මචං, කසාදය ගැනනම් කතා කරන්න එපා. 😈😈😈

පිරිමියෙක් විවාහ වෙනවානම් මේ ගැනත් හිතන්න !




විවාහය කියන්නේ පිරිමියෙක්ගේ නිදහස නැති වෙලා යන තැනක්.. නිදහසේ නොසන්ඩාල විදියට ගෙවපු ජීවිතයකට අමතර බරක්, වගකීමක් වැටිලා ජීවිතේ වෙනම පාරක යන ගමනක්.. ඒ පාර හරිම කටුකයි. ඒත් සුන්දරයි.

( මට විවාහය ගැන අත්දැකීම් නැහැ. මම ඉන්නේ කසාදයක් ගැන හිතන්නවත් වටිනා වයසක නෙමෙයි. ඇත්තටම මම අරික්කාල් මිනිහෙක්.. ඒත් මම ආශ්‍රය කරන්නේ බෝතල් වගේ මිනිස්සු. මම එහෙම කියන්නේ, ජීවිතේ බොහෝ අත්දැකීම් ඇති ජීවිතය මට වඩා වින්දනය කරපු, ජීවන සටනේ මට වඩා තීරණාත්මක තැන් වල සටන් කරන ඈයෝ මගේ යාළුවො. මම උන් ඉස්සරහා උන්ගේ කතා බහ ළඟ නිහඬයි. මට උන් කියන දේවල් අහගෙන ඉන්නවා ඇරෙන්න අදහස් දක්වන්න තරම් අත්දැකීම් නැහැ. ඒත් මම හිතින් කිරනවා. මනිනවා. ඊයේ ඒ වගේ දවසක්.. විවාහක මිතුරන් මැද්දේ ඉද්දි තනිකඩ මිනිහෙක්ගේ හිතේ මැවෙනවා සිතුවිලි..
" උඹලා ඔක්කොම කසාද බැඳපු එවුන්.. මම විතරයි තනිකඩ.."
හුඟක් වෙලාවට සෙට් වෙන වෙලාවට මම කියන කතාවත් ඒකයි. මම උඹලත් එක්ක ඉද්දි පවුල් ජීවිතයට පුදුමාකාර විදියට භයයි. ඒ භය නැති කරගන්න මම තාමත් සැලසුම් හදනවා. ) 

මම හිතන විදියට සහ තේරුම් ගත්තු විදියට පිරිමියෙක් වයසින් මෝරනකන් අත්දැකීම් වලින් යම්තාක් දුරට ශක්තිමත් වෙනකං විවාහයක් ගැන හිතන්න හොඳ නැහැ. තමන්ට ගැළපෙන කෙනාව ඒ වෙනකන් හොයාගෙන යනවා ඇරෙන්න, එක වහලක් යට ජීවිතයක් ගැන හිතන්න පිරිමියෙක්ට උඩ කියපු දේවල් නැත්නම් සුදුසු නැහැ.


මචං,
ජීවිතය කියන්නේ පුදුමාකාර තැනක්. මම ඇහැට දැකපු ගල් ගෙඩි වාගේ හිටපු ගලේ ගැහුවත් මැරෙන්නේ නැහැ කියලා හිතාගෙන හිටපු සමීපතයින් බොහොම ඉක්මනට අපිවත් නොහිතන වෙලාවක අපිව දාල යන්නම ගිහින්.. ඒ වෙලාවට අපි හිතනවා, උන් වෙනුවෙන් අපි උන්ගේ පවුල් වලට යම් දෙයක් කරන්න ඕනේ කියලා. ඒත්, ජීවන සටනේ තීරණාත්මක තැන් වල ඉන්න අපිට ඒ දේවල් හොයලා බලන්න වේලාවක් තියේවිද.. ඇත්තටම නැහැ.
අපි සමාජයේ වල බැහැපු කාලයේ, යාළුවො එක්ක කරට අත දාගෙන හිටියා. අපි හැමදෙයක්ම බෙදා ගත්තා. ඒත් අපි අපි වෙනුවෙන් ගොඩ නැගෙන කාලයේදී අපිට ඒ නිදහස නැති වෙලා යනවා.
අපේ සෙට් එකේ හිටිය පාසල් වියේ ඉඳන් ආපු යාළුකමක්. මිනිහා කසාදයක් බැඳ ගත්තා. අපිත් යාළුවො විදියට උගේ විවාහ උත්සවයට ගියා. අපි ඒ සතුට උපරිමයෙන් සැමරුවා. අපි හිතුවා පහුවදා ඉඳන් අපේ යාළුවා අපිව මුණගැහෙන්න ඒවි කියලා. ඒක අහිංසක පාර්ථනයක් අපි හැමෝගෙම හිත් වල තිබුණු. යාළුවො විදියට ජොලි කරන්න, පිස්සු කෙලින්න අපිට අවස්ථාවක් ලැබේවි කියලා හිතුවා. ඒත් ඒ දවස අපිට නැති වුණේ උගේ විවාහය දවසෙයි. ඌ උගේ ලෝකය හදාගන්න හැදුවා. අපි ඌ එනකන් බලාගෙන හිටියා. අපි යාළුවො විදියට ආත්මාර්ථකාමී ඇති. ඒත් ඌ සැමියෙක් විදියට, තමන්ගේ බිරිඳට යුතුකම් ඉටු කරන්න සැදී පැහැදී හිටියා. 

ඌ අපිව මුණ ගැහෙන්න ආව. ඉස්සර වගේ නෙමෙයි. ආපු ගමන් ගෙදර දුවන්න බලාගෙන හිටිය. ඉස්සර අපිට වෙලාවක් කලාවක් තිබ්බේ නැහැ. ඒත් ඌට ටයිම් ටේබල් එකක් හැදුණා. ඌ ඒකට වැඩ කළා. ඌ තප්පරයක් පරක්කු වෙද්දී උගේ මොබයිල් එක දහස් වාරයක් නාද වුණා. ඌ මොබයිල් එක කනේ තියාගත්තු හැම වෙලාවකම උගේ මූණ බෙරි වෙලා නොක්කාඩුවකින් පිරුණා.

" මචන් මම යන්නද ? "

අපි හිනා වෙවී, කියවා කියවා හිටපු කතාව නවත්තලා ඔලුව වනලා ඌට යන්න අවසර දුන්නා. හැමදාම සෙට් වෙච්ච යාළුවා ආයෙම අපිට මුණ ගැහුනේ සති දෙක තුනකට සැරයක්..

" අරූ ෆෝන් එක ආන්සර් කරන්නෙත් නැහැ. බැන්දට පස්සේ වෙනස් වෙලා බං.."
" උගේ ජොබ් එකත් එක්ක බැරුව ඇති බං.. උගෙන් ලොකුවට දෙයක් හෝප්ස් වෙන්න එපා. අපිට පුළුවන් දෙයක් ඌ වෙනුවෙන් කරන්න පුළුවන් වෙච්ච දවසක අපි කරමු "
" උඹත් එහෙම වෙනස් වෙයිද දන්නේ නැහැ "
" පිස්සුද බං.. මම උඹලා වෙනස් වෙනකන් ලඟින් ඉන්නවා. ඊට පස්සේ මමත් වෙනස් වෙනවා"

ජීවිතේ අපිට කවදාවත්ම එකම විදියකට, සතුටින් ගෙවන්න ලැබෙන්නේ නැහැ. අපි වෙනස් වෙනවා.. ඒක තමයි අපේ ජීවිත කතා වල ඇත්ත..
උඹ මම අපි හැමෝම ඉස්සරහට එන අරගලයට මුහුණ දෙන්න වෙනවා. අකමැත්තෙන් උනත් අපිට අපිව අත අරින්න වෙනවා.

මචං,
උඹලා ඉන්නවා කියලා පෙනුනොත්, උඹලා සතුටින් ඉන්නවා කියලා දැනුනොත් යාළුවෙකුට ඒ ඇති.. උඹලා මොනවද කරන්නේ, කාත් එක්කද ඉන්නේ කොයි විදියට ඉන්නේ වැදගත් නැති උනත්, ඉස්සර වගේම ආපහු සැරයක් අපට ඒ විදියට මුණ ගැහෙන්න බැරි උනත් අපි අපි වෙනුවෙන් ජීවත් වෙනවා.
යාළුවො එක ගොන්නක් විදියට ජීවත් වෙච්ච කාලේ අපිට ප්‍රශ්න තිබුනේ නැහැ. තිබුණු හැම ප්‍රශ්නයක්ම අපි විසඳ ගත්තා. අපි අපි වෙනුවෙන් කාලය වෙන් කරගෙන ඒ දේවල් වලට විසඳුම් හෙව්වා. ඒත්, අද දවස අපිට එහෙම ඉඩක් නැහැ. උඹලා උඹලගේ ප්‍රශ්න වල, අපි අපේ ප්‍රශ්න වල තනියම උත්තර හොයනවා. උඹලා වැටෙනවා. වැටි වැටී නැගිටිනවා. තනි වෙලා වගේ දැනෙනවා. ඒ අපි අපේ අතීතයේ තිබ්බ එකමතුවට තාමත් ලැදි හින්දා.
උඹලාත් දවසක කසාද බැඳලා අපිත් උඹලගේ වෙඩින් වලට ඇවිදින් නටලා සින්දු කියලා පිස්සු නටලා යන්න යයි. ඊට පහුවදා ඉඳන් උඹලාව අපිටත්, අපිට උඹලාවත් මඟ ඇරෙයි. මම ඒ තනියම ගෙවන ජීවිත සටන සුබ වෙන්න උත්තරයක් ඊයේ හොයා ගත්තා.


1. උපරිමයෙන් අනාගතය වෙනුවෙන් ඉතුරු කරන්න.





ජීවිතය අද ද හෙට ද ෂුවර් නැහැ. මේ හිටියා මේ නැහැ. ඒත් අපි ඉතුරුවක් කලොත් ඒ නිසා අපි නිසා යැපෙන්නට බලාගෙන හිටපු මිනිස්සු අපි නැති උනත් හැමදාම අඩුපාඩුවක් නැතුව ජීවත් වෙයි. අපිට අපේ ජීවිතය හැමදාම රක්‍ෂා කරන්න බැහැ. පාරක ගියත්, අපි යන වාහනය උනත් ඊළඟ මොහොතේ හැප්පිලා අපිව එතැනම චක බ්ලාස්ට් වෙන්න බැරි නැහැ. ඒත් අපි ඉතුරුවක් කරලා නැත්නම්, අපි අනාගතය වෙනුවෙන් ආයෝජනයක් කරලා නැත්නම් අපේ දරුවන්ට අපි බිරිඳට වෙන්නේ දුක් විඳින්න.
උඹ මම මැරෙන දවසට මිනි පෙට්ටිය ළඟ හිටගෙන මිනිස්සු මෙහෙම කියාවි..
" අපි සතියකට සැරයක් මුගේ ළමයින්ට ඉගෙන ගන්න පොත් ටිකක්වත් ගන්න සල්ලි ටිකක් දෙමු.." " අපි මාසෙකට සැරයක් ඇවිදින් මුන්ට කන්න අඳින්න කීයක් හරි අපේ පඩියෙන් දීලා යමු "
ජීවිතය නැති වෙච්ච මිනිහෙක්ගේ පවුලක් වෙනුවෙන් කරන්න පුළුවන් යුතුකමත්, යාලුවෙක් විදියට විය යුතු වගකීමත් ඒකයි.
ඒත් මාසයක් දෙකක් ඇරෙන්නට මිනිස්සුන්ට ඒ දේවල් කරන්න පුළුවන් වෙයි ද.. තමන්ගේ ජීවිත වල දාහක් ගැටළු එක්ක පොර බදින අපිට යාළුවෙකුගේ ෆැමිලි එකක් වෙනුවෙන් වෙහෙසෙන්න අවස්ථාවක් ලැබේවිද..
නැහැ මචං. අපිට කවදාවත්ම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මේ සමාජය හැදිලා තියෙන්නේ ඒ විදියට. අපිට එහෙම කරන්න උවමනාවක් තිබුනත් අපිට ඒ දේ උදා වෙන්නේ නැහැ.
උඹ කසාද බැඳලා මැරිලා ගියාපුවම, උඹේ ගෑණි එක්ක නිදාගන්න මිනිස්සු වෙහෙසෙනවා ඇරෙන්න උඹේ ගෑණිට කන්න අඳින්න දෙන්න එකම මිනිහෙක්වත් වෙහෙසෙන්නේ නැහැ. ඒකයි මේ සමාජයේ පවතින තිත්ත ඇත්ත..

2. නිසි කල ලබනකන් කසාදයක් ගැන හිතන්න එපා.



නිසි කළ උඹේ ජීවිතයට ලබන්නේ උඹට වයස 25 න් වෙන්න පුළුවන් 30න් වෙන්න පුළුවන්.. බාගවිට 35න් 40න් වෙන්නත් බැරි නැහැ. නිසි කළ කියන්නේ උඹ උඹේ ජීවිතයට යම් ස්ථාවරයක් ගොඩ නගාගත්තු දවසටයි. උඹටම කියලා ව්‍යාපාරයක්, රැකියාවක් ලැබිලා උඹ එතැන යහමින් යැපෙන්න තරම් දෙයක් හම්බ කරන දවස විතරක්ම නෙමෙයි, උඹ අත්දැකීම් ලබලා ජීවිතේ විඳලා ඇති වෙච්ච දවසට උඹේ දවස ලැබෙයි.
උඹ කසාද බැඳපු දවසින් පස්සේ උඹට හිතුමතේ ඇවිදින්න යන්න ලැබෙන්නේ නැහැ. උඹට යාළුවො එක්ක විනෝද චාරිකා යන්න ලැබෙන්නේ නැති තරම්. ඒ හැමදේම කරන්න වෙන්නේ උඹේ බිරිඳ දරුවොත් එක්කයි. උඹට යාළුවො එක්ක පිස්සුවක් කෙලින්න ඕනේ වෙලා උඹ හිතුමතේට එළියට ගියොත් ගේ ඇතුළේ හිර වෙලා ගෙදරටම මෙහෙ කරන බිරිඳගෙන් උඹට චෝදනාවක් එල්ල වෙන්න පුළුවන්. ඒ චෝදනාව සාදාරණයි.
උඹ බිරිඳගෙන් හැමදේම ලබන පිරිමියෙක් වෙලත්, උඹට යාලුවෝ එක්ක ඉන්න ඕනේ නිසා උඹ එළියට යනවා වගේම, උඹේ බිරිඳටත් උඹෙන් හැමදේම ලැබුනත් ඇයටත් ඒ නිදහස ඕනේ කියන සිතුවිල්ල ආවෝතින් ගැටළුවක් ඇති වෙන්න බැරි නැහැ. ඒ ගැටළුව දික්කසාදය දක්වා නොගියෝතින් පුදුමයක්..
" ඔයාට හැමදාම පාටි.. ගමන්..මම මොනවද කරන්නේ.. ඔයා ගෙදර එන්නේ මහා රෑ.. ඒකත් බීගෙන.. මට මේ ජීවිතේ දැන් එපා වෙලා.."
සමහරවිට උඹේ බිරිඳගෙන් මේ වගේ ප්‍රකාශ ඇහෙන්න බැරි නැහැ. ඒ වෙලාවට උඹ උනත් බමන මතින් ගට්ස් අරගෙන මෙහෙම කියන්න බැරි නැහැ.
" මම තමුසෙට හැමදේම දෙනවා. ඉල්ලන හැමදේම දෙනවා. ඒත් තමුසේ මට නිදහසේ ඉන්න දෙන්නේ නැහැ. මොන මගුලක් ද ඕයි.. යන්න ඕනේනම් යනවා"
එතැනින් පටන් ගන්න කඳුළු කතාව ඉවරවෙන්නේ විශාල ගැටුමකින් වෙන්න බැරි නැහැ. ඇරත් උඹ වගේම ඇස් ලේ මස් නහර වලින් හැදුනු බිරිඳට ඕනේ කරන නිදහස බිත්ති හතරක් ඇතුලේ නැහැ. උඹට වගේම එයාටත් නිදහස් ජීවිතයක් තිබුණා. උඹ යාලුවන්ට නෑදැයන්ට ආදරය කරනවා වගේම එයත් එයාගේ ලෝකේ අයට ආදරෙයි. ඒත් එයත් දරුවෝ බලාගෙන, උයාපිහාගෙන උඹේ පවුලේ එවුන්ට මෙහෙ කර කර ගෙවන ජීවිතය එක්ක බලද්දී උඹ තනියම සතුටු වෙන සතුටේ තේරුමක් නැහැ. ඒක ආත්මාර්ථකාමීත්වය වෙන්නැති.
ඉතිං, උඹ තනිකඩ කාලයේ උඹේ හැම ගමනක්ම ගිහිං ඉවර කරන තරමට හොඳයි. හැම අත්දැකීමක්ම සම්පූර්ණ කර ගන්න තරමට හොඳයි. අරක්කු බෝතල් කටේ තියාගෙන බොන තරමට හොඳයි. උඹට කවදාවත්ම බැඳපු දවසක ඒ ආතල් එක ගන්න ලැබෙන්නේ නැහැ. උඹට කියලා පෞද්ගලික නිදහසක් ලැබෙන්නේ නැහැ.
අවුරුදු 18න් 20න් බඳින එවුන්ගේ ජීවිත දිහා හැරිලා බැලුවොත් උන්ගේ පවුල් 90%ක්ම ගැටළු වලින් පිරිලා තියෙන්නේ මේ හේතුව හින්දා. පිරිමියා තමන්ගේ යෞවන වයසට අවශ්‍යය වෙච්ච නිදහස කසාද ජීවිතයේ බැරෑරුම්කම නොදැන කවර් කරගන්න හදනවා. ඒ ඇරියස් එක කවර් කරගද්දී ජීවිතය අනෙක් පැත්තෙන් හිතාගන්න බැරි තරම්, ගොඩ ගන්න බැරි තරම් වැටෙන්න බැරි නැහැ.

3. තමන්ව තේරුම් ගන්නා කෙනෙක් හොයා ගන්න.



" සුදු මැණික උම්මා. ආදරෙයි මහා ගොඩක්.. හෙට ක්ලාස් යන්න ඕනේමද අපි මීට් වෙමුකෝ.. මීට් වෙලා කොහේ හරි යමු "

හුඟක් අයගේ ආදර කතාවල තියෙන්නේ සිප ගැනීම්, " මම ඔයාට ආදරෙයි මහා ගොඩක් " වගේ ප්‍රකාශන වගේම, අපි කොහේ හරි ඇවිදින්න යමු කියන කතා විතරයි. ඒත් ආදරය තියෙන්නේ එකිනෙකාව අඳුර ගන්න.
ආදරය කරන දෙන්නෙක්ට ජීවිතේ ගැන, අනාගතය ගැන කතා කරන්න පුලුවන්නම්.. " මම ඔයාට ආදරෙයි.. මට ඔයාව බඳින්න ඕනේ " කියනවට වඩා ආදරය ගැන වගේම කසාදය ගැනත් නිදහසේ කතා කරන්න පුලුවන්නම් හොඳයි.

හුඟක් අය කරන්නේ පෙම්වතිය තරහවෙයි, ආදරය අඩු වෙයි, වෙන කෙනෙක් හොයාගෙන යයි කියන භය මූලික කරගෙන දැඩිව අල්ලාගෙන ඉන්න එකයි. ඒ වෙනුවට එකිනෙකාගේ වැරදි කතා බහ කරන්න. ඒ දේවල් හදාගන්න විවෘත වෙන්න.

තමන්ගේ කැමැත්ත වගේම, අනෙකාගේ කැමැත්ත වෙනුවෙන් වෙනස් වෙන්න. අනෙකාගේ කැමැත්ත අසාදාරණයි වගේනම් භය නැතුව හෙළි කරන්න. සාදාරණ තර්කයක් ඒ වෙනුවෙන් හොයාගන්න. අසාදාරණ විදියට තමන්ගේ කැමැත්ත වෙනුවෙන් මතයන් ගොඩ නගන්න එපා. ඒ වෙනුවට සාදාරණව දෙපැත්තම ගැන හිතන්න.

" කවුද ඒ කෙල්ල.. ආ දැන් ඔයාට ගෑණු යාලුවොත් ඉන්නවද ? "
" ඔව් මට ඉන්නවා. ඉස්සරත් හිටියා. දැනුත් ඉන්නවා. මම යාළුවො ආශ්‍රය කරන්නේ මේ විදියට "

තමන්ගේ මිනිස්සු ගැන කියලා දෙන්න. එයාලා මොන වගේද කියලා විස්තර කරන්න. තමන් ආස කරන මිනිස්සුන්ගේ තියෙන ගතිගුණ ගැන කියන්න. ඒ වගේම එයාටත් තමන් වගේම වෙන්න නිදහස දෙන්න. තමන් ගෑණු ළමයි යාළුවො විදියට තියාගෙන ඉන්නවානම් එයාටත් පිරිමි ළමයි ආශ්‍රය කරන්න ඉඩක් දෙන්න. ඒකට ඊර්ශ්යයා කරන්න එපා. ඒකෙන් එයා ඉගෙන ගන්නවා පිරිමි කියන ජාතිය මොන වගේ ද කියලා. 

ඔයා ගෑනු ළමයෙක් යාලුවෙක් විදියට ආශ්‍රය කරද්දී ඔයාට තේරුම් ගන්න පුළුවන් ගැහැණු හිතන පතන විදිය.. එයාලා ආස කරන දේවල්.. එයාලා ජීවත් වෙන්න හීන දකින විදිය.. එයාටත් ඒ අත්දැකීම ලැබේවි. ඒකෙන් අමතර වාසියක් ලැබෙන්නේ ඔයාටම මිසක් වෙන කාටවත්ම නෙමෙයි.

" ඔයා ඇයි කෝල් කරන්නේ නැත්තේ.. ඔයා හැම වෙලාවේම එළියේ නේද.. මොනවද ඔච්චරටම කරන්නේ "
" මම ඉන්නේ පාටි එහෙක.. බොන්න කියලා හදන්නේ.. යාළුවො එක්කනේ ඉන්නේ.."

එයාට ඇත්තම කියන්න. ඔයා බොනවානම් බොන බ්‍රෑන්ඩ් එකේ ඉඳන් බීලා ඔයා හැසිරෙන විදියත් එයාට කියන්න. ඔයාට බොන එකෙන් ලැබෙන සතුට ගැන විස්තර කරන්න.

" කොහෙද ඉන්නේ "
" මම නෙගම්බෝ ආව. රා කට්ටක් බොන ගමන් ඉන්නේ. මරු හලෝ.."
" හැමදාම බොනවා වගේ නේද දැන්.. "
" රා බාර් එකට ඇවිදින්, කවදාවත්ම අඳුරන්නේ නැති වයසක සෙට් එකක් මැදට වෙලා එයාලගේ කතන්දර අහ අහ එයාලගේ අත්දැකීම් බෙදාගෙන ලුණු කුඩු ටිකකුයි මඤඤෝක්කා කෑල්ලක් හප හපා ගන්න ෆන් එක ඔයාට තේරෙන්නේ නැහැ නේ.. ලොකු වෙරියක් නැති උනත්, ඒ කතා අතරේ ඉන්නකොට දැනෙනවා මොකක්දෝ හැඟීමක් "

එයත් එක්ක හැමදෙයක්ම බෙදාගන්න. එයාගෙන් අහන්න මෙන්සස් හැදුනාම දැනෙන දරුණු වේදනාව ගැන.. ආසියානු කලාපයක, තුන් වෙනි ලෝකයේ රටක් වෙච්ච ලංකාව වගේ තැනක ගෑණු ළමයෙකුට නිදහසක් කියලා දෙයක් නැති උනත්, එයාලගේ පුංචි ලෝක වල තියෙන හීන ගැන අහලා දැනගන්න. පෙම්වතුන් විදියට නෙමෙයි, ඊට පරිභාහිරව ඒ ලෝකයේ තියෙන බලාපොරොත්තු ගැන අහන්න.

" මට ආසයි මඩ පිරුණු කුඹුරකට බැහැලා මඩ නනා සෙල්ලම් කරන්න "

එයාලා අතින් මේ වගේ කිසිම තේරුමක් නැති කතාන්දර පිටවෙයි. එයාලගේ ආශාවන් වලට හිනා වෙන්න එපා. ඒවා සම්පූර්ණ කරන්න පුළුවන්නම් ඒ දේ ඔයා ඇසුරින් කරන්න බලන්න.
පිරිමින්ගේ හුඟක් වෙලාවට තියෙන්නේ බීමත්කම වගේ වැරදි පුරුදු.. ඒ දේවල් වලට ගැහැණු උදවිය කැමතිම නැහැ.

" ඔයාට බොන එක නවත්වන්න බැරිද ? "
" ඇයි එහෙම අහන්නේ "

දවසක ඔයාගෙන් එයා ඉල්ලීමක් කරාවි. ඔයාට පුළුවන් ඒ වෙලාවට ඇඟට ගොඩ වෙන්නේ නැතුව හේතුව අහන්න. එයා තර්ක කරයි. ඔයත් සාදාරණව තර්ක කරන්න.

" ලෙඩ හැදෙනවා.. අනික මොන පුරුද්දක් ද ඕක. හරිම කැතයි.. පේනවා නේ බීගත්තු එවුන්ගේ හැටි "
" බොනවා කියන එක කලාවක් බබා. අපි චියර්ස් කියලා පටන් ගන්නේ. අපිටම අයිති ග්ලාස් එකක් තියෙනවා. වටේට බයිට් තියෙනවා. ඒ අතරේ අපි අපි ගැන කතා කරනවා. අපේ ප්‍රශ්න, අපේ බලාපොරොත්තු, හීන, හැමදෙයක්ම ගැන. අපි අත්දැකීම් බෙදා ගන්නවා. බෝතලය වටයක් යනකොට චුට්ටක් මත් වෙනවා තමයි. ඒත් හැන්දෑවේ වැව් ඉවුරකට වෙලා ඉර බැහැලා යන දිහා බලාගෙන, හදිස්සියක් නැතුව හෙමීට කියෝ කියෝ නිදහසේ බොන එක ආශ්වාදයක්.. පිරිමියෙකුට එහෙමයි දැනෙන්නේ. අනිත් අය කනමදයෝ වගේ බොනවා ඇති.. ඒත් මම එහෙම නැහැ. මට තියෙනවා ලිමිට් එකක්.. බොන එකටත් චාරිත්‍ර වාරිත්‍ර තියෙනවා. අනිත් මිනිස්සු ඒවා නොකලට අපි ඒ දේවල් කරනවා.. මේ බේබදුකමට බොන බීමක් නෙමෙයි.. පුළුවන්නම් මම කියන දේවල් මවාගෙන විඳින්න බලන්න "

හැමදෙයක්ම ගැන තේරුම් කරන්න. මොකද ගැහැණියෙකුට පිරිමියෙක් කියන්නේ අමුතු සතෙක්. එයාලා ලඟින්ම ආශ්‍රය කරපු පිරිමියා එයාලගේ තාත්තා. තාත්තා කෙනෙක් ගේ ඇතුලේ ඉන්නේ ගෞරවණීය විදියට. හැබැයි ඒ චරිතය ඇතුලෙත් කෙළිලොල් මිනිහෙක් ඉන්නවා. ඒ මිනිහාව කවදාවත්ම තාත්තාලා තමන්ගේ දරුවන්ට පෙන්වන්නේ නැහැ. දරුවෝ හැමදාම කරන්නේ තාත්තට ගෞරව කරන එකයි. එයාට ඊළඟට මුණ ගැහෙන කෙනා තමයි තමන්ගේ පෙම්වතා. එයා අමුතු සතෙක් වෙන්න පුළුවන්. හැබැයි, ඒ පෙම්වතා තුළින් පිරිමි සංහතියේම ගුණය පෙන්වන්න අවස්ථාවක් ඒ පිරිමියාට ලැබෙනවා.

ඒ වගේම තමන් එයාට ආදරෙයිනම් එයා වෙනුවෙන් ඔළුව පාත් කරන්න. ඒක පිරිමිකමට ලැජ්ජාවක් කියලා හිතන්න එපා. අපි කොන්ද කෙළින් තියාගෙන මොන තරම් දේවල් ලෝකයේ කළත්, අපි වීරයෝ වගේ ලෝකයා ඉදිරියේ හැසිරුනත් අපි ගේ ඇතුලේ ඉන්න ගැහැණියට දෙවෙනි වෙන්න ඕනේ. සමහර විට අපි ලෝකයා ඉස්සරහා චණ්ඩි වෙන්න ඇති. ඒත් ගේ ඇතුලේ අපිට චණ්ඩි පාට් දාන්න බෑ. එයා අපිට " යන්න එපා. දැන් ඉඳපන් " කිව්වොත් නවතින්න ඕනේ. ඒ තැනට තමන්ව හසුරවා ගන්න. පුංචි කාලයේ අම්මලා අපිව හැදුවේ එහෙමයි. අපි අම්මලා කියපු දේවල් ඇහුවේ නැත්නම්, අම්මලා තහංචි දාද්දි අපි හිතුවක්කාරකමේ ගියානම් අපි නවතින්නේ විනාශ වෙලා. ඒ වගේමයි, අපිට ජීවිතේ හදාගන්න සාර්ථක මිනිහෙක් වෙන්න ගැහැනියෙකුගේ සෙවනැල්ල ඕනේ කරනවා.

තමන්ව තේරුම් ගත්තු ගැහැණියෙක් තමන්ට සිත් වේදනා අරගෙන එන්නේ නැහැ. පවුල ඇතුලේ ගැටළු තියෙන්න පුළුවන්. ඒ දේවල් තමන්ගේ කාමරයෙන් එළියට නොගෙන ඉන්න ඒ තේරුම් ගැනීමට පුළුවන් වෙයි. හුඟක් පිරිමි ගැහැණුන්ට උස්සන අත්දඬු ඒ පිරිමින්ගේ තේරුම් ගැනීම මත ඉස්සෙන්නේ නැති වෙයි.

----------------------------------------------------

තමන් ස්ථාවර මිනිහෙක්නම්, තමන්ගේ නිසි කාලය ලබලානම්, තමා තේරුම් ගත්තු කෙනෙක් ඉන්නවානම් විවාහ වෙන්න.
මිනිස්සු වැටෙනවා. ජීවිතේ මුල් කාලයේ ලස්සනට ගෙවපු මිනිස්සු හිතාගන්න බැරි විදියට වැටෙනවා. සමහරවිට හැම් බේකන් කාපු කෙනා, ලුනුයි බතුයි කන තත්ත්වයට පත් වෙන්න බැරි නැහැ. ඒත් ඒ වෙලාවට තමන් ආදරය කරපු තමන්ගේ බිරිඳ උස්සලා තියාවි. " මේ විදියට කරන්න.. අපි කොහොම හරි ගොඩ එමු. මොනා උනත් මම ඉන්නවනේ ඔයාට " එයා ඔයාට ඒ දවසට කියාවි. යාළුවො හැම මොහොතේම නැති උනත්, යාළුවො එක්ක ඉන්න තරම් නිදහසක් ඒ කාලයේ නොතිබුනත් යාළුවා අවශ්‍යයම මොහොතේ ළඟ ඉඳීවි.

" ඔයාගේ යාළුවගේ වයිෆ් හම්බ වුණා.. අද ඉස්කෝලේ සංවර්ධන සමිතියනේ. එයත් ඇවිදින් හිටියා. එයාලට ටිකක් අමාරුයි වගේ. එයාලගේ දුවත් හොස්පිටල් ලු.. ඔයා ගියෙත් නැහැ නේද.. අපි දවසක එහෙ ගිහිං එමු.. "
" සල්ලිත් නෑ බබා. ගියොත් ඌට මොනාහරි කරන්න ඕනේ. ඔයාට තේරෙනවා නේ.. මමත් මේ දවස් වල ඔලුව ගිනි අරගෙන ඉන්නේ "
" මම දන්නවා.. මෙහෙම කරපු. මගේ පොතේ ඉතුරු කරගත්තු ගානක් තියෙනවා.. ඒක අරගෙන උදව්වක් කරමු.. ඔයාගේ අමාරු කාලේ එයා උදව් කළා නේ.. අනික ඔයාට එයා හුඟක් ආදරෙයි ඉස්සර.. මතකද අපි දෙන්නට උනත් උදව් කරපු තරම් "
" එහෙම ඕනේ නැහැ. මගේ ලෝන් එක පාස් වෙයි. ඒකෙන් කීයක් හරි දෙමු "
" ලෝන් එක දාන්නේ බිස්නස් වලටනේ.. ඒක ගොඩ දාගන්න. මගේ පොතෙන් ගන්න. හරි ඔයා පස්සේ පොතට දාන්නකෝ ඉවරනේ "
" බලමුකෝ "

ඔයාට හොඳ බිරිඳක් ඉන්නකොට කවදාවත්ම සමීපතයින් අත හැරෙන්නේ නැහැ. එයා හැමදෙයක්ම ගැන හෙවිල්ලෙන් ඉන්නවා. ඔයා ආදරය කරපු, කරන හැමදේටම එයත් ආදරය කරනවා. ඔයා ගෙවන අරගලයත් එක්ක ඔයාට හුඟක් දේවල් බැරි වෙයි. අමතක වෙයි. උදව්වක් කළ යුතු අයට උදව්වක් කරන්නවත් කාලයක් නැති වෙයි. ඒත් ඒ දේවල් ඔයාට බැරි වෙනකොට වගකීමක් අරගෙන කරන්න තරම් එයා ඔයාට සහය වෙයි.
ඉතිං මේ හැමදේම ලැබෙන්නේ, ඔයා හොඳ විදියට ඔයාගේ කසාද ජීවිතයට පය තිබ්බොත් විතරයි.
තමන් වටා ඉන්න මිනිස්සුන්ගේ ජීවිත කතා උපදේශයක් කරගන්න. ඒ මිනිස්සුන්ට වැරදුනු තැන් අත්දැකීම් විදියට ගන්න. එතකොට ජීවිතේ හරිම සුන්දරයි.

Share on Google Plus

About Unknown

0 අදහස්:

Post a Comment

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..