හිමිවීම් තුල හිමිවූ අහිමිවීම් ~ bereave



මගේ යැයි සිතිය හැකි කිසිවක් ලොව තුල නැති තරම් ය. ඒ තරමට මා නමැති පුද්ගලයා මේ ලොව හුදකලා තනි පුද්ගලයකි. භෞතිකව මෙන්ම නෛතිකව ද මා තනි පුද්ගලයෙක් වන්නේ දහමක් හෝ දර්ශනයක් නිසාවෙන් නොව, එය ජීවිතය ලද උරුමය වූ නිසාවෙනි. නමුත් මා එය වාසනාවක් ලෙස සලකමි. මක් නිසාදයත් හුදෙක් අනෙකුන්ට වඩා මට මගේ ජීවිතේ වැදගත් යැයි සිතිය හැකි තීරණ ගැනීමට ඇති ඉඩ ප්‍රස්ථාව නිසාවෙනි. වෙනෙකෙකුට යටත් නොවී ස්ව තීරණ ගෙන ජීවිතේ ජයග්‍රහණ මෙන්ම, ජීවිතේ අසීරුතා ද තනිව විඳීමට හැකිය. 


මිනිසුන් ආදරය කරති. දෙමාපියන් දරුවන්ට ආදරය කරති. දරුවන් දෙමාපියන්ට ආදරය කරති. ගුරුවරුන් ශිෂ්‍යන්ට ආදරේ කරති.  ශිෂ්‍යන් ගුරුවරුන්ට ආදරය කරති. වැඩිහිටියන් තම පවුල් සාමාජිකයන්ට ආදරය කරති. පවුල් සාමාජිකයන් තම වැඩිහිටියන්ට ආදරේ කරති. ආදරේ යනු ජීවිත වල අන්‍යෝන්‍ය බැඳීමකි. එය විස්තරාත්මකව ඉදිරිපත් කිරීමට තරම් මා දාර්ශනික නැත. මා දන්නේ ආදරය යන හැගීම පමණි. එය විඳි මා හදවත පමණි. 

මුදල යන සංකල්පය උඩු දුවා ජීවිත වල මුල් බැස ගත් පවුලක මා උප්පත්තිය ලැබුවෙමි. මුදලට ලොල් වුවේ හුදෙක් අනෙක් මිනිසුන් සේ නැති බැරිකම හා දුප්පත්කම නිසා වන්නට ඇත. එය සාදාරණ හේතුවකි. කුඩා කල මා මවගෙන් ලද ආදරය අල්පය. එය ලැබුවේ දුරස්ව බව පාඨක ඔබට කියන්නේ හද පිරි නොසතුට තුළිණි. පුංචි පවුල රත්තරන් සංකල්පය යටතේ අප නිවස තුල මා පමණක් තනි විය. මසුරං උපයා ගැනීමේ චේතනාව මුලික වූ නිසාවෙන් හෝ මා අනාගතය පැහැපත් කිරීමේ වක්‍ර උවමනාව නිසාවෙන් දෙමාපියන් වූ ඔවුන් මා තුලින් දුරස් වන්නට ඇත. නමුත් සමවයස් අනෙකුන්ට වඩා මම සැප වින්දෙමි. ඉල්ලු පමණින් ඕනෑම දෙයක් දෙන මවක් හා පියෙක් සිටි මා හට එය මගේ ජීවිතේ එකල ලද භාග්‍යක් කොට මා සැලකුවෙමි. හුදෙක් නිදහස, ලැබීම් තුල ගෙවෙන ජීවිතය කොතෙක් සහනශීලී දැයි ඔබට දිනකදී වැටහෙයි. 

කුඩා කල සිට කියවීමට ප්‍රිය කල මා, අවට නිවෙස් හි විසු මා හා වැඩිමල් සොහොයුරන් පොත් කියවන ආකාරය දැක ඊර්ශයා කලෙමි. ඒ පමණක්ම නොව, එම මට සපයාගත නොහැකි වූ / ලබා ගත නොහැකි වූ නොසතුට පිට කලේ පියා ගෙදර පැමිණි විට ය. ඔහු ලාවා කතන්දර පොත් මධ්‍යම රාත්‍රී වනතුරු කියවා ගත්තෙමි. කෙසේ හෝ ආශාව උරුමය කොටගත් මා අකුරු උගත්තෙමි. පාසල් යාමටත් පෙර සිට කියවීමේ හැකියාවෙන් පෝෂණය වූ මා එය පවසන්නේ මහත් ආඩම්බරයෙනි. එතැන් පටන් ජීවිතය උගත්තේ මා පොත පතෙනි. ජීවිතේ ලද අත්දැකීම් වල බොහෝ උරුමකරුවන් වන්නේ පොත පතය. පොත පතට කොතෙකුත් ඇබ්බැහි වුවාද කිවහොත් පසු කලකදී මව විසින් පොත් ගිණි තබන බවට තර්ජනය කල ආකාරය සිහි වෙයි. 

“... කන්නෙත් නෑ... බොන්නෙත් නෑ.. මේකාට පොත් කෑල්ලක් හම්බ උනාම පිස්සු හැදෙනවා... ආයේ එහෙම ඔය විකාර පොත් කියවන්න ගත්තොත් ගිණි තියනවා මම...”


එදා පටන් මගේ ජීවිතේ සියල්ල සිමා සහිත විය. යථාර්තවාදීව අත්දැකීම්  තුලින් පොළවේ පය ගැසීමට මා වෙහෙසුන කාලය එකල ආරම්භ විය. මා උපතින්ම පණ්ඩිතයෙකු ලෙස නම් දරා ඇත. එසේ නොවේ යැයි මා නොකීවත්, මගේ වචන, මගේ භාෂාව, වාග් ශෛල්‍ය මා හට උරුම වන්නට ඇත්තේ පොත පතින් බව මට සිතේ.

ආදරය ද එසේ උගත් දෙයකි. ආදරේ ගැන මා කිසිවක් නොදත්තෙමි. ගැහැණිය පිළිකුලෙන් බැහැර කල යුගයක් විය. නමුත් කල් යත්ම ලිංගිකත්වයේ ප්‍රථිපල මත මා විරුද්ධ ලිංගිකයන් ගැන සිතන්නට ඇත.
රුව අවලස්සන යැයි සිතිය නොහැකි ලෙස මා උපතේ සිටම වැඩි ඇත. නොයෙක් අයගේ ආදරය ලබා ගැනීමේ විශේෂ හැකියාවක් මා ලද්දේ යැයි මව සැම මොහොතකම පවසයි. 

“.. උඹට මේ මිනිස්සු කවුරුත් ආදරෙයි.. අපිට වගේ නෙමෙයි.. උඹට ඒ ශක්තිය තියෙනවා..”

නමුත් ප්‍රේමය ගැන මා නොසිතුවෙමි. එය මා දුටුවේ කරදරයක් ලෙසිනි. ජීවිතයක විනාශය ගෙනෙන පිළලයක් සේ දුටිමී. ගසක් වෙලා ගනිමින් එහි සාරය උරා බොමින් ගස දිරාවට පත් කරන පිළලයක් සේ, ආදරයද ජීවිතය තුලට එබී එහි දුර්වල තැනක ලැගුම් ගනිමින් එහි සාරය උරමින් ජීවිතේ මුලා කරන එකෙකු, සේ ආදරය දුටුවෙමි. 

නමුත් වයසින් මුහුකුරා යද්දී, වයසින් වැදෙද්දී පණ්ඩිත හැගීම් ශුන්‍ය වී ධනාත්මක ලෙස විවිධ හැගීම් උඩු දුවන්නට ඇත. රුව යැයි මා අසල සිටි මිතුරන් සැලකුවේ කළු පැහැය උපුටා දැමු, සුදු පැහැය ලත් මුහුණ ඇති යුවතියන් ය. ඔවුන් ආදරය ගැන කතා කරද්දී, කෙල්ලන් ගැන කතා කරද්දී මා මුනිවත රකිමින් සිනාසුනෙමි. නිවසට පැමිණ නොයෙක් විට තනිව එම සිතුවිලි හා තර්ක කලේ එය සිදුවීමට හැකිද යැයි මගෙන්ම ප්‍රශ්නය කරමිනි. 

මිශ්‍ර පාසලක ඉගන ගැනීමට වරම් ලද මා පාසලේ කැපී පෙනෙන ශිෂයෙක් වන්නේ දක්ෂතාව මත හා කෙළිලොල් ගතියත් සීමාවක් වචන නැති කට නිසා වන්නට ඇත. යහළුවන් වටලා වට මේස සාකච්චා පවත්වමින් සිනා සෙන මොහොතක් එකල පාසල තුල ස්වකීය අප පංතියේ දැකිය නොහැකි දසුනක් නොවීය.
පාසල් සමය මා ජීවිතේ නොයෙක් කඩඉම් නිහඬව පසු කල සමයක් විය. මුලිං උපුටා දැක්වූ ජීවන අත්දැකීම් මත, පුස්තකාලය තුල කල් ගෙවන පොත් ගුල්ලෙකු සේ මා එකල ජීවත් වුයෙමි. ප්‍රථම යැයි කිව හැකි ආදරයක් මා සතුව නැති තරම් ය. මන්ද දෙවනුව මා ආදරය නොකළ නිසාවෙනි. රුපයෙන් උසස් යැයි ආඩම්බර වූ මා සැබෑවටම රුපය හා මා උපතින් ලද සිනහව නිසාවෙන් ලැබූ වත්කම් බොහෝය. අවේගශීලි හා විප්ලවකාරී චරිතයකට හිමිකම් කී මා ප්‍රේතිරුපය සඳහා ඕනෑම දෙයක් කරන පසුබිමක එකල ජීවත් විය. ආදරය යනු අබිං කෑමක් යැයි මා විශ්වාස කළමි.

නමුත් සමවයස් රුපයෙන් අග යුවතියක් දුටු කල, මා සිත ගැහෙයි. පෙර නොවී විරු හැගීමක්  දැනෙන්නේ මන්දැයි නොදනිමි. මා මගෙන්ම විමසමි. නමුත් මා තුලින් මා සතු මමත්වයට පිළිතුරු ලැබුනේ අල්ප ලෙසය. මා හැගීම් නොමැරුවෙමි. හැගීම් වලට ඉලිප්පී ලොව දකින්නට ඉඩ දී මගේ මාර්ගය එලි පෙහෙළි කලෙමි. 

ඈ හමු වුයේ එවැනි යුගයකය. 

සම්ප්‍රදාය නම් මිනිස් සිත එක බැම්මකට කොටු කර ඒ තුලම එක තැන පල්වීමට හැරීමයි. ඒ තුලින් මිනිස් කැලට නව මානයක් ඔස්සේ දැකීමට නොහැකිය. එසේවන්නා සේ, මා ද මියදී වල දැමු අතීතයක සොහොන් කොතක් හාරා ඒ ගඳ ගසන මළ මිනිය ඔබ ඉදිරියේ ගෙනහැර දැක්වීමට අකමැත්තෙමි. මන්ද කුණු ගඳ, පණුවන් වැස්සෙන ඒ අතීතය සදහටම වල දා උදැල්ල පවා විනාශ කල නිසාවෙනි. එම නියාවෙන්, මා සොහොන් කොත කියවමි. 


මා යනු තනි පුද්ගලයෙක් බවත්, තනි තීරණ ගන්නෙකු බවත්, අහිමිවීම් වලින් තොර නමුත් හිමිවීමක් නොතකන පුද්ගලයෙක් බවත් උඩ කියූ කාරණා ඔස්සේ පාඨක ඔබට වැටහෙන්නට ඇතැයි සිතමි.
සිනහව අව්‍යාජය. නොමිලේ දිය හැකි එකම දේ සිනහව යැයි මා තුල පෞද්ගලික විශ්වාසයක් ඇත. එහි වැරදීමක් නැත. මා ද ඒ නිසාවෙන් සිනාසුනෙමි. ඈ හා සිනාසුන වාර අනන්තව ඇත. නමුත් මා සිතට ඈ ගැන හැගීමක් නොදැනුනේ මා සිතේ පැවති අනිසි භිය නිසා යැයි සිතේ. ඈ බෙහෙවින් සුන්දරය. ඈ නලගනක් නොවුවාය. ඈ සුන්දර යුවතියකි. ඇගේ ඇඳුම මා සිත් ගත් ලෙසකි. 

“ මචං...!”

“.. ම්ම්ම්ම්...”

“..මොනාද බං ඔය හැටි ඩේස් එකේ කුරුටු ගාන්නේ..”

“.. මුකුත් නෑ.. අදත් සර් නෑ වගේ බං... ආයෙනම් මම ක්ලාස් එන්නේ නෑ. එපා වෙනවා නේ..”

“.. එක හිතකින් ද කීවේ ඈ.. අර බලපං... සඳලිගේ ඇස් දෙක තියෙන්නේ මෙතැනයි. ඒකි එතැන උන්නට උඹ ළඟ ඇස් දෙක.. කෝ තොට පණ නැහැ නේ ගෙම්බාට වගේ..”

“පිස්සුද බන්... කවුද දන්නේ පිටිපස්සේ එකෙක් දිහා බලනවා ද කියලා..”

“..අනේ ඕනෑ මගුලක් බං. අපිට මොකෑ...”

“...මෝඩයෝ ඒකි පට්ට ලස්සනයි බං.. ෂික්..! මට ඔය වගේ කෑල්ලක් නෑ නේ..”

“...ම්ම්ම්ම්ම්...”

මෙවැනි සංවාද දිනපතා මා හා මිතුරන් අතර සිදු විය. මා ඒවායින් මග හැරියත් තනිව සිටි මොහොතක් පාසා මා මා ගැන ආඩම්බර වන්නට ඇත. ඒ තුලින් හිස උදුම්මවා ගත්තෙකු විය. 

“..සඳලි..” ... “..සඳලි...” “...සඳලි..”

මම සැම තැන කුරුටු ගෑවෙමි. පෙරදා මෙන් නොව මා සිත තුල ආදරණීය හැගීම් දැනෙන්නට විය. ඈ සිහි වෙන මොහොතක් මොහොතක් පාසා ඇගේ සිනහව මා හා තනි විය. නමුත් මා පූදින මලකට හිරු එලිය නොදෙන්නා සේ දැඩි සිතුවිලි කරණකොටගෙන ඇය විත බැඳුනු සිතුවිලි මරා මුලිනුපුටා දැමුවෙමි.
මා හිතුවක්කාර විය. මා නිහඬ චරිතයක් නොවුමෙමි. මගේ මුවෙන් සිමා රහිතව වචන ගිලිහුණි. නමුත් ඈ ළඟ මා ගොළු විය. එයට හේතුව සිත තුල ඇති හැගීම් වන්නට ඇත.
දිනක්,

“ සඳරු...”

“ම්ම්ම්...”

“ ම්ම්ම්.. නෙමෙයි.. ඔයා පොත් කියවනවා නේද...? අනේ මටත් පොතක් දෙන්න කෝ.. පාළුයි හලෝ ගෙදර ඉද්දි..”

“.. ලබන සතියේ ගේන්නම්..”

“..එතකන් ඉන්න බෑ අෆ්ෆා..”

“..ඒකට මම මොකද කරන්නේ...”

“... ඔයාට බැරිද අපේ පැත්තෙන් යන වෙලාවක ගෙදරින් තියල යන්න..”

“..අනේ අම්මේ...! මට බෑ කතා හදා ගන්න. අනික මම කවදාවත් එහේ ඇවිත් නෑ... අනික ඒක හරි නෑ..”

“.. එහෙම දෙයක් නෑ.. ම්ම්.. කැමති නැත්නම් කමක් නෑ..”

ඇගේ මුහුණේ ඇති වූ මළානිකබව නිසා මා සිතද කඩා හැලිණි. මා උදව් නොකරන්නේ මන්ද ? මා ඇයට පමණක් දරදඬු වන්නේ ඇයි ? අනෙක් ගැහැණු ළමුන් හා එකට වෙසෙන මා ඈ ළඟ පමණක් නිහඬ වන්නේ මන්ද ? ඇගේ ශෝකය මා සිත ගිලන් කරනු ඇතැයි සිතුණි.

“..මට ඔයාගේ නම්බර් එක දෙන්න. මම එනවානම් කියන්නම් ඒ පැත්තේ...”

“...අනේ තැන්ක්ස්... ලොකු උදව්වක්.. පරිවර්තන තිබ්බොත් ගොඩක් හොඳයි...තව මොනාද තියෙන්නේ..?”

ඈ සතු සිනහවට මා වශීකෘත උනෙමි.නමුත් හිමිකමක් ගැන නොසිතුවෙමි. හිත පතුලේ මඩ ගොහොරුවේ බීජ, ආදරය නිහඬව වැඩෙන්නට දුන්නෙමි.

“.. මනෝවිද්‍යාව.. අපරාධ පරීක්ෂණ.. ම්ම්ම්... තව නවල් ඇති.. ගොඩක් තියෙනවා...”

“.. නියමයි මනෝවිද්‍යාව... ඕනේ අනිවරෙන්..!.”

“.. පුදුමයි නේ ඔයා..”

“..ඇයි..?.”

“..නෑ වයසට නෙමෙයි කියවන්නේ...”

“..හ්ම්ම්.. එහෙම තමයි ඉගන ගන්න දේවල් ගොඩයි..”

මා නිහඬ නොවුවෙමි. ජීවිතේ ලද සතුටු කාරණා බොහෝය.අත්දැකීම් බොහෝය. නමුත් ආදරය ළඟ මා පුංචි එකෙකි. මා භිය නොවුවෙමි. මා සිතුවේ කෙලවර කොහේ ඇත්දැයි පමණි. ගඟට නිදහසේ ගලන්නට දී මම ඔහේ බලා සිටියෙමි. “ ගල් පර දැක පෙරමුණේ... මොන නදියද නැවතුනේ...”

මා එහි ගියෙමි. ඈ සොයා ගියෙමි. ඇගේ නිවසටම ගියෙමි. හිතුවාට වඩා ඇය සත්මහල් ප්‍රසාදයකි. මා ඈ ළඟ දුහුවිල්ලකි. ඒ දසුනින් මා ඈ ගැන වැටහීමක් ලදමි. උඩු මහලක හිරු එලියවත් නොදැක හැදුන කුමරියක් වූ ඈ පොළවේ පය ගැසූ ආකාරය දුටු විට, සරල අල්පෙච්චත්වය දුටු විට මා සිත ඈ කෙරේ ඇති බැඳුම තර විය. මා ඇයට ප්‍රේම කළෙමි. හුදෙක් මුදල් නිසා යැයි ඔබ සිතනු ඇත. නැත, මා මුදල දුටු වේ පසු කලකය. නමුත් ඒ මුදල තුල ගැබ් වූ ඇය එය නොතකා හුදකලාව ප්‍රිය කරන අයුරු දුටුවෙමි.

“ඇයි... මට ආදරේ සඳරු...”

“..මම දන්නේ නෑ..”

“.. මමද දන්නේ එහෙනම්..”

“... ඇයි මගේ දිහා බැලුවේ... හිනා උනේ..”

" .. ඔයා හිනාවෙද්දි අහිංසකයි...ගොඩක්.. පුංචි හුරතල් හා පැන්චෙක් වගේ...”

“...විකාර..”

“...විකාර නෙමෙයි මනුස්සයෝ..”

අප බොහෝ ආදරය කරන්නට ඇත. මතකයන් ජීවිතේ පිරෙද්දී අපි අපේ ජීවිත වල උරුමකරුවන් ලෙස වයසින් මුහුකුරා ගියෙමු. ඈ හා නොගියු මගක් හස්තිශෛල පුරයෙන් සොයා ගත නොහැකි උනි. ඇගේ හඬ තාමත් ඇසේ.

“..සඳරු..”

“...හෙමිට යනවකෝ..”

“දුවන්නේ කෝච්චිය පරක්කු වෙලා වගේ නේ..”

“...හරි දැන් මොකද..”

“.. බලන්නකෝ.. උසාවිය ගාව මේ ඉන්න සෙනග...”

“.. සමහරු සාදාරණයක් හොයනවා.. සමහරු අසාදාරනය සාදාරනය කරනවා...”

“..ම්ම්ම්.. ඔව් සඳරු. පුදුමයි නේද ලෝකය..”

“..පුදුම වෙන්න දෙයක් නෑ. ඇත්ත ඒක තමයි... දවසක වෙනස් කරමුකෝ අපි දෙන්නා..”

සම්ප්‍රදායික පෙම්වතුන් ලෙස අප ක්‍රියා නොකළෙමු. අප දෙස බලා, අප කතා අසා සිනාසුන ඇත්තන් බොහෝ ය. ඒ සිනහව කියා පෑවේ හුදෙක් විහිළුවක් නොව, අභිමානයකි. මා දෑතේ එල්ලී මිමිණු වචන වල අර්ථවත් දේ බොහෝ ගැබ් ව තිබිණි. ලෝකය, මිනිස්සු, ලිංගිකත්වය යන කාරණා අප තර්ක කළෙමු. විසඳුම් සොයා ගත නොහැකි තැන්හි අප ලෝකයාගෙන් විමසුවෙමු. 


නමුත්, ආදරය වල දැමුවෙමි. ස්භාදහමට අවනත නොවී එයට එරෙහි වන්නට මා හට හැකියාව නොමැත. සටහන් අතර අකමැතිම සටහන් නම් ඇගේ මගේ ආදර කතාවම විය. බෙහෙවින් සුන්දර තැන් සේම, අසුන්දර වූ මා ලෝකයට වෛර කල තැන් ශාප කල තැන් කෙසේ ලියන්න ද ? මෙතැකින් නවතමි. 

පාඨක ඔබට වෙහෙසක් දැනෙනු ඇත. එය සාදාරණය. මා හට මගේ ජීවිත කතාව ගොනු කල නොහැක. මන්ද කොතරම් හිමිවීම් මැද වුවත් එය ජීවිතේට එක් කලේ වේදනාවක් පමණක් බැව් නිසාවෙනි.
මා ජීවත් වෙමි. ඈ සමඟම. හැම මොහොතම. ඇවිදිමි.  ජීවිතේ තනි මංසලේ.. මුලා වූ සෙයකි. නැත. ජීවිතය නම් මෙයම මේ. උමතුවක් ද ? නැත. ලද ලද දේ ඇති නැති සේ වියකුන දා, මා තනි වුවෙක් නොවේ. ඇය මා ළඟ ඇති නිසා.. හැරගිය ආත්මයක. හැර නොයන ආත්මයක් ලැබෙන තුරා.. මා අමරණීයයි.. මගේ ජීවිතයත්...! 



මිනිසුන් විවිධය. විවිධාකාරය. ලොව එසේ විය යුතුය. ඇතිවීම් නැතිවීම් බොහෝය. ඇති වුවත් නැති වුවත් අප අපගේ ගමන යා යුතුය. එසේ නොවන්නා මටසිළුටු තැනැත්තා හැලෙයි. දුර්වලයාට දිවීමට නොහැක. ඔහු ගොදුරක් වේ. සමාජ විකසනයට වෛර කලත් එය නවතාලිය නොහැක. එයට උඩුගං බලා පිහිනන්නට තරම් මා සතු ශක්තියක් නොමැත. සිතුවිලි අසන්නේ එක තැන සිටිනවා ද ? උඩුගං බලා යනවා ද ? නැත්නම් රල පහරට ගසාගෙන යනවා ද යන්නයි. තවමත් මා පිළිතුරු සොයමි. 

සම්මතයේ සිට අසම්මතය තුල ජීවත් විය නොහැක. විඳීම් ඇත්තේ විඳීමටය. ඒ තුලින් ලබන අත්දැකීම් ජීවිතේ ඉහල පියගැටපෙලක නොසෙල්වී පයට වාරු ගෙන සිටීමට හැක. නොකියූ කතා නොවිඳු ජීවිත ඔබටත් ඇත.
මම නිරුවත් උනෙමි. නමුත් “.. ජංගි..” කොටයට පමණි. එතනින් එහාට මගේ නිරුවත දැකීමට ඔබට නොහැකිය. එනම් පෞද්ගලිකත්වය යන සාධකය මා මුව විවර නොකරන නිසාවෙනි. මගේ දෑතේ අතැඟිලි අඩපණ කරන නිසාවෙනි. 

කිසිදා කුමන දේ අහිමි වුවත්, කුමක් ඔබට අතපසු වුවත්, කවුරුන් ඔබ හැර ගියත් ලොවට වෛර නොකරන්න. ඔබව ජීවත් කරවන්නේ මේ ලොවයි. මේ පරිසරයයි. එයට ආදරේ කරන්න.. 





ප/ලි ;- සටහන කුමක්දැයි මා හටද වටහා ගත නොහැක. ගත් දෙයක් ඇත්නම්, ගත යුතු දෙයක් ඇත්නම් එය රැක ගන්න. ඉතිරිය ඔබට බාරයි. මෙය ඔහේ ගැලු සිතුවිලි වල එකතුවක් බව අමතක නොකරන්න.

Share on Google Plus

About සමීර සඳරුවන්

8 අදහස්:

  1. ඔන්න මමත් මේ පැත්තේ ආවා.. දිගටම එන්නම්.

    ReplyDelete
  2. බොහෝම ස්තූතියි මිත්‍රයා..

    ReplyDelete
  3. අනේ මන්දා මොනා කියන්නද කියලා හිතා ගන්ට බැ

    ReplyDelete
  4. මොනා කියන්න ද ? මේ ඔයා යනවා කිව්වේ බොරු නේද ? යන්නේ නෑ නේද ? මට කවියක්වත් හදන්න ඉන්නේ ඔයා නෙව.

    ReplyDelete
  5. මචං බෙනී මම ආවා, කියෙව්ව පලවෙනි එකෙන්ම ඇඳෙන්න ආවා, උබ මේ ලියන විදිහටනම් මම පට්ටම ආසයි. හැබැයි අපි බොහොම රැඩිකල් පෙම්වතුන් කියලා හිත අයගේ අවසානය නම් සුන්දර නැහැ ගොඩක් වෙලාවට.

    ReplyDelete
  6. හයියො බොරු නෙමෙයි දරුවො :) ඇත්තමයි ඉන්න තැන ඉන්න රට වෙනස් කලාට බ්ලොග් එක අමතක කරන්නේ නැ :)

    ReplyDelete
  7. ඉවාන් පව්ලූශා ( Prageeth Anuradha ) - බොහොම පිං. ඔව් ඔයා හරි. රැඩිකල් ආදරයට ආයුෂ අඩුයි. තැන්ක්ස් වර්ණනාවට..

    කළුවර හීනය - ම්ම්ම්ම්ම්... ඒක තමයි ඕනේ කරන දේ.. ස්තූතියි. බ්ලොග් එක දාල යන්න එපා..

    ReplyDelete
  8. අනිච්චේ දුක්කේ... ඔයා ලියන්නෙම ඇඬෙන ආදර කතා නෙව.

    ReplyDelete

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..