ඈ මවක් - she is a mother






 


ආදරේ කරන කාලේ මිනිස්සු හිතනවා ඉක්මනට බැන්දොත් හොඳයි කියලා.. බැඳපුවාම හිතන්නේ, දරුවෙක් මල්ලෙක් උන්නා නම් හොඳයි කියලා. මේ ගෙදර දොරේ තියන පාළුව යාවී කියලා. ඔය හේතුව නිසා ඔය බලාපොරොත්තු නිසා තමන්ගේ පරම්පරාවට උරුමක්කාරයෙක් ඕනෑකම නිසා මේ සමාජේ වඳ ගෑණු, වඳ මිනිස්සු විදියට ලේබල් ඇලවුන පුදගලයොත් නැතුව නෙමෙයි. ඔය දරුවෝ නැතිකම නිසා පවුල් හිටන් කඩා කප්පල් උන සීන් මේ ගමේ ගොඩේ තියෙනවා නොවෑ. ගමේ ගොඩේ විතරක් යෑ කොළඹ 7ත් ඔය වගේ සීන් එමට තියනවා. වැඩි එළියක් නැත්තේ ඒ ශිෂ්ටාචාරය දුවන්නේ ඒ මත නිසා නෙව.


කාලයේ අවෑමෙන් දෙන්නා දෙමහල්ලෝ කසාද බැඳලා දරුවෙක් මල්ලෙක් ඕනේ. කසාද බැන්දා  කියන්නේ වගකීම් ගොඩක් නේ. ගැහැණියක් ගේ පැත්තෙන් කතා කලොත් තමන්ගේ සහකාරය ගැන හිතන්න ඕනේ. ගෙදර මිනිස්සු ගැන හිතන්න ඕනේ. ඒ අස්සේ දරුවෝ ගැන හිතන්න ඕනේ. අනිත් මිනිස්සු කෑවා ද බීවා ද ඔය ඔක්කොම බලන්න ඕනේ. අපි සුළුවට පිරිමි විදියට ගෑණු මනුස්සයට තියෙන්නේ ගෙදර උයන එකයි, දරුවෝ හදන එකයි උන්ට කවන පොවන එකයි කියලා හිතුවාට ඊට වඩා ලොකු වගකීමක් එයාල දරනවා.
පවුලක් උනාම “සාජන් ගේ නාට්‍ය” වගේ පිටට රැඟුවාට එලියට රඟපාන්න බෑ නෙව. ඇත්තටම ස්ටොරිය ගේ කාමරේ ඇතුලේ තමයි රඟන්න වෙන්නේ. කියන්න හැදුවේ මේ දේවල් ගැන නෙමෙයි. 

මගේ අක්කට බබෙක් ලැබෙන්න උන්නා. මම අම්ම කෙනෙක් විඳින දුක දැක්කේ මේ සිද්ධියෙන් තමයි. (නැතුව අක්ක ගැන පුරාජේරුවක් එහෙම නොවේ ඈ ) බබා ලැබෙන්න සති දෙකකට විතර පස්සේ තිබිලා මෙයා ඇක්සිඩන්ට් උණා. හේතුව මේකයි, කැම්පස් අවුට් උන ඩිග්‍රී කාරයන්ට ලැබුන රස්සා මේ ලඟදි තමයි ස්ථීර කලේ. රස්සව ලැබුනෙත් ඩිග්‍රී එක අරගෙන අවුරුදු 4කින් විතර මයේ හිතේ. මස්සිනා කාරයා අක්කට ජොබට යන්න වාහනයක් එහෙමත් අරගෙන දුන්නා. අක්කා හවස වැඩ ඇරිලා එනකොට ඕක තමයි ඇක්සිඩන්ට් උනේ. 

අපි හිතුවෙවත් නැති වෙලාවක ඒ වගේ දෙයක් උනාම ළඟ ඉන්න මිනිස්සු විතරක් නෙමෙයි, පවුලේ මිනිස්සුත් අසරණ වෙනවා. ඒ වෙලාවට පවුලේ ගැහැණු අයගේ පුරුද්ද අඬන එක නොවෑ. වෙලාවකට නම් හිතෙනවා අඬලා දොඩලා උන දේ වහගන්න පුළුවන් ද කියලා. මම අක්කට ආදරේට වඩා ගොඩක් ගරු කරනවා ගැහැනියක් විදියට. ගැහැණිය කියන්නේ කවුද කියලා අඳුර ගත්තේ අක්කා නිසා. අක්ක කියන චරිතේ ඇතුලේ මහා විශාල ගතිගුණ ගොඩක්, ලොකු පෞර්ෂයක් තියෙනවා. මගේ අක්ක ලස්සනයි කියන්න මගේ කට නොඇරුනොත් පුදුමයක් ඒක. ඒ තරමට මම ඕනේ තැනක අක්කව වර්ණනා කරන්නේ, එයා හැදුනේ ආදරේ මැද නිසා වෙන්න ඇති. මේ ලෝකේ ලබාගන්න තියෙන හැමදේම එයාට ලැබෙන්න ඇති. එක දෙයක් හැර.  ඒ දේ කතා කරන්න මම කැමති නෑ. 

ඉතිං මගේ අක්කා ඇක්සිඩන්ට් උන වෙලාවේ, ගෙදර අයම හිටියේ අඬන්න බලාගෙන. දෙවියන්ගේ පිහිටෙන් හෝ දෛවයේ ලියවිල්ලේ තිබුන විදියට දරුවට කිසිම කරදරයක් උනේ නැහැ. හැබැයි අක්කට ඇවිදින්න බැරි තරමට කකුල් දෙක ඩැමේජ් උණා. තුවාල තිබුණා කකුල් වල. පස්සේ අක්කා ගෙදර එක්කං ආව. බබෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක්ට ඒ වගේ දෙයක් උනාම දැනෙන හැගීම්, දැනෙන වේදනාව පිරිමි උන අපිට දැනෙන්නේ නෑ. මොකද අපි ඒ වගේ බඩක් උස්සගෙන ඉන්න වරම් නොලඳ නිසා. 

පසුගිය සතියේ දවසක අක්කා ආයේ හොස්පිටල් ඇඩ්මිඩ් කලේ පුංචි පුතාට එලියට එන්න මේ ලෝකේ දකින්න කාලේ හරි නිසා. ඒ උනාට අක්කට කිසිම අමාරුවක් දැනුනේ නෑ. නමුත් ඇඩ්මිඩ් කරලා දවස් දෙකකින් දරුවා වැඩිලා නිසා නොර්මල් ලැබෙන්න  අමාරුයි කියන හේතුව මත සැත්කම් ක්‍රමය නැත්නම් “සීසර්” කියන ක්‍රමය යටතේ දරුවා ලැබුණා. ඒ වෙනකොටත් කකුල් දෙකේ තුවාල තිබුණා. 

හොස්පිටල් එකට බබා ලැබිලා ගෙදරම අය ගියත් චූටි මාම විදියට මට යන්න බැරි උනේ වරකට දෙන්නෙක් විතරක් යන්න ඕනේ කියලා නීතියක් නිර්මාණය වුන නිසා. එහෙම කියලා බෑ නෙව. මගේ අක්කගේ පුත්‍ර රත්නය දකින්න මමත් ගොඩක් ආසාවෙන් උන්නේ. 

ආසාව වැඩි කමට ඊයේ මම අක්කා බලන්න ගියා. හොස්පිටල් එකේ වාට්ටුවේ පුංචි කිරි කැටියෝ පිරිලා. මට මේ කතාව ලස්සනට ලියන්න පුළුවන් සිංහල භාෂාවේ ආටෝප දාල, ඒ උනාට මට ඇත්ත ලියන්න ඕනේ.
ඇත්තටම ඔය මිනිස්සු කියන මවක් වීම සුන්දර අත්දැකීමක් කියන එක මට දැනුනේ නෑ. අනන්තාපරිපන්න දුක් විඳින අම්මලා මම දැක්කා මගේ දෑස් දෙකට. කිරි සුවඳ අස්සේ මට දැනුනේ බෙහෙත් සුවඳ අස්සේ ඒ අම්මලා විඳින දුක. සැත්කම් වාට්ටුවේ ඉන්න හැම අම්මා කෙනෙක්ගෙම මුහුණේ තිබ්බේ වේදනාව මිසක්, වෙන දෙයක් නෙමෙයි. 

මගේ අක්කා දකින්න මම ඇස් එහාට මෙහාට යවද්දී එයා උන්නේ නැහැ. හැබැයි පුංචි පුතා උන්නා. කිරි කැටියෝ මම ඒ වෙනකම් දැකලා උන්නේ නෑ. කට උලක් වගේ හදාගෙන අඬන්න දඟලන හැටි දකිද්දී දැනෙන හැගීම් නම් විස්තර කරන්න වචන නෑ. අඬන්න හේතුව අහනකොට කිව්වේ පොඩි එකාට කිරි මදි ලු.
අක්කා කෝ කියන සිතුවිල්ල එලියට එද්දී එයා වොෂ් රූම් එකේ නානවා  කියලා කවුදෝ කෙනෙක් කිව්වා. වොෂ් රූම් එක දිහාට යද්දී නාන්නේ වතුර නෙමෙයි කඳුළු දිය කියලා කියද්දී දැනුන දුකනම් කියාගන්න බැරි තරම්. සීසර් කරලා බඩට ගහන ප්ලාස්ටර් එක ගැලෙව්වේ එදා ලු, සීසර් කරන්න විදින බෙහෙත් එක නිසා දරාගන්න බැරි තරමට කොන්ද රිදෙනවා ලු. ඒ මූණේ ලොකු අසරණකමක් ලියවිලා තිබ්බා. ජීවත් වෙන්නේ දරුවා නිසා මිසක වෙන යම් දෙයකට එයා ඒ අවස්ථාවේ ආදරේ නොකරන බවනම් මම හොඳට දැනගෙන උන්නා. 
 
අපිට වචන වලින්, හැගීම් වලින් ඒ දුක බෙදා ගන්න බැරි තරම්. කවදාවත් ඒ වගේ දුකක් පිරිමි අපිට නොදෙනේවී. ඒ අතින් අපි වාසනාවන්තයි කියලා කියන්න පුළුවන්. හැබැයි අපි වගේ වාසනාවන්තයෝ කියන පිරිසක් මේ ලොවට බිහි උනේ තවත් කෙනෙක්ට දුකක් දීලා නේද දැනෙද්දී හිතට දැනෙන දුක මටනම් දරාගන්න බෑ. 

මාව දැකපු හැටියේ අක්කගේ වචන වලින් පිට උණේ... 

“ සමීර , අම්මෝ මට කසාද ජීවිතේ එපා උණා.” කියලා. මස්සිනා මං දිහා බලලා අහිංසකව හිනාවෙද්දි ඒ මනුස්සයාගේ හැගීම් මොන තරම් ද කියලා යාන්තමට තේරුනා අක්කගේ බ්‍රේක් නැති කට ගැන. මමත් කොල්ලෙක් නේ. ජීවිතේ ගොඩක් දුක් විඳපු මිනිස්සු සැප විඳිනවා කියලා කතාවක් කොහේ හරි අහලා තිබුනත් ඒ කතාවත් අනේ බොරුවක් නේද කියලා හිතෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ. 

පුංචි එකා තන පුඩුවට කට තියලා කිරි බොන්න දඟලන හැටි දකිද්දී හරිම වස කාරයෙක් කියලා හිතෙනවා. ගැහැනියක් උනාම ලොකු දුකක් දරාගන්න වරම් ලබලද හිතෙනවා දෙවියන්ගෙන්. ඒත් පුංචි දෙයටත් අඬන කෙල්ලෝ දකිද්දී හිතෙනවා මේ ලෝකේ මුන් කරන්නේ හොටු පෙරන එක විතරක් නේද කියලා. ඒ වෙලාවට මල පැනලා තැන නොතැන නොදැක නොදැන බැනපු කාලේ අදින් ඉවරයි කියන හැගීම ඉස්මතු වෙලා ආවේ හිතේ සීරුවට. 

මමත් කවදාහරි ගැහැනියක් එක්ක ජීවිතේ පටන් ගනීවි, මගේ පරම්පරාව ගෙනියන්න පුංචි එකෙක් ඕනේ වෙයි නේද එදාට මම ආදරේ කරපු ගැහැණියකට මම ඒ දෙන්නේ මහා මෙරකට වඩා ලොකු බරක් නේද කියලා දැනෙද්දී හිතේ කකියන හැගීම් ඔහේ ගලාගෙන යන්නේ තව උඹට ඔව්ව ගැන හිතන්න කල් තියෙනවා නේද කියලා. 

කසාද බැඳපු මිනිහට නර්ස් නෝනා, දරුවා ගෙනත් දෙනකොට මේ මගේ ලෙය, මේ මගේ දරුවා මේ මගේම ජීවිතේ කොටසක් කියලා දැනෙනවා ඇති. ඒත් ඊට වඩා දේවල් හිතන්න එතැන තියෙනවා කියලා අද මම මිනිස්සුන්ට මතක් කරනවා. ඒ දරුවා ලැබෙන්න අම්මා කෙනෙක් මොන තරම් දුක් විඳිනවා ද ? 

මගේ අම්මා උනත් මාව ලැබෙන්න කොච්චර දුක් විඳින්න ඇති ද ? කොහොම කිව්වත්, මමත් මගේ අම්මගෙන් ඇහුවා “ අම්මේ මම ඉපදෙන කොට දැනුනේ කොහොමද “ කියලා.
උඹ ඉපදෙනකොට උඹෙන් වදයක් තිබ්බේ නෑ. උඹට කිරි තිබ්බෙත් නෑ. උඹට ඉස්පිරිතාලේ ඉද්දි දුන්නේ ග්ලුකෝස් දිය කරලා. ගෙදර ආවට පස්සේ තමයි කිරි එරුණේ.

මං යාන්තමට හිනා උනේ ආඩම්බරකමින්. ඒ ඇයි කියලා දන්නෝ දනිති නෙව. මිනිස්සු කියාවි, ගැහැණියකට දරුවන් ලැබුනාම කිරි එරෙන්නේ නැත්තේ ඒ ගෑණිට ළමයි ගැන ආදරයක් නැහැ ඒ නිසා කියලා. එහෙම කියන මිනිස්සු ගැන ඉන්නවා නම් මම ආසයි මූණ බලන්න. මොකද මම මිනිස් තිරිසන්නු වැඩිය ඇහැට නොදැකපු මිනිහෙක් නිසා. 
 
ගැහැණියකගේ පියයුරු වල සිදුවන රසායනික ප්‍රතික්‍රියාවක් හේතුවෙන් ඒ දේ රතු ලෙය සුදු පැහැයට එහෙම නැත්නම් දරුවාගේ පෝෂණ අවශ්‍යතාවට සුදුසු පරිදි හැරෙනවා. මුළු ඇඟම පණ නැති කරලා බඩ කපලා ගන්න දරුවට කිරි නොලැබෙන එක සාදාරනයි. මොකද ඒ ළමයා බිහි උනාද කියලවත් ශරීරය දන්නේ නැති නිසා.

_          _          _          _          _          _          _          _          _          _          _          _          _

මවක් වීම පිරිමියාට කිසි සේත් සිදු නොකළ හැක්කක්. එය ජීව විද්‍යාත්මකව ඔප්පු කල හැකියි. එය සමජ විද්‍යාත්මකව පවා පිළිගත නොහැක්කක් බව සිතන කල වැටහේ. 

නව මසක් කුස දරා, දහසකුත් පීඩා මැද දරුවෙක් මෙලොව දකිනා තුරු දුක් විඳින මවක් මේ ලොව ලැබිය යුතු උසස්ම ගෞරවය ලැබිය යුතුයැයි මගේ හැගීම වේ. දෙනෙත් වලින් ගලන තරමක් කඳුළු ගලන්නේ දරුවන් නිසාවෙනි. දරුවෙක්ගේ උපතේ සිට දරුවා මිය යන තුරු මවගේ හිතේ දරුවා ගැන ලියවී. 

දරුවාගේ උපතේ සිට දරුවා මිය යන දිනය දක්වා පියවරයෙක් දරුවා ගැන වෙහෙසේ.  දරුවන් මහ මග කුනුබක්කි වල සැතපෙන යුගයක, දරුවන් අනාථ මඩම් වල ජීවත් වෙන යුගයක දරුවන් වෙනුවෙන් දුක් විඳින දෙමාපිය පිරිසක් සිරිලක් මවගේ තුරුලේ සිටීම ගැන ආඩම්බරයට කරුණකි. 

යම් කෙනෙක්, මවගෙන් සිදුවිය යුතු සේවය, පියාගෙන් ඉටු  විය යුතු සේවය යුතුකම් වගකීම් කොටසට ලේබල් කර බැහැර කරන්නේ නම් එය තරම් පව්කාර කමක් තුන් ලොව නොමැත. මක් නිසාදයත්, “මොන ගායටද එයාල දරුවෝ ගැන තැවෙන්නේ” හුදෙක් සෙනෙහස යන හැගීම නිසාම නොවේද ? 

ආදරයට වහලෙක් වී, ගෙපලෙන් දුවන කුරුළු කිරිල්ලියන්හට ඉගිලීමට වරම් නොමැත. ඔවුන් හට ඉගිලෙන්නට වරම් දෙන්නේ මව හෝ පියාගේ දෑතින් ය. කාමය උඩු දිවූ පමණින්, පවුල් ගැන හිතන රෑ තනි යහනේ SMS මත කෙලසෙන තරුණ තරුණියන් මේ රටේ බොහෝ ඇති බව කියන්නේ දුකිනි.
කෙළසීම නොව කෙලසාගැනීම ඔවුන් අතර දැකිය හැකිය. සීනි බෝල ෆැන්ටසි ආදර කතාවලට වඩා ආදර වීරයන්, මව හෝ පියාට සම කල හැකි පුද්ගලයෙක් මේ තුන් ලොව ඇත්නම්, මා ගෙල සිර මිය යන්නේ ඉතා කැමැත්තෙනි. 

මේ ලොව කෙල්ලෙක් ඇත්ද මේ ලොව ගැහැනියක් ඇත්ද ඒ ගැහැණිය පිරිමියෙක්ට සෙනෙහස දක්වයි ද ?
ඒ සෙනෙහස කිසිදා මවගේ සෙනෙහස ගුණයට සමාන නැත. එය කිසිදා පියාගේ සෙනහසට සමාන නැත.
මේ ලොව කොල්ලෙක් ඇත්ද ? මේ ලොව පිරිමියෙක් ඇත්ද , ඒ පිරිමියා ගැහැනියෙක්ට සෙනෙහස දක්වයි ද ?
ඒ සෙනෙහස කිසිදා පියාගේ සෙනෙහසට සමාන නැත. එය කිසිදා මවගේ සෙනෙහසට සමාන නැත.
නිගමනය නම් මෙයම වේ.... ලෝ වසන කිසිදු පිරිමි සත්වයෙක් වේද ? කිසිදු ගැහැණු සත්වයෙක් වේද? ඔවුන් ආදරේ කරයි ද ? ඔවුන් වේදනා විඳි ද ? දුක් විඳි ද ?
ඒ කිසිදු දෙයක් මවට හෝ පියා යන පදවි දෙකට සමාන නැත.


Share on Google Plus

About සමීර සඳරුවන්

23 අදහස්:

  1. උඹ අවංකවම සිතුවිලි අකුරු කරල තියෙන බව තමයි පෙනෙන්නෙ...
    ඔය විදියටම මමත් වේදනාවක් වින්දා බිරිඳට දරුවා ලැබෙන්න තිබුණු අමාරුව දැකපුවම

    ReplyDelete
  2. ඇත්ත කතාව. මමත් අහලා තියෙනවා ගොඩක් අක්කලා බබා ලැබෙන්න අමාරු වුනාම තමන්ගෙ අම්මව මතක් වෙලා අඬනවලු. තමන්ව මේ ලෝකෙට බිහි කරන්න තමන්ගෙ අම්ම විඳපු දුක අත්දැකීමෙන් දැනගන්න ඒ වෙලාවට ගොඩක් අය අඬ අඬා අම්මට අඬගහනවාලු.

    ReplyDelete
  3. අකුරක් නෑර ඇත්ත වුණ හුඟක් සංවේදී සටහනක්. කියවලා ඉවර වෙනකොට ඉබේ ම ඇස්වලට කඳුළු ආවා.

    ReplyDelete
  4. කවදාවත් දෙන්න එපා දුකක් නම් අම්ම කෙනෙක්ට .. ජීවිතේ තියෙනකම්, කවදාහරි මැරෙනකම්. ..

    ReplyDelete
  5. ඇත්තටම මටත් මේ මාතෘත්වයේ නියම හැඟිම දැනුනේ ලොකු දුව ඉපදුන දවසේ දුටු දේවල් හා අද්දැකීම් එක්කයි.. මේක මලයා හෘදයංගම සටහනක්.

    ReplyDelete
  6. මමත් දවසක් අමිහිරි අත්දැකීමක් වින්ඳා හොස්පිටල් එකක තනිවෙලා ඉන්න වෙලාව්ක.සැත්කමක් කරලා ඉන්න අවස්තාවකදී..ඒ වගේ වෙලාවට මාරම විදියට අසරන වෙනවා...කවුරුත් නැති උනහම

    සීසර් සැත්කමක තුවාලෙකුත් එක්ක අක්කා මොන තරම් අපහසුතා විඳින්න ඇතිද කියලා මට හිතාගන්න පුලුවන්...ඇත්ත...අම්මගෙයි තාත්තගෙයි ආදරේ ගොඩක් වටිනවා..අම්මලාට දුක් දෙන එක පව් තමයි.සමහර විට ගිය ආත්මේ එහෙම දීපු දුකක් නිසා වෙන්න ඇති මේ මට පල දීලා තියෙන්නේ

    ReplyDelete
  7. අවංකයෙන්ම මචං... හිතට වදිනවා

    ReplyDelete
  8. හිතට වදින්න , හිතට ආපු ඔක්කොම විවෘතව ලියලා......එල බෙනියෝ

    ReplyDelete
  9. බෙන් මේක තමයි සම්පූර්ණ ඇත්ත. අපූරුවට ලියලා තියෙනවා.

    ReplyDelete
  10. හිතට දැණුනු හැඟීම අවංකවම ලියලා තියනවා. සංවේදී සටහනක්. අම්මා කෙනෙක් විඳින දුක හරියටම දැනෙන්න නම් අම්මා කෙනෙක් වෙන්නම ඕනේ.

    ReplyDelete
  11. හිතට දැනෙන සටහනක්.

    ReplyDelete
  12. ඇත්ත. හිතට දැනෙන ස්වරයෙන් ලියලා තියනවා.

    ReplyDelete
  13. හ්හරිම ලස්සන සටහනක් :) මලේ උබේ තියෙන්නෙ බොර දියේ හැඩකාර මල් විතරයි..බොර දියේ ඔක්කොම මල් බලන්න පුලුවන් ගැජට් එකත් දාහං.. පරණ පෝස්ට් වලට යන්නෙ කෝමද නැත්නං

    ReplyDelete
  14. @සමී

    තැන්ක්ස් සමී.. ඔය ගැජට් එකක් අමුනලා තියෙන්නේ

    ReplyDelete
  15. අම්මා කෙනෙක්ගේ අගේ දන්නා ලස්සන හිතක් තියෙන පුතෙක් බෙන් කියන්නේ .. සංවේදී සටහනක් බෙනෝ .. අදත් උබෙයි මගෙයි ෆොටෝ එක දිහා බලාගෙන හිටියා මම ... ඊට පස්සෙයි මේ පැත්තේ ආවේ ...

    ReplyDelete
  16. @සුළඟ

    හෑ.. කොටියම කාපං කිව්වලු. කෝමද කොල්ලා ස්වීට් එකේ ඇති නෙහ්.. මේ උඹේ බ්ලොග් එක අප්ඩේට් වෙන්නේ නැත්ද මචු..

    ReplyDelete
  17. @සුළඟ

    හෑ.. කොටියම කාපං කිව්වලු. කෝමද කොල්ලා ස්වීට් එකේ ඇති නෙහ්.. මේ උඹේ බ්ලොග් එක අප්ඩේට් වෙන්නේ නැත්ද මචු..

    ReplyDelete
  18. යකෝ මාව කොටියා කන්න .. උබ හොද නැ බන් ...

    ස්වීට් එකේ ඉන්නවා අර මෝඩ මුණු පොතෙන් අයින් උන දවසේ ඉදන් දෙයියනේ කියලා ...

    ReplyDelete
  19. ඔයා කවුරු වුණත් , කොහේ හිටියත් ඔයා වගේ හිතන අය ලංකාවේ ඉන්නවා කියන එක මට සතුටක්..
    ගොඩාක් පිරිමි අයට අම්මා කෙනෙක් විදින වේදනාව තේරෙන්නෙ නෑ.. ගොඩාක් දරුවොන්ට "එයාලා කොච්චර හිතුවක්කාර වුණත්" ඇයි අප්පච්චිලා ඉවසන්නේ කියලා තේරෙන්නෙ නෑ..(වෙලාවකට මටත් ඇතුළුව.."

    ඩිලිවරි ගැන ලෙක්චර්ස් කරද්දී එක ගෑනු ළමයෙක් කලන්තේ දැම්මේ එයාට ඒක හදවතින්ම දැනුන නිසා වෙන්න ඇති කියලා දවසක් මට හිතුනා.. අපි එයාට වඩා ශක්තිමත්..!

    ජීවිතේ කවදාහරි මම මගේ වෙනවානම් කියලා හිතුවේ අක්කා කෙනෙක් හෝ අඩුම තරමින් නංගි කෙනෙක්වත් පවුලේ ඉන්න කෙනෙක්..

    මොකද "හැඟීම" කියන දේ හිතට වදින වීඩීයෝ එකකින් හෝ කුමනයම් දෙයකින් හෝ නොදැනෙන නොහැගෙන නිසා..

    මේ ලිපිය වටින්නේ හැම වචනෙකින්ම මව් පිය පදවි වල උතුම් බව නොකියා කියන්න ඔයා දරණ උත්සාහය නිසා..

    බොහොම මානුෂිකව කිව්වොත් ගොඩාක් කාලෙකට පස්සේ මම ආස හිතෙන විදිහේ බ්ලොග් එකක් හම්බුණා කියවන්න... :)

    ReplyDelete
  20. බෙන්..ඔයා නියම මාමා කෙනෙක්..මගේ මල්ලිලා දෙන්නත් ඔන්න ඔහොමයි..මට දරුවෝ ලැබුන වෙලාවේදී...ඒ දෙන්නත් උන්නේ බය වෙලා වගේ..

    අම්මා කෙනෙක් වෙන එක කොයි තරම් අපූරු අත්දැකීමක් ද කියලා මම දෙපාරක්ම අත් වින්දා..ජීවිතේට පවා අවදානමක් වුන එක අවස්ථාවකුත් එක්ක...

    මිනිස්සු ගොඩක් දෙනා හිතන්නේ..මේ දේ හරිම ලේසියි කියලා..අනිත් එක ගැහැණු අය ළමයෙක් හම්බවෙන්න ගියාම කෑ ගහන්නේ බොරුවට කියලා..නැහැ..ඒ දරාගැනීමේ ශක්තිය විවිධාකාර නිසයි..

    ඔයාගේ පෝස්ටුව කොපි කරලා සේව් කරගන්න තරම් වටිනා දෙයක් බෙන්...

    ReplyDelete
  21. මරැ ආ කියන්න ‍දෙයක් නැ එළටම ලියලා තියෙනවා.

    ReplyDelete
  22. හරිම අපූරුයි! වටිනවා. ඇත්තටම ඔහොම හිතන අය දුලබයි. නිවැරදි කොණයකින් බලන්න හැමොටම පිලිවන් නම් මේ වගේ

    ReplyDelete

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..