ඇත්තටම, අප්‍රේල් පළවෙනිදා මෝඩයෙක්ගේ දවසක් !



එදත් අද වගේම දවසක්.. හරියටම අප්‍රේල් පළවෙනිදා.. මට හිතුණා උදේම මධු ට විහිළුවක් කරන්න. මම මධුට මැසේජ් එකක් දැම්මා..
".. මධු, ඔයා මේක අහලා මොනවා මම ගැන හිතයිද දන්නේ නැහැ.. ඒත්, මගේ හිතට ඉවසීමක් නැහැ මේ ගැන ඔයාට කියනකං.. ඔයා දන්නවනම්, මම මේක හිතේ තියාගෙන කොච්චර දුක් විඳිනවද කියලා.. ඔයා දන්නවානම් මට හරියට ඇස් දෙක පියාගෙන ඉන්න බෑ ඔයාව මතක් වෙනවා කියලා..
ඔයා දන්නවනම් මම ඔයා දැක්ක දවසේ ඉඳන් ආදරය කරනවා කියලා.. හ්ම්ම්.. ඔයා දැන් මට බනිද දන්නේ නැහැ.. කොච්චර බැන්නත් කමක් නැහැ.. මම ඔයාට ගොඩක් ආදරෙයි... ඔයා මට කැමැති වෙන්නේ නැහැ කියලා දන්නවා.. ඒත්, ඒකට කමක් නැහැ.. ඔයා දන්නවානේ ඔයාට සඳරු ආදරය කරනවා කියලා.. ඒ මට හොඳටම ඇති.. ඔයා මට ආදරය නොකලට කමක් නැහැ.. මම ඔයාට හැමදාම ආදරය කරනවා කියලා හිතේ තියාගත්තාම හොඳටම ඇති.."
මම මැසේජ් එක send කරලා ලොකු විහිළුවක් කළා වගේ තනියම හිනා වුණා.. ඒත් මට රිප්ලයි එකක් නම් ආවේ නැහැ. මමත් ඒ ගැන වැඩිය හිතුවේ නැහැ. මොකද ඒක තමයි බොරු කාරයාගේ දවස.. මෝඩයාගේ දවස.. මට තව විහිලු කරන්න අය හිටියා..
මම කලින්ම නිදා ගන්නවා.. ගොඩක් වෙලාවට, රෑ 9ට විතර මම හොඳ නින්දක් ගහන්න සුදානම් වෙන වෙලාවක්..
මට රෑ වෙලා කෝල් එකක් ආව.. හරියටම රෑ 10ට විතර.. මම ඒ වෙලාවේ හොඳටම නිදිමතේ වෙන්න ඇති හිටියේ.. බාගෙට ඇස් ඇරලා ෆෝන් එක දිහාවත් බලන්නේ නැතුව කනේ තියා ගත්තා..

".. හෙලෝ.."
".. නිදිකුම්බරයා නිදි ද.. නැගිටලා ඉන්නවකෝ මේ අපි වගේ.."
".. ඇයි නංගි අනෝතත්ත විල කැළඹීලා ද..? පව් නොදී ඉන්නවකෝ.."
".. සර් කෝල් කරා.."
".. මොන සර් ද..? කවුද මේ රෑ මේ.."
".. මම මධු යකෝ.. හීනෙන් ද කතා කරන්නේ.."
".. ඇයි බං නින්ද කඩන්නේ.. මොන පවක් ද මේ උඹ කරගන්නේ.. කලින් කෝල් එකක් ගන්න දන්නේ නැත්ද.. "
".. සර් කතා කළා.. හෙට 11ට ක්ලාස් කියන්න කිව්වා.. මගේ නෝට් එක අරගෙන කලින් එන්න.. මගේ ෆෝන් එක කැඩිලා.. හෙට උදේ හදාගන්න ඕනේ.. එපා වෙනවා අප්පා.. මේ තාත්ති කෑ ගහනවා, මම තියනවා හරිද..?.. ගුඩ් නයිට් නිදි කුම්බරස්.."
මම එහෙම්මම ඇස් පියා ගත්තා.. තප්පර තුනක් ගියේ නැහැ ඔටෝ ඇස් ඇරිලා බෙඩ් ශීට් එක විසික්කා කරලා ඇඳ උඩ ඉන්ද වුණා..
".. ෆෝන් එක කැඩිලා.. හෙට හදාගන්නවා.."
මට එයාගේ හඬ ආයේ ආයෙම ඇහෙන්න ගත්තා.. ඒ කියන්නේ මගේ මැසේජ් එක.. දෙයියනේ.. මට එච්චරයි කියවුණේ ගොළු වුණා වගේ රෑ එළිවෙනකන් මම හිටියේ ඇහැරිලා..
අප්‍රේල් දෙවෙනිදාට එළි වුණා.. මම හිතාමතාම ක්ලාස් ගියේ පරක්කු වෙලා.. මම හිමීන් සීරුවේ ක්ලාස් එකට ඇවිදින් පිටිපස්සේ පෝලිමෙන් ඉඳ ගද්දිම....
".. සඳරු, මොකද නිකං .. මේ ඉස්සරහට එනවා. ඉඩ තියෙනවා.."
".. අනේ බෑ සර්.. මෙහෙම හොඳයි.. අනික කෙල්ලෝ ඇලජික් මට.. එපා වෙලා තියෙන්නේ.."
ඇඟ පතට නොදැනෙන්නේ මම එහෙම කිව්වා.. සර් උපැස් යුවල යටින් මගේ දිහා බලලා මූණ පුළුටු කරද්දියි මතක් වුණේ සර් කාරයා කාන්තා අයිතිවාසිකම් ගැන දොඩවන ඩයල් එකක් විත්තිය..
".. මෙහෙ එනවා. තමුසෙගෙ යාළුවා එක්ක වෙනදා ඉස්සරහා ඉන්නේ.. අද මොකද..? .. ඉස්සරට ඇවිදින් අහගෙන ඉන්නවා.."
මම ඉබ්බෙක් වගේ ඉස්සරහට ගෑටුවා.. මධු මගේ දිහා බලන්නේවත් නැතුව මට ඉඩ දුන්නා.. මධු පොත දිහා බලාගෙන ඔරවනවා වගේ.. මට ඔරවන්න බැරි හින්දා ද කොහෙද..
වෙනදා මගෙත් එක්ක කියවන කෙල්ල අද සද්දයක්වත් නැහැ.. ඉන්ටර්වල් එකෙත් මට ඔරවපු එක ඇරෙන්න වෙන මුකුත්ම දෙයක් කලේ නැහැ.. අනිත් කෙල්ලොත් එක්ක කුටු කුටු ගගා මොනවදෝ කියවනවා. ඒ කෙල්ලෝ මම දිහා බලාගෙන හිනා වෙනවා..
හවස ක්ලාස් එක ඉවර වුණා.. වෙනදා මධු එක්ක එකට ආපු මම, මධුගේ වෙනස්වීමත් එක්ක තනියම ස්ටෑන්ඩ් එකට ඇවිදින් බස් එහෙකට ගොඩ වුණා..
ටික වෙලාවකින් මධුත් බස් එකේ. මම මධු දිහා බැලුවේ නැහැ.. හැබැයි මධු මගේ ගාවින් ඇවිදින් වාඩි වුණා..
".. ඇයි ඔයා කලින් කිව්වේ නැත්තේ..?.."
මධු මගේ දිහා බලාගෙන හිමීට අහනවා. මට ඇහුනේ නැහැ.. මම කට ඇරගෙන වෙනස් වෙච්ච කෙල්ල දිහා බලාගෙන ඉන්නවා..
".. මොකක්ද කිව්වේ..? ඇහුනේ නැහැ.."
".. ඇයි ඔයා කලින් මේ ගැන කිව්වේ නැත්තේ..?.."
".. මොකක් ගැන ද..?.."
".. මුකුත් නැහැ.."
මම මුකුත්ම කතා කලේ නැහැ. බස් එක යන්න ගත්තා.. මම එලිය දිහා බලාගෙන යනවා.. මධු මගේ දිහා බලාගෙන ඉන්නවා.. මට පුදුම අපහසුවක් දැනුණේ..
".. සඳරු.."
".. මොකක්ද ..?.."
වෙනදා කණට ඇහෙන්න කතා කරන මධු අද හොඳටම වෙනස් වෙලා කියලා තේරුණා.. මම හිතුවේ මේකිට අමු කැවිලා ද කියලාමයි..
".. කන් ඇහෙන්නේ නැත්ද..?.."
".. ඇහෙන්නේ නැති හින්දානේ දෙපාරක් අහන්නේ.."
".. ඔයා කොහොමද මෙච්චර කාලයක් ඉවසගෙන හිටියේ.."
".. මොනවද..?.."
".. ඔයා බයෙන් නේද හිටියේ.."
".. මොකටද..?.."
".. ආඩම්බරකම ද නැත්නම්.. නපුරුකම ද.. කමක් නැහැ.."
මම ගල් ගිල්ලා වගේ මධු දිහා කට ඇරගෙන බලාගෙන.. සමහරවිට ඒ වෙලාවේ බ්රේක් නැති මැස්සෙක් වත් පාත් වුණානම් හයිවේ එකේ යනවා වගේ කෙලින්ම බඩ ඇතුලට ලෑන් කරන්නත් තිබ්බා..
ඔහොම ඔහොම මධු බහින තැනත් ලං වීගෙන ආව.. එකපාරටම මධු මගේ අතින් අල්ලා ගත්තා..
".. සඳරු, මමත් ඔයාට කැමතියි.."
".. හෑ.."
".. මුකුත් කියන්න එපා.. මම දන්නවා, ඔයා දැන් කතා කරන්නේ නැහැ මගෙත් එක්ක.."
".. ඈ.."
".. මම ඔයාට ආදරෙයි.. ඇත්තමයි.. පොඩ්ඩක් නපුරු වුනාට, ආඩම්බර වුනාට ඔයා කෙල්ලෙක් අකැමැති වෙන්න හේතු තියෙන කොල්ලෙක් නෙමෙයි.. කලින් ඇහුවානම් කලින්ම කැමති වෙනවා. මරන්න වටින්නේ ඇයි කලින් ඇහුවේ නැත්තේ කියලා.. මම බහිනවා.. බුදු සරණයි.. පරිස්සමට යන්න.."
මධු මගේ අතත් තුරුළු කරගෙන අතට උම්මා එකකුත් දීලා බැහැලා යනකොට, මම ලෝකේ නැවතිලා වගේ බලාගෙන ඉන්නවා. හරියට කෝමා වෙච්ච මිනිහෙක් වගේ..
අප්‍රේල් පළවෙනිදා යවපු විහිළුව අප්‍රේල් දෙවෙනිදා මධු අතට ගිහිං, සිද්ධ වුණේ වස වැරද්දක් කියලා හිතුණා.. බස් එකේ හිටපු රොයිටර් එකේ වැඩ කරන අක්කා කෙනෙකුයි, බීබීසී එකේ වැඩ කරන ඇන්ටි කෙනෙකුයි ලිඳ ගාව නානකොට බස් එකේ සියලුම දේවල් විකාශනය කරලා තිබ්බ හින්දා දවසක් විතර ගත වෙනකොට අපේ අක්කාගේ ටොකු අනින වේගය වැඩි වුණා..
".. මූට කෙල්ලෙක් ඉන්නවාලු අම්මේ.. මේකා වගේ එකෙකුට කැමැත්ත දුන්න එළදෙන කවුද දන්නේ නැහැ.."
".. අනේ පලයන් වැස්සි යන්න.. උඹ වැඩිය නටන්න හැදුවොත් නවසීලන්තයට අපනයනය කරනවා.. දැනගනින්..."
".. කෙල්ලනම් ලස්සනයි කිව්වේ සෝමා... මටත් කිව්වා.. සීදේවි පාට ලු.."
මට ගෙදර ඉන්න තත්ත්වය එහෙම් පිටින්ම එපා වුණා.. මධු ගැන ගෙදරින් දැන ගත්තා.. මධු කෝල් ගන්න එකත් වැඩි වුණා.. මට ඒ වෙලාවට හිතුනේ අනේ නිකමටවත් ඒ ෆෝන් එක කැඩෙන්නේ නැහැ නේ දැන් කියලයි..
කොහොමහරි මධුයි අපේ අම්මයි මීට් වෙලා කතා බහ කරලා තියෙනවා.. අපේ අම්මත් හෙණ ඕපන් චරිතේ හින්දා මධු එක්ක හොඳට කියවලා.. එදා ඉඳන් මට බෝඩිමක් හොයාගෙන යන තත්ත්වයට ගෙදර පත් වුණා..
මධුගේ ගෙදරින් අපේ ගෙදරට කතා කළා. ගෙවල් වලින් කැමැති වුණා.. මමත් හිත හදාගෙන හිටියා.. වෙන කරන්න දෙයක් තිබ්බෙත් නැහැ. මධු උනත් මට හොඳට ගැලපුණා.. ඕනේ තැනක එක්කන් යන්න පුළුවන් විදියට හිටියා.. මම කළුකුමාරයා වගේ හිටියට, මධු එහෙම පිටින්ම පබාවතී වගේ ඉටි රූපයක්.. එහෙව් රූපයක් අත ඇරලා දාන්නත්, ලැබුණු පිනා චාන්ස් එකට කෙලවගන්නත් මට ඕනේ වුනේ නැහැ. කොහොමහරි මමත් බොක්කෙන්ම ලව් කරන්න අරගෙන..
ඔය කාලේ වෙනකොට තමයි මධු අසනීප වෙන්න ගත්තේ.. මධුට තිබ්බා පපුවේ අමාරුවක්.. එයාට ඒකට බෙහෙත් කරන්න ඉන්දියා යවන්න ඕනේ කිව්වා.. ඉන්දියාවට බැරිනම් ඕනේ තූත්තු කුඩියකට පරිස්සමට ගිහින් එන්න කියලා ගිය අවුරුද්දේ මාර්තු වල මධුට බෙහෙත් කරන්න ඉන්දියා යැව්වා..
මමයි මධුයි ඒ කාලේ පුරාවටම ස්කයිප් එකෙන් වෙබ් කැම් එක හප හප උම්මා දිදී තමයි හිටියේ.. මාර්තු මාසේ අවසාන කාලේ මධු ආයෙම අසනීප වුණා.. එයාට උපරේෂන් එකක් කරන්න ඕනේ කියලා මාර්තු තිහ එයාව ගත්තා.. තිස් එක උපරේෂන් එක ඉවර වුණා.. සිහියක් තිබ්බේ නැහැ..
අප්‍රේල් පළවෙනිදා ආයෙම ආව. මට හිතුණා ආයෙම ගොන් ජෝක් එකක් කරන්න, එයාට අපි දෙන්නා එකතු වෙච්ච හැටි මතක් වෙන්නත් එක්කම කියලා.. මම අප්‍රේල් පළවෙනිදා ලංකාවේ වේලාවෙන් 00.10 පැය වලට මැසේජ් එකක් ටයිප් කරා මධුට..
".. වස්තුවේ, සඳරු අයියා ඇක්සිඩන්ට් වෙලා.. අයි සී යු එකේ ඉන්නේ.. ටිකක් අමාරුයි.. මම එයාගේ අක්කා.."
මම එයාගෙන් කෝල් එකක් එනකන් කට ඇරගෙන ෆෝන් එකට එබිලා බලාගෙන හිටියා.. ඒත් ආවේ නැහැ.. මම කෝල් ගත්තා ආන්ස්වර් කලෙත් නැහැ..
මාර්තු පළවෙනිදා රෑ මම ආයෙම ගත්තා..
".. හෙලෝ බබා.. ඇයි ෆෝන් එක ආන්ස්වර් කරන්නේ නැත්තේ.."
".. පුතේ ඔයාගේ සුදු නංගි අපිව දාලා ගියා.."
මට එතැනින් පස්සේ සිද්ධ වෙච්ච දේවල් ගැන එච්චර ලොකු මතකයක් නැහැ..
මම දාපු මැසේජ් එක මධුට ගිහිං තියෙන්නේ එයාට සිහිය එන වෙලාවටලු.. එයා සිහිය ආපු ගමන් මට කතා කරන්න ඕනේ කියලා ෆෝන් එක ඉල්ලුවාලු.. ඒත් දොස්තර කියලා එයාට දැන්ම කතා කරන්න හොඳ නැහැ වැඩිය කියලා.. ඊට පස්සේ එයා මැසේජ් එක දැකලා.. එයාට ගානක් තිබිලා නැහැ දවස මොකක්ද කියලා.. එයා අඬන්න ගත්තා ලු.. ආයෙම සිහිය නැති වුණා ලු. එයාට දැනිච්ච වේදනාව වැඩිකමට එයාට දරාගන්න බැරි වෙලා.. එයා එහෙමම මාව දාලා ගිහිං..
මම එදා ඉඳන්, කවදාවත්ම කාටවත්ම බොරු කියන්නේ නැහැ.. බොරුවක් කරන්නෙත් නැහැ.. මධුව නැති කරගත්තු පව, වේදනාව හැමදාම මට දැනෙනවා. මම ජීවිත කාලෙම කිසිම කෙනෙක් එක්ක සම්බන්ධකමක් ඇති කරගන්නේ නැතුව තනියම ඉන්න තීරණය කරලත් ඉවරයි..
ඔයාලත් කාටවත්ම බොරුවක් කරන්න එපා..



| සඳරු
Share on Google Plus

About sameer sandaru

1 අදහස්:

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..