තරඟකාරීත්වය, බෙදීම හා වර්ගය

ඉස්සර උඹයි මමයි, 
එක පන්තියේ.. 
මට උඹවත්, 
උඹට මාවත්, 
නිතර දකින්න ඕනේ වුණා... !
ඒ හින්දම, 
අපි දෙන්නා උන්නේ එක ළඟ නෙමෙයි, 
උඹ මට ඉස්සරහ.. 
මම උඹට ඉස්සරහා.. 
උඹේ කෑම එකෙන්, 
බාගයක් මගේ, 
මගේ කෑම එකෙන් 
බාගයක් උඹේ ! 
උඹ ගානෙන් බාගයක් හදද්දී, 
ඉතුරු බාගේ මම හදලා, 
දෙන්නම එකට පෙන්නුවා.. !
අපේ එවුන්, 
අපිට නමක් දුන්නා, 


".. අඹ යාළුවො.."


එක දවසක් ආව.. 
පැහැදිළි අහසක්, 
තණ පිරුණු පිට්ටනියක්, 
එක පෝලිමක, 
එක ළඟ හිටපු, 
උඹ - මම
දෙකට කැඩුවා.. !
මම, 
ගැමුණු ! 
උඹ, 
තිස්ස !
එදා අපිව, 
වෙන්  කරපු  නම  !

ඉස්සරහා දිනුම් කණුවක්, 
හරස් අතට ඇදපු ලණුවක්.. ! 
වේගයෙන් වැටිච්ච හුස්මක්, 
මම උඹව හෙව්වා... !
උඹ මගේ ගාව, 
මම උඹේ ගාව.. 
උඹ ඉස්සරහා බලාගෙන, 
මම උඹ දිහා බලාගෙන,

සැරසේන්.. ! 
එලවේන්.. ! 
යා !

හෙණ ගහනවා ! 
වගේ, හඬක්.. 
උඹ මට කළින් ඉස්සරහට පැන්නා,
මම උඹ ගාවට ආව..
උඹට තිබ්බා එක සැරයක්, 
මගේ දිහා බලන්න.. 
උඹ බලාගෙන හිටියේ ඉස්සරහා..
උඹට ඕනේ කොඩිය, 
ඒත්, වෙන එකෙක් අපිට ඉස්සරහා, 
මම හුස්මක් නිදහස් කරා, 
කුරුල්ලෙක් වගේ, 
කකුල් නිදහස් කළා..
අත්පුඩි හඬ.. !

".. ගැමුණු.. ! ගැමුණු.. ! ගැමුණු.. ! .."

ලණුවත් කඩාගෙන, 
මම ඉස්සරහම, 
උඹ මගේ මූණ දිහාවත් නොබලා, 
පොළවට පයින් ගැහුවා.. !
එක ලකුණයි, 
ගැමුණු නිවාසයට ජය !
උඹ වෙන තැනක, 
මම වෙන තැනක.. !
කල් යද්දී හැමෝම කිව්වේ, 
".. උන් හතුරෝ.."

____ නිවාසාන්තර ක්‍රීඩා _____

| සඳරු
Share on Google Plus

About Unknown

0 අදහස්:

Post a Comment

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..