අපි හැමෝමත් අවතැන්

උදව් කිරීම කලාවක් නම් එහි පිකාසෝ ශ්‍රී ලංකාවේ ජනතාව බව පැවසීම වරදක් නැතැයි සිතමි. පෙර දින දැඩි අව් රශ්මියට විස්සෝප වෙමින් අහස් කුස දෙස බලා වැසි ඉල්ලු මිනිසුන්, පසුදා අනෝරා වැසි කුණාටු මැද හඬන්නට වූහ. සමහරකට සිය වගාව අහිමි වෙද්දී, තවත් පුද්ගලයින්ට තම ගෙය දොර පමණක් නොව පවුලේ ආදරණීයන් මෙන්ම ආදරයෙන් ඇති දැඩි කළ සුරතලුන්  පාවා අහිමි විය. පෙර කාලයේ අව් රශ්මියට වේලි කරකුට්ටන් වූ පොළව කුණාටුවෙන් පසුව ගංවතුරින් ද ඇද වැටුණු පස් කඳු  වලින් ද යට කර අහිංසක මිනිසුන්ව අනාථයන් කර දැම්මේ කිසිදු අනුකම්පාවකින් තොරවය.

වෙනදා ශාන්තව ගලා ගිය කැළණි නදී කුමරිය අද අනුකම්පා විරහිත ඝාතකයෙක් බඳු ය. කැළණි ගඟ අසබඩ ජීවත් වූ  මිනිසුන්ගේ වියෝව දැක සමස්ථ ලාංකිකයින්ම ඒ දෙස බලන්නේ වෛරීසහගතවය. එහෙත් කැළණි ගඟ එසේ වුයේ ඇයි දැයි සොයා බැලීම යහපත් ය. කැළණි ගඟ පිටාර ගැලුවේ අද ඊයේ නොවේ. එදා සිට එය නිතර සිදුවන්නකි. එහෙත් මිනිසුන්ට මේ තරම් එයින් හිරිහැරයක් නොවුණි. ගංවතුර යනු මිනිසුන්ට අලුත් අත්දැකීමක් නොවේ. එය සුපුරුදු අත්දැකීමකි. එදා ගඟ පිටාර ගැලු කළ කොල්ලන් පාරු පැද්දේ ය. ඇතැමුන් ඉහලක සිට ගඟට පැන නා විනෝද විය. ගංගා වතුර වැඩි කාලයක් පිටත රැඳුනේ ද නැත. ජල ධාරාවෝ  දවසෙන් දෙකෙන් පහලට බැස මහා සමුදුර තරණය කළෝය. ගඟ පිටාර ගැලීම බොහෝ විට මිනිසුන්ට සතුට ගෙන කාරණයක් වූ වග අතීතය පිරිස්සීමෙන් වටහාගත හැකිය.
එහෙත් සිදුවී ඇත්තේ අනිකකි. වෙනදා තරමටම අහස් කුසින් වැහි බිඳු අපට එවා තිබුණි. ශාන්තව ගැලු කැළණි ගඟටත්, වෙනත් ඇළ වේලි වලටත් පුරුදු ලෙස ඔවුන්ගේ මාර්ගයේ මහා සයුරට යාමේ අවශ්‍යයතාවයක් ඇති විය. ඔවුන් ඔවුන්ට රිසි මඟ ගියෝය. එහෙත් ඇතැම් තැනක මඟ අවුරා තිබිණි.
කැළණි ගඟේ පිටාර ජල මට්ටම වෙනත් පාරකින් මුහුදට ගෙන ගිය සෙබස්තියන් ඇළට නිදහසේ ගලන්නට  තිබු මඟ අහිමි විය. බ්ලුමැන්ඩල් කුණු කන්ද අසළින් ගිය එහි සෙබස්තියන්ගේ එක්  ශාකාවක් මෝදර රොක් හවුස් කඳවුර පහළින්, මුට්වෝල් අවුට් ෆෝල් එක තුළින් මහා සාගරයට වැටෙන්නට තම මඟ වෙන් කරගෙන තිබිණි. එහෙත් එය පසු කලකදී ආරක්‍ෂක හේතුන් මත වසා දැමිණි.
කැළණි නදී කුමරියගේ වැඩි වතුර රැගෙන ගිය සෙබස්තියන්ගේ අනෙක් ශාකාව ග්රෑන්ඩ්පාස්, කෙසෙල්වත්ත හරහා ගොස් බේරේ වැව පුරවා දමයි. එයද අනවසර ඉදිකිරීම් නිසා අවහිර වී ඇති බව, මා ලද සොයාගත්  තොරතුරු වලට අනුව පැහැදිළිය.
හැමදාම සෙබස්තියන් ගලාගෙන ගියේ තමන්ට අයිති වූ මාර්ගයක ය. එහෙත් සෙබස්තියන්ට නිදහසේ මුහුදට ගලන්නට මඟ ඇහැරී තිබිණි. ඔරුගොඩවත්ත-මීතොටමුල්ල  වැනි පහත් බිම් වලින් මුහුද දකින්නට සෙබස්තියන් ආශා කරන්නට ඇත්තේ ඒ  නිසා වන්නට විය හැකිය.
බොහෝ මිනිසුන් දන්නේ ගඟ පතුර හාරා ගොඩ දමන්නට ය. ඉවුර කනින්නට ය. නැතිනම් ගඟ පතුල කුණු ගොඩකින් ගොඩ කරන්නට ය. නොයසේ නම් අනවසර ඉදිකිරීම් තුළින් ගංගාවකට ගලන්නට ඇති මඟ අවහිර කර දමන්නට ය. අප අයිතිකරගත් මහා පොළව ද, අප අයිතිවාසිකම් කියන්නට වෙහෙසෙන අපටම කියා වෙන් කරගත් අහස් කුස ද ( ගුවන් සීමාව ද ) අප අපගේ යැයි කියාගන්නා ගන්න සමුදුරු සීමාවන් ද භූ චලනයෙන්, නාය යෑමෙන් , වැසි කුණාටු තුළින්, සුනාමියෙන් ද  අපට අයිති නැති වගත්, අප ඔවුන්ට අයිති වූ කුහුඹුවන් බවත් තේරුම් ගත යුතු කාලය එළැඹ තිබේ. එසේ නම් ස්භාදහමට ඇවැසි සේ චාටුවෙන් ජීවත්වීම මිනිස්සුන්ට සුබ ගෙන දෙන කාරණයක් වග ඔබට වැටහෙන්නේ යැයි  සිතමි. එසේ නොවී, ස්භාදම් දිනිතියට වින කරන්නට ගියෝතින් අපට සිදුවන්නේ තව දුරටත් ඉදිරියටද අහිමිවීම් ගැන සාකච්ඡා කරන්නටය.

කෙසේවෙතත් මියැදුණේ ද අනාථයින් ලෙස කඳවුරු වලට වැටුණේ ද අහිංසකයින් ය. කුලී වැඩ කළ අයවලුන් ද රබර් කිරි කැපු අයවලුන් ද තේ දළු කැඩූ අයවලුන් ද රාජ්‍යය සේවකයින් ද අතර වූ සිංහල මහා ජාතියේ අයවලුන් ද දමිළ සහෝදරයින් පමණක් නොව මුසල්මානුවන් ද එකිනෙකාට වර්ග නොකොට ස්භාදහම විසින් අවතැන් කළෝය. කිරි කැටි බිලිඳාගේ සිට වයෝවෘද වැඩිහිටියා දක්වා අසරණයෝ වූහ. රටටම මහා වැසි ඇද වැටුණි. එහෙත් කොතරම් වැහි ඇද වැටුණ ද මනුස්සකම සෝදා හරින්නට වැස්සකට නොහැකි විය. දහසක් වූ නොමිනිසුන් මැද අල්පයක් වූ මිනිසුන්ගේ පෙළගැසීම සිදුවන්නේ ඒ අතරතුරය. තම නිවසට කන්නට ගෙනා කිලෝ පහේ හාල් පැකට්ටුවෙන් කිලෝ දෙකක් ෂොපින් කවරයක බහා ආධාර එකතු කරන මධ්‍යස්ථානයකට දුන් අයෙක් ද, රසකර හොද්දක් සාදා ගන්නවා යැයි සිතමින් කිරට උයා ගන්නට ගෙනා පොල් ගෙඩි දෙක ද දන් දී  එදා රාත්‍රී ආහාරය තෙලෙන් පිස ගෙන කුසට අඩක් කා දුක් විඳින අවතැන් වූවන්ගේ වේදනාව නිවන්නට වෙහෙසුණු අයවලුන් ද මා දිටිමි. ඇතැමුන් අනෙකාගේ සුවය වෙනුවෙන් බොහෝ දේ සිය කැමැත්තෙන්ම ඔවුන් තම ආදරණීයන් ලෙස සළකා දන් දුණි. ඇතැමුන් ඔවුන් දියේ ගිලෙද්දී තම ජීවිතය ද අමතක කර දියට පැන බෙරාගත්තෝය. තවත් අය කඳවුරු බැඳ ඔවුන්ට කන්නට අඳින්නට දෛනිකව ලබා දුන්නෝ ය. වෙනදා වෛද්‍යවරුන් සොයාගිය රෝගීන් වෙනුවට මෙදා වෛද්‍යවරුන් රෝගීන් සොයාවිත් නොමිලයේම තව සේවය සපයන්නට විය. සහන සේවකයින් ඔවුන්ගේ කායික අවශ්‍යතා සැපුරුවා පමණක් නොව, අවතැන් වූ අහිංසක  මිනිසුන්ගේ මානසික තත්ත්වය පවා වටහාගෙන ඔවුන්ගේ සිත් සනසන්නට අමතක කළේ ද නැත. මිනිසුන්ගේ අවශ්‍යයතා මිනිසුන් අතින් එසේ පමණටත් වඩා ඉටුවද්දී සංවේදීම කාරණය වුයේ මිනිසුන් විසින් ගංවතුර නිසා අසරණ වූ ඇතැම් සතුන්ට උපකාර කර රැක බලාගත් දසුන් ය.
රැයක් දහවලක් නොමැතිව නිදිවරාගෙන සිතේ සතුටින්, අමුතුම ජවයකින් සේවය සැලසු පුද්ගලයින්ට කෝපි කෝප්පයකින් සංග්‍රහ කරමින් ඔවුන්ගේ තත්ත්වය පවා සොයා බලන්නට අයවළුන් සිටියහ. පුදුම එලවනසුළු සුහදත්වයක්, එකමුතුබවක්, කිසිවෙකුට කඩා බිඳ දැමිය නොහැකි සංවිධානාත්මක බවක් ඔවුන්ගෙන් දැකිය හැකි විය. ස්වකැමැත්තෙන් සිය ශ්‍රම දායකත්වය සැපයු විශාලම එකමුතුව ඔවුන් විය.
ජාතිය හා ආගම හිස් ඔළු මත තබා තප්පුලන ඇතැමුන් මැද, තම මනුක්ෂත්වය ප්‍රචාරණය කළ ඔවුන් මුළු මහත් ලෝකයටම ආදර්ශයකි. ජීවත්වීමට එකිනෙකා අවශ්‍යය බවත්, මනුක්ෂයින් ලෙස සියලු දෙනා අතරම බැඳීමක් ඇති බවත් ඔවුන් ලෝකයාට උගන්වා අවසන් ය.
ඒ අතර බොර දියේ මාළු බාමින් මිනිසුන්ගේ අසරණකම ද තම සුවය කරගත් ඇතැමුන් තිරශ්චීනයින්ගේ ගතිය පෙන්වන්නට අමතක නොකළ අතර, මිනිසුන් විසින් අවතැන්වූවන් වෙනුවෙන් ලබාදුන් ආධාර පවා අනිසි ලෙස සමහරුන් පරිහණය කළෝය.
ගංවතුරින් අවතැන්වූවන් වෙනුවෙන් ආධාර එකතු කරමින් සිටින අතරතුර සිදු වූ එක්තරා සිද්ධියක් සිහියට නැගේ.
මා සිටියේ ආධාර රැගෙන පැමිණෙන අයගේ නම් හා තොරතුරු සටහන් කරමින් ය. ඒ අතරවාරයේ ඉඩ ලැබෙන අවස්ථාවක ආධාර ද්‍රව්‍ය ලැයිස්තු ගත කරන්නට ද ඉඩ වෙන් කර ගතිමි. පොද වැස්සේ තෙමීගෙන ආ දරුවෙක් රෙදි මල්ලක එතු කිසිවක් මා අත තබන්නට විණි. ඔහු වැස්සේ තෙමි තෙමි පැමිණි වගවත් මා නොදිටිමි. ඔහු තෙත බරියම් වී ඇඳුම ඇඟටම ඇලී තිබු නිසාත් ජනෙල් කවුළුවෙන් පිටත වැහි පොද වැටෙනවා දුටු නිසාත් මා ඔහු වැස්සේ තෙමෙන්නට ඇතැයි උපකල්පනය කළෙමි. දරුවාගේ සිනාමුසු මුහුණ ද මා ඉදිරියට දිගු කරගත් දෑත ද නිසාවෙන් මා සිදුකරමින් සිටි කාර්යය මදකට සීමා කර ඔහු මා අසළට ලං කර ගතිමි.

“.. මොනවද බබා මේ..”
“.. මගේ කැටේ..”

මා රෙදි කවරයෙන් ඔහුගේ මුදල් එකතු කල කැටය ඉවතට ගතිමි. එහෙත් එම කැටය තවත් කඩදාසියකින් වසා ඇත. ඔහු එය මහත් සෙනෙහසින් එකතු කළ, වැඩි ආදරණීය බවකින් පරිස්සම් කළ කැටයක් බව කඩදාසිය ඔතා තිබෙන අයුරින් මා හට වැටහිණි. බාගවිට ඔහු එය ගෙනෙන්නට ඇත්තේ තුරුළු කරගෙන විය යුතුය. එහි එකදු වතුර බිඳුවක්වත් වැදී නැත. සැබෑවටම එය බිඳ එහි වූ මුදල් ගැනීමට තරම් මා දැඩි සිත් ඇත්තෙකු නොවූයෙමි.

“.. මේක ආපහු අරගෙන යන්න.. මේක එපා..”
“.. අනේ.. ඔකේ සල්ලි හුඟක් තියෙනවා. ඕක ගන්නකො..”

හැඬුම් එන්නට ආ අයෙකු මෙන් ඔහුගේ හඬ පිට විය. ඔහුගේ නලියන දෑස් ක්‍රමයෙන් දිලිසෙන්නට පටන් ගැනිණි. මා ඒ අනුක්‍රමයෙන් එය මේසය මත තබා ඔහුගේ අතින් ඇද මා අසළට ගතිමි.

“.. බබා, මේක ගෙදරින් අහලා ද ගෙනාවේ..”
“.. ඔව්.. ඕක ගන්නවා නේද..?..”

“.. අම්මා  මේ ගැන දන්නවද..?..”
“.. ඔව්, අර ඉන්නේ අම්මි..”

ඔහු දෑත දික් කළ දෙසට මා දෑත යා විණි. එහි සිටියේ තම දරුවා දෙස අප්‍රමාණ සෙනෙහසින් යුතුව බලා සිනාසෙන යුවතියකි. දරුවන්ගේ සිතෙහි පවා ඇතිවී ඇති මනුක්ෂත්වයේ ගුණ සුවඳ මා පුදුමයට පත් කළේ එලෙසිණි. මනුක්ෂයින් ලෙස ඉපිද, තිරිසනුන් ලෙස මිය යන්නට පොරකන මිනිසුන් මැද දෙවියන් මෙන් ජීවත් වෙන මිනිසුන් වෙසක් මාසයේ බොහෝ තැන එලි බැස සිටියහ. ඔවුන් මෙතෙක් කාලයක් සැඟව සිටින්නට ඇත. නියම කාලය පැමිණෙන තුරු, එළි නොබසින්නට ඇත.
හිතවත් පාඨකය,
අහසේ දෙවියන් නොමැති බව සත්‍යයකි. දෙවියන් සිටින්නේ පොළවේ ය. බාගවිට, අහසේ සිටිනවා යැයි නොයෙක් අය උදම් අනින දෙවියන් ද පොළවේ සිටින දෙවියන්ට වඳිනවා වන්නට ඇත.


| සඳරු 

Share on Google Plus

About Unknown

0 අදහස්:

Post a Comment

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..