නීතිය හා බලු නීතිය - law





සුවහසක් මිනිසුන් මැද දහසක් වූ පාපී ක්‍රියාවන්ගෙන් අනුන් පීඩාවට පත් කරන ආත්මයක් නැති අල්පයක් බඳු මිනිසුන්ගේ කල්ක්‍රියාව දැක කළකිරීමෙන් ලියමි. 

මනසින් උසස්  ” යැයි කියන මිනිසා ඔහුගේ චින්තන ශක්තිය ඇසුරින් නොයෙක් ආකාරයෙන් සිතන්නට පුරුදු විණි. ශිෂ්ටාචාරයක බැම්ම නැත්නම් පවුර ලෙස චාරිත්‍ර වාරිත්‍ර එනම් කලයුතු නොකළ යුතු දේ ආශ්‍රයෙන් සංස්කෘතිය නමැති බැම්ම බිහි විය. ඒ තුලින් යම් වර්ගයකට - යම් ගෝත්‍රයකට සීමා සහිත ලෙස  චින්තනාත්මකව දැකීමට පෙළඹිණි. 


මිනිසාගේ ගමන් රටාව දඩයම් යුගයත්, එඬේර යුගයත් , ගොවි යුගයත් ලෙස ගලා ආවේ මිනිසා ලද ශිෂ්ට සම්පන්න බවේ දියුණුවත් සමඟ බව බොහෝ දෙනාගේ පිළිගැනීමයි. මිනිසා යුග කල්ප යුග කොතෙකුත් ගෙවා ආවත් මිනිසා අතර නොයෙකුත් නොමිනිසුන් බිහි විය. ඒ ඒ මිනිසුන් අනෙක් සමාජීය මිනිසාට කරදරයක් වූ කලි, සමාජීය මිනිසාගේ යහපත තකා මුලින් තිබු චාරිත්‍ර වාරිත්‍ර විකාශනය වී සැමට පොදු නීතින් පද්ධතියක් නිර්මාණය විය. ඒ ඇසුරින් නීතිය යන සංකල්පය බිහි විය. නීතිවේදීන් බිහි විය. නීති පද්ධතීන් බිහි විය. නීතිය ක්‍රියාත්මක කරන ආයතන බිහි විය. නීති සම්පාදනය කරන ආයතන බිහි විය. මානව හිමිකම් ආදී නොයෙක් අයිතිවාසිකම් වලින් සැදුම් ලත් ලෝක සම්මුතීන් බිහි විය. 


මා හට ඇති ගැටලුව නම්, ලොව කොතෙක් මේ තරම් සංවිධාන බිහි වුවද නීති පද්ධතීන් බිහි වුවද වචනයේ උතුම් බවට පමණක් මූලික වූ “උත්තරීතර නීතිය” ඒ ඒ ලෙසටම ලොව ක්‍රියාත්මක වේ ද යන්න දෙවරක් සිතිය යුතු කාරණයක් වීමය.

ශ්‍රී ලංකාවේ නීතිය මූලිකව තර්කය මත පදනම් වූ නීති ක්‍රමයකි. තර්කය නැත්නම් තර්ක ශාස්ත්‍රය යනු කුමක්ද ?
මිනිසා විශ්වයේ පහල වූ දා සිටම ඇති වූ ගැටලුව නම් “ විශ්වය නැත්නම් අප, පහල වුයේ කෙසේද ” යන්නයි. මිනිසා නොයෙක් ආකාරයෙන් ඒ ගැන සිතුහ. ඒ ආශ්‍රයෙන් ඔවුන් විවිධ මත ගොඩ නැගුහ. නිදසුනක් ලෙස , මිලේසියානු ජාතික  ඇනෙක්සි මීනිස් විසින් මේ මහා විශ්වයේ මූල පදාර්ථය සැදී ඇත්තේ වාෂ්පයෙන් බව කිවේය. 
 
ඇරිස්ටෝටල්
මෙසේ චින්තන ශක්තිය ක්‍රමක් ක්‍රමයෙන් විකාශනය වී, වාද විවාද හා සාකච්චා කිරීම යන මුලික සාධක ත්‍රිත්වය යටතට ගෙන ඒමට ඇරිස්ටෝටල් නම් විද්‍යාඥයා සමත් විය. ඒ ඇසුරින් එහි දුර්වලතා හඳුනා ගනිමින් ග්‍රීක් භාෂාවෙන් තර්කය - logos නමින් හඳුන්වනු ලැබූ වචනය logic ලෙස ඉංග්‍රීසි භාෂාවට පෙරලමින් තර්ක ශාස්ත්‍රය යන විෂය පද්ධතිය විශ්ව අධ්‍යාපනයට මුසු කළේය. වර්තමානයේ නීති විශාරධයින් ඉගන ගන්නේ ඇරිස්ටෝටල් විසින් එසේ හඳුන්වාදුන් ඔහු විසින් තාර්කිකව හා ක්‍රමානුකුලව ගොඩ නගන ලද තර්ක ශාස්ත්‍රය වේ. මීට අමතරව වර්තමාන ගණිතය යොදා ගනිමින් තර්ක ශාස්ත්‍රයේ නව තර්කාණු ක්‍රමයක් බිහි වී ඇත. එය නූතන තර්ක ශාස්ත්‍රය වේ. 

කොකා මාළුවා ඇල්ලුවා. කියූ පමණින් අප දන්නේ කොකා මාළුවා ඇල්ලුවා කියන ප්‍රයෝගික සත්‍ය වේ. නමුත් මාළුවා කොකා ඇල්ලු බව ඔප්පු කලොත් ඔබ පුදුම වනු ඇත.


 එවන් නඩුවක් ඇසු අවස්ථාවක් ඉතිහාසයේ ඇත, එනම් කොළයකට මුවා වී වෙඩි තැබූ වෙඩික්කරුවෙක් ගැන ඇසු නඩුවකි. සැබෑ ලෙසම කොළයකට මුවා වී වෙඩි තබා ඇත. වෙඩිල්ල වැදුන තැනැත්තා එතනම මිය ගොස් ඇති අතර, වෙඩි තැබූ ඝාතකයාට විරුද්ධව පවුලේ ඥාතීන් නීතියේ පිහිට පැතීය. ඝාතකයාද එකල ධනපති පංතියට අයත් මුදලින් යහමින් තිබු වංශවත් තැනැත්තකි. මොහු දක්‍ෂ නීතිඥයෙක් අල්ලා තමා වෙනුවෙන් කතා කිරීමට යොදා ගත්තේය. නඩුකාරයා ඉංග්‍රීසි පන්නයට ඔක්ස්ෆොර්ඩ් ගොස් ආ නීති විශාරධයකි. ඇසින් දුටු සාක්‍ෂි යහමින් තිබුණේය. රස පරීක්‍ෂක වාර්තා ද තිබුනේ විත්තියට පටහැනිවය.


උසාවිය ආරම්භ විය... නඩුකාර උන්නාන්සේ පැමිණියේ ය. සොරි වැඩියේ ය. :p
උසාවිය ඇරඹුනා... නිස්සද්ධ වෙනු. (නැත්නම් කූඩු ඈ ) 

 අහවල් අංකය යටතේ අහවල් එකාගේ නඩුවේ අලවළුන්ට වෙඩි තිබ්බ නඩුව.

පැමිණි පාර්ශවයේ නීතිඥයා - ස්වාමිනි , මේ විත්තිකරුවා කොළයකට මුවා වී වෙඩි තිබ්බා.
නඩුකාරය - ඇසින් දුටු සාක්‍ෂි තිබේ ද ?

පැමිණි පාර්ශවයේ නීතිඥයා - එහෙමයි ස්වාමිනි. ඒ සඳහා රන් බණ්ඩා කැඳවීමට අවසර පතමි.
(අවසර දුන්නා ලු ඈ.. රන්බණ්ඩා කියන්නේ ගමේ මිනිහෙක්. ඇත්තටම උපන් ගෙයි මෝඩයෙක්. ඉස්කෝලේ ගියෙත් නැහැ. කොහේ යන්නද ගමේ ඉන්න උන් ලෝකේ දැකලා නැහැ නේ. පොර ගහන්නේ ඇඟිලි අත්සන තමයි. ලෝකේ දකින්න අධ්‍යාපනය ඕනේ කියලා වැටහීමක් නැහැ නේ. සුද්දට පහන් අල්ලපු උන් තමයි යාන්තමට රෙද්ද අස්සෙන් බාගයක් හරි දැක්කේ ලෝකේ. )

නඩුකාරයා - යුෂ්මතා මේ කියන විත්තිකරුවා වෙඩි තියනවා දුටුවා ද ? 

රං බණ්ඩා - එහෙමයි හාන්දුනේ ....! මේ සුදු මහත්තයා මම බුලත් හපන්න ගොහිං එනකොට ගොයං කොලේට මුවා වෙලා ගිණි බටේ පිම්බා නොවෑ කිරි හාමිට.. මම මේ දෑහින් දැක්කා. මම විතරක් නෙමෙයි. අපේ පොඩි කේලිත් දැක්කා..

විත්තිකරුගේ නීතිඥයා  - අයි අන් සෙකන්ඩ් ඉට්. අක්චුවැලි..! ස්වාමිනි මෙය උසාවිය මුලා කිරීමට යොදාගත් බොරු සාක්‍ෂියක්. බලන්න ස්වාමිනි, මෙන්න මේ වගේ (ගොයං කොළයක් පෙන්නමින් ) ගොයං කොළයකට මුවා වෙලා වෙඩි තියන්න පුළුවන්ද ? ඒක ප්‍රයෝගික නැහැ ස්වාමිනි.. ! 

පලක් නැහැ ස්වාමිනි... ! මෙම වික්තිකරු ගමේ හොඳ පවුලක වැදගත් තැනැත්තෙක්. මොහුට වැදගත් වංශවත් නම්බු නාම තියෙනවා. මෙය මොහුගේ ක්‍රිර්ති නාමය කෙලසීමට යොදා ගත් සැලැස්මක්.

නඩුකාරය - ( මදක් කල්පනා කරමින් ) උසාවිය නොමඟ යැවීම පිළිබඳව %^&*()&%$#^&*()...............

ඉහත සිද්ධිය නම් කට වහරින් ආ සත්‍ය සිද්ධියකි. දක්‍ෂ තර්කානුකූල නීති විශාරධයෙක්ට බොරුව ඇත්තක් කිරීමට හැක. නවීන විද්‍යාවට අනුව විද්‍යාත්මක සංසිද්ධි නීතිය උදෙසා යොදා ගැනුණත් පුංචි සිදුරක් තුලින් මහා ජල කඳක් ගලා යැවීමට අපහසු වුවත්, කතරකට දිය බිඳුවක් නොව සයුරක් වුවත් වැඩි නොවන්නා සේ  යැවීමට නීතිඥයා සමත් වේ. 


නීතිය විවේචනය පවා දඬුවම් ලැබිය හැකි වරදකි. නමුත් රටක සමාජ සහජීවනය - එකමුතුකම - සහයෝගිකත්වය යන සියලුම සමාජීය සාධකයන් නීතිය යන උත්තරීතරත්වය යටතේ රැඳී පවතී.
ශ්‍රී ලංකාවේ පොලිසීයට ඇත්තේ නීතිය ක්‍රියාත්මක කිරීම නොව නීතිය ආරක්ෂා කිරීම වේ. නමුත් සිදුවන්නේ එයින් එහා ගිය දෙයකි. අල්ලස් මුදලට නතු වෙන නොයෙකුත් පොලිස් නිලධාරීන් කාකි කෝට් එකට පාහරන අවස්ථා දිනපතා ප්‍රවෘත්ති විකාශන වල දැකිය හැකි ප්‍රධාන සිරස්තල වලින් එකකි. 

වාස් ගුණවර්ධන ලා වැනි ඉහල තලයේ  වැජබෙන ලොකු ලොක්කන් නීතිය නිරුවත් කර අමු අමුවේම  කෙලසද්දී,  උසාවි අස්සේ බල්ලන් සේ උඩු බුරා තම බලය ලොවක් ඉදිරියේ පෙන්වන ආකාරය දුටු විට  ලංකාවේ නීතිය ආරක්ෂා වන්නේ කෙස්දැයි සිතේ.

 පොලිස් ආරක්ෂකයන් අපව දකින්නේ ප්‍රකෝපකාරී අදහස් ඇත්තන් මෙනි. ඔවුන් හා ආචාරශීලීව කතා කල නොහැක. ඒ මන්දැයි නොදනිමි. මා කොතෙකුත් පොලිස් ස්ථාන කරා ගොස් ඇත. ( නඩු නෙමෙයි, නඩු දාන හැටි බලන්න ) පොලිස් නිලධාරින් සේව්‍ය සැපයීමට බැඳී සිටි මන්ද එය ඔවුන්ගේ රැකියාව වන නිසාය. එය ඔවුන්ගේ වගකීම බැව් අප මතක් කිරීම නොකළ යුතු දෙයකි. නමුත් එය මතක් කර දීමට පවා සිදුවීම කණගාටුවට කරුණකි. 

බන්ධනාගාර සේවකයන් ද එසේමය. රුපියල් 500යේ කොළයක් ගුලිකර ඕනෑතරම් දේවල් බන්ධනාගාරයට යැවිය හැක. කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් බන්ධනාගාරය ලෙස වාරියපොළ බන්ධනාගාරය නම් කල හැක. බොහොමයක් වරෙන්තුකරුවන් යැවෙන්නේ මෙම බන්ධනාගාරයේ බත රස බලන්නට බැව් මෙහෙ වෙසෙන්නෝ දනිති. බන්ධනාගාරය ඇතුලත දුම්වැටියක මිළ රු;75ක් පමණ වේ. බියර් බෝතලයක් අධික මිලකට ඇතුලත අලවි වේ. ප්‍රදේශය බාර ජනතා නියෝජිතයෙක් ගේ ආධාර කරුවෙක් නම් ඔහුට රජ සැප ලැබෙනු ඇත. මෙයද ලංකාවේ නීතිය... ? 

සාමාන්‍යයෙන් වරෙන්තුකරුවෙක් ඇප ලබන්නේ නම්, ඔහු සතියකට සැරයක් එනම් ඉරිදා දිනය තුල අදාල පොලිස් ස්ථානයේ අත්සන් කල යුතු ය. නමුත් සිදුවන්නේ කුමක් ද ? ඔහු අත්සන් කරන්නේ එක දවසක් තුල පමණි. අත මිටවූ මුදල් කොලයට යටත්ව සැකකරුවාගේ අත්සන ගැසීමට තරම් කාකි කෝට් සහිත නිලධාරින් පෙළඹෙති. 
 
පොලිස් නිරුවත
පාරේ වාහනයක් යන්නට බැරි ය. හදිස්සියකට ලෙඩෙක් රැඟෙන යන බයික් එකද නවත්වා දඩ ගසන යුගයක් ඇති වී හමාරය. නැවැත්වූ වාහනයට ගසන්නට දඩ හේතුවක් නොමැතිනම්, ඇඳන් ඉන්නා ඇඳුම ලයිට් කලර් වැඩි යැයි කියමින් දඩ ගසයි. වරදකට කතා කර එය පෙන්වා දුන්නහොත් ඔවුන් අතින් නඩු දමන්නේ වැරදි සදා ය. ජීවිතයට මත් ද්‍රව්‍ය භාවිතා නොකළ තැනැත්තා කංසා ළඟ තබා ගත්තා යැයි කියන්නේ නීතිය රකින නිලධාරීන් විසින්මය. කාකි කෝට් එකේ බලයෙන් ඉදිමි සිටින ඔවුන් ප්‍රෙදේශයේ පාලනය ඔවුන් සතු යැයි සිතා පාලනය කිරීමට වෙහෙසෙයි. වරදක් නොකරන අහිංසකයන් සැක කරුවන් කර බල්ලන්ට මෙන් පහර දෙන ඔවුන් වරද ඔහු නොකළ බව දැනගත් වහාම ඔහුගෙන් කට වචනයට සමාව ගන්නේ තැලුම් පාරවල් වල වේදනාව සැනෙන් පහව ගියා යැයි සිතනා නිසා වන්නට ඇත. තිරිසන් ගති ඇති මිනිසුන් නීතියේ ආරක්ෂකයන් ලෙස සිටීම මානව සමාජයේ සහජීවනයට තර්ජනයකි. 
 
පොලිස් නිරුවත
නීතිය ක්‍රියාත්මක ආයතන තුල රටම ගෞරවකරන බුද්ධිමත් විනිසුරුවන් අල්ලස් ගෙන නීතිය කෙලසන්නේ මන්දැයි නොදනිමි. මෙවැනි ක්‍රියාවන් වූ කලි මිනිසා නීතිය පිළිබඳව විශ්වාසයක් තබා ගන්නේ කෙසේද ? තමන්ට සිදුවන වරද දරාගෙන එහි පාඩුව තමන් විදිමින් සිටිමට මිනිසුන් පෙළඹෙන්නේ ඒ නිසා වන්නට ඇත.
ඕනෑම බොරුවක් සත්‍ය ලෙස පෙන්වන නීති ක්‍රමයක අපි ඒ නීතියට යටත් වූ මිනිසුන් වෙමු. කැඩපත තුලින් තම රුව මාරු වී පෙනෙන්නා සේ සැකය මත පමණක් බුද්ධිය මෙහෙයවීමක් නොකර නීතිය රකිනා නිළධාරීන්ට යටත්ව අප සමාජයේ ගොළුවත රකිමින් සිටින්නෙමු. බුද්ධිමත් ප්‍රජාව ගොළුවත රකිමින් ඔවුන්ට හු මිටි දෙන්නේ මුළු මහත් සමාජයම බලයට යටවී ජීවත් වීමට සලස්සමිනි. 

මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා..... කියූ පමණින් මුනිවත රැකීම බුද්ධිමත් බව නොවේ. දුක් විඳ හෝ සමාජ නිරුවත මිනිසුන් ඉදිරියේ ගෙන හැර දැක්වීම අනුන්ට පමණක් නොව, තාමගෙද ආත්මතෘප්තියට හේතු වේ.

බොරුව රජ කරන සමාජයක නීතියෙන්ම බොරුව ඇති කිරීම පිළිබඳව කණගාටුවක් දැනේ. අල්පයක් වූ මිනිසුන් මැද දහසක් නොමිනිසුන් ඉදිරියේ ජීවත් වීම පවා මා ලැබූ අභාග්‍යකි. මන්ද මා හට අනුවර්ථන හැකියාව නොමැති නිසා ය...  



Share on Google Plus

About සමීර සඳරුවන්

5 අදහස්:

  1. නීතිය කියන්නේ සර්වසාදාරණය නෙමෙයි.. ඒක වහන්න කරපු මගෝඩියක්..

    ReplyDelete
  2. සර්ව සාධාරණ නීතියක් කියලා දෙයක් නෑ බන්

    ReplyDelete
  3. මේකේ තියෙන ඒවා සහතික ඇත්ත. නමුත් නීතිය කියන්නෙත් බිස්නස් එකක්. ඒ අතින් බැලුවම රජ්ජුරුවෝ නඩු අහපු එක මීට වඩා වටිනවා. බෙල්ල කපලා දැම්මත්. මේක මේ නොමරා මරන සිස්ටම් එකක්.. පාර්ෂව දෙකම....

    ReplyDelete
  4. ගොයම් කොල් සිද්දිය නම් මට හොඳට මතකයි එක ඇත්ත සිද්දියක්
    ඇත්තම කියනවානම් දැන් පවතින නිතියක් නැ හැමොම්ම ඇත්තන්ට සලකති තවත් සමහරු පමණටත් වැඩියෙන් බෙදාගෙන කති
    කොහොමත් නිතිය අන්ධයි එකනේ තාරාධියක් අතින් ගත්ත කාන්තාවක් ඇස් වහගෙනම ඉන්නේ

    ReplyDelete
  5. අපි දැන් ඉන්නේ ඉතිහාසයේ නරකම කායලක මල්ලී . . හිතා ගන්න බෑ ලංකාව ඇතුලේදි අපේ ළමයින්ගේ හෙට දවස මොන වගේ වෙයිද කියල . .

    ReplyDelete

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..