අවධානමට පෙර සූදානම් වෙන්න.


පි තවමත් පිතෘ මූලික සමාජයක හැම බරක්ම කරට අරගෙන ජීවිතය ඇදගෙන යන පිරිමි.. ඒ මහා කර තියාගෙන මේ අරගෙන යන ජීවන සටන බරයි කියලා දැනෙන වෙලාවට අපිට නවතින්න හිතෙනවා. “මේ මොන මඟුලක් ද කරන්නේ ?” අපි ආපහු හැරිලා බලනවා. මම අරික්කාල් මිනිහෙක් විදියට තව තව පිරෙන්න හදද්දී බෝතල් වෙච්ච මිනිස්සු ගාව තියෙන මහා දෙයක් දැක්කා.

“ උඹලා ඔක්කෝම බැඳපු එවුන්.. මම විතරයි තනිකඩ ?” මම එහෙම කියද්දී බෝතල් ගානට පිරුණු මිනිස්සු, ඇහැක් වහලා හිනාවකුත් එක්ක පිටට තට්ටුවක් දැම්මා.
මිනිස්සු කියන්නේ කියවන්න පුළුවන් පොත් වගේ. තනිකඩ මම, මගේ යාළුවන්ගේ ජීවිත කියවමින් අත්දැකීම් එක්කාසු කරගන්න හැදුවා. විවාහය කියන බරපතළ වචනය ගාව පිරිමියෙක් නවතින්න ඕනේ කොහොමද කියලා මම හිතන්න ගත්තා.

කෝටි ගණන් වියදම් කරගෙන, ගම් හතකට මගුල් කියාගෙන විවාහ වෙන පිරිමිත්,  ප්‍රකෝටි ගණනින් දෑවැදි හදාගෙන, රෑ දහවල් හීන දැක දැක කුල ගෙදරට එන ගැහැණියත් උසාවි භූමියක වෙන් වෙලා ඛේදවාචකයට විසඳුමට වඩා වැඩි දෙයක් කොන්ද කෙළින් තියාගෙන ඉන්න වෙර දරන “චරිතයෙන්” එළියට ඇදලා දාන්න මම කැමතියි.
ජීවිතය කියන්නේ පුදුමාකාර තැනක්. ඒක ඉවර වෙන්නේ අද ද හෙට ද කියලා ඔබට උනත් නිච්චියටම කියන්න බැහැ. අද හිනා වෙලා ඉන්න මිනිහා හෙට පාරේදී වාහනයක රෝදයට අහු වෙලා චක බ්ලාස්ට් වෙන්න බැරි නැහැ. ඔබ යම් දෙයක් අනාගතය වෙනුවෙන් ආයෝජනය කරලා නැත්නම් ඔබේ බිරිඳට වෙන්නේ දුක් විඳින්න.

බාගදාට ඔබ මියෙන දවසට මිනි පෙට්ටිය ලඟට වෙලා මිනිස්සු මෙහෙම කියාවී.

" අපි සතියකට සැරයක් මුගේ ළමයිට පොත් ටිකක් ගන්න සල්ලි දෙමු. ඒ එක්කම පවුලේ වියදමටත් කීයක් හරි දීලා දාමු”
ජීවිතයෙන් අකාලයේ සමුගත්තු කෙනෙකුගේ පවුලකට යහළුවෙක් විදියට කළ හැකි පරම යුතුකම වෙන්නෙත් ඒකයි. එහෙම උනත් මාසයක් දෙකක් කරාවි. ඊට පස්සේ අත ඇරලා දායි. තමන්ගේ ජීවිත වල දාහක් ගැටළු එක්ක පොර බදින ඔබට උනත් යාළුවෙකුගේ ෆැමිලි එකක් වෙනුවෙන් වෙහෙසෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මේ සමාජය හැදිලා තියෙන විදියට ඕනෙකමක් තිබ්බත් ඒ විදියට කරන්න 
ලැබෙන්නේ නැහැ. ඔබ මියැදුනාම ඔබේ බිරිඳ එක්ක නිදි වදින්න මිනිස්සු බලා ඉන්නවා ඇරෙන්න, කිසිම මිනිහෙක් ඔබ වෙනුවෙන් එන්නේ නැහැ. ඒ නිසාම ඔබ විවාහයක් ගැන හිතනවානම් අනාගතය වෙනුවෙන් පළමුව ස්ථාවර මිනිහෙක් වෙන්න.
" ඔයාට ගමන්,පාටි විතරයි. ගෙදර එන්නේ මහා රෑ.. මට මේ ජීවිතේ එපා වෙලා..”
බාගවිට ඔබ විවාහ වුණු කාලෙකදී ඔබේ බිරිඳගෙන් මේ විදියට ඇහෙන්න බැරි නැහැ.
" මම තමුසෙට හැමදේම දීලා තියෙනවා. ඒත් තමුසේ මගේ නිදහස දෙන්නේ නැහැ. ඉන්න ඕනේනම් මගෙත් එක්ක ඉන්නවා. නැත්නම් යනවා "
ඔබ ගට්ස් අරගෙන බමණ මතින් කියන කතාව ඊළඟට ඉවර වෙන්නේ විශාල කඳුළු කතාවකින්.. ඇරත් ඔබ වගේම ඇස් හිස් ලේ ඇට මස් නහර හැඟීම් වලින් හැදුනු බිරිඳට උනත් ඔබ හොයන නිදහස අවශ්‍යය වෙන්න බැරි නැහැ.. උඹට වගේම ඇයටත් නිදහස් ජීවිතයක් තිබුණා.  ඇයගේ ජීවිත කතාවෙත් යහළුවෝ නෑදෑයෝ කියා කොටසක් ඉන්නවා.
එහෙම වෙද්දී ඇය දරුවන්ට යට වෙලා, පවුලක් රැකගෙන ගෙවන ජීවිතය එක්ක බලද්දී පිරිමියෙක් තනියම සතුටු වෙන එක ආත්මාර්ථකාමියි.
ඉතිං ඔබ තනිකඩ කාලයේ හැම ගමනක්ම ගිහිං ඉවර කරන්න. ඔබේ ආශාවන්, සිහින හැම එකක්ම සැබෑ කරගෙන ජීවිතය ඔබට අයිති විදියට විඳින්න. තමන්ගේ යෞවන වයසෙන් විවාහ වෙන බොහෝ අයගේ ජීවිත වල ගැටළු ඇතිවෙන්නේ ජීවිතය විඳින්නට ඔවුන්ට අවස්ථාවක් නොතිබුණු හින්දයි.
ඔබේ යෞවන වයසේ විඳිය යුතු නිදහස විවාහ ජීවිතයෙන් කවර් කරගන්න එපා. ඔබ මඟ ඇරුණු ඇරියස් කවර් කරද්දී ඔබට විවාහ ජීවිතය මඟ ඇරෙන්න බැරි නැහැ.
“ මම ඔයාට ආදරෙයි සුදු අයියේ.. මේ මුළු ලෝකයටත් වඩා ආදරෙයි” හුඟක් ආදර කතාන්දර වල ආදරය කියන වචනය හැම තැනකම විසිරිලා තිබ්බට ඒ කතා ඇතුළේ  තියෙන්නේ දැන් එයා තරහා වෙයි, එයා මාව දාලා යයි වගේ භයක්.. ඒ භය මූලික කරගෙන හැදුනු ආදර කතා ඇතුලේ නිදහසත් එක්ක ආදරයේ මිහිර විඳින අයිතිය පෙම්වතුන්ට ලැබුනේ නැහැ.
“ ආ ඔයාට දැන් යාලු කෙල්ලොත් ඉන්නවද, ඉස්සරනම් හිටියේ නැහැ”
ආදරය කියන්නේ විවාහය තෙක් එකිනෙකා තේරුම් ගැන ඔවුනොවුන් ගලපා ගැනීමයි. ඔබ කුමන වර්ගයේ පුද්ගලයෙකුදැයි තේරුම් කරන්නට වග බලාගන්න. ඒ වගේම ඇයගේ කැමැත්තත් අහන්න. ඔබ ගැහැණුන් ඇසුරු කිරීමෙන් ගැහැණුන් කවුරුන්දැයි තේරුම් ගන්නවා වගේම, ඇයටත් පිරිමින් කවුරුන්දැයි තේරුම් ගැනීමට ඇගේ යහළුවන් ඇසුරු කරන්නට දී අමතර වාසිය ඔබ ලබාගන්න.
“ ඔයා බොනවද.. දැන් බොනවා වැඩියි ඔයා”
ඔබ සිදු කරන නිවැරදි පුරුදු වගේම වැරදි පුරුදුත් ඇයට නොභියව හෙළි කරන්න. අරක්කු බොන ඔබ බෝතලේ බ්‍රෑන්ඩ් එක උනත් කියන්න තරම් විවෘත වෙන්න. මධු විත ඇසුරෙන් ඔබ යම් මිහිරක් ලබනවා නම් ඒ ගැනත් ඇයට පවසන්න.
ආසියානු කලාපයේ තුන්වෙනි ලෝකයේ රටක ජීවත් වෙන ගැහැණුන්ට ලැබෙන නිදහසත් පිරිමින්ට ලැබෙන නිදහසත් අහසට පොළව වගෙයි.
“ මට කඳු නගින්න ආසයි.. වැඩිහිටි නිවාසෙකට ගිහිං එයාලත් එක්ක ගොඩක් වෙලා ඉන්න ආසයි.. තව මට ඕනේ මඩ පිරුණු කුඹුරක බැහැලා ඉබාගාතේ දුවන්න.. ඒත් ගෙදර අයට කිව්වොත් මට බනිනවා”
ඇයගේ මෘදු සුමට ගැහැණු ජීවිතයේ මේ වගේ විඳින්නට ආසාවෙන් බලාගෙන ඉන්න දේවල් තියෙන්න පුළුවනි. ඇයගේ නිදහසට තටුවක් ඔබෙන් ලැබෙනකොට, ඔබට ඇයගේ සතුට වගේම ඇයව තේරුම් ගැනීමේ ශක්තියත් නිරායාසයෙන්ම ලැබෙනවා.
තමන් ස්ථාවර කෙනෙක්නම්, තමන්ගේ නිසි කාලය ඇවිදින්නම්, තමන් තේරුම් ගත්තු කෙනෙක්  ඉන්නවා කියන ත්‍රිත්වය එකට එක්කාසු වෙනකොට ඔබ උවමනාවෙන්ම විවාහයක් ගැන හිතන්න ගනීවි.
ඔබ සෑම විටම එවැනි බිරිඳකට දෙවෙනි වෙන්න. පුංචි කාලයේ අම්මලා විසින් පසුපසින් ඉඳලා රැකගත්තු ජීවිතයට තව දුරටත් ගැහැණියෙකු අවශ්‍යයයි. “ අද කොහෙවත් යන්නේ නෑ” ඇය ඉඳ හිට ඔබට තහංචි දමාවි. ඔබ ඔලුව පාත් කරගන්න. ඔබ එසේ කළ යුත්තේ කේසර සිංහයෙකු වුවත් ඇය ඔබගේ ජීවිතයේ වගේම ඔබගේ පැටවුන්ගේ ජීවිතයේ අයිතිකාරිය වන හින්දයි.

ජීවිතේ මුල් කාලයේ ලස්සනට ගෙවපු මිනිස්සු හිතාගන්න බැරි විදියට පසුකාලීනව වැටෙනවා. සමහරවිට හැම් බේකන් කාපු කෙනා, ලුනුයි බතුයි කන තත්ත්වයට පත් වෙන්න බැරි නැහැ. ඒත් ඒ වෙලාවට තමන් ආදරය කරපු තමන්ගේ බිරිඳ උක්ත විදියට තෝරාගත්තු බිරිඳ ඔබව උස්සලා තියාවි. " මේ විදියට කරන්න.. අපි කොහොම හරි ගොඩ එමු. මොනා උනත් මම ඉන්නවනේ ඔයාට " එයා ඔයාට ඒ දවසට කියාවි. ඒ වගේම ඔබ වෙනුවෙන් ඇය ඔබේ ආදරණීයන්ට උපකාර කරන්න ගනීවි.

" ඔයාගේ යාළුවගේ වයිෆ් හම්බ වුණා.. අද ඉස්කෝලේ සංවර්ධන සමිතියනේ. එයත් ඇවිදින් හිටියා. එයාලට ටිකක් අමාරුයි වගේ. එයාලගේ දුවත් හොස්පිටල් ලු.. ඔයා ගියෙත් නැහැ නේද.. අපි දවසක එහෙ ගිහිං එමු.. " 
"
සල්ලිත් නෑ බබා. ගියොත් ඌට මොනාහරි කරන්න ඕනේ. ඔයාට තේරෙනවා නේ.. මමත් මේ දවස් වල ඔලුව ගිනි අරගෙන ඉන්නේ "
" මම දන්නවා.. මෙහෙම කරපු. මගේ පොතේ ඉතුරු කරගත්තු ගානක් තියෙනවා.. ඒක අරගෙන උදව්වක් කරමු.. ඔයාගේ අමාරු කාලේ එයා උදව් කළා නේ.. අනික ඔයාට එයා හුඟක් ආදරෙයි ඉස්සර.. මතකද අපි දෙන්නට උනත් උදව් කරපු තරම් " 
"
එහෙම ඕනේ නැහැ. මගේ ලෝන් එක පාස් වෙයි. ඒකෙන් කීයක් හරි දෙමු "
" ලෝන් එක දාන්නේ බිස්නස් වලටනේ.. ඒක ගොඩ දාගන්න. මගේ පොතෙන් ගන්න. හරි ඔයා පස්සේ පොතට දාන්නකෝ ඉවරනේ " 
"
බලමුකෝ "
හොඳ බිරිඳකගෙන් ඔබට කිසිම දෙයක් මඟ ඇරෙන්නේ නැහැ. කටෝර අව් රශ්මියෙන් රිදුම් දෙන ජීවිත කාන්තාරයේ ඔබට ඇය හෙවනැල්ලක් වේවී.

කැරළි ගහන වංගුව ඇපල්, සියත හයවන පිට



Share on Google Plus

About Unknown

1 අදහස්:

  1. Live Dealer Casino Sites - Lucky Club Live
    Best Live luckyclub Casino Sites · #1 – Bovada · #2 – Bet365 · #3 – Betway · #4 – Bovada · #5 – Bodog · #6 – BetVictor · #7 – Betsson.

    ReplyDelete

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..