මාව මතකද ? සේයා කතා කරයි.



ඉතිහාසයේ එක්තරා  දිනක පිරිමියා විසින් නිර්වචනය කළ ගැහැණිය වර්තමානයේ දී නැවතත් අරගලයක් කොට පිරිමියා විසින්ම නිර්වචනය කරන්නට කාලය පැමිණ ඇත. ගැහැණිය යනු කවුරුන් දැයි තේරුම් ගැනීමට නොහැකි වුව ඇය චරිත තුනක එකතුවකි. ඈ මවක් ලෙස උසස් ය. මවක් වන ඈ විටක දියණියකි. දියණියක් පසුකලෙකදී බිරිඳගේ තනතුරු හොබවා නැවත මවක් ලෙස උසස් වේ. එසේනම් පිරිමියෙකු විසින් රැකගත යුතු ගැහැණුන් වර්ග තුනක් සිටී.  මදකට ගැහැණිය අමතක කර දමමු. අප ඇය ඇසුරින් දියණිය නිස්සාරණය කරගත යුතුය. මන්ද මෙකී මාතෘකාවේ මුලසුන දරන්නේ ඈ නිසාය. 
සේයා සඳදෙව්මි යනු කවරෙක් දැයි නුඹලාට මතක යැයි මා උපකල්පනය කරමි. එකී හාස්‍ය මුසු ප්‍රකාශය හා මා සමඟ නුඹලා උරණ වුව මේ රටේ බහුතරයකට සේයා ගැන මතකයක් නැත. ඇයගේ මළකුණ වුව පණුවන් වසා ඕජාව වැගිරී අද වන විට පස් හා මුහු වී ඇත්තාට සැකයක් ද නැත. නමුදු ඇය වටා කතා වස්තුවක් ඇත. එකී කතාවේ කතුවරුන් බොහෝය. මාධ්‍යය සංස්කෘතියට නිගා දෙමින් ඈ නිරුවත් කල ඇතැම් මාධ්‍යවේදීන් ද සුචරිතවාදීන් යැයි කියාගත් කුලකයක් ද කොටදෙණියාව පොලිස්සිය ද එකී කතාවස්තුවේ නිර්මාපකයින් ය.
ඉඳින් ඔවුන් විසින් ඇද ගත් චරිත ඇසුරින් බලන කල නිගාවට පත් මිනිසුන් වෙනුවෙන් සාදාරණයක් ඉෂ්ට වුවා යැයි සැකයක් මා හට පවතී.
පසුගිය සැප්තැම්බර් 11 වැනිදා පැහැර ගැනීමට ලක්වූ සේයා දැරිය වෙනුවට සැප්තැම්බර් 13 වනදා සේයා දැරියගේ මළ සිරුර හමු විය. එකී දැරිය පැහැරගෙන ගොස් අතවර කළා යැයි “සැකපිට” අත්අඩංගුවට ගත් සමන් ජයලත් නැමැත්තා පසුගිය නොවැම්බර් 23 වනදා නීතිපතිවරයා විසින් මීගමුව මහාධිකරයේ අධි චෝදනා ගොනු කල අවස්ථාවේ සිය වරද පිළිගත්තේය.
දෙමාපිය භාරකාරත්වයෙන් පැහැරගෙන යාම, “බරපතළ” ලිංගික අපයෝජනයට ලක් කිරීම, දූෂණය කිරීම හා මරණයට පත් කිරීම ඔහුට එරෙහිව ගොඩනැගුනු චෝදනා වනවා සේම එකී චෝදනා වලට නතුව නිසැකවම මරණ දණ්ඩනයට යටත් කළ හැකියි. එය එසේ වී නම් බෝගම්බර හෝ වැලිකඩ යන සිර මැදුරක් තුළ අපගෙන් උපයාගත් බදු මුදලින් ඔවුන්ට යහමින් තුන් වේලටම බත සපයා තිරිහන් කිරීම ද සිදුවනු ඇත. පල්ලියේ ඉගැන්වීම් අතර වූ සූර්ය කේන්ද්‍රවාදය ප්‍රශ්න කල ගැලීලියෝ සිර අඩස්සියට පත් වුවා සේ උසාවිය ප්‍රශ්න කිරීමට ගොස් සිර අඩස්සියට පත් විය නොහැකි තැන අපට නිදහස් චින්තකයින් සේ ප්‍රශ්න කළ හැකි දෑ තිබේ. එනම් කොටදෙණියාව පොලිස්සිය විසින් කරලියට ගෙන ආ චරිත සුචරිතවාදී මිනිසුන් විසින් අමු අමුවේ පට්ට ගසන කළ මාධ්‍යය නඩයක් විසින් ඒවාට තටු දීම ගැන ය.
එක්තරා පිරිසක් විසින් කොණ්ඩයාගේ චරිතය අමු අමුවේ නිරුවත් කරමින් ද මරණ දණ්ඩනය ගෙන එන්නැයි කියමින් ද  බෝඩ් ලෑලි උස්සා සැහැසි ලෙස කෑ මොර දෙමින් සුචරිතවාදී චින්තනය රඟ දැක්වූ  අයුරු නුඹලාට සිහිපත් කරමි. එමෙන්ම වැඩිම නිල් චිත්‍රපටි නරඹන රටක් ලෙස ශ්‍රී ලංකාව වාර්තා අතරට එක් වූ මොහොතක ලැප්ටොප් පරිගණකයක නිල් චිත්‍රපටි තිබුණා යැයි කියමින් 17 හැවිරිදි සිසුවෙක් සිර බාරයට ගෙන ප්‍රශ්න කරන්නට තරම් කොටදෙණියාව පොලිස්සිය බුද්ධිමත් වූ ආකාරය නුඹලාට සිහිපත් කරමි.

“..මොන තට්ටුවට ගියත් හතරවෙනි තට්ටුවට නගින්න එපා..” යැයි කතාවක් වැඩිහිටියන් අතර තිබේ. මන්ද එය වූ කලී අපායක් තරමටම අනේක වධ බන්ධන වලට යටත්වන තැනක් වග සමාජයේ කවුරුත් දන්නා රහසකි. සැකකරුවා යනු අපරාධකරුවෙකු නොවේ. සැකකරුවෙක් යනු අනර්ථකාරී චෝදනාවක් මත විභාග වන නඩුවක සැකකරුවෙකු ලෙස රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවන අයෙකි. එහෙත්, ඔහු අපරාධයට වගකිව යුත්තා ලෙස චෝදනා ඔප්පු වී නැත.  ඔහු අපරාධයක් කළා යැයි සම්මත වන තුරු ඔහු වටා පරීක්ෂණයක් මෙහෙයවයි. නමුදු ඔවුන්ගේ චරිතයන් ඝාතනය කරමින් ද ඔවුන් අපරාධකරුවන් යැයි කියමින් ද  ඔවුන්ට මරණ දණ්ඩනය දිය යුතු යැයි තීරණය කරමින් ද  පුරසාරම් දෙඩු හිස් ඇති හිස් මිනිසුන් විසින් ගෙන ගිය ව්‍යාපාරයක මතක සටහන් මීට මසකට ඉහතදී මාධ්‍යය ඉදිරියේ ගෙන හැර දැක්වුවා ඔබට මතකය.

කිසිවෙකුට කිසිවක් අරඹයා වාස්තවික නොවූ දත්ත මත පදනම්ව චෝදනා කල නොහැක. සැකකරුවා හා අපරාධකරුවා අතර වෙනස නොදත් උන් අහිංසකයින් හංවඩු ගැසුවේය. නමුදු ඒ සියල්ල සිද්ධ වුයේ පොලිස්සිය විසින් ප්‍රකාශිත ඇතැම් ප්‍රකාශ හමුවේ ය. සාක්ෂි ආඥා පනත යටතේ සැකකරුවෙකු අපරාධකරුවෙකු කළ නොහැකිය. එය එසේ වී නම් එය වරදකි. මන්ද සමාජය ඉදිරියේ ස්වකීය චරිතය අපරාධකරුවෙකු ලෙස හංවඩු ගැසෙනවාට කිසිවෙකු කැමැත්තක් නැත.
“.. ඕනෑම මාර්ගයක් යොදාගෙන මා ඝාතනය කරන්න. ඒත්, මා ළමා වියේ සිට මහත් සේ  අගය කර සැලකු වස්තුව වන මාගේ චරිතය ඝාතනය නොකරන්න ..” යැයි කිරුළපන ප්‍රදේශයේ පැවති මැයි දින පෙළපාලියක දී නැසීගිය හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස මහතා පවා ප්‍රකාශ කරන්නට යෙදුනේ තමන්ගේ ජීවිතයටත් වඩා ඕනෑම අයෙකුට තම චරිතය වටිනා නිසාය.
නමුදු අද වන විට සියල්ල සිදු වී හමාරය. සේයා වෙනුවෙන් කතා කරන්නට බොහෝ උන් සිටියෝය. නමුදු ඈ වෙනුවෙන් සැකයට භාජනය වූ අයවළුන්ගේ ජීවිත ගැන කතා කරන්නට කිසිවෙකු නැත. සියල්ලන්ටම සේයා ද අමතකය. ඈ වෙනුවෙන් පොරත්වය විදහා දක්වනු වස්  සමාජය හා බලවතුන් එක්ව හංවඩු ගැසූ අහිංසකයින් ද අමතකය.

මිනිසුන් කතාවට දක්ෂය. ක්‍රියාවට අදක්ෂය. විද්‍යා ලා සේයා ලා වෙනුවෙන් කතා කල බොහෝ උන් පළමු අඬහැරයෙන්ම හතියට පත්ව ඇත. බාගදාට ඔවුන් පොරවල් ලෙස සමාජගත වන්නට මොවුන් තුළින් මාතෘකාවක් උපයා ගන්නට ඇත. ඔවුන්ගේ අරමුණ නිසා සුගතියට පත් වූ කෙනෙක් නැත. අනාගතයේ යම් දිනක සේයා මෙන්ම තවත් දැරියක් දූෂණය කර මරා දමනු ඇත. එදිනටත් අහිංසකයෙක් එල්ලුම් ගස් යවන්නටත්,  ඔහු අපරාධකරුවෙක් ලෙස හුවා දක්වමින් පොරත්වය විදහා දක්වන්නටත් ඔවුන් කටයුතු කරනු ඇත. එවැනි තුට්ටු දෙකේ මාධ්‍යය සංදර්ශන තබමින් ලොකු ටෝක් දෙන්නට මේ රටේ මහා එකාගේ සිට පොඩි එකා දක්වා හැඩ ගැසී තිබීම වේදනාවට කරුණකි.
සමහරුන් නම් කීවේ තමා හා සේයා සිහිනයෙන් කතා බස් කල බවය. අමුතුම තාලේ ආදරණීයත්වයකින් ඔවුන් සේයා ගැන කතා කළහ. කඳුළු සැලූ හ. සේයා වෙනුවෙන් අරගල කොට හෝ අපරාධ රැල්ලට තිතත් තබන වගත් වරදකරුවන් නීතිය ඉදිරියට ගෙනෙන්නට කටයුතු කරන බවත් කීහ. අවසානයේ අහිංසකයින් සැකකරුවන් විය. සැකකරුවන් අපරාධ කරුවන් ලෙස හුවා දක්වමින් හංවඩු ගසා ඔවුන්ට මුළුමහත් සමාජයම අපායක් කළ හ. ඔවුන්ගේ කඳුළු වලට වටිනාකමක් නොතිබුනා විය හැකිය. නමුදු ඒවාට මිළක් තිබුනා යැයි උපකල්පනය කළ හැකිය.
පිරිමින්ගේ කාමගින්න නිසාවෙන් බැට කන ගැහැණුන් අදටත් මේ රටේ සිටී. පුරුෂ ලිඟුවෙන් බැට කෑ ඇතැම් ගැහැණුන් සිය දිවි හානිකරගත් සිද්ධීන් කිහිපයක් මා පෞද්ගලිකව පසුගිය ගෙවී ගිය මසක් පුරාවට ඇසුවෙමි.  ඉඳින් කොටුව දුම්රියපොළ ඉදිරිපිටට පමණක් සීමා වූ අරගලවාදී චින්තන තවමත් නිවෙස් වල පැළ ඉනි මතටවත් පැමිණ නැත. මන්ද මේ රටේ තවමත් තිබෙන්නේ පුරුෂ ආධිපත්‍යයකි. ගැහැණිය වනාහි ලිංගික භාණ්ඩයක් යන ආකල්පය පිරිමියාගේ දැක්ම තුළ ඇත. කාන්තා අයිතිවාසිකම් හි ඵල භුක්ති විඳීමට මේ රටේ කාන්තාවට ඉඩ හසරක් වෙන් වී නැත. එසේ තිබුණානම් ගැහැණිය මෙසේ අතවරයට ලක්වන්නේ නැත. යුග ගණනාවක පටන් ගැහැණු චරිතය පිරිමියාගේ දොළ පිදේනි බවට පත් විය. මිනිසුන් ඈ සිය බෝඩ් ලෑලි වල ප්‍රදර්ශනය කරමින් ද  තව දුරටත් නිරුවත් කරමින් ද ඔවුන්ගේ  අයිතිවාසිකම් වෙනුවෙන් කෑ ගැසු හ. නමුදු ඈ ලැබූ විමුක්තියක් නැත. එහෙත් ඔවුන් ලැබූ පොරත්වයක් ඇත.
සේයාගේ ආත්මය අප අතරට ගෙන්වන්නට හැකි වේ නම් ඈ මෙසේ ප්‍රකාශ කරනු ඇත.
සබඳ
මගේ නම සේයා ! 
මාව දූෂණය කරපු උන් තැන තැන හැංගිලා ඉන්නකොට සමහරු මාව මාකට් කරගෙන සුචරිතවාදීන් වුණා. මගේ පින්තූර අලවාගෙන නගර වීදි වල උන්ගේ චරිත හදා ගත්තා. මං මියැදුණේ නැහැ. මාව මරා දැම්මා. මගේ හුස්ම හිර කර කර, මාව දූෂණය කළා. මාව දූෂණය කලේ නෑ, පුරුෂ ලිඟුවකින් මට දස වධ දුන්නා. 
මාව මතකද
මගේ නම සේයා ! 
මගේ කුණු ශරීරය පුරා පනුවන් සිළි සිළි ගානවා. ඕජාව පැතිරෙනවා. මා වෙනුවෙන් කැපු සතර රියන තුළ තණකොළ ලියලනවා. 
මාව මාකට් කරපු එවුන් දැන් කොහෙද
මා නිසාවෙන්, මරණ දණ්ඩනය නීති ගත කරපියව්.. ! කියපු මිනිස්සු කොහෙද..?
එල්ලුම් ගස් යවන්නට මාන බැලු අහිංසකයින් කොහේ ද

මා තනි නෑ. මා අසල විද්‍යා ඉන්නවා. ඇමන්ඩා ටෝඩ් ඉන්නවා, මියුසියස් එකේ ටයි පටියෙන් ගෙල වැල දා ගත්තු අක්කා ඉන්නවා. තව වෙනූෂා ඉමන්දී ඉන්නවා. මට තනි නැහැ. මම කවදාවත්ම තනි වෙන්නේ නෑ. හෙට අපි වෙනුවෙන් තව කෙනෙක් එයි. හැමදාමත්ම අපි වෙනුවෙන් තනියට තව තව කට්ටිය ඒවි.. !

නුඹලා බෝඩ් ලෑලි උස්සන් කොටුව ඉස්සරහා අපි ගැන කියවාවී... අපේ නිරුවත් පින්තූර වල කවි ගීත ලියාවී...

සබඳ,
නුඹලා සතර රියනක් තුළ පොළවට පස්වන තුරුම මෙය සිද්ධ කරාවිද ? අප වෙනුවෙන් කා තුළින් ද වංක නොවූ හඬක් පිටවන්නේ යැයි මටනම් සැකයි.. 
අප ඉන්නවා නුඹලා දෙස බලාගෙන
පරම සුචරිතවාදීයෙනි, කොහිද අපට ලං කරනවා යැයි කියූ විමුක්තිය ?

පිරිමියා යනු ගැහැනියගේ කුසින් මෙලොවට උපන් ඇයගේ නිර්මාණයකි. මදකට නීතිය ඉවතට විසි කර දමමු. නමුදු අප හට ගැහැණිය යනු කවරෙක් දැයි අමතක කළ හැකි ද.. ඇය අතවරයට හා පීඩාවට ලක් වන්නේ පිරිමියා අතින් මිස අන් කවරෙකුගේ අතින් හෝ නොවේ. එසේ නම් ඇයගේ කුසින් වැදෑ මහ දෙපලු කර පෙකණි වැල කඩාගෙන ආ අපට සිතන්නට බොහෝ දේ තිබේ. නුඹලාගේ හෘද සාක්‍ෂියට සවන් යොමු කරන්න.. අප අපගේ හැඟීම් පිරිමසා ගැනීම උදෙසා ගැහැණිය තව දුරටත් වධ බන්ධනයට යටත් කළ යුතු ද...
එමෙන්ම අපගේ ප්‍රකාශන තුළින් පීඩාවට පත්වන අහිංසකයින් ගැන සිතිය යුතු නොවේ ද..? ඔවුන් සමාජය විසින් හංවඩු ගැසූ චරිත ලෙස සදාකල්හිම ජීවත් විය යුතු ද ? නැතිනම් ඔවුන්ට සාදාරණයක් හිමි කර නොදෙන්නේ මන්ද..?

sandarusameer@gmail.com 


සත්හඬ  පත්තරය  බලන්න, මෙතැන  Click කරන්න 
Share on Google Plus

About sameer sandaru

0 අදහස්:

Post a Comment

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..