බදියුදීන් විල්පත්තුව මත්ද්‍රව්‍ය කොලනියක් කරයි ද ?


“ මීයක් කඩන්නේ අත ලෙව කන්නම නොවේ ය” මෙය පැරැන්නන් අතර ඇති කියමනකි. විල්පත්තුව පත්ව ඇති වර්තමාන පසුබිම දෙස බලනවිට ද විල්පත්තුව මෙවැනි තත්ත්වයට නිර්මාණය කළ එවුන් ද එය කරන්නට ඇත්තේ පරම සුචරිතවාදී සිතුවිල්ලකින් නොවන වග පෙනෙන්නට තිබේ. අවතැන්වූවන් පෙන්වමින් සිදුකරන මානුෂීය රඟ දැක්වීම තර්කානුකූලව ගත් කළ සැබෑ ලෙසම මානුෂවාදී යැයි පෙනෙන්නට තිබුණද එය මෙතරම්ම විල්පත්තුව තුළ ගොඩ නැගීමට තනන වෙහෙසීම තුළ සැඟවුණු පරමාර්ථයක් ඇතැයි යන සැකයක් පවතී.


 කොතරම් නැතැයි කියා පැවසුවද තවමත් විල්පත්තුවේ ගහ කොළ එකින් දෙක සාහසික කැලෑ පාළුවන් අතින් මහා පොළව මතට ඇදගෙන වැටෙයි. විල්පත්තුව පිලිබඳව ලැබෙන නව තොරතුරු වලට අනුව, ශරීරාංගයකට වැළඳුනු පිළිකාවක් ශරීරයේ උඩු දුවා සියල්ල අඩපණ කරන්නා සේ විල්පත්තුව පුරා පැතිරුණු පිළිකාව ද විල්පත්තුව අඩපණ කරනතුරු නොනවතිනු ඇතැයි යන බිය ජනක සිතුවිල්ලක් පහව නොයයි.

වනජීවී රක්ෂිත අඥා පනත, වන සංරක්ෂණ ආඥා පනත, පුරාවිද්‍යා ආඥා අනපනත් යනාදී සියල්ල උල්ලංඝනය කරමින් සිදු කළ අක්කර 2500ක් අවමයක් වන සේ 3000කට ආසන්න භූමි ප්‍රමාණයක් මෙතරම් විරුද්ධවීම් මතදීත් විනාශ කිරීම  සිදුවන්නේ ජනාවාස පිහිටුවීමම අරමුණු පෙරදැඩි කරගෙන නොවන වග අපට පැහැදිලිවී ඇත.

අප ශ්‍රී ලාංකිකයින් වශයෙන් බොහෝ විට අතීත සිද්ධි පුනර්වාචනය කරමින් හා ඒවා විවිධකාරයෙන් ගෙන හැර දක්වමින් මවා ගත් පුහු ආඩම්බරයකින් ජීවත්වන වග මෙහිදී කණගාටුවෙන් වුවද පැවසිය යුතුය. මන්දයත් අතීත සුරැකීමක් හෝ අතීත අරගලයක් පිළිබඳව වහසි බස් දොඩමින් සිටිනවාට වඩා වත්මනෙහි නොමිනිසුන් අතින් විනාශ වී යන ලක් මාතාව ගැන ඔවුන්ට වගේ වගක් නැත. ජාතිකවාදීන් වේවා දේශප්‍රේමීන් වේවා දේශපාලකයින් වේවා මේ කිසිවෙකු හෝ විල්පත්තුව වෙනුවෙන් නැගී සිටියානම් මෙතරම් විනාශයක් විල්පත්තුව උරුම කරගන්නේ ද නැත. මෙහි ඇති කණගාටුදායක සිද්ධිය වන්නේ ඒ කිසිවක් නොවේ ය. මෙතරම් විනාශයක් විල්පත්තුවට උරුම වී තිබියදීත් තවමත් ලාංකිකයින් වශයෙන් මේ පිළිබඳව ඇති නොදැනුවත්බාවයයි.

මහවැලි විල්ලු පරිසර පද්ධතිය හා විල්පත්තු අභය භූමියේ විල්ලු පරිසර පද්ධතිය යනාදී වශයෙන් විල්ලු පරිසර පද්ධති දෙකක් අපට තිබේ. විල්ලු පරිසර පද්ධතියක් යනු ලෝකයේ විරල පරිසර පද්ධතින් ය. මෙහිදී කරදිය හා මිරිදිය ඇති එකම පරිසර පද්ධතිය වන්නේ ශ්‍රී ලංකාව වාස භූමිය කොටගත් අදවන විට හුස්ම දුන් මිනිසුන් අතින්ම විනාශ මුඛයට ඇද වැටුණු විල්පත්තු අභය භූමියයි.

බෞද්ධයන්ට දළදාව මුදුන් මල්කඩ වන්නාසේම මේ රටේ නායකත්වය දරන ජනාධිපතිවරයාට ද විල්පත්තුව වැනි පරිසර පද්ධතීන් මුදුන් මල්කඩක් විය යුතුය. මන්ද මේ රටේ නායකයින් පමණක් නොව ඔවුන්ට බලය දුන් ජනතාව ද විල්පත්තුව සුරැකීමට ජාත්‍යන්තර වශයෙන් සම්මුතීන් වලට බැඳී සිටින නිසාය. සමකයට ආසන්නව කර්කටක නිවර්තන හා මකර නිවර්තන අක්ෂාංශ ඔස්සේ නිවර්තන කලාපීය වනාන්තරයක් වශයෙන් පිහිටා ඇති විල්පත්තු අභය භූමිය ලෝකයේ සමතුලිතතාවය පවත්වා ගැනීමේ දී වැදගත් කාර්යයබාරයක් ඉටු කරන වනාන්තරයක් ලෙස හැඳින්විය හැකිය.

ජාත්‍යන්තර වශයෙන් වැදගත් තෙත්බිමක් ලෙස නම් කර ඇති විල්පත්තුව රාම්සාර් තෙත්බිම් සම්මුතිය හා සබැඳිව ඇති අතර ශීත කාලයේදී ඉන්දියාවේ සිට ලංකාවට පැමිණෙන පක්ෂීන්ගේ නවාතැනක් වන නිසාවෙන් සංක්‍රමණික සත්වයින් සඳහා වූ සම්මුතිය යනාදී ලෙස ජාත්‍යන්තරය ඉදිරියේ බැඳී දිවුරුම් දුන්  අප විල්පත්තුව සුරැකිය යුතුය යන වගකීම කර මත දරාගෙන සිටින්නෙමු.  එහෙත් එකී වගකීමට වඩා ශ්‍රී ලාංකිකයින් වශයෙන් ද මේ භූමියේ පයගසා ගත් එකෙකු වශයෙන් ද විල්පත්තුව රැකගැනීමේ යුතුකම තුළින් අප සන්නද්ධ විය යුතුය.

එහෙත් සිදුවන්නේ අනෙකකි. ඉන්දියාවේ සිට ලංකාවට පැමිණෙන දහස් ගණනක  පර්යේටන පක්ෂීන්ට වෙනදා නවාතැන් ගන්නට ලැබුණු භූමිය අද නැත. ඒ වෙනුවට ඇත්තේ එළිමහන් කළ කාන්තාරයකට සමාන භූමියකි. වෙනදා ලංකාවට ඇතුළුවන සංක්‍රමණික පක්ෂීන්ට විඩාව නිවා ගැනීමට භූමියේ වාසිය තිබිණි. එහෙත් වත්මනෙහි ලංකාවට ඇතුළුවත්ම තටු ගැසීමට නොහැකි තරමට හෙම්බත්ව සිටින පක්ෂීන් විඩාබරව එළිමහන් භූමි තුළ නවතියි. ඔවුන්ගේ ගමන් වාරය දිගු වූ නිසාවෙන් ඔවුන්ට තව දුරටත් පියඹන්නට නොහැකි ය. එය ප්‍රයෝජනයට ගන්නා  ඔවුන්ගේ භූමිය කොල්ල කා අල්ලාගත් එවුන් ඔවුන්ගේ අසරණකම ප්‍රයෝජනයට ගෙන සිදු කරන්නේ සාහසික ක්‍රියාවක් සිදුකරමින් පවතී.

ඔවුන් දැල් සහ ගෝනි යොදාගනිමින් පියඹා යාමට තරම් නොහැකිව විඩාවට පත්ව සිටින කුරුල්ලන් අල්ලා ගනියි. එම පර්යේටන පක්ෂීන්ගේ ජීවිත වලට සිදුවන්නේ කුමක්ද යන්න තවමත් රහසකි. එක්කෝ ඔවුන් එම පක්ෂීන් විකුණා දමනවා විය යුතුය. එසේ නොමැතිනම් එම පක්ෂීන් මස් වැද්දන් අතින් මිය යනවා වන්නට හැක.

විල්පත්තුව වනාන්තරය තුළ 605කට අධික ශාක විශේෂ තිබෙන බවට වාර්තා වන අතර මේ අතරින් විශේෂ 33ක් පමණ ශ්‍රී ලංකාවට පමණක් ආවේණික ශාක වර්ග වේ. කළුවර, බුරුත, පලු, වීර වැනි වාණිජමය වටිනාකමකින් යුතු ශාක මෙහිදී ප්‍රමුඛස්ථානයක් ගනී. හීන් ඇඹිල්ල වැනි තර්ජනයට ලක් වූ ශාක පමණක්ම නොව ඇටඹ, ගල්වීර, දහයියා අල හා හීන් කෙන්ද වැනි ආවේණික ශාක වර්ග බොහෝමයකට ජීවය දෙන්නට විල්පත්තු වනාන්තරය සමත් ය. විල්පත්තු වනය යනු එසේ බලනවිට සජීවී ජාන බැංකුවකට සමානකම් කියන්නා වූ ස්ථානයකි. වනජ පළතුරු විශේෂ මෙන්ම හීන් තෙලඹු, ගොඩමාන, මස් වැද්ද වැනි ඖෂධමය වටිනාකම් සහිත ශාක ද විල්පත්තු නැමැති වන මාතාව දරාගෙන පෝෂණය කරන්නා වූ වටිනා ශාක ය.

එවැනි වටිනාකම් සපිරි මෙම රක්ෂිතය කැලෑ පාලුවන් අතින් එළිපෙහෙළි වීමත් සමඟ කල්ආරු රක්ෂිතය හා විල්පත්තු උතුරු අභය භූමියේ තිබෙන මිළ කළ නොහැකි බොහෝමයක් ශාක තර්ජනයට ලක් වී තිබෙන වග තව දුරටත් රහසක් නොවේ ය. කල්ලාරු රක්ෂිතයේ සිදු වී තිබෙන මහා දැව සංහාරය පිළිබඳව කිසිවෙකු මේ වනතුරුත් තැකීමක් කර නැත. වගකිව යුතු පුද්ගලයින් පවා ඒ පිළිබඳව මුනිවත රැකීමේ ප්‍රතිපත්තියක සිටින නිසාවෙන් මේ මොහොතේදීත් මහා දැව සංහාරයක් සිදුවන බව රහසිගත තොරතුරු වලින් අප අනාවරණය කරගෙන තිබෙන්නෙමු.

විල්පත්තු වනය ජනාවාස වීම තුළින් එහි තව දුරටත් දැව හෙලීම වැඩි වන අතර එය සිදු නොවෙනවා යැයි කිසිවෙකුට කිව නොහැකි වන්නේ මෙම ප්‍රදේශය තුළ මානව ජනාවාස ගොඩ නගා ජීවත්වීමට තරම් කිසිසේත්ම උචිත නොවන ප්‍රදේශයක් වන නිසාය. මන්ද මිනිසුන්ට රැකෙන්නටනම්  වගා කිරීම තුළින් පමණක්ම නොහැකිය. ඔවුන් තම ජීවිත ජීවත්කරවීම වෙනුවෙන් විල්පත්තු වනය ජීවන මාර්ගයක් කර නොගන්නවා යැයි කිසිවෙකුට සහතික විය නොහැකිය. මක්නිසාදයත් වනාන්තරයක් අක්කර දහස් ගණනින් කපා බිම හෙලමින් ජනාවාස පිහිටවාගත් එවුන්ම ජීවත්වීම වෙනුවෙන් ගස් කපා සතුන් දඩයම් නොකර සිටිනවා යැයි සිතීමම විහිළුවකි.


මෙහි ඇති භයානකම සහ ඛේදජනකම සිද්ධිය වන්නේ ලංකාව මත්ද්‍රව්‍යය ප්‍රවාහනය සඳහා යොදාගන්නා කේන්ද්‍රස්ථානයක් වී තිබීමයි. පසුගිය කාලය දෙස හැරී බැලීමේදී වාර්තාගත වූ හෙරොයින් මත්ද්‍රව්‍යය ප්‍රමාණය අතිමහත් ය. හෙළිකරගත් කරුණු අනුව සසඳා බැලීමේ දී හෙරොයින් ප්‍රවාහනය සඳහා මූලිකව යොදාගනු ලබන්නේ ලංකාවේ වයඹ දිග හා බස්නාහිර වෙරළ තීරය වග පෙනෙන්නට තිබේ. පාකිස්ථානය මගින් ගෙන්වන හෙරෝයින් පුත්තලම හා මන්නාරම තුළින් රට තුළට ඇතුළු වීමේ ප්‍රවණතාවයක් මේ වන විටත් පවතියි. වනාන්තර එළිපෙහෙළි කරමින් වෙරළබඩ ප්‍රදේශ නිරාවරණය වීම නිසා කෘෂිකර්මාන්තයෙන් හෝ ධීවරයින්ගෙන් රට ස්වන්පොෂිත වීම කෙසේවෙතත් මත්ද්‍රව්‍යය තුළින් සිදුවන පරිහානිය නම් සුළුපටු නොවනු ඇතැයි යන්න තොරතුරු විශ්ලේෂණයේ දී තේරුම් ගත හැකිය.

හෙළිවන තොරතුරු අනුව ලංකාව තුළට ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සිට ප්‍රවාහනය කරන කේරළ ගංජා වැඩි වශයෙන් දකින්නට ලැබේ. ඒවා රට තුළට ඇතුළු වන්නේ වයඹ දිග හා බස්නාහිර වෙරළට සෙන්දුවන බෝට්ටු වලින් වග සියළු දෙනා දන්නා ප්‍රසිද්ධ රහසකි. මෙය ජාතිකවාදී ගැටළුවක් නොවුන ද ශ්‍රී ලංකාවේ වැඩි වශයෙන් කේරළ ගංජා භාවිතය දකින්නට ලැබෙන්නේ මුස්ලිම් ජාතිකයින් තුළ ය. එහි ද වැඩි ප්‍රතිශතයක් වාර්තා වන්නේ මන්නාරම් දිස්ත්‍රික්කයේ ජීවත්වන පුද්ගලයින් අතර වග පෙනෙන්නට තිබේ. ශ්‍රී ලංකාවේ ප්‍රදේශ පුරා පැතිරෙන කේරළ ගංජා ප්‍රචාරණයේ මුදුන් මුල වැඩෙන්නේ මෙම ප්‍රදේශය තුළය.

ඇෆ්ගනිස්ථානය හා පාකිස්ථානයේ සිට ප්‍රවාහනය කරන විවිධ වූ මත්ද්‍රව්‍යය ලංකාවේ බටහිර වෙරළින් ලංකාව තුළට ඇතුළු වී නැගෙනහිර ආසියාතික රටවල් වලට බෙදා හැරෙන කූට සැලසුමක් ඇත්දැයි යන සැකයක් ද මෙහිදී ඇතිවෙයි. බටහිර මුහුදෙන් පැමිණෙන නීති විරෝධී ජාවාරම් කරුවන්ට ශ්‍රී ලංකා නාවුක හමුදාවන්ට හසු නොවී මෙහිදී පහසුවෙන් රට තුළට ඇතුළු විය හැකි ආරක්ෂාවක් ලැබේ. නීති විරෝධී මිනිස් ජාවාරම් සහ භාණ්ඩ ජාවාරම ද රහසේම සිදුකරන්නට ඔවුන්ට ඇති හැකියාව ද විශාල ය. අනවසර ඇතුළුවන්නන්ට ද මෙම වෙරළ බඩ ප්‍රදේශ එළි පෙහෙළි වී ජනාවාස වී තිබීම රහසේම ඇතුළුවීමට කදිම තෝතැන්නක් බවට පත්වී ඇත.

මෙහිදී පෙනෙන්නට ඇති පුදුමාකාර කරුණ නම්, මෙම ප්‍රදේශය තුළ ජීවත්වනවා යැයි කියන අයවළුන් සාම්ප්‍රදායික මුස්ලිම්වරුන් ද යන සැකයයි. ලංකාවේ සාම්ප්‍රදායික මුස්ලිම්වරුන් භාවිතා කරන්නේ දමිළ භාෂාවයි. එහෙත් මොවුන් සාම්ප්‍රදායික මුස්ලිම් වරුන් භාවිතා කරන කිසිදු භාෂාවකට හෝ ඔවුන්ගේ සංස්කෘතියට හෝ ලැදි නොවන අමුතුම වර්ගයකි. මෙම ප්‍රදේශ පුරාවට පාකිස්තාන ජාතීන්ගේ ගහණය ද වෙනදාට වඩා වැඩි වීමේ ප්‍රවණතාවයක් පෙනෙන්නට තිබේ. මුස්ලිම්වරුන් නොවන එහෙත් මුස්ලිම්වරුන් මෙන් ජීවත්වන මොවුන් දේශපාලඥයින්ගේ අන්තවාදීත්වය වෙනුවෙන් අතකොළුවන් බවට පත්වූ කොටසක් ද යන සැකය ද ත්වුර වී ඇත. එහෙත් එකී සැකය දුරුවන්නට නම් විධිමත් පර්යේෂණයක් වගකිව යුතු නිලධාරින් විසින් පැවැත්වීම අත්‍යවශ්‍යය වනවා මෙන්ම කණගාටුවට කරුණ නම් තවමත් එවැනි පර්යේෂණයක සේයා හෝ දකින්නට නොලැබීමයි.

 සංස්කෘතික වශයෙන් වෙනස්කම් සපිරුණු වෙනම ජන කොට්ටාශයක ලක්ෂණ පෙනෙන්නට තිබෙන මොවුන් සැබෑවටම මුස්ලිම්වරුන් ද එසේත් නොමැතිනම් රට තුළට ව්‍යාජයෙන් ඇතුළු වී අණසක පතුරුවන්නට මාන බලන එවුන්ද යන්න වගකීම් සහිත බලධරයින් සොයා බැලිය යුතුමය. සැබෑවටම එහි සිටින්නේ වෙනත් ජන කොටසක් නම් එයම ජාතික ආරක්ෂාවට පවා තර්ජනයක් වූ අවස්ථාවක් ලෙස සැළකිය හැකිය.

මේ රටේ ස්වෛරීත්වය පවා අභියෝගයට ලක් කරමින් විල්පත්තුව සාහසික ලෙස  විනාශ මුඛයට ඇද දමා ඇති වග ළදරුවෙකුට වුව බැලු බැල්මෙන් තේරුම් ගත හැකිය. ජාත්‍යන්තර වශයෙන් රැකගත යුතුය යන වගකීම් සම්මුතිගත වූ විල්පත්තුව එළිපෙහෙළි කරමින් සිදුකර ඇත්තේ නැවත පදිංචි කිරීමක් නොව නව පදිංචි කිරීමකි. විල්පත්තු වනය එළිපෙහෙළි කිරීමේ සිට වාර්ගික ජනපදකරණය දක්වා වූ මේ සියලු වහල් මානසිකත්වයන් වලින් සපිරුණු ක්‍රියාකාරකම් සිදුවන්නේ දේශපාලන බලය යොදාගනිමින් හා මැරවාදී ප්‍රතිපත්තීන් තුළ හිඳිමින් ය.

සැබෑවටම විල්පත්තුවේ ජනාවාස බිහි වූ මෙම ප්‍රදේශ මිනිසුන්ට ජීවත්වීමට හිතකර ප්‍රදේශ ද යන්න ගැටලුවකි. මන්දයත් මෙහි මූලික මිනිස් අවශ්‍යයතා සම්පූර්ණ කර ගැනීමට තරම්වත් සම්පත් නැත. මෙහි පදිංචිව සිටින ජනයාට මූලික සම්පත් හිගයෙන් මිදීමට කුමක් කළ යුතු ද.. එකී සම්පත් හිගකම පියවා ගන්නට සිදුවන්නේ ද විල්පත්තුව තුළින්ම නොවේ ද යන ප්‍රශ්න වලට පිළිතුරු කිසිදු වගකිව යුතු නිලධාරියෙකු හෝ විල්පත්තුවේ ජනාවාස පිහිටුවීමට අනුබල දුන් බදියුදීන් පවා ප්‍රකාශයට පත් කර නැතුවාය. මෙය දේශපාලනය නායකයෙකු අතින් සිදු වූ  බලය අතික්‍රමණය කිරීමක් විනා මානුෂීය පිළිවෙතක් නොවේ ය. මානව අයිතිවාසිකම් යැයි කියමින් යතාර්ථය වසා පුහු ෆැන්ටසි ආත්මානුකම්පාවක් මවමින් මොවුන් මේ සිදු කරන්නේ ඔවුන්ගේ ස්වාර්ථය සංසිඳවා ගැනීමකි.

අවසන් වශයෙන් මා ඔබ ඉදිරියේ ප්‍රශ්න දෙකක් තබමි. විල්පත්තුව මෙතරම් විනාශ වී තිබියදීත් ඒ පිළිබඳව නොසළකා හරිමින් වගකිව යුතු පුද්ගලයින් නිද්‍රා සහගතව සිටින්නේ දේශපාලන බලයෙන් හෝ මැර ප්‍රතිපත්තීන් තුළින් විලංගු දමා සිටින නිසා ද ? තවමත් කැලෑ පාළුවන් අතින් කැපෙන විල්පත්තුවත් එහි ජනාවාසගත වූ පුද්ගලයිනුත් ගැන සොයා විධිමත් පර්යේෂණයක් සිදු නොකරන්නේ සහ ඒ සඳහා ක්‍රියාත්මකවීමට කල් අරින්නේ දේශපාලනයේ ප්‍රශ්න වවාගෙන කන සහ ප්‍රශ්න තුළින් තම ස්වාර්ථය සංසිඳවා ගැනීමේ ප්‍රතිපත්තිය නිසාද ?

-          - සඳරු දසනායක

-          - sandarusameer@gmail.com


Share on Google Plus

About Unknown

0 අදහස්:

Post a Comment

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..