ආගම, විනය හා සුචරිතබාවය

ආගම යම් සේ ද තම  අධෝ  වාතයේ  ගන්ධය විඳීම වැනිය යැයි  මා  සිතමි. ෆිකට් ෆෙන්සස් ආගමික ඇදහිලිකරුවන් හඳුන්වා ඇත්තේ  මෙසේ ය.

“..  බොහෝ මිනිසුන්  ආගම සලකන්නේ ගුද වාතයක් ලෙසය. තමන්ගේ එක හොඳය. අන් සියල්ලගේම ඒවා දුගඳ ය...”

ආගම යනු සැබෑවටම කුමක්ද.. ඔබ එය ප්‍රශ්න කළ යුතුය. එසේ නොවුනහොත් ඔබ අනාගතයේ දී  මිත්‍යාව පෝෂණය කරන  පූජකයින්ගේ  අතකොළුවන් ලෙස හුස්ම ගනු ඇත.


ආගම බොහෝ දෙනෙකුට ලැබෙන්නේ තම  උප්පත්තියේ දී ලැබුණු දායාදයක් ලෙසය. එය බොහෝ  දෙනෙකුකට පරම්පරාවෙන් හිමි වූ වස්තුවකි. එහෙත් ඔබ ආගමක් තෝරාගත යුත්තේ උප්පත්තියෙන්  නොව, සාවදානව  ආගමක් විමසා  බැලීමෙන් හා එය අවබෝධකොට  සත්‍යය අසත්‍යයතාව තේරුම් ගැනීමෙන් ය. ආගම යනු ඔබේ ගෞරවය උසස්  කළ ඔටුන්නක් නොවේ. ඔබ බෞද්ධයෙක් ද ඔබ මුසල්මානුවෙක් ද නැතිනම් ඔබ  කිතුණුවෙක් ද හෝ ඔබ හින්දු බැතිමතෙක් ද යන කරුණු මත  ඔබගේ  චරිතයේ සුචරිතවාදී බව වැඩෙන්නේ නැත. නොයසේ නම් ඔබගේ ආගමික ලේබලය අනුව ගෙල පළඳින ආභරණයක් පරිද්දෙන් ඔබ සුන්දර මිනිසෙකු වන්නේ ද නැත. ඔබගේ ජාතියේ උසස් බව ද  ඔබේ භූමියේ  හිමිකම ද ඔබේ ආගමට අනුව තීරණය කිරීම විහිළුවකි. යුධවාදී ආකල්ප හා අන්තවාදී පිළලයන් පෝෂණය කිරීමට ආගමකට අනුගත වීම තවත් එක්  විහිළුවක් විනා  බුද්ධිමත් මිනිසෙකුගේ ලක්ෂණය ද  නොවේ.

සෑම ආගමකින්ම ඔවුන්ගේ අනුගාමික පිරිසට ලැබෙන්නේ විනයයි.  ස්වන් විනයක් නැති පුද්ගලයෙකුගේ සසර බිය නිවා, ඒ  වෙනුවට ඔහුගේ විනය නගා සිටුවීම සෑම  ආගමකම අභිප්‍රාය වී ඇත. ආගමට බද්ධව ජීවත්වන පුද්ගලයා ආගම ඇසුරින් ලැබෙන විනයද කෙළසා ගැනීම හේතුවෙන් නීතිය කියා දෙයක් නිර්මාණය වන්නට ඇත.  ආගම මඟින් ශික්ෂණයට යටත් කළ නොහැකි පුද්ගලයින් නීතිය ඉදිරියේදී ලැබෙන දඬුවම අභියස බලු කුක්කන් සේ ජීවත් වන්නේ ද ලෝකය නොමිනිස් ක්‍රියාකාරකම් තුළින් ආරක්ෂා වන්නේ ද නීතිය නිසාය. මේ සෑම විනයක්ම රැකෙන්නේ මිනිසාගේ භිය මූලික කරගෙන ඇති කළ වාරණ ඇසුරිනි. මිනිසුන් පව(වැරදි) හේතුවෙන් සසර දුක් විඳින්නට අකැමැති භිය හේතුවෙන් ආගමිකව ජීවත් වෙයි. එයින් ඔවුන්ගේ විනය ආරක්ෂා වේ. එමෙන්ම මෙලොව ජීවිතයේ දී සිර කඳවරු තුළ ජීවත්වන්නට ඇති අකමැත්ත නිසා නීතියට යටත්ව ජීවත් වෙයි. එයින් ලෝකයාට නිදහස්ව ජීවත්වන්නට වටපිටාව සැකසෙයි. සංස්කෘතික වාරණ, චාරිත්‍ර වාරිත්‍ර, සම්ප්‍රදාය මඟින් ඇති කරන වාරණ යන දෑ ද විනය ආරක්ෂා කරන තවත් දෑ ය.

ආගමේ සැබෑ පරමාර්ථය ලෝකයේ උන්නතියට දායක වීම නම් නොමිනිසුන්ගේ විනය ආරක්ෂා කිරීම නම් බොහෝ මතධාරීන් විසින් තම ආගම තුළම නොමිනිස් ගති මවා ඔවුන්ගේ බඩ වියත රැකගැනීමේ ප්‍රතිපත්තිය පිළිබඳව මා ප්‍රශ්න කරමි.

වර්තමානයේ බුදුන් කෙරේ ශ්‍රද්ධාවෙන් ජීවත්වෙන බෞද්ධයාට ඇත්තේ වාණිජමය වටිනාකමක් පමණි. පෝය දිනය අනෙකාගේ හිතසුව වෙනුවෙන් වෙන් කළ බෞද්ධයින් අද වන විට තම තෘප්තිය වෙනුවෙන් එකී දවස ගෙවා දමයි. පෝය දිනයට වසා දැමු සුරා පැන් කඩයට ඊට පෙර දිනම ගොඩ වදින ඇතැමුන් පසු දිනට ඇතිවන්නටම සුරා පැන් මිළට ගන්නේ නිවාඩු දින තම ප්‍රීතිය විඳීමේ අරමුණින්ය. බොහෝ අයවළුන් වෛවාරණ ඇඳුම් ආයිත්තම් වලින් සැරසී කැනහිලුන් මෙන් හූ හඬ නගමින් වාහනයක  නැගී වන්දනාවේ යති. එසේ වන්දනාවේ යන ඇතැමුන් වතුර පිරවූ සිලි බෑගයකින් තවත් වාහනයක සිටින අයෙකුට දමා ගසන්නේ ද බාගවිට දහම කෙරේ ඇති ශ්‍රද්ධාව වැඩෙන ප්‍රතිකර්මයක් ලෙස සළකා විය යුතුය.

පන්සල සිත් සතන් සනහන තැනක් යැයි බොහෝ එවුන් පැවසුවද පෝය දිනයටනම් එය වෙළඳපොළක් මිස එයට වෙනත් වටිනාකමක් දිය නොහැකිය. කතුරු ඔන්චිල්ලා, මාරක ලිඳ හා හොල්මන් ගෙය ද බල්බ් එල්ලූ තොරණ අසළ කවි කියමින් ආධාර එකතු කරන එවුන් ද කෙල්ලක් ජෝඩු කර ගැනීමට පැමිණි ගැටවරයන්ගේ නොමනා ක්‍රියාකාරකම් ඇරෙන්නට පෝය දිනයේ දී පන්සලට වටිනාකමක් දෙන්නට එකෙකු නැත.

මේ රටේ බොහෝ පන්සල් ඇත. කෝවිල් හා පල්ලි ද බොහෝ ඇත. ඒවාගේ පිං කැට වසරක් පුරාවට රැස් කරන ධනය ගැන කිසිවෙකු නොවිමසයි. ඒවා යන්නේ පූජකයින්ගේ ගිණුම් වලට මිස, කුසගින්නේ වියලෙමින් කුණු කාණු පල්ලේ ජීවත්වෙන අහිංසක  මිනිසුන්ගේ සාක්කු වලට නොවේ. පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා ඇති සියලුම ආගමික මධ්‍යස්ථාන වල සැඟවී ඇති කළු සල්ලි මේ රටේ අහිංසක මිනිසුන්ට බෙදා දුන්නානම් බාගවිට අපේ රටේ නිර්ධන පාන්තිකයින් එදා වේල බඩගින්න හෝ නිවා ගන්නවා නිසැකය. ඒවා ප්‍රශ්න කරන්නට එකෙකු මේ රටේ නොමැත. දොහොත් මුදුන් දී වැඳ නමස්කාර කරමින්, භක්තියෙන් දමන රුපියලේ කාසිය වුව තම අධෝ වාතයේ සුවඳ වයමින් අන්තවාදය පතුරුවන  එවුන්ගේ සාක්කු වලට වැටී මේ රටේ අහිංසකයින්ගේ වේදනාව උස්මහත් කරන සිද්ධීන් ඇති කරනවා හැර වෙන යම් දෙයක් සිදු නොවෙයි.

මෙහි ඇති අනෙක් අසුබදායි සිද්ධිය නම් සත්‍යය පතුරවමින් මිනිසුන්ගේ පැත්තෙහි සිටිනවා යැයි නිතර උදම් අනින පුරාජේරු ජඩ මාධ්‍යය විසින් බුද්ධත්වය විකුණා ලාබ ලැබීමයි. බුදුන්ගේ ධාතු යැයි කියමින්ද කාශ්‍යයප තෙරුන්ගේ ධාතු යැයි කියමින්ද හා අගසව් දෙනමගේ ධාතු යැයි උපුටා දක්වමින් ද  කිසිදු පුරා විද්‍යාත්මක සහතිකයක් නොමැති ඇට කැබලි පෙන්වා ජනතාවගේ අන්ධ භක්තිය සූරා කන මොවුන් අසිරිමත් ලක් දිව හූනියමක් කර වලලා දැමු පසුව සක්‍රීය වූ කොඩිවිනයක් දැයි විටක සිතේ.

" යෝ ධම්මං පස්සතී,සෝ මං පස්සතී " යමෙකු ධර්මය දකියිද හෙතෙම බුදුන් දකියි යැයි බුදුන් වහන්සේ දේශනා කළ සේක. නිර්වාණ ධාතුව වෙනුවෙන් නොවෙහෙසෙන බෞද්ධයා එසේ නම් කුමකට මෙම සිප්පි කටු බලන්නට තම කාලය නිස්කාරණයේ වැය කර පෝලිම් ගැසෙන්නේ මන්දැයි සොයා බැලිය යුතුය. බාගවිට එය බුදුන් වහන්සේට වඩා ධර්මය ගැන  දන්නා අයවළුන් දේශනා කරන දෑ ඉහමොළ වලට ඔබාගෙන විය යුතුය.

හිතවත් පාඨකය,

මෙම ලිපිය කියවන මිත්‍යාවට තටු දුන් ආගමක් කුමකට මේ ලෝකයේ කුමකටදැයි සිතෙන්නට පුළුවන. එහෙත් තවමත් අශිෂ්ට ගති පැවතුම් ඇති මිනිසාට ආගමක් ඇවැසිය. නීතියට භිය නොමැති වූ නොමිනිසුන් සිර කඳවුරු පිරවීමට සිය දායකත්වය ලබාදෙන්නේ නීතියට ඔවුන් තුළ භියක් නොමැති නිසාය. බාගවිට යම්තාක් දුරකට හෝ ආගම නිසාවෙන් මිනිසුන්ගේ ආකල්ප චේතනා යහපත්බව සලසනු ඇත. බාගවිට ආගමක් කියා දෙයක් නොතිබුණානම් වාරණ නොමැති නිදහස් ලෝකයක් මෙහි තිබුණානම් හික්මීමක් හා ස්වන් විනයක් නොමැති මිනිසුන්ගේ වනචාරි මනෝබාවයන් හි නිරුවත හොඳින් දකින්නට පුළුවන. මිනිසුන්ගේ අනිසි චර්යාවන් දුරලනු වස් මෙතරම් නීතින් ගොඩගැසී තිබෙද්දිත් නිරුවතේ හැසිරෙන නොමිනිසුන් සිටීනම් මේවා කිසිවක් නොමැති තැන මෙම ලෝකය කිසිවෙකුට ජීවත්වීමට නොහැකි අපායක් බඳු තැනක් වනු නොවනුමානය.

මිත්‍යාවේ ගිලෙනවාට වඩා, අන්තවාදය උඩු වියන් බඳින ආගමකට නතුවනවාට වඩා ආගමක් නොමැතිව සිටීම යහපත්ය. එහෙත් එවැනි පුද්ගලයින්ට එසේ සිටින්නට නම් ස්වන් ශික්ෂණයක් ඇවැසිය. එසේ ජීවත්වන යම් පුද්ගලයෙක් මේ ධරණීතලයේ සිටී ද ඔහු උතුම් මනුක්ෂයෙකු ද ඔහුට සකල ලෝ වැස්සන්ම ගරු කළ යුතුය. ඔබ මා යන අප දෙදෙනාම එකතුව අරගලයක් කොට හෝ ආගම යන සංකල්පය එක එකාගේ ඕනෑ එපාකම් මත වල් වැදීම නවතා දැමිය යුතිය. 

Share on Google Plus

About Unknown

0 අදහස්:

Post a Comment

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..