස්සු පොලව එක්ක ඔට්ටු වෙන විදිය දැකලා. ඒ වෙලාවට සල්ලි කාරයෝ ගැන ( මගේ ගෑල් ළමයා ගැන එහෙම ) පුදුම තරහක් එන්නේ. උන් පුළුන් මෙට්ට වල සැපට උඩ දාගෙන නිදි. ඒ උනාට උන් කන්නේ අපේ මිනිස්සුන්ගේ දහඩියෙන් හැදුන බත් ඇට කියලා කිසි ගානක් නැහැ. 

මේ පොලව එක්ක ඔට්ටු වෙන්න මටනම් බෑ. දිය බුබුළු සීයක් විතර මගේ අතේ දැන් ඇවිත් අද උදළු කටුව අල්ලලා. මොනා කරන්න ද ? මම හිතුවේ බිම් කොටනකොට, පාත්ති දානකොට මගේ අත්තට තාම කන්න දෙන්න පුළුවන් නම් හරි හම්බ කරලා, ඒ කෑම කාල නිකං කාලේ කනවට වඩා මම ඒ දුක කෙස් ගහක් තරම්වත් අද විඳින්න ඕනේ කියලා. පොළවේ පය ගහලා ජීවත් වෙන මිනිස්සු හරි සුන්දරයි. හරිම මනුශීයයි. ඔයාලා එහෙම නැහැ කිව්වා නෙමෙයි. :D ඒ උනාට ඒ මිනිස්සුන්ට මම ඔයාලට වඩා ආදරෙයි. හරිම අව්‍යාජ මිනිස්සු. 

අද මගේ හිතේ මම පාත්ති 10ක් විතර බිම් කොටද්දී මට හෙණ පිපාසේ. තොල කට වේලිලා. ගොර ගොර ගානවා. දැන් වැටෙයි දැන් වැටෙයි සේප් උන්නේ. බැරිම තැන බැලුවා අත්තා දිහා. බලද්දී අනේ අෆ්ෆේ කොටනවා හෝ ගෑවිල්ලේ. කිසිම හාවක් හුවක් නැහැ.

“ අත්තේ, වතුර තිබහයි... මම වතුර ටිකක් බීල එඤ්නං...”
“.. ම්ම්ම්.. ගිහිං වරෙන්..”
“ ඔයාටත් ඕනෙයි..” 

මම ඇහුවේ මහා ගොන් ප්‍රශ්නයක් කියලා මීටර් උනේ ඇහුවට පස්සේ. ඇයි හද්දෙයියනේ මේ කෂ්ට අව්වේ ඉන්න වයසක මනුස්සයගෙන් මොලේ තියන එකෙක් අහනවා ද වතුර තිබහට වතුර ගෙන්න ද කියලා. උන්දෑ හිනා වෙලා.. 

“.. උඹ වතුර බොද්දි මට බලාගෙන ඉන්න පුළුවන්ද බොල. මටත් ගෙනෙන්...”

මම කුස පුරා වතුර බීලා ගෙදරින් හොඳ විටකුත් සප්පායන් වෙලා වතුර සුට්ටකුත් අරගෙන වෙල පැත්තට ආව. ඇවිත් ආයේ කෙටුවා. පාත්ති පහක් විතර කොටද්දී ඇහෙනවා “ගොජ” “ගොජ” ගාල අසික්කිත විදියට වතුර බොන සද්දයක්.. බැලින්නං එහා ගෙදර බල්ලා ( අපේ එකානම් කමක් නැහැ ) කෝප්පේ ඇතුලට හොම්බ දාල බොනවා වතුර එක රසට රසේ. මම අත්තට සීන් කොර්න් එක පෙන්වද්දී උන්දෑට හිනා. ගහන්න බෑ දෙයියනේ, මේ අව්වේ ඒ සතා ඉන්න පිපාසෙ නොදැනෙන්න අපි අමනුස්සයෝ නෙමෙයි නේ. ගැහුවත් මොනා කරන්න ද ? මොකද ඌට භාෂා හැකියාවක් නැහැ නේ කතා කරලා වතුර ඉල්ලන්න. පුංචි ඉල්ලීමක් කරනවා, මේ අටුවාව කියවන මනුස්සයෙක් ගෙදර සත්තුන්ට මේ කාලේ වතුර භාජනයක් තියලා සප්පායන් කරන්න. බොහෝම පිං.

ගමේ ගොඩේ කා අතරත් මම හෙණ ප්‍රසිද්ධ චරිතයක් නොවෑ. :p මක්ක නිසාද ඒ හොඳ වැඩ නිසානම් නෙමෙයි. නෑ නෑ. හොඳ නරක හැම මගුලම නිසා තමයි. මම අර මුලදී කිව්වේ මේ දවස් වල ගම්වල මිනිස්සු කන්නේ බොන්නේ බොහොම අමාරුවෙන් කියලා. තුන් වේලම සම්බෝලයි බතුයි කන මිනිස්සු ගමේ ඉන්නවා. ඔයාල රස බොජුන් කද්දී වේලක් කාල වේල් දෙකක්  කුස ගින්නේ සැනසෙන මිනිස්සු නැතුව නෙමෙයි. 


විශ්වාස කරන්න, අපි හැමෝම ජීවත් වෙන්න උත්සහ කරනවා. අපි හැමෝම ආසයි මන්දා මම ආසයි ඉගන ගන්න. රට දකින්න. ලෝකය දකින්න. හැමදේම කතා කරන්න. හැබැයි ඉගන ගන්නවා කියන දේ ලොප් උනොත් අනිත් දේවල් ශුන්‍ය වෙනවා. ඒ කියන්නේ නිෂේධනයක්. දුප්පත් මේ මිනිස්සුත් එහෙමයි. ඒ මිනිස්සු ඉගන ගත්තේ නැහැ. අධ්‍යාපනය ලද්දේ අල්පව. ඒ ජීවිතය තමන්ට ඕනෑ මුලික අවශ්‍යතා ඉටු කර ගත්තා. රැකියාව පරම්පරාගතව ගොවිකම. ඒක අසීරු උනාම කුලී වැඩ. විවාහය තමන්ට ලද පමණින් ගමේ ජීවත් වෙන ගැහැනියක් හා ඉෂ්ට උණා හෙළ සිරිත් පරිදි. ගමේ මරණයක දී, දායක සමිතිය මරණාධාර සමිතියේ සාමුහිකත්වය මත ඒ ඒ කටයුතු ඉෂ්ට සිද්ධ වෙනවා. ඉතිං මිනිස්සු ලෝකේ දකින්නේ අඩුවෙන්. එදිනදා අවශ්‍යතා පමණයි. සරලයි. හැබැයි ජීවිතේ හරිම කටුකයි. ජීවිතේ සංකීර්ණයි. ජීවන රටාව තුල තියන සරලකම පේන සුන්දරත්වය පවුල කියන සමාජ ඒකකය ඇතුලේ නැහැ. සමහර මිනිස්සුන්ට ගෙදරක රුපියල් 10ක් නැහැ ඕනා වෙලාවට. 

ඒවාගෙන් වැඩක් නැහැ. මම කියෙව්වට ඔයාල මේවා කියවලා කමෙන්ට් එකක් කොටලා ගියාට ඒ මිනිස්සුන්ට ලැබෙනා දෙයක් නැහැ. ඒ මිනිස්සු හැමදාම දුක් වෙනවා. ගමට බොහෝ මිනිස්සු එනවා. හැමෝම එන්නේ උදව් කරනවා කියලා. හැබැයි යන්නේ ගොඩක් දේවල් සූරන් කාල. ගම්වල ජීවත් වෙන මිනිස්සු ඉක්මනට රටේ බලවත් උදවිය රවටනවා. ඒ බුද්ධිමත් යැයි සිතිය හැකි ඔයාල නිහඬ නිසා.

පායනකාලේ හොඳම බිස්නස් එක තමයි ගමේ වැව පාළු කරන එක. දැලක් එලලා වැව් මාළු බුදින මිනිස්සු ඕනෑ තරම් දකින්න පුළුවන් මේ කාලෙට. වැව් බොර දියට තඩි බාන මිනිස්සු ඕනා තරම් දකින්න පුළුවන්. තමන්ගේ සතුට තකා හෝ රසය තකා වෙන පණ ඇති ජීවිතයක් නසන එකනම් මම අනුමත කරන්නේ නැහැ. මම කන්නෙත් නැහැ. කන මිනිස්සු පවා පිළිකුලෙන් යුතුව බැහැර කරනවා. සිල් වතෙක් නෙමෙයි. ජීවිතේ හැම අත්දැකීමක්ම ලබපු කලක් තිබුනා. සමහර දේ නොතේරුමට. හැබැයි දුක කියන දේ මට දැනෙද්දී. භය කියන දේ මට දැනෙද්දී මම හිතුවේ ලෝකේ පණ තියන හැමෝටම මේ දේවල් දැනෙනවා නේ කියලා. ඒ හැගීමට සදා වෛර කරපු මම ඒ වෛරය වෙන කෙනෙක්ට නොදෙන්න ප්‍රේතිපක්තියක් ලෙස ජීවිතය ඇතුලට ඔබා ගත්තා. ඔයාලත් එහෙම වෙන්න. බෑ. එහෙම වෙන්න බෑ. අඩු ගානේ උත්සහ කරන්න. ඇත්තමයි කවදාහරි අනිත් අයට වඩා තමන් ගැන ආත්ම අභිමානයකින් කතා කරන්න දවසක හැකි වෙයි. එදාට බෙන් කියපු දේ හිස් මුදුනින් පිලි ගනී ඔයාල. 

වතුර හිඳෙනකොට මිනිස්සු වැව පාළු කරනවා තව ක්‍රමයකට. ඒ ක්‍රමය නම් ඇත්තටම පට්ට සුපිරි. මමත් අද ඒ වැඩේ ට එන්ටර් උණා. මොකක්ද දන්නවා ද නෙලුම් අල හාරනවා. කිලෝ එකක් මගේ හිතේ රුපියල් 40 යි. දවසකට අඩුම 10ක් නම් ෂුවර්. ඒ කියන්නේ 400ක් හොයා ගන්න පුළුවන්. ඇති ඉතිං දවසකට හොඳටම.
 මේ කාලේ මිනිස්සු ජීවත් වෙන්නේ අමාරුවෙන් කියලා මම කිව්වා නේ. මිනිස්සුන්ට කියාපු ජොබ් එක මේක. ගස් වල පොල් නැහැ. පොල් නැති නිසා පොල් මුදලාලි ගාව ලෙලි ගහන අයට වැඩ නැහැ. ඉතිං ඒ නිසා ලෙලි කපන අයට වැඩ නැහැ. කුඩු හලන අයට වැඩ නැහැ. තෙල් මෝලට වැඩ නැහැ. වැඩ කරන්නේ සීමිත පිරිසක්. වැඩියෙන් සේවකයන් තියා ගන්න රටක් නැහැ නේ. ඉතිං ඔය ඔක්කොම ගමේ මිනිස්සු ජීවත් උන රස්සාවට සමු දීලා මේ වගේ සරල රැකියා හොයා ගන්න කාලයක් තමයි මේ කාලේ.. 

කතා කරගත්තු විදියට මමයි අප්පච්චියි අද උදේ පාන්දරම සෙට් වෙන්නයි උන්නේ වැව ට යන්න. මමනම් කිව්වේ අප්පච්චි බත් එහෙකුත් අරගෙනම යමු උදේම කියලා. හැබැයි මම නැගිටිනකොට වැඩේ කියන්නේ 9ත් පහු වෙලා. මට හීනෙන් වගේ මතකයි අප්පච්චි බැනලා යනවා. 


මම ඉක්මනට නැගිටලා එහෙම, මුණ හෝදලා බත් ගිලලා වතුර බෝතයයි පත්තයි (නෙළුම් අල හැරීමට භාවිතා කරන පැතලි උල් ලී කෑල්ලක් වේ ) අරගෙන වැව ට ගියා. මෙන්න බොලේ බලද්දී නෙළුම් පැලෙට එකා ගානේ මිනිස්සු ඉන්නවා වැව පුරාම.. :D

“ ආ ලේඛම් මහත්තයාත් ඇවිත් නේ  ...”
“.. වැඩ වගේ නේ..”
“.. වැඩ ද අහනවා. මහත්තයත් වැඩට බහින්න වගේ. අනේ අපොයි අපිට කෙලින්න නේද ?...”
“.. අපෝ නෑ චමියෝ.. මම මේ ආවේ අප්පච්චිට වතුර එක දීල යන්න. මම මෙව්වා හාරන්න දන්නෙත් නෑ..”

චමියා යනු අපේ ගමේ අවුරුදු 28ක් විතර වයස තියන කොල්ලෙක්. තාම බැඳලා නෑ. සිය පවුලම ඇවිත් නෙළුම් අල හාරන්න. මමත් ඉතිං බලාගෙන උන්නා වෙන කියන දේ. මම අප්පච්චි හොයා ගන්න ඕනේ නිසා වැව පහලට ගියා නෙළුම් ගොල්ලේ.. 

අප්පච්චි කළුනික හෙව්වා වගේ හොයා ගත්තා. යද්දී අඩියක් විතර යටට අගලක් හාරගෙන. එකේ විසාල නෙළුම් අලයක්. මට නෙළුම් අල හාරන විදියත් කියලා දීලා එයෑ වෙන එකක් හාරන්න ගත්තා.
නෙළුම් අල හැරිම යනු චූටි නෙළුම් පැලයක් සොයා එතැන හාරමින් අලය මතුකර ගැනීමයි. දඬු ලෙස පැතිරෙමින් දිගට දිගට ඇඳෙන නිසා අලයන් බොහෝ දුරට විහිදේ. නෙළුම් ශාකයේ ආහාර ගබඩාව ලෙස නෙළුම් අලය නම් කල හැක. නෙළුම් අල කිරට සහ මැල්ලුම් ලෙස සකසයි. රසවත් ආහාරයකි. හොඳට මිටිකිරි දමා පිසූ නෙළුම් අල සමඟ බත් කොතක් පමණ කෑ හැකිය. මැල්ලුම් සාදන්නේ සාමාන්‍ය ක්‍රමයට උවත් එය එතරම් ප්‍රචලිත නැත. රාජාංගනය ප්‍රදේශයට වන්නට නෙළුම් අල තම්බා පවා ආහාරයට ගනී.
නෙළුම් ශාකයේ අල පොළවේ සිට අඩියක් පමණ යටට වන්නට පිහිටයි. දළුවන් අල යාළු කුරුල්ලන් ලෙස හඳුන්වයි. 

“.. අනේ අප්පච්චි... කොන්ද රිදෙනවා අෆ්ෆා.. කොන්ද නෙමෙයි වකුගඩු දෙක ද මන්දා..”
“... ම්ම්ම්...” 

අප්පච්චි කිසිවක් නොකියා අල ගලවයි. මගේ ඇඟ පුරාම මඩ තැවරී ඇත. ඒ මදිවට කොන්ද හරහා සියුම් වේදනාවක් දැනේ. කෙසේ හෝ අල කිලෝ 10ක් පමණ හාරා පසුව අප නිවස කරා පැමිණියෙමු.

ඔන්න ඔහොමයි මේ දවස්වල මිනිස්සුන්ගේ ජීවිත. කොළඹ කුරුඳුවත්තේ මිනිස්සු වගේ, දේශපාලන බලවත්තු වගේ A/C රූම් වල කැරකෙන පුටු වල බඩ රස්සාව ජීවිකාව කරගත්තු මිනිස්සු කවදා නම් සැප විඳින්න ද?

මා වාසනාවන්තයෙක් කොට මා සලකමි. මක්නිසාදයත් මා උපතේ සිට පොළවේ පය ගසා ජීවත් වීමට හා මානව ක්‍රියාකාරකම් ගැන වැටහීමක් ලැබීමට භාග්‍ය ලද බැවිනි. එය මා උපන් පිනෙන් ලද සැනසීම වේ. 


Share on Google Plus

About සමීර සඳරුවන්

10 අදහස්:

  1. //ගම්වල ජීවත් වෙන මිනිස්සු ඉක්මනට රටේ බලවත් උදවිය රවටනවා//
    මේක ගැන කල්පනා කරාම මට පරණ කතාවක් මතක් වුනා.ඔය විදිහට මිනිස්සු රවට්ටපු එකක් ගැන.වෙලාවක ලියන්නම්.

    මම දුලාගේ අඩවියේ™ දුලා

    ReplyDelete
  2. උඹට හෙන රහට ලියන්න පුළුවන් නේ බං..අපි පාලනය කරන්න කාටවත් බෑ බං අපේ හිතට වැඩිය..

    ReplyDelete
  3. අන්තිමට කියල තියෙන වචන ටිකනං සහතික ඇත්ත. ගොඩක් දෙනෙකුට වෙලා තියෙන්නෙ පොළොවෙ පය ගහල ජීවත් වෙන්න බැරි කම තමයි.

    ReplyDelete
  4. නෙළුම් අල ගැලවිල්ල මගෙත් ෆේවරිට් එකක්

    ReplyDelete
  5. දුලා - අයියේ ලියන්න ලියන්න. අපි කියවලා ඒ දිහා බලාගෙන හැදෙන්නම්. නැත්නම් ලියන එකේ වැඩක් තියේ යෑ...

    දේශකයා - තැන්කු. හැබැයි තලු මරන්න ඔට්ටු නෑ ඔන්න.

    Praසන්ன - ඔය නම අපි කොහොම ලියන්නද ? ම්ම්ම්.. පුළුවන් මිනිස්සුත් නිහඬයි අයියේ. එකයි දුක.

    රාජ්- ඔන්න අපේ අප්පච්චි අදත් ගියෑ... මම මෙහෙ ආව. ෆෙවරිට් හොඳයි මයේ නම් කොන්ද කකියනවා එපා වෙන්න.

    ReplyDelete
  6. ගැමි සුවඳ දැනෙන කතාවක්. ලස්සණ යි, බෙන්. කවුරු මොන පොරොන්දු දුන්නත් අපේ ගැමියෝ හැමදාමත් එක ම තැන. අව්වේ කර වෙවී දුක් විඳිනවා. ඒ ගැන කතා කරන්න කවුරුත් නැහැ.

    ReplyDelete
  7. උඹ කලින් පෝස්ට් එකේ කමෙන්ට් වලට රෙප්ලයි කරල නෑ. රිප්ලයි කරන්න පුරුදුවෙයන්.. තමන්ගෙ ගෙදරට ආව මනුස්සයො එක්ක කතා බහ නොකර හිටියොත් ඒ මිනිස්සු අමනාප වෙනවා..

    - මාතලන්ගෙන් උගත් දෙයකි-

    ReplyDelete
  8. ගම් වල මිනිස්සුන්ගේ තියෙන එක වැරද්දක් තමයි නිකන් ලැබෙනකන් බලාන ඉන්න එක. එහෙම ඉන්නවට වඩා මාළු වලක් හරි ඉහගෙන කන එකේ අවුලක් නෑ. මොකෝ නෙළුම් අල ගැලවිල්ලයි මාළු ඇල්ලිලයි දෙකේ වෙනසක් මම දකින්නේ නෑ. ඒ දෙකම අපිට අයිති එවා නම් නෙමෙයි..

    ReplyDelete
  9. ධාරා - ස්තුතියි.. ! අක්කේ ම්ම්ම්.. හැමදාම එකම තැන. ඉහලට ඔසවන්නේ නැහැ. මොකද එතකොට රවටන්න බෑ නේ..

    සමී - අලේ නෑ. මම reply comment මෙව්වා ඒක මේකේ හදන්න ඕනේ. ඒකෙ කෝර්ඩ් හොයාගන්න ඕනේ.. ඒකයි...!

    මාතලන් - අයියේ.. අනේ මන්දා අෆ්ෆා.. මට තේරෙන්නේ නෑ.. තේරුනත් ඕනේ නැ.

    ReplyDelete
  10. පුදුම රහ කෑමක් තමයි නෙළුම් අල.ඒ වගේම රහට ලියලත් තියෙනවා.අපි ඉන්න පලාත්වල හොයාගන්න නැති නිසා ටින් ගෙනල්ලා කනවා.

    ReplyDelete

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..