මියැදුණු මතකයන්



හිතට සහනයක් නැත. විටක සිනාසෙන විටක හඬන මා දෑස් පියා ගැනීමට බොහෝ වෙහෙසුනෙමි. නින්දක් පිළිබඳව කිසිදු තැකීමක් නොකර දෑස් කෑලි කපන අඳුරේ ඔබ මොබ දිව ගියේය. හිත පත්ලෙන් නැගෙන විස්තර කල නොහැකිවූ සතුටක් හද කොනකින් ඉලිප්පී නිදි වර්ජිත රැයකට ආරාධනා නැගුවේ, නග්න පපුවේ රෝම කූපයන් පවා විකසිත කරමින. 

බටහිර වේග රිද්මයේ ගී තාලෙට මා ඇහැරී ගැස්සී ගියේය. වෙනදානම් තව විනාඩි පහක් කියා මා නිදි සුව සොයනවා නියතය. නමුදු සිත මටත් කලියෙන් අවදිව ඇත. අරුණළු ජනෙල් පියන් අතරින් විත් ගතේ සංවේදන මාධ්‍යන් ඔස්සේ දුවා මොලයට කරන කම්පනයන් සුළු පටු නොවේ. දුරකතනයේ “එලාම්” off කරමින් මා එහිම ඇති විදුලි ආලෝකය දල්වා නාන කාමරයට රිංගා ගතිමි. දත කට වෙනදාට වඩා පරිස්සමින් හා සීරුවට මදිමින් වතුර මලින් වෑස්සී වැටෙන ජල බිඳු වල ගැහෙන සීතල ගතට දැනෙන්නට ඉඩ හැරියෙමි. කොතරම් සීතලක් දැනුනත් ගතට දැනුනේ අමුතුම පහසකි.


“ මේ චන්දෙ දවසේ ක්ලාස් තියෙනවා ද..?” සුපුරුදු සැකය මිශ්‍ර වචන  මවගේ මුවෙන් පිට වෙත්ම මා කල්පනා ලොවින් නික්මුනෙමි. 

“ඔව්... අම්මා... අද ක්ලාස්.. අපි ලොකු ළමයි නේ අම්මියෝ... අනික අපිට චන්දෙ නැහැ නේ... මම නුවර යන්න ඕනේ අම්මා.. ක්ලාස් නැත්නම් නුවර තමයි.”

“... බත් එකනම් හරි... අල විතරයි තෙල් දාල උයාගන්න ලැබුණේ.. ඉන්න ඔතලා දෙනකම්...”

“... එපා අම්ම.. කඩෙන් මොනාහරි කන්නම්...”

“... ඇයි කවදවත්ම නැතුව ප්‍රතිපත්ති ගරුක මිනිහා වෙනස් වෙලා.. වෙනද කඩෙන් මුකුත්ම කන්නේ නැහැ. අපිට කන්න දෙන්නෙත් නැහැ නේ ද ..? අද විතරක්ම මේ මොකද..? ...” මව දකින්නේ මා පිළිබඳව සැකය මිශ්‍රවම බව මා දනිමි. නමුදු එහි ඇත්තේ ආදරය බැව් මා හට දැනෙන්නට වැඩි වෙලා ගත වෙන්නේ නැත.

“.. අනේ අම්මා.. ළමා නිවාසෙට යන්න ඕනේ පුළුවන් උනොත්... තව නුවර යන්න ඕනේ යාළුවො එක්ක ..” මම ආරුඩ කරගත් අමනාපයෙන් කීවෙමි.

“සල්ලි නම් නෑ.. ගිය සතියේ ක්ලාස් පීස් දුන්නෙත් නැහැ නේ.. ඔන්න තාත්තාගෙන් ඉල්ලා ගන්න..  ගිය මාසෙම පඩිය ණය බේරන්න වියදම් උණා... උඹට ලොකු රටේ මිනිස්සුන්ගේ දුක. උන් වෙනුවෙන් වෙහෙසිලා උඹට මොනවා ලැබෙයි ද ...? ..” 

“ ආත්මාර්ථකාමී වෙන්න එපා අම්මා...” කියන්නට බොහෝ දේවල් තිබුනත් මගේ තර්කයන් අවසානයේ ඈ බොහෝ විට බැන වදින්නට උත්සයක් දරයි. ගහකට එහි ඵල, බරක් නොවන්නා සේ මගේ මවටද මා බරක් නොවන බැව් ඇගේ හැසිරීමෙන් ලොවට පෙන්වයි. මවක් එසේ ය. රැක ගන්නට බොහෝ විට තම දරුවන් උත්සහ කරයි. ඈ දකින්නේ ඇගේ දරුවාගේ සතුට පමණි. ඇයට අවැසි වන්නේ ඒ සතුට නියම ආකාරයෙන් ලැබෙන්නට සැලැස්වීමයි.

සියල්ල අවසානයේ උදේ ආහාරයද නොගන මවගේ දෙපා වැඳ ආපසු “කිරි අම්මගේ” නිවසේ මට හිමි කාමරයට පැමිණ ලක ලැහැස්ති වුනෙමි. හිත අස්සේ දැනෙන හැගීම් අරඹයා ජීවිතේ වටිනා දෙයක් ලද්දා සේ හැගීමක් දැනේ. ලා තැඹිලි පැහැ ගත් ඉරි අත් දිග ෂර්ට් එකත්, කළු පැහැ ගත් ඩෙනිමත් අසීරුවෙන් කකුල් අතරින් බස්සා කැඩුම් බිඳුම් වෙදෙක් රෝගියාට තෙල් සාත්තුවක් දෙන විට තෙල් ආලේප කරන්නා සේ ක්‍රීම් අතින් ගෙන මුහුණ පුරා සීරුවට ආලේප කලෙමි. ජෙල් පැකට් එකක් සූරා හිස ඉත්තෑවෙක් මෙන් සකස් කල පසු නියම හැඩ මා ගතට ලැබේ.

“... අන්න දර්ශන ඇවිත්... ඉක්මනට එනවා.. මනාලි වගේ ඔතන හැඩ වෙන්නේ නැතුව...” නැන්දා කාමරයට එබී කියන විට මගේ රුපලාවන්‍ය ගාරයේ වැඩ නිමවී තිබිණි. 

“ හරි හරි... ඉන්න කියන්න...” අමතර පන්ති රැගෙන යන බෑගයත් ගෙන මා නැන්දා හා පවුල් සාමාජිකයන්ගේ දෙපා වැඳ දර්ශන අයියාගේ මොටෝ සයිකලයට ගොඩ විණි. 

“... අම්මට හුඩු... කොල්ලා අද මල් කුමාරයා වගේ නේ..” කියා ඔහු කින්ඩියට සිනා සුනත් අරුත් දන්නා මා “ අනේ පලයන් ..” කියා කතාව වෙනතකට හරවා ආ ගිය, යන මග තොරතුරු බෙදා ගත්තෙමි.

“.... උඹට සීරියස් ඒ කෙල්ල ලව් මල්ලි යේ... නැත්නම් ඔහොම ගමනක් යන්න එන්නේ නැහැ...” 

“... හ්ම්ම්. වෙන්න ඇති. ඒත් මට සීරියස් වෙන්න බෑ ඕයි.... කෙල්ලෝ හරි ඉක්මනට වෙනස් වෙනවා. බූට් කාල නැහැ. ඒ උනාට ඕනේ තරම් බූට් කාපු උන් විඳපු දුක උන් එක්ක විඳලා තියෙනවා. අනික බං... කෙල්ලෝ මට අරුමයක් නෙමෙයි...” මම කීවෙමි. 

“ අනේ පලයන් බං... ඒ උනාට ඒකිට දුක හිතෙන විදියට හැසිරෙන්න එපා. ඒ උඹේ දෛවය වෙන්න ඇති. බලහං 9 වසරේ ඉඳන් උඹ වෙනුවෙන් මැරෙන්න හදන එකී නේ... උඹම අවසනෙට එකී ලඟට ගියා..”

“... අනේ මන්දා බං එයා  කරනකං කරනවා...”

කතාව ජීවිතේ මතකයන් අවුස්සා වැරදුන තැනක් පවා යලි නිවරද්‍ය කිරීමට සමත් ය. මා ඒ බැව් දැනගත්තේ මෑතකදී ය. මන්ද ජීවිතයට ලැබුන දෙයට වඩා නොලැබුන දේ සෙව් මා වැනි එකෙකුට ලැබුන දේ කිසිදු විට අරුමයක් වුයේ නැත. සියල්ල රසේඉන්ද්‍රියන්ට ගෝචර නොවන කල්හි මා නපුරු ගති ඇති යක්ෂයෙක් සේ ඒ සියල්ල සිතින් මරා දැම්මෙමි.

“ මේ මගෙත් එක්ක එනවකො මාර්කට් එක දිහාට යන්න.. ඔයාට වැඩ පටන් ගන්න වෙලා තියේ නේ සැලුන් එකේ...”

“... ඊට කලින් බඩට දා ගත්තොත් නරකද...? මේ මොන දිල්ලියක ගියත් කමක් නෑ දෙන්න එක දෙක වෙනකොට ටවුන් එන්න ඕනේ... අද චන්දෙ නිසා මේ ඉලව්වේ මොන %^*(() වෙයි ද දන්නේ නැහැ ඔන්න....”

“... හරි හරි බං.. කන්න බෑ බඩගිනි නෑ මට...”

සුවහසක් මිනිසුන්ගේ අසිරිමත් නවාතැනක් වන්නට ඇත මෙම හස්තිශෛල පුරවරය. බොහෝ පෙම්වතුන් හමු වන්නට ඇත. මේ බිමේ හමු වුවන් මේ බිමේ වෙන් වන්නට ඇත. අසිරිමත් ඇතාගල මුදුනෙතෙහි වැඩ හුන් බුදු පියා මේ දෙස කරුණා නෙතින් දකින්නට ඇත. ප්‍රේමය ජීවිතයකට ආශිර්වාදයක් වන්නේ එහෙමත් අවස්ථාවකට ය. සියලු මට සිලුටු ස්ථාන ප්‍රකම්පනය කරමින් ජීවිතේ යම් යම් හැගීම් උරා ඒ ඒ තැන්හි සදාකල් මතක නවාතැන් පොළවල් සාදන්නේ ජීවිතය හිමි අයිති කරුවාගේත් අවසරයත් නැතුවම ය.

“ .... කෝ බං... උඹේ රූප රාජීනී නැහැ නේ... මම යන්නද ඇවිල්ලත් දැන් පැය භාගයක් විතර උණා... ”

“... එල අවුලක් නැහැ.. උඹ යමං... උඹට වැඩ නේ.. මමත් තව ටිකක් බලලා එනවා බං.. මගුල..”

“... එහෙම කරන්න එපා සුද්දෝ.. කෙල්ලට අවුලක් ද දන්නේ නැහැ නේ... ටිකක් වෙලා බලහං..”

මා මොහොතකට තනි වුනෙමි. මිනිසුන් අතර මගේ දෑස් ඒ දෑස් සොයමින් බලා සිටියෙමි. මුවගෙහි ඈ නමින් මිමිණු ගී පදයන් එමටය. 


“.... දෑස රිදෙනවා....

පාර බලා හිඳලා.....

ඔබ ආ වෙලේ..

ආගිය වාරේ...

මල් ලොව මල් පිපුණා.....”


බොහෝ පෙම්වතුන් පෙම්වතියන් එහි සිටියහ. ඇතෙමෙක් සහකරු එනතුරා දෙනෙත් දල්වා සිටියහ. තවත් එකෙකු, “ අනේ එන්නේ නැත්ද...” කියමින් ජංගම දුරකතනයෙන් හුරතල් වැකි කියනා සවනට වැකුණි. මා ඒ අතර ගී මුමුණමින් නිනව්වක් නැතුව අවට යන එන වාහන හා සෞන්දර්යාත්මක දේ වින්දෙමි.


ගැහෙන පපුවත් මුසපත් කරන ඒ රුව ඈත තියාම සිය යෙහෙළිය හා එනු දකිනා විට දැනෙන සතුටනම් කිව නොහේ.. ඈ එන පෙර මගට මා දෙපතුල් පිය නැගුවේ කිසිදු අණක් මා තුලින් නොලැබී ය.

“... ම්ම්ම්.. කෝ යමු... !...”

“... කොහෙද යන්නේ අයියා අපි....”

“.... නුවර යමු...”

“.. එත් අයියා මෙයාගේ බෝයි ට එන්න වෙන්නේ නැහැ ලු.. පව්..”

“.... ම්ම්ම්... එකට මොකද කරන්නේ එතකොට..? ..”

“.. ඔයාල දෙන්න යන්න.. ගිහින් පරිස්සමට එන්න...” ඒ ඇගේ යෙහෙළියයි. 

“... අපි දෙන්න යමු... කමක් නැහැ... ”

යෙහෙළියට හා ඇයට තීරණ ගන්නට, කතිකා කරගන්නට ඉඩ හැර මා ඉවතට ගියෙමි. ඈ දුටු පමණින් සිතේ නොයෙක් විධි හැගීම් නළියයි. විටක ගැහෙන පපුව මටද නවත්වාලිය නොහැක.

“... අයියා එන්න යමු...”

“... මෙයා මොකද කරන්නේ එතකොට...” මා ඇගේ යෙහෙළිය පෙන්වා විමසුවෙමි. 

“... මම යනවා අයියා ගෙදර... එයාට එන්න බැරිලු... එයා වැඩ ලු....” කියමින් ඇගේ යෙහෙළිය හඬන්නට ගත්තාය. 

සැනෙකින් කඳුළු සඟවා සිනාසුන ඈ “... ඔයාල යන්න...” කියමින් අප හා බස් නැවතුම කරා ආවය..

“... නුවර ..” ලෙස විශාල අකුරින් ලියා ඇති බස් රථයක් අසලට ගොස් මා සීට් ඇත්දැයි බැලීමි. එහි මගීන් ඉතිරි ගොසිනි. 

ආපසු හැරී බලනකල ඈ අසල වයසින් වයෝවෘද වූ ආච්චි කෙනෙකුන් සිඟමන් යදී. මා සිනාමුසු මුහුණින් යුතුව ඈ කරා ගියෙමි. ඈ ලඟට යනවිට එම ගැහැණිය සිඟමන් ලැබ එතනින් ගොස් හමාරය.. 

“... කවුද ඒ... නෑයෙක් ද ...” මම විමසුවෙමි. 

“... නෑ මැට්ටෝ.... ඒ ආච්චිට බස් එකේ යන්න සල්ලි නැහැ ලු. මගෙන් ඉල්ලුවා මම දුන්නා..”

“... මෝඩි... ඔය හිඟා  කන එක ක්‍රමයක්. ඔය මිනිස්සු ඔහොමම තමයි. බලන්නකෝ හෙටත් ඔයා මෙතනට ආවොත් ඔයාගෙන් හෙටත් ඔය විදියට ඉල්ලයි..” 

“.. ඔයාමනේ කිව්වේ අසරණ මිනිස්සුන්ට උදව් කරන්න කියලා.. ඔයාමනේ කිව්වේ ඔයාට ආදරේ නොකලත් කමක් නෑ අහිංසක මිනිස්සුනට ආදරේ කරන්න පුරුදු වෙන්න කියලා..”

“.... හරි හරි... දැන් ඇති...”

“.... මම එයාගෙන් අපහු සල්ලි ඉල්ල ගන්නවා.. එතකොට හරි නේ..”

“... එපා ...” යැයි කියමින් මා ඇගේ දෑත අල්ලාගෙන සිනාසුනෙමි. 

“... මේ අර කොල්ලා මට ඇස් ගැහැව්වා ඔයා අරහේ ඉද්දි....” කියමින් ඈ දුරින් උන් කොල්ලෙක් පෙන්නා අමනාප මුහුණක් ආරුඩ කර  ගත්තේය..


මා සිතට නැගුනේ හාස්‍ය මිශ්‍ර තරහවකි. ඉවසා දරාගන්නට නොහැකි වුවද ඉවසීම දරා ඈ තවත් මා හට ලං කරගත්තේ ඈ මගේ පෙම්වතිය බව සැමටම පෙනෙන්නට ය.

බස් රථයේ මුල්ලක වාඩි වූ  අප දෙදෙනා දෑත් පටලා ගත්තෙමු. ඇගේ රෝස පැහැ වූ තොල් මත ආලේපිත ලිප්ස්ටිප් නිසා ඇය තව තවත් සුන්දරව පෙනෙන්නට ඇත. ඈත පරිසරයේ බොහෝ පාරිසරික සුන්දරත්වය දකිමින් ඒ හා අප ජීවත් උනෙමු. නොයෙක් කතා අතර ඈ ජීවිතේ ඉමක් කොනක් නැති බලාපොරොත්තු දිග හරින්නට සමත් වුවාය.

“ ඔයාගේ ගෙදරින් කැමති වෙයි ද අයියේ මට...”

“.. අපේ අම්ම කැමති වෙනවා ෂුවර් මට..”

“... එත් අපේ අම්මා එච්චර හොඳ නැහැ අයියේ.. එයා කිව්වා ඔයා ගැන අදහසක් තියෙනවා නම් දැන්ම නැති කරගන්න කියලා. අපි දෙන්නට එකතු වෙන්න දෙන්නේ නැහැ කිව්වා කවදාවත්...”

“.. ඒ ඇයි.... ??..”

“... එයාලට ලොකු සල්ලි.. මාව සල්ලි තියන කෙනෙක්ට බන්දන්න ඕනේ එයාලට....”

“...ම්ම්ම්ම්... එහෙම තමයි දෙමව්පියෝ බබා..”

“... අනේ මන්දා දැන් තමයි ජීවත් වෙනවා කියලා දැනෙන්නේ අයියේ.. ඔයා හරි හොඳයි... ඔයාට මිනිස්සු කොච්චර එරෙහි උනත් ඔයා කියන්නේ ඒ අයට ආදරේ කරන්න කියලා. ..” 

“... එහෙම තමයි ... මෝඩ මිනිස්සු අතර බුද්ධිමත් අපි ඉන්නම ඕනේ..” කියමින් මා සිනා සුනෙමි. 

“.. මටත් ඔයා වගේ වෙන්න ඕනේ.. අපි අර ළමා නිවාසෙට බත් අරගෙන දෙමු. 
...මම සල්ලි දෙන්නම්.. ඔයාට පුළුවන් නේ මට උදව් කරන්න. ප්ලීස් අෆ්ෆා... ඔයාමනේ කිව්වේ අහිංසක මිනිස්සුන්ට උදව් කරන්න.. එයාල වෙනුවෙන් අඬන්න උනත් ලැහැස්ති වෙන්න කියලා..” කියමින් ඈ ඉල්ලීම් කරන විට මා සිත ප්‍රීතියෙන් ආඩම්බර වූවෙමි. 

“... මේ මගේම කෙල්ලනේ..” ලෙසින් අහිංසක හැගීමක් ඇති විය. එය නොපෙන්වා මා ඇයට දෑස් පෑවෙමි.

“.. හිතන තරම් ලේසි නැහැ... අපි මොනාහරි ප්‍රෝග්‍රෑම් එකක් කරන්න හිතාගෙන ඉන්නවා. එතකොට ඔයත් එකට සම්බන්ධ වෙන්න ... එතකොට හරි නේ..”

“.. හ්ම්ම්.. කොහොම හරි මට අරක කරන්න ඕනේ.. ඉක්මනට කරන දේ කරන්න...” කියමින් ඈ ඇවටිලි කළාය. මා ඉවත බලා ඇගේ ඒ සිතුවිල්ල තුල ආඩම්බර පෙම්වතෙක් උනෙමි. මන්ද මා හට ලැබුන පෙම්වතිය ගුණයෙන් උසස් වූ හැගීම නිසාය.

නුවර කුරුණෑගල මාවත දෙපස කඳු පන්ති ඔස්සේ නෙත සිත දිව යන්නේ ඇසිල්ලකිනි. පරිසරය මනස්කාන්තය. ඈ හා පැටලුන දෑත් නිසා ජීවිතේට නොමියෙන සතුටක් ලැබුනාක්  මෙනි. මිනිසුන්  මැද නානාවිධි බැල්මන් වලට යටත් ව විඳින මේ පහස නිදහසේ විඳින්න ඇත්නම් සිතිණි. පිළලයක් උඩු දුවා ගසේ සියලු සාරය උරන්නා සේ ආලය නමැති විෂය ශරීරයේ මෘදු තැන් වල ලැඟුම් ගත්තේය. ඉවසා දැරිය නොහැකි කල්හි ඈ හා සිනා වූවෙමි.

“ ඇයි... හිනා වෙන්නේ... ?...” 

“... නැ නිකන්...”


“... මට භයයි අයියේ...”

“..ඒ මොකද..?...”

“... ඔයා වෙන කෙනෙක් ලඟට යයි කියලා.. මං ගොඩක් භයේ ඉන්නේ..”

“...එහෙම වෙන්නේ නැහැ... මගේ ජීවිතේ කොටසක් වෙලා ඉවරයි ඔයා ...”

හිස් බැල්මෙන් ඉවත බලාගත් ඈ දෙස මා කුමක් පවසයි දැයි සිතමින් පසුබිමින් ඇසෙන නන්දා මාලිනියගේ ගී රාවයට කන් දුන්නෙමි.

“... ඔය සින්දුව අහන්න.. ඔය මම ඔයාට කියන්නේ...”

“... ම්ම්ම්ම්...”

පෙම් ගීතයක් තුල ඇති වැකි එකින් එක දෙසවන් කරා ගොස් හදවතේ තැන්පත් වෙත්දී, ඇගේ පුංචි සිනහව පුංචි දෑත් දෙස බලා ඔහේ නිනව්වක් නැතුව සමාධියකට සමවැදුනෙමි. ජීවිතයේ මා ලද ආදරය මෙයම විය හැක. මව කරා ගොස් ඇගේ ඇකයේ තුරුළු වුන කාලයක් පිළිබඳව මා සිහියේ නැති තරම් ය. පිරිමි දරුවෙක් ළං වන්නේ මවකටය යන සමාජ මතයන් බිඳිමින් මා පියා කරා දැඩි සෙනෙහසක් පැවෙමි. කරදඬු උස්මහත්වී හිස තිබුණ තැනට කර ආ පසුත් මා පියාගේ දෑතින් බත් කෑවෙමි. ගුලිකර කැවූ බත් පිඩු වල රසය තාමත් දැනෙන්නා සේ ය. මව ආදරය කලේ බොහෝ දුර සිටය. නමුත් මව කෙරේ මා සිතේ බොහෝ ගෞරවයක් ඇති බව කිව යුතුමය.


“....මොනවද කල්පනා කරන්නේ බලන්නකෝ.. අර මාර ලස්සනයි නේද....? ” ඈ ලං වී දෑත දිගුකර ඈත කඳු පන්ති පෙන්වා සිනාසෙයි. මා ඒ දෙස බලා සිනාසුනෙමි. සිතිජය වසාගත් කඳු පෙළක් මධ්‍යයේ, මෙහා කෙලවර වූ අප  බස් රථය දිවෙන කඳු පෙළක් උඩ තැනුන මාර්ගයක් යැයි සිතිය හැකි ස්ථානයක සිට බැලු කල මාර්ගය සම්බන්ධ කඳු පෙලේ සිට පහත පෙනෙන්නට තිබෙන්නේ, වෙල් යායක් හා ගිනි පෙට්ටි වන් මැටියෙන් තැනුන නිවෙස් ය. තන්හි තන්හි උළු සෙවෙලි කල නිවෙස් දක්නට ලැබේ. පහල මිටියාවතේ සමහර තැන් වල උසින් යුත් රබර් ගසින් ගහන පරිසයක් දැකිය හැක. ගල් පර්වත මත ලියු චන්ද හිමියන්ගේ නම් හොඳින් බැලු කල දැකිය හැකි ය.  දුටුවන් මන බඳින දැකුම් කළු පරිසරයක් හිමි එම ගමන් මාර්ගයේ යන සෞන්දර්යවේදියෙකුට නම් මනස්කාන්ත දර්ශයක් දෑසට උරුම කර දිය හැකිය.

“... ලස්සනයි තමයි බබා.. මාරයි නේද..?..”

“... මට ගොඩා.....ක් ආසයි... ඔන්න ඔය වගේ වෙල් යායක චූටි චූටි මල් වැටුන ගවුමක් ඇඳගෙන, නියරවල් මැදින් දුවගෙන දුවගෙන යන්න..... පුංචි ගෙදරක තනියම ජීවත් වෙන්න..” කියමින් ඈ මා දෑත තව තවත් ඇගේ දෑඟිලි හා පටල සිර කර ගනී.

“...හොඳට හිටී... එහෙම දුවගෙන දුවගෙන යත්දී, ඔය නියරවල් වල කැලේ අස්සේ ඉඳගෙන නයෙක් පොළගෙක් කෙලපු දාට ආශාව නියමට ඉෂ්ට වෙයි.....”

“... අනේ යනවා යන්න.. මෝඩයා...” කියමින් ඈ මා දෑත කොනිත්තයි. සියුම් වේදනාවක් ආදරණිය ලෙස දැනෙද්දී මා ඇයට තුරුළු වන්නේ ජීවිතේ මා ලැබූ වටිනාම වස්තූන් අතර ඇය එක තැනක් ගත් බව හදවතට ඒත්තු ගන්වමිණි.

“....ඌයි... ! රිදෙනවා.. බලනවා තුවාලත් උණා...”

“...රිදෙන්න තමයි කොනිත්තුවේ... මැට්ටා..”

“.... දනවා හලෝ...”

“.... අල්ලාගෙනම ඇවිත් ඔයාගේ අතට දාඩිය දාල...”

“... වෙනදා මගේ අත සීතලයි.... අද තමයි මේ...” කියා ඈ සිනාසෙයි

ශූෂ් ... ශූෂ් හඬින් දා බිඳු සිඳී යන්නට මා සියුම් ලෙස පිඹ නැවත දෑත මා තුරුලට ගත්තෙමි. ඇය ඒ දෙස බලා සිටින්නේ පුංචි එකෙක් තම ලැබෙන්නට ඇති දෙයක් දෙස බලාගෙන සිටින බලාපොරොත්තුවේ සේයාවෙනි. කතා මැද කතා කියමින් ඈ හා මම නුවරට ලඟා උනෙමි. කාලය සීමිතය. ආපසු යා යුතු බව දැන දැන මා ඇය හා එක්ව වැව ලඟට පැමිණියෙමි.

“... අනේ මේ.. මාලිගාවට යන්න ඔට්ටු නෑ..” කියමින් මූණ අමනාපයෙන් පුරවාගෙන ඉවත බලයි.

“.... ඒ මොකෑ...”

“... ඉස්සල්ලාම නුවර ඇවිත් මාලිගාවට ගියාම ආදරේ කරන අය වෙන් වෙනවා ලු.. එහෙම දේවල් වෙලා තියෙනවා...”

“... ඉතිං අනේ... මම ඔය මිනිස්සු හදා ගත්තු දේවල් විශ්වාස කරන්නේ නෑ.. දළදා හාමුදුරුවන්ගේ ආශිර්වාදේ ගත්තාම මොකක්ද වැරැද්ද... මෝඩ මතයන්...”

“... බෑ කීවනේ... හොඳ නැහැ එහෙම.. අපි ගෙවල් වලින් හොරෙන් එන නිසා....”

“... හ්ම්ම්ම්..හ්ම්ම්ම්...”

නුවර වීදි අස්සේ වැව ළඟටම ආවෙමු. අයිස් ක්‍රීම් දෙකක්ම ගෙන ඇයට දුන්නෙමි. මා නුපුරුදු ගති ඇත්තෙක් වෙමි. කිසිදු දිනක කිරි චොකලට් නොකන එකෙක්වෙමි. නමුදු ඈ ඒ හා වෙනස් ය. කඩචෝරු ඇත්නම් ප්‍රධාන වේල් තුන පවා මග අරින්නට පෙළඹෙන්නේ නිතැතින්මය.


“... මේ මම කන්නේ නෑ ... ඔයා කන්න මේකත්..”

“... ඔහොම ඉන්න ඉතිං... මේක කාල ඉන්නකම්..” කියමින් දෙතොල පුරා වැහෙන අයිස් පලම් එකේ කිරි ඈ කුඩා අත් ලේන්සුවෙන් පිස දමයි..

“.. මට අල්ලන් ඉන්න බෑ.. මේක දිය වෙනවා.. මම මේක මාළුන්ට දාන්න ද...?..”

“.. එපා අපරාදේ....”

“... ඔය ඔය... ඔන්න ඔන්න...” කියමින් මා ඇගේ දෙතොලෙහි ඇති කිරි පිස දැම්මෙමි. ඈ ලජ්ජාවෙන් බිම බලාගෙනම අයිස් ක්‍රීම් කයි.

“.... මම මේක විසික්කනවා...” කියා මා නුවර වැවේ මාළුන්ට අයිස් ක්‍රීම් තෑගී කලෙමි.

ආපසු එන මග දිගට අලුත විවා වූ යුවතිපතියන් සේ ඈ මගේ දෑතින් බදාගෙන තුරුළුව බස් රථ නැවතුම් පලට ආවාය. කාලය හරස් බැමි අප ජීවිතවල අවුරද්දී කුරුණෑගල - නුවර ඉන්ටර්සිටියක නැගී ආපසු ආවෙමු.


“... මේ...” කියමින් ඈ පුංචි මුදුවක් ගෙන “....අද මම ඔයාව බඳිනවා ලබන සතියේ ඔයා...” කියමින් මා දෑතේ මංගල මුදු පළන්දයි.

“.. අනේ ඒක ලොකුයි...” කියමින් ඈ නැවත ගලවා දෑතේ සියළුම ඇඟිලි වලට දැම්මා ය.

“... ම්ම්ම්... කමක් නෑ... තව හැදෙන වයස නේ... ඇඟිලි ලොකු වෙයි...”

කළු වීදුරුවෙන් වැසුන සීත රථයේ පෙම් මුල්ලේ හිඳ පෙම් බස් අප නොදෙඩුවෙමි. කිසිදු විටක වචනයකුදු හුවමාරු නොවිණි. ඇය කුරුණෑගලට එනතුරුම තුරුළුව නිදි සුව වින්දාය. මා ඇගේ හිස සිඹ ඇය තව තවත් තුරුලට ගෙන මොහොතක් පාසා හිස අතගාන්නට ඇත. හිරිකඩු පිපෙමින්, යලි මුකුලිත වෙමින් ආදරණිය හැගීම් ගතේ උඩු දුවද්දී හිතින් බොහෝ දේ මිමිණුවෙමි. “.... මම ඔයාට ගොඩක් ආදරෙයි.... බබා...”. සත්‍ය ලෙසම කිසිදා නොකරපු නොවිඳපු ආදරයක් මා සිතේ ගැහැණියක් කෙරේ දැනෙද්දී මා පුදුමයට පත් වුනෙමි. මා ගැහැණිය දෙස පෙරදා දුටු හැටිත් පසුව ගැහැනියකට කියා ආලය පුරපු හැටිත් සිහි කලෙමි. සිහිය බොහෝ වෙහෙසට පත්ව ඇගේ හිස මත මුහුණ හොවා සිටි මා හට නින්ද යන්නට ඇත.

“... නැගිටින්න අපි ආව..” කුරුනෑගල නගරයට සෙන්දු වෙත්දී ඇය කූද්දා ගතිමි. බසයෙන් බැස ඇය ඇයට හිමි බසයට නග්ගවා බසය යන තුරුම ඇය හා සිටියෙමි.

“... මල්ලි කොහෙද ඉන්නේ ඉක්මනට වරෙන්....?...” දුරකථනය ඔස්සේ දර්ශන අයියාගේ හඬ එත්දී මා ඇය ඇයගේ බස් රථය තුල හින්දවමිණි.

“.... අරයත් එක්ක බස් එකේ බං... ඇයි මොකෝ සීන් එක...?”

“... සීන් තමයි යකෝ.. තව හිටියොත් අම්බානට කන්න සෙට් වෙයි. මෙහෙ වරෙන් දයාසිරි දිනලා... ජොහාන් කෙලිනවා තව ටිකෙන් බස් වලට ” කියමින් ඔහු සතුට ප්‍රකාශ කළේය.

“... ගැහුවොත් අපිත් ගහමු.. නැත්නම් ගුටි කමු...”  කියා මම දුරකථනය විසන්ධි කලෙමි.

“... ඇයි අයියේ... ගහගන්න යන්න එපා.. මොකද උනේ..?....”

“.... නෑ බබා... දයාසිරි දිනලා...”

“... යේ... යේ... නියමයි...” කියමින් ඈ හුරේ තබන්නට ගත්තාය. දයාසිරි ගැන සතුටක් නොව මට දැනුනේ ඉරිසියවකි.

“... යකෝ... දයාසිරි දිනුවට මාර සතුටක් නේ... පරිස්සමට යන්න.. බස් එක දැන් අද්දන්න හදන්නේ මම යනවා.. ගෙදර ගියාම ප්‍රශ්න දැම්මොත් කියන්න.....”

“... ම්ම්ම්ම්ම්... ඔයත් පරිස්සමින්... බුදු සරණයි..”

“... බුදු සරණයි..”

අහසින් වැටෙන දිය බිඳක් පොලවට මහා ආශීර්වාදයකි. මහා කෙත් වතු තැනෙන්නේ, කුස පිරෙන්නේ, දිය බිඳක් නිසාවෙනි. එසේ වන්නා සේ ඇගේ ආලය මා සිතේ මගේ ලෝකයේ ඇති කරන්නේ ආශිර්වාදයකි. ජීවිතේ මං සොයන මා වැනි එකෙක්ට මග පෙන්වන්නට ආදරය ඇගේ ශක්තියකි.

ඇගේත් මගේත් ආදරය මැදින් ලියවෙන පද පේලි අස්සේ මා ජීවිතය රැගෙන යමි. සැබෑවටම මෙය නම් ආදරයකි. නැත සංසර බන්ධනයකි. යම් දිනක ඈ මගේ පෙම්වතිය යන පදවියෙන් අහෝසි වී, බිරිඳ වී, පසුව දරුවෙක්ට මවක් වෙනු නියතය. මට ඇති භිය ඇයට අවශ්‍ය සැපය එනම් ඈ පතන සතුට මා සතු හැකියාවන් තුලින් දිය හැකිද කරුණයි. පොත් ලියා හෝ කවි ලියා ලේඛකයා ලබන සතුට ඔහුගේ දරුවන් බිරිඳ ලබන්නේ නැත. ඒ ආත්ම අභිමානය ඇත්තේ ලියන්න සතුව පමණකි.

මා ඇගේ ආදරය දිනාගෙන ඇත, පෝරු මස්තකේ මත ඇය තබා ගෙන ඒමට නම් මා ලක්‍ෂ කෝටි උපයා ගත යුතුමය. දෛවය එසේ නම් මා කුමක් කරම් ද....?




වත්මන්  විශේෂ සටහන් -

ඔබ ඔබේ මාවතේ බොහෝ දුර ගියේය. මා තවමත් එසේ ය. ඔබ මැරී මැරුණ තැන්හි ගහකොළ වැඩී කල්ප යුග අවසන් වී ය.
ඔබ මැරුණා මිස මා හටනම් ඔබ ජීවත්වන්නෙකු නොවේ. ඔබ ඇසුරු කල ඒ මොහොත ගැන දැන් ඇත්තේ පිළිකුල් සහගත හැගීමකි. මා ගැනම මා උරණ වෙමි.
ඔබ හා ගෙවූ කල, ඒ කාලය සමාජය වෙනුවෙන් යෙදෙව්වානම් මා මිනිසෙකු ලෙස චරිතවත් වෙනු ඇත. වෛර නොකරමි. මියැදුණු මලකඳකට කුමට වෛර කරන්නද..?
කෙලසක හෝ මතු දිනක ඔබ උපදිනු ඇත. එදිනට මා නොදුටුවා සේ හිඳින්න..
මන්ද ඔබ වෙනුවෙන් ගෙවූ කාලය ගැන මතකයන් විඳීමට තියා සිහි කරන්නටවත් මා අකමැතිය.

- කතා නායකයා 


 
Share on Google Plus

About සමීර සඳරුවන්

12 අදහස්:

  1. හැමදාමත් වගේ මේ කතාවත් සුපිරි!! බෙනා දැන් ලව් ස්ටෝරිමයි ලියන්නෙ නේද? ඔහොම යං! ඔහොම යං!! ගෑණු කමයගෙ ලස්සනයි, හුරතලෙයි මැවිල පේනවා වචන ඇතුලෙන්! පට්ට!! (y)

    ReplyDelete
    Replies
    1. කතාව විතරයි.. තව ටිකෙන් මම නැති වෙනවා. ජීවිතේ පවා

      Delete
  2. //මා ඇගේ ආදරය දිනාගෙන ඇත, පෝරු මස්තකේ මත ඇය තබා ගෙන ඒමට නම් මා ලක්‍ෂ කෝටි උපයා ගත යුතුමය. දෛවය එසේ නම් මා කුමක් කරම් ද....?// ඒක දෛවය නෙමේ... මේ ලෝකෙ මිනිස්සුන් ගෙ ගොන්කම.

    ReplyDelete
    Replies
    1. ගොන් කම ලොකුකම කරගෙන ඉන්නේ මිනිස්සු

      Delete
  3. මාර ලැව් ගිනි ස්ටෝරියක් නේ බෙනෝ.. ජය වේවා.. මාර මහන්සියක්..

    ReplyDelete
    Replies
    1. කතා නායකයාගේ සටහන් කියවපු කෙනෙක් මාරයි කියන්නේ නෑ අයියණ්ඩි :D

      Delete
  4. නියමයි මල්ලි.
    හැබැයි ගෑණුළමය අසරණයින්ට දෙන්න තියෙන මනාපෙ ටිකක් වැඩියි වගේ නේද. :-)

    ReplyDelete
    Replies
    1. අවසානෙට දීල, මටත් නැති වෙලාම ගියා.. ඔව්වා ඔහොම තමයි, මට දුක මගේ කාලය ගැන. එදා මට ක්ලාස් යන්න තිබුනේ (p)

      Delete
  5. ආදරයක අවසන් බලාපොරොත්තුව විවාහය විය යුතුමද?

    ReplyDelete
    Replies
    1. නැත. විවාහය අවසන් බලාපොරොත්තුව වී හමාරයි බොහෝ පෙම්වතුන්ගේ.

      Delete
  6. අඩේ මාර ස්ටෝරියක්නේ බං.. අවසානය හැබැයි මම හිතුවා වගේ නම් නෙමෙයි.. ඒත් අවුලක් නෑ..

    ReplyDelete
    Replies
    1. ලියපු දවස බලපංකො මචං.. :D

      Delete

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..