රිදුන හිතට දුන් feeling



මම හැමදාම හිතුවේ අනුන්ගේ දුකක් තමන්ගේ කරගෙන අඬන්න. අනුන්ගේ දේවල් ඕනේ කුණු ගොඩක් මට ලොකු උණා. සමහර අවස්ථා වලදී, මම මගේ දේවල් දන් දුන්නා. හරියට වෙස්සන්තර වගේ. යාලු වෙලා ඉන්න කෙල්ල හැමදාම මුණ ගැහුනාම මතක් කරන්නේ යන්න හදද්දී හිත කීරි ගැහෙන දේවල්.

“ ඔයා වෙස්සන්තර වගේ මාවත් දන් දෙයි ද දන්නේ නැහැ අයියා... මට එහෙම කරන්න එපා අයියා..”

මම දන්නේ නැහැ ඒ දේවල් පොඩි කාලේ ඉඳන් මගේ හිතේ ඇති උනේ කොහොමද කියලා.. හැමදාම අවදියෙන් ඉන්න මගේ හිත ලෝකයා ඉස්සරහා අහිංසක උණා. ලෝකයාට සරණක් වෙන්න ඇත්නම් හිතුණා. ඒත් ඒ සිතුවිලි අතර ශක්තියක් නැහැනේ හිතෙනකොට දැනෙන අපරිමේය දුක හිත හිමිහිට රිදෙව්වා. 


යාළුවො අතර මම රැඩිකල් අදහස් ඇත්තෙක්. මොන දේවල් කලත් මම නොකරපු ජඩ වැඩක් නැති තරම්. ඒත්... ඒ දේවල් අතර මැද්දේ කාටවත් දුකක් දෙන්න නම් හිතුනේ නෑ.

“ උඹගෙන් සඳරු කෙල්ලක් බේරුනොත් ඒක ලෝක පුදුමයක්...”

යාළුවො අතර මම ජීවත් උනේ යාලුවන්ට ඒ වගේ මානසිකත්වයක් ඇති කරලා. මම කෙල්ලන්ට ලව් කරේ ආදරේට නම් නෙමෙයි. කවදාවත් ජෝක් නොකරපු මම හැමදේම ජීවිතේට සීරියස් කර ගත්තා. පතපු ගමන් හැමදේම ලබා ගත්තු කොල්ලෙක් උන මම, දිහා ලෝකයා දැක්කේ හැමදේම ලැබුන නිසා සතුට මත ජීවත් වෙන එකෙක් කියලා. ඒත්... හැම දේකින්ම රිද්දා ගන්න ජන්ම පුරුද්ද නිසා මම සඳරු ගේ හිස් අහසේ රාලහාමි ගැන ලියපු කතාවෙන් කඳුළු එන තරමට රිදුණා.  සඳරු ලා දෙන්නෙක් වෙච්ච ඔහු සහ මම අතර ඇති වෙනස්කම නොදැනුනත් කඩේ නොයා ලියන පද පේලි අස්සේ ලියවිය යුතු දේවල් ලියන්න හිතට අදිටන් කර ගත්තේ බාගෙට අඬන ඇස් පිහ දදා.

ලෝකේ පුදුමයි. හැමෝම ලෝකේ මැවීම ගැන කතා වෙද්දී මම ඒ හැමදේම විශ්ලේෂණ කරලා මගේම තියරියක් හදන්න උත්සහ කළා. මම හිතුවේ මූල ආරම්භය කොහෙද කියලා. බුදුන් වහන්සේ දේශනා කරපු ධර්ම කරුණු වලට හිත යොමු කරපු මම ඒ දේවල් ගැන හිතන්න පුරුදු උනේ මම බුද්ධ ආගමිකයෙක් නිසා ද නැත්නම් උප්පැන්නේ ලිය වුනු ආගම උන නිසාද මම දන්නේ නැහැ. ලෝකේ ඇරඹුම ගැන කොච්චර හිතුවත් ඒ දේ ගැන මටනම් කිසිම දෙයක් ගැන හොයා ගන්න ලැබුනේ නැහැ. අංශුවක් ගැන කිව්වොත් ඒ අංශුවට ඒ දේවල් ඇති උනේ ඒ ගුණ ලැබුනේ කොහොමද කියලයි මම ඇහුවේ... 

මේ දේවල් අහන්න ගිහිං බැනුම් අහපු තරම්, මිනිස්සු මට හිනා උන තරම් මම විතරයි දන්නේ. අනිත් අය පොලවට පෑගෙන වැලි කැටයක් දිහාවත් නොබලා පොලව පෑගුවට මම ඒ පොලවේ වැලි කැට අස්සේ හිර උන ජීවිතයක් ගැන පවා හිතන්න පුරුදු උණා. නිදහස උපරිමයෙන් ප්‍රිය කල නිසාදෝ පරිසරයට සංවේදී මිනිහෙක් වෙන්න පෙළඹෙන්න ඇති.

පණ ඇති හැම ජීවියෙක් ගැනම හිතද්දී මේ මැවුම් වාදය ගැන පුදුම උණා. මේ දේවල් කොහොම ඇති උනාද..? හරියට මායාවක් වගේ. මම මායාවේ ගිලුනද කියලත් දැනුණා.
බල්ලෙක් කාණු පල්ලේ වැටිලා ගෙවන ජීවිතයේ දුක, බල්ලෙක් හීතල ගැහෙමින් කසන හොරි අස්සේ දැනෙන වේදනාව මට විඳින්න නොලැබුනත් මම ඒ දේවල් ගැන හිත හිතා අනේක වාරයක් තනියම අඬන්න ඇත්තේ වෙන කරන්න දෙයක් නැති නිසාම වෙන්න ඇති. කොච්චර සංවේදී චරිතයක් මට තිබුනත් මම ලෝකයා අතර මහා නපුරෙක් වෙලා ජීවත් උණා.

අපි හැමදාම දවස් දෙකකට සැරයක් පුරුද්දක් විදියට ගෙදරින් එළියෙන් කෑම කන පුරුද්දක් තිබුණා. අපි කිව්වේ මම චාමර , පැතුම්. නැතුව ගෙදර  සාමාජිකයෝ එක්ක මගේ ගමන් බිමන් තිබුනේ නැහැ. 

චාමර එක්ක උනත් අපි ගියේ චාමර තනියම ජීවත් උන කොල්ලෙක් නිසා. විඳින්න තියෙන හැම දුකක්ම විඳපු කොල්ලෙක් උන නිසා හිතේ ඌ ගැන ඇඳිලා තිබුන ප්‍රතිරුපේ මොකක්ද කියලානම් හැගීමක් නැහැ. කොච්චර යාළුවන් උන්නත් අපි තුන් දෙනා අතර තමයි විය හැකි යැයි සියලු කාරනා උණේ. ජාඩියට මූඩිය සේ පාසල් වියේ සිට අවුරුදු ගානක් අපි තුන් දෙනා එකටම උන්නා. සමහරවිට සංසාර පුරුදු වෙන්න ඇති. චාමර ජීවත් උනේ තනියම. සිංහලෙන් කීවොත් අම්මා අප්පච්චි නැතුව තනියම. එහෙම උනේ ඇයි කියන එක දීර්ඝ කතාවක් බව කිව යුතුමයි. අම්මා අප්පච්චි ජීවත් උනත් ඒ ඒ මිනිස්සු උන්නේ ඒ ඒ අයගේ ලෝක වල. 

ඒ ලෝක වලට බාදාවක් නොවී වෙනම ගෙයකට වෙලා තනියම තමන්ගේ පාඩුවේ නිදහස වින්දා. ඒ නිදහසේ කොටස් කාරයන් වෙන්න අපිත් උත්සහා නොකලා නෙමෙයි. අපේම වයසේ උන්නත් අධ්‍යාපනය කියන රුකේ ඉහලට නගින්න නොහැකි උනාට, අපිට වඩා සමාජ අත්දැකීම් අස්සේ ජීවත් උන කොල්ලෙක්.

අපි හැමදාම කඩෙන් කාල එන ගමන් සිගරට් කොට තුන හතරක් අරගෙන ගමේ තිබුන වැව් බන්ට් එකට යන්නේ හිතේ හැටියට ඒ සුවය විඳින්න බලාගෙන. සමහරක් වෙලාවට ඔය අතරට බියර් ටින් දෙක තුනක්ම එකතු වෙන්නේ අපිටත් නොදැනී. වැව් බන්ට් එකේ රෑ 11 – 12 වෙනකම් අපි අපේ ලෝක වල සැරි සරනවා. ගොඩක් දේවල් කතා කරනවා අපි ඒ ඒ දේවල් අතරේ ලොකුම දේ චාමරගේ ප්‍රශ්න තමයි. හැබැයි ඒ හැම ප්‍රශ්නයකටම අපිට උත්තර තිබ්බේ නැති තරම්. අපිට සනසවන්න හැකියාවක් තිබුනේ පොර ටෝක් එකක් දීලා මිසක් ඒ පොර ටෝක් කාලෝචිත උනේ නැහැ. ගොඩක් වෙලාවට අනේ මන්දා මචං කියලා අපි හිර උණා.

හැබැයි අපි තුන් දෙනා උන්නේ ගොඩක් සතුටින්. කොහිල කෑ යුතු යැයි හැම වෙලේම අපි තුන් දෙනා අතරේ එක්කෙනෙක් උන්නා. ඒ කවුද කියලා කියන්න ඔබට අවැසි නැහැ. මොන තරම් වැරදි වලට යාළුවො දෙන්නට බැන්නත් ඒ දෙන්නා ඒ දේවල් අහගෙන හිනා උණා මිසක කවදාවත් මට බැනපු අවස්ථාවක් නැති තරම්. හැමදාමත් තරහා වෙනවා. ඒත් ඒ දේවල් දුර ගියේ නැහැ. සමහරවිට හොඳට තේරුම් අරගෙන සිටිය නිසා වෙන්න ඇති.

බියර් එකක් සිගරට් එකක් බොන වෙලාවට වැව් බන්ට් එකේ එහා මෙහා දුවන කූඹි රංචු හරි හරියට මට පේනවා. මම ඒ දිහා බලාගෙන මොන මොනවද කල්පනා කරනවා. සිගරට් එක ඇවිලෙද්දී බියර් එක හිස් වෙද්දී මැවෙන සිතුවිලි අතර කූඹි ගැන මහා දුකක් දැනෙනවා. පයට පෑගිලා මැරෙනවා. කෑම හොයාගෙන නැතුව බඩගින්නේ මැරෙනවා. ඒ අස්සේ වැහි වතුරට පාවෙලා ගිහිං මැරෙනවා. මේ ලෝකේ වෙසෙන අපි වැනිම ජීවිත කියලා නේ හිතෙනවා.

කෙල්ලන් ගැන මාතෘකා වලට එනකොට ගොඩක්ම රිදෙන දේවල් වෙනවා. සමහර වෙලාවට ගමේ ජහුටයක් තිබ්බොත්, වෙන්දේසියක් තිබ්බොත් එතනට අපි තුන් දෙනාම ගිහිං වෙන් වෙන අවස්ථා එමටයි. මම කොහෙන් හරි කෙල්ලෙක් දැකලා ඒ කෙල්ල පස්සේ ගිහිං නම්බර් එක දෙන්න හදනකොටම චාමර එතනට එනවා. නිකං නෙමෙයි

“ මචං අර කෑල්ල දාල දියන්.. ඒකිට මගේ නම්බර් එක දියන් කෝ”  කියලා...

හ්ම්ම්ම්.. කියලා හිනා වෙලා පාඩුවේ උගේ වැඩේ කරලා දෙනවා මිසක්කා ඒ ගැන කියවන්න නොයන්නේ සැබෑම මිත්‍රත්වය නිසා වෙන්න ඇති.
යාළුවො නිසා ජීවිතේ යම් යම් දේ ඉගන ගන්න ඇති. යාළුවො නිසා යම් යම් දේ නැති කරගන්නත් ඇති. 
ඒත් ඒ මොන දේ සිද්ධ උනත් මම මමම උණා. ගොඩක් වෙලාවට ඉස්කෝලේ ඇරිලා ටවුන් එකට ආපුවම ඇවිදගන්න බැරිව ඉන්න මිනිස්සු කිසිම හව්හරණක් නැතුව ඉන්නවා දැක්කා. කිසිවක් නොවිමසාම මගේ ඇස් දෙක තෙමුණේ ඇයි දන්නේ නැහැ. ලෝකයාට මහා නපුරෙක් උන මම මේ තරම් හිත අස්සේ සංවේදී දේවල් ලියවෙන්න ඇයි කියන්න මම උත්සහ කළා.

ලඟදි දවසක් ඉස්කෝලේ ඇරිලා පිටිපස්සේ ගේට් එකෙන් ටවුමට පැන්නේ ඉක්මනට ගෙදර යන්න නම් නෙමෙයි. බස් එකට නැගලා හොඳ නින්දක් ගහන්න හිතාගෙන. ලොකු මිනිස්සු ඇසුරට වඩා පොඩි මිනිස්සු ආශ්‍රය ප්‍රිය කල නිසාම පුංචි පැන්චෝ ටිකක් හැමදාම මගේ අතේ එල්ලිලා ආවේ හදා ගත්තු දරුවෝ වගේ. ඉස්කෝලේ මට වැඩියෙන්ම ආදරේ කරන්න ඇත්තේ පුංචි පන්ති වල ඉන්නේ චූටි බට්ටෝ පැටව් වෙන්න ඇති.

“.. මට උඹලා එක්ක යනකොට කෙල්ලෝ හිනා වෙනවා යකෝ....”
“... අනේ අයියේ එහෙම කියන්න එපා.. පුංචි ළමයි....”

“ මල් වගේ නේ....” මම ඉතුරු ටික සම්පූර්ණ කරලා හයියෙන් හිනා වෙන්නේ මගේ පොර ටෝක් අහලා පුංචි උන් මගේම වචන වල දමලා ගහන නිසා. 

චූටි පැන්චෝ එක්ක ඉද්දි හිතට දැනෙන්නේ මාර හැගීම්. පැටව් අතර නාහට නාහන එවුනොත් නැතුව නෙමෙයි. ඒ නම් උන්ගේ ජාන ප්‍රශ්න කියලා අමතක  කරන්න මගේ හිත ඕනේ වෙලාවක ඔට්ටුයි.

හිනා වෙවී ලොකු බෑග් කෑලි උස්සන් කියන කතා වලට හිනා නොයා ඉන්නේ මම බොහොම අමාරුවෙන්. ලස්සන කෙල්ලෙක් දකිද්දී ,

“....සඳරු අයියට අන්න අරයා ගැලපෙනවා. බලන්නකෝ හිනාත් වෙනවා...”

කියලා මාව තම්බන්න පුංචි හපන්නු හොඳට දන්නවා. සමවයස් කණ්ඩායම් වලට වඩා මම පුංචි උන් එක්ක ඉන්න උත්සහා කලේ මම ළමා කලේ විඳපු දේවල් එක්ක වෙන්න ඇති. හරියට නොවිඳපු ළමා කාලයක උරුමයක් තිබ්බ මට පුංචි පැටව් ලොකු සතුටක් ගේනවා. හැමදාම මගෙන් ණයට රුපියල් 10ක් 20ක් ඉල්ලන් බෙන් ටෙන් ඩේ කාර්ඩ් අරගෙන ලොකු සතුටකින් යනවා දකිද්දී මට සහෝදර හැගීමක් නොදැනෙනවා නෙමෙයි. සයිබර් වල බෙන් ටෙනිසන් කෙනෙක් උන මට වෙලාවකට මේ පැත්ත මතක් වෙලා හිනා යනවා.

“... පුතේ කොළඹ බස් ගහන්නේ කොහෙද...?..” ලොකු බෑග් එකක් උස්සං ඇවිදගන්නත් අමාරුවෙන් පියවර තබපු වයස 75ක් විතර ආච්චි කෙනෙක් අහද්දී මම උන්නේ චූටි උන් එක්ක ටවුන් එක දිහාට එන ගමන්. ඒ වෙලාවේ කොළඹ බස් එකක් හොයන්න ටවුන් එක කෙරෝලට යන්න ඕනේ කියලා මගේ මොලේට දැනෙද්දී ඒ ආච්චි තව ප්‍රශ්නයක් තියලා ඉවරයි. 

“.... පුතේ... කොළඹ බස් එකක් නැත්ද..?..” රෙදි දාපු බෑග් එකක් යැයි කිව හැකි විශාල බෑගයක් බිම තියමින් කොන්දට අත තබා මා දිහා බලාගෙන එහෙම අහද්දී පුංචි බලාගෙන උන්නේ කට අරගෙන මොකක්ද මේ හරුපේ කියලා වෙන්න ඇති.

“... ආච්චි ටවුන් එක කෙරෝලට යන්න ඕනේ...” මම එහෙම කියලා ටවුන් එක කෙරෝලට අත දික් කලේ ඒ දිහාට යන්න කියලා..
“... හා පුතේ. ගොඩක් පිං...” කියලා ආච්චි යන්න පිටත් උණා. යන්න පිටත් උණා කිව්වට ගියේ පුදුම අමාරුවෙන්. වයසත් එක්ක ගිලන් බව නිසාම එයාට හරියට ඇවිදගන්නත් බැරි උණා.
පියවර දෙක තුනක් ඇය තබද්දී මට මතක් උනේ මගේ අම්මා. ඇයත් ගැහැනියක් නොවේ දැයි සිහි වෙනකොට මම ආච්චි දිහාට ගිහිං ඉවරයි.
කිසිවක් නොවිමසාම අතින් මම අල්ලා ගත්තා, පුංචි උන්ට පුදුමයක් නොදැනීම දුවගෙන ඇවිත් බඩු ටිකයි රෙදි බෑග් එකයි අතට අරගත්තේ කාගේවත් අණකට නෙමෙයි. 
“...අනේ මගේ පුතේ..” කියලා පිට උනේ නොහැකියාව හා වයෝවෘද බව නිසා දැනුන අසරණකම වෙන්න ඇති.

“ කොහෙද ආච්චි යන්නේ...” මම එහෙම අහලා පුංචි උන් දිහා බලලා හිනා උනේ උන් ගැන දැනුන සැබෑම සහෝදරකමට.
“.. නාත්තන්ඩියට පුතේ... බස් එකට  ගොඩක් දුර ද...? ”
“ මෙහෙන් යමු අපි ආච්චි...” 
මට ආච්චිව පාරෙන් එහා පැත්තට පන්වන්න ලොකු වෙහෙසක් දරන්න උණා. වාහන කාරයෝ ගැනනම් දැනුනේ ලොකු කලකිරීමක්. කඩි කුලප්පුව හැදුනා වගේ බස් කාරයෝ හෝන් ගහද්දි මුන්ට වයසක අම්මලා අප්පච්චිලා නැතුවද හිතුණා. 
ඒ අස්සේ පුදුමයෙන් මිනිස්සු මං දිහා බලන්නේ හොල්මනක් දිහා බලනවා වගේ කියලා වට පිට බලද්දී මගේ ඉන්ද්‍රියන්ට ප්‍රත්‍යක්‍ෂ වෙද්දී මට දැනුනේ මිනිස්සුන්ට වයසක කෙනෙක් අතින් අල්ලං ඒ මනුස්සයට උදව් කරන එක මහා පුදුමයක් ද කියලා..
කොහොම හරි කොළඹ බස් ගහන Q එකට ආච්චිව දාද්දි බස් එකක් අද්දන්න සුදානම් වෙනවා. බස් එකට නග්ගලා බස් එක අද්දන්න හදද්දී ගමන් මලු සේරෝම බස් එකට ගොඩ කරලා මගේ වැඩේ නිමා කළා. පුංචි උන් දරුවෝ වගේ මගේ ලඟ උන්නා. ඉස්කෝලේ පන්තියේ දාහක් දෙනා මේ දිහා බලාගෙන ඉන්න ඇති. ඒ දාහක් දෙනා අතරේ හිනා නැගෙන්න ඇති. ඒ උනාට දකින දකින මිනිහට උදව් කිරීමේ වගකීමක්  නොතිබුණා නෙමෙයි.

ඒ දේවල් එසේ සිද්ධ වෙනකොට ඊයේ මට ඉංග්‍රීසි උගන්වපු ආදරණීය ගුරු උතුමෙක් මුණ ගැහුණා. ඊයෙත් අපි තුන් දෙනා එලියට කෑමට ගියපු වෙලාවේ තමයි උනේ. ගුරු උතුමාට වඩා ගුරු උතුමන්ගේ දරුවන්ට තමයි මගේ ඇහැ ගියේ.

ඒ අතරේ ඉන්න දරුවෙක් සමාජය කියන වචනයෙන් කිව්වොත් මන්ද මානසික උමතුවෙන් පෙලෙන්නෙක්. අවුරුදු 15ක් පමණ වයස ඇති. ලෝකේ එලිය දැකපු මොහොතේ සිට මේ දක්වාම ඒ දරුවාගේ ජීවිතේ ගෙවෙන්න උක්ත කියූ රෝගය එක්ක. බෙහෙත් කරනවා මා දන්නා දවසේ සිට. අධ්‍යාපනය දෙන්න උත්සහා කරනවා. ඒ දරුවාට යාන්තමට අකුරු ටිකක් ලියාගන්න හැකියාව තිබීම ගැනත් පුදුමයක්. 
මතකයේ හැටියට මම ඔවුන් දැක්කේ අවුරුද්දකට විතර පසුව. ඒ හා ම ඒ පුංචි දරුවා දැක්කේ අවුරුදු දෙකකට විතර පසුව. මට පුදුමයක් දැනෙන කරුණ නම්, ඔහු මා දුටු වන්ම හඳුනා ගත් අයුරුයි.

දුටු පමණින් මා දෑතින් අල්ලා ඔහු ඔහුගේ භාෂාවෙන් සෙනෙහස පෑවේ ඔහුගේ මිතුරෙක් දුටුවා සේ ය. මම ඔහුගේ දෑත් අල්ලාගෙනම බොහෝ වෙලා ගුරුවරයා සමඟ වත ගොත කියන්නට ඇත.

“ ලොකු පුතා අතනින් ඉඳ ගන්නවා...”  ගුරුවරයා එසේ කියද්දී ඔහු දෑත් බැඳ අසුනකින් වාඩි ගනියි.
නැවතත් විනාඩි කිහිපයකින් පැමිනෙයි. නැවත අණ ලැබෙයි. නැවත යයි. නැවත පැමිණෙයි.

දකින්නාට එය සිනහවකි. නමුත් විඳින්නා පමණක් එහි දුක දන්නා බව කල්පනා කල විට දැනේ. ජීව විද්‍යාත්මකව මෙවැනි කාරණා සඳහා විවිධ හේතුන් පෙන්වාඩ් දිය හැකිය. නමුත් සමාජ විද්‍යාත්මකව මෙවැනි දරුවන් යහපත් ලෙස සමාජ ගත නොවුනහොත් බරපතල ලෙස අතවරයන්ට ලක් වේ. එවැනි සිදුවීම් ලෝකයේ බහුලය. 
එකල ඔහු අපට ගුරුවරයා උගන්වන අවස්ථාවලදී පොතක් පෑනක් ගෙන පන්තියට පැමිණියා මතකය. පැමිණ අසුනකින් වාඩි වෙයි. නොයෙක් බලි රූප අඳි. ළඟ ඔහු ප්‍රිය කරන්නෙක් සිටි ද ඔහුව ඔහු සිප ගන්නේ සැබෑම සෙනෙහසකිනි.

ඔවුනට ජීවිතයක් හිමිය. අඩුව නම්, ඔවුන් බුද්ධියෙන් හීන වීම පමණයි. නමුත් සමහර බුද්ධිමත් මිනිසුන්ට වඩා ඔවුන් ශිෂ්ට සම්පන්න හැසිරීමක් පෙන්වන බව කිව යුතුමය.
කියන්නට අතේ අවසන් ලෙස මෙපමණය.
කතා ලියවෙන්නේ ජීවිතයක් තුලිනි. ජීවිතයක් පණ ගැහෙන්නේ අත්දැකීම් තුළිණි.
ඔබ මා දකින්නේ යම් සේ ද , මා ජීවිතය සොයන්නේ අත්දැකීම් මත ගොඩ නගිමිනි. යමෙකුට මා තැම්බීමට අවැසි නම්, ඔවුනට ගොරක ඇඹුල් සැපයීම මා සතු සිරිතකි.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
-      
  ලියන්නට මාතෘකා නැති වෙත්දී, නාමිකව මා හා සමාන, නමුත් අත්දැකීමෙන් මට වඩා බොහෝ සෙයින් අහසට පොලව සේ උසස් පිරිපුන් සඳරු ගේ බ්ලොග් සටහන හේතු විය.
Share on Google Plus

About සමීර සඳරුවන්

9 අදහස්:

  1. //කතා ලියවෙන්නේ ජීවිතයක් තුලිනි. ජීවිතයක් පණ ගැහෙන්නේ අත්දැකීම් තුළිණි.ඔබ මා දකින්නේ යම් සේ ද , මා ජීවිතය සොයන්නේ අත්දැකීම් මත ගොඩ නගිමිනි. යමෙකුට මා තැම්බීමට අවැසි නම්, ඔවුනට ගොරක ඇඹුල් සැපයීම මා සතු සිරිතකි.// උදානයක් වගේ....

    ReplyDelete
  2. උඹ පෙන්නපු තැන නම් ලස්සනයි මලේ. එතැනට ගියා මමත් ඔන්න.
    මම ආපු නැති ටික දවසට සඳරු ගොඩක් වෙනස් වෙලා වගේ.

    ReplyDelete
  3. අපොයි බොලා ඔය තරං ඔල්මාද වෙන්න එපා. එහෙම උනොත් අනාතයි අනාගත පරපුරම

    ReplyDelete
  4. ඔයා අර වයසක ආච්චිව පාර පන්නවන්න අතින් අල්ලාගෙන ඉද්දි මිනිස්සු පුදුමෙන් බලන බැලුම් මමත් අත්දැකලා තියෙනවා බෙන්. මම උදේ කැම්පස් යන වෙලාවට මගේ අතේ එල්ලිලා පාර පනින්න පුරුදු වෙච්ච ආච්චි අම්මා කෙනෙක් හිටියා ඉස්සර. එයා කහඉරට අඩිය තියන්න කලින් පොඩි දරුවෙක් වාගෙ මගෙ අත තද කරලා අල්ල ගන්න හැටි තවම දැනෙනවා. ඒ කාලෙ, ඒ සිදුවීම දිහා අපේ සමහර අය උපහාසෙන් මා දිහා බලාපු අවස්ථා ඕනෑ තරම්.

    පුංචි එවුන්ට ආදරේ පෙන්නන එකත් ගොඩක් අයගෙ හිනාවට ලක්වෙන කරුනක් තමයි. කෙල්ලෙක් වුන මට වඩා කොල්ලෙක් වෙච්ච ඔයාට ඒ අත්දැකීම වැඩිපුර විඳින්න ලැබිලා ඇති. ඒ නිසා ඒ ගැන මම වැඩියෙ කතාකරන්න යන්නෙ නෑ. එක දෙයක් කියන්නම්. අපේ සමහර කෙල්ලො තමන්ගෙ වයසෙ කෙනෙක් පොඩි බට්ටෙක්ව හුරතල් කරන හැටි දැක්කාම එයාට දාන කින්ඩි වල හැටියට මට පුදුම හිතෙනවා උන් දවසක මොන විදියේ අම්මලා වේවිද කියල.

    මේ ලිපිය තදින්ම හිතට වැදුනා.

    ReplyDelete
  5. බෙනාගේ අතින් ලැප් එක බිම වැටිලා. කොල්ලට ආයේ නෙට් එන්න ටිකක් කරදර වෙයිලු ටික දවසක් යනකල්.

    ReplyDelete
  6. හෑ ... ලැපට බඩු හරිද

    ReplyDelete
  7. දැන් කවුද උඹව තම්බන්න බලන් ඉන්නේ ...?

    ReplyDelete
  8. ජීවිතේට ලැබෙන අත්දැකීම් අත්විදීම් බොහෝමයි. ඒත් කෙනෙක්ට ඔය විදියේ පිරිපුන් සමාජ අත්දැකීම් ලැබෙන්නෙ ගොඩක් අඩුවෙන්, මොකද කිව්වොත් බොහෝ අය ජීවත් වෙන්නේ 'මගේ' කියන ලෝකය ඇතුලේ විතරයි. එලියට ඇවිත් යතාර්තයත් එක්ක හැප්පෙන්න ගොඩක් අය කැමති නෑ. රැඩිකල් මතධාරියෝ හැමවිටම සමාජේ වෙනස් කරන්න උත්සහ ගන්නව.. මාත් ඒ වෙනසට කැමතියි.

    ReplyDelete

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..