ව්‍යාජ මිනිසුන් මැද අව්‍යාජත්වය - Blacksmith

ලොව සෑම දෙයක් සඳහාම කාලින වටිනාකමක් වෙන් කරන්නේ මිනිසා ය. ඔහු දෙන වටිනාකම සමස්ථ මිනිස් වර්ගයාම ඒකමතිකව වග විභාගයකින් තොරව ස්භාවි තීරණයකට එළඹෙයි.එය ස්භාවික සම්මතය වේ. නොයෙක් දෑ (මිනිසා නිර්මාණය කරගත්) සම්මත වටිනාකමක් මත ගොඩ නැගුනද එසේ නොවූ සමාජීය සම්මත ලොව ඕනෑ තරම් තිබේ.

මිහිදු මහා රහතන් වහන්සේගේ ලංකා ආගමනයේදී 18 කුලයක මිනිසුන් පැමිණි බව කියැවේ. ඒවා ගෝත්‍ර වලට බෙදුනේ එකිනෙකාගේ රැකියාවන් මත බව බොහෝ ඉතිහාසඥයන් ප්‍රකාශ කරයි. සත්‍ය අසත්‍ය බව ඉතිහාසයට බාර දීම කාලෝචිතය. මන්ද ඉතිහාසය තුල ලියැවෙන්නේ අතීත සිදුවීම් ය. කාලයට අනුරූපව ගත් කල බොහෝ දෑ සීග්‍රයෙන් වෙනස් වී ඇත. වෙනස් වන ජීවන රටාවන් තුල ගෝත්‍රය පටලනවාට වඩා රැකියාව පටලා ගනිමින් බොහෝ දෙනා අධි මානසිකත්වයකින් කටයුතු කරන යුගයක් නැතහොත් ඒ ආශ්‍රයෙන් වංශය කබල් ගෑමේ සංස්කෘතියක් තුන්වන ලෝකයේ රටක් වන ශ්‍රී ලංකාවේ දැකිය හැකිය.


ශ්‍රී ලංකාවට මොළ ශෝධනයක් අවශ්‍ය ය. රැකියාවක ගෞරවය තීරණය වන්නේ, කරන ක්‍රියාවේ හොඳ නරක හා ක්‍රියාවට බලපාන සාධක ඔස්සේ ය. ගොවියා සැමගේ දෙවියා වන්නේ ඒ නිසාය. ගොවිකම හෙලා දකින ශ්‍රී ලාංකිකයින් මේ පොලොව මතම හිඳ ගොවි දහඩියෙන් ඵල ලබන සහල,  බත කර කුසගිනි නිවා ගනී. ගොවිකමත් නොන්ජල් ලෙස සලකන බටහිරට ගැතියන්, ලාංකික ඇතැම් ජීවන වෘත්තියන්  දකින්නේ පටු ලෙසය. 


වෛද්‍ය වෘත්තීයට සැවොම ගරු කරයි. මන්ද වෛද්‍යවරයා රෝග සුව කර ජනයාට සෙත සලසන නිසාවෙනි. එසේම ගුරු වෘත්තිකයා සිය දැනුමින් ළමා මනස පෝෂණය කර යහපත් පුරවැසියෙකු ලෙස දරුවා සමාජ ගත කරන හේතුව මත ඔහුට බොහෝ දෙනා ගෞරවයෙන් යුතුව යටහත් පහත්ව සලකයි. නමුදු, ගල් වඩුවා, කම්මල් කරුවා, පොල් කඩන තැනැත්තා මිනිසුන් නොවේ ද..? ඔවුන් දෙස ඇතැම් පුද්ගලයින්බලන්නේ පිළිකුල් සහගත හැගීමෙනි. ඔවුන්ගේ වෘත්තීය නිසාම ඔවුන් පහත් පන්තිකයන් සේ සලකන්නට මිනිසුන් පෙළඹී ඇත. 





ඔවුන් ද හදවත් ගැහෙන මානුෂීය ගුණයෙන් හෙබි උතුම් මිනිසුන් ය. ඔවුන්ගේ කයේ දුවන්නේ ද රත්ත වර්ණයෙන් යුතු රුධිරයම වේ. "..ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත.." සාහිත්‍යය තුල මෙවැනි කියමන් බොහෝය. ලෝකය සමතුලිත වන්නේ විවිධත්වයක් අන්තර්ගතව තිබුනොත් පමණි.එසේ නොවුනහොත් සමතුලිත බව බිඳ වැටී එකිනෙකා මත වටිනාකම් තුලිත නොවී අතිරික්තයක් ඇති වීමට හේතු යෙදේ.

වෘත්තියක් කොතරම් ගෞරවණීය ද යත් පිළිබිඹු වන්නේ, ඔහුගේ හැකියාව හා සංයමය මත කිසිවෙකුට අත නොපා යහපත් චේතනාවෙන් කරන්නේ නම් පමණි. කය දහඩිය විහිදුවමින්, යකඩ පටියක් තලා එය පණ පොවමින් එදිනදා වැඩකටයුතු වලට කාර්‍ය පහසු කර ගැනීමට සපයන සේවාව කෙතරම් වැදගත් ද..?

සාමාන්‍ය පුරවැසියෙකුට එම කාර්‍ය නිසි පුහුණුවකින් තොරව කල නොහැකිය. එය කල හැක්කේ ඔහුට පමණි. 







$ ++++++++++++++ $ +++++++++++++++$ +++++++++++++++$

මා ඔහුගේ දහඩිය ගලන කය දෙස බලා සිටියෙමි. ඔහු නොනවත්වා එම යකඩ පටියට මිටියෙන් තලයි. නැවත මයිනහම කෙලවර ඇති පොල්කටු අඟුරු මත එය තබමින් මයිනහම අදින සැරයෙන් එය රත් පැහැවන තුරු ගිනිහම් කරයි.
දහඩියෙන් පෙඟී ගිය ඔහුගේ කය
ඔහු මා හට මුණ ගැසුනේ අහම්බෙන් ය. සොයා යන ගවේෂණයට වඩා මා දකින දසුන වැදගත් යැයි මා සිතට හැඟුණි. මා ඔහු ගැන උත්සුක වූයේ ඒ නිසාය. ඔහු ලද අධ්‍යාපනය 5 වසර තෙත්වත් නොවෙතැයි මා සිතමි. මන්ද ඔහුට බාහිර ලෝකය ගැන සිතුවිල්ලක් නැති තරම්ය. ඔහු ජීවන බර කරමතින් ඇද යමින්, සිය දහඩිය මහන්සියෙන් සේවය සපයන දරුවන් හෙබි ආඩම්බරකාර පියෙකි.


කයේ නහර පෑදී ඇත. බර වැඩෙහි නිරවතන කයක් බැව් බැලු බැල්මට පෙනේ. අයෝමය පුරුෂයෙක් තරම් නොවුනත් ඔහුගේ කය දකිනා විට දහඩියෙන් දිලිසුම් දෙන කයේ එවැනි ලක්ෂණ මනාව දැකිය හැකිය. චොකලට් කැට මෙන් කාල වර්ණයෙන් යුතු පපුව දකිනා ඕනෑම කෙනෙකුට අඩි පහකට පමණ ආසන්න උසකින් හෙබි හේ  තමාටම උරුම සටන් කලාවක් ලෝකයට ඉදිරිපත් කල බෘෘස්ලී වැනිය.
ඔහුගේ මුවේ සිනාවක් මා නොදුටු තරම් ය. බුලත් කෙල කහටින් පෙඟුණු දතින් හෙබි හේ සිනාසීමට ලැජ්ජා වුවා දැයි සිතුණි. නමුදු මා මුව පුරා සිනාසෙමින් ඔහු හා මිත්‍ර වුයෙමි.

නූගත්මක හා උගත්කම මත මිනිසුන්ගේ යහපත් හා අයහපත් බව මැනිය නොහැකිය.  මිනිස් නියැදියක් තුල, යහපත් ගුණාංග බොහොමයක් නූගත් පුරවැසියන් සතුව ඇත. ඔහු ලෝකය දෙස සරලව දකියි. අවශ්‍යතා හීනය. ඔහු ට අවැසි ජීවිතය එදිනදා ගෙවා දමා සතුටින් සිටීමටය. මරණය හා ඉපදීම තුල ඇති රටාව ගැන ඔවුන් හොඳින් දනී. ඒ අනුව ඔවුන් ජීවත් වේ.

ජලය පිරුණු ටැංකිය වැනි තටාකය
පසෙකින්  යාරයක් පමණ දිගින් හා පළලින් යුතු  ජල ටැංකියක් ඇත. ඒ තුල දිය සෙවල බැඳී අවලම්බනය වන කුණු වැදලි දැකිය හැකිය. හොඳින් බැලු කල, යකඩ කැබලි ඒ තුල ගිලි පවතී. එම ටැංකිය ඔහු යොදා ගන්නේ ආයුධයට අවශ්‍ය පන්නරය ලබා ගැනීමේ අරමුණින් ය. විටක එම දියට එබෙන බල්ලෙක් හෝ බල්ලෙක් කුස පුරා දිය බීමට සැරසෙයි. ඔහු සැනකින් කිපී එම සත්ත්වයා පලවා හරින්නේ, එයින් සිදුවන අතුරු ප්‍රථිපලය දැන උගත්තෙකු සේ ය. 

එයින් නොනැවතින හේ ගෙදර කුස්සියේ සිටින මායියාට බැන වදින්නේ " උන්දැ, බල්ලන්ට තැබූ වතුර ඉවරද " යැයි කියමිනි. එම ආවේගශීලී හඬට තිගැස්සෙන මා දෙස බලා ඔහු සුසුමක් හෙලයි.

ගව හමින් තනන ලද මයිනහමේ කෙලවර පොල්කටු නිවෙන හෝරාවක් නම් දැකිය නොහැකිය. එය කොතෙකුත් වෙලාවක් ඇවිලෙමින් තිබේ. එය නිවුන සේ පෙනුනද අඟුරු යට තිබෙන, ගිණි පුලිඟු එයට නිවෙන්නට නොදේ.




මෙම සෑම දසුනක් දෙසම බලා සිතින් දොඩමළු වීමට,  පැමිනි උස් පහත් සියල් මිනිසුන්ටම  වාඩි ගැනීමට බංකුවක් තනා ඇත. එම බංකුව මානවයන්ගේ සමානාත්මතාව පෙන්වන උසස් සාධකයක් සේ මා හට හැඟෙ.
මනුක්‍ෂත්වය මුදලට කේවල් කරන සමාජයක, ලාම්පු දැල්ල මත ජීවිතයේ විමුක්තිය සොයනා පළගැටියෙකු වන් මිනිසා අතර මෙවන් දහඩිය කඳුලින් යුතුව ජීවන වෘත්තීය කරගත් මිනිසුන් බොහෝ අඩුය. වෘත්තීය නූගතුන් අතර බෙදී ගියද සමාජය ගැන ඔවුන් තුල උසස් වැටහීමක් තිබේ. සම්ප්‍රදාය තුල විසුවද ඔවුන් එයින් ඔබ්බට සිතන බව පෙනේ. ප්‍රයෝගිකත්වයත්, වනපොත් නොකළ දැනුමේ මහිමයත් නිසා ඔවුන්ගෙන් ප්‍රතිලාභ ලබන ජනයා බොහෝය.

බත් ඇටයක රසය අමෘතය සේ සලකන ඔවුන් කිසිදා කුණු මත එය හෙලන්නේ නැත. මන්ද ජීවිතයේ පැවැත්ම තීරණය කරන්නේ, ගහෙන් කැඩෙන පොල් ගෙඩියෙන් සාදාගත් සම්බෝලයත් නිවුඩ්ඩ පිරුණු බතත් නිසාවෙනි.

දූ දරුවන් පාසල් යවා යහමග යවන ඔවුන් එදිනදා ගෙදර දොර වෘත්තීය සඟයන් ලෙස වැඩුනත් ඔවුන්ගේ අනගාතය ඒ මත වැඩෙන්නට ඉඩ නොදෙයි. සෑම මිනිසෙකුට මෙන්ම ඔවුනටද බලාපොරොත්තුව නමැති සේයාව ඇත. ඔවුන් ජීවත් වන්නේ ඒ නිසාය. අරුණලු නැගෙන මොහොතේ සිටම තැලෙන යකඩයත්, ගිනිහම් වන මයිනහමත් ඔවුන්ගේ ජීවිතයේ දෙවියන් ය. යකඩය නොතැළුනොත් තැලෙන්නේ ඔවුන්ගේ අහිංසක ජීවිතය බැව් ඔවුනට භියක් ඇතුවා සේය.

බුලත් හුණු වැකුණු  කටු මැටි බිත්තියත්,  ඒ මතම තැනින් තැන ගඩොලින් පිහිටවූ බිත්ති කොටසත් අමුතුම රටාවක් කියා පායි. වැටෙන අව්කාෂ්ටකය ඔවුනට කිසිදු හැගීමක් නැතුවා සේය. විද්‍යාව ගැන මෙලෝ හසරක දැනුමක් නැති ඔවුන් ලෝහ ගැන ඇති ප්‍රායෝගික දැනුම පුදුමඑලවන සුළු ය. එය වනපොත් කල දැනුමට කිසිදු දිනක ලං නොවිය හැකි බැව් මා හොඳින් තේරුම් ගතිමි.

ලෝකය මිනිසාට සැමදේම ලබාදුනි. ඒ සෑම දෙයක්ම ඔවුන්ගේ ජීවන රටාවට වඩාත් යෝග්‍ය විය. නමුදු කුල ක්‍රමය තෝරා ගත්තේ ලෝකයා ය. හැකියාව ඇත්තන්, එයින් සතුට ලද්දෝය. නොහැකියාව රජකළ ඇත්තන් එයින් පීඩා විඳි අයුරු අප්‍රමාණය. ලෝකයා රැකියාව මගින් මිනිස්කම මැනීම දරාගත නොහැකිය. මෙලොව වෙසෙන සත්ත්වයන් ජීවිතය පවත්වා ගැනීමට නම්, කුමක් හෝ දෙයක් කල යුතුය. එය මිනිස්කමේ මිනුම් දණ්ඩක් නොවිය යුතුමය.

( මෙම ඡායාරූප ලබා ගැනීමට මා බොහෝ සේ වෙහෙසුනෙමි. ඔහුගෙන් කැමරාව සඟවා  ලබාගත් දර්ශනයන් ය. එම නිසා පැහැදිලි බව ගැන කනගාටු වෙමි. )
Share on Google Plus

About Unknown

10 අදහස්:

  1. පට්ට මචන්.... මේ ලෝකේ අව්‍යාජ මිනිස්සු හරිම අඩුයි බන්......

    ReplyDelete
  2. බාහිර ඔපයෙන් මිනිස්සු මනින මේ ලෝකේ හැබෑ මිනිස්කම හැංගිලා තියෙන්නේ මේ වගේ "මිනිස්සු" ළඟ විතරයි බං.
    උඹේ ලියවිල්ල! විශිෂ්ටයි! ඒ කියන්නේ අති විශිෂ්ටයි !!

    ReplyDelete
  3. ලියවිල්ල විශිෂ්ටයි මලයා... මිනිස්සුන්ගේ අවශ්‍යතා අඩු වුනු තරමට මිනිස්සුන්ගේ ජීවිත සුන්දර වෙනවා. එත් අද කාලේ මිනිස්සු ඒ සරල බව හිතාමතාම මරා දමනවා

    ReplyDelete
  4. බොරුවට ෂෝ දාල රටට ලෝකෙට බරක් වෙන මිනිස්සුන්ට වැඩිය ඔය වගේ මිනිස්සු හරිම නිර්ව්‍යාජයි.
    නියම ලිවිල්ලක් මලයා.

    ReplyDelete
  5. පළවෙනිම දේ දැන් මෙවැනි කම්මල් දකින්නට ලැබෙන්නෙ ඉතාම කලාතුරකින්,ඒ නිසාම ඔබේ ලිපියෙ අගය වැඩි වෙනවා.පින්තුරවල කියන්න වැරද්දක් නෑ,පළවෙනි පින්තුරෙ නං වෙන කොහෙන් හරි ගත්ත එකක්නෙ.

    ReplyDelete
  6. දැං කාලේ මේවා නෑ බං. හිටියත් ඇවිදගන්නත් බැරි වයසක අය තමා ඉන්නේ. පුරුද්දට කරන...ස්තුතියි විස්තරයට...

    ReplyDelete
  7. මම හිතනවා නලියා මේක පත්තරේ දාවී කියලා.. ඒ තරම් විශිෂ්ඨයි...

    ReplyDelete
  8. මෙහෙම මිනිස්සු එක්ක එකම එක විනාඩියක් කතා කරත් ඇති මචෝ..

    ReplyDelete

  9. එළටම ලියල තියෙනව... ඇත්තටම මනුස්සකම උතුරන මනුස්සයොත් එක්ක කතා කරන එක මොහොතක් ඇති ඕන කෙනෙක් සංවේදි වෙන්න...

    අදයි ආවෙ එන්නංකො හැමදාම..
    අවන්හල

    ReplyDelete

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..