මම විතරයි දැන් දෙව්මිට ආදරේ කරන්නේ...

බාගවිට, මා මෙය ලිවීමට වෙන් කරන කාලය අපරාධයක්  යැයි යමෙකු සිතන්නට  පුළුවන. මන්ද මා මීට පෙර ඇය වස්තු බිජය කොටගෙන ලියු ලිපිය වෙනුවෙන් වෙන් කළ කාලය කිසිදු තේරුමක් නැතැයි, මගේ රැවටීම අතරින්  මා  හට ද   හැඟී  ගොස් ඇත.

“.. අර ළමයා මැරිලා නැහැ ලු නේද..? ..”
“.. හ්ම්..”

“.. අයියෝ ඒ කෙල්ලනම්  පුදුම කෙල්ලක්.. බොරුවට තමන්ගේ කොල්ලට රට්ටුන්ගෙන් බැන්නුවා නේ..”
“.. හ්ම්ම්ම්...”

මා සිටින්නේ  කෝපයෙනි. මා කොතරම් කෝපයෙන් පසුවූවා ද පැවසුව හොත් කිසිවෙකු සමඟ ඒ පිළිබඳව කතා බස් කරන්නට හෝ අකමැත්තෙන් පසු වූවෙමි. මා හට මා  තුළම  ඈ  නිස්සාරණය කර ගන්නට ඇවැසි විය. ඒ වෙනුවෙන් මා වියදම් කළ කාලය බොහෝය. සැබැවින්ම දෙව්මි පෙරේරාගේ සියදිවි නසා ගැනීම ද ඇය තවමත්  ජීවත්වනවා යැයි ද සිය දිවි නසා ගැනීම යන්න යැයි ඈ  විසින් රඟ දක්වන ලද නාටකයක්  බව ද අද වන විට අප සියල්ලම හොඳින් දන්නා කරුණකි.

“.. අන්න දැන් ඒ කෙල්ලට බනිනවා හැමෝම.. පේජ් එහෙකුත් හදලා..”
“.. ෆේස්බුක් මගුල් ගැන දැන්වත් නොකියා ඉන්න බැරිද..? මම නොයා ඉන්නවා.. ඔයා ඉඳගෙන අප්ඩේට් දෙනවා..”

“.. අනේ මන්දා, බනින හින්දයි  කිව්වේ..”
“.. මම කවදාවත්ම බනින්නේ නැහැ... I Love her. I Love So much. She is Great girl..”

“.. මොකක්..!.. ආදරෙයි.. මේ ඔයා..? එයාට..?..”
“.. හ්ම්ම්.. ආදරය කරන්න තරම් මට හේතුවක් තියෙනවා.. එයා මට හැමදේම ඉගැන්නුවා..”

“.. ඉගැන්නුවා.. තමන්ගේ කොල්ලාට බැනුම් අස්සපු, ලෝකෙම මිනිස්සු රවට්ටපු කෙල්ලක්..”
“.. හ්ම්ම්ම්..”

“.. ඔයාට පිස්සු..”
“.. ඔෆ් කෝස්.. මට පිස්සු..”

මා සිනාසුනෙමි. මා සැබෑවටම ඇය නිසාවෙන් සිනාසෙන්නට ඇත. ඇගේ බොරුවට රැවටුණේ අප පමණක් නොවේ. ( මා ඇතුළුව ) ඇය භාවිතා කලේ සරල බොරුවකි. ප්‍රේමය බිඳ වැටුණු පසු ඇය සිය දිවි නසාගත් බවය. එය මා මේ සමාජයේ වසන ඇය ද නුඹලා ද මා ඇසුරින් ද දකිමි.
අප කිසිදු දින බොරුවක් නොකළ පරම සුචරිතවාදී සිල් වතුන් නොවන වග සිහි තබා ගත යුතුය. නමුදු බොහෝ දෙනා ඇයගේ බොරුව හෙළිවීම තුළ පරම සුචරිතවාදී රංගනයක් රඟ දක්වයි.  ඇයගේ බොරුවත් ඔවුන්ගේ බොරු රංගනයත් අතර කිසිදු වෙනස්කමක් නැතැයි පැවසීම ඔබ උරණ නොවනු ඇත. අපට ඇවැසි තැන, අප බොහෝ විට බොරු කර ඇත. දීර්ඝ කාලීන ලෙස අප එම බොරුව බොහෝ දුර රැගෙන විත් ද තිබේ.

ඔබට යම් අයෙක් කිසිවක් පැවසු සැනින් විශ්වාස කිරීම ඔබගේ දුර්වලකමක් බව ඇය අපට උගන්වා අවසන් ය. අප ඇය තුළින් එකී අත්දැකීම ලැබුවෙමි. ඔබ ඔබගේ ෆේස්බුක් ගිණුමේ “.. මම මිනිහෙක් මරලා දැම්මා..” යන සටහන දැමු විට ඔබව කිසිවෙකු විශ්වාස කරන්නේ නැත. එසේම “.. ඔබ සිය දිවි හානි කරගත්තා..” යැයි දැමු විට විශ්වාස කළ යුතු දෙයක් ද නොවේ. වෙනුෂා මියැදුණු දින ද සේයා මරා දැමු දින ද ඇතිවූ ෆේස්බුක් රැල්ල මෙය ද සත්‍යවාදී පුවතක් බවට පෙර ඇති කළ අවබෝධය නිසාවෙන් අප විශ්වාස කළෙමු. එහෙත් මෙය සත්‍යය යැයි පිළිගන්නට කිසිදු සාක්‍ෂියක් නොතිබිණි. එහෙත් සියල්ලෝම මෙය සත්‍යයක් බව ද වැරදි කරුවා ඇයගේ පෙම්වතා බව ද හුවා දක්වමින් තම සටහන් තබා තිබිණි.

නෙත් නාලිකාව ද හිරු නාලිකාව ද ඇතුළු පුවත්පත් ද ඇගේ බොරුව සත්‍යයක් ලෙස තම පුවත් අතරට ගොනු කර තිබිණි. අප වැනි සාමාන්‍යය රචකයින් අත හැර දමන්න. එහෙත් වගකීමක් ඇති, මාධ්‍යය සදාචාරයක් ඇති, සත්‍යය පමණක් හෙළිකොට දක්වන බව පුනර්වාචන ඉදිරිපත් කරන එවැනි මාධ්‍යය නඩයන් අතින් සිදුවූ වරද ඔවුන් වසාගන්නේ දෙව්මි පෙරේරා නැමැති ( ව්‍යාජ නමකි ) තරුණිය රටක් හඬවමින් බොරු කල බව පවසා ය.

යම් ප්‍රකාශයක් යම්කිසි අයෙකු සිදු කළ පසු එය සත්‍යය දැයි අසත්‍යය දැයි තීරණය කිරීම අසන්නා විසින් සිදු කළ යුතුය. එසේ නම් රැවටීම බලෙන් ඇඟේ ගැසූ දෙයක් නොවන බවත්, එය තමා විසින් තමා තුළ වවාගත් දෙයක් බවත් ඔබ තේරුම් ගත යුතුය. යම් පුවතක්, යම් අයෙක් විසින් සමාජය වෙත ඉදිරිපත් කළා යැයි කියා ඒ ඇසුරින් එකී පුවත විශ්ලේෂණය කිරීම හා අදහස් මත දැක්වීම ඵල රහිත බව දෙව්මි පෙරේරා ඒත්තු ගන්වා අවසන් ය.

මා අතින් ද එකී වරද සිදු වුණි. නමුදු මගේ එම ලිපියේ අන්තර්ගතයේ සිටින දෙව්මි ප්‍රස්තාව පමණකි. ඇය එම ලිපියට තුඩු දුන් හේතුකාරකයක් පමණි. හේතුකාරකය සාවද්‍යය වුව අන්තර්ගතයේ ඇත්තේ පරම සත්‍යය බව ඔබ පිළිගන්නවා ඇත. එහෙත් මා දෙවරක් නොසොයා බලා සාවාද්‍යය ප්‍රස්තාවක් ඉදිරිපත් කිරීම පිළිබඳව කණගාටු වෙමි. ඒ වෙනුවෙන් ඔබෙන් සමාව අයදිමි.

මාධ්‍යය නාලිකා ඇතුළු පුවත් පත් ද ඇදගෙන නා ගත්තා කියා දෙව්මි වරදකරු නොවේ. එමෙන්ම දෙව්මි වෙනුවෙන් හඬක් නගමින් ඇයගේ පෙම්වතාට බැන වැදුණු නුඹලා ද ඇගේ සියදිවි නසාගැනීම වපුරාගත්තා කියා එය ඇයගේ වරදක්  නොවේ. වරද ඇත්තේ අප තුළ ය. අපගේ විශ්වාසය තුළය. ෆේස්බුක් තුළ ඇති සියලු පුවත් සත්‍යය යැයි සිතීම ද ඒ තුළින් පුවත් මැවීම ද වැරදිය.

මා දෙව්මි ප්‍රස්තාව කොටගෙන සමාජයේ ඇති මතයන් නිරුවත් කළෙමි. එහෙත් දෙව්මිගේ මලඟම වෙනුවෙන් දැන්වීම් දැමු මාධ්‍යය නාළිකා පිලිබඳ මා තුළ ගැටළුවක් ඇත. ඔවුන් මේ රටේ පුවත් මවන්නේ ෆේස් බුක් වැනි සමාජ අඩවි මත ද..? ඔවුන්ගේ රැකියාව ඇත්තේ පරිඝනකයක් ඉදිරියේ අන්තර්ජාල සම්බන්ධතාවක් ඇසුරින් සමාජ අඩවි නිරීක්ෂණය කිරීමෙන් පුවත් සොයා ගැනීම නම් එය ඕනෑම බූරුවෙකුට සිදු කළ හැකි දෙයකි.

ආදරණීය දෙව්මි සහෝදරිය විසින් විශාල ටොක්කක් අරුම පුදුම රටක වෙසෙන පුරවැසියන්ගේ ඉහ මොළ වලට ඇන ඇත. එකී වේදනාවෙන් බැට කන පුද්ගලයින් ඇයට වත්මනෙහි නොයෙක් අයුරින් බැන වැදුන ද ඇය දුන් අවබෝධය වෙනුවෙන් මා ඇයට ගරු කරමි. මන්ද එවැනි අවබෝධයක් මා හට කිසිවෙකුගෙන් ලැබෙන්නේ ද නැත, එමෙන්ම මා අතින් එම වරද නැවත සිදුවන්නේ ද නැත.

නොයෙක් මාධ්‍යයන් අතින් ද, නොයෙක් පුද්ගලයින් අතින්  ද ඇයගේ මරණය ඇසුරෙන්  ලබාදුන් විශ්ලේෂණයන්   තුළ කිසිදු වරදක් නැත. දෙව්මි සිය දිවි හානි කරගත් අයෙකු නොවුවා කියා ඒවා ලැජ්ජාවට කරුණක් නොවේ. මන්ද මේ රටේ ප්‍රේමය නිසා සිය දිවි හානිකරගත් පුද්ගලයින් බොහෝ ය. සිය දිවි හානි කරගන්නට සිටින පුද්ගලයින් ද බොහෝ ය. ඔවුන් ඒවා ඇසුරින් ජීවිතය පවත්වා ගනිතැයි මා විශ්වාස කරමි.
කෙටියෙන් පවසනවානම් අමු චයිනිස් ජංගම දුරකතනයක පෙට්ටියකට ඇපල් වර්ගයේ දුරකතනයක් තිබුණා කියා ඇපල් දුරකතනයේ වැරද්දක් නැත. මෙහි චයිනීස් පෙට්ටිය වන්නේ දෙව්මි ය. ඇපල් වර්ගයේ දුරකතනය වන්නේ අන්තර්ගතයයි. පෙට්ටිය කුමක් වුව, ඇතුළේ ඇත්තේ තමාට වැදගත් දෙයක් නම් එය තමන්ගේ ජීවිතයට ඈදා ගැනීම කළ යුතුය.

එමෙන්ම ජීවත්වන ඇයව නොමරන්න. ඔබ කිසිවෙකුට කිසිදු දින බොරුවක් නොකළ පරම සුචරිතවාදී පුද්ගලයෙකු නොවේ. ඔබ සිල්වතෙක් ද නොවේ. සියළු දෙනා තමාට ඇවැසි තැන බොරු කරයි. බොරුව පාලනය කළ හැක්කක් මිස, නොකළ හැක්කක් ද නොවේ. එසේනම් ඇයගේ බොරුවට ඔබ රැවටුණා යැයි කියමින් ඇයට ශාප කිරීම විහිළුවකි.

දෙව්මි පෙරේරා වැනි බොරුව ප්‍රචාරය කරමින් සිටින අයට මෙය ඉදිරිපත් කරමි.

මා හොඳින් දන්නා දෙදෙනෙක් මීට වසර කිහිපයකට කළින් පෙම් කළෝය. ඔවුන්ගේ ප්‍රේමය කොතරම් ඔවුන්ට දැනුනේ ද යත් ඔවුන් දෙදෙනාට ඔවුන් නොමැතිව සිටීමට නොහැකි විය. සෑම දිනකම පාහේ මුණ ගැසුණ ඔවුන් ආදරයෙන් මුසපත් වී නැවත වෙන් වී ගියෝය. මතු දින හමුවන වගට වූ පොරොන්දුවෙන් වෙන් වෙන ඔවුන්ට එම තාවකාලික වෙන්වීම පවා දැනුණේ ඉමහත් වේදනාවක් ලෙසිණි.
කල් ගතවෙන විට ආදරය ද මෝරා වැඩෙන්නට විණි. සෑම පෙම් කතාවකට මෙන් ඔවුන්ගේ පෙම් කතාවේ ද හිඩැස් තිබු අතර, එම ගැටළු ඔවුන් විසඳා ගත්තෝය. එහෙත් ඔවුන්ට දැනුණු සුළු ගැටළුවකදී පවා ප්‍රශ්නය බේරුම් කර දීමට  පිටස්තරයෙක් නොසිටි නිසාවෙන් වේදනාව ඔවුන් වසා ගත්තේ ය. සුළු ගැටළුවක් පවා දිගුකල් විසඳුමක් නොමැතිව ඔවුන් තුළ වේදනාව තව තවත් වඩවමින් පවතින්නට විණි.
එවැනි ගැටළුවක් ඔවුන් තුළ ඇති විය. ප්‍රශ්නය විසඳා ගැනීමට අවස්ථාවක් නොලද ඔවුන් වේදනාවෙන්ම වෙන් වී ගියෝය. එදින රාත්‍රියේ දෙදෙනාම සිටියේ එකිනෙකා පිලිබඳ ඇතිකරගත් වේදනාවෙන් යුතුවය. පෙම්වතාට දුරකථන ඇමතුමක් ලැබිණි.

“.. හෙලෝ..”
“.. හෙලෝ මේ.. ඔයා මේක කිව්වා කියලා කලබල වෙන්න එපා.. කලබල වෙන්නේ නැතුව අහගෙන ඉන්න..”

“.. මොකක්ද..? ඔයා කවුද..?..” පෙම්වතා ඇමතුමට පිළිතුරු ලබාදුන්නේ කැළඹුනු සිතිණි. අනෙක් පසෙන් ඇසුණු හඬත් පපුවේ ගැස්මත් ඔහුට හොඳාකාරව ශ්‍රවණය විය.
“.. සඳුනි, වහබීල.. මම දැන් හොස්පිටල් එකේ ඉන්නේ.. ගොඩක් අමාරු වුණා.. එයා නැති වුණා.. අපිට බේරාගන්න බැරි වුණා..”

ඔහු සංවේදී පුද්ගලයෙකි. ඔහුට වේදනාව ඉවසාගත නොහැකි විය. ඇය මියැදුණු බව ඇසුණු මොහොතේ දුරකථනය බිම අත හැරිණි. ඔහු ඒ පිළිබඳව නොතකා, තම සයනය මත ඇද වැටුණේය. ඔහුට කෑ ගසා හඬන්නට සිත් විණි. එහෙත් ඔහුගේ හැඬුම් අසන්නට හෝ ඔහු ජීවත්වන බෝඩින් කාමරයේ නැත. අතට අසු වූ තම පොරවනය ගුලිකරගත් හෙතෙම ඉහළ බාල්කයට පොරවනය දමා බෙල්ල වැල දා ගත්තේ ය.

පෙම්වතිය මේ පිළිබඳව කිසිවක් නොත්තා ය. ඇය සිටියේ තම පවුලේ අය සමඟ සාදයක සතුටු සාමිච්චියේ යෙදෙමින් ය. ඇයට සිය දුරකථනය එම ස්ථානයට රැගෙන ඒමට අමතකව තිබිණි. ඇයට සාදයක සිටියද ඔහුට ඇමතුමක් ගෙන බලන්නට සිත් වූ වාරයන් බොහෝ ය. එහෙත් දෛවයේ සරදමකට එයට ඉඩක් නොලැබුණි.
වසබී සිය දිවි හානි කරගත්තා යැයි කියූ පෙම්වතිය නිසා ගෙල වැල ලාගත් පෙම්වතාගේ දේහය පසුවදා බෝඩින් කාමරයේදී සොයා ගැනින.

 එය තවත් එක්  කාලකන්නියෙකුගේ බොරුවක් නිසා සිදු වූ සත්‍යය සිදුවීමකි. මා කිසිවිටක බොරුව සාදාරනීකරණය නොකරමි. එහෙත් යම් ප්‍රකාශයක් හෝ සිද්ධියක් සත්‍යය හෝ අසත්‍යය යන්න තීරණය කිරීම ඇත්තේ ඔබ තුළ ය. එය ඔබට ලැබෙන නිදහස් අයිතිවාසිකමකි. පෙනෙන්නට ඇති දෙයට වඩා, හරය තුළ ඇත්තේ සත්‍යය ය බව අපට දෙව්මි ලා ඒත්තු ගැන්වූවා ය. ඒ පිළිබඳව සළකා ඇය තුළින් ලැබූ අවබෝධය නිසාත්, මා කිසි දින බොරුවක් නොකළ පරම සුචරිතවාදියෙකු නොවන නිසාත්, එතෙක් මෙතෙක් අනවබෝධයෙන් නොලියු මා වැනි අයෙකු හැඟීම් වලට වහලෙකු කරගනිමින් ලියා පළ එකී සිද්ධියත්, මා විසින්ම මා රවටා ගත් එම සිද්ධියත් නිසාවෙන් නැවත එවැනි වැරද්දක් සිදු නොවීමට ඉගැන්වූ පාඩම නිසාත් මා ඇයට ගරු කරමි.
ඉඳින්, ශ්‍රී ලාංකික පුරවැසියන්ට පාඩමක් ඉගැන්වූ දෙව්මිට ස්තුතිය. මාධ්‍යය අදින් පසු කිසිවිටක සමාජ අඩවි වලින් පුවත් මවමින්, සත්‍යය ගැන පුරසාරම් දෙඩීමෙන් වළකිනු ඇත.







Share on Google Plus

About Unknown

0 අදහස්:

Post a Comment

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..