රාජකාරිය කුමක්ද ? එය දේව කාරියකි - Remove Coconut Shell.





මා ජීවත් වුයේ මිනිසුන් අතරය. මා ඔවුන්ව වර්ග ලෙස වෙන් කලෙමි. එකදු සාධකයකටවත් අසාදාරණයක් නොවී, මා ඔවුන්ගේ මානුෂීය ගුණයන් මිම්මක් ලෙස යොදා ගතිමි. මට අවැසි වුයේ වර්ගවාදයක් මැවීම නොවේ. මට අවශ්‍ය වුයේ සදා ගත් මානව වාදයන් සියල්ල කර මුලින්ම නිශේධනය කිරීමටය.
ජීවිතය සියල්ල එකක්පසව තබා, සියලු ප්‍රාණීන්ගේ දෛවය අඬබෙර වයයි. ඒ හඬ රැව් පිළිරැව් දෙයි. ඒ හඬ සුසර කල හැක්කේ ක්‍රියාවෙන් බව මගේ හැඟීමයි. ක්‍රියාවෙන් සිය දෛවය සුසර කල අභිමානවත් මිනිසුන් සොයා මා ගියෙමි. ඒ ඔවුන් සුවිශේෂ වූ නිසාය.
ඔබට දේශපාලඥයින් - නීතිඥයින් - බැංකු කරුවන් - නිලධරුවන් සුවිශේෂ වෙත්දී මා ඔවුන් අත්හැරියෙමි. මන්ද අප සැවොම ඔවුන් ගැන කතා කරන්නෙමු. අප ඔවුන් ගැන ලෝකයට අටෝප නංවමින් කියන්නෙමු. අප ඔවුන්ගේ ජීවිත මවන්නෙමු. නමුත් ඔවුන් ජීවත් වන්නේ මොවුන්ගේ ක්‍රියාවන්, වක්‍ර ලෙස යොදා ගනිමින් බව ඔබ සිතුවා ද..?


" පොල් ලෙලි ගැසීම " සමාජයේ කොතරම් හීන රැකියාවක් ද..? "මට්ට වල" කොතරම් ගඳින් පිරි බැක්ටීරියා ගහන ස්ථානයක් ද..? එහි සැමතැන තිබුනේ කුණු පොල් ගඳ පමණි. ඔබ කුණු පොල් ගඳ කුමක්දැයි දන්නවාද..? සුනඛ වසුරු පිඩක් මෙන් එම ගන්ධය නාස් පුඩු වලට වේදනා දෙන්නේය. මොළ කුහර තුල පිහිටි ස්නායු වේදනාවෙන් හඬන්නේ ය.

එවැනි පරිසරයක මෙවැනි රැකියාවක් කරන මිනිසුන් අගයන්නේ කවුරුහුද..? සැබවින්ම වේදනාකාරී ය. ඔවුන්ගේ ජීවිත පහන් දැල්ලෙන් බැට කන පළගැටියෙක්  සේ ය. එක දිනකට සිය රැකියාව අහිමි වුවහොත් මාස ගණනක් ඔවුන්ගේ ජීවිත ගෙවෙන්නේ දුක වේදනාව තුලය. පොල් ගොඩක් මැද ගෙවෙන ජීවිතය සවස් යාමයේ බඹ ගණනක් පහල පිහිටි ලිං ජලයෙන් පෙඟී යද්දී මනා සුවයක් දැනෙන බව ඔවුන් පවසයි.

කුසලාන වීදුරුවේ වෑහෙන ෂැම්පෙන් - බීර - වයින් - විස්කි රස ඔවුන් විඳ නැත. ගෑරුප්පු වදින පිඟානේ කුකුල් අඬු - රස බොජුන් වෑහුණේ නැත. ඔවුන් විඳි එකම දේ රා ස්වල්පයක් හෝ බෙලෙක් පිඟානේ සම්බෝල මිශ්‍ර සුදු හාලේ බත ය. එය ඔවුන්ගේ දිව්‍ය බොජුන් විය.

ඔවුන් කිසි දින හඬා වැටුනේ නැත. මා ඔවුන්ගේ බලාපොරොත්තු ගැන විමසද්දී ඔවුන් බුලත් කහට වෑහී ගිය දත් පෙන්වා අහිංසකව සිනාසුනා පමණි. ඔවුන් සැබවින්ම කුලෑටි පුද්ගලයින් ය. සමාජය ඉදිරියේ නිරුවත් වීමට අකමැතිය. එය ලැජ්ජාව විය යුතුයැයි මා සිතුවෙමි. නමුත් කිසිවෙකුට අත නොපා අහිංසකව ජීවත් වන ඔවුන් කුමට ලජ්ජා වන්නේ දැයි මගේ සිතේ නිරන්තර ගැටළුවක් විය.
එයට වගකිව යුත්තන් වන්නේ පවත්නා සමාජ ක්‍රමය බැව් මා තේරුම් ගතිමි. දුප්පත්කමට හා රැකියාවට ඇත්තේ සමාජයේ වැදගත්කම මනින සාධක ගුණයන් වල බල මහිමයක් බව මට පෙනී ගිය කරුණකි.

පොල් වතුර අන් කිසිවකට වඩා රසයෙන් යුතු පානයක් විය. එය කුස ගිණි නිවන ( මදකට ) එක්තරා පානයකි. පොඩි බඩ ගින්නට " බිස්කට් " සොයන සමාජ ක්‍රමයක එය අපූර්ව සොයා ගැනීමකි. සැබවින්ම මවා ගත් සමාජ ක්‍රමයේ පොලෝ තලයෙන් අඩි ගණනක් උඩින් සිටීමට මානය හිස තුල ඔබා ගත්තවුන් අතර මා ජීවත් වීම ගැන ඔවුන් හමුවේ දී ලැජ්ජාවක් දැනිණි.

අනෝරා වැහි වැටෙද්දීත් - ගිණියම් මහ පොළව සරදම් කරද්දී ත් - අව් රශ්මිට සිය කාල වර්ණ කය රිදුම් දෙද්දීත් ඔවුන්ගේ විඩාවට පවන් සැලුවේ පොල් අත්තෙන් සෙවන දුන් තාවකාලික වහල පමණකි. පොල් උල භයානක බැව් වැටහුනේ එය මා සිනිදු ඇඟිලි තුඩු වලින් පිරිමද්දී ය. පොල් ලෙල්ල දෛවයේ සරදමට ලක්වී ලිස්සා ගිය හොත් ඒ පපුව සිදුරුවනු නියතය. ( එය කිසිදින එසේ නොවේ වා යැයි මා හදවතින් පතමි ) එය කොතරම් බැරෑරුම් රැකියාවක් ද..?

සීත කාමර තුල සැප පුටුවේ ගෙවන ඔබටනම් එය සිතීමත් නොහැකිය. අධ්‍යාපනයෙන් උගතුන් නොවුවත් ඔවුන් සමාජ දැනුමින් උගතුන් වූහ. ඔවුන්ට දේශපාලනය ගැන වැටහීමක් නොතිබුනත් ඔවුන් දේශානුරාගයෙන් යුත්ත වුවන් විය. රා පොල් කට්ටෙන් - කොච්චි බීඩියෙන් - සුරුට්ටු කොටයෙන් මත් බව සෙව්වද පෝය දින ඔවුන් පස් සීලය රැක්කේය. බුදුන් ඉදිරියේ දොහොත් මුදුන් දී වැඳ වැටුනේය.

ඔබ සැමදා සිය ආගම ඉදිරියේ වැඳ වැටී පාර්ථනා වැහි හදවතින් යදින්නට ඇත. නමුදු ඔවුන්ට ඒවා නොතිබුණි. ඔවුන් ඉල්ලු දෙයක් නැත. ඔවුන් යදින්නේ නැත. ඔවුන් කුමක් නිසා වැඳ වැටුනේ දැයි කුමක් නිසා ශක්ධාවෙන් බරිත වුවා දැයි මා නොදනිමි.
අදහස් විමසීම අතරතුර



වයස 18 න් පසුව දරුවන් වැඩිහිටියන් ය. ඔවුන් සමාජයට නිරාවරණය විය යුතුය. ඔවුන් එයින් පසුව රැකියාවක් කලද කම් නැත. එයින් පසුගාමී වයස ඉගැනුම් වයස යැයි සමාජ සම්මතයක් සේම නීති සම්ප්‍රදායක් ද ඇත. ළමා අයිතිවාසිකම් කියා දෙයක් මෙම ජනරජ ව්‍යවස්ථාවේ සඳහන් යැයි බලවතුන් කියති. නමුදු මෙම උප සංස්කෘතිය තුල එවැනි දෑ නොමැත. අත පය බෙලහීන නොවන්නේ ද ? ඔහු ශ්‍රමිකයෙක් වේ. ගේ දොර අගහිගකම් පිරි පවතීද ඔහුට කිසිදින පිණට කෑමක් ගත නොහැකිය. ඔහු එයින් පසු එළඹෙන්නේ මෙවැනි කර්මාන්ත සඳහා ය. එයින් ලැබෙන මුදලින් යැපෙන ඔවුන් සිය ජීවිත වල සැබෑ සතුට මෙයම යැයි සිතති. ඔවුන්ගේ සමාජ ක්‍රමය බැලු විට ඔවුන්ට එය ප්‍රමාණය ඉක්මවා සෑහේ.
ආම්පන්න

මා ඔවුන් හා මගේ ජීවිතයේ පැය කීපයක් ගෙවුයෙමි. ඔවුන්ගේ බත රස බැලුවෙමි. ඔවුන්ගේ බුලත් විටෙන් සප්පායම් වුයෙමි. මා එයින් බොහෝ දේ ඉගන ගතිමි. පොත පතේ දිවූ මගේ දැඟිලි පොල් උලෙ ගැටිණි. රත්ත වර්ණයෙන් ලේ පිරි රිදුම් දුණි. මා ඔවුන්ගේ දෑත හා මගේ දෑත සසඳන්නට උත්සුක වූයෙමි. ඝන සමක් වූ ඔවුන්ගේ දෑත රළු ය. ඒ රළු බවින්  කියා පෑවේ ඔවුන් විඳි වේදනාවයි. ඒ වේදනාව කිසිවෙකු විඳි නැති වේදනාවකි. දෛවය ඔවුන්ට සරදම් කල ආකාරය අපූරුය. ඔවුන් දෙවියන්ට උරණ වුවන් නොවුනත් යම් දිනක මෙම මැවුම් වාදයට උරණ වනබව නම් නිසැකය.

දහඩිය පිරුණු කාල වර්ණ කය - දහඩිය සුවඳ හමන මිනිස්කම පිරුණු හදවත රුවාගත් ඒ ශරීරය ශෝබනය. මා ඔවුන්ට ප්‍රේම කලෙමි. මා හට ඔවුන් අමතක කල නොහැකි පුද්ගලයන් විය. මා හදවත වේදනාවෙන් පිරී යද්දී ඔවුන් සිනා සුනා පමණි. එහි අව්‍යාජත්වය කිසිදු දිනක මා හට ඔබෙන් විඳිය හැකි යැයි අපේක්‍ෂා නොකරමි.
මුවහත් පොල් උල

දුප්පත්කම - අගහිගකම සමාජ මිම්මන් ලෙස තකන සමාජයක් මා  ඉදිරියේදී මැවී ඇතැයි  සිතමි. මා සිතන්නේ වැදගත් වනුයේ මනුක්‍ෂ ගුණයන් ය. මනුක්‍ෂ කායික රුධිරයේ වර්ගවාදය මවා නැත. එයින් ඒ කිසිවක් ගැන පැවසෙන්නේ නැත. ඉතිං කුමටද අප ඔවුනට සිනාසෙන්නේ..? අප ජීවත් වන්නේ ඔවුන්ගේ වීර්යේ වක්‍ර නියෝජනයෙන් ය. එය හදවතේ රුවා ගන්න. ඔබගේත් මගෙත් ඔවුන්ගේත් හදවතේ රිද්මය සමානය. එකම වෙනස ඔවුන්ගේ හදවත මානුෂීය ගුණයෙන් පිරිපුන් ය.

Share on Google Plus

About සමීර සඳරුවන්

12 අදහස්:

  1. මිනිස්සුත් එක්ක ජීවත් උනාම, පුදුම පන්නරයක් ජීවීතයට ලැබෙනවා.. එහෙම උන්ට සමාජයේ ජීවත් වෙන්න බොහෝම ලේසියි, පහසුයි..

    මට කියන්න තියෙන්නේ, ඇත්තටම උඹ පොරක් කියලයි..

    ReplyDelete
    Replies
    1. පොරක් වෙන්න ඇති බං,කමෙන්ට් වලට රිප්ලයි කරන්නෙ නැත්තෙ ඒකනේ

      Delete
    2. @ හැලපෙ, +++++++

      ඇත්තටම ඒකනං හොඳ වැඩක් නෙමෙයි මල්ලි.

      Delete
    3. මේ වගේ ගවේසන සීලී මාද්දියවේදීන්ට කොහෙන්ද බන් රිප්ලයි කොර කොර ඉන්න වෙලාවක්...

      Delete
    4. Maathalan - Priyantha Hewage - හී හී.. අයියෝ.. ! මම පොරක් නෙමෙයි මාතලන් අයියේ. මට පොරක් වෙන්න ඕනේ නෑ. මට දකින්නයි ආස මේ ලෝකේ තියෙන දේවල්. ඒ දේවල් පෙන්වන්නත් ආසයි නොදැකපු අයට. :) ම්ම්ම්.. මාධ්‍යවේදියෙක් නෙමෙයි. එහෙම කිව්වොත් අපේ naleen අයියට අසාදාරණයක්. ! මම මුකුත්ම නොදන්නා ඉගන ගන්න එකෙක්. මට දෙයක් ගැන හිතලා ලියන්න බෑ. ඒකයි මං හොයලා ලියන්නේ.

      Helapa kade - අනේ නෑ අයියේ. මං කමෙන්ට් බලාගෙන ලිපි ලියන්නේ නෑ නේ..

      ///// වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
      ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි.. ///

      අනික මගේ ෆලොවර් ගානටවත් කමෙන්ට් වැටෙන්නේ නෑ නේ අයියේ. මං ඒ දේවල් වලින් කවදාවත් තෘප්තිමත් වෙන කොල්ලෙක් නෙමෙයි. වැරදියට හිතන්න එපා. ඔකේ අද ඉඳන් රිප්ලයි කරන්නම්.. :)

      Delete
  2. කියල වැඩක් නෑ මල්ලි රටට බරක් නැතුව ජීවත්වෙන ඔය මිනිස්සු තමයි නියම වීරයො.

    ReplyDelete
    Replies
    1. ඔවුන්ගේ ජීවිත මාර රසවත් අයියේ. පුඩුම රසයක් දැනෙනවා.
      පුංචිම වේදනාවක් එක්ක දැනෙන ඒ මිහිර මාරයි. උපරිමයි.
      ඔවුන් එක්ක ගෙවන මොහොතක් ගානේ මගේ කටේනම් තිබුනේ හිනාව විතරයි. ඒ වගේමයි කම්මැලි කමක් දැනුනේම නෑ..

      Delete
  3. අපිත් පොල් වත්තක ජීවත් වන නිසා ඔය කෙරුවාවෙ රග දන්නව... වත්ත අපේ නොවුනත් මාත් පොල් ලෙලි ගහන වෙලාවට ඒ සාවියට යන්න කැමතී මොකද පැලපි කන්න පුලුවන් නිසා

    ReplyDelete
  4. නියම යි. මම හැම තිස්සෙ ම කියන්නෙ මිනිසුන් මැනිය යුත්තේ ක්‍රියාවෙන් මිස අන් කිසිවකින් නො වේ කියල යි. මෙතන ක්‍රියාව කියන එකෙන් අදහස් කරන්නෙ මනුස්ස අමනුස්ස කියන භේද දෙක මිස වෙන කිසි දෙයක් නෙමේ.

    ReplyDelete
  5. උපන් බිමට ණය නැති මිනිහෙක්!!!

    ReplyDelete
  6. උඹ පොස්ටුවක්ට වෙන මහන්සිය ඉතාම අගය කරනවා .. මේ වගේ ගවේෂණයක් කරන්න ඉතින් ඇඟේ උණ තියෙන්නම ඕනේ .....එල

    ReplyDelete
  7. එක දිගට කියවගෙන යනවිට දැනෙන දේ වගේම මතක් වෙන දේත් එක්ක හිත වෙනම ලෝකෙකට යනවා වගේ දැනුන.හරිම සංවේදියි..

    ReplyDelete

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..