" මල්ලි කෑල්ලක් 2500යි "

ප්‍රසුතිකාගාරයේ සිට ආදාහනාගාරය දක්වා යන ගමන තුළ සමාජය නැමැති වධකාගාරය අපට හමු වේ. එය කිසිවෙකුට අත් හල හැකි ස්ථානයක් නොවේ. එහි විවිධ වූ සමාජ මට්ටම් ඇත. විවිධ වූ අර්ථකථන අතරට මැදි වූ සමාජ මතයන් ඇත. මිනිසුන් සම්මතයන් ගොඩ නගා ගත්තේය. සම්මතය වූ කලී ගලා බසින ගංගාවක් බඳු ය. සම්මතයට කොටු නොවූ එයින් පරිභාහිරව ජීවිතය සෙවූ ඇතැමුන් සිටිති. සම්මතයේ සිටින පිරිස  ඔවුන් අශිෂ්ට යැයි කීවෝය. ඉඳින් ගංගා ඉවුරු බිඳ තරණය කළ ඇතැමුන් සම්මතය නැමැති මහා ගංගා පත්ලේ සිය වැදෑමහ සඟවන්නට යුහුසුළුව ක්‍රියා කළෝය. ශිෂ්ට මිනිසුන් නීතින් හා විනය නැමැති සමාජ සම්මතයන් තුළට බැස ජීවත් වීමේ අයිතිය තහවුරු කර ගනිති. ඔවුන් අයිතිවාසිකම් භුක්ති විඳිති. ඒ අතර ජීවත්වන සුළුතරය අයිතිවාසිකම් ලොප් වන තැනේදී අසම්මතයේ වේදනාව තහවුරු කර ගැනීම පුදුමය.


යම් කතාවක ඇරඹුම කිසියම් ආස්ථානයක් නැතිනම් වස්තු බීජයක් මත පදනම්ව දිග හැරේ. මා මෙම කතාවේ ඇරඹුම සනිටුහන් කරන්නේ කිනම් තැනෙන්ද යන්න තවමත් පැහැදිලි අදහසක් නැතිමුත්, මා නුඹලා හමුවේ පොදුවේ ගැටළුවක් තබමි. පිළිතුරක් අපේක්ෂා නොකරනමුත් නුඹලා පිළිතුරක් සොයා ගත යුතුමය. හිතවත් පාඨකය, ලිංගිකත්වය යනු කුමක් ද..? යම් කිසිවෙකුට භාෂාව භාවිතා කොට නිර්වචනය බොහෝ ඉදිරිපත් කළ හැකිමුත්, මායාවෙන් එහා වූ යතාර්ථයට එබී බලන කළ ලිංගිකත්වය යනු නිශ්චිත වූ නිර්වචනයක් සොයා ගත නොහැකි දෙයකි.

හිරුගේ ලොව කාර්‍යබහුලය. ස්වහසක් ජනයා සිය වගකීම් කරපිට දමා ජීවිතය ගණනය කරයි. ඒ අතර වෙසෙන ඇතැමුන් ජීවිතය කාලයට ඉඩ දී බලා සිටින්නේ සෝ සුසුම් තුළ ය. මා ජීවිත වර්ගීකරණයට නොයමි. නමුදු මිහිමත සම්මතයේ ඉවුරු පලා, අසම්මතයට වැදුණු  ඇතැමෙකුගේ ජීවිතය උඩු  හුළඟේ ගසාගෙන යන අතර එයට නියම වන මිළ පුදුමය. මා ඒ ගැන තකන්නේ යම් සේ ද එය වූ කලී සතුටට ප්‍රතිබද්ධව පණ නැගෙන වේදනාවකි.

“.. මල්ලි කෑල්ලක් 2500 යි..
“.. ගාන වැඩි නැත්ද..?..”

කාලවර්ණ ශරීරයක් හිමි සිය තාරුණ්‍යය තවමත් එළිපත්තේ තබාගෙන ජීවිත කුණු කොල්ලයට විකුණන යුරු දුටු හේ දෙස  අමනාපය මුසු බැල්මකින් මුව සරසාගෙන ඇසුවෙමි. ඔහුගේ මුව පිරුණු සිනහව දුටු අප්‍රිය ජනක ලෙස ගෝරනාඩු කල මගේ මමත්වය උඹත් කේවල් කරන්නේ ජීවිතයක් නොවේ දැයි අසන්නට මෙන් හදවතේ පටක අදින්නට විය.

“.. වන් ෂොට් මල්ලි.. බඩු සුපිරි.. වරෙන්කො පෙන්වන්න..
මා තවමත් සිටියේ වෑන් රථයේ කවුළුවක් හැර ඔහු හා සතුටු සාමිච්චියේ යෙදෙමින් ය. එය වූ කලී අප්‍රසිද්ධ වූ තැනක පිහිටි සංචාරක නිකේතනයකි. “.. සුව අරණ..” “..අරලිය සෙවණ..ලෙසින් ස්භාවිකත්වය හඟවන මෘදු වූත් අලංකෘත වූත් නාමයක් එකී ස්ථානයට තිබිණි. එකී ස්ථානයට දෙපයින් ආ සැවොම නැවතත් බොරළු වැටුණු රළු පාරේ ඇවිද යන්නේ තාලයට පාද තබන කක්කුන්ටන් සේ යැයි ඈතින් හිඳ බලාසිටින්නෙකුට පෙනේ. මෙහි සිටින්නේ මධුවිතට ඇබ්බැහි වූ අය යැයි නුඹලා සිතුවාට වරදක් නැත.  නමුදු මෙයට පැමිණෙන මිනිසුන් අතර  සංචාරකයින්ම පමණක් නොව, කාම ගින්නෙන් දැවෙන අයවලුන් ද  වේ.
වෑන් රථයේ පිටුපස දොර වෙරයෙන් හැර මා පසුපසට ඇද දැමුයේ මා මිත්‍රයාට ඇසක් ඉඟි කරමිණි. උක්ත කියූ පුද්ගලයා පසුපස වැටුණු මා රළු සපත්තුකට බිම මත පළසක් සේ ඇතිරූ මල් පෙති තැලී පොඩිවී යැයි බියෙන් පාද තබන්නට වුයෙමි.

“.. මේ මල් මොනවද..?..”
“.. ඕවාට වඩා හොඳ මල් තියෙනවා....

ගිමන්හලේ මිදුල වටා සැදු ගස් ගොන්නෙහි පිපුණු නෙක පැහැ මලින් මිදුල පුරා සිත්තරෙකු වර්ණ ගැන්වුවාක් මෙන් හැඩ වී තිබිණි. ඒවා පාගා සුනුවිසුණු කරන්නට තරම් දැඩි සිතක් මා සතුව නොවුණුමුත් මා ඔහු පසුපස වේගයෙන් ඇදී ගියෙමි. නිවාඩු නිකේතනයක නිවාඩුවක් ගත කරන්නට තරම් අදහසක්  ජීවිතයේ කිසිදිනක  නොතිබුන ද ලැබූ  අවස්ථාවෙන් ප්‍රයෝජනක් ස්වහසක් මිනිසුන් වෙනුවෙන් නොගන්නට මා බුද්ධියෙන් තොර වූ අයෙකු නොවුණි. විවෘත බිම් කොරිඩෝවෙන් ඔහු මා රැගෙන විත් කාර්යයාලය යැයි සිතිය හැකි කාමරයක ඔහු එනතෙක් රැඳී සිටින මෙන් අණ කළේය. එහි පරිගණකයක් ඉදිරියේ හිඳගෙන සිටින තරුණියක් මා දැක සිනාසුණාය. මා සිටියේ විලියෙනි. පෙරලා මුව පුරා අතුරාගත් සිනහවෙන් යුතුව අසල වූ අසුනට බර වී සිවිලිමේ සවි කර තිබු විදුලි පංකාව දෙස බලා සිටියෙමි.

“.. මල්ලි මේ පැත්තෙන් වරෙන්..

ඔහු නැවතත් මා රැඟෙන පිවිසියේ විවෘත ශාලාවක් අතරින් වූ පඩිපෙළකටය. ඔහු පසුපස වැටුණු මා ගිමන්හලේ නෙක විසිතුරු සැරසිලි දෙස බලමින් උඩු මහලට පිවිසියෙමි. ඔහු එහි එක් කාමරයක් අසළ නැවතුණේය. මා දෙස බලා ඇසක් ඉඟි කළ ඔහු, තම හිසෙන් කාමරයට පිවිසෙන ලෙස සන් කරයි. එය අපගේ ගමනාන්තයේ නැවතුම් ලක්ෂය විය. මා කාමරය සිසාරා දෑස් යවන කළ එහි සිටි යුවතියගේ දෑස් හා ගැටිණ. යෞවනික වූ ඈ දිය රෙද්දක් වැනි කුඩා ලේන්සුවක් පටලා සයනය මත හිඳගෙන සිටියාය. නිරුවත් දෙපා සොලවමින් මා වෙත සිනහවක් පා කළ ඕ තොමෝ දැක මා විජලනයෙන් බැට කන එකෙකු මෙන් කෙළ පිඩක් සොයා දිවඟ ඒ මේ අත යැවුයේ කුමක් කරන්නේ දැයි මා පෙර සුදානමකින් නොසිටි නිසාවෙනි.

ආපසු හැරී බැලුවමුත් මා රැගෙන පැමිණි නවාතැනෙහි සේවක තැන පෙනෙන්නට නොසිටි නිසාවෙන් මා කඩිනමින් පඩි පෙළ බසිමින් දිව ආයෙමි. හේ වෑන් රියේ සිටිනු ඈතදීම දුටුවමුත් මා සිනා මලින් පුබුදවාගත් මුහුණින් යුතුව නැවතත් ඔහු අසළින් හිඳ ගතිමි.

එය වූ කලී ගැහැණුන් වෙන්දේසි වන හා ගැහැණියක් යම් කාල රාමුවකට යටත්ව පිරිමියෙකු යටතට පත් කල හැකි ගණිකා නිවාසයකි. එකී ස්ථානය සංචාරකයින්ට ගිමන් හැරිය හැකි නවාතැන් පොළක් සේ   ලෝකයා ඉදිරියේ පෙනෙන්නට තබා තිබුන ද එහි වයස් බේදයකින් තොරව පැමිණෙන ඕනෑම කෙනෙකුට ගැහැණියක් හා ලිංගිකව හැසිරෙන්නට ද තමාට ඕනෑම මත්ද්‍රව්‍යක් භාවිතා කරන්නට ද නිදහස හිමි වේ. නීතියට ද වසන්ව පවතින මෙකී ස්ථානය ගැන හාරා අවුස්සන්නට තව බොහෝ දේ ඇති මුත් එකින් එක ගෙන විමසා බලන්නට මා හට සිත් විණි.

“... කෑල්ල නම් පට්ට.. උඹත් බලපන්කො ගිහිං..මා මිතුරාට ආමන්ත්‍රණය කළෙමි. ඔහු හිස වනා අකමැත්ත ප්‍රකාශ කළේය.
“.. උඹලට සෙට් කරන්න කෙල්ලෝ මට වෙන නැහැ.. තව ඉන්නවා ඕනේ නම් කලටියක්..
“.. කලටියක් කිව්වේ..?..”
“.. තිස් පහක විතර එකක්.. වැඩ සුපිරි..
“.. දෙක හමාරක් වැඩි නැත්ද ගණන්..මා කථා නායකයා දෙසට හැරී ඇසුවෙමි.
“.. වන් ෂොට් මල්ලි..
“.. වන් ෂොට් කිව්වේ..?..”
“... මෙහෙමනේ කොල්ලෝ.. එන ගොඩක් එවුන් බයයි යන්න ලෙඩ කියලා.. අපේ සෙට් එක කස්ටර්මලාට උපරිම සලකනවා.. හැබැයි එක පාරයි ඉන්න පුළුවන්.. ඊට පස්සේ කෙල්ල දෙන්නේ නැහැ ඉන්න..
“.. දෙකහමාරක් දීලාත් ඒක අසාදාරණ නැත්ද..?..”
“.. මොන අසාදාරණයක් ද..? උඹලට කිව්වේ දෙකහමාරයි කියලා නේ.. මේකයි ඔකේ සිද්ධිය.. පන්සීයක් මට.. එකෙන් දාහක් ගෙස්ට් එකේ එක්කෙනාට.. අනිත් දාහ කෙල්ලට.. කෙල්ල දවසකට වැඩ දානවා තිහක් විතර.. ඊට වැඩිය දාන එවුනුත් ඉන්නවා.. උන්ට තියෙනවා ටාගට් එකක්.. උන්ගේ ටාගට් ගාන ලැබුන ගමන් උන් යනවා යන්න...
මා ඔහු කෙරෙන් නෙත ඉවතට නොගෙන ඔහුගේ වචන තුළ කිමිදෙමින් සිටියෙමි. එය ඔහු තවත් කතා කරවන්නට සමත් කළා පමණක් නොව, මා ඔහුට ලබාදෙන පිළිතුරකින් ඔහුගේ විශ්වාසය දැඩි වන්නට හේතුවක් විය.

“.. ඉතිං කෙල්ලට අවුලක් වෙන්නේ නැත්ද..? ඔච්චරටම ඉන්න ගියාම...
“.. මොන ප්‍රශ්න ද මල්ලි.. උන් තමයි ගෑණු..  ඕනේ ජොයින්ට් එකක්  එකී තනියම ඔතලා ගසනවා.. අර මම කිව්ව තිස් පහේ කෙල්ල අරක්කු කාලක් බොනවා හැමදාම වැඩ කරන්න කලින්..
අප අතර පැවතියේ නිහඬතාවයකි. ඔහු සිගරැට්ටුවක් දල්වා ගත්තේය. මා ඒ අනුක්‍රමයෙන් වික්ෂිප්ත දෑසින් මා මිතුරා දෙස හැරී බැලුවෙමි.
“.. මේ ෆීල්ඩ් එක ඔහොම තමයි මල්ලි.. පුදුම වෙන්න දෙයක් නැහැ.. මේක තමයි ජීවිතය.. උඹ හිතන්නේ මේක හින්දා කී දෙනෙක් ජීවත් වෙනවා කියලද..?..”
“.. ජීවත් වෙනවා කියන්නේ සල්ලි හම්බ කරන එක ද..?..” මා ඔහුට පෙරලා දමා ගැසූ වචන රොත්ත සැර වැඩි දැයි සිතුනේ පිටවී ගියාට පසුවය. සුරා  මතින් සිටි ඔහුට එය නොතේරුණු නිසාදෝ තව දුරටත් කතාව සිදුකරගෙන යන්නට මඟ විවර විය.

“.. ඔව් මල්ලි.. මේකෙන් හම්බ කරනවා ගොඩක් එවුන්..
“.. කවුද හම්බ කරන්නේ..

“.. උඹට මතකද අපි දෙන්නා ඇතුලට යනකොට හිටියා චුට්ටක් මහත කොල්ලෙක්.. ඌ තමයි උඹ බලපු කෙල්ලගේ අයිතිකාරයා..
“... අයිතිකාරයා කිව්වේ.. බැඳලා ඉන්න කෙනා ද..?..”

“... නෑ යාලු වෙලා ඉන්න කොල්ලා..
“.. පුදුම ලව් එකක් නේ..  මා සැබෑවටම සිනාසුනෙමි. මන්ද  තම පෙම්වතිය හා නිදි වදින්නට යන එන්නවුන්ට සිනාසෙමින් සිටින පිරිමින් මා මීට පෙර දැක නොතිබිණි. එය වූ කලී ප්‍රේමය නොව අහිංසක ජීවිතයක සාරය උරාබීම යැයි මා උපකල්පනය කළෙමි.

“.. ඒක ලව් එක නෙමෙයි මල්ලි.. ඒක උගේ රස්සාව...
“... රස්සාව..?..”

“.. ඔව්.. ඌ මුලින්ම කෙල්ලව අරගෙන යනවා.. හිතපන්කෝ සතියක් දෙකක් එක දිගට කෙල්ලත් එක්ක ඉන්නවා කියලා.. උන් අතර හිතවත්කමක් ඇති වෙනවා.. විශ්වාසයක් ඇතිවෙනවා.. කෙල්ලටත් ඕනේ අවුලක් නැතුව වැඩේ කරගෙන යන්න.. පොලිස් කේස් වලින් බේරෙන්න වගේ උනහම කවුරුහරි ඕනේ වෙනවා.. ඒ නිසා කෙල්ල වැඩ දාලා කොල්ලාව නමා ගන්නවා.. ඌට සල්ලි දෙනවා.. බොන්න දෙනවා.. ඌට ඕනේ හැමදේම දෙනවා.. ඌට ඕනේ නම් කෙල්ලත් එක්ක ඉන්නත් පුළුවන්.. ඊට පස්සේ කොල්ලා තමයි වටේ එක්කන් යන්නේ.. කස්ටර්මස් ලාට සෙට් කරන්නෙත් කොල්ලා තමයි...
“.. මාරම සීන් එකක් නේ මේකේ දුවන්නේ..

“.. ඔව් මල්ලි.. ඔය අතරේ කෙල්ලගෙන් හම්බ කරගෙන පනින කොල්ලොත් ඉන්නවා.. මේ ළඟදී කෙල්ලෙක්ගෙ හැට දාහක් උස්සලා එක කොල්ලෙක්.. ඌ හොයා ගන්නත් නැහැ.. ඒ වගේ පඩ සීන් දාන එවුන් මේකේ නැතුව නෙමෙයි.. හැබැයි කෙල්ලට සෙට් උනොත් බොක්කෙන්ම ඒක කරගෙන යනවා.. දැන් ඔය තිස් පහේ එකට ඉන්නවා අවුරුදු විස්සක විතර කොල්ලෙක්.. ඌට වෙනම කාර් එකක් අරගෙන දීලා තියෙන්නේ ෆිනෑන්ස් කරන්න.. වාරිකේ ගෙවන්නෙත් ඒ කෙල්ලම තමයි.. කොහොමද ඉතිං සැප කනේ නේ..

මා වෑන් රථයේ අසුන කඩා එය යහනක් සේ සාදමින් හරි බරි ගැසී වාඩි වුයෙමි. මොවුන්ගේ ජීවිතය ඇවිලෙන සිගරට්ටුවක් සේ යැයි හැඟෙ. කොනකට ගිණි තබා ඇත. තවත් කොණකින් තවත් එකෙකු එකී ජීවිතය උරා බොයි. ගිණි තැබූ පසු, එය උරා බීවද වෙනතකට විසි කර දැමුවද ඇවිලෙයි. සිගරට්ටුව ඇවිලී යන්නාක් මෙන් ජීවිතය ද ඇවිලී ගොස් අළු ගොඩක් බවට පත් වේ.
හිතවත් පාඨකය, මෙම කතාවට නිමාවක් තබනවා නොව කමාවක් තබා ආපහු හැරී බලනවා පමණි. අප නැවත හමුවන තුරු නුඹලාට සිතන්නට බොහෝ දේ ඇත. නුඹලාගේ කුතුහලය නොසිඳෙන ලෙස මුවහත් කර තබාගන්න. මේ කතාව ප්‍රසූතිගාරයෙන් එළිබට නුඹගේ දරුවාට ද විය හැකිය. ඉඳින්, අප සමාජ අසම්මතය පිළිබඳව එළඹෙන සතිය තෙක් බුද්ධියෙන් විමසමු.


Share on Google Plus

About sameer sandaru

1 අදහස්:

  1. ඉතාමත් ඉක්මනින් මෙක උබලාගේ ගෙදරටම යවන්න ඕන....
    විහිලුවක් බං කලේ..
    ඉතාමත් රසවත් වගේම වචන ගැලපිමත් හොදටම තිබුන නිසා කියවන්නම හිතුනා
    උබට ජය වේවා !!!

    ReplyDelete

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..