උන්ට ඕනෙත් ඒ ආතල් එක විතරයි බං


වැස්සක් වහින්නේ නැතුව හිරුගේ බැල්මෙන් කරකුට්ටන් වෙන්න වේලිලා ගියපු පොළව ගැන අදහසක් තියෙනවද ? මගේ හිතත් හරියට ඒ වගේ.. ඉඩෝරයට  ගංගා ඇළ වේලි හිඳිලා යනවා   වගේ මගේ පපුවේ ලේ නහර හිඳිලා ගිහිං වගේ වේදනාවක් දැනෙනවා. කොළ පාට තෘණ බිම් වේලිලා ගිහිං වගේ මගේ පපුවෙත් මට දැනෙනවා සෛලයේ ඉඳන්ම මෝරන එළියට විසික්කා කරන්න බැරි කාලකන්ණි සන්තාපයක්.. ඔයා දන්නවද, ලස්සන මල් පිරුණු ගස් විඩාවෙන් බර වෙලා, කොළ හැලිලා කනාටු වෙලා වගේ මට දැනෙනවා නීරස හුදකලාවක්.. ! තනිකමක් !

“.. මචං, ජීවිතේ කියන්නේ කෙල්ලෝ නෙමෙයි.. කෙල්ලෝ කියන්නේ තිරිසන් ජාතියක්..”
“..එත්.. මට තේරෙන්නේ නැහැ බං .. ඇයි  මම.. ! ඇයි මම .. ! මෙච්චර එයාට ඇලිලා ඉන්නේ කියලා..”

“.. පළවෙනි ලව් එක බ්‍රේක් වෙනකොට ඔහොම වෙනවා බං.. ඒකි උඹට බොරු කළානම්, උඹ මොකටද ඒකිගේ රෙස්පක්ට් බලන්නේ.. උඹට වෙන කෙල්ලෝ නැතුව නෙමෙයි නේ..”
“.. හැම කෙල්ලෙක්ටම ආදරේ කරන්න මට දැනෙන්නේ නැහැ බං..”

“.. උඹ  හුරු  වෙයි.. ඒකි, උඹට එහෙම කළානම් උඹත් ඒකම කරපං.. කෙල්ලෝ චාටර් බං.. උන් එක්ක බැඳීම් ඇති කරගන්න එක නරකයි.. උඹ උඹේ ආතල් එක ගනිං.. ඕනෙම කෙල්ලෙක්ගෙන් ! උඹට හම්බ වෙන හැම ගෑණියෙක්ගෙන්ම උඹ උඹේ ආතල් එක ගනිං.. උන්ට ඕනෙත් ඒ  ආතල් එක විතරයි  බං..”
“.. හ්ම්ම්  ! ..”

එක්තරා විවාහක මිතුරෙක්, මම තනි වෙලා ඉන්න මොහොතක මගේ කණට කරලා කියපු වචන වලින් මගේ ඉහමොළ රත්වෙන්න ගත්තා. මගේ ස්නායු මටම අවනත නොවෙද්දී මම ඔහු එළිපෙහෙළි කරපු අඩිපාර දිගේ මගේ පළමු අඩිය තිබ්බේ මගේ ළඟම හිතවතිය ළඟට යි.
වැස්සක් කියා නාමයක් නොතිබිච්ච මගේ ලෝකෙට අකල් වැහි එක දෙක වැටෙද්දී දියාරු වෙච්ච පොළව උඩ සීරුවට ලිස්සනවට බයේ අඩි තියපු ඇය ඇදගෙන වැටුණා. ඇයට තිබ්බා විශ්වාසය කියන අත්තිවාරම උඩ හදාගත්තු ශක්තිමත් නිවසක්.. මගේම කියා නවාතැන් පොලක් නැති මගේ ජීවිතය මට දැනුනේ තනිකරම අම්බලමක් විදියට.. හදවත කියන්නේ මිනිස්සුන්ගේ මානුෂීය හැඟීම් ගැහෙන තැන කියලා හිතාගෙන ජීවත් වෙච්ච මම වෙනස් වුණේ මගේ අතීත අවබෝධයයි, මම වල බැහැපු සමාජයේ මිනිස්සුන්ගේ නිවැරදි කිරීම් එක්ක වෙන්න ඇති.. ඒ දේවල් එක්ක මම ඉගෙන ගත්තා, මගේ හදවත කුටීර හතරක නිමැයුමක් බවත්, හදවත තියෙන්නේ ලේ පොම්ප කරන්න විතරක් විත්තියත්.. !
ඇයගේ විශ්වාසයේ අත්තිවාරම මම වෙච්චි, ඇයට අපූරු වෙන, මනස්කාන්ත හැඟීම් මවන ප්‍රේමය මම තනි යහනක නිරුවතින් දඟලන ආශ්වාදජනක හැඟීමකට ඉඩ වෙන් කරගන්න පුළුවන් ඉනිමඟක් කරගත්තා. මම ආශ්වාදයෙන් කෙඳිරි ගාන්න ගත්තා. ඇය වේදනාවෙන් මොර දෙන්නට පටන් ගත්තා. යටගියාව ඇතුලේ වේදනාවේ උනුහුමින් වාෂ්ප කරගත්තු ප්‍රේමණීය හැඟීම් වෙනුවට, මම ඇතුළේ තිබ්බේ රමණයේ ආනන්දය විතරක්ම වෙන්න ඇති.. බාගවිට මම අතීත බිඳ වැටීම් එක්කත්, සාමාජීය  ආකල්ප එක්කත් ඒ හැඟීම විතරක්ම නිස්සාරණය කරගන්න ඇති..

තනිවචනයක ජීවත් වෙන්න උත්සාහ කරපු මම, දිව දෙකේ අශෝබන පිරිමියෙක් වෙච්ච මොහොතේ දී ඇය හඬා වැලපුණා. මම අවඥාවෙන් හිනා වෙන්න ගත්තා. නොයිඳුල් කන්‍යාවියක් ගැහැණියක් වූ මොහොතේදී  මගේ රළු පපුතුරේ හිස තියාගෙන හඬපු ඒ මොහොතේ මම සිනාසෙමින් සිටියා.

“.. දෙයියනේ, ඔයා මෙහෙම දෙයක් කරලා කොහොමද මගෙන් අයින් වෙන්නේ රත්තරන්..”
“.. මොනවද කියවන්නේ.. මම බලෙන් මුකුත් කලේ නැහැ. ඔයාමයි මගෙත් එක්ක ආවේ..”

“.. ඔයා මගේ ළඟ ඉඳීවි කියන විශ්වාසයයි මට තිබුණේ .. ඒ හින්දයි මේ හැමදේම.. මීට වඩා හොඳයි, මාව මරලා දාලා යනවනම්.. මම අම්මා අප්පච්චිට කොහොමද මූණ දෙන්නේ..”
“.. අම්මා අප්පච්චිගෙන් අහලා එන්න එපැයි මට කියලා කෙළ ගන්න. තමුසෙලාට නිදා ගන්නකොට හොඳයි. නැගිටපුවාම තමයි ඒ දේවල් මතක් වෙන්නේ.. මට ඔහෙත් එක්ක පවුල් කන්න කිසිම ආසාවක් තිබ්බේ නැහැ..”

මගේ අතින් නිරුවත් වෙච්ච කන්‍යාවියන් වගේම, මගේ ඉදිරියේ නිරුවත් වෙච්ච ගැහැණුන්ගේ ගණන ගැන අදහසක් මට නැති උනත්, මෙතැකැයි කිව නොහැකි ගැහැණුන් සමඟ මම රැය පහන් කරන්නට ඇති.. ඒ අතර සිටි කිසියම්  ගැහැණියක් සමඟ බැඳීමක් තිබුණානම් එකී සෑම  බැඳීමක්ම පාහේ යහනකට වැද කෙඳිරි ගෑමෙන් අවසන් වුණා..
බොහෝ අයට මම ස්ත්‍රී සැප වින්දනය කරන, ස්ත්‍රීන්ගේ කැමැත්ත නොවඩුව ලබා ගන්නා වීරයෙකු විලසත්, තවත් අයෙකුට ස්ත්‍රීන් රවටා කම් සැප පරිභෝජනය කරන අධමයෙකු ලෙසටත් පෙනෙන්නට ගත්තා. අම්බලමක් වගේ තිබ්බ ජීවිතයට ලෝකයා එක්ක කිසිම බැඳීමක් තිබ්බේ නැහැ. මම මට ඕනේ දේ කළා වගේම, මට ඇවැසි දේ ලබාගන්නත් වෙහෙසුණා. මම ලබාගත්තු කිසිම දෙයක් ගැන ශෝබන කියා දෙයක් හෝ අශෝබන කියා දෙයක් හෝ ඇත්දැයි සිතීමට මම වෙහෙසුණේ නැහැ. කිසිවෙකු මගේ හැසිරීම් අසභ්‍යය යැයි පවසද්දී බොහෝ දෙනෙකු එවැනි හැසිරීම් සභ්‍යය යැයි ද සාමාන්‍යය සමාජයේ සුලබ සිද්ධි යැයි ද පවසමින් සාදාරනීකරණ කළා.

කාලය ගතවෙනකොට පිරිමියෙකු ලෙස පවුල් වගකීම් කරට ගත යුතු කාලය එළැඹුනා. තරුණයෙකු ලෙස ප්‍රීතියෙන් පියඹා ගිය අතීතයට තිත තබමින් පවුලේ ඇතැම් අය විවාහය ගැන කතා කළා. අවලස්සන කුස රජු විසින් පංචකල්‍යාණියෙකු සොයා දුන්නෝතින් විවාහ වන බව පවසන්නා සේ, මටත් ඕනේ වුණේ ඉඳුල් නොවූ කන්‍යාවියක්.. ! මගේ බිරිඳ නොහොත් ඇය මට ලැබෙන්නේ ඒ වගේ සිතුවිල්ලක මම ජීවත්වෙනකොටයි. ඇයගේත් මගෙත් පවුල් ජීවිතය තැනි තලාවක ගලන ගඟක් වගේ ගලාගෙන ගියා...

“.. බබා, මම ප්‍රෙග්නට්..”

ඇයගේ වචන ඇතුළේ කාලාන්තරයක් තමන්ට ඕනේ විදියට හුස්ම ඇදපු පපුව, මටත් නොකියාම ඉහළට හුස්මක් අදින්න ගත්තේ මාවත් පුදුම කරන ගමන්.. මගේ හිත ඇතුලේ ඉවසිල්ලක් නැතුව එළියට පනින්න හදන මිහිරක් ඇති වුණා.. මම ඒ හැඟීම පුදුමාකාර ආශ්වාදයකින් විඳින්න ගත්තා..


“.. සුබ පැතුම්.. ඔයාගේ දුවක් ඉන්න තාත්තා කෙනෙක් දැන් ඔන්න..”

අම්බලමක් වෙච්ච ජීවිතය තනිකරම නවාතැන් පොලක් වෙලා. මට ඕනේ වුණේ කොහාටවත් නොගිහින් නවතින්නයි. ග්‍රීස්ම සෘතුවෙන් බැට කාපු මගේ ලෝකය වසන්තයේ මල් වලින් සුවඳ දෙන්න ගත්තා. මම ඇත්තටම හිනා වෙනවා කියලා මට දැනුන සුන්දර මොහොතේ, කෑ ගහලා මුළු ලෝකෙටම ඇහෙන්න “.. මම තාත්තා කෙනෙක්..” කියලා කියන්න හිතුණත්, මම වින්දේ පුදුමාකාර නිහඬ සතුටක්.. ඒ හින්දා වෙන්න ඇති, ජීවිතේ කවදාවත්ම නැතුව සතුට වැඩි කමට මගේ ඇස් දියාරු වෙන්න ගත්තේ.. මගේ ඇස් වලින් කඳුළු පනින්න ගත්තේ..

පවුලක් විදියට හිතන්න ගද්දි, මම සංකීර්ණ කාර්යබහුල මිනිහෙක් වුණා කිව්වොත් ඇත්ත. වෙනදා ඔළුව වැඩ රාජකාරි වලින් ගිණි ගද්දි, ඒක නිවන්න කෙනෙක් නොවුනත් වැඩ අධික විදියට පටලවාගත්තු මට අද මගේ දුවගෙයි බිරිඳගෙයි පුංචි පොකැට් ඡායාරූපය දිහා බලන එක හිතට නිවෙන්නට සැනසිල්ලක් අරගෙන ආව..

“.. මචං, කලබල වෙන්න එපා.. දෙයක් කියන්නයි කතා කලේ..”
“.. හරි කියපං.. මම වැඩ ගොඩක ඉන්නේ.. මොකක්ද අවුල.. ඔෆීෂියල් නම් ඔෆිස් එකට වරෙන්..”

“.. නැහැ බං.. පවුල සම්බන්ධ දෙයක්.. පොඩි ප්‍රශ්නයක් තියෙනවා..”
“.. ඕක මොකක්ද කියපන්කො.. දැන් බලපන් අපේ ගෙදර.. අපි පුදුම සතුටින් ඉන්නවා. උඹලට බැරි උනානේ තවම ඔය ප්‍රශ්න ඉවරයක් කරගන්න..”

“.. මචං, මේක උඹේ දුව ගැන අවුලක්..”
“.. මොකක්ද බං.. කියපන්.. මගේ කෙල්ලට මොකද වෙලා තියෙන්නේ..”

“.. කලබල වෙන්න එපා. සුදු දුව වයිට් හවුස් එකේදී අල්ලා ගත්තා.. කොල්ලෙක් එක්ක හිටියේ.. උඹ බය වෙන්න එපා.. කවදාවත්ම මේක එළියට යන්නේ නැහැ. මම කෙල්ලව වෙනම තියා ගත්තා. කොල්ලානම් ලොකප් කළා..”
“.. මොකක්.. උඹට වැරදිලා.. මගේ කෙල්ල එහෙම එකියක් නෙමෙයි.. උඹට වැරදිලා..”

හදවත අමුවෙන් සියුම් ඉඳි කටු තුඩකින් ඉරලා දානවා වගේ වේදනාවක් මට දැනෙනකොට හිස ගිණි ගන්නවා වගේ  හැඟීමක් දැනෙන්න ගත්තා. උණුවට වැක්කෙරෙන කඳුළු කැට එක්ක මගේ හිතේ දිව්වේ සංසිඳෙයි කියලා හීනෙකින්වත් හිතන්න බැරි තරහවක් එක්ක වෛරයක්.. සමහරවිට මගේ හිතේ යටගිය යක්ෂයා ආයෙමත් අවදි වෙන්න ඇති. මම ඊළඟ තප්පරයේ හිටියේ පොලිස්සියේ..

“.. උඹ පරට්ට බැල්ලි.. උඹ වෙනුවෙන් මම මෙච්චර වෙහෙසෙනවා.. තෝ කොහොමද අම්මට මූණ දෙන්නේ.. තොට වෙඩි තියලා මැරෙනවා ඇරෙන්න තවත් ඉතුරු වෙච්ච දෙයක් නැහැ..”
“.. පපා, එයා මගේ බෝයි ෆ්‍රෙන්ඩ්.. ඔයාට කියන්න හිටියේ.. ප්ලීස්.. ඔහොම සද්දෙට කෑ ගහන්න එපා..”

“.. පපා.. ! උඹ වගේ එකියක් හදාගත්තු මම දුක් වෙනවා.. උඹ මැරිලා.. මට දරුවෝ නැහැ බැල්ලියේ..”
“.. පපා.. අම්මි දන්නවා එයා ගැන.. අම්මිගෙන් අහන්න.. අනික මේක නොර්මල් දෙයක්... හැම කොල්ලා කෙල්ලම මෙහෙමයි..”

වේදනා සයුරේ  මගේ ආත්මයම ගිලිලා හුස්ම ගන්න බැරි තරම් වේදනාවෙන් මම ජීවත් වෙන්න හේතුවක් හෙව්වා. ඒ මොහොතෙයි මම දැක්කේ කූඩුවක් ඇතුලේ දාපු වඳුරු පැටියෙක් වගේ කොල්ලෙක්ව දැක්කේ.. මට තිබිච්ච එකම හේතුවත් නැති කරපු නරුමයා ගාවට මම කකුල් ඉල්ලුවේ වෛරයේ ගිණි දැල් එක්ක..

“.. උඹ ද ඒ  තිරිසනා.. උඹ දන්නවද මම කවුද කියලා.. උඹව බල්ලෙක් වගේ මරලා දාන්නේ.. මෙහෙ වරෙන් එළියට..”
“.. බොරුවට කෑ ගහන්න එපා නාකියෝ.. මට දෙනවානම් මම ඕනෙම එකියෙකුට කෙලිනවා.. අනික උඹේ දුව කැමැත්තෙන් ආවේ.. උඹේ ගෑණිත් වෙන මිනිස්සු එක්ක කෙලින එකේ, දුව මගෙත් එක්ක  ආපුවම උඹට මොකද..?..”

වෙව්ලන ඇඟිලි තුඩු මගේ සාක්කුවේ තිබ්බ ගිනි අවිය දිහාට ගියේ, මගේ ඉස්සරහා ඉන්න දුවගේ පෙම්වතාව හිල් පෙනේරයක් කරන බලාපොරොත්තුවෙන් උනත්, මගේ අත ගැස්සිලා වගේ සාක්කුවෙන් එළියට එන ගමන්, ඒ රූපයත් එක්ක ඒ පෙම්වතාගේ පිරිමි වචනත් එක්ක මට මාවම පෙනෙන්න ගත්තා.
දවසක් මම මගේ නොවන, මට අයිති ගැහැණියක් එක්ක මම නිදාගත්තු වෙලාවක ඇගේ පෙම්වතා මට කියපු වචනයි, මම ඔහුට දුන්න උත්තරයි එක්ක මට ආයෙම මාවම හමු වුණා..

“.. උඹ මගේ කෙල්ලත් එක්ක නිදාගත්තු බව මම දන්නවා.. හැබැයි මේක මතක තියාගනින්.. ගෑනියක්ව රවට්ටා ගත්තාට බෑ ඒ ගෑණිව දිනා ගන්න..”
“.. මගෙත් එක්ක එනවා නම්, මම ඕනේ එහෙකට කෙලිනවා.. මම ඒ කැමැත්ත මට ඕනේ විදියකට ගන්නවා..”

“.. ගෑණියෙක් එක්ක ඇඳේ දී බැඳුනට වැඩක් නැහැ මෝඩයෝ.. ඒක බැඳීමක් නෙමෙයි.. උඹට මුණ ගැහෙන හැම ගෑණියෙක් එක්කම බැඳීමක් හදා ගනින්.. ඒ උඹේ අම්මා වගේ කෙනෙක්, සහෝදරි වගේ කෙනෙක් කියලාවත්.. ඒකට පපුවේ මනුස්සකමත් තියෙන්න ඕනේ..”
“.. උඹයි මමයි දන්නා වැදි බණ.. උඹේ කෙල්ල මගෙත් එක්ක නිදාගත්තා බං..”

“.. මම සමාව දෙන්න දන්නවා බං .. මොකද මේ බැඳීම හදාගෙන තියෙන්නේ  නිදා ගන්න එකෙන් බිඳෙන්න නෙමෙයි.. සමාව දෙන එකෙන් මගේ බැඳීම තවත් ශක්තිමත් වෙනවා.. අපිට පුළුවන් අලුතින් පටන් ගන්න. මම උඹ වගේ වෙන්නේ නැහැ..”
“.. මෝඩයෙක්..”

මම හිතන්නේ මම හුඟක් දුර ගියා. මේ කතාව අපි පටන් ගත්තු තැන ඉඳන්, මට අවසන් කරන්න ගොඩක් කල්පනා කරන්න සිද්ධ වුණා. ගැහැණිය කියන්නේ කවුද, මම තවම ඒ ගැන අවබෝධය ලබනවා.. මම හොයාගන්න ඕනේ මුළින්ම මිනිස්සු ගැනයි. එතැන මට ඕනේ කරන ගැහැණියත් අනිවාරයෙන්ම ඇති.. !

“.. මොනවද උඹ ඔච්චර කල්පනා කරන්නේ..?.. උඹට හිතන්න දෙයක් නැහැ ඕකේ.. කෙල්ලෙක් දාගනින්.. ආතල් එකක් ගනින් ඒකිගෙන්.. ඔය සික් එක නිකම්ම ඇරිලා යයි.. ඔය බැඳපු එවුනුත් ඉන්නේ ඕනේ තරම්, ආතල් ගන්න පුළුවන් එවුන්..”
“.. උඹ බැඳලා නේද..?...”

“.. ඔව්..”
“.. එහෙනං මම උඹගේ ගෑණි එක්ක හිටියොත්.. කල්පනා කරලා බලපන්.. උඹ කියපු දේ මොන තරම් අසික්කිත ද කියලා..”


____________________

ගැහැණිය යනු අහිමිවීම වෙනුවෙන් පළිගැනීම් කළ යුතු අයෙක්වත්, පිරිමින්ගේ ලිංගික තෘප්තිය වඩවන ලිංගික භාණ්ඩයක්වත් නොවේ. 



Share on Google Plus

About Unknown

0 අදහස්:

Post a Comment

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..