📝 ඇඟළුම් යුවතිය


ටික් .. ටීක්.. ටික්.. ටික්..
තප්පර කටු කාල අන්තරය තුල සෙමෙන් ගැහෙයි. ඇයට විටක ඇතිවන්නේ කෝපයකි. ".. ඩක ඩක .." ගා ඉඳිකටු තුඩ රෙදි කැබලි මත ලතාවකට මෙන් එහේ මෙහේ දුවයි. වැඩ බලන නිලධාරි තැන දකින විට ඇයට සිහිවන්නේ පාසලේ සිටි තරුණ ගණිත ගුරුවරයා ය.
විභාග ශාලාවේ ඈ ගණිතය ප්‍රශ්න පත්‍රය තුල හිස ඔබාගෙන කල්පනාවේ නිග්මව සිටින ඔහු වේවැලද ගෙන ශාලාවේ එහා මෙහා කෙලවර කිහිප වරක් තරණය කරයි. ඇඟිලි තුඩු නමා හිස කසමින් උත්තර එකින් එක පුරවන ඈ කිහිප වරක්ම ඔහු දෙස බලයි. මුහුණේ නැගෙන සිනාව පරයා වේවැල පද්දමින් ආරුඩ කරගත් නෝක්කාඩු බවකින් ඇයව පසුකර යයි.


".. ට්‍රීන්.. " තප්පර කටු විනාඩි පැය වලට හැරී දවස ගෙවී ගොස් ය. මැහුම් රෙදි කැබලි බහාලන කූඩ අතින් ගත් සේවකයින් ඇය පසුකර යයි.
".. සචී .. නැගිටපං.. මොකෝ උඹ පුටුවට ඇලිලා ද..?.."
".. මේක විතරනේ ඉතුරු කෙල්ලේ. හිටපන් ටිකක්.."

".. උඹ නම්.. උඹට ඕක වැඩියෙන් මැහුවා කියලා සර් උඹව එක්කං යන්නේ නෑ. වැඩිපුර ගෙවන්නෙත් නෑ.. මෙහේ වරෙන් යන්න.."
".. මේකිගේ කට යකෝ.. පොඩ්ඩක් හිටපං.. කුඩේ ගන්න කං.."

බිම් කළුවර වැටී වෙළඳ කලාපයම මළානික ස්වරුපයක් ගනී. අඳුර රජ යන මොහොතේ ආලෝකය භියගුළු ලෙස පලා යයි. මළ හිරුගෙ ඡායාවක් වත් සොයන්නට නැතිය. වීදියට බට ඔවුහු නිසොල්මනේ ඇවිද යයි.
".. මුන් යන්නේ උඩ බලාගෙනද මන්දා බං.."
".. ම්ම්.."

".. උඹ මොනවද කල්පනා කරන්නේ සචියෝ.."
".. මුකුත් නෑ බං.."

".. උඹේ මූණ මං බැලුවා.. හවස ඉඳන් කළු ගැහිලා.. මොකද අහස වහින්න වගේ.."
".. අනේ පලයන්.. "

".. උඹට මට කියන්න බැරි දෙයක් නෑ නේ.."
".. නෑ බං.. අම්මගේ පපුවේ අමාරුව ටිකක් වැඩි ලු.."

".. ගිය සතියෙත් උඹ ගෙදර ගිහිං බේත් අරං දුන්න නේද.."
".. අනේ මන්දා බං.. මල්ලිත් කියන දේ අහන්නේ නෑ.. ඌ කෙල්ලෙක් එක්ක පැටලිලා... අම්මට ඒක කල්පනාව. ඒ මදිවට අම්මට ඕනේ මාව ඉක්මනට එකලස් කරන්න.."

".. ආ...ව් එහෙනං ඒකයි මේ..?.."
".. මොකද.. .."

".. සිහින කුමාරයා..! .."
".. අනේ යමං.. උඹට පිස්සු.. මං මේ කල්පනා කරන්නේ අම්ම ගැන බං පව්.."

නෙතින් කඳුළු පනින්නට මෙන් නළියයි. හදේ කොනක් ගිණියමින් මෙන් ඉරිතලා පටක උලුප්පයි. සීරුවට හුස්මක් ගත් ඈ හද නිවා සෙමෙන් පිට කළාය. වීදි කොන කොළු රැලක් ඔවුන් දෙස බලා විරිත්තයි.. ක්ෂණයෙන් බිම බලාගත් ඈ යෙහෙළියගේ දෑත මතට සුරත ගෙන ගියාය.
".. අඃ නංගි..." සිගරැට්ටුව උරමින් එකෙකු විසිල් ගසයි. ඇයගේ හිස බිමට නැඹුරු කරගනිමින් වමත තිබු කුඩය තරයේ අල්වා ගත්තාය.
".. ගමේ කෑලි බං.." ඔහුගේ සඟයාගේ වදන් පාව විත් ඇගේ සවනේ වැදිණි.
".. ගමේ බඩු තමයි රස.. ඇයි නංගි අපිට දුන්නොත් මක් වෙනවද..?.." එකෙකු මුරගාන බව ඇසේ. හදෙහි වේදනාව පහව ඩිග් ඩිග් ගා වේගයෙන් ගැසෙන රාවය ඇයට දැනේ. මිතුරියගෙ අත අදිමින් අභිනවයෙන් ඇගේ පය ඉක්මන් කළා ය.

".. ඒ.. අර සුදු එක බලකෝ.. ආසයි බං.. මිරිකන්න හිතෙනවා.."
".. තුක් නොදකින් අමනයා.." කාරා අසල කසල පිරි කාණුවට කෙළ ගසන සකි සඳ ඇගේ මුහුණ දෙස බලමින් කෝපයෙන් නලියන දෙනෙත නිවා ගත්තාය..
".. වටෙන් කාල එන්නකෝ... අපෙන් ඊට පස්සේ කන්න පුළුවනි.."
".. මෙන්න මෙහේ වරෙන් බං යන්න.. තිරිසන්නු.." කියමින් ඈ පයට වෙර දී සසල සිත දැඩි ලෙස හුස්මින් පුරවා කසළ පිරුණු වීදියෙන් නවාතැන් පොළට හැරිණ. 


______________________________________

".. උඹ පයිප්පෙන් නාගෙන වරෙන්.. මං මොනාහරි ටිකක් රත් කරලා ගන්නම් සචි යෝ.."
".. අනේ බෑ වස්තු.. අර සමනා බලන් ඉන්නේ කන්න වගේ. දෙන්නම උයලා යන්.."

".. උඹව මේවාට ගැලපෙන්නේ නෑ කෙල්ලේ.. උඹ අහිංසක වැඩී.."
".. මට දැන් පිරිමි එපාම වෙලා බං.."

".. නරුමයෝ මැද.. බෝසත්වරු ඉන්නවා කෙල්ලේ.. අපේ පවට උන්ව සිටු කුමාරියෝ බිලි ගන්නවා.."
".. මට ඔය එකෙක්වත් එපා බං.. තිරිසන් ජාතිය.."

".. එතකොට මහේෂ්..."
".. මහේෂ් තේරුම් ගන්නේ නෑ බං.. ඌට පිස්සු.."

".. මේ තේ එක බීපන්.. මං හාල් ටික ගරලා ගන්නකන්.. හාලුත් නෑ කෙල්ලේ.. හෙටට ගේන්න වෙනවා.."
".. හ්ම්ම්ම්.."

එළියේ ටින් බෙලෙක්ක පෙරළෙන හඬ ඇසේ. නවාතැන් හිමිගේ සුරතල් බල්ලා රසබෝජුන් පසක ලා කුණු කන්නට එන්නට ඇත. දවල් කාලය පුරාවට බැඳ තබන ඔහුව රාත්‍රීයේ හැර දැමු පසු අසල කාමරවල දොරවල් පහුරු ගාමින් කාණුවේ ඇති කුණු බඳුන් පෙරළයි.
කෑලි කැපිය හැකි අඳුරේ උව ඔහුගේ ඉව ගඳ ගසන කුණු ගොඩක් ළඟ නවතී.
ඇගේ ජීවිතයද කුණු ගොඩක් මෙනි යැයි විටක ඇයට සිතේ. රස බොජුන් ඕනෑ තරම් පිස දෙන කල ඇයව සොයා ඇයව පතා ටොමියා මෙන් මහේෂ් පැමිණෙයි.

".. සුදු අම්මි කොළඹ යන්නේ මොකටද..?.."
".. ඕනේ නිසා.."

".. මං කැමති නෑ .."
".. ඔයාගේ කැමැත්ත මොකටද. ඔයා මගේ කවුරුත් නෙමෙයි.."

".. මගෙන් ඈත් වෙන්න එපා සචිනි.. "
".. ඈත් වෙන්න මං ලං උනේ නෑ නේ.."

".. අනේ මන්දා.."
".. මාව අමතක කරන්න.. ඔයාට මාව ගැලපෙන්නේ නෑ.."

".. හ්ම්ම්ම්.."
".. පොඩි එකෙක් වෙන්න එපා මහේෂ්.. අහසයි පොළවයි කවදද එකතු උනේ.."

".. සිතිජය.."
".. මායාවක් ඒක.."

".. යන්න එපා සචී.. වඳින්නම්.. මං අඩු පාඩු දෙන්නම්.."
".. එපා.. මං කාගේවත් අතපල්ලෙන් වැටුණු කෙල්ලෙක් නෙමෙයි.."

ගිණි පෙරෙල්ලෙන් බැට කෑ ඈ කණාමැදිරි එළියටත් භියය. එය එසේ තියෙද්දී ඇයට කිසි කලක පහන් දැල්ලට පැන විමුක්තිය සෙවිය හැකිදැයි සිතේ. ප්‍රේමයට හෝ මිත්‍රත්වයට හෝ කිසිවකට පියා ඇයව හැර ගිය දා සිට පිරිමියෙකු ලං කර ගැනීමට ඈ භියක් දක්වයි. එම භිය නිසාවෙන් ඈ ජීවිතය කිහිප විටක්ම තීරණාත්මක ලෙස වෙනස් කරගත් අයුරු අඳුර මැද සිතුවම් පටමෙන් මැවී පෙනේ. 

______________________________________

".. සචිනි මහේෂිකා ජයවර්ධන.. ! කවුද ඒ..?.."
ඇය සිහිනයක් දුටු කලක නින්දෙන් අවදි වුවෙක් සේ ගැස්සී බැලිය. නෙත තුල නලියන විශ්මය මිස ගොළු වූ මුව විවර නොවේ.
".. කවුද සචිනි මහේෂිකා ? .. එහෙම කෙනෙක් නැත්ද..? කෝ කතා කරනවලකෝ... "
".. ම්..මහ්හ්.. සර් මං.. !.."

".. තමුසෙට කං ඇහෙන්නේ නැත්ද ඕය්.. අපිට පව් දෙනවා.. අන්න තමුසෙගෙ මිනිහා කතා කරනවා.. ගිහිං බලනවා.."
වික්‍ෂිප්ත දෑස් ජිල් බෝලයක් මෙන් විශාලව නැවත ක්‍ෂණයෙන් පය ඉක්මන් කරමින් දෑත සන් කළ දෙසට දිව ගියේය. ".. මිනිහා.. ! මල්ලි වෙන්න ඇති.. " තප්පරයක් තුල හදින් බට සිතුවිළි දිය බුබුළු සේ ඇතිවෙමින්ද දෙදරා යමින්ද හද සසල කළේය.
කවුන්ටරයේ විසූ සේවිකාවගෙන් නොවිසාම ඒ මත උඩු බැල්ලෙන් හිඳී රිසිවරය ගෙන කණේ තබාගත් ඈ ගැහෙන හඬින් මුව විවර කළා ය.

".. හෙලෝ.."
".. හෙලෝ සුදු මැණික.."

".. මොන මගුලක්.. !.. පිස්සුද ඔයාට මහේෂ්.. කවුද ඔයාට මේ නම්බර් එක දුන්නේ.."
".. සචී.. කලබල නොවී මං කියන දේ අහන්න බබා.."

".. මොකක්ද ඔයාට වෙලා තියෙන්නේ මහේෂ්.."
".. බබා ඔයාගේ අම්මට චුට්ටක් අමාරු උණා.. දැන් ඉස්පිරිතාලේ ඉන්නේ.. ඔයාට එන්න පුළුවන් ද..?.."

".. මහේෂ්.. ! විහිලු එපා.. "
".. සචී බබා විහිලු නෙමෙයි .. කලබල වෙන්නේ නැතුව එන්න.. එච්චර අමාරු නෑ. මේ මල්ලිත් ඉන්නවා.. ඔන්න දුන්නා.."

".. හෙලෝ මල්ලි මොකද උනේ..?.."
".. අම්මට අමාරුයි අක්කේ.. ඔයාව අහනවා. අනේ එන්න අක්කේ.."

".. අනේ මල්ලි .. අම්මා.. "
".. අඬන්න එපා සුදු අක්කේ.. ඔයා එන්න.. මේ මේ සචී, එච්චර අමාරු නෑ.. මං බලා ගන්නම් ඔයා එන්නකෝ.."

".. අනේ මහේෂ්.. මං එනවා. ඉක්මනට එනවා. ඔයා මල්ලිත් එක්ක ඉන්න. මල්ලිට තේරෙන්නේ නෑ.. මං එනවා මේ දැන්ම.."
".. අඬන්න එපා බබා.. මං ඉන්නවා නේ.. "

".. මං තියන්නම්. තෙරුවන් සරණයි.. අම්මට කියන්න මං එනවා කියලා.."
".. පරිස්සමට එන්න.. පරිස්සම් වෙන්න.. එච්චර අමාරු නෑ.."

ඇගේ ආත්මය ඡේදනය වන්නා සේ දැනේ. මුතුවන් කඳුළු බිඳු දෙකපුල් හරහාවිත් ටයිල් මත වැටේ. දෑතේ විදුලියක් ගියාමෙන් නුහුරු හීතලකින් හිරි වැටී යයි.
".. සර් .. ! මට නිමාඩු ඕනේ.. ගමේ යන්න. අම්මට අමාරුයි.."
".. මොකක්.."

".. සර් මට නිමාඩු ඕනේ.." ඈ හඬ ත්වුර කොට එක එල්ලයේ ඔහුගේ මුහුණ දෙස බලා පවසයි.
".. හිහ්.. නිවාඩු නේද..? නිමාඩු... ! තමුසෙලා වැඩට ගන්නේ ඉල්ලන ඉල්ලන වේලාවට නිවාඩු දෙන්නද අයිසේ.. ඔහොම ඉන්නවා. මොකක්ද නම ..?.."

"..සචිනි මහේෂිකා ජයවර්ධන.." ඇගේ මුහුණ දෙස බලා පරිඝනකයේ යතුරුපුවරුවට එබුනු ඔහු එහි කිසිවක් ඇඟිලි තුඩින් සලකුණු කළේය.
".. තමුසේ ගිය සතියෙත් නිමාඩු අරගෙන.. ගිහිං වැඩ කරනවා.."

".. සර් මගේ අම්මට අමාරුයි.."
".. ගිය සතියෙත් නිමාඩු ගත්තේ ඒ බොරුවම කියලා නේද.."

".. බොරුවක් නෙමෙයි සර් මගේ අම්මට අමාරුයි.."
".. අම්මට ද අමාරු.. කොල්ලටද අමාරු. අද කොහෙද මොන හොටෙල් එකේද මුණ ගැහෙන්නේ.."

".. ප්ලීස් සර්.. අම්මව බලන්න ඕනේ. ඉස්පිරිතාලේ ඉන්නේ.."
".. නිමාඩු ලැබෙන්නේ නෑ තමුසෙට.. ඔහේලා මෙහෙට එන්නේ බබාලා වගේ. අපි දන්නවා මේකේ ඉඳගෙන කරන දේවල්.. ගිහිං වැඩ කරනවා රෑ වෙලා කොල්ලත් එක්ක අමාරුව හොඳ කර ගන්නවා.."

".. සර් මං ඇත්ත කියන්නේ.." ඉකි ගසා හඬන්නට ඇත්නම් යැයි ඇයට සිතේ. වැව් දියවර වාන් දමනවා සේ ඇගේ නෙත් අගින් කඳුළු දිය ගලා බසී. ගල් කුළුවන් හදවත් ඉරි තලන්නට කඳුළු කැට සමත් නොවේ. අවඥාවෙන් බලමින් හේ සිය කාර්‍ය කරගෙන යයි.
".. තමුසේ ජොබ් එක දාලම යනවා එහෙනං.. හික්.. හික්.."

".. සර් මට ජොබ් එක එපා.." ඇය යවුලකින් දමා ගසන්නා සේ විනිවිද බැල්මෙන් ඔහු දෙස බලා වේගයෙන් සිය අස්න වෙත විත් කුඩයත් අත් බෑගයත් ගෙන පය ඉක්මන් කර පිටවිය.
පයේ ගෑවෙන දුහුවිල්ල දෙස මොහොතකුදු නොතකමින් නූල් පිම්බි දිය වී ගිය ඇඳුම මදකුදු නොසලකා දෑත පමණක් නොව සිය කයම මගට යොමු කර නවතාගත් බස් රථයට හනිකට ගොඩ වූ ඈ මිනිස් බැල්මෙන් විලි වසා ගන්නට දඟලන ඉබ්බෙක් සිය කටුව තුළට රිංගන්නා මෙන් බසයේ අසුනක් වෙත ගොස් කවුළු දොරින් පිටත බලා හිදියි. 


🎼 .... "..... සප්ත සයුරෙන් එහා
දේශ දේශාන්තරේ
සිරිලක් සළු පිළියෙන් පිදු
මව් බිම ධන නිධාන බඳු
සියල් සිරිලක පරසිදු
සළු වියනා කුමාරී //


අම්මා බඳු පෙම්මාදර
සම්මා ගුණ පිරිපුන්
එම සන්නාලිය නංගා
දෙස නොබලන් වපරැසකින්

කම්හල තුල පවර විපුල්
හුරු දෑතින් කොමල නිමල්
කරමි එවර සොඳ මනකල්
ඉසුරු ගෙනෙයි එතරින් දුල් //


දෙන්නේ ඇය මව්භුමිය
රක්නා රන් මසුරන්
එම සන්නාලිය නංගා
දෙස නොබලන් වපරැසකින්

කැලුම් උදුල යව්වනයේ
සිරිත් දහම් රැක පිරියේ
සළු වියනා රැජින දැයේ
ඉඳුවම් සිංහාසනයේ //


නන්දා අනන්දා
කරවන්නා ලංකාවෙන්
එම සන්නාලිය නංගා
දෙස නොබලන් වපරැසකින්

සප්ත සයුරෙන් එහා ... 🎵 .. "
Share on Google Plus

About sameer sandaru

0 අදහස්:

Post a Comment

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..