හූරගෙන කෑම හා වෙනස්වීම් - capitalism and labour




පි නොදෙනුවත්ම ශ්‍රී ලාංකේය ජන සමාජය තුල පන්ති භේදයක් නිර්මාණය වී ඇත. එදා ගැමි කමත් , සංස්කෘතියත් රැක ගැනීම පිළිබඳව උදම් අනින මහා ලොකු ලොක්කන්ට මෙම වෙනස්කම් දැකීමට දෑස් වලට හෙණ ගසා ඇත්දැයි මා නොදනිමි. ගමේ කොරටුවේ එළවලු ටික එදානම් කඩමණ්ඩියේ යස ගානට මිලට ගන්න හැකියාව තිබිණි. වස විස නැත. එළවලු ටික දී, කරෝල කූරියෙක්, පුවක් මල්ලක්, සීනී තේකොල ටිකක් ගන්නට එදා ගිය අප්පච්චිලා, එදා ගිය අම්මලා අද යන්නේ නැත. නොයන්නේ එදා තිබු පසුබිම අද නැති නිසාය. එදා කඩ පොලට ගොස් අවශ්‍ය අඩුම කුඩුම රැගෙන එනතුරු කොල්ලන් වූ අප බලා සිටියේ අප්පච්චිලා , අම්මලා ගේන බූන්දි මල්ල රස බැලීමටය. අද දරුවන්ට එය නොලැබෙනවා සේම, අඩුයි අවමයි කියා උඩු හුළගේ මුමුණන ධනපති ව්‍යාපාරිකයින් එය සහ මුලින්ම උදුරාගෙන ඇති නිසාවෙනි.

                           

එකිනෙකා පරයමින් සමාජය බෙහෙවින් තරඟකාරීත්වයක් ආරූඩ කරගෙන තිබෙන්නේ වාණිජමය සමාජයක් ඇති කරමිණි. සල්ලි නැත්නම් “හුජ්ජ” කරන්නත් බැහැ ලෙස පොදු වූත් නිර්ධනයා පීඩාවට පත් වූත් තියරියක් වර්තමානයේ දැකිය හැකි බව පවසන්නේ කණගාටුවෙනි. එකල පැමිණියේ බලු බද්ද, තුවක්කු බද්ද වැනි බදු පමණි. නමුත් අද බදු සහන කියා ජීවත්වීමට පවා අපි බදු ගෙවන්නෙමු. 

අනුකරණවාදී සමාජ මතයන් තුල මිනිසා ඔබ්බවමින් විවිධ සමාජ පන්තිභේත ක්‍රියාත්මක වේ. “කාර්ගිල්ස් ෆුඩ් සිටි” ගෙදර යන ගමන්... හරිම ස්වීට් නේ.. ආපිකෝ සුපර් සෙන්ටර් ගන්න අපේ දේ... කීල්ස් සුපර්.. යනු පන්ති භේදය ඇති කරන වක්‍රමය ව්‍යාපාර ය. ජින්ජි බියර් නැත්නම් කෑම එපා කියන මිනිසුන් වෙසෙන රටක් මා දුටුවාමය. කොස් දෙල් කරවල කෑල්ලක් පුච්චා බත් හැන්දයි, මිරිස් කරලයි බැදගෙන කෑ රටක, සික්ස් පැක් බොඩියක් සඳහා නවමු මිනිසා ඔටුකිරි බොන්නේ මන්දැයි ඇතිවන හාස්‍ය ජනක ගැටළුවකි.
හරක් කිරි බී පමණින් උපත ලද බිලිඳා පවා හයේ හතරේ පොරක් වන්නේ දායාද දුන් පියා ද පුදුම කරමින් ය. මවගේ ලෙයට වඩා , පියාගේ ලෙයට වඩා හරක් ලේ පිරුණු පපු කුහරයක් පුංචි පුතුට දෙන්නට බටහිර සමාගම් කර දෙන්නේ සහ උර දෙන්නේ ශ්‍රී ලාංකික ජනයාට තියෙන හදපිරි ආලය නිසාම වන්නට ඇත. මෑතකදී කුක්කු බොන්නට ගොස්, කුක්කු පොවන්නට ගොස් බොහෝ සමාගම් කීපයක්ම කෙල ගත්තේය. නමුත් යටගියාව කියනවට වඩා නිහැඬියාව රජ කරන අසාදාරණය මත ශ්‍රී ලංකාව කොලනි ස්වරුපයක් ගන්නේ පීඩිත බව නිසාම වන්නට ඇත. 


ලොකු වෙන්නටත් පෙර ගැබ් වෙන කුඩා දරුවන් ගැන කියවෙන එදිනදා ප්‍රවෘත්ති රස කරමින් පවසන විද්‍යුත් මාධ්‍ය විසින්ම ප්‍රමෝට් කරන මානසික රෝගීන් පිරි නාට්‍ය තුලින් ඔවුන් කෙලසන්නේ ඔවුන්ගේම රටේ පරපුරක් බව නොදන්නවා වන්නට ඇත. යුද්ධය තිබු කල, මාධ්‍ය තුල පුළුල් ලෙස මාධ්‍ය නිදහස ගැන දොඩවමින් ඒවා හරි හරියට දර්ශන ගත කරමින් “අපි තමයි ඇත්ත ඇති සැටියෙන්” පෙන්වන්නේ කියමින් ප්‍රසිද්ධිය ලබා ගත්තේය.කෙටියෙන් කීවොත් යුද්ධය වක්‍රව විකුණා කෑවේය. සරලව කීවොත් තොරතුරකට වඩා දකින්නේ වෙළඳ දැන්වීම් පමණකි. දැන් යුද්ධය අවසන් ය. නයි ටී එන් හෙළිදරව් බලන කල නැවත යුද්ධයක් ඇති නොවේවායි පතමින් නිදහස් මාධ්‍යක් රජයට කඩේ යන්නේ රෙදි ඇඳගෙන දැයි සිතේ. අර ස්ටාර් මේ ස්ටාර්, මෙගා තරු, මෙගා බයිට් හැම අටමගලම පෙන්වන රූප පෙට්ටිය තුලම විකෘති මානසික හැගීම් ප්‍රචාරය කරන තුට්ටු දෙකේ නාට්‍ය තුලින් අපේම පරපුරක් අමු අමුවේ කෙලසන්නේ ඔවුන්ගේ රසබර ප්‍රවෘත්ති ප්‍රචාරණය සඳහා වන්නට ඇත. මක් නිසාදයත් මේ ධනවාදී මුදල නමැති සංකල්පය මතම නොවේ ද ?

ධනපතියන්ට සාමාන්‍ය වැසියන්ට කෙලවෙලා ගියත්කම් නැත. සාමාන්‍ය වැසියන්ට කටක් අරින්නට ඉඩක් නැත. සුදු වෑන් හරි හරියට පාරේ යයි. හරි හරියට පැහැර ගනී. හරි හරියට පාරවල් අයිනේ මිනී ගොඩ ගැසෙයි. ඒ අස්සේ වැට නියර ගොයම් කයි. ඉතිං කාට පවසම් ද මා මේ දුක.
නිර්ධනයා සුවෙන් සැපෙන් වෙසෙන බව බැලු බැල්මට පෙනේ. එය සැබෑවකි. ඔවුන්ට ඇත්තේ නැව ගිලුණත් බෑන් චූන් ජීවිතයකි. අහස අල්ලන්න ඔවුන්ට කවදාවත් බැරිය. අහස් කුස සිපගත් මාලිගා ළඟ, අධි සුපොඛභෝගී මාලිගා හි සඳලු තලේ අණ සකට යටත්ව ඔවුන් දන නමා සිටියි. දෑස් තෙමි බොඳවී යන සේ දුක් කම් කටළු තිබුණත් නිහඬව වෙසෙන්නේ ඔවුන්ට අනාගතයක් නැති බවත් සැමදා හිස මත වැටුන බර ගෙවන්නට පරම්පරා ගණනක් සිදුවන බවත් දන්නා නිසා කරබාගෙන ජීවත් වෙයි.


මිනිසුන් වෙසෙන්නේ මායාවක් තුල බැව් බුද්ධියේ දකින ඕනෑම මනසකට වැටහෙයි. තෝරු මෝරු අස්සේ හාල් මැස්සන් තැලෙන තියරියම ශ්‍රමය හූරන් කන ධනපතියා ඉදිරියේද හාල් මැස්සන් වැනි මිනිසුන් තැලී පොඩිවී ජීවත් වෙයි.

අප සැම ණය කරුවන් වන්නෙමු. ලංකාව කෙටි දිනකින් චීන කොලනියක් වෙනු නොවනුමානය. ආර්ථික විශාරදයෙක් නොවෙනුත් හිතන්නට දුන් හිතට දැනෙන පරිදි අප පමණක් නොව අප දායාද දෙන අපේ දරුවන් ද වර්තමානය ණයේ කොටස් කරුවන් ය.
මුදල් අමාත්‍යංශයේ ලේඛම්වරයා මේ වසර මුලදී කල ප්‍රකාශයක් සිහි වෙයි.
එනම් 2012 වර්ෂයේ දී, 6.5%ක් වූ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 2013 දී එනම් මෙම වර්ෂයේ දී 7.5%ක් පමණ ඉහල නංවන්නට ඔහු සුදානම් බවයි. ඒ අස්සෙම සිටින මහා බැංකු අධිපතිවරයාගෙන් මෙවැනිම ප්‍රකාශයක් සිදුවන්නේ එනම්, 2016 වනවිට ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් ( ඔබාමාගේ පස්සත් බාගේ සල්ලි ) 4000 දක්වා ඉහල යනු ඇති බවයි. 


එවැනි ඉලක්ක ඔස්සේ ඉදිරියට යා හැකිනම් ශ්‍රී ලාංකික රටට ආදරේ කරන පුරවැසියෙක් ලෙස මා බෙහෙවින් සතුටු වෙමි. ඒ මම මගේ රටට දිවි සේ ආදරේ කරන නිසාවෙනි. මේ රටේ දියුණුව මගෙත් අප සැමගේත් දියුණුව වන නිසාවෙනි. 

වර්තමානයේ සාමාන්‍ය කුලීවැඩ කරන කාන්තාවකගේ දෛනික ආදායම - රු : 400.00
සතියක ආදායම                                                                   - රු :400 * 7 = 2800.00  

එනම් 2800ක සතියක පඩියකට යටත්ව සතියක් තුල නිවසක් ජීවත් කල යුතුය. ඉහතින් දැක්වුයේ සාමාන්‍ය දෛනිකව ගැහැනියක් විසින් කිසියම් කාර්යක් සඳහා උපයන වේතනය වේ. 

පිරිමියෙක් සඳහා නම්.. 

වර්තමානයේ සාමාන්‍ය කුලීවැඩ කරන පිරිමියෙක් දෛනික ආදායම - රු : 600.00
සතියක ආදායම                                                                   - රු :600 * 7 = 4200.00   
දෙදෙනාගේම ආදායමේ එකතුව                                            - 2800 + 4200 = රු: 7000.00

සරලව දැකීමෙන් මෙය සතියක වියදම සඳහා ඇති වුවත්, සංකීර්ණව බැලු කල එය එසේ නොවේ. 

දරුවන් සිටින පවුලක් ගතහොත්, පාසල් වියදම්, ගමන් ගාස්තු, වෛද්‍යවරුන් සඳහා වියදම්, ආදියද පොත් පත් සඳහා යන වියදම් ද ගත් කල මෙම ආදායමෙන් අර්ධයක් පමණ අවසන් ය.
පවුලේ සමුහ වියදම් ගතහොත් පවුල සමාජ හිතකාමී පවුලක් නම්, උත්සව සඳහා, ආධාර අරමුදල්, යනාදිය මෙම ආදායම තුලින් ගෙවීමට සිදුවේ. 

මීළඟට මාසෙකට වරක් ගෙවන ණය වාරික, විදුලි බිල්පත්, වතුර බිල්පත් සඳහා වෙන් කලයුතු මුදල දෙස බැලූ විට පෙනෙන්නේ මූලිකම අවශ්‍යතාව එනම් ආහාර සඳහා මුදල් ණයට සෙවිය යුතු බවයි. එනම් ජීවත් වීමත් අතින් කා හරක් බලනවා වැනි වැඩකි.

නිර්ධනය තවමත් මාතෘ භූමියේ රජ කරයි. මක්නිසාදයත් අහිංසකයාට මුදලෙන් තොර තැනැත්තාට පිබිදීමට ධනපතියා ඉඩ නොදෙන නිසාවෙනි.
විනිමය අනුපාතිකය, විරැකියාව, ආර්ථික අවපාත, රුපියලේ අගයේ අව ප්‍රමාණය හර බර වචනයන් ය. ඒ තුලට ආරූඩ වී ඇත්තේ ආර්ථික විද්‍යාත්මක විග්‍රහයන් ය. මෙවැනි වචනයන් හා මූල ධර්මයන් තුලින් ආර්ථිකය පැහැදිලි කිරීම අසීරු වන්නේ ජීවත්වීමට මිනිසා දක්වන අරගලය සංකීර්ණ නිසා බව ඔබටද වැටහෙන්නට ඇත. 

ආණ්ඩුව උක්ත කී ආර්ථික සංවර්ධන වේගයකට යන්නේ කෙසේදැයි මා නොදනිමි. මන්ද GSP වැනි බදු සහන පවා අහිමි වූ රටක ආනයන හා අපනයන ක්‍ෂේත්‍රයට ඒ නිසාවෙන් වැදී ඇති පහර නිසාවෙනි. ලංකාව තුල උඩු දුවන්නේ සංචාරක කර්මාන්තය පමණි. විගණන වාර්තා වලින් උපුටා දක්වන පුස් වාර්තා වලට වඩා කොළඹ 7 AC කාමර අස්සේ හදන වාර්තා වලට වඩා වීදි බැස ග්‍රාමීය මිනිසා විඳින දුක දකින්නට බහුතරයක් ආණ්ඩුවට කඩේ යන උන්ට ආරාධනා කරමි. 

කුලී වැඩ කරන දුප්පතා රෑ 1 , 2 වෙන තුරු ඉරට ගාන්නේ, වැඩ නැති දා වැහි නොතකා වැව් වල නෙළුම් අල උගුලන්නේ, කඳු පීරමින් කෑමට යම් යම් දේ සොයන්නේ ඔවුන් කී ආර්ථික සංවර්ධන වේගය නිසාද ...?


ධනපතියන්ට හා ආණ්ඩුවේ දේශපාලුවන්ට කඩේ යන නිලධාරින් සිටින තාක් කල් මේ රට සංවර්ධයන වන්නේවත් මේ රට ස්වන්පෝෂිත වන්නේවත් නැත.ඔවුන් නිර්ධනයා සඟවා වෙනකක් ආරූඩ කර ලෝකයා ඉදිරියේ දක්වයි. කොළඹ හැදු පමණින්, ගුවන් තොටුපළවල් සැදු පමණින්, පාරවල් කාපට් වූ පමණින් රටේ වැසියන්ගේ බඩ පිරෙනවා යැයි සිතීම මෝඩ නිවට ගතියකි. කොළඹට කිරි ගමට කැකිරි සංකල්පය නැවත අලුත් කරමින් කිරි ඉතිරෙන කොළඹ දිහා බලාගෙන ගමේ අපි බඩගින්නේ තැවෙන්නේ හෝ අප කුස ගින්නට නොහඬා සිටින්නේ නිලධාරීන්ට භිය වී නොව කතා කලාට ගැමියා දෙස බලා අනේ එහෙම වෙලානේ කියා හෝ කියන්නට කිසිවෙක් නැති නිසාය. කතාව ජීවිතේ මග අවුරනවා මෙන්ම, කුස ගින්නද තව තවත් තර කරන නිසාවෙනි.

සියල්ල අවසානයේ සමාජය තුල නිර්මාණය වන්නේ ආත්මාර්ථකාමී මිනිසුන් ය. විප්ලව වාදී දේශපාලනයට සටන් පාඨ වලට පමණක් උක්ත කී මාතෘකා වැදගත් වේ. ඔවුන් කරන්නේද දුක වවාගෙන කෑම ය.
අවසානයේ ප්‍රසිද්ධ සමාජවාදී චින්තනයකුගේ සිතුවිල්ලක් පාඨක ඔබ හමුවේ තබමි.

“ අවසානයේ ඝන වූ සියල්ල වාෂ්ප වේ. ශුද්ධ වූ සියල්ල සියල්ල කෙලසේ....”


Share on Google Plus

About Unknown

11 අදහස්:

  1. අනික් ගණං හිලව් නං මම දන්නෙ නෑ...අර කුලී වැඩ කරන පිරිමියා කොයි පළාතෙ එකෙක්ද...පහුගිය මාසෙ මම කුලියට වැඩ වගයක් කරවගත්ත...රුපියල් දාහට අඩුවෙන් කිසි කෙනෙක් වැඩ කරන්නෙ නෑ.
    එතකොට කුලීකාරයෙකුගෙ මාසික ආදායම=1000x30=30,000
    රජයේ සේවකයකුගෙ පඩියට වැඩියි නේද?බිරිඳගෙ ඉපයීම නොමැතිව.

    ReplyDelete
  2. @Helapa kade

    අපේ පැත්තේ කොහු මෝල් වල ඔය ගාන තමයි යන්නේ.. ඒවාගේ දෛනික වැඩ තියෙනවා. පොල් ලෙලි ගහන, ලෙලි කපන අයට, වේලන අයට දෛනික පඩිය ඔය.
    ඔයා කියන මුදලට වැඩ තියෙනවා. හැබැයි හැමදාම නැහැ. තිබුනොත් කන්න පුළුවන් නැත්තන් නැත්තටම නෑ..

    ReplyDelete
  3. කොයි වල යයිද බන් මෙහෙම ගියොත්....

    ReplyDelete
  4. //"“ අවසානයේ ඝන වූ සියල්ල වාෂ්ප වේ. ශුද්ධ වූ සියල්ල සියල්ල කෙලසේ....”"// සහතික ඇත්ත බෙනී . හැම පැත්තක්ම කවර් වෙන්න ලියලා තියෙනවා. ගැලපෙනම පින්තුර ටික. මට කියන්න වෙන්නෙත් "අනේ අපි කවදාක හිනැහෙමුද මේ රටේ " කියලා තමයි.

    ReplyDelete
  5. රටට හෙන ගැහුවත් තමන්ගේ මඩි තර කර ගැනීම පමණක් ගැන සිතන රටක් මේක බෙන් ... ලියන්න ඕන දේවල් ගලපලා ලියලා ..

    අපි වෙනසක් වේවි කියන අරමුණෙ බලාගෙන ඉමු .. අවශ්‍ය උනොත් ඒ වෙනසට දායක වෙමු .. ජිවිත පරිත්‍යාගයෙන් හෝ .. මොකද මේක අපේ රට ...

    ReplyDelete
  6. @සුදු මහත්තයා

    මහා හුරටම ඔප්පු වෙච්චාවේ :D

    ReplyDelete
  7. @ඉවාන් පව්ලූශා ( Prageeth Anuradha )

    බොහෝම ස්තූතියි සහෘදයා

    එක ප්‍රසිද්ධ කියමනක් නෙව.

    පෙකණි වැල කපා..
    අත් පා සිඳ ..
    කටුවෙන් ඇන...
    පිහියෙන් කපා..
    ගබ්සා කරන්න ඇත්නම් දුප්පත්කම...
    කරනවා මම ගර්බාෂම කපලා..
    ඇති නැති පරතරය...

    ReplyDelete
  8. @සුළඟ

    වටිනා පොලිස් නිලධාරියෙක්ගේ මේ වගේ දෙයක් ඇහුවමයි. අවංක හිතට ස්තුතියි... !
    සල්ලි කියන කොලේට වැඩි වටිනාකමක් දුන්නේ අපේම මිනිස්සු. අපේම මිනිස්සු තමයි මනුෂීයත්ව විකුණන්නේ..

    ReplyDelete
  9. වයසක මිනිස්සු ගොඩාක් දුක් විදිනවා මේ තත්ත්වය උඩ..... මොකද හැම ප්ව්ලකම ඉපයීම් වියදම් වලට සාපේක්ෂව මදි වෙනකොට ඒ අඩුපාඩුව පියවෙන්නේ වයසක දෙමව්පියන්ගේ කොටසින් වන නිසා

    ReplyDelete
  10. පරමාදර්ශී සමාජයක් නිර්මාණය කරන්න අමාරු යි. හැබැයි එහෙම වෙනව නම් ලෝකය ගොඩාක් සුන්දර යි.

    ReplyDelete
  11. ධනපති පන්තියට වෛර කරනවට වඩා. ප්‍රේම කරලා, ධනපතියෙක් වෙන්න බලපන්. එතකොට ඉහළමැද පන්තියේ හරි නවතින්න පුළුවන්..

    ReplyDelete

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..