--- ජීවිතයට හොඳම දේ දෙන්නේ අම්මා ය ----- 💖💗💙

" ටිපිටිප් එකක් ගේනවද ? " ඇය යන්නට පෙර මා මහත් ආශාවෙන් ඇගේ සාරි පොටක එල්ලෙමින් කීවෙමි. මා ඇය නැවත පැමිණෙන තුරු ඔරලෝසුවේ හොරා කටු දෙස බලමින් සිටියෙමි. ඇය පැමිණියේ විශාල පාර්සලයක් රැගෙන ය. ඇය පාර්සලය ඇගේ කාමරයට රැගෙන ගියාය. ඇය යන අතරවාරයේ මගේ කම්මුලක් ද මිරිකා යන්නට ඇය අමතක කළේ නැත.
" කෝ අම්මා ටිපිටිප් " ඇය කම්මුල් ඇඟිලි තුඩු වලින් මිරිකන අතරතුර මා ඇසුවෙමි.
" ටිපිටිප් ගෙනාවේ නැහැ " මගේ මුහුණ මැලවී යන්නට ඇත. හැඬුම් එන්නට ආ නිසාවෙන් මා හිස ගස්සමින් දිව ගොස් නිවසට ගොඩ වෙන පඩිය මත හිඳ ගතිමි. මා තුළ ඇතිවූ තරහව විස්තර කළ නොහැක.
" සුදු පුතේ.. මම අළුත් පොත් වගයක් ගෙනාව ඔයාට.. මේ එන්නකෝ.. කියවන්න පොතුත් තියෙනවා " කාමරයේ සිට අම්මා කෑ ගසයි. මා ඇයගේ හඬ නෑසෙන මානයට දිව ගියේ සිතේ තිබු වේදනාව උහුලා ගත නොහැකි නිසාය.


යහළුවන්ගේ අම්මලානම් කිසිදු දිනක මෙසේ කරන්නේ නැත. ගිය වාරයේ පන්ති රැස්වීමට පවා අම්මා ආවේ නැත. කසුන්ගේ අම්මා පැමිණ කසුන්ටත් මටත් ටිපිටිප් පැකට් දෙකක්ම ආපසු යන අතරවාරයේ ඉස්කෝල කැන්ටිමෙන් අරගෙන දුන්නා මතකය. මගේ අම්මා මට ආදරය නැතුවා වන්නට ඇත.
මා මිදුලේ වූ විශාල මයිල ගස මුල තිබු ලී බංකුව මත වාඩි වී හඬන්නට වූයෙමි.
" සුදු.. එන්නකෝ.. පොත් වලට පිටකවර දාන හැටි කියා දෙන්න.. කොහෙද ඔයා.."
මා හිතුවක්කාරයෙකු මෙන් ලී බංකුව මතම සිටියෙමි.

*************************************'

වසර 7 කට පසුව

**************************************

" අම්මේ, මම ඕ ලෙවල් පාස් "
" මගේ මැණික.. ඔයාට මොනවද ඕනේ "
අම්මා මා දෙයතින් අල්ලා තුරුළු කර ගත්තා ය. මා ඇයගෙන් මිදුනෙමි.
" අම්මා දන්නවද මගේ රිසාල්ට් "
" ඔයා පාස්නම් ඇති.."
" ඒ නමයක් තියෙනවා " මා ඇය වැළඳ ගතිමි. ඇය උණුසුම් හාදුවකින් මගේ කම්මුල තෙමුවාය.
" ඔයාට මොනවද ඕනේ " අම්මා දිලිසෙන දෑසින් යුතුව මගේ මුහුණට එබෙයි.
" ෆෝන් එකක් අරගෙන දෙනවද ? "
" හ්ම්ම් " අම්මා කල්පනාවට වැටිණි. මා ඇය පසුකර පෙර නොවිරූ ප්‍රීතියෙන් යුතුව කාමරයට රිංගා ගතිමි.
ඇය කොහේදෝ යන්නට හදිස්සියේම සුදානම් වෙයි. ඇයගේ නිවාඩු දිනයේ ඇය නිවසින් එළියට යනවා අඩු ය. ෂුවර් එකටම මට තෑග්ගක් ගේන්නට විය යුතුය.
මොබයිල් ෆෝනයක් තිබුනෝතින් අනෙක් යහළුවන්ට මෙන්ම මටද ගේම් ගසන්නට පුළුවන. මා ඔටෝ ග්‍රාෆ් එක අතට ගත්තෙමි. එහි ඇත්තේ යහළුවන් විසින් ලියු සුබ පැතුම් ය. එහි ඇති රවුම් මෘදු අකුරක් දිටිමි. ඒ පිටුව ඕනෑවට වැඩිය හදවත් සලකුණු වලින් රතු වර්ණයෙන් හැඩ කර ඇත.
" අවසන් දවසේ අවසන් පැය තුල කොතරම් ලතැවුල් වින්දාදෝ
අපට පුරුදු ඒ පුංචි කාමරේ එතරම් සෙනෙහස තිබුනාදෝ"
එහි අවසානයේ හැඩ අකුරින් ලියා තිබු ගීත ඛාණ්ඩය දෙස ප්‍රීතියෙන් යුතුව බලා, ඔටෝග්‍රාෆ් එක පපුවට තුරුළු කරගනිමින් සයනයට වැද නෙත් පියා ගතිමි.
" සුදු.. නිදිද ? "
" අම්මා.. ඔයා ආවද ? "
අම්මා සයනය මත වාඩි වී විශාල පාර්සලයක් මා වෙත දිගු කළා ය. ඇගේ මුහුණ සිනහවෙන් පිරී ඇත. මා කුහුලින් යුතුව ඒ දෙස බැලුවෙමි.
" මොනවද අම්මේ මේ.."
මා එකින් එක දිග හැරියෙමි. මුලින්ම හමු වූයේ තාගෝර් විසින් රචිත " ගෝරා " නැමැති කෘතියේ සිංහල පරිවර්තනයකි. දෙවනුව තරමක් විශාල කාඩ්බෝඩ් පෙට්ටියක බහාලු දෙයකි. මා එය ඇද බලන්නට වූයෙමි. එය හුරුබුහුටි නෝට් බුක් පරිඝනකයකි.
" සතුටුයි ද ? " අම්මා මා දෙස බලා සිනාසෙමින් සිටින්නීය. මා ඇයට සිනාවකින් සංග්‍රාහ කළෙමි. එහෙත් එය සැබෑ සිනාවක් නොවේ ය. හදවතේ මොකක්දෝ තේරුම් ගත නොහැකි ලැතවුලකි.
" මම වොෂ් එකක් දාගන්නම්.. මොනාද කන්න හදන්න ඕනේ.. මෂ්රූම් ගෙනාව. ඔයා ආසයි නේ.." අම්මා කාමරයෙන් එලියට ගියාය. මා සියලු ත්‍යාගයන් ඇඳ වියල දෙසට තල්ලු කළෙමි.
ඔටෝ ග්‍රාෆ් එක නැවත අතට ගෙන එහි පෙර පෙරළු පිටුවෙහි අවසානයේ " මීට ආදරණීය මිතුරිය " කියා තැබූ අත්සනට පහළින් වූ දුරකතන අංකය දෙස බලා හුස්මක් ඉහලට ඇද ගතිමි. ඔටෝග්‍රාෆ් පිටුව නොපෙනී යන තරමට නෙත් කඳුළු උණා ඇත.

************************

වසර හතරකට පසුව

************************

" අම්මේ ඒ තුනක් තියෙනවා නේ.. විශ්වාස කරන්නත් බෑ "
" දෙයියනේ.. මගේ වස්තුව.."
අම්මා හඬන්නට වූවා ය. ඇය හඬමින් මා වැළඳ ගත්තා ය. නැවතත් මගේ මුහුණ දෙසා බලා ආදරණීයව හඬමින් සිනාසෙයි. මා කශේරුකාව පහත් කරමින් ඇයගේ මුහුණ සිඹින්නට වූයෙමි. ඇය මට වඩා මිටිය. මා වේගයෙන් වැඩුණු අයෙකු වී ඇත.
ඇය මගේ කම්මුලෙන් අදින්නට වූවා ය. ආදරණීයව මුහුණ අල්ලාගෙන මුහුණ දෙස බලාගෙන සිටියි.
" මගේ දොස්තර පැටියා "
දින ගණනකින් රැවුල කපන්නට නොහැකි වූ නිසාම ඇයගේ ඇඟිලි තුඩු වලට අසු වූ රැවුල් ගස් නිසා පුංචි වේදනාවක් දැනුන ද මා සිටියේ මහත් වූ සතුටින් වග කිව යුතුමය.

**************************



" මොනවද අප්පා ඔය බංකුව උඩට වෙලා ඔච්චරටම කල්පනා කරන්නේ "
නිහඬ වූ ද මනස්කාන්ත වූ ද සැන්දෑ වරුවක මයිල ගහ යට ලී බංකුවේ වාඩි වී සිටියදී ඇය මා අසළින් සිට උණුසුම් තේ කොපි කෝප්පයක් මා අත තබයි. දැන් ඒ මයිල ගහ යට ලී බංකුවට අමතරව විශාල කොටයකින් සාදන ලද පුංචි මේසයක් ද ඇත.
" මොනවා කල්පනා කරන්නද බබා " 💖💖
" අහස පොළව ගැට ගහන්න වගේ "
" මම කල්පනා කලේ අම්මා ගැන "
" හ්ම්ම් "
" හැමදාම හොඳම දේ ලඟට දුන්නේ අම්මා.. හරිම පාළුයි.."
" ඒක ඇත්ත, හැමදාම හොඳම දේ දුන්නේ අම්මා. මටත් පාළුයි.."
මා අම්මා ගැන සිතා සිටියේ වෙනස් විදියටය. ඇය හමුවන විටත් මා අම්මා ගැන සිතා සිටියේ වැරදියට ය. මා සිතුවේ අම්මා මගේ සතුට ගැන නොසිතන, ඇගේ සතුට ගැන පමණක් සිතන අයෙකු කියාය. එහෙත් එය එසේ නොවිණි.
" මම ඒ ගෑණු ළමයා ගැන දන්නවා සුදු.. එයා එච්චර සෝෂල් නැහැ. ඒත් එයා තමයි ඔයාට ගැළපෙන කෙනා. මම කියනවට බලන්න යමු.."
" අනේ අම්මා මට බඳින්න ඕනේ නැහැ. මම ආස නැහැ දැන්ම "
" ඔයා ආස වෙයි. යමුකෝ මම කියනවට.."
" අනික අම්ම, එයා මගේ චොයිස් එක නෙමෙයිනම්. ඔයා දන්නවා නේ මගේ කැමැත්ත.."
" මම කියනවට එක සැරයක් යමුකෝ.. මම එයාව පුංචි කාලේ ඉඳන් දන්නවා.."
අවසානයට අම්මා මා හැරදා සදාකාලිකව තනිකර යන්නට මත්තෙන් ඇය මා අසල තැබුවා ය. ඒ අම්මාගේ කැමැත්ත ය. එයද මගේ කැමැත්ත නොවිණි.
" බබා ඔයා අද කල්පනා කරනවා වැඩියි.. කෑම කන්න යන්ද.. මෂ්රූම් හැදුවේ.. අද අලුත් රෙසෙපි එකක්.. "
ඇය මගේ සුරත අල්ලාගෙන, මගේ උරයට හිස ද තබාගෙන සිටියාය. එහෙත් මා හට ඒ පිළිබඳව හාංකවිසියක්වත් නොදැනිණි.
මා සිටියේ වියෝ වේදනාවෙනි. එය හදවත පලා දැමුවාක් වැනි ය. පිරිමියෙකු වුවද මා හට තව දුරටත් වේදනාව වසන් කළ නොහැකිය. සිතට වසන් කරන්නට ඇවැසි වුවද නෙතට එය අපහසුය.
" ඇයි දෙයියනේ අඬන්නේ.. මම දන්නවා මට අම්මාගේ අඩුව පුරවන්න බෑ.. ඒ වගේමයි ඔයාගේ අම්මා තමයි හොඳම අම්මා. ඒකත් මම දන්නවා.. මට බෑ කියන්න, මම ඔයාට ඉන්නවා නේ කියලා.. මොකද මට ඒ අම්මාගේ තැන ගන්න අමාරුයි.. මම ඒක දන්නවා.."
මා ඉවත බලා හුස්මක් අදින්නට වූයෙමි.
" මේ බලන්නකෝ.. ඉස්සර ඔයාගේ අම්මා අපේ ගෙදර එනවා. මම චූටි කාලේ.. මම කාමරේ ඉද්දී, අපේ අම්මත් එක්ක ඔයා ගැන කතා කරනවා. මම ඒවා අහගෙන ඉන්නවා.. එයාට කතා කරන්න තිබ්බේ ඔයා ගැන විතරයි. එයාගේ ලෝකේ උනෙත් ඔයාම විතරයි. කවදාවත්ම මගේ පුතා කියන වචනය හැර වෙන කිසිම දෙයක් එයා කතා කරන්නේ නැහැ.. මට ඔයාව දකින්න පුදුම ආසාවක් තිබ්බා ඒ දවස් වල ඉඳලම.. කොහොම හරි මම ඔයාව දැක්කේ නැහැ. ඒත් ඔයාව මවා ගත්තා.. අනේ මන්දා. මට පිස්සුනේ.. මම ආදරෙත් කළා.. එක දවසක් හදිස්සියේම ඔයා මාව බලන්න ආව.. බුලත් හෙප්පුව අතට දීලා ආයෙමත් මම හැරිලා යද්දී, මට ගොඩක් දේවල් හිතුණා.. ඔයාගේ අම්මා හැදුවේ හොඳ පුතෙක් විතරක් නෙමෙයි.. හොඳ සැමියෙක්.. ඒක මට දැනෙනවා.."
මා සිටියේ ඈත සිතිජය දෙස බලාගෙන ය. ඇගේ කතාන්දරට හ්ම් කියා හෝ හූමිටි නොතියා අම්මා හා මා අතර ඇති මතකය දිගේ ඇවිද ගියෙමි.
" පුතා දැන් ලොකුයි. ලස්සනයි.. කෙල්ලෙක් එහෙම ඇති නේද ? " දිනක් අසල්වැසි කාන්තාවක් නිවසට ගොඩ වැදුණු අවස්ථාවක සිනාසෙමින් අම්මා සමඟ විසුළු කතාවක් අරඹන්නට විය. මා සිටියේ කාමරයේය. එය ඇසු මා මුවින් ද සිනහවක් පිටවිණි.
" එයාට ගැළපෙන කෙනාව මම හොයලා තියෙන්නේ.." අම්මා එසේ කියා සිනාසුණා ය. එහෙත් මා එදා සිතුවේ එකී ගැහැණියගේ කට වැසීමට අම්මා විසින් දුන් උත්තරයක් පමණක් බැව් කියාය. එහෙත් අද මා තේරුම් ගතිමි. අම්මා මා උපදින්නට පෙරම මා පිලිබඳව සැලසුම් සදාගෙන ඇත. අම්මලා ජීවත්වන්නේ දරුවන් මත්තෙම පමණක් බැව් වග ඇය ඔප්පු කර හමාරය.
එදා මා ලී බංකුව මත හිඳ ටිපිටිප් එකක් නොගෙනාවා කියා හැඬුවා පමණක් නොව ඇය පිළිබඳව වැරදි අවබෝධයෙන් ජීවත් වූයෙමි. එහෙත් අද මා එම බංකුව මතම හිඳ ඈ නොමැති තැන ඇය වෙනුවෙන් තවමත් උපදින ආදරය පෙන්විය නොහැකි තැන හඬා වැළපෙමි.
Share on Google Plus

About sameer sandaru

1 අදහස්:

  1. මව් සෙනෙහේ අපූරුවට දැනෙන සංවේදී කථාවක්. අපූරුයි.

    ජයවේවා!!!

    ReplyDelete

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..