~~ අවසන් ලියුම ~~




මේක දුක හිතෙන ලිපියක්.. මම හිතන්නේ මෙහෙම දේවල් අත්දැකීම් විදියට ඔයාලට වෙලා ඇති. මටනම් අත්දැකීමක් නැහැ. හැබැයි ගිය ආත්මේ තිබුනද දන්නේ නැහැ..
කියවලා බලන්න කෝ...




~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~



2001-05-07,
මධ්‍යම නිසල රැයේදීය,
ආදරණිය මගේම ආදරයට ලියමි,


                                            කොහොම කොතනින් කෙසේ පටන් ගන්නද කියලා මටවත් තේරෙන්නේ නෑ. මම දන්නේ නැහැ මම මෙච්චර ඔයාට ආදරේ කරනවා ද කියලාවත්.

දන්නවා ද ?

මම වටේ තිබ්බ ලෝකය මටත් කලින් ඉදිරියට ගිහිං. මේ ලෝකේ එක තැනට මම මටත් නොදෙනි හිර වෙලා. ඒ ඇයි කියලා මටම ප්‍රශ්නයක්. ජීවිතේ ගොඩක් දේවල් දිනා ගත්තු මට ජීවිතේ ගොඩක් දේවල් ලබා දුන්න දෙවියන් මට ඇයි ඔයාව නොදෙන්නේ ?

ඇයි ඔයාව මගෙන් උදුරා ගන්නේ කියලා මටම ප්‍රශ්නයක්. ජීවිත ගමනේ මෙතෙක් කල් මට සුන්දර මිනිසුන් මුණ ගැහුනේ නෑ. අතීත ජීවිතය මට දුන්නේ දුකක් පිළිකුලක් පසුතැවිල්ලක්  විතරයි.එදා මගේ තනිකම මැකුවේ පන්හිඳ පමණයි.

ජීවිතේ අතීතය පුරාවට කටෝර  අමාවක රැයක ගෙව්ව මට ඔයාගේ ආදරේ කලාසොලොසම පිරුණ පුරා හඳක්. මට ඒ ආදරේ වෙන කෙනෙක්ගේ වෙනකම් බලාගෙන ඉන්න පුළුවන් ද ? කලාමැදිරි එළියක් නොතිබුන මගේ ජීවිතයට ඔයාව ලැබුණේ සංසාර පුරුද්දට මිසක් , ඒ සංසාර ගත ආදරේ වෙන කෙනෙක්ගේ වෙලා මගෙන් ඈතට යනකම් මම බලාගෙන ඉන්න ඕනෙද දෙයියනේ... ?

ජීවිත පොතේ කතා නම් බොහොමයි රත්තරං, ඒ කතා අතර ඔයා අග රැජිණක්. පොලවේ පය ගහලා ජීවත් උන මට, සත් මහලක ඉන්න ඔයා ඔයා ආදරේ දෙනකොට අද දැනුන භය එදත් දැනුණා. මේ දුහුවිලි පොලවට ඔයාගේ ඔය සියුමැලි පා පහස ඔයාට රිදුමක් වෙයි කියලා.  ඒ නිසා වෙන්න ඇති, ඒ භයට වෙන්න ඇති ඔයා මගෙන් ඈත් කරන්න ඔයාගේ අම්මා අප්පච්චි හදන්නේ..

බරට හුස්ම ගන්නවත් අවසර නැති, දුප්පත් කාලකන්නියෙක් උන මට ඔයාව ලැබෙනකොට දැනුන හැගීම විස්තර කරන්න බෑ.. ඒ ආදරේ අතර මම ජීවත් වෙද්දී ඒ ආදරේ වටා අපේ මතකයන් ගොඩ නැගෙනකොට මට මාවම අමතක උණා..

මම ආදරෙයි, ජීවිතය පුරාවටම මැරෙනකම් ආත්මයක් පාසා ඔයාටම ආදරෙයි. ඔය සුදු මූණ මගේ ලෝකෙට පුන්සඳක් වගේ. ඔයාගේ ආදරේ මගේ ජීවිතයට ආශිර්වාදයක්.

නළල් කොණක වැදුන ඔය දෙතොලෙහි පහස අදටත් මගේ ඇස් දෙකට කඳුළු දෙනවා. ඔයා අද බිත්ති හතරකට කොටු වෙලා ජීවිතේ බලාපොරොත්තු අතර ගැටෙන්නේ කිසි වටිනාකමක් නැති මේ කොල්ලා නිසා කියලා හිතෙනකොට මට මගේ ආත්මයේ පවා වටිනාකමක් දැනෙන්නේ නෑ නෙතු.


"......මගේ අහිංසක කෙල්ල උඹ කොහොමද පරිස්සම් කරන්නේ.. හැමදාම හැමෝගෙම ආදරේ මැද ජීවත් උන මගේ කෙල්ල මම උඹගේ හිඟන ගෙදරට එවන්න ඕනේ ද ලුණු කැඳ බොන්න..
කල්පනා කරපං .. මම උඹට මගේ කෙල්ල දෙන්න ඕනේ ද ? උඹට මගේ කෙල්ල ගන්න මොනවද තියෙන්නේ... ? මොනාද උඹේ වත්කං. පොල් ලෙලි ගහන උඹේ තාත්තා ? කොහු මොලේ ඉන්න උඹේ අම්මාට මොනාද යකෝ මගේ දරුවට දෙන්න පුළුවන්.. කියපං මට......
මගේ කෙල්ලගේ ජීවිතේ විනාශ නොකර යමං. එහෙම උනොත් මම උඹව මරනවා. තොපි ඔක්කොම මරලා මම හිරේ යනවා යකෝ. මට තොපේ හිඟන සතුටට වඩා මගේ කෙල්ලගේ හිනාව වටිනවා...... මගේ කෙල්ලට ඇත්තටම ආදරෙයි නම් අත ඇරලා පලයන් යන්න.හිඟන්නන්ට කෙල්ලෝ දෙන්නේ නෑ මම ....... "

ඔයාගේ පප්පා මෙහෙම අහනකොට මගේ ඇස් දෙකට ආවේ  කඳුළු විතරයි. ඔයාගේ පප්පා හරි රත්තරං. මට ඔයාට දෙන්න තියෙන්නේ අහිංසක ආදරයක් විතරයි. මගේ ආදරේ කිසි වටිනාකමක් නැහැ. දුප්පත් කොල්ලෙක්ට ඔයාට දෙන්න දෙයක් නැහැ. සුරංගනාවකගේ පහස විඳින්න වසලයෙක්ට අයිතියක් නෑ...
පුංචි රෝස මලක් වගේ පාට වැටුන ඔයාගේ ජීවිතය මම කොහොමද දෙයියනේ පරිස්සම් කරන්නේ..  
මට සමාවෙන්න රත්තරං, ගොඩක් සමාවෙන්න මම ඔයාට ගොඩක් වැරදි කළා. ආදරෙන් පිරුණ ඔයාගේ ඇස් දෙක ඉස්සරහා ඉස්සර මම නපුරු උනේ මගේ ජීවිතේ කිසි වටිනාකම් නොදැනුන නිසයි. ඒ දේ අද ඔයාගේ ලඟම ඔප්පු වෙලා. එදා මටත් හොරෙන් ඔයාට මම ආදරේ කළා. ඒ ආදරේ කොයිතරං ද කියලා කියන්න තරම් මට තේරෙන්නේ නෑ.. හැබැයි ඒ ආදරේ ළඟ මම පුංචි එකෙක් වගේ නිනව්වක් නැතුව හීන මැව්වා. ඒ හීන වලට ඒ පැතුම් වලට මට සමාවෙන්න රත්තරං....

ඔයා ඔයාගේ ලෝකෙට යන්න. ඔයාට ඔය සත්මහලින් බිමට බහින්න අවසර නෑ. ඔයාව දෙවියන් මැව්වේ මේ වගේ පැලකට නෙමෙයි. මේ පැලේ ඔයාට ලෝකයක් නෑ රත්තරනේ.... අපි ලෝක දෙකක හැදුන දෙන්නෙක්.
මම මැරෙනකම් ඔයාට ආදරෙයි. මේ ආදරේ හැමදාමත් තියේවි.
මට පොරොන්දු වෙන්න අපේ ආදරේ නාමයෙන්, ඔයා පප්පා කියන දෙයකට කැමති වෙනවා කියලා. ඒ අප්පච්චිට කවදාවත් වෛර නොකරනවා කියලා. ඒ අහිංසක අප්පච්චි දකින්නේ ඔයාගේ සතුට. එයා නිවැරදියි. අපි එයාලට හොරෙන් ලෝක හදාගෙන ඒ ලෝක වල ජීවත් උනාට එයාලගේ ලෝක වල තාමත් අපි ඉන්නවා. අපේ සින්නක්කර අයිතිය එයාලට තියනවා.
මට පොරොන්දු වෙන්න මගේ පණ,
 සතුට වෙනුවෙන් අපේ ආදරේ අමතක කරනවා කියලා. කවමදාවත් මම හින්දා අඬන්න ඔයාගේ ඇස් දෙකට ඉඩ දෙන්නේ නෑ කියලා... අපේ ආදරේ නාමයෙන් මට පොරොන්දු වෙන්න.....

මේ රැය නිහඬයි. එදා වගේම අදත්. හෙට ඉඳන් ආයෙත් අමාවක. මම ඒ අමාවකට ආසයි රත්තරං. මට බෑ ආවට තියලා හඳට දුකක් දෙන්න. මට කලාමැදිරි එළියක් වත් එපා.. මම මේ කළුවර හීනයට ගොඩක් ආසයි...
තවත් ආතමයක් ඇත්නම් ඒ ආත්මේ ඔයා මගේම වෙන්න කියලා පතනවා. දළදා සමිඳු පිහිටයි. සතුටිං ඉන්න.. 

ඔයාගේ,
ආදරය,
බෙන් ටෙනිසන්



~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

මේක දැකපු ඒ ගෑණු ළමයට ගොඩක් දුක හිතුණා. ඒ ළමයා මොනවා කරන්න ඇති ද ? මේ බෙන් ඉල්ලන ඉල්ලීම එයාට කොහොමත් කරන්න බෑ.. ඒ හින්දා.. ඒ ළමයා මේ තීරණය ගත්තා... කියවලා බලන්න කෝ reply letter එක.. 



~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~




2001-05-14,
බිත්ති හතරකට කොටු වී.
මගේම අයියා වෙත

                                                ජීවිතේ පුරාම ලඟින් ඉන්නවා කියපු , ඔයා අද මෙහෙම කතා කරනකොට ඉහිළුම් නෑ අයියා. ජීවිතේ ඉගන ගත්තේ ඔයාගෙන් අයියා. ඔයාමයි පොලවේ පය ගහලා ඉන්න කියලා දුන්නේ. ඇයි මාව වෙන කෙනෙක්ගේ අද කරන්න හදන්නේ ? ඇයි මගේ අයියේ මාව සත් මහලකට කොටු කරන්න හදන්නේ..
වෙලාවකට හිතෙනවා මම පපුව පැලිලා මැරෙයි කියලා අයියා. ඒ තරම් මම ඔයාට ආදරෙයි. කලාමැදිරි පැටියෙක් වගේ මට මගේ ලෝකේ කිසි වටිනාකමක් නැහැ. මම මනුස්සයෙක් අයියා, මගේ ලෝකේ නිදහසක් නෑ. මට මේ ලෝකේ ලැබුන ලොකුම වස්තුව ඔයා. ඔයා නැතුව මම කොහොමද ජීවත් වෙන්නේ මගේ අයියා...
ඔයාගේ ආදරේට උත්තර බඳින්න ඉස්සරනම් මගේ හිතේ වචන තිබ්බේ නෑ.. ආදරය සොරොව්ව බිඳ ගත්තු ඇලක් වගේ ඔහේ ගලාගෙන ගියා. ඔයාගේ ඔය පපුවට ඔලුව තියාන හීන මවන්න ඔය අත් දෙක අල්ලං නුවර වැව වටේ යන්න , දළදා හාමුදුරුවෝ ගාව ඔයා මගෙමයි කියලා දිව්රලා හැමදාමත් පොරොන්දු වෙන්න ගොඩක් ආස කළා මගේ අයියා.. ඒ පොරොන්දුව ඉෂ්ට කරන්න බැරි උනොත් ?

ඔයාට මතකද අයියා, මම ඔයාගේ ගෙදර එක්කං ගියාම ඔයාගේ අහිංසක අම්මා අපිව පිළිගත්තු හැටි, එදා ඔයා පැදුරක් උඩ පුංචි කෙල්ලක් වගේ මාව තියාන ඒ කවපු බත් කට මගේ ජීවිතේම මතකේ තියෙයි අයියා. පප්පා මම්මාට ඕනේ සල්ලි මිසක් මගේ ජීවිතේ සතුට නෙමෙයි. මගේ ජීවිතේ සතුට තියෙන්නේ ඔයා ගාව. මම එදා හිතුවා මමත් ඔයාගේ ඔය ගෙන්දගම් පොලවේ ජීවත් වෙනවා ඔය අත්දෙක අල්ලං කියලා...  මම එදා දෙවියන්ගෙන් ඉල්ලුවේ මේ ලස්සන හීන ලෝකය මට නැති කරන්න එපා කියලා 


ඔයා දන්නේ නැතුව ඇති, මේ ඔයාගේ සුදු නංගියා මම්මා පප්පගේ ළඟ මැරුණ බව. මම දැන් දුප්පත් කොල්ලෙක්ගේ ආදරේ ළඟ මහා මෙරකට තරම් හූල්ලන මනුස්ස දුවක්. මට ඔයාගේ ආදරේ තරම් වටින තවත් දෙයක් නැහැ මගේ රත්තරනේ.... 


මම හොයපු ආදරේ ඔයා.. මම හොයපු ජීවිතේ ඔයා.. මම හොයපු හීන ලෝකේ මගේ ළඟ තියනවා ඒ ඔයා ඉන්න ලෝකය අයියා.. මට සල්ලි කොලයකට මගේ ජීවිතේට හිත පුරෝගෙන ආදරේ කරන කොල්ලව දාල වෙන කෙනෙක්ගේ වෙන්න බෑ. මම ඔයාගේ ලෝකේ පොලවේ පැලයක් වෙලා ඉවරයි. ඒ පැලය මරන්න බෑ..



මම දැනගෙන උන්නා, මේ නිහඬ ආදරේ අස්සේ මහා කුණාටුවක් තියෙන බව, ඒ කුණාටුව මට දරාගන්න පුළුවනි, දහාක් බලාපොරොත්තු දීලා, දාහක් මතකයන් දීලා මට ජීවත් වෙන්න උගන්නපු මාව තුරුල් කරගෙන ආදරේ කරපු ඔයාගේ වෙනස්වීම දරාගන්න බෑ අයියා.


දන්නවා ද ?

 ඔයා ගාව ඉඳන් දළදා හාමුදුරුවෝ ගාව භාවනා කරද්දී මම ඇත්තටම භය උනා ඇස් අරින්න. මොකද මට භයයි මගේ පැතුම් අතර උන්නු ඔයාව ගිලිහෙයි කියලා.හැබැයි මම හිතුවේ නෑ මේ තරම් පව්කාරියක් කියලා මම. 

ඔයාගේ හිනාවට ආදරේ කරන්න එපා කියද්දී මම නොකර උන්නා.. ඔයාගේ රුපෙට ආදරේ කරන්න එපා කියද්දී නොකර උන්නා.. ඔයාගේ අදහස් වලට එපා කියද්දී මම මම නොකර උන්නා... ඒත් මම ඇහුවේ නෑ මම මොන දෙයට ආදරේ කරන්නද ඔයාට කියලා. හැබයි මම දැනගෙන උන්නා ඔයාට ආදරේ කලයුත්තේ ඔයාගේ හොඳ ගතිගුණ වලට විතරයි කියලා...


ඒත් අද ආදරේ කරන්න එපා කියලා කියද්දී මම කොහොමද දෙයියනේ එහෙම කරන්නේ.. ?

බුද්ධ චරිතයක් වගේ ඔයාව මම අදහනවා. ඔයාගේ වචනයක් වචනයක් පාසා ආදරේ පිරිලා තිබුණා.
ඔයා නොදන්නවා උනාට මගේ මේ පුංචි කුසේ ඔයාගේ ලේ වලින් පුංචි පැටියෙක් ගැහෙනවා දකින්න ආසාවෙන් පෙරුම් පිරුවා. එක වහලක් යට ඒ පැටියත් එක්ක ඔයාගේ අම්මා අප්පච්චිට සලකාගෙන ජීවත් වෙන්න මම තරම් හීන මවපු කෙල්ලෙක් තවත් නැතුව ඇති.. 


මම හිතුවේ ඔයා පෙරුම් පිරුව ආත්ම ගාණට මම වැඩියන් පිං කළා කියලා ඔයාව මට ලැබෙන්න. මම ඒ හැමදේම අමතක කරලා පප්පාගේ ජීවිතේ සල්ලි වෙනුවෙන් ඔයාව අත අරින්නද අයියා.. ? ඔයා ඇයි මගෙන් ඒ වගේ පොරොන්දු ඉල්ලන්නේ.. ?

ඔයාගේ පපුව මැද්දේ හිස තියාන ඔයා එක්ක ගත කරපු මොහොතක් ගානේ මට ඔයාගේ ආදරේ උහුලන්න බැරි තරම් දැනුණා. අද ඒ ආදරේ වෙනුවෙන් මම මැරෙන්න උනත් ලැහැස්තියි. මේ වටිනාකමක් හොයන මගේ ජීවිතේ කාටවත් වටින්නේ නැති ඔයාගේ ජීවිතේ වෙනුවෙන් කැප කරන්න විතරයි මට ඕනේ.
කිරුළක් ලබන්න රජ්ජුරුවෝ දෙන්නෙක් නැහැ මගේ අයියා. ඉන්නේ එක රජ කෙනයි. ඒ ඔයා. ඔයාට මාව එපානම් මේ ඔටුන්න විනාශ උනාවේ. නැති වෙලා ගියාවේ. 

ආදරය මට දුන්නේ මොන දුකක් උනත් ඒ දුක මම රැක ගන්නවා. ඔයාගේ ආදරේ අයියා වෙන කෙනෙක් අතින් ඉඳුල් වෙන්නේ නෑ. ඔයා තුරුළු කරගෙන උන්නු මේ ගත වෙන කෙනෙක්ගේ බැල්මවත් නොලැබෙන්න රකිනවා මම. වෙන කෙනෙක්ගේ නමක් මගේ නම ගාවින් ඇඳෙන්න දෙන්නේ නෑ ඔයාව හැර. හැමදාමත් ඔයා එනකම් මම ඔයා වෙනුවෙන් ජීවත් වෙනවා. 


ඔයා නාවොත් , එදාට ඔයාගේ සුදු ස්වීටි ලස්සන සුදු ඇඳුමකින් ඇති මගේ අයියා. මම මැරුණත් ඔයා ගාවම ඉන්නවා. මැරුණත් මම ඔයාගෙම දරුවෙක් වෙලා ඉපදෙනවා. එදාට ඒ පුංචි පැටියට මගේ නම දෙන්න.

දළදා සමිදු පිහිටයි. තෙරුවන් සරණින් සතුටිං ඉන්න
ඔයාගෙම ආදරය,
සුදු නංගි (____)




~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~


ලියුම අවසානයි... ඊට පස්සේ මොකද උනේ කියල උපකල්පනය කරන්න ඔයාලට ඉඩ දෙනවා.. 


****** නිර්මාණාත්මකව ඉදිරිපත් කල මනඃකල්පිත නිරුපණයකි.



                                               

Share on Google Plus

About Unknown

0 අදහස්:

Post a Comment

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..