"..ගල්ගමුවේ පූට්ටුවා ගැන නම් කතා කරන්න බෑ.." වනජීවී අධ්‍යක්ෂක ජනරාල්වරයා කියයි.

අලි ඇතුන් යන්න රටක ජාතික සම්පතක් වනවා මෙන්ම රටේ අභිමානය ද සුන්දරත්වය ද වටිනාකම ද තීරණය කරන සාධකයෙකි. බොහෝ දෙනාගේ හදවත කම්පා කළ සිදුවීමක් වූ ගල්ගමුවේ පූට්ටුවාගේ ඝාතනය පටන් මේ වන විට ගතවූ සීමිත දින කිහිපය තුළ මියගොස් ඇති ඇතුන් සංඛයාව පස් දෙනෙකි. මෙම අස්වාභාවික ඇත් මරණ ඉහළ යෑම තුළින් වනජීවී දෙපාර්තුමේන්තුවේ කාර්යය බාරය ප්‍රශ්න කළ යුතුව පවතී. එකී කාරණා හේතුකොටගෙන ශ්‍රී ලංකා ධරණී තලය මත දිගින් දිගටම සිදුවන ඇත් ඝාතන හා ඒවා අවම කරගැනීමට වනජීවී දෙපාර්තුමේන්තුව විසින් ගෙන ඇති ක්‍රියා මාර්ග මොනවාදැයි යන්න ඉරිදා ඇපල් අප වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එම්.ජී.සී සූරිය බණ්ඩාර මහත්මාගෙන් අදහස් විමසීමක් කළෙමු. 


2017 වර්ෂය අවසන් වනවිට ලංකාවේ වන අලි සංචිතයෙන් 212ක් පමණ අහිමි වෙලා තියෙනවා. වන අලි කියන්නේ මේ රටේ ජාතික සම්පතක්.. මෙහෙම වන අලි ඝාතනය වීම අවම කරගැනීම උදෙසා දෙපාර්තුමෙන්තුවක් විදියට ඔබතුමන්ලා අරගෙන තියෙන ක්‍රියාමාර්ග මොනවද ?

මෙතැනදී ලංකාවේ සිටින ඇතුන් සංඛ්‍යාව කොපමණ ද කියා අවබෝධයක් තිබිය යුතුයි. අප 2010 වර්ෂයේ දී ඇතුන් සංඛ්‍යාව කොපමණ ද කියා සංඝනනයක් කළා. ඒ සංඝනනයේ දත්ත අනුව අපේ නිලධාරීන්ට එම සතුන් පිළිබඳව ගවේෂණය කරන්න හැකියාව තියෙනවා. පහුගිය කාලයේ අතුරුදහන් සිටි සතුන් පවා අපේ නිළධාරින් ගවේෂණය කළා. උදාහරණයක් විදියට පානම සිටි අතුරුදහන් වූවා යැයි කියූ සත්වයා පවා මෙන්න මේ දිනවල මේ තැන ඉන්නවා ය කියලා අපිට හරියටම ඔහු සිටින ස්ථානය පවා ගවේෂණය කරලා කියන්න හැකියාව තියෙනවා.
නමුත් අපි ඒ සඳහා තාක්ෂනය පාවිච්චි කරලා තිබුනේ නැහැ. උදාහරණයක් විදියට අපි කොලරින් වගේ දේවල් භාවිතා කළේ නැහැ. අපි ඉදිරියේදී කොරලර්ස් භාවිතා කරන්න තීරණය කරලා තියෙනවා. එහිදී අපිට මේ සිද්ධ මරණ සංඛ්‍යාව අඩු කරගන්න හැකියාව තියෙනවා.

ඔබතුමා කියන්නේ  Ballistic Shockwave කියන කොලර් විශේෂය ද ?   

Ballistic Shockwave කියන කොලර් එකනම් මම දන්නා තරමින් තවම නිෂ්පාදනයේ පවතින දෙයක් නෙමෙයි. ඔය කියන කොලර් විශේෂය තවමත් පර්යේෂණ මට්ටමේ පවතින දෙයක්.. ඒක සාර්ථක උනොත් ගැටළුවක් නැහැ පාවිච්චි කරන්න පුළුවන්. මම දන්නා විදියට සාර්ථක පර්යේෂණ සිද්ධ වෙලා තියෙනවා. මහා පරිමාණ නිෂ්පාදනයේ පවතින දෙයක් නම් අපිට ඔය කියන අධි තාක්ෂනය භාවිතා කරපු කොලර් විශේෂය භාවිතා කරන්න පුළුවන්. දැනට අපි පාවිච්චි කරන්නේ සාමාන්‍යය භාවිතයේ තියෙන GSM කොලර් විශේෂය විතරයි. ඒකෙන් අපිට ලැබෙන තොරතුරුයි අපේ නිලධාරින් සතු දැනුමයි පාවිච්චි කරලා සතාව ඉන්න තැන බලාගැනීමේ හැකියාව තියෙනවා.

නොවැම්බර් 27 වෙනිදා ගල්ගමුවේ පූට්ටුවාගේ සිට දෙසැම්බර් 09 වෙනකන් ඇතුන් හතර දෙනෙකු ඝාතනය වෙනවා. මෙම කාරණය සිද්ධ වෙන්නේ මම කලින් කියපු 212ක් දක්වා වූ ඇත් ඝාතන වලට අමතර සිද්ධියක් විදියට.. මෙවැනි මරණ සංඛ්‍යාවක් දිගින් දිගටම වාර්තා වීම ඇතුළේ දෙපාර්තුමේන්තුවේ දුර්වලකම ප්‍රකට වෙනවා නේද ?

නැහැ. ඔය සිද්ධිය දිහා විතරක් බලලා අපිට කියන්න බැහැ එහෙමයි කියලා. ඔය කියන දේවල් දිහා අපි අවුරුදු ගණනක දත්ත ඇසුරින් බලන්න ඕනේ. හැබැයි ඔය කියන කාරණය දිහා බලද්දී මේ කාලය ඇතුළතදී ලැබෙන තොරතුරු අනුව මෙම ඝාතන අස්වාභාවික ලෙස ඉහල ගිහින් තියෙනවා. හැබැයි පොලිස් පර්යේෂණ සිද්ධ වෙන හින්දා මට මෙහි යටි කාරණය ගැන කියන්න අමාරුයි. නමුත් අවුරුදු ගණනක දත්ත දිහා බලපුවාම මෙහිදී විනාශකාරී වෙනසක් එකතුවේ දී වෙලා නැහැ.
මිනිසුන් ඇතුන් මරනවාම කියන චේතනාවෙන්ම සිදු කළ වෙඩි තැබීම් වලදී, හක්ක පටස් තැබීම, විදුලි සැර වැද්දවීම, වස දැමීම වගේ දේවල් නිසා 50%ක විතර ප්‍රතිශතයක් ඇතුළේ සතුන් මැරිලා තියෙනවා. අපිට තියෙන ලොකුම ගැටලුව වෙන්නේ ඔය ප්‍රතිශතයයි. අනිත් කාරණය අලි මැරෙනවා. ස්භාවික සිද්ධ වෙන මරණ තියෙනවා. හදිස්සි අනතුරු නිසා සිද්ධ වෙන මරණ තියෙනවා, උදාහරණයක් විදියට කොච්චි වලට හැප්පිලා මැරෙන්න පුළුවන්.. එහෙත් ඒවා නොසලකා හැරිය යුතු කරුණු ලෙස මම පෙන්වනවා නෙමෙයි. නමුත් ප්‍රධානම ගැටලුව වෙන්නේ අර මම කියපු 50%ක කොටස ගැනයි.
ඒ ගැටලුව දිහා බලපුවාම මිනිසුන්ගේ වගාබිම් ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒවාට නීතිමය අවසරය ලැබිලා තියෙන නිසා අපිට ඒවා පාලනය කළ නොහැකි වෙලා තියෙනවා. ඊළඟ කාරණය ජන ව්‍යාප්තිය වැඩිවීම සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා ජනතාව සහ වන අලින් අතර ගැටුම්කාරී බව වැඩි වෙලා තියෙනවා. ඉතිං මේවාට විසඳුම් සොයන එක සුළු පටු නැහැ. අපි ඒ සඳහා විසඳුම් සෙවිය යුතු වෙලා තියෙන්නේ විදුලි වැට යෙදීමෙනුයි. විදුලි වැට පාවිච්චි කරලා මිනිසුන් හා වන අලින්ගේ මුණ ගැසීම වලක්වන එක තමයි අපි සිද්ධ කරන්නේ. එහෙත් විදුලි වැට හැම තැනකදීම සම්පූර්ණ වෙලා නැහැ. මේක අවුරුදු ගණනක ව්‍යාපෘතියක්.. විදුලිවැට ගහනකොට සතුන්ගේ හැසිරීම වෙනස් වෙනවා. අපි ඒ දේවල් අධ්‍යනයය කරන්න සිද්ධ වෙනවා. සතුන් මේ සඳහා හුරුවීම බලන්න ඕනේ.. ඉතිං මේ කාලය අතරතුර තමයි ඔය කියන 50%ක සිද්ධිය වාර්තා වෙන්නේ..

සාමාන්‍යයෙන් අලියෙකු හෝ ඇතෙකු ඝාතනය වුනාට පස්සේ නීතිය මගින් වරදකරුවන් වන අයට ලබාදෙන දඬුවම මොකක්ද ?

ලක්ෂ පහක් දක්වා දඩ මුදල් සහ අවුරුදු පහක් දක්වා සිර දඬුවම් දෙනවා. ඉස්සර තිබුනේ ඔයිට වඩා අඩු දඩයක්.. අපි මේ ඝාතන අවම කරගන්න දඩ මුදල් වැඩි කළා. ඒත් ඉස්සර මිනිස්සු තුවක්කු යොදාගෙන එකපාරම අලියාව මරලා දාන්න හුරු වෙලා හිටියා. දැන් මිනිස්සු කරන්නේ දඬුවමින් මිදෙන්න අලින්ව මරන්න වෙනත් උපායශීලි  ක්‍රම භාවිතා කරන එකයි. මිනිස්සු දැන් අලින්ට හක්ක පටස් තියනවා. ඒ හින්දා අලි මරණ සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවා. අපි අලි මරණ අඩු කරගන්න මිනිස්සු දැනුවත් කිරීමක් සිද්ධ කරගෙන යනවා.

නොවැම්බර් මස 13වනදා කැකිරාව වනජීවී කාර්යාලයට සාමාන්‍යය වැසියෙක් ඇවිදින් පැමිණිල්ලක් කරනවා යම් කිසි ස්ථානයක ඇතෙකුගේ මල සිරුරක් තියෙනවා ඒ පිළිබඳව සොයා බැලීමක් කරන්න කියලා. ඒත් කැකිරාව වනජීවී කාර්යයාලය මේ ගැන කිසිදු සොයා බැලීමක් කරන්නේ නැහැ. පසුව දින කිහිපයක් ගතවෙනකොට වලාන දූෂණ මර්ධන ඒකකය විසින් ගල්ගමුවේ පූට්ටුවාගේ යැයි සැළකෙන ඇත් දළ යුවලක් අත්අඩංගුවට ගන්නවා. ඒ වෙනකොට එය මේ රටේ බරපතළ මාතෘකාවක් වෙලා. එහෙත් කැකිරාව වනජීවී කාර්යයාලය නිහඬ පිළිවෙතක් රකිනවා. පසුව මේ කියන සාමාන්‍යය වැසියා පොල්පිතිගම පොලිස්සියේ පැමිණිල්ලක් දැමුවා කියලා අපිට වාර්තා වෙනවා. මේ සිදුවීම ඇසුරින් බලපුවාම වනජීවී දෙපාර්තුමේන්තුව තම සේවය පැහැර හැරපු අවස්ථාවක් විදියට හඳුන්වන්න පුළුවන් නේද ?

ඔබ කියන්නේ ගල්ගමුවේ පූට්ටුවා සම්බන්ධ දෙයක් නේද? ඒ ගැන කතා කරන්න නම් බැහැ. මොකද ඔය සම්බන්ධව අපරාධ පර්යේෂණ දෙපාර්තුමේන්තුව මඟින් පර්යේෂණයක් පවත්වනවා. ඒ නිසා මට ඒ සම්බන්ධව අදහස් ප්‍රකාශ කරන්න අසීරුයි.

ඝාතනය වූ ගල්ගමුවේ පූට්ටුවා ස්විශේෂී ඇතෙක් විදියට හඳුවන්න පුළුවන්. මෙම සත්වයාට GPS කොලර් එකක් සවි කරන්නය කියලා පරිසරවේදීන් අවුරුදු ගණනක් තිස්සේ කියපු කාරණයක්.. ඔහු ඝාතනය වෙනතුරුම ඔබලාට කොලර් එකක් සවි කරන්න බැරි වුණා. එහෙම සිද්ධ වුණේ කොහොමද ?

ඒක වෙලා නොතිබුණේ, ඒ වෙලාවේ තිබුණු පරිපාලනය හින්දයි. කොලර් එකක් ගන්නවා කියන්නේ සරල ක්‍රියාවලියක් නෙමෙයි. මිළ ගැන්වීමේ ක්‍රියාවලියක් තියෙනවා. ඒක මිලියන ගණනක් වටිනවා නේ.


වලාන දූෂණ මර්ධන ඒකකය විසින් දළ පූට්ටුවාගේ යැයි සැළකෙන ඇත්දළ හසුකරගත්තායින් පසුව ඔබ දෙපාර්තුමේන්තුවේ නිළධාරින් කියනවා ඒ ඇත්දළ ගල්ගමුවේ පූට්ටුවාගේ කියලා. ලංකාවේ ඉන්න සීමිත අලි ඇතුන් සංඛ්‍යාවේ ඩී.එන්.ඒ බැංකුවක්වත් නැති වනජීවී දෙපාර්තුමේන්තුවට එම ඇත්දළ ගල්ගමුවේ පූට්ටුවාගේ කියන්න තිබු සාධක මොනවද ?

ඩී.එන්.ඒ බෑන්ක් එකක් අවශ්‍යම නැහැ ඒ වගේ දෙයක් ඔප්පු කරගන්න. ඩී.එන්.ඒ කියන එක සරලව ගත්තට ඔය කියන කාරණය සරල දෙයකුත් නෙමෙයි. ඒක හැබැයි මම ඒ වෙලාවේ නොසිටිය හින්දා ඒකට අදහස් දක්වපු විදිය ගැන මගේ අදහසක් නැහැ. නමුත් නිලධාරියෙකුට හැකියාව තියෙනවා තමන්ගේ පළපුරුද්ද හා අත්දැකීම අනුව අදහස් දක්වන්න. ඒ සඳහා වනජීවී පනත තුළින් පවා අයිතිය ලැබිලා තියෙනවා.

හොරෝපතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය ගැන මේ දිනවල වැඩි කතා බහට ලක්වෙනවා. පරිසරිවෙදින් කියන කාරණය තමයි එම රැඳවුම් මධ්‍යස්ථානය තුළ වන සතුන්ට ජීවත්වීමට තරම් හොඳ වාසභූමියක් නැහැයි කියලා. මේ ගැන අදහස මොකක්ද?

අපි එතැනට ගෙනහින් දාන්නේ මිනිස්සුත් එක්ක බරපතල විදියට ගැටුණු සතුන්. මෙතෙක් කාලයක් අපි කළේ ඔවුන් සිටින ස්ථානය පිළිබඳව සොයා බලන්න ක්‍රම සම්පාදනය කරපු එකයි. එහෙම නැත්නම් අපි කැලයට පන්නලා දැම්මා. ඒත් ඒ කිසිම ක්‍රමයකින් ඒ සතුන්ගේ හැසිරීම අපිට වෙනස් කරන්න බැරි වුණා. හේතුව ඒ සතුන් හැදිලා තියෙන හැසිරීම් රටාවත් එක්ක ගිහින් දැම්මොත් ආපහු එනවා.
ඒ හින්දා ඒ සතුනුයි මිනිස්සුයි අතරයි පරතරයක් ඇති කරලා ඔවුන්ගේ හැසිරීම් රටාවේ වෙනස්කම් ඇති කරන්න පුළුවන් ද කියලා අපි බලන්න ඕනේ. මේක ලෝකයේ කොහෙවත් කරපු දෙයක් නෙමෙයි. අපි තමයි මුලින්ම කරන්නේ..

හොරෝපතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය තුළ සතුන්ට ජීවත්විය හැකි වටපිටාවක් ගොඩ නගා ඇති බව මෙහිදී ඔබතුමාට වගකීමෙන් කිව හැකි ද ?

ඔව් එතැන සතුන්ට ජීවත්වෙන්න සුදුසු වටපිටාවක් තියෙනවා. හැබැයි මෙහෙමයි, මෙහිදී අපිට සත්තු ගෙනහිල්ලා දානකොටම කියන්න බැහැ හෙක්ටරයාර් මෙච්චරක් වතුර තියෙන්න ඕනේ, හෙක්ටරයාර් මෙච්චරක් තෘණ තියෙන්න ඕනේ කියන දේ කියන්න බැහැ. සත්තු පරිසරයත් එක්ක ජීවත්වෙනකොට සීමාකාරී සාධක අධ්‍යනය කරලයි අවශ්‍යය කරන දේවල් යොදවන්න ඕනේ..

අධ්‍යක්ෂකතුමණි, වනජීවී අමාත්‍යයවරයා සහ ඔබ ඇතුළු කණ්ඩායමක් මාධ්‍යය වලට හොර රහසේ වනජීවී අමාත්‍යාංශය තුළ පරිසර සංවිධාන ක්‍රියාකාරීන් සමඟ සාකච්ඡාවක් පවත්වනවා. ඒ සාකච්ඡාවෙන් පස්සේ එම පරිසර සංවිධාන ක්‍රියාකාරීන් තුන් දෙනෙකු වනජීවී දෙපාර්තුමේන්තුව සමඟ අනයුක්තව සේවය සළසා ගන්න හෝ උපදෙස් ලබාගන්න කියන කාරණය ඇමැතිවරයා අතින් සිද්ධ වෙනවා. මේ රහස් මන්ත්‍රණය පිටිපස්සේ තියෙන්නේ වනජීවී දෙපාර්තමේන්තුවේ දුර්වලකම මිස අනෙකක් නෙමෙයි. ඔබ ඇතුළු දෙපාර්තුමේන්තුවට වගකීමක් හා යුතුකමක් මෙන්ම රටට බැඳිලා ඉන්නවා සාධාරණ සේවයක් ඉටු කරන්නට. මොනවද මේ සිද්ධ වෙන්නේ ?

පළවෙනි කාරණාව විදියට කියන්න ඕනේ, රැස්වීම මම සංවිධානය කරපු එකක් නෙමෙයි. හැබැයි මමත් එතැනට සහභාගී වුණා. හැබැයි විශේෂයෙන් කිව යුතුයි අපි බොහෝම විවෘතයි එළියෙන් අදහස් හා යෝජනා චෝදනා බාරගන්න. ඒ කොහොම උනත් විශේෂතම දේ තමයි අපේ නිලධාරින් ඔය කියන දේවල් ඔක්කෝම දන්නවා. ඔවුන් සතුව තාක්ෂණික අධ්‍යාපනික පළපුරුද්ද තියෙනවා.

එතකොට ඔබතුමා කියන්නේ පරිසර සංවිධාන ක්‍රියාකාරීන් සැනසීම උදෙසා පමණක්ම ද ඔවුන්ගේ අදහස් අරගන්න ඔබ දෙපාර්තමේන්තුව පෙළඹෙන්නේ ?

නැහැ. පරිසරවේදීන් සනසන්නම නෙමෙයි. අපි ඔවුන්ගෙන් යම් දෙයක් ගත්තා. උදාහරණයක් විදියට අපි ගාව කොලර් භාවිතය ගැන තොරතුරු තිබුනේ නැහැ. ඒත් අපිට එතැන හිටපු ගවේෂකයෙකුගෙන් තොරතුරු ලැබුණා. දැන් අපි ගාව ලෝකයේ අනෙක් රටවල් වලට වඩා ඒ පිලිබඳව දත්ත තියෙනවා.

ඒ නිසාද අධ්‍යක්ෂකතුමණි, මීට දෙදිනකට පෙර දැමු ගල්ගමුව ප්‍රදේශයේ ඒක දන්තයාට දැමු කොලර් එක මේ විදියට බාගයට දාලා තියෙන්නේ.. ඔබතුමාට බැලු බැල්මට පේනවා මේ සතා කැලය තුළ නිදහසේ හැසිරෙනකොට ගැලවෙනවා කියලා.

ඒ ගැන අදහස් ප්‍රකාශ කරන්න බැහැ. හැබැයි මම සොයා බැලීමක් කරන්නම්.





-        -   සඳරු දසනායක 
Share on Google Plus

About Unknown

0 අදහස්:

Post a Comment

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..