තෙත් කලාපය ආක්‍රමණය කරන වියලි කලාපයේ කුමන්ත්‍රණයේ මහා මොළකරු බදියුදීන් ද ?

හුස්ම ඔබ කිසි දිනක සොයන්නට ගියේ නැත. හුස්ම ඔබගේ පපු ගැබ සොයා නිතර ආ ගිය එකෙකු විය. පෙනහළු ගර්ත වල සිට හදවතේ “ලබ්ඩබ්” රිද්මය දක්වා වායුව ඔබෙත් මගේත් ප්‍රාණයේ නිධන් ගත වූවෙකු විය. එහෙත් ඔබට ඒ හුස්ම සොයා යා හැකි දිනක් උදාවූවෝතින්, ඔබට ජීවිතය ජීවත් කරවනු වස් ප්‍රාණ වායුව පිරවුම් හලකින් පුරවාගෙන ජීවිතය පවත්වාගෙන යාමට සිදු වූවහොත් ?



මේ ලෝකය පිලිබඳව සදාතනික පරම අයිතිය ඇත්තේ මිනිස් වර්ගයාගේ පුරුකක් වූ ඔබට හෝ මට හෝ නොවේ ය. මේ භූමියේ පය ගැසූ මනුක්ෂයය වර්ගයා ස්භාදහම ඉදිරියේ සෙන්කොට්ටන් බඳු විශේෂයකි. ස්භාදහමට කිසි දිනක තම පැවැත්ම තහවුරු කර ගැනීමට මිනිසා අවශ්‍යය වූයේ නැත. ස්භාදම් මෑණියන්ගේ තුරුළට වී හිඳ ඈගෙන් යැපුණු මහා ජීවින්ගේ භෂ්මාවශේෂ අදටත් අතරින් පතර භූමි තලයේ වැළලී ගිය තැනකින් අප දකිමු. මිනිස් වර්ගයාට පෙර ස්භාදහම සමඟ ජීවත්වූ මහා ජීවින් පවා බුරුතු පිටින් සදාකාලිකවම මිහිදන් කර තැබූ කල්හි ස්භාදහමට මිනිසා යන්න තමාගෙන් යැපෙන තවත් එක් ජීවියෙකු පමණි. මානව වර්ගයාගේ විකාශනය දෙස හැරී බැලුවෝතින් ඔවුන් අතින් ස්භාදහම් දිනිතියට සිදු වූ අසාදාරනකම් බොහෝය. මිනිසා යන්න පෘථිවියේ සාරය උරා බොමින් තම ස්වාර්ථය මත පමණක් පදනම්ව ජීවත්වන්නට මාන බලන ස්භාදම් මාතාවගේ කයේ වැඩෙන පිළලයක් දැයි විටෙක සිතේ. ඒ පිළලය යම් දිනක ඈගේ කයෙන් ඈ විසින්ම ඉවත් කර තබන්නට කටයුතු කරනු නියතය. තව දුරටත් පෘථිවිය මත මිනිස් ජීවින් ඇති නොවන්නට ඈ වග බලාගනු නියතය. 

මිනිසුන්ගේ දෑසට උණු කඳුළු උනන්නේ මහා මිනිස් සංහාර වලදී පමණි. එහෙත් මිනිසාට ජීවිතය දුන්, මිනිසාගේ පපු ගැබට ප්‍රාණ වායුව පෙවූ ගස් වැල් මිනිසා අතින් ඝාතනය වීම ඔවුන් වේදනාවෙන් දකින්නේ නැත. එයම වූ කලී මිනිසාගේ ගුණමකුකම යැයි මා හඳුන්වා දෙන්නට කැමැත්තෙමි. මේ භූමිය මතදී මිනිසා පරිසරයට කළ කෙනෙහෙලිකම් සුළුපටු නොවේ. ස්භාදම් මෑණියන්ගේ ඉවසීම නොවන්නට තව දුරටත් මිනිස් වර්ගයාට පැවැත්මක් නොමැතිය යන්න මා තරයේ විශ්වාස කරන්නට තරම් බොහෝ තැන් වලදී පෞද්ගලිකව මා පවා සංහාරයන් දැක හද කම්පා කරගතිමි.
අන්දර වැව රක්‍ෂිතයේ සිදුවෙමින් පවතින වන විනාශය, සේරනෑව රක්‍ෂිතය තුළ සිදුවෙනවා යැයි වාර්තා වන විනාශය හා විල්පත්තුවේ තවමත් සිදුවෙමින් පවතින මහා වන සංහාරය පපු ගැබක් ඇති හුස්ම වැටෙන එකෙකුට නම් දරාගත නොහැකිය. රාජ්‍යය මට්ටමින් පවා යම් යම් කාල වලදී සහය ලැබෙමින් තවමත් අතරින් පතර කැපෙන විල්පත්තුවේ රක්ෂිත පෝෂක ප්‍රදේශයන් වලට අදාළව නීතිය ක්‍රියාත්මක වී නැත්තේ බාගවිට නීතියේ දෙවඟනගේ පවා දෑස් බැඳ ඇති නිසා දැයි විටෙක සිතේ.
පුරා වසර ගණනාවක් තිස්සේ විවිධ මතභේද වලට තුඩු දුන් එකී ගැටළු වලට පරිසර සංවිධාන සහ අනෙකුත් වගකිව යුතු නිලධාරීන් පාරිසරික මට්ටමින් විසඳුම් යෝජනා කළද ඒවා ජාතිවාදී ක්‍රියාවන් ලෙස සළකා නොසළකා හරිමින් විනාශ වෙන්නට ඉඩ හරින ලද වනාන්තර ප්‍රමාණය අතිමහත් ය.
විල්පත්තු අභය භූමියට කණකොකා හඬන්නට ගත්තේ 2009 වර්ෂයේදී එළුවන්කුලම හා මොල්ලිකුලම යා කරමින් ඉදිකළ නීති විරෝධී මාර්ගය නිසාය. බොහෝ පුද්ගලයින් මෙය පැරණි මන්නාරම් මාර්ගය ලෙස හුවා දක්වන්නට පෙළඹුන ද මෙය පැරණි මන්නාරම් මාර්ගය නොවන අතර එසේ හුවා දක්වන මෙම අප්‍රකට මාර්ගය ද විල්පත්තු වන උද්‍යානය 1938 දී නිල වශයෙන් සීමා මායිම් ඇති කිරීමත් සමඟ වියැකී ගොස් තිබිණි. මෙම මාර්ගය සඳහා පමණක් විල්පත්තු වනයෙන් අක්කර 430ක පමණ ප්‍රමාණයක් එළි පෙහෙළි කර ඇත.
විල්පත්තු අභය භූමියේ පාලනය සිද්ධවන්නේ වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තුවත්, වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවත් වෙන් කරගත් සීමා මායිම් තුළය. විල්පත්තුවේ ගහකොළ හෝ විල්පත්තුවේ වෙසෙන සතා සීපාවන් මේ බෙදීම් ගැන දන්නේ නැත. ඔවුන්ට විල්පත්තුව යන්න ජීවත්වීමට ඇති එකම වාසභූමියයි.
1938 පෙබරවාරි 25 වන දින අංක 8356 දරණ ගැසට් පත්‍රය මඟින් අක්කර 1563ක ප්‍රමාණයක් විල්පත්තු උතුරු අභය භූමිය ලෙස නම් කළේය. මෙහි පාලන කටයුතු බාරව වනජීවී සංරක්‍ෂණ දෙපාර්තුමේන්තුව කටයුතු කළ අතර එම 1563ට දකුණු පසට වන්නට උතුරු අභය භූමියේ අක්කර 50ක කොටසක් එළිපෙහෙළි කරමින් 2011 වර්ෂයේ දී ජනාවාස පිහිටුවිය.
එම කොටසට අමතරව වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවට අයිති අක්කර 2500කට වැඩි අක්කර 3000කට ආසන්න ප්‍රමාණයක් මරිච්චුක්කඩෙයි/කාරක්කුඩි රක්ෂිත වනාන්තරයෙන් එළි පෙහෙළි කර ඇත. විල්පත්තු වනාන්තර පද්ධතියේ මෙම කොටස අත්තනෝමතික ලෙස කිසිදු වග විභාගයකින් තොරව මෙසේ එළි පෙහෙළි කිරීම මහා දවාලේ නිරුවතින් ඇවිද ගියාක් වැනි ලෙස අන පනත් උල්ලංඝනය කිරීමකි.
ජනාධිපති කාර්ය සාධක බලකායේ අධ්‍යක්ෂක වරයා විසින් සම්පාදිත PTF/NP/1 දරන 2012.11.22 දිනැති ලිපිය පදනම් කරගෙන 2013.10.15 වන දින එවකට කර්මාන්ත හා වාණිජ්‍යය කටයුතු අමාත්‍යයව සිටි රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් මරිච්චිකට්ටු සිලාවතුර මාර්ගයේ 23 හා 29 සැතපුම් කණුව සීමාව දෙපස මීටර 250ක වනාන්තර තීරයක් නිදහස් කර ඒ තුළ ජනතාව නැවත පදිංචි කිරීමට උක්ත ලිපිය මගින් බලය වෙන් කර තිබුණ ද වාර්තාවන තොරතුරු අනුව අවමය මීටර 250ක් ද උපරිමය මීටර් 1500කට යටත්වන පරිදි මහා වන සංහාරයක් සිදු කර තිබෙන බවය.
එවකට වන සංරක්‍ෂණ ජනරාල් විසින් මන්නාරම් දිස්ත්‍රික් ලේකම් වරයා වෙත යොමු කරන ලද EMDL/04/02/08/11/2012 දරන ලිපියේ සඳහන් කර ඇත්තේ අක්කර 1080ක ප්‍රමාණයක් මෙම පදිංචි කිරීම් සඳහා යොදාගන්නා ලෙසය. 2010 වසරේ දී මෙසේ දේශපාලන බලපුළුවන්කාරකම් මතින් තම ස්වාර්ථය මත පමණක් ලැදිව නොයෙක් විධි මවා පෑම් කරමින් එළිපෙහෙළි කල විල්පත්තුව නැමැති ලෝක උරුමය 2012 වන විට අක්කර 2500කට වඩා වැඩි 3000ට නොඅඩු වන ලෙස එලි පෙහෙළි කර තිබිණි.
විල්පත්තුව යනු දේශපාලන බලපුළුවන්කාරකම් මත හෝ කැලෑ පාළුවන්ගේ උවමනාව මත විනාශ වන්නට දිය හැකි දෙයක් නොවේ ය. මෙම වනාන්තර ප්‍රදේශ මෙසේ එළි පෙහෙළි කිරීම ඉඩම් හා වන සංරක්ෂණ ආඥා පනතේ විසි වැනි වගන්තිය උල්ලංඝනය කිරීමකි.
EMDL/04/02/08/11/2012 ලිපියෙහි සඳහන් අක්කර 1080ක් නිදහස් කරන්නැයි අවසර දීමම නීති විරෝධී වන අතර, වන රක්ෂිත ඉඩමක් ඒ ආකාරයෙන් නිදහස් කිරීම තුළ කිසිදු නීතිමය ක්‍රමවේදයක් ද නොමැත.
එමෙන්ම අක්කර තුන්දහසකට ආසන්න ප්‍රමාණයක වන සංහාරයක් සිදු කරමින් වන සංරක්ෂණ ආඥා පනතේ තුන්වන වගන්තිය උල්ලංඝනය කර ඇත්තා සේම 1907 අංක 16 දරණ වන සංරක්‍ෂණ ආඥා පනත ද උල්ලංඝනය කර ඇත.

තවද 1993 ජුනි 24 දින අංක 772/22 ගැසට් නිවේදනයට අනුව හෙක්ටරයාර එකකට වැඩි වනාන්තර භූමියක් එළිපෙහෙළි කර වනාන්තර නොවන ප්‍රයෝජනයක් සඳහා යොදා ගැනීමට හෝ පවුල් සියයකට වඩා වැඩි ප්‍රමාණයක් පදිංචි කිරීමට පෙර පරිසර බලපෑම් ඇගයීම් වාර්තාවක් සකස් කර පාරිසරික අනුමැතියක් ලබාගත යුතුය. එහෙත් මෙම ව්‍යාපෘතිය සඳහා කිසිදු ඇගයීම් වාර්තාවක් නැත. ඒ අනුව මෙම ව්‍යාපෘතිය පාරිසරික අණපනත් උල්ලංඝනය කිරීමකි.
විල්පත්තුව යනු ස්භාදම් දිනිතියගේ අලංකෘත නිර්මාණයක් වනවා පමණක් නොව ලාංකේය ඉතිහාසයේ ඓතිහාසික පුරාවිද්‍යාත්මක වටිනාකම් මූලාශ්‍ර සඟවා ගත් තවමත් පර්යේෂණ මට්ටමේ ඇති පුරාවිද්‍යාත්මක භූමියක් යැයි කීවාට වරදක් නැත. එසේනම් මෙම ව්‍යාපෘතිය සිදු කිරීමට පෙර පුරාවිද්‍යාත්මක ඇගයීමක් සිදුකල යුතුය. එවැන්නක් නොමැතිව සිදු කළ මෙම ව්‍යාපෘතිය මගින් පුරාවිද්‍යා ආඥාපනත උල්ලංඝනය වී තිබේ.
විල්පත්තු උතුරු අභය භූමියේ සිදු කළ අක්කර පනහේ එළි පෙහෙලිකිරිම සම්බන්ධව කිසිදු නීතිමය ක්‍රමවේදයක් නැත. එසේ නම් එය වන සත්ව හා රුක්ෂ ආඥා පනතේ 7 වන වගන්තිය උල්ලංඝනය කිරීමකි. මේ සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් 2013 වසරේදී නීතිමය ක්‍රියා මාර්ග ගෙන තිබුන ද තවමත් ඒ තුළ ජනාවාස භූමි දකින්නට ලැබේ.
විල්පත්තුව එළිපෙහෙළි කිරීමේ ගැටලුව හෙළිකිරීමත් සමඟ මේ සඳහා සෘජුව දායකත්වය සැපයු දේශපාලන නායකයින් මෙය ජාතිවාදී මුහුණුවරකට හරවා තව දුරටත් වන සංහාරය රිසි සේ කරගෙන ගියහ.
විල්පත්තුව කෙසේ වී යත්, මේ මහා පොළවේ වැවෙන එකදු ගහකුදු අපට ජාතිය හෝ වර්ගය බලා හුස්ම පොවා නැත. ප්‍රසුතිකාගාරයේ සිට ආදාහනාගාරය දක්වා යන ගමන් මඟ තුළදී හිසට සෙවණ දුන්, පපුවට හුස්ම දුන්, ගතට සිසිල දුන් ගහකොළ අක්කර දහස් ගණනින් සිඳ දමද්දීත් බලා සිටින්නට හැකිනම් ඔහු මනුක්ෂයෙකු නොව හිත් පිත් නැති අමනයෙකු කියා නම් කලාට වරදක් නැත.
වනාන්තර කලාපයේ කුල 118කට අයත් ශාක විශේෂ 605ක්, පරිසර පද්ධතීන් 12ක්, ප්‍රාග් ඓතිහාසික ජන යුගය දක්වා විහිදෙන ඉතිහාසයක මූලාශ්‍ර සඟවා ගත් භූමියක්, ලංකාවට පමණක් ආවේණික වූ විල්ලු පද්ධතියක්, සංක්‍රමණික කුරුළු ඝනත්වය හා කුරුල්ලන්ගේ නැවතුම් මධ්‍යස්ථානයක් ලෙසින් අපට අතිශය වැදගත් වනාන්තරයක් ලෙසින් පැවතුනු විල්පත්තුව අද වන විට මිනිසාගේ ක්‍රියාකාරකම් මත අබ්බගාතකයෙකු බවට පත්ව තම ප්‍රාණ හුස්ම යදිමින් සිටියි.
ලෝකයේ පවතින ප්‍රධාන වනාන්තර වර්ග තුන අතරින් නිවර්තන කාලාපීය වනාන්තර වලට හිමි වන්නේ ඉතා ස්විශේෂී ස්ථානයකි. සමකයට සමාන්තරව කර්කටක සහ මකර නිවර්තන අතර අක්ෂාංශ ඔස්සේ ලෝක ගෝලය වටා පිහිටා ඇති මෙම නිවර්තන කාලපීය වනාන්තර ලෝකයේ සමතුලිතතාවය පවත්වා ගැනීමට ඉතාමත් වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. එය එසේ වූ කළ විල්පත්තුව රැක ගැනීමට අප ජාත්‍යන්තර වශයෙන් ද බැඳී සිටින්නෙමු.


ඇතැම් කාල වලදී විවිධ තාඩන පීඩන මැද වන පාළුවන් අතින් විනාශ මුඛයට ඇද වැටුණු විල්පත්තු අභය භූමිය වත්මනෙහි අධිකරණ තීන්දු මත සානුකම්පිත දෑස් වලට හසුව පැවතුණ ද මාවිල්ලු නැමැති කොටසේ වන පෝෂක බෝඩරය තවමත් රහසේම කැපෙමින් පවතී. එය විල්පත්තු අභය භූමියට අයිති නොවුවද වනාන්තරයක පෝෂණ කොටසක් ලෙස බැඳී පවතින එකී භූමිය එළෙස කපා මහා වාලුකාවක් බවට පත් කිරීම ඛේදජනකය.
හිරු මඩල ඉත්තෑවෙකු කටු විහිදාගත්තාක් මෙන් සිනාසෙන මොහොතක හිස් ඇති මිනිසුන්ගේ හිස් මත වැටුණු සූර්ය තාපය ඔවුන්ව වේදනාවෙන් පෙලා දමති. කිසිදු දිනයක ගසකට පණ නොදුන් මිනිසුන් තම වාහනය පමණක් ගස් සෙවණක තැබීමට යුහුසුළු වන අතර විල්පත්තුව වැනි ලෝක උරුමයක සිදුවන වන සංහාරයක් ගැන කතා කිරීම වර්ගවාදී මුහුණුවරකට මවා පෙන්වීම කණගාටුවට කරුණකි.
කශේරුකාවේ පණ නොලත්, දෙපසට වැනෙන එවුන්ට විල්පත්තුවේ කැපී ගිය ගසක් ගැන වේදනාවක් නොමැති වුව ද මේ පොළවේ ජනිත වූ මේ පොළවට හා පොළවෙන් පණ ලබන සියල්ලටම ආදරය කරන මිනිසුන්ට විල්පත්තුව තවදුරටත් රැක ගත හැකිය. එසේ නොවුනහොත් මතු උපදින්නට සිටින, නූපන් දරුවන්ට පවා ණයකරුවෙකු වී ඔවුන්ගේ දේවල් භුක්ති විඳිමින් හිඳ උපන් පොළවටත් හුස්ම දුන් ගහකොළටත් ගරහන ලද එකෙකු මෙන් මිය යාමට සිදුවන්නේම ය.

  • සඳරු දසනායක
  • sandarusameer@gmail.com


  • Sundayඇපල් 14 වන පිට
Share on Google Plus

About Unknown

0 අදහස්:

Post a Comment

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..