කුඩු





මිනිසුන් ලෝකයට ඉපදෙන්නේ මරණය දෑතින් ගෙන වග මා කොහේදෝ අසා තිබුණි. ප්‍රසූතිගාරයේ සිට ආදාහනාගාරය දක්වා යන ගමනේ දී අපට නන් විධි මිනිසුන් මුණ ගැසේ. එම ගමන් මඟ අතරමැද අපාය නම් කොටසක් මා මනු ලොව දිටිමි. සුන්දර මිනිසුන් මැද ‘අ’ යනු අක්ෂර බහා මා දුටු අසුන්දර තැනක් ගැන මෙහි මෙලෙස ලියා තබනෙමි. මා නුඹලාගේ හදවතට නොව බුද්ධියට එහි පූර්ව නිගමනය තබනවා පමණක් නොව විමසුමද නුඹලා ළඟ එලෙස තබන්නට මැලි වන්නේ, මා එහි ගිලීමට මෙන්ම එහි හිඳ සාදාරණයක් සෙවීම උපතින්ම සංවේදී වූ මා හට නොගැළපෙන කටයුත්තක් සේම එය මා සතු දුර්වලකමක් ද වන නිසාවෙනි.




සිගරට්ටුවක් දල්වාගෙන බෝක්කු කැටයකට වී හිඳ තනිකම බුක්ති විඳි පමණින් ඔහු තනිකම පලවා හරින්නේ නැත. මන්ද පපු කුහර මතට වදින විෂ දූමයන් එකී තනිකම තුළට වදිමින් ජීවිතය අන් අයගෙන් තවත් දුරට ඇද දමන්නට සමත් නිසාය.

මතට තිත තබන්නට ඇතැම් චින්තන ග්‍රන්ථයන්ට හැකි විය. චින්තනය කෙසේ ද වී යත් එයින් ගොඩ නැගෙන්නේ සමාජ දේහයේ  විනය විනා මනෝ භාවයන් නොවන වග නුඹලාගේ බුද්ධියට ගෝචර යැයි මා සිතමි. මේ සටහන සමාජ දේශයේ හට ගත්, කිසිදු විනිශ්චයකට හසු නොවූ සමාජ පිළලයන් ගැන ය.





හාත් පසම ඇත්තේ, වාහන වල ඝෝෂාවයි. බස් රථ රියදුරන් කෙරේ මා සිතේ ඇත්තේ අමනාපයකි. මා සිතේ හටගත් වියරුව දෑසින් පිටකරනු වස් මා දෑස ඔබ මොබ යැව්වෙමි. දෙසවන් අගුල් වැටෙන්නා සේ දැනේ. දෙසවන් මත වැටෙන වාහන වල කම්පන නලා හඬ ස්නායු ප්‍රකම්පනය වී මොළ කුහරය කපා යයි. බස් රථ වලින් නික්මෙන දුමයන් හේතුවෙන් නාස් පුඩු හා දෑස් රිදුම් දෙයි. දහඩියෙන් පෙඟී ගිය අත් පා අත් ලේන්සුවෙන් පිස දමමින් ද  දෙයතට බරක්ව පැවති සටහන් පොතක් මා රෝල් කරමින් සාක්කුවේ ඔබා ගැනීමට උත්සහයක යෙදෙමි.

කිසිදු දෙයකින් නොසැලෙන, බාහිර පරිසරයෙන් ලැබෙන කිසිදු  කායික හෝ මානසික පිඩාවක් නොතකා  නගර මධ්‍යයේ සමවයස් තරුණියන් දෙස බලා ඉඟි මරන මා හිත මිත්‍රයා පසෙක වීය. මා ඔහු දෙස බලා සිනා මුවින් සිටීම ඔබට පුදුමයක් නොදැනෙනු ඇතැයි සිතමි.



මේ කුරුනෑගල බස් නැවතුම්පලයි.



“...රුපියල් පහක් දීපං...” “...පහක් දීපං... පහක් දීපන් $^%&^*( ... පහක් දීපිය... දීපිය.. අවේගාත්මක හඬකි.



කෘෂ ශරීරයකින් හෙබි හෙතෙම, බස් නැවතුම් පල වීදි මඟ ඔස්සේ දිව විත් අප අසල නැවතුණේය. කෘර වූත් කර්කෂක වූත් ඒ ඉල්ලීම තුළ කිසියම් තර්ජනාත්මක බවක් ගැබ් වී තිබිණි.



“...ම...ම්හ්... මං ගාව නැහැ අයියේ...ඒ මගේ මිතුරායි.



“.... පහක් දීපිය....හේ යලිත් ගුගුළේය.



“.... අනේ සොරි අයියේ.. මාරු සල්ලි නැහැ මගේ ළඟ....අසරනාත්මකව මා මිතුරා ඔහු අභිමුව පිළිසරණක් සොයයි. එකී අසරණකම පැන නගින්නේ ඔහුගේ හඬේ ඇති ආවේගශීලී බවටද ඔහු තුළින් පෙන්වන රූපාත්මක හැඩයට ද යන්න නිසොල්මනේ කල්පනා කර බැලිය යුතු කරුණකි.





තව දුරටත් වික්ෂික්ප දෑසින් සිටිය නොහැක. රුධිර නාල පුරවා ගලන රුධිරය ස්නායු තුලටද දැනෙන්නා මෙනි. හදවත වේගයෙන් ගැහෙන්නේ ප්‍රවාහන අධිකාරියේ කබල් රථයක් ගිණි පිඹ අදින්නා සේ ය.  මිට මෙලවූ දෑත වේගයෙන් ගස්සමින් යකඩ පොල්ල මතට පය තබා පහලට බැස මිතුරා අසලට දිව ආයෙමි.





“....පහක් නැත්නම් දෙකක් දීපන්....ඔහු යලිත් පවසයි.





මිතුරා ගොළුව මා දෙස බලයි. මා කිසිවක් නොකියා ඉවත බැලීම්.





“...මචං ... උඹ ගාව නැත්ද සඳරු...මිතුරා විමසයි.





ඩෙනිම් කලිසමේ පිටිපස සාක්කුවට දෑත දමා මාරු කාසි සෙව්වෙමි. නමුත් එය විහිළුවක් මෙනි. මා හොඳ ආකාරවම මා ළඟ මාරු කාසි නොමැති බව දනිමි. මන්ද උදෑසන අමතර පන්ති යාම සඳහා ලැබුණේ රුපියල් 200ක් තරම් සුළු මුදලකි. එය මාරු කිරීමට හෝ බස් රථයට දීමට අවකාශයක් නොලැබුණේ මා  මිතුරාගේ පොකැට්ටුවට බැස ආ හෙයිණි. කෙටියෙන් පැවසුවහොත් එදින දවසම යැපුණේ ඔහුගේ පොකැට්ටුවෙන් ය.





“....නෑ මචං... මගේ ළඟ මාරු නැහැ..මා සිනහවකින් පිළිතුරු දුනිමි.





මාගේ උපහාසාත්මක සිනහව උක්ත කියූ තරුණයාට තරු විසි වන්නට ඇත. හේ මා ලඟට පැමිණියේය.





“...අම්මට @$%^&*( දෙකක් දීපං...





මා පිළිතුරු නොදෙන්නෙමි. සැබෑවටම ඒ හඬ ට මා භිය වුණෙමි.



“... පහක් නැත්නම් දෙකක් දීපං යකෝ... දෙකක් දීපිය..ඔහු තර්ජනය කරයි. දෙනෝ දාහක් මිනිස් කැලක් මෙම දර්ශනයෙ ප්‍රේක්ෂකයින් වී හමාරය.

මා ගොළු වූ නළුවෙක් සේ ඔහු දෙස බලා සිටිමි. සැබෑවට ගොළු වුවා පමණක් නොව මා අභිරූපණ රංගනයේ විශිෂ්ටයෙකු සේ හැසිරුණි. ඔහුගේ දෑස මා මුහුණ දෙසට දික් කරගෙන මුදල් ඉල්ලයි. දෑත මත සුදු පැහැති පිටි මෙන් කුඩු වර්ගයකි. සුරතෙහි අල්ලෙහි සෙන්ටි මීටරයක් පමණ දත් පහරවල් වැදුණු තුවාලයක් විණි. පිටි අල්ල වැසෙන සේ එහි රුධිරය ගලාවිත් ය. තුවාලය පිහිටි අල්ල සුදු පැහැ කුඩු වර්ගයකින් වැසී තිබිණි. එය ඒ මොහොතේ වූ තුවාලයක් බවට සාක්ෂි ඔහු කෙරේ ඕනෑ තරම් ය.



සැනකින් ඔහු මා ඔර පත්තට පහර දී දිව ගියේය. වේදනාවක් නොදැනුනත් මා ඒ දෙසට දිව ගියේ ඔහු අල්ලා ගැනීමටද නැත්නම් ඔහුගේ උමතු ක්‍රියාවන්හි මූලාරම්භය සොයා ගැනීමටද යන කරුණ අදටත් මේ සටහන ලියවෙන මොහොත දක්වාමත් මා හට පවතින ගැටළුවක් ඔබ නුඹලාට සන් කරමි.



“.... මචං යන්න එපා.. කුඩු කාරයෙක්.. ඔය සික් එක හැදිලා ඉන්නේ.. දැන් මොනවා කරයි ද දන්නේ නැහැ. දැක්කනේ අතේ ලේ පෙරෙනවා....



එකී රංගනයේ සියලු දේ බලා සිටි තරුණයෙක් සිනා සී අවසන් විනිශ්චය දුන්නේය.  



මා මිතුරා, සිය දෑතින්ම මා අල්ලා මොහොතකවත් නොසිට බස් රථයට ගොඩ වී වික්ෂිප්ත දෑසින් මා දෙස බලයි.  



මා පැවසු උක්ත කෘෂ දේහයක් හිමි උඩුකය නිරාවරණය කරගත් තරුණයා මිනිසුන් අතරට වැද සිය ආනන්දය උදෙසා යැපීම වස් මුදල් යදින යුරු බස් රථයේ කවුළුව තුළින් බලා සිටියෙමි.





“.... මචං යන්න එපා.. කුඩු කාරයෙක්.. ඔය සික් එක හැදිලා ඉන්නේ.. දැන් මොනවා කරයි ද දන්නේ නැහැ. දැක්කනේ අතේ ලේ පෙරෙනවා....







බසය ගමනෙන් අඩක්ම ගෙවා පැමිණ ඇත. මඟ දිගට ඇදෙන බස් රථයේ හිඳ මනෝ ලෝකයේ සැරි සරමි. මගේ මොළයට තුලට වැදුන එකී හඬත් ඒ හඬට අනුබද්ධ හඬත් මොළයේ ආවේගයන් හා පොර බැඳ යම් කිසි පිළිතුරක් යදී..



කුඩු යනු කුමක් ද.? එන්නේ කොහෙන්ද කවුද ගේන්නේ..? මෙහෙම වෙන්නේ ඇයි..? 

 පුරුදු පුහුණු කල සුනඛයෙක් සිය ඉලක්කය සොයා දිව යනවා මෙන් මා දිව ගියෙමි. හුදෙක් ඒ මා උදෙසා නොව පාඨක ඔබ උදෙසාය.




බොහෝ තැන්හි මා විද්‍යාත්මක පසුබිමක් සෙවූ බව කිව යුතුය. මා පෞද්ගලික ජීවිතයේ බොහෝ දේ පිළිගැනීම හෝ නොපිළිගැනීම සිදු කලේ සාධක විශ්ලේෂණය තුලින් ය. පුහු මතයන් මා සිතට ගෙනාවේ පීඩාවකි. මා සමජකාමි වුනෙමි. කාලයට අනුරූපව තොරතුරක වටිනාකම පවතින්නා සේ මා හුදකලා මනස කාලානුරූපීව හැඩගස්වා ගතිමි. මක් නිසාද යත්,  සමාජයේ බොහෝ තැන ගැබ් වන්නේ පුහු ආකල්ප හා චේතනා නිසාවෙනි.



නමුත් වර්තමාන මාතෘකාවේදී මා යම් යම් දේ උදෙසා විද්‍යාත්මක පසුබිම නොසෙව්වෙමි. මන්ද විද්‍යාත්මක කාරනා වලට වඩා මෙම වෘතාන්තය තුළ සමාජීය කරුණු උලුප්පන දෑ නොයෙකුත් දේවල් උලුප්පා පෙන්වන නිසාය.  ඇබ්බැහිවීම යනු මානසික රෝගයකි. මත්බව යනු මොලයට ලැබෙන අනිසි උත්තේජනයකි. උත්තේජනය සරලව දක්වන්නේ ද , ඔබ දිනපතා බොන තේ කෝප්පයේ ද ඇත්තේ මනසට ලැබෙන උත්තේජනයක් බව ඔබ නොදන්නවා ඇත. එය පරික්ෂාවට අවැසි නම්, අධික හිස රදයෙන් පෙලෙන විට තේ පානය කර බලන්න එවිට ඔබගේ හිසේ රුදාව යම් හෙයකින් පහව යනු ඇත. නමුත් මත්බව භායානක උත්තේජනයකි.



විද්‍යාත්මක සංයුතීන් සොයා විමසා බලන්නට ඔබට බාරකරමි.



“.... මචං... සඳරු ... මොකද හදිස්සියේ කුඩු සීන් එකට බැස්සේ...”...? හේ විමසුම් දෑසින් මදෙස බලයි.



“... පුංචියට අත්දැකීමක් බං.. දන්නවනේ ...”..? මම සිනහවකින් පිළිතුරු දුනිමි.

“... එපා මචං... කවදාවත්ම එපා... මේක එක දවසක් ගැහුවොත් දෙවැනි දවසෙත් ගහනවා උඹ.. මම දන්නවා නේ උඹ මොනවගේ එකෙක් ද කියලා....ඔහු දෝෂාරෝපණය කරමින් උපහාසාත්මක ලෙස සිනාසෙයි.



“... මාව එක්කං යමං...මා ඉල්ලීම් කලෙමි.



මාගේ ඉල්ලීම් ඔහුගේ දෙසවන් තුලින් ඉලිප්පී ගියේය. ඒ සැම අවස්ථාවෙම ඔහු  මා මග හැරියේය. මා විරසක උනෙමි. එතැන් පටන්,  ඔහු මා සොයා ආවේය.



“... ලැහැස්ති වෙයං...



“... මොකටද ...?....” මා සිනාසී පිළිතුරු දුනෙමි.



“... උඹට ඕන නේ.. මම දන්නවා උඹට ඕනේ ලියන්න. ලියපං.. තව එකෙක් බේරෙයි. හැබැයි මේක මතක තියා ගනිං.. මම එතන සිපයියෙක් විතරයි. මම දන්නා මගුලක් නැහැ. මට වඩා පොරවල් ඉන්නවා. උඹට මම දන්නා දේවල් හැමදේම කියනවා... හැබැයි පුතා මාව බේරාපං... ලීක් උණොත් ?....” ඔහු නොනවත්වාම සිය වාග් හසුරුවයි. මා ළදරුවෙකු සේ ඔහුට අවනත වුනෙමි. ඔහුගේ අවසන් වැකිය “...ලීක් උනොත්...?..”  මා සිතේ බොහෝ චිත්ත රූප ඇති කලේ ය. “...ලීක් උනොත් මොනවා වෙන්නද.. පිස්සු.. ඔය හැම එකාම කරන්නේ. මුගේ පණ්ඩිතකම...මා තනිව සිතුවෙමි.



“... මචං ෆෝන් එපා. කැම් එක එපා. ලැප් එපා. වටිනා කියන මුකුත් එපා...ඔහු අණ දෙයි.

“.. ෆෝන් එකත් එපා ද ..?..” ඉල්ලීමට එකඟ නොවන්නට මෙන් මා පෙරලා විමසුවෙමි.



“.. එපා... කෑල්ලට කියහං ඉවසගෙන ඉන්න කියලා...ඔහු අවඥාසහගත ලෙස සිනා සී, ඉවත බලා ගත්තේය.



                                                                                                            

යම් දෙයක් ලබා ගැනීමට නම් බොහෝ දේ කැප කල යුතුය. විශ්වාසය පමණක් වැදගත් බැව් මෙහිදී මා තේරුම් ගතිමි. ඔහු මා විශ්වාස කරයි. ඔහුව තවකෙක් විශ්වාස කරයි. මෙය දාමයක් සේ විහිදී යයි. කිසියම් මාෆියාවක ගමන් මගේ දුර තීරණයවන්නේ මෙවැනි අනුවර්ත හැඩගැසීම් තුළින් යන වග නුඹලාගේ බුද්ධියට ගෝචර වනු ඇතැයි මා අපේක්‍ෂා කරමි.



අඳුරු වීදි ඔස්සේ අප බොහෝ දුර ගියෙමි. අගල් මතින්, කුණු කාණු මතින් පනිමින් යලි දුවමින්ද  බොහෝ දුර පසු කරන්නට ඇත. වෙහෙසක් මා ගතට නොදැනුණි. මා සිත එයට බොහෝ සේ වශීකෘතව සිටියෙමි. මා සිතට හැඟුනේ කිසිවෙක් - කිසිවෙකුට කල නොහැකි රහස් පරීක්‍ෂක සේවයක් මා කරන්නා සේ ය. හිත උද්දාමයට පත්ව ඇත. මා නුඹලාට සීමාවක් නොකියමි. තැනක් ද නොකියමි. මන්ද මේ කතාවේ කථා නායකයා හා මා තුළ පවත්නා සම්බන්ධකම් හා රහස්‍යබාවය එයින් රැකගත යුතු නිසාවෙනි.



හෙලිවැලි දරුවන් අප දකිනා විට මුඩුක්කු අස්සේ දුවයි. ඇතැමුන්ට ලැජ්ජාවක් නැතුවා සේ ය. ඔවුන් හිරි ඔත්තප්ප කුඩා වියේදීම බිඳ දැමුවන් ය.  දිය සෙවල බැඳුනු බිත්තිද  ඇල්ගී අඩංගු ජලය ද  බෙහෙවින් පිරි ඒ පරිසරයේ,   ජරාජීර්ණ බව ඇති කළේ නග්න පවෙන් වැසී ගිය අපායක සිරිය. පිළිණු ගඳ මිශ්‍ර දුර්ගන්ධයක් නාස් පුඩු අතරින් රිංගා කුස මෙපිට පෙරලන්නට මෙන් සැරසෙයි.



නිහඬ බව මා ප්‍රිය නොකළෙමි. මා මිතුරාව කතාවට අල්ලා ගැනීමට වෙහෙස දරමි. නමුදු ඔහු සිටින්නේ එයට සුදානම්ව නොවන වග මා හට හැඟී ගිය නිසාවෙන් නුහුරු ලැජ්ජාවකින් සිත දැවීය. මා මුව පියාගෙන, ඔහුගේ දෙපා බිම වදින රිද්මයට මා පාද ද තබමින් ඔහු පසු පස වැටුනෙමි.



එක් පැරැල්ලක් ළඟ ඔහු නැවතුණේය. අවුරුදු 16ක පමණ මනාව වැඩුණු අඟ පසඟින් යුතු යුවතියක් එහි සිට එලියට ආවාය. පෙර හැඳින සිටියාමෙන් ඈ හා සිනාසුන හෙතෙම, මා දෙස වික්‍ෂිප්තව බලන ඈ හට,



“... මගේ යාලුවෙක්... අවුලක් නැහැ හොඳ කොල්ලෙක්... කියමින්  ඔහු පිළිතුරු දෙයි.



මා ඇයට සිනාසුනෙමි. ඇය සිනහවක් පා ඇතුලට ගියාය. මා ඈ සොයන්නට දෑස පාන දුටු මා මිතුරා,



“...වැඩිය හිතන්න එපා.. මං හිතන්නේ නැහැ වීදි සරණ ළඳකට උඹ සෙනෙහෙ පායි කියලා....රහසින් මා කණට කොඳුරා අව්‍යාජාත්මක සිනහවක් තිලිණ කළේය. එම පිළිතුර මා කම්පනයට පත් කල යුතු බව කිව යුතුය.



සැනකින් ගෙතුලින් අවුරුදු 29ක් පමණ වයසැති මිනිසෙක් පැමිණ ආ ගිය තොරතුරු විමසා සිටියේය. දොඩමළු වෙමින්, සිනාසෙමින් ද අප පැය බාගයක් පමණ ගත කලෙමි.



“...කොච්චරක් ද ?....” හෙතෙම විමසා සිටියේය.



“...එකක් ඇති...මිතුරා පිළිතුරු දෙයි.

හෙතෙම මා දෙස බලයි. මා පෙරලා සිනාසුනෙමි. මිතුරාගෙන් ලැබුන  1800ක පමණ මුදලද රැගෙන ඔහු ගෙතුලට ගියේය.



“.. යමන්...”

“.. බඩු..”



“.. වරෙන්කො යන්න..” ඔහු ඉදිරියට ඇදෙයි.



“...කුඩු ගහන්නේ කොහොමද....?..”



 පළපුරුදු හැකියාව ඇති අයකුගෙන් මා විමසා බැලීමි.



“... ඊයම් කොලේ තියලා යටින් ගිණි කූර තියනවා. පුංචි දුමක් දෙන්නේ.. ඒක අදිනවා. පුල් නස්තාර් .... නැත්නම් රුපියල් 20 කොලේ ගහනවා.. තව එස්ලෝන් බටෙන් හදා ගත්තු විදියක් තියෙනවා.... කුඩු කිව්වට මහා හුඟක් නැහැ බං ඔය කෑල්ලක උපරිම තියෙන්නේ කන් හැන්දක් වගේ තරම්...











--------------------------



සැන්දෑ වලාවන්ට ගතු කියන රැහැයියන් දෙස බලා එකී කතා අසන්නට ඇත්නම් එය සුන්දර අත්දැකීමක් වනු ඇත. කුඩුකාරයා ද ගංජා කාරයා ද නිර්මාණය වන්නේ කොතැනින් ද යන්න අප නැවත නැවතත් විමසා බැලිය යුතු තැනකි.

උක්ත කී ලෙස, අප සැවොම මේ ලෝකයට පහල වන්නේ සුන්දර අදහස් ඇත්තවුන් ලෙසය. අප සැවොම කුරුළු ගී අසන, සමනලුන් හා දොඩමලු වන යුගයන් පසු කර ජීවිත උදුරා ගන්නා යුගයන් වලට ඇතුළු වන්නෙමු. එසේ වන්නේ මන්ද..?



මා පාසල් යුගයට යමි.







බොහෝ විට පන්තිකාමරය යනු මා හට විමනකි. මා වඩන්නේ සම්මා සතියයි. එයට කිසිදු භාවනා ක්‍රමයක් හෝ කිසිදු අවශ්‍යතාවක් පිරිමැසිය යුතු නොවේ. එයට අවශ්‍ය වන්නේ පුස්තකාලයෙන් ලැබෙන කිසියම් පොතක් පමණි.

මා සතිය වඩන කළ, යාළු මිත්‍රාදීන් තමා හිඳින මේසයට පෑන් තුඩින් තට්ටු දමමින් ද දෑතින් තාල තබමින් ද ගී වැල් මුමුණයි. ඒ අතරම ඇතැමෙක් දමා ගසන හුණු කොට්ටය වදින වාරයන්ද නැතුව නොවේ.



“ පොත විසික් කරලා යමන්කෝ ටොයිලට් එකට...මිතුරෙක්ගේ ඉල්ලීමට මා කතා වෘතාන්තයෙන් අවදි උනෙමි.



කිසිවක් නොකියා, ඔහු පසුපස වැටී පාසල් පොදු වැසිකිලියේ දොරටුව අසලට ඔහු හා ගියෙමු.



“... අපි වැරදි වෙලාවක ආව වගෙයි නේ...කියමින් මා මිතුරා එහි පාසල් සිසුන් හා දොඩමළු වෙයි.



ටොයිලට් බැම්ම මත සුදු පැහැති කොළයක් දිග හැර ඇත. ඒ මත ඇත්තේ දුඹුරු පැහැ කුඩු විශේෂයකි. ඇඟිලි තුඩකට අවශ්‍ය පමණ කුඩු ගෙන රුපියල් දෙකේ කාසියක් මතට දමා එය විදුරු මසත් තොල් පටත් අසල තබා කුඩු මුදා හරි.

දුම් කුඩු ලෙස පොදුවේ හඳුන්වන එකී කුඩු විශේෂය පාසල් ළමුන් අතර අතිශයින් ජනප්‍රියව ඇත්තේ ඒවා සිය නිවසේදීම සදා ගැනීමට හැකි නිසාය.

දුම්කොළ හා හුණු මිශ්‍රකර සදා ගන්නා එකී කුඩු විශේෂය දෙතොල හා දත් අතර තබා ගැනීමෙන් හෝ දිව යට තබා ගැනීමෙන් ඔවුන්ගේ මනස පටු පරමාර්ථයන් සපල කර ගනී.



පාසල් අසල ඇති කුඩා පදික වෙළඳුන් අතින් විකිණෙන මෙම මත් ද්‍රව්‍ය සඳහා ඔවුන් නම්මවා ගන්නේ පාසල් වයසේ දරුවන් වීම විශේෂය. මන්ද ඔවුන් ඉක්මනින් ඇබ්බැහි වීමත්, මිල අධික නොවීමත් නිසා දරුවන් අතර මෙය අතිශය ජනප්‍රිය මත්ද්‍රවයක් බවට පත්ව ඇත.





“.. කවදාවත්ම අරගෙන නැති පොරක් ගාවින් අරක ගන්න එපා..”  එක්තරා මිත්‍රයෙක් මා හා කුළුපගව කියා සිටියේය. ඔහු අරක ලෙස හඳුන්වන්නේ “ .. කන්සා ..” ය. එසේත් නැත්නම් එයට පොදුවේ තරුණයන් අතර “.. ජොයින්ට් එක..” “.. සූස්තිය ..” කියාද හඳුන්වයි.



“.. ඒ මොකද..?..” මා ඔහුව දිරිමත් කලෙමි.



“.. නෑ මචං ! අපේ එකෙක්ට මහා බලු වැඩ වුණා..”

“.. ඒ මොකක්ද..?..” මා දෑස නළලේ හොවාගනිමින් ඔහු දෙස බැලුවෙමි.



“.. මූ කෑල්ලක් ගේන්න ගියා.. කෑලි 12ක් ගත්තා. 1200 යි නේ.. මු සල්ලි එහෙමත් දීලා ඇවිදින්..”

“.. එච්චර මොකටද බං..” මා වික්ෂිප්තව වුයෙමි.



“.. එදා මළගෙයක් බං.. දන්නේ නැත්ද..? බොන්න සල්ලිත් නැහැ.. දවස් ගානටම සෙට් වෙන්න ගෙනාව.. නැතත් ආයේ යන්න එන්න ඕනේ නැහැ නේ.. එක පාර බැස්සුවා ම තියාගෙන ගහන්න පුළුවන්..”

“.. ඉතිං මොකද වුණේ..?..”



“.. පස්සේ මූ ඩයල් එකෙන් අරගෙන අතේ තියාගෙන ඇවිදින්.. ආපුවම මගදී ජීප් එක සෙට් වෙලා.. මු නවත්තලා..”

“.. ඊට පස්සේ..?.. මු විසික්කලා නැත්ද..?..”



“.. මු එතැන විසික්කලා.. හැබැයි ඒක මාට්ටු..”

“.. ඒ කොහොමද..?..”



“.. විකුනපු එකාම කියලා තියෙන්නේ පොලිස්සියට..”

“.. මොකක් ..?..”



“.. ඔව් බං.. එහෙම බලු වැඩ කරනවා ගොඩක් එවුන්.. පොලිස්සියට යටින් ගාන යනවා. බෝතල් පාටි දෙනවා. හැබැයි පොලිස්සියට නඩු ඕනේ.. නඩු කවර් කරන්නේ විකුණන උන්ගෙන්.. උන්ව අල්ලලා දෙනවා විකුණන එකා.. එහෙමයි සිද්ධිය යන්නේ..”



සිහිය වඩන්නට බැරි අයවලුන් මත් බව පතයි. මතින් තොරව හෙටක් ගැන සිතන්නට ඔවුන්ට නොහැකිය. එසේ වන්නේ ඇබ්බැහිවීම නම් රෝගය නිසා වග මා පෞද්ගලිකව අදහන දෙයකි. කිරි රසයට වහ වැටුණ අයෙක්, කිරි කන දුටු විට කිරි කන්නට ආසා කරයි. එමෙන්ම ඇඹුල් රස කා බැලු කෙනෙක් ඇඹුල් කනවා දුටු විට කෙල ගිලිමින් එහි රසය ගැන සිතයි. එසේ වන්නේ අප මනසට අමතක කල නොහැකි තෘප්තියක් විඳ තිබෙන නිසාය.



කළු පැහැති සියල්ල තුල ඇත්තේ කළු පැහැය නොවේ. කළු පැහැය නොයෙක් වර්ණ වල අඩු ලුහුඩුකම් පෙන්වයි. එය එසේ වන්නා සේ මිනිසුන් අතරද කළු මිනිසුන් ඇත. ඔවුන් කළු වන්නේ එක පරිච්ඡේදයක් තුල පමණි. ඔවුන්ගේ ජීවිතයේ කතා වෘතාන්ත අතර සෑම පිටුවක්ම කළු නොවේ.

ඔවුන් කළු හෝ සුදු මිනිසුන්  වන්නේ දරුවෙක්ව ඉපිද ලෝකයට දායාද වන පරිච්ඡේදය තුල සිදුවන සමාජ වෙනස්කම් මතය.



කවුරුන් කෙසේ කීවද මෙය කළු සුදු ලෝකයකි. මා සොයන්නේ කළු පැහැයේ උපත කෙසේ ඇතිවූවාද යන්න පමණකි.



මා නුඹලාට ජීවිතයේ අවදි තුනක් පෙන්වා අවසන් ය. අපාය යනු සුළු පටු තැනක් නොවේ. එහි ලෝදිය කටු ඉඹුල් පමණක් නොව කඩු කිනිසි වලින් ඉරා දමන දඬුවම් ද තිබේ. නුඹලාව රැගෙන ගියේ එහි අංගන තුනකට පමණි. මෙතැන් පටන් නුඹලා දකින්නේ, සමස්ථ අපායම වග කියන්නට අමතක නොකරමි.



ලෝකය තැනුවේ කවුරුන්ද අසන්නට අකැපය. ලෝකයේ වසන්නේ අපය. අප සොයා යන ඉසව් විවිධය. එසේ යන ගමනේ දී නානාවිධි මිනිසුන් අපට මුණගැසේ.. සමස්ත සමාජයෙන් ඔවුන් ගිලගෙන සිටියි. ඔවුන්ට ඇත්තේ ඔවුන්ගේම විනය රාමුවක් පමණි. හුදකලාව ඔවුන්ගේ භුක්තියයි. අප ඔවුන් සොයා යමු.





++++ මතු සම්බන්ධයි. !
Share on Google Plus

About සමීර සඳරුවන්

37 අදහස්:

  1. නොදැනුවත්කම වගේම ඉන්න සමා‍ජෙ අනුවත් ඕවට පුරුදුවෙන කට්ටිය තමයි ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත, සමාජ පද්ධතිය සෘජුව වගකියන්න ඕනේ

      Delete
  2. කාලෙකින් වුවත් අගනා සටහනක් මලයා... මේ උවදුරින් කාලෙක අපිත් බැට කෑවා ඔබේ කතාවේ මුල් කොටසේ විදියටම.

    ReplyDelete
    Replies
    1. නලීන් අයියේ :O මොනවා... !

      බොහොම ස්තුතියි නලීන් අයියේ.. දිරි ගැන්වීම වටිනවා

      Delete
  3. වටිනවා අනේ මේ වගේ දේවල් ගැන කතා කරන එක.

    ReplyDelete
    Replies
    1. හැගීම් ගැන ලියන්න ගියාම එපා වෙනවා.. ඒකයි Exploration Articles ලියන්න මම කැමති :D තැන්කු අනේ

      Delete
  4. අගනා සටහනක් ,නමුත් මචෝ කුඩු කියන දේත් තහනම් වන්නේ පුංචි මිනිහාට පමණි.

    ReplyDelete
    Replies
    1. පුංචි මිනියට අහිරෙන්නේ නැති දෙයක් නැහැ අයියේ.. ඒක තමයි ලෝක සම්මුතිය. එය වෙනස් කල නොහැකියි. අපිත් ලොකු මිනිස්සු වෙනවා මිසක්. වෙනස් කරන්න හදුවොත්...?

      Delete
  5. අද දවසේ මම හුඟක් ම උන්නදුවෙන් කියවපු ලිපිය මේක, බෙන්. මමත් හුඟක් ආසාවෙන් හිටියා "කුඩු" ගැන දැන ගන්න. ඒ ගැන හොඳ ලිපියක් ලියන්න. ඒත් ගෑනු ළමයෙක් නිසා ඒ අවස්ථාව මට ලැබුණේ නැහැ. කොහෙන් කියලා විස්තර හොයන්න ද?

    අනන්තවත් කුඩුකාරයෝ දැකලා තියෙනවා. ඉස්සර අපේ ටියුෂන් ගිය පන්තියක් ළඟ කුඩුකා‍රයෝ සහ ගණිකාවෝ හිටපු ගුබ්බෑයමක් තිබුණා. ඒ නිසා ඒ වගේ මිනිස්සු ඇති වෙන්න දැකලා තිබුණා. ඒත් දැකීමෙන් මේ වගේ දෙයක් අවබෝධ කර ගන්න අමාරු යි. දිගට ම ලියන්න. හැබැයි වැරදිලාවත් වරදට යොමු වෙන්න එපා. ඒක හොඳට මතක තියා ගනිං.

    ReplyDelete
    Replies
    1. o.O කුඩු ගැන මොකට දැන ගන්නවද ? මෙලෝ රසක් නැති විෂයක්.. අල්ලා ගත්තොත් ගැහුවද නැත්ද හොයන්නේ නැහැ බිස්නස් කරනවා කියලා නඩු දායි....
      :/

      තැන්කු අක්කේ, ඊළඟ වෑයම ගණිකාවක් සොයා යෑම :D
      කුඩු ගහන අදහසක් නැහැ අක්කේ. :)

      Delete
  6. //එපා මචං... කවදාවත්ම එපා... මේක එක දවසක් ගැහුවොත් දෙවැනි දවසෙත් ගහනවා උඹ..//

    පලවෙනි දවසෙම එහෙම සික් එකක් හැදෙන්නේ නෑ බං , පළවෙනි දවසෙනං ඇති ආතල් එකක් නෑ ,

    කට පුරෝල තිත්තයි, ගිය මාසේ කාපුවත් වමනේ යනවා . කන්ඩ බොන්ඩ ඕන කියලා දෙයක් හිතෙන්නේ නැ . සිකරට් නං කොච්චර හරි බොයි . පාට පාට සිහින ලෝක පේනවා කියන කතන්දර බයිලා . වෙන එකම දේ ඉන්න සීන් එකේ අපි ඉන්නවා නැ වගේ ( ඒ හැගිම විස්තර කරන්න බැ ) ඒක ආතල් කියුවට හෙන අමාරුයි . දවසකටත් වඩා ඔය තත්වය තියනවා . හිතාගනින්කෝ අම්බානට අරක්කු බීපු දවසට පහුවදා මොකවත් කර කියාගන්ඩ බැරුව භූත වෙලා ඉන්නේ අන්න ඒ වාගේ .

    එහෙම ඉන්න එකේ මොන ආතල් එකක්ද

    මට ඔය අත්දැකිම ලැබෙන කාලේ බ්‍රවුන් ෂුගර් පැකට් එකක් 150යි , දැන්නං දාහත් පැනලා මගේ හිතේ , මේක මම ලියුවේ කවුරුහරි ගහලා බලන්ඩ ඉන්නවානං , ඒහෙම කෙනෙකුට එපා කියන්ඩ , , සමවයස් මිතුරන් සහ වැඩිහිටි මිතුරන් අතරේ ඉන්නවා ඔව්වාට දක්කන පොරවල් , ඔවුන්ව හරියට තේරුම් ගෙන අදුනාගැනීම තමා කරන්න ඕන ,

    නැති වෙන මාර්ගයට ඇතුල්වෙන අතුරු පාර තමයි සිගරැට් , ඒක තමයි මිනිස්සු වැඩියෙන්ම ඇබ්බැහි වෙන සහ අත අරින්න අමාරුම එක

    අරක්කු සහ සිගරැට් උත්තේජක ( මනස උත්තේජනය කරනවා )

    ගංජා සහ අනිත් සබ්බ සකල මනාවම ( 100% කෘතිම සමහරක් මත් ද්‍රවය්‍ය හැර ) මනස අවතේජනය කරනවා

    ඒක තමා අපි ආතල් එකක් විදිහට දකින්නේ

    දැන් හැදෙන කොල්ලෝ ඉන්නවා කවුරුවත් හිතන්නේ නැති දේවල් පාවිච්චි කරනවා මත් වෙන්න , ඒ මොනවද කියලා මම මෙතන කියන්නේ නැ , ඒ ගොඩක් දේවල් දැන් වලක්වන්ඩ සමහරක් ක්‍රීයා මාර්ග අරගන තියනවා වගකිව යුත්තෝ එක්තරා ප්‍රමානයකට ,

    ඒක හන්දම දැන් ලංකාවේ කොල්ලෝ

    දුංකල හීණියට ................එපා ඒකත් මම කියන් නැ ,

    ඔව්වා බොන්ඩ , කන්ඩ , උරන්ඩ , සූප්පන්ඩ එපා බොලවු

    ඔව්වා කොරලා කෙලවගන ගොඩ යන්ඩ දගලන ගමං මේ කියන්නේ

    ReplyDelete
    Replies
    1. වැදගත් කමෙන්ට් එකක්. ගරු කරනවා අදහසට..

      ඔයා කියපු මත් බව හැම එකක් වාගෙමම මමත් දැකලා තියෙනවා.
      මම ඉගන ගන්නෙත් රජයේ යැයි කියන ප්‍රධාන පෙලේ පාසලක :p
      ඔය දේ ඒ පාසල ඇතුලෙත් වෙනවා.
      මටත් ඔයා කියපු එක දෙයක අත්දැකීමක් ලැබුනා. හැබැයි කුඩු නෙමෙයි..
      මගේ ජීවිතේටවත් ආයේ ඒ දේ ළං කර නොගන්න හිතුවා. ඒ ගැන මගේ ශරීරයේ දරා නොගනින්මේ හැකියාවට මම අද අනෙක වාරයක් ස්තුති කරනවා. @-)

      Delete
  7. මේ මාර උවදුර ගැන බොහෝ අත්දැකීම් තියෙනවා..විනාශයක්.

    ReplyDelete
    Replies
    1. 8-) නට් බුරුල් වෙන්න ගහපු එව්වා ද ? නැත්නම් අහල පහල සිද්ධි ද ?

      Delete
  8. නියමයි මචං.. කතාව ගලපලා අපූරුවටම.. සමාජයේ ඉතින් මෙහෙම දේවල් වෙනවා වගේම මෙහෙම මිනිස්සු ඉන්නවා.. කුඩු කියන්නේ ඉතින් ජීවිතයක විනාසයේ මුල තමයි..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සහෝදරයා. කුඩු කියන්නේ විනාශක්... මොන තිරිසනා හොයා ගත්තාද මන්දා.. :-?

      Delete
  9. අගය කරනවා ලිපිය ගොඩක්...
    පාස්ල් යන සිසුවෙක් විදිහට ඔයා ලියලා තියෙන්නේ අගනා ලිපියක් මල්ලී..
    පුළුවන්නම් පාසලේදී මේ ගැන කතා කරන්න උදේ රැස්වීමෙදී වගේ..කරුණු කාරණා ඇතුව.හුඟක් වටීවි.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි අක්කේ....
      :)
      අනේ අක්කේ, මුන් මම කතා කරන දවසට ඉස්කෝලේ එන්නේ නැහැ. මුන්ට හිටගෙන ඉන්න අමාරුයි කියලා :/ ඉතිං කොහොමද මෙව්වා කියන්නේ..

      Delete
  10. උඹ පළවෙනි දවසෙ ගහල බැලුවනං කියන්න තිබ්බා,නමුත් දන්න හැම එකාම කියන්නෙ දෙවෙනි දවසෙත් ගහනව කියලයි.
    හැබැයි මට විශ්වාසයක් තියෙනව දෙවෙනි දවසෙ නොබී ඉන්න පුළුවන් වෙයි කියල.

    ReplyDelete
    Replies
    1. ;-( ගහපු දාසක කියන්නම්.. අනිවා මොලේ තියන එකෙක් ගහන්නෙත් නැහැ. මොලේ තියන එකෙක්ට ඇබ්බැහි වීම ලිමිට් කරගන්නත් පුළුවන්

      Delete
  11. අඩෙ අප්ප අටම උබ

    ReplyDelete
    Replies
    1. අටම හොඳට නට් බුරුල් වෙන්න ගාපු එකෙක් වගේ නෙහ් :D

      Delete
  12. අද හවස ඉඳන් කියවන පෝස්ට් වලින් වැදගත්ම එක තමයි මේක සඳරු. ලැප ගැන දුකයි. වෙදෙක් හමුවුනේ නැත්ද? මයාගෙ පුංචි වයසට සමාජය දැනුවත් කරන්න මේ ලියන ලිපි මාර වටිනව මල්ලි.

    ReplyDelete
    Replies
    1. තැන්කු අක්කා.. සයිබර් බීච් පාර්ටි එකට එනවා නේද ? දකින්න ආසාවෙන් ඉන්නෝ...
      ලැපට වෙදාළ ඉන්නව ඒත් කෝ කාසි. :(
      වයස පුංචි උනාට මම හදවතින් කෑ ගහන හූ කියන ලොකු මිනිහෙක් අක්කේ.

      Delete
  13. බෙනා පරිස්සමෙන් බන්. මට බයයි යකෝ උඹ ගැන වෙලාවකට

    ReplyDelete
    Replies
    1. x-) යකූ රට්ටු හිනස්සන කතා කියන්න එපා

      Delete
  14. මනස පාලනය කරගන්න පුළුවන්නම් අපිට කුඩුවලින් විතරක් නෙමෙයි බොහෝ දේවලින් මිදෙන්න පුළුවන්.වැදගත් ලිපියක් බෙන්...

    ReplyDelete
    Replies
    1. (f) ඒක ඇත්ත, මොළ කුහරය ඇතුලින් කියන දේ කරනවා මිසක් වෙන යම් දෙයක් කරන්නේ නැහැ නේ.. මිනිහා නිකන් විහිළුවක් වගේ වෙලාවකට මට

      Delete
  15. කෝ කට ඇරපන් කාසියක්වත් දාන්න :3

    ReplyDelete
  16. ඔයා හොද සමාජ විශ්ලේශකයෙක්... ඔහොම අයට අද සම්මජෙන් එන ප්‍රශ්න වලට මුහුන දෙන්නත් ක්‍රමයක් හොයා ගන්න වෙනව.. ඒ වගේම ඔයා ලියන දෙයින් අත්දැකීමක් අරගෙන එතනින් ඉවත් වීමත් කලයුතු වෙනවා.. ඒ ඒක අත්විදීමක් තරමට හුරුපුරුදු වෙන්න කලින්... කොහොම උනත් ඔයා හොද සමාජ ශෝධකයෙක්... සුබ පැතුම්.. !!

    ReplyDelete
    Replies
    1. :o හෑ දනුවෝ... කමෙන්ට් එක (o)
      ශෝධකයා කියන්න එපා බොල ලැජ්ජයි :-b

      Delete
  17. කියලා වැඩක් නෑ...... උබ අත්දැකිමනම් ගන්න එපා..... [-(

    ReplyDelete
  18. කියලා වැඩක් නෑ...... උබ අත්දැකිමනම් ගන්න එපා..... [-(

    ReplyDelete
    Replies
    1. එහෙම හිතලවත් නැහැ මල්ලියෝ

      Delete
  19. Replies
    1. තැන්ක්ස් ඇනෝ.. දිගටම එන්ට

      Delete

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..