2017 මොකද වුණේ

දවසින් දවසට දින දසුනෙහි පිටුවෙන් පිටුව ගැලවී යන්නේ පුදුමාකාර වේගයෙනි. ඒ පුදුමාකාර වේගය හඹාගෙන ගොස් ඉදිරියෙන් සිටින්නට අපට බැරිය. ඒ නිසාවෙන්ම අප සෑමටම කාලයට පසුපසින් සිටින්නෙමු. මේ අන්තයේ සිට අනෙක් අන්තයට දෑස් විහිදුවද්දී කාලය ගෙවී අවසන් ය. දැන් දෙදහස් දා හතත් අවසන් ය. දෙදහස් දහ අටවෙනි අවුරුද්ද අපව පිළිගන්නට සැදී පැහැදී බලාගෙන සිටිනවා ය. දෙදහස් දහ අටට මුහුණ දෙන්නට පෙර දෙදහස් දා හත වර්ෂය තුළ රට තුළ සිදු වූ ආර්ථිකමය, දේශපාලනමය සමාජ හා ස්භාවික සංසිද්ධි දෙස නැවත වරක් හැරී බැලිය යුතු යැයි හැඟෙ. මේ වියමන ඒ වෙනුවෙනි.


දෙදහස් දහහත නව වර්ෂය උදාවෙන්නේ යහපාලන ආණ්ඩුව විසින් පසුගිය සමයේ දූෂණ වංචා වලට චෝදනා ලැබ සිටි දේශපාලන අධිකාරියේ මහත්වරුන්ට දඬුවම් ලබා දෙනවා යැයි කියමින් ය. ඒ අනුව විමල් වීරවංශ අමාත්‍යයවරයා වාහන අවභාවිතා කළා යැයි ද ඒ නිසාවෙන් එවකට රාජ්‍යය භාණ්ඩාගාරයට කළ පාඩුව ලක්ෂ හයසීයයක් යැයි ද  හේතුකොටගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. එය මේ වර්ෂය තුළ බොහෝ කතා බහට ලක් වූ කාරණයක් විය.


එය එසේ තිබියදී යහපාලන ආණ්ඩුවේ පොරොන්දු පත්‍ර වල තිබු තවත් එක් පොරොන්දුවක් මල් ඵල ගන්වමින් කුලියාපිටිය ප්‍රදේශයේ වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක් සඳහා මුල් ගල තැබිණි. කුලියාපිටියට රැකියා 130000ක් යැයි කියමින් මුල් ගල තැබූ වෝක්ස් වැගන් කර්මාන්ත ශාලාවේ සමරු ඵලකයන් මත වල් බිහිවී තිබෙනු  අද වන විට දැක ගත හැකිය.


මීගමුව කලපුව සංවර්ධනය කිරීමට රජය විසින් ලබාදුන් මිලියන 11.2ක මුදලක් අවභාවිතා කළා යැයි සැකකෙරෙන හිටපු ධීවර නියෝජ්‍යය අමාත්‍යය සරත් කුමාර ගුණරත්න මහතා රක්ෂිත බන්ධනාගාර ගත කෙරෙණි.


ජාතික ලොතරැයි මණ්ඩලයේ විධායක බල ශ්‍රේණි වෙනස්වීමත්, ලොතරැයි මිළ වැඩි කිරීමත් නිසා ලොතරැයි පිළිබඳව සමාජ කතිකාවතක් ගොඩ නැගිණි. විකුණුම් මිළ රුපියල් විස්සට වඩා වැඩි නොකර කොමිස් මුදල පමණක් වැඩි කරන්නැයි කියමින් ලොතරැයි අලෙවි නියෝජිතයින් විසින් මහ මඟට බැස විරෝධතා ව්‍යාපාර දියත් කළහ.

ජී.එස්.පී + බදු සහනය නැවත වරක් ලංකාවට ලැබීම සිදු විණි.

ගායන ශිල්පී දීපාල් සිල්වා හා ගායන ශිල්පී රෝයි ද පිරිස් මහතා හෘදයාබාධයක් හේතුවෙන් දැයෙන් සමුගන්නට යෙදුණි.

දිවුලපිටියේ අකරගම ප්‍රදේශයේ බොරළු කැපීම පිළිබඳව රන්ජන් රාමනායක ඇමතිවරයා හෙළි කිරීමත් සමඟ එය ආන්දෝලනාත්මක සිද්ධියක් මෙන් උඩු දිවූ අතර පෙබරවාරි මාසයේම පුත්තලම විලුක ගම්මානයෙන් ද එවැනිම සිද්ධියක් වාර්තා විණි. පාරිසරික විනාශය පිළිබඳව රටේ නම් දෙසින් බොහෝ වාර්තා පැමිණෙන්නේ මේ කාලයේදී ය.

වික්ටර් රත්නායකගේ පුත් ලෙලුම් රත්නායක විසින් තම පියා මිය ගිය බවට තම පෞද්ගලික ෆේස්බුක් ගිණුමේ දමා තිබු සටහනකින් කලා ක්ෂේත්‍රයත්, රසිකයනුත් අතර ආන්දෝලනාත්මක කතා බහක් ඇතිවන අතර ඊට හේතුව ලෙස වික්ටර් රත්නායක මහතාගේ නැවත විවාහවීම බලපා තිබිණි. මෙය බොහෝ කතා බහට ලක්වුණු කාරණයක් වූ අතර විවිධ නිර්මාණ කාර්යයන්ට පවා තුඩු දුන් වස්තු බීජයක් විය.


ශ්‍රී ලංකා මැලේවරුන්ගේ ඉතිහාසය අලලා පර්යේෂණාත්මක ග්‍රන්ථයක් එළිදැක්වීම නිමිතිකරගෙන ප්‍රවීණ ලේඛක එඩ්වඩ් චන්ද්‍රසිරි මහතාව “අනුගරා මශ්යකාත් මලායු” සම්මානයෙන් පිදුම් ලැබීය.

උතුර දකුණ ලං කරන මධ්‍යම අධිවේගී මාර්ගයේ ආරම්භක සැලසුම් වෙනස් කරමින් නව සැලසුම් ක්‍රියාත්මක කිරීමත් - භූමිය පරික්ෂා කිරීමත් යනාදී තත්ත්ව පරීක්ෂණ ක්‍රියාත්මක කිරීම සිදු විය.

ස්විට්සර්ලන්තයේ ජිනීවාහිදී පවත්වන ලද ජිනීවා අන්තර්ජාතික නව නිපැයුම් තරඟාවලියේ දී රන් පදක්කම් තුනක් දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. එහිදී ලැපිරස්කොප් සැත්කමේ දී ශල්‍යය වෛද්‍යවරුන් භාවිත කරන ගැට දැමීම සඳහා නව උපකරණයක් නිපදවූ වෛද්‍යය තිලංක රත්නපාල මහතා ද වීඩියෝ ලැරින්ගස්කොප් උපකරණය සඳහා වෛද්‍යය අනුප ඉන්දික මහතා ද වෛද්‍යය ආසිරි දිල්හාන් ද සිල්වා මහතා විසින් නිපදවන ලද කෘමියන්ගෙන් ආරක්ෂා විය හැකි මේස ආවරණය සඳහා රන් පදක්කම් දිනා ගත්හ.

කටුනායක ගුවන්තොටුපලට ඇමරිකානු ඩොලර් මිලියන පනහක වියදමින් තැනුණු නව ධාවන පථයක් එක් විය. පවත්නා ගුවන් පථයන් ප්‍රතිසංස්කරණයට ලක් කෙරිණි. මෙම නව ධාවන පථය එයාර් බස් සේවාන්ට ද වෙන් කර ඇති බව සඳහන් විය.

කොළොන්නාව මීතොටමුල්ල කුණු කන්ද නාය යාමෙන් විසි හය දෙනෙකුගේ ජීවිත ප්‍රමාණයක් අහිමි වූ අතර බොහෝ පිරිසක් අතුරුදහන් විය. කුඩා දරුවන් ඇතුළු බොහෝ පිරිසකගේ මළ සිරුරු පවා සොයා ගැනීමට පවා අපහසු වූ එම ඛේදවාචකය නිසා මීතොටමුල්ල කුණු කන්ද එම ස්ථානයෙන් ඉවත් කිරීමටත් එයට නැවත කුණු බැහැර කිරීම ද අත්හිටවන්නට යෙදුණි.


තිරිකුණාමලයේ තෙල් ගබඩා සංකීර්ණය ඉන්දියාවට විකිණීමට යනවා යැයි කියමින් ඛණිජ වෘත්තීය සමිති විසින් වැඩවර්ජනයක් සිදු කළ අතර ඛණිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු පිලිබඳ අමාත්‍යය චන්දිම වීරක්කොඩි මහතා ඒ සඳහා එකළ ප්‍රකාශ කර සිටියේ ඉන්දියාවට අවුරුදු 35කට තෙල් ගබඩා සංකීර්ණය බද්දට දී ඇති බවය. ඒ කෙසේ වෙතත් එය අප්‍රේල් මාසයේ කතාබහට ලක් වූ සිද්ධියක් වූ අතර එම වැඩ වර්ජනය රජය විසින් බලාත්මක නොවන්නට යොදී අත්හිටවීමක් කළේය.

මැයි දිනය මෙවර ද උත්කර්ෂවත්ව පැවති අතර සියළුම පක්ෂ තම පාක්ෂකයින් සමඟ කම්කරු දිනය සමරන්නට යෙදිණි.

නුවර එළිය මාර්ග මෝටර් රථ සහ යතුරුපැදි තරඟාවලියේ දී අනතුරටපත් ප්‍රවීණ යතුරු පැදි ශිල්පී ආනන්ද වෙඩි සිංහ මහතා දිවියෙන් සමුගත්තේ ය. මිය යන විට 47වන වියේ පසු වූ ඔහු සිවුදරු පියෙකි.

මැයි මාසය රටට ශාපලත් කාලයකි. ස්වභාදම් දිනිතිය කම්පාවට පත් වී සිටියාය. ලක්ෂ පහකට වඩා පිරිසක් අවතැන් කරමින් රත්නපුර, කෑගල්ල, ගාල්ල, කලුතර, මාතර, හම්බන්තොට ප්‍රදේශ සියල්ලම අවධානම් කලාප බවට පත් විය. මහා වැස්සෙන් ඇතිවූ ගංවතුර හා නායයෑම් නිසා තුන්සියයකට වඩා වැඩි පිරිසන් මියගිය අතර ඇතැම් අයගේ මළසිරුරු පවා සොයා ගැනීමට නොහැකි තරමටම පණ පිටින්ම මිහිදන් කරන්නට තරම් මහා පොළව සාහසික විය.


ගංවතුර කාල සීමාවේ දී මුදවා ගැනීමේ මෙහෙයුමක නිරත වූ MI 17 හෙළිකොප්ටර් යානාවක් මෙහෙයුම අතරතුරදී කඩා වැටිණි. එහිදී සෙබළුන්ට කිසිදු අනතුරක් සිදු නොවූ අතර යානාවට බරපතළ හානි සිදු විය.
මීට අමතරව මුදවා ගැනීමේ මෙහෙයුම් වල නිරතවමින් සිටි ගුවන් හමුදා බටයෙකු වූ 24612 බළලත් නිළධාරි වයි.එම් සේනක යාපාරත්න කේබලය බිඳීම හේතුවෙන් මිය ගියහ. ඔහු විසින් බේරාගත් අවතැන්වූවන් පිළිබඳව සැළකීමේදී හා ඔහුගේ සත්ක්‍රියාවත් ඔහුට සිදුවූ අනතුරත් සංවේදී සිදුවීමක් විය.


විසි එක් දෙනෙකුට තුවාල සිදු කරමින් හා දෙදෙනෙකු මරණයට පත් කරමින් හා දෙදෙනෙකු අතුරුදහන් කරමින් මහත් ව්‍යසනයක් සිදුකළ වැල්ලවත්ත ප්‍රදේශයේ “එක්සලන්සි” නැමැති ගොඩනැගිල්ල කඩාගෙන වැටිණි. ඇළ මාර්ග සහිත පහත් බිමක මෙම ගොඩනැගිල්ල අනවසරයෙන් ඉදි කර පැවතීම පැවතීම හේතුවෙන් මෙම ඛේදජනක සිදුවීම ඇති වූ අතර එම ගොඩනැගිල්ලේ අයිතිකරුට නීතිය මඟින් දඬුවම් ලබා දෙන්නට ක්‍රියා කළේය. තවත් මෙවැනි ගොඩනැගිලි 10000ක් පමණ කොළඹ ආශ්‍රිතව ඉදිරිකර ඇතැයි ද ඔවුන්ට ද නීතිය ක්‍රියාත්මක කරන බව චම්පික රණවක අමාත්‍යයවරයා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එවකට කියා සිටියේය.

සයිටම් විරෝධී සිසු අරගලය දිගින් දිගටම ක්‍රියාත්මක වූ අතර එහිදී ඇතිවූ උත්ඝෝෂණ ව්‍යාපාර වලදී සිසුන් හා පොලිස්සිය අතර ගැටුම් ත්වුර විය. මෙම ගැටුම් අතරමැදදී බොහෝ සිසුන්ගේ පන්ති තහනම් වූ අතරම ළහිරු වීරසේකර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

ඩෙංගු රෝගය නැවතත් උස්සන්නවීම සිදු වූ අතර එහි එක්තරා සිද්ධියක් ලෙස මොරටු සරසවියේ සිසුවියක් ඩෙංගු උණ රෝගයෙන් මිය යෑමත් සමඟ ඩෙංගු වසංගතය හා ඒ පිළිබඳව වැඩි කතා බහක් රට පුරා ඇති විය. ඩෙංගු ව්‍යාප්තවීම වැලැක්වීම උදෙසා නව නීති සම්පාදනය විය. ඩෙංගු රෝගය මර්ධනය කිරීම සඳහා සියලු දෙනා එක්කාසු වී පිරිසිදුකිරීම් වල නිතර වීමක් දකින්නට ලැබුණි.

හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ක්‍රීඩාංගනයේ දී සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවති තරඟය අතරතුරදී ක්‍රීඩාංගනයේ තාවකාලික පදනම මත සේවය බඳවා ගත් සේවකයින් සිය දෙනෙකුගේ පමණ වැටුප් ලබා දීමට ප්‍රථමව ඔවුන්ගේ කලිසම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ගලවාගත් සිදුවීමක් වාර්තා විය. කම්කරුවන් සිය දෙනෙකු පමණ මෙහිදී වඩාත් අපහසුතාවයට පත් වූ අතර ඔවුන් සේවයේ යොදවා තිබුනේ දෛනිකව රුපියල් දහසක මුදලක් ලබාදෙන බවට පොරොන්දු පදනම යටතේ ය.

ගාලු වරායේ පාවෙන අවි ගබඩාවට වගකිව යුතු ඇවන්ට් ගාඩ් සමාගමට එරෙහිව පවරා තිබු තිබු නඩුව සඳහා වන සාක්ෂි ප්‍රමාණවත් නොවන නිසා එය තව දුරටත් පවත්වාගෙන යා නොහැකි බව අධිකරණය විසින් දන්වන්නට යෙදිණි. එහිදී සෘජු සහ ප්‍රධාන චෝදනා ලැබ සිටි ඝෝටාභය රාජපක්ෂ මහතාට විදේශ ගමන් තහනම ඉවත් කිරීමට ද අධිකරණය විසින් පියවර ගත්හ.

ඇවන්ට් ගාඩ් සමාගමේ නීතිඥයා ලෙස කටයුතු කළ තිලක්මාරපන මහතා පාර්ලිමේන්තුව තුළ සිදුකල ප්‍රකාශයක් හේතුවෙන් කතා බහට ලක්විණි. ඔහුගේ ක්‍රියාකලාපය හේතුවෙන් ඔහු ජනතා නියෝජිතයෙකු ලෙස පාර්ලිමේන්තුව තුළ සිටීමට අයිතියක් නොවන බව කතා බහට ලක් වූ අතර ඔහු පාර්ලිමේන්තුවෙන් ඉවත්විය.

මහා බැංකු බැඳුම්කර මිළදී ගැනීම් පිළිබඳව විමර්ශනය සිදුවූ අතර එහිදී අමාත්‍යය රවී ගුණවර්ධන හා අර්ජුන ඇලෝසියස් අතර පැවති සම්බන්ධතා හෙළි විය. බැඳුම්කර කාරණය වෙනත් දිශානතියකට යොමුවීම නිසා එය ඒකාබද්ධ විපක්ෂයට විශාල වාසියක් වූ බව පෙනේ. මෙහිදී ඒකාබද්ධ විපක්ෂය ඇතුළු සංවිධාන ගණනාවක් රවී කරුනායක අමාත්‍යයවරයා පදවියෙන් පහකළ යුතු බවට බල කළහ. මේ අතර ඇමතිවරයාට එරෙහිව අගෝස්තු මාසයේ දී මන්ත්‍රීවරුන් තිස්තුන් දෙනෙකුගේ අත්සනින් සමන්විත විශ්වාස භංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගත්තේය.

2015 ජනවාරි 08 බලයට පත් යහපාලන ආණ්ඩුවේ මුදල් ඇමතිවරයා වූයේ රවීකරුණානායක අමාත්‍යයවරයායි. එහිදී මැයි මාසයේ කැබිනට් සංශෝධනයෙන් මුදල් ඇමැති පදවියෙන් ඉවත් කොට විදේශ ඇමැති පදවියට පත් වුව ද ප්‍රකාශයක් නිකුත් කොට ඉල්ලා අස්විය.

“ඉතිහාසය සහ කාලය විසින් මට හිමි තැන තීරණය කරාවි. මම ඉල්ලා අස්වෙන්නේ දුකින් හෝ කම්පාවෙන් නොවෙයි. ආඩම්බරයෙන්” ඉල්ලා අස්වූ හිටපු අමාත්‍යය රවී කරුණානායක මහතා ඔහුගේ අවසන් ප්‍රකාශය එසේ සිදු කළහ.

අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍යය විජයදාස රාජපක්ෂ අමාත්‍යයවරයා එම තනතුරින් ඉවත් කරන ලෙස ඉල්ලා විශ්වාස බංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය. එජාපය මෙහි නායකත්වය ගත් අතර, අමාත්‍යයවරයා දිගින් දිගටම පක්ෂයේත් කැබිනට් මණ්ඩලයේත් සාමුහික වගකීම් උල්ලංඝනය කරන බව   ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට දැනුම් දීමෙන් ඉල්ලීම් කරන්නට පවා එජාපය පෙළඹිණි. එහෙත් විශ්වාස භංගය ගෙන ඒමට පෙර හිටපු අමාත්‍යය විජයදාස රාජපක්ෂ මහතා ඉල්ලා අස් විය.

අනුරාධපුර, සාලියපුර ප්‍රදේශයේ දී අඹ ගෙඩි තුනක් සොරකම් කළා යැයි වරදකරු වූ මවක් දවසක් පුරාවට නිරාහාරව පොලිස් කූඩුවේ සිට ලක්ෂයක මුදල් ඇපයක් මත නිදහස් වූ සිදුවීමක් පිළිබඳව ඔක්තෝබරයේ දී අසන්නට ලැබිණි. මෙම සිදුවීම මහජනතාව සහ සමාජ වෙබ් අඩවි තුළ සංවේදී සිදුවීමක් වී තිබුණු අතර නීතියේ නැමියාව පිළිබඳව වටිනා ප්‍රස්තුතයක් නිර්මාණය කළේය.

2015 ජනාධිපතිවරණයේ දී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට අයත් රුපියල් කෝටි හැටක් වැය කරමින් සිල් රෙදි බෙදා දුන් බවට හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු සභාපති අනුෂ පැල්පිට මහත්වරුන්ට එරෙහිව නීතිපති වරයා විසින් නඩු පවරා තිබිණි. එම නඩුව විභාග කළ කොළඹ මහාධිකරණය විසින් ඔවුන් දෙදෙනා අවුරුදු තුන බැගින් වූ සිරදඬුවම් වලට යටත් කරනු ලැබීය. රාජ්‍යය දේපල අවභාවිතා කිරීම ඔවුන්ට එල්ල වූ චෝදනාව විය.

පුරා වසර ගණනාවක් සයිටම් විරෝධී සටනේ නිරත වූ විශ්ව විද්‍යාල සිසුන්ට හා ඔවුන්ගේ දෙමාපියන්ට තම ජයග්‍රහණය භුක්ති විඳින්නට අවස්ථාව නොවැම්බරයේ දී සැලසිණි. ඒ වෙනුවෙන් දහඩිය හැලූ ලේ කඳුළු වලින් ගත තෙත් කරගත් ඔවුන්ගේ සටනට වටිනාකමක් නොවැම්බර් අටවනදා සයිටම් පිළිබඳව සොයා බැලීමට පත් කළ කමිටුවේ සභාපති වූ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහත්මාගේ ප්‍රකාශයෙන් පසුව එකතු විය. අවසන් කාලයේ මාරාන්තික උපවාසයේ නිරතවී සිටි සිසුන් හා දෙමාපිය සංගමයේ නියෝජිතයින් අවසානයේ එය අතහැර දැමුවහ.

ඉන්දියානු තෙල් සංස්ථාව විසින් ගෙන්වන ලද තෙල් නැවක තිබු තෙල් නියම ප්‍රමිතියෙන් නොතිබීම හේතුවෙන් එම සමාඟම අතින් තිරිකුණාමල වරායේ නවතා තිබු එකී නෞකාව ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් රට පුරා තෙල් අර්බුදයක් ඇති විය. එම අර්බුදයට විරෝධය පාමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තුව වෙත පාපැදියෙන් ගමන් කළහ. නැවෙස්කා ලේඩි (NEVESKA LADY) නම් නෞකාව තෙල් රැගෙන පැමිණෙන තුරු පුරා සතියකට වැඩි කාලයක් රට පුරා මහ ජනතාවගේ දෛනික ජීවිත වල කඩාකප්පල් වීම් දකින්නට ලැබිණි.

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක ආචාර්යය සෝමරත්න දිසානායකගේ නවතම සිනමානිර්මාණය වන Underpand Thief ( ජංගි හොරා ) දිල්ලි සිනමා උළෙලේ තරඟකාරී අංශයේ හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර විය. ළමා චිත්‍රපටි නිර්මාණය තුළ තම අණසක පිහිටුවාගත් එතුමා වැඩිහිටියන්ට පමණයි ලේබලය ඇලවූ චිත්‍රපටයක් මෙවර නිර්මාණය කරමින් ලාංකේය නාමය ජගත් සිනමාව තුළට රැගෙන ගියේය. මෙය ඔහු මෙතෙක් නිර්මාණය කළ චිත්‍රපට අතරින් වෙනස් මඟක් ගන්නා තිර සිතුවමක් ලෙස හැඳින්විය හැකිය.

වලාන දූෂණ මර්ධන ඒකකය විසින් පොල්පිතිගම ප්‍රදේශයේ දී ඇත් දළ යුවලක් සමඟ සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමෙන් පසුව ගල්ගමුවේ පූට්ටුවා නැමැති හස්තියාගේ කතාන්දරය කරලියට පැමිණියේය. ශ්‍රී ලංකාවේ වන අලි ඝාතනය වීම පිළිබඳව මහා ජනතාවගේ දෑස් යොමු වූ වර්ෂයක් වූ අතර, ඉකුත් වර්ෂයන් දෙස බැලීමේ දී මෙම වර්ෂය තුළ සිදුවූ ඇත් ඝාතන වල වැඩි අගයක් ගත්තේ ය.

වසර ගණනාවක් තිස්සේ විවිධ පරිසර සංවිධාන මඟින් ප්‍රශ්න කළ හා විවිධ ජනමාධ්‍යය විසින් සමාජමය කථිකාවතක් නිර්මාණය කරමින් පරිසර සංරක්ෂණය පිළිබඳව මහා ජනතාවගේ මනසේ නව සිතුවිල්ලක් රෝපණය කිරීමට සමත් වූ විල්පත්තුව වන සංහාරය පිළිබඳව සිදුවීමට එරෙහිව විල්පත්තුවේ වනාන්තර අවභාවිතය පිළිබඳව රජයේ විගණකාධිපති වාර්තාව පාර්ලිමේන්තු කථානායකවරයා අතට දෙසැම්බරයේ පළමු සතියේ දී ඉදිරිපත් කළහ. ඒ අනුව විල්පත්තු වන සංහාරය පිළිබඳව නීතිමය කටයුතු කිරීමේ හැකියාව පවතියි.
රුසියාව විසින් ශ්‍රී ලංකාවේ තේ මිලදී ගැනීම අත්හිටවන්නට යෙදුනු අතර එයට පරිබාහිරව ඇස්බැස්ටස් නිපදවීමට අවශ්‍යය රුසියානු අමුද්‍රව්‍යය ආනයනයට තහංචි පැනවීමේ ප්‍රතිපත්තිමය තීරණය අහෝසි කිරීමට රජය විසින් තීරණය කරන්නට යෙදුණි. එමෙන්ම රුසියාව විසින් තහනම් කරන ලද ශ්‍රී ලංකා තේ කොළ නැවත රුසියාවට යැවීම සඳහා රුසියන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාකොට කටයුතු කරන බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශයක් නිකුත් කර තිබේ. ඒ සඳහා දැනටමත් තමා ලිපියක් සුදානම් කර ඇති බවත් එය තැපැල් කරන බවත් සඳහන් කරමින් පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් කම්කරු කොංග්‍රසය විසින් හපුතලේ දී සංවිධානය කරන ලද උත්සවයක් අමතමින් ඒ මහතා කියා සිටියේය.

- සඳරු දසනායක 



Share on Google Plus

About Unknown

0 අදහස්:

Post a Comment

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..