මුස්ලිම් එවුනුත් දැන් පන්සල් යනවා බ්‍රෝ !

එදින  මා  බකුණාවල  පන්සල්  භූමියට  යන්නේ  පෞද්ගලික  කටයුත්තකට ය. එහෙත් මා පෞද්ගලික කටයුත්ත බැහැර කර පන්සල් භූමියේ වූ  චෛත්‍යය  අසල  මදක්  නැවතුනෙමි. මන්ද  එහි  සිටින  බලු කුක්කන් සමූහයක් චෛත්‍ය මලුව පුරා  දුව පනිමින් කෙළිදෙලින් පසුවෙයි. මා  ඔවුන්ගේ නිදහස  හා  ප්‍රීතිය  දැක ඊර්ශ්‍යයා සහගතව ඔවුන්  අතරට  තවත්  කිට්ටු  වූවෙමි. එහි  වූ බලු කුක්කන්ගෙන් කීප දෙනෙක් මා දැක බියෙන්  පලා ගිය අතර ඉතිරි  වූ පුංචි පැටියෙක් මා දෙස බලා  දෑස් විශාල කරමින් බලන්නට වූයේය. මා ඔහුගේ  හිස අත ගාමින් දෙයතින් අල්ලා වඩා ගතිමි. බලු කුක්කා ඉමහත් වූ ස්නේහයෙන්  යුතුව මා ලෙවකන්නට මාන  බලයි. මගේ දෙයත පුරා ඔහුගේ කෙළ ගෑවීමත් ඒ අවසරයෙන්  මා දෙසට චෛත්‍යය මලුව අමදිමින්  සිටි  උපාසක අම්මාගේ  ආගමනයත් සිදු විණි.

“.. දරුවෝ බලු කෙල හොඳ නැහැ. ඔවුන්ට මොන මොන ලෙඩ තියෙනවද දන්නේ නැහැ.. ඔය පන්සලට ගෙනත් දාපු බල්ලෝ වගයක්..”
“.. ලෙඩ කියන ඒවා අපි කාටත් තියෙනවා නේ ඉතිං..”

මා සිනාසෙමින් ඇයට පැවසුවෙමි. මා සමඟ පැමිණි හිතවත් මිත්‍රයා අහලකවත් නැත. බොහෝවිට ඔහු ලැඟුම් ගේ දෙසට පිය මනින්නට ඇත. මා මඟ නැවතුන බව ඔහු නොදන්නවා විය හැකිය.

“.. හාමුදුරුවෝ නැත්ද..?..”



චෛත්‍යය මළුව අමදිමින් සිතුවිලි දැහැනක පහස විඳින උපාස අම්මා අමතමින් මා ඇසුවෙමි. ඇය නින්දෙන් අවදිවූ අයෙක් මෙන් මා දෙස බලමින් ඉදල තුරුළු කර ගත්තා ය.

“.. හාමුදුරුවෝ නම් ඉන්නවා. අද සෙනග ගොඩ ඔන්න.. කිසිම ඉස්පාසුවක්  නැහැ...”
“.. අද හම්බෙන්න බැරි වෙයි ද..?..”

“.. පුළුවන් වෙයි මම හිතන්නේ. මෙතැන බල්ලෝ හුරතල් කරොත් නම් හම්බෙන්න ලැබෙන්නේ නැහැ ඔන්න..”

ඇය අවඥාවෙන් මෙන් දසන් විදහා පාමින් මා වෙත දමා ගැසූ වාග් ප්‍රහාරය හමුවේ මා විලියෙන් ඇඹරි ගියෙමි. තවමත් මා සුරතේ සුව විඳින බලු කුක්කා දෙස බලා, ඔහුව සියුම් වැලි තලය මත තබමින් නැවත වරක් හිස අතගාමින් ලැඟුම් ගෙය දෙසට පියවර තබන්නට වූයෙමි.

ලැඟුම් ගෙය දොරකඩට වී හිඳ ඔත්තු සොයන්නෙකු මෙන් එබෙමින් ද වටපිට බලමින්ද සිටින මාගේ මිත්‍රයා දැක සිනහවක් පහලවුව ද පන්සල් භූමියක විශේෂයෙන් ස්වාමීන් වහන්සේ නමක් සිටින ස්ථානයක එසේ හැසිරීම අශෝබන යැයි සිතුවිල්ලක් ඇතිවීමෙන් සිනහව ක්‍ෂණයෙන් පහව ගියේය.

“.. මොකක්ද යකෝ ඔය කරන විකාර වැඩේ.. එක්කෝ ඇතුළට යමන්.. නැත්නම් මෙතැන එක විදියකට හිටපන්..”
“.. මම උඹ එනකං හිටියේ.. කොහෙද උඹ අතුරුදහන් වුණේ.. අර බලපන්..”

“.. කෝ මොනවද..? ..”
“.. බලපන්කො..”

“.. ඇයි හාමුදුරුවෝ අඹුවක් අරගෙන ද උඹ හොරෙන් එබෙන්නේ..”
“.. ඊට වඩා මට මේක පුදුමයක් බං.. හොරෙන්ම බලපන්..”

මා උළුවස්සෙන් ලැඟුම් ගෙයට ඇතුළුවන්නට පියවරක් තබනවාත්ම මිත්‍රයා දෑතින් ඇද මා වළක්වන්නට විය. මා ඔහු දවාලන බැල්මෙන් බලා නැවත පසුපසට වූයෙමි.

“.. තොට පිස්සුද යකෝ..”
“.. උඹ ඇතුලට යනවා කියන්නේ මාත්  එනවා. එතකොට සමහරවිට මම රස කර කර බලන දේ මට නැති වෙන්න පුළුවන්, උඹ ඔතන ගිහින් හාමුදුරුවෝ එක්ක කතාවට වැටුණාම.. ඒ හින්දා, මම උඹට කලින්ම දෙයක් කියනවා.. මට හරි සතුටුයි බං.. උඹ කියන්නේ මට දැනෙනවා පුදුමාකාර සතුටක්..”

“.. නිහාල් අයියේ, උඹ මට නොදී ගුලි කෑවා  ද..? ඇයි බං.. උඹ කොයි වෙලාවේ ද කෑවේ..”
“..නෙදකින්  තෝ  මැරියන්..”

මා සිනාසෙමින් ලැඟුම් ගෙට ඇතුල් වූයෙමි. බකුනාවල බෝධිරුක්ඛාරාමාධිපති ස්වාමින් වහන්සේ ස්වකීය හාන්සි පුටුවේ වැතිර සිටි සේක. උන් වහන්සේ පාමුළ මිනිසුන් සතර දෙනෙකි. දෙදෙනෙක් ගැහැණුන් ය. දෙදෙනෙක් පිරිමින් ය. ඔවුන් වාඩි වී සිටින්නේ බිම එළු පැදුරු කඩමල්ලක් මතය. විහාරාධිපති හිමියන් අප දැක සිනාසෙමින් වාඩිවන ලෙස අසුන් පෙන්වන්නට වූ සේක. ශාලාවක් වැනි ලැඟුම් ගෙය තුළ බිත්තියට මායිම්ව එළා තිබු පැදුරක් මත මා හිඳ ගතිමි. එහෙත් මා තවමත් උන්වහන්සේ හා උන්වහන්සේගේ පය පාමුළ වාඩි වී සිටින මිනිසුන්ගෙන් නෙත ඉවතට නොගතිමි. මන්ද එවැනි මනරම් දර්ශනයක් මා මීට පෙර දැක නැත. එවැනි ශෝබන වූ දර්ශනයක් මා මීට පෙර සිතුවිල්ලකින් හෝ අත්විඳ නැත.
උන් වහන්සේ බුදු ගුණ දේශනා කරමින්  උන්වහන්සේ ඉදිරියේ සිටින ගැහැණියකගේ හිස මත අත තබාගෙන ය. ගතවූ ඊළඟ මිනිත්තු කිහිපයේ අපට ලැබුණේ නෙස්ටමෝල්ට් පිරවූ කෝප්ප දෙකකි. සංග්‍රහයට ස්තුති කළ අප තවමත් බලා සිටින්නේ අප ඉදිරියේ සිදුවන මනරම් දර්ශනය දෙස ය.
හිතවත් පාඨකය,

මා මෙය හෙළි කල යුතුය. නැතිනම් ඔබ මෙය තව දුරටත් කියවන්නේ අපහසුවෙන් බව මා තේරුම් ගෙන ඇත. ඔබ දන්නවා ද අප ඉදිරියේ සිටින්නේ මුස්ලිම්වරුන්  පිරිසක් බව, ඔවුන් බුද්ධ පුත්‍රයෙකු ඉදිරියේ සිය දුක් කම් කටළු දිග හරින බව... දෙවියනි, මේ සම්බුද්ධ දර්ශනය සියළු වේදනා නිවන තැනක් යන වගට ඔබ මා හට ඒත්තු ගන්වා ඇත.

උක්ත කතාව මෙහි ප්‍රස්ථාව වනු ඇත.




හිතවත් සහෘදය,
මා බොහෝ විට බොහෝ  බෞද්ධයින් දකින්නේ තමන්ගේ පඩයට ආදරය කරමින්, තමන්ගේ අධෝ වාතය තුරුළු කරගත් මිනිසුන් පිරිසක් ලෙසය. ඥාණසාර හිමියන් විසින් වවන ලද අන්තවාද විෂ බීජය තුළ ඇත්තේ එවැනි මතවාදයක් බව පැවසීම අනවශ්‍යය යැයි හැඟෙ. එය ඔබගේ බුද්ධියට ගෝචර වනු ඇත. සිංහල බෞද්ධයා නැමැති චරිතය තනිව ගත් කළ ඔහු තුළ මුස්ලිම්වරුන් තුළ ඇත්තේ වෛරයකි. එකී වෛරී සහගත හැඟීම ඇති කරවන ලද්දේ දේශපාලන තක්කඩින් විසින් ය. බහුතරයක් සිංහල බෞද්ධයින් සිටින රටක, සිංහල බෞද්ධයින්ට අරගලයක් ඇතැයි යැයි මවා දක්වමින් ඔවුන් පටු වාසි ලබයි. ඔවුන්ට ආගමික දර්ශනයක් විකුණා කන්නට හැකිය. එය රක්‍ෂා කරනවා යැයි කියමින් පුරවැසියාගේ විශ්වාසය දිනා ගත හැකිය. එය රක්‍ෂා කරන්නට  නම්, එයට පිටස්තර බලපෑමක් ඇතැයි යන්න මැවිය යුතුය.

බුද්ධ දර්ශනයේ අහිංසක ප්‍රතිපත්තිය තුළ අනෙකා පෙලා දැමීම, ඔවුන්ගේ ආගමික විශ්වාස වලට ඇඟිල්ලෙන් ඇනීම ඇකැප ය. බුද්ධ දර්ශනය තුළ සත්‍යය ඇත. එය තේරුම් ගැනීමට නම් මිනිසා මනසින් උසස් විය යුතුය. එය බුද්ධිමතුන්ගේ දර්ශනයක් මිස, අඳ බාල මන්ද මානසික පුද්ගලයින්ට අයිති දර්ශනයක් නොවන බව ඔබ පෞද්ගලිකව තේරුම් ගත යුතු කරුණකි.

සිංහල හා මුස්ලිම් ජාතින් අතර ඇත්තේ සීතල යුද්ධයකි. එකී සීතල යුද්ධය ඇති කරන්නේ බුද්ධ දර්ශනය වවාගෙන කන්නට උත්සාහ කරන උම්මන්තකයින් පිරිසක් ය. ඔවුන් අන්තවාදය රෝපණය කරන්නේ ඒ නිසාය. ඔවුන්ට එයින් ලැබිය හැකි ලාබ බොහෝය.
එහෙත් එය එසේ නොවේ. මුස්ලිම් වරුන් ද පන්සල වෙත යයි. සිංහල බෞද්ධයින් ද පල්ලිය වෙත ගමන් කරයි. අප දෙවර්ගයක් නොව, මානව හැඟීම් ජනිත වන මනුක්ෂ කුලකයේ එවුන් ය. ඔවුන්ට අසරණකම, වේදනාව දැනෙනවාක් මෙන් අපටද එය නොවඩුව දැනේ. ඔවුන් විඳින වේදනාව ද අප විඳින වේදනාව ද දෙවර්ගයක් නොව එකකි. ඔවුන් හුස්ම ගන්නේ ද අප හුස්ම ගන්නේ ද එකම පරිසරයෙන් ය. එසේ නම් අප දෙවර්ගයක් නොව එකම වර්ගයක මිනිසුන් ය. ඔවුන් හා අප අතර ඇති වෙනස්කම වන්නේ භාෂාව පමණකි. ඔවුන්ගේ ස්වර තන්ත්‍ර කම්පනය වන ශබ්ධ තරංගය හා අපගේ ස්වර තන්ත්‍ර කම්පනය වන තරංග ය පමණක් වෙනස් ය.

බුද්ධ ගුණයෙන් පිරිත් වූ මුස්ලිම් ජාතියට දාව උපත ලද ඇය, තම රෝගයන් මැඩ පවත්වා ගැනීමේ අරමුණින් ආධ්‍යාත්මික සුවය සලසාගෙන යන්නට ගියා ය. එහෙත් අපගේ බෞද්ධ හිතවතුන් තවමත් එතැන ය. බෞද්ධයින් තම අගනා දර්ශනය රකින පන්සල් භූමිය භාවිතා කරන්නේ සත්ව අනාථාගාරයක් ලෙසය. ස්වාමීන් වහන්සේ බල්ලන්  බළලුන් රැක බලා ගන්නා අයෙකු ලෙස බෞද්ධයින් විසින් ලෝකයටම පෙන්වා අවසන් ය. එසේ නොවුණි නම් මා උක්ත පැවසුවාක් මෙන් බලු පැටවෙකු තුරුළු කරගෙන සුරතල් කරන්නට මා හට පන්සල් භූමියේ කිසිදු දිනයකදී ඉඩක් ලැබෙන්නේ නැත.

බෞද්ධයින් සිතන්නේ මෙළෙස ය. පන්සලට දානය ලැබෙන්නේ නොමිලයේ ය. නොමිලයේ පිස දුන් බත් පතේ නාමයෙන් සියළු කුණු ගොඩක්ම පන්සලේ විහාරාධිපති හිමියන් දායකයින්ගෙන් බාරගත යුතුව ඇත. ඒවා රැගෙන එන්නේ ද රාත්‍රීයෙදී හොරෙන්ම ය. කාටවත් නොපෙනෙන්නට ය. පෝර බෑගයක දමා පන්සලේ ගේට්ටුව ඉදිරියේ හලා යන්නේ කුණු ගොඩක් දමා යන්නාක් මෙනි. බෞද්ධයා තම දර්ශනයට සළකන්නේ එලසින් ය.

සතර පෝයකදී එක් දිනක්වත් පන්සලේ හිමිනම අපවත්වුවා ද ජීවත්වනවා ද යන්නවත් සොයා බැලීමට නොයෙන බෞද්ධයා විසින් පන්සලට මායිම් වූ තැනක අටවා ඇති නොපෙනෙන කතරගම දෙවියන් බැහැ දැකීමට යයි. කතරගම දෙවියන් ඉදිරියට යන්නේ ද තුන් වරුවක් පේවී, කහ දියරෙන් ස්නානය කොට, පූජා වට්ටිය මුදුනේ මොණර කොළයක්  ද තබාගෙන ය. ඒ අතින් බෞද්ධයා හරි වෙනස් ය.

පන්සල් මායිමට හෝ නොගියද බෞද්ධයා අතින් පන්සලේ වැඩ වසන හිමි නම පිලිබඳ සොයා බැලීම නොවඩුව සිදු වේ. ඒ අන් කවර කාරණයක් පිලිබඳ හෝ නොව, උන් වහන්සේ රාත්‍රියට වළඳනවා ද නැත්ද යන්න ය. නැතහොත් පිරිකර විකුණා දැමුවා ද යන්න ය. නැතිනම් දෙදිනකට පෙර විශ්ව විද්‍යාලයේ විභාගයට පිරිත් නූලක් බැඳ ගැනීමට පැමිණි සයිමාගේ දුව කුසුමාවතී කුමන හේතුවක් මත හිමි නම සමඟ බෝ මළුවේ සිනාසෙමින් සිටියා ද යන්න ය. ඒ අතින් ද බෞද්ධයා හරි  වෙනස් ය.

උපාසක අම්මලා ද හරි වෙනස් ය. ඔවුන් සිල් සමාදන් වනවා කියා කරන්නේ කොතක් පිරෙන්නට බත් කිස කුස පුරවාගෙන භාවනාවෙන් ගොර ඇදීම ය. ලිඳ ළඟ තිබෙන වනීතා සංගමයට වඩා පෝය දින සිල් මඩුව තුළ කතා බහ ඔවුන්ට රසවත් ය. සියළු පුවත් ඇත්තේ එහිය. කිසිම දිනක තාරුණ්‍යය එහි නියෝජනය වන්නේ නැත. විසි එක්වන සියවසේ තාරුණ්‍යයට පෝය දින පන්සල අකැප ය. සිල් සමාදන් වීම ඇකැප ය. එහෙත් සංසලා පන්සලට එනවා නම් කැප ය. අහිංසා දහම් පාසල් යනවා නම් පන්සල කැප ය.

ඝෝර කටුක සංසාරයේ භිය දකින්නා බුද්ධ දර්ශනයේ අනුගාමිකයෙක් වේ. ඔවුන් නියම බෞද්ධයින් ය. බුද්ධ දර්ශනයෙන් ජීවිතය එළි පෙහෙළි කරගන්නා එවුන් ය. බුදුන් වහන්සේ දෙසු ධර්මයේ සරණ යෑමට හෝ එකී ධර්මය පරිශීලනය කිරීමට අයිතිය ඇත්තේ සිංහල බෞද්ධයින්ට පමණක් නොවේ. එය පල්ලියේ පියතුමාට ද කෝවිලේ පූසාරිට ද අයිතිය. ගොවි කුළයේ එවුන්ට ද රදා කුලයේ එකාටද එහි සමාන අයිතිවාසිකම් ඇත. එසේ නම් සිංහල බෞද්ධයින් කතා කරන්නේ තමාට සින්නකර ලියා නොදුන් දර්ශනයක් ගැන ය.

“.. කෙලවෙලා  හු**.. බුදු දහම වල පල්ලේ.. දිනු දේශය රැක ගනිව්.. කැ* හම්බයා අපිට යටින් ගේම ගහනවා..” යැයි  කියමින් ත්‍රිපිටකය බදාගන්නේ සියල්ල අත ඇර සත්‍යය දකින්නයි කියූ දර්ශනයක ආභාෂය මැද ය. විහිළුව ද එයය. අශෝබනත්වය ද එයම ය. තිස් තුන් කෝටියක් රකින දර්ශනයකට, උපරිම උස අඩි හයක් ඇති සිංහල ස්වදේශිකයින් පිරිසක් කර තබාගෙන රකිනවා යැයි කියමින් දෙස් දෙවොල් තබයි.

බොහෝ කඩපිල් වල ව්‍යාපාරිකයින් සැමටම පෙනෙන සේ “.. මෙය බුදුන්ගේ දේශය..” යැයි කියා ගසාගෙන ඇත. හිඟන්නෙක් ගොඩ වැදුන විට ද හොරිකඩ බල්ලෙක් කුසගින්නට හොම්බ පෙවූ විටද අම්මා අප්පා ද ජාතකය ද මතක් කරමින් බැන ගල් මුල් ගසන්නේ ද බුදුන්ගේ දේශයේ මානසික පිස්සන් ය.

හිතවත් පාඨකය,

අප බොහෝ විට අනුන්ගේ ඇහේ කොහු කෙන්ද ගැන දුක් වන්නෙමු.  අපගේ ඇස් වල ඇති පොල් පරාල ගැන නොතකන්නෙමු. අප බොහෝ ආගම් විවේචනය කර තිබෙමු. එහෙත් අපගේ දර්ශනයට අප අතින් සිදු වූ කිසිවක් නැත. අඩුම තරමේ, අප කිසිම දිනයක අපගේ දර්ශනය අනුව ජීවිතය පවත්වාගෙන යා යුතු යැයි කියා  හෝ සිතා නැත. පාරම්පරික බෞද්ධයින් මිස, අප තෙරුවන සරණ ගිය සැබෑ බෞද්ධයින් නොවන්නෙමු. සැබෑ බෞද්ධයෙකු කිසිම දින අනෙකා වේදනාවට පත් කරන්නේ නැත. ඔවුන්ට ඇඟිල්ලෙන් අනිමින් විවේචනය කරන්නේ ද නැත. සත්‍යය තමා ඇසුරින් පෙන්වා අසත්‍යය දුරලන්නට ඔවුන් ක්‍රියා කරයි.
නොදුරු දිනක, සැබෑ බෞද්ධයින් සිංහල නොවන ජාතියකින් බිහි විය හැකිය. ඔවුන් බුද්ධ දර්ශනයෙන් ජීවිතය එළි පෙහෙළි කර ගන්නවා ඇත. එහෙත් බෞද්ධයින් එදිනට ද මෙය මගේ ආගම, මෙය කාටවත් අයිති නැතැයි කියමින් යුද්ධ කිරීමට ද බැරි නැත.





| සඳරු 
Share on Google Plus

About Unknown

1 අදහස්:

  1. උබේ ඔක්කොමත් හරි සංහිදියාව ගැන නම් කියන්න එන්න එපා.. මොකද අපේ එවා උන් අත්පත්කරගත්තේ සංහිදියාව නිසාද...? දේශපාලනික දේ වැඩක් නෑ. .. අපේ උරුමයන් අපිට ඉදිරි පරපුරට පෙන්නන්න ඔනේ ෆෝටෝ වලින් නොවේ බං .. !

    ReplyDelete

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..