මචං කොහොමද කෑම ?


එක්තරා රාජ්‍යයක් තිබිණි. එකී පාලන තන්ත්‍රය ගෙන ගියේ යම පල්ලන් විසිනි. ඉඳින් එයට යමපාලනය යැයි කියන්නට විණි. එහි මුදල් පාලනය කලේ කළු කඩ මුදලාලි කෙනෙක් ය. ඔහු ඊයේ පෙරේදා දවසක නිදන මැදිරියක සිට වසර ගණනාවක් සිට ගයන සුපුරුදු ගීතයම ගයන්නට විය.

“ කොහොමද මචං කෑම ?” අයවැය කියවීම දෙස හක්කට මුක්කු ගසාගෙන ටෙලිවිෂනය කන්නට මෙන් බලා  සිටින අයෙකුගෙන් මා ඇසුවෙමි.
“ කුස පිටපොත්තටම ඇලෙන කාලයක් එන්නේ සනා.. හැමදාම ගහන සිංදුවනේ ගහන්නේ.. අද ටිකක් ස්පීඩ් ගහනවා. කන් කරච්චලේ බෑ.. රැප් එහෙකුත් ගහන්නේ සිංහල ඉංග්‍රීසි කලවන්.. මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ.. ලියුමක් දාන්න තියෙන්නේ ඔය මැදින් අතුරු කවි කථා කාලයක් දාන්න කියලා. අර බලපන්.. එතකොට අර යක්කුන්ට නිදි කිරන්න ඕනේත් නැහැනේ..” මා රූපවාහිනී තිරයට එබුනෙමි. කතාව ඇත්තය. එකෙකු දෙන්නෙකු ගොර අදිමින් තද නින්දේ ය. තවත් එකෙකු නිදි කිරමින් ය. මටත් හොරා මගේ කටකොණකින් හිනාවක් එළියට පනියි. එහෙත් ඒ සිනාසෙන්නේ අපටම නොවේ දැයි පසුව සිතිණි.


ඒ රටේ ජනතා නියෝජිතයින් පත් කර තිබුනේ නිදා ගන්නට ය. ඔවුන් නින්ද සහ සැප නින්දේ වෙනස සොයමින් සිටියහ. මීක් සද්දයක් නැත. කළුකඩ මුදලාලි ණය පොත දිග ඇරගෙන කියවමින් සිටියි. දැන් ඉතිං බලා සිටින එවුන් සියල්ලෝම හෙට සිට බෙදාගෙන ණය ගෙවිය යුතුය.

රාජ්‍යයකට වැඩිම ආදායමක් ලැබෙන්නේ ඒ රටෙහි ජනතාව මත පටවන බදු වලිනි. යම්තාක් දුරකට බදු නොවන ආදායම් වන රාජ්‍යය ව්‍යාපාර හා දඩ මුදල් යනාදියෙන් රාජ්‍යයකට යැපෙන්නට හැකිය. එහෙත් එහි පාලකයින් අමානුෂිකය යැයි හැඟෙ. ඒ රටෙහි මාර්ග නීති ටක්කෙටම සළකා බලන අතර, නීති කඩ නොකරන අයට දැඩි දඬුවම් දෙයි. එහෙත් රටෙහි මාර්ග පද්ධතිය නිසි පරිදි නැත. එක්කෝ වලවල් ය. එක්කෝ කහ ඉර මැකී ගොස් ය. වැරදි කරුවන්ට දඩ නොව හම වුව ගැසුවාට කමක් නැත. එහෙත් මහා මාර්ග පද්ධතිය හරි ආකාරව තිබිය යුතුය. මිනිසුන් පාරකට බහින්නේ ඉක්මණින් ගමනක් යා ගන්නට මිස, පාරවල් වල මැද වාහන දුම් බොමින් ලතවෙන්නට නොවේ ය. මහා මාර්ග පද්ධතිය සර්ව සම්පූර්ණයෙන් සංවර්ධනය වී ඇත්නම් දඩ ගැසීම සාදාරණය. එකී රාජ්‍යයේ නියෝජිතයින් දඬුමොණර කෙසේ හසුරවාගෙන ගියද කම් නැත. එහෙත් ජනතාව එසේ වීම මාසික වැටුපක් කප්පාදු කර ගැනීමකි.

“ මචං කෑල්ල මාව දාල යන තත්ත්වයක් තියෙන්නේ”
“ මොකෝ බං සීන් එක”

“ එකී දඩ ගහනවා බං.. ඉස්සර පැයක් විතර මල් කැඩුවා.. දැන් පැය කාලක්වත් බෑ.. එකී හිතන්නේ වෙන කෙල්ලෙක් සෙට් වෙලා කියලා.. මම දැන් පැය බාගෙන් බාගෙට වෙන එකක් නැහැ වගේ හිතන්න මැසේජ් එකක් තියනවා.. මොනවා කරන්නද බං..”

ඔවුන් මුලින්ම අල්ලා ගත්තේ යෞවනයන් ය. ඔවුන් සැප නින්දක සිටියදී  මල් මල් සිහින වලින් නහවන්නට විණි. ඔවුන් එය තාත්විකව රඟ දැක්වූවේය. අවසානයේ එය සිහිනයක් බව වැටහී ගියේ අවදි වූ පසුවය. මුලදී කියා සිටියේ අපි වයිෆයි නොමිළයේ දෙනවා කියාය. එය තරුණ තරුණියන්ට උණු උණුවෙන් කැවුම් දෙනවා යැයි කීමක් විය. එහෙත් ඔවුන් උණු උණුවෙන්ම රත් වූ තෙල් සමඟ ඕනෙනම් ලෙවකාපල්ලා වගේ වැඩක් කළහ. දැන් ඔවුන්ට ලෙව කන්නට ද දෙයක් නැත. දැන් සිද්ධ වී ඇත්තේ රත් වූ තෙලට දිව දාන්නට නොවේ දැයි අසන්නට සිත් වී ඇත.

නොමිළයේ ඉන්ටර්නෙට් යන්නට බලාගෙන සිටි එවුන්ට දැන් විනාඩියක් කතා කරන්නටද ඩබල් ගෙවීමට සිදුවී ඇත. රුපියල් පණහට ගත් රීචාජ් කාඩ් පත දැන් හරියට රුපියලේ කාසි විසිපහක් වගේ ය. අන්තර්ජාල සෑම සේවාවකටම බදු ගසා ඇත. ලෝකයේම රටවල් නව තාක්ෂනය සමඟ අත් වැල් බැඳ ගනිද්දී ඒ රටෙහි තරුණ තරුණියන්ට සිද්ධ වී ඇත්තේ මෙගා බයිට් එකක් වී මහා එවුන්ගේ හකු වලට තද වී ඔවුන්ගේ හැපීම් කරඹාගෙන ඉවසා සිටින්නට ය.

රටකට ආදායම් ලැබෙන්නටනම් එහි නිෂ්පාදනයක් සිදුවිය යුතුය. එහෙත් එහෙව් දෙයක් ආර්ථිකයට යහමින් දැනෙන්නට ඒ  භූමියේ තවමත් නැත. භූමියේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වූ ද  බහුතරයකගේ රැකියාවක් වූ ද කෘෂිකර්මාන්තය ද අසාර්ථකය. රට වටා රවුමක් ගසා පැමිණියහොත් පුරන් වූ කුඹුරු යායවල් ඕනෑ තරම් දැකිය හැකිය. මිනිසුන් එදා වේල වෙනුවෙන් වෙහෙසෙනවා මිස, එයින් එහා දෙයක් ගැන සිතන්නට ශක්තියක් නැත. පොල් ත්‍රිකෝණයේ පවා කරවල හොද්දක් හදාගෙන කන්නට පොල් ගෙඩියක් නැති තැන් ඇත. බදු ගැසිය යුතුය. එහෙත් එකී බදු වලට විය යුත්තක් තිබිය යුතුය. නිෂ්පාදනයට සහයක් හෝ ලැබිය යුතුය. එවිට අනාගතයේවත් සහනයක් ලැබේවි යැයි සිතන්නට පුළුවන.
භාණ්ඩාගාරයත් හරියට  හිඟන්නාගේ ටින් බෙලෙක්කයක් මෙන් ය. කිසිදා පිරී තිබුනේ ද නැත. බද්ද ඩබල් වුව ද, දඩය ත්‍රිබල් වුව ද එය හැමදාම නැගුවේ එකම හඬක් ය.

ඒ රාජ්‍යයේ එක්තරා තරුණයෙකු මෙසේ මුමුණනවා ඇසිණි.
“ එයාලා අපිට ටැබ් දෙන්න හදනවා. අපි මේ තියෙන ටැබ් එකෙන් ඉන්ටර්නෙට් යන්න බැරුව දුක් විඳිනවා. එයාලත් මාර ආතල් දෙන්න හදන්නේ අපිට”
ඉතිං අප ඒ සින්දුව ඇසුවෙමු. ගැලරියෙන් හූ හඬක් වෙනදා ඇසෙන්නේ සතුටට ය. එහෙත් අදනම් සෑම හූවක්ම ඇහෙන්නේ නෝන්ඩියට ය. එහෙත් ඒ හූවේ ලැජ්ජාවත් අපම විඳිනවා හැරෙන්නට කවුරුන්නම් විඳින්න ද ?
“ මම බයික් එකක් ගත්තා. රවුමක් යන්න එනවද ?”
වෙනදා තමා ආදරය කළ කෙල්ලට කොල්ලෙකු කියනවා අසන්නට පුළුවන. එහෙත් අද එහෙම කියන කොල්ලන් නැත. අද ඔවුන් කියන්නේ මෙවැනි කතාවකි.
“ මම ගොනෙක් ගත්තා. එනවද පිටේ යන්න”
අවසන් වශයෙන්, ඔවුන් අප හාවන් කළහ. ඉතිං හා පැටවුනි, කැරට් අල රහයි ද ?





Sunday Apple News Paper ↳👆 ( Page 5;ePaper ) 
Share on Google Plus

About Unknown

2 අදහස්:

  1. පරක්කු වුණාට සමාවෙයන්..... අදයි මේ පැත්තට ආවේ........ සින්ඩිගත කරගත්තා... දැන් මගඇරෙන්නේ නැහැ.......

    ReplyDelete

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..