කලාව යනු වැරදිකරුවෙක් ද ?

කලාව නම් අවියකි. එයින් පහර දිය හැක්කේ මිනිස් සිතට ය. මිනිසාගේ චින්තනයට ය. එකී කලාවම විටෙක භාවනාවකි. එයින් නිවිය හැක්කේ ඇවිළෙන මිනිස් සිතමය. පරඬැල් වී ගිය, අපිළිවෙලට සැකසුණු, ශෝධනයට ලක් වූ මිනිස් චින්තනයම ය. කලාව අවියක් වනවාට වඩා කලාව යන්න නිවිය හැකි භාවනාවක් වීම සුබ ය.  එහෙයින් කලාව නැමැති විෂය තුළ ඇති හේතුවාදී සාහිත්‍යය විෂය පිළිබඳව සාකාච්ඡාවක් පැවතීම කාලෝචිත යැයි සිතමි.


සාහිත්‍යය මානවවාදී වනවා මිසක සාහිත්‍යයක් තුළ ජාතිකත්වය හෝ ආගමිකත්වය හෝ එකී දෙයාකාරයටම මැදි වූ අන්තවාදීත්වය පිළිඹිබු කර විදහා දැක්වීම සාහිත්‍යයට කරන නිගරුවකි. බොහෝ කවියන් තුළ ද බොහෝ ලියන්නන් තුළද ජාතිකත්වය හා ආගමිකත්වය තුළ රෝපණය වූ ගැති බාවය හේතුකොටගෙන උපදින කවිය හා ලියැවිල්ල අන්තවාදී ස්වරූපයක් ගනී. එමගින් මානව සමාජය තුළට සාහිත්‍යය නැමැති විෂය හා බද්ධව මුල් බැසගන්නේ මානවවාදයෙන් එහා ගිය අමානුෂික ගති ස්භාවයන් ය. ඒවා තුළට ලොප්වන රසවිඳින්නා විසින් ඒවා තමා තුළට ආරෝපණය කර ගන්නවා පමණක් නොව ඒ තුළින් ශෝධනය කරගන්නා තම මොළයෙන් පිටකරන චින්තනය තුළ ඇත්තේ මානවවාදයෙන් එහා ගිය අනෙකා පීඩනයට ලක් කරන සිතුවිලි ය.

මිනිසෙකුගේ සිතුවිල්ල පොහොසත් කිරීමට එකී සිතුවිලි පිළිසිඳ ගන්නා සිතට සාහිත්‍යයේ නියතුවෙකු ලෙස කළ හැකි දේ බොහෝය. කලාව නැමැති විෂය තුළින් මිනිසා මෘදු ලෙස ආරෝපණය කිරීමේ ස්විශේෂී හැකියාවක් පවතී. එකී හැකියාව සමඟ සහ සම්බන්ධ වනු වස් එකී හැකියාවට පිළල කවා එකී පිළල මානවයා තුළට යැවීම කලාව අතින් සිදුවන්නේ නම් එතැන ඇත්තේ කලාව නොව කලාව තුළින් තම ආත්මාර්ථය මත සිදුකරගන්නා ස්වාර්ථ සංසිඳවා ගැනීමකැයි සිතමි.

අප අභිමානයෙන් යුතුව හැත්තෑවන නිදහස් සමරුව මහා උත්කර්ෂවත් ලෙස පෙර සතියේ සැමරුවෙමි. එහි තිබු සංස්කෘතිකාංග බොහෝය. එහෙත් ඒවායෙන් පිළිබිඹුවන හෝ එයින් මානව සිතට පිට කරන පණිවිඩය කුමක් ද යන්න ප්‍රශ්න කළ යුතුව පවතියි. අප සැමරූ උත්කර්ෂවත් උත්සවය තුළ අතීතයේ අපට නිදහස අත්පත් කර දීමට ජීවිතය පරිත්‍යාග කළ එකදු මනුක්ෂයෙකු වෙනුවෙන්වත් සැමරුමක් නොතිබිණි. එහෙත් ඒ වෙනුවට අප දුටුවේ ජාතියක් ලෙස අප විසින් එලි දක්වන ලද හෝ අප විසින් පුරසාරමින් පිට කරන අපගේ බලය පිළිබඳව සිද්ධීන් කිහිපයක් පමණි. රටක නිදහස් උත්සවයක් තුළ යුද්ධයක් ඇති කරන අවියක් පැවතිය යුතු නැත. යුද්ධය යන්න පාර්ශව දෙකක සමීපතියින් අහිමි කළ මානව සංහාරයකි. එකී මානව සංහාරය කාගේ හෝ අහංකාරයක්, කාගේ හෝ බලය ලබා ගැනීමට ඇති වූ ගිජු සිතුවිල්ලක් වෙනුවෙන් ඇති වූ දෙයක් විනා අහිංසක ජනතාවට අවශ්‍යය වූ දෙයක් නොවේ ය. අතීතයේ අප නිදහසින් කල් ගෙවූ රාජ්‍යයක ජනතාවන් ය. එකී ජනතාවගෙන් නිදහස උදුරාගත් හා නිදහස නැති කළ එවුන් බොහෝය. එහෙත් චින්තකයින් පවසන අන්දමට එකී නිදහස දිනාගත්තා හෝ ලැබුණා හෝ ඒ කිසි ලෙසකින්වත් මේ භූමියේ නිදහස වගා වී නැත. නිදහසේ ඵලය මේ රටේ ජනතාව අත්විඳ නැත.

හේතුවාදී සාහිත්‍යය තුළ නිදහස මෙය යැයි අර්ථකථනය කර තිබුන ද එය හුදෙක් අකුරු වලට පමණක් ලඝු වූ දෙයකි. අඩුම තරමේ මේ භූමියේ සාහිත්‍යයකරුවන්ට නිදහසේ ලියන්නවත් අයිතියක් ඔවුන්ගේ කොටුවීම් තුළ නැත. එවැනි අයිතියක් මේ සමාජ ක්‍රමය තුළවත් නොමැත.
අපට සාහිත්‍යය හා කලාව තුළින් කළ හැකි දේ බොහෝය. නිදහස් නොවන චින්තන වලට නිදහසේ දිශානතිය පෙන්වීමට නම් සාහිත්‍යය අවශ්‍යය. එකී සාහිත්‍යය තුළට නිදහස් චින්තකයින් පැමිණිය යුතුය. ඔවුන්ගේ සිතුවිල්ල නිදහස් වන තුරු, ඔවුන්ගේ සිතුවිල්ල සමාජීය අවශ්‍යතා වලින් ගැලවී තිබෙන තුරු ඔවුන් අතින් නිදහස් ලේඛණයක් රසවිඳින්නාට හිමි වේ.


කලාව අවියක් නොවිය යුතුය. කලාව සෑමවිටකම අනෙකාව නිවන තැනක් කළ යුතුය. සාහිත්‍යය වූකලි මානවයා සඳහා පවතින්නකි න කලාවේ මුඛ්‍යය පරමාර්ථය කලාව පෝෂණය කරන කලාකාමියා හඳුනා ගත යුතුය. එසේ නොවන්නට කලාව තුළින් වල් බූරු නිර්මාණය බිහිවෙනු ඇත. කලාවට වාරණ දැමිය නොහැකි වූත්, කලාව තුළින් බිහිවන මානවයින්ගේ සිතුවිලි වලට වාරණ වැටීම කළ නොහැක්කි. එකී සිතුවිලි නිසා බැටකන ඔවුන්ගේ වරදකාරීබවට කලාව ද වරදකාරයෙකු වනවා නියතය. කලාව හෝ සාහිත්‍යය යන්න එසේ වරදකරුවෙකු කළ යුතු දෙයක් නොවේ ය. 

- සඳරු (ඉරිදා ඇපල් පුවත්පත)
Share on Google Plus

About sameer sandaru

0 අදහස්:

Post a Comment

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..