෴ පාරමිතා ෴ --- දෙවන කොටස ---



වැඩසටහන් කිරීමට මා සතුව කිසිදු හැකියාවක් නොමැත. ස්භාවයෙන්ම මා හට වචන පමණක් හිමි විය. මවිසින් ඒවාට පිටස්තර ලෝකයෙන් පන්නරය ලබා ගතිමි. මා කිසි කලක එය හැකියාවක් කියා මගේ ජීවිතයට බද්ධ කර නොගත්තෙමි. ඇතැමුන් එය හැකියාවක් සේ හුවා දැක්වීය. මා සැම විටම කලේ මා උගත් දෙය බාහිර පරිසරයේ යම් සංසිද්ධීන් හා ගලපමින් ඉදිරිපත් කිරීම පමණි. ගජේන්ද්‍ර සර් කියන්නාක් වැනි කිසිදු උපදේශන දැනුමක් හෝ හැකියාවක් මා සතුව නොතිබිණි. මා උපදේශනය කළානම්, ඒ අදින් වසරකට පෙර සමුදුන් පාසල් වියේදී යහළු මිත්‍රාදීන්ට දුන් උපදේශ පමණක් විය. නමුදු එදාමෙදා තුර ඒවාට නතුවී  මා හටවත් පරමාදර්ශී චරිතයක් වීමට තවද හැකියාවක් ලැබී  නැත. නමුදු ගජේන්ද්‍ර සර්ගේ ඉල්ලීමට පිටු පෑමට තරම් වචනයක් මා හට වාචිකව ගොතා ගත නොහැකිය. මා ඒ තරමට ඔහුට ලැදි සුවච කීකරු ගෝලයෙකු වෙමි.

මා ජීවිතය උගත්තේ ඔහුගෙනි. මා ඔහුගෙන් ජීවිතයේ යතාර්ථය විනිවිද දිටිමි. දුහුවිල්ලෙහි උපත ලද මා මෙතකැයි කිව හැකි දුරක් ආයේ ඔහුගේ මඟපෙන්වීම යටතේ ය. ඔහුව මට හමුවන්නේ පාසල් උපදේශන අංශය විසින් සංවිධානය කළ වැඩසටහන දී ය. එකල මා දීප්තිමත් සිසුවෙකු වීමි. එකී වැඩසටහනෙහි නිවේදක තැන මා හට හිමි වීම අරුමයක් නොවන්නේ ඒ හේතුව නිසා වන්නට ද  ඇත. එදා වැඩසටහන අවසානයේ තේ පැන් සංග්‍රහය අතරතුර ඔහු හා සම අසුන්ගෙන තේ පැන් සංග්‍රහය භුක්ති විඳින ලෙස ගුරුවරාදීන් ඉදිරියේ ආරාධනය කලේ ය.

“.. හැමෝටම ප්‍රශ්න තිබ්බා ඔය දරුවාගේ ඉස්කෝලේ.. මේ චිට් බැලුවොත් තේරෙයි.. ඔය ළමයාට තියෙන ගැටළුවත් කිව්වානම් හොඳයි..”

මගේ හදවත විනිවිද බලන්නාක් මෙන් බැල්මක් හෙලා ඔහු මා හා සංවාදයේ පැටලිණි. මා කිසිවෙකුට මගේ පෞද්ගලිකත්වය හෙළි නොකරන ප්‍රතිපක්ති රාමුවකින් වටවී ජීවත් වුයෙමි. කවුරුන් ලෝකයා හමුවේ සිය ගැටළු ඇද තබා පිළිතුරු සෙව්වද මා එසේ නොකළේ ලෝකයාට මගේ ගැටළු වලට පිළිතුරු දිය නොහැකි නිසාය. එසේ පිළිතුරු දිය හැකි කෙනෙක් ඒ අතර වී නම්, ඔහු බෝසත් කුලයේ පාරමී දම් පුරන්නෙකු විය හැකි බව මා තේරුම් ගෙන තිබිණි. ඒ තරමට මා වේදනාවන් ද , සාමාජ කෘර වධ බන්ධනයන් ද විඳි අයෙකු වෙමි.

“.. මට තියෙන ප්‍රශ්න වලට සර් ගාව උත්තර නැහැ.. මට සර්ගේ  අනුකම්පාව දිනාගන්න එක විතරක් කරන්න පුළුවන්.. ඊට වඩා සර්, මං ආසයි මගේ ප්‍රශ්නත් එක්ක මේ පොළව බදලා අල්ලාගන්න..”
“.. මයික්‍රෆෝනයේ පණ්ඩිත වාක්‍ය වේදිකාවේ විතරක් නෙමෙයි.. සැබෑ ජීවිතයේත් තියෙනවා වගේ.. වෙල් ඩන් පුතා.. ආත්ම විශ්වාසයට ගරු කරනවා.. නියම පිරිමි ආත්ම ඔහොම තමයි ඉන්න ඕනේ.. හැබැයි පුතා කවදාහරි දවසක, අනුකම්පාව කියන දේ මගෙන් බලාපොරොත්තු නොවුනට ඒකත් උඹට වෙන කෙනෙක්ගෙන් ආශිර්වාදයක් වෙයි..” 

බැල්මෙන් නොනැවතුන හේ මගේ හදවතේ විනිවිද බාවය දුටුවාක් වැනි හැඟීමක් නිසා මා සලිත වුයෙමි. මා හිස් බැල්මෙන් යුතුව තේ කෝප්පයේ උණුහුම විඳින්නට වුයෙමි. ඔහුගේ වචන තුළ ගැබ් වූ අර්ථය හදවතේ බිඳෙන තැනක් වසා නළියයි.. අප අතර පැවති නිහඬතාව බිඳින්නට නොහැකි කළ මා හිස ඔසවා ඔහුගේ දෙනෙත් දෙස එක එල්ලයේ බැලුවෙමි.

“.. මම දැක්කා, උඹ කල්පනා කරනවා කොල්ලෝ.. මට මයික්‍රෆෝනය දීලා උඹ කොහේදෝ ලෝකෙක.. උඹ ගැන අහනකොට උඹේ ගුරුවරු අධි විශ්වාසයක ඉන්නවා.. ඒක බිඳින්න එපා.. උඹට හොඳ අනාගතයක් තියෙනවා.. හොඳ බුද්ධියක් තියෙනවා.. උඹට උඹව අල්ලාගෙන යන්න තියෙන ගමන දුරයි.. මගේ මලයා උඹ වගේ.. හැබැයි ඌව මට නැති වුණා.. උඹව මුල් වතාවේ ස්ටේජ් එකේ දකිද්දී මම හිතුවේ මේ මම දකින්නේ  මගේ මලයාගේ හිනාව කියලා.... මේ මගේ කාඩ් එක.. උඹ ඕනේ උදව්වක් ඉල්ලපන්... උඹ මොනවද කරන්නේ.. සබ්ජට් මොනවද..?..”

“.. බයෝ ලොජි සර්..”

“.. අපි එහෙනං එකම කුලකයේ කොල්ලෝ.. මමත් මේ තත්ත්වයට එන්න සෑහෙන කට්ටක් කෑවා.. උඹට තියෙන ප්‍රශ්න අහන්නේ නැහැ මම.. හැබැයි, මේක මතක තියාගනින්.. මම ඉස්සර උඹ වගේ කාලේ අඳින්න එකක් නැතුව යුනිෆෝම් එක තෙත පිටින් අඳිනවා. පුස්කාපු ඇඳුම.. කහ ගැහිලා.. නිල් කඳුලක් වැටෙන්නේ නැහැ.. කෙල්ලෝ මගේ දිහා බැලුවේ ගව ගාලක ජීවත් වෙන එකෙක් දිහා බලනවා වගේ.. රෑට කන්නේ නැහැ අපේ ගෙදර.. කන්න තියෙනවා බං.. ඒ උනාට, ගෙදර උන්නු එවුන් එක්ක බලනකොට කන්න ඇති දෙයක් නැහැ.. මම රෑට නොකාම කුප්පි ලාම්පුවෙන් වැඩ පටන් ගන්නවා.. මේ තත්ත්වයට ඇවිදින් වාහන අරගෙන ගෙවල් හදාගෙන ගියාට, මමත් ආවේ මෙහෙමයි.. ”

හදවතේ පටක ඉලිප්පී වේදනාවෙන් ඇඹරි ගියේය. මා නැවත හිස බිමට හරවා ගත්තේ, මගේ ජීවිතය මොහු මෙතරම් ලෙහෙසියෙන් ඔහුට ආදේශ කර කියවන්නේ කෙසේද යන්න නොදත් නිසාම නොවේ නෙත් අගිසි තුළින් ඉහිරෙන කඳුළු දිය පෙනේ යැයි භියෙනි. ඔහු නොනවත්වාම මා පරික්ෂාවට ලක් කරයි. ඊළඟ නිමේෂයේ මා හදවත නැවත ආවේගාත්මකව යථා තත්ත්වයට පත් කර ගතිමි.

“... අද ඩොක්ටර් ගජේන්ද්‍ර කීවොත් හැමෝම දන්නවා.. මම මෙහෙම ඉස්කෝල ගානේ එන්නේ වැඩ නැතුව නෙමෙයි කොල්ලෝ.. මම වෛර කරපු සමාජයටම ඒ විදියටම වෛර කරන එවුන් හොයාගෙන.. තේ එක බීපන් ඕක නිමුනොත් ඔක්කෝම ඉවරයි.. හැබැයි, උඹ වගේ හිත හයිය එකෙක් මේ දැක්කාමයි..”

හඬනවානම් සයුරක කඳුළු මා ළඟ තිබිණි. මා හැඬුවානම් මහ සයුර පවා මා හා උරණ වනු ඇත. කඳුළෙහි ලුණු රසය නිස්සාරණය කොට මා හට වෙනම ලුණු පැට්ටේරියක් දමන්නට ද හැකියාව තිබිණි. නමුදු මා නොහඬමි. මගේ දෑසෙහි වැගිරෙන කඳුලක් ළඟ මා ඔසවා තබන අම්මාගේ කඳුළු දැකීමට මා අකමැත්තෙමි. අප්පච්චිගේ ගල් හිත පවා මෘදු මොලොක් ව දිය වී යන යුරු දකින්නට මා අකමැත්තෙමි. එහෙයින් මා නොහඬමි. මා සැමටම සැලියුට් ගැසුවෙමි. නමුදු සෑම දෙනෙක්ම මගේ මුහුණට ගසාගෙන ගියේය. මා සමාජයට ජෝකර් කෙනෙක්ව උප්පත්තිය ලැබුවා දැයි මගෙන්ම අසන්නට පුරුදුව සිටියෙමි.  මා සෑම වේදනාවක්ම යටපත් කරගත්තේ ඈතින් පෙනෙන නිසකල අරණ දෙස බලා සුසුම් පිට කිරීමෙනි. මිහිදුම් සළුවෙන් වසාගත් රමණීය කඳු මුදුන දෙස බලා මා සිත නිසල කර ගතිමි.

“.. මොනවද දරුවෝ ෆෝන් එක දිහා බලාගෙන කල්පනා කරන්නේ..”

අම්මා මුහුණට එබී මොනවදෝ සොයයි. මා මුව සිනහවෙන් පිරි ගියේය. ඒ සිනහව අම්මා මා දෙස බලා සිටින නිසාද නැතිනම් සෝදා පාළුවට ලක්වන මතකයන් නැවත ආවර්ජනය කරන නිසාදැයි මා නොදනිමි.

“.. නිකං අම්මා.. ගජේන්ද්‍ර සර් කතා කළා.. හොලි එන්ජල් ද මොකක්ද ඉස්කෝලයක් කිව්වා. වැඩසටහනක් කරන්න එන්න ලු..”
“.. ඉතිං යන්න පුතා.. ඔයාට උදව් කරපු මනුස්සයා නේ.. උදව්වක් ඉල්ලද්දී නොකර ඉන්න එක හරි නැහැ නේ..”

“.. ඒ උනාට අම්මා, මට කිසිම සුදුසුකමක් නැතුව ඔව්වා..?..”
“... ඔයා මේ අම්මාගේ පුතානේ දරුවෝ.. ඔයාට බැරි දෙයක් නැහැ.. මගේ රත්තරන් පැටියට බැරි දෙයක් නැහැ..”

අම්මා කරුණාබරව මා දෙස බලා ළදරුවෙකුගේ හිස සිනිදුව පිරිමදින්නා සේ අතගායි.. ඒ අම්මාගේ හැටිය. ඈ කවදත් මගෙ හදවත සුළුවෙන් හෝ ප්‍රකම්පනය වේ නම් සනසන්නට බලා සිටියාය.. සිත් තැවුලකදී හද වේදනාවෙන් බර වෙන විට, මුහුණේ පැහැය කළු වලාවන්ගෙන් වැසී යන්නා සේ අන් අයට දැනෙන්නේ කෙසේ දැයි මා නොදනිමි. මා අද අංශු මාත්‍රයක් හෝ සතුටින් හිඳින්නේ නම්  ඒ ඇගේ වචනයක ඇති සෙනෙහබර සුව පහසුව නිසා යන වග මා ලෝකයාට කියන්නට මැලි නොවෙමි..

“... මම නාගෙන එන්නම්..”
“.. හැබැයි දොළේ වතුර හීතලයි ඔන්න පුතේ... ඔයාට සෙම.. වැඩිය නාන්න එපා ආසාවට...”

මා කිසිවක් නොකියා ඇඟ පිස්නාවද ගෙන දොළ පාර අසළට පැමිණියෙමි. හිරු උදාව කෙමෙන් නිසකළ අරණ දෙසින් මූදු වේ. සිත්තරෙකු විසින් සියුම් ලෙස පින්සල හසුරවා කැන්වස් රෙදි කඩක ඇඳි සිතුවමක් දෙස හිස පැත්තට කර බලන්නාක් මෙන් බැල්මකින් මා නෙත නිසකල ඉමේ දැවටිණි. ශිල්පියා විසින් චිත්‍රයේ භාවාත්මක කෞශල්‍ය ඔප් නැංවෙන පරිදි පසෙකින් ඇඳි මිනිස් රුවක් මෙන් කෘෂ ශරීරයෙන් හෙබි අප්පච්චි උදැල්ලක් කරේ තබාගෙන පෙනෙන නොපෙනන දුරකින් කුඹුර සිසාරා සිය ඇස් යවන දර්ශනය දෙස නැවත නැවතත් දෑස් කරකවමින්  බලන්නට වෙමි. හිස මත තලප්පාවක් සේ පැළඳි ලේන්සුව නිසා ගෞරවණීය හැඟීමක් හදවත කොණකින් පටන්ගෙන රුධිරය හා කලවන් විය. මා දසුනෙන් අංශු මාත්‍රයක් හෝ අත් නොහැර ඔහු දෙස එක එල්ලයේ බලා සිටියෙමි. ඔහු කුඹුර තුලට වැද තන්හි තන්හි ඇති වල් පැළෑටි එක දෙක ගලවා දමයි. නැවත කුඹුරු දියේ දියබුන් ගසන්නා මෙන් හඬින් ජබුක් ගා උදැල්ලෙන් නියරේ ඇති කක්කුටු බෙන වලින් ඇති කල උම වසා දමයි.
ජීවිතය ද කුඹුරක් වැනි යැයි මා හට සිතේ. එහි වල් පැලෑටි ඇත. මමත්වය යම් සේ ද ගොවියා මෙනි. ගොයම නම් එහි ඵල ලබාදෙන දෑය. ගොයම බන්ඩි වන විට ජලය බැඳ තබාගත යුතුය. උමයක් තිබුනොතින් වතුර පිටතට ගලා යයි.
මා සුසුමක් හෙලා දිය දෝතක් ගෙන මුහුණට දැමුවෙමි. වෙනදාට වඩා හීතලය.. මගේ හිරිගඩු පවා ඉලිප්පී ගියේ ය. දියෙහි සීතල පරයා මා හට දැනුනේ ගතෙහි උණුසුම ය. දියෙහි වෙසෙන තිත්තයින් වැනි කුඩා මත්ස්‍යයින් මා දෙපා ඔවුන්ගේ ආහාරයේ කොටසක් සේ සළකා සියුම් මුවින් කොටයි. වෙනදාටද දැනෙන මා තේරුම් නොගත් හැඟීමක් ජනිත කරන්නට එය සමත් වුණි. මා නිවසින් ගෙනා බාල්දිය දොළ පහරට ඔබා හිසට හලා ගතිමි. ඉලිප්පුණු හිරිගඩු එකින් දෙක කිසියම් පාලනයකට නතු වුවා සේ යථා තත්ත්වයට පත් විණි. සරමට දිය බැඳීම නිසා සිරුරට ඇලීමත් ඒ හාත්පසින් ලැජ්ජාවක් ගත පුරා දැවී ගියේය.

අටේ කණිසම ද පසුව ඇත. ඉක්මණින්ම බසයකට ගොඩවුයේ නැතිවුවතින් ටවුමට තියා එන්ජල් ලාට වැඩසටහන් කිරීමටවත් නොහැකිය. ගජේන්ද්‍ර සර්ගේ ඇමතුමක් බලාපොරොත්තුවෙන් ද බසයක් එන නිමිති බලමින්ද මා බස් නැවතුම තුළට හිස ඔබා ගතිමි. පාසල් දරුවන්ට වඩා බස් නැවතුමේ සිටින්නේ ටියුෂන් ළමයි ය. ඇරත් පාසල් ළමුන් මෙවැනි වෙලාවක බලාපොරොත්තුවීම විහිළුවක් වග මට සිතුණි. මා නැවතත් දුරකථනයට එබී වෙලාව බැලුවෙමි. මටම කියා ඔරලෝසුවක් මා කිසි දිනක මිළදී ගෙන නැත. මා නොයෙක් වර පළඳින්නේ අප්පච්චි විසින් විවාහ උත්සවයකට හෝ වෙන යම් උත්සවයකට පළඳින ඔරලෝසුවකි. එය රත්තරන් පැහැතිය. ඒවා යල් පැන ගිය ඒවා වග කවුරුන්දෝ මා පැළඳි අවස්ථාවක කියා සිනාසුනා මට මතකය. ටියුෂන් දරුවන්ගේ අත්වලනම් එක එක වර්ගයේ ඔරලෝසු ඇත. පළඳනා පැළඳ මෙවැනි තැනකට යාම ශෝබන නොවේ. ඇරත් මට කියා කිසිදු පළඳනාවක් නැත. තිබුණේ මා පළඳින පේමන්ට් එකෙන් ගත් කළු පැහැති පබළු වර්ගයේ මාලයක් පමණි. මා එයට බොහෝ ආශා කලෙමි.  පබළු යැයි කීවද ඒවා සකසා ඇත්තේ කිසියම් ශාකමය ඇට වර්ගයකින් යැයි මා සිතමි. එහි අගිස්සෙන් මා අමුණා ගත් තඹ පැහැයෙන් යුතු රවුම් පෙන්ඩනය නිසා මගේ පෙනුම මා අමුතුම ආකාරයකින් දකිමි. කිසි දිනකවත් නොගලවන එය,  මගේ බෙල්ලෙහි  එල්ලී හිඳිමින් මා යන එන තැන මා හට තනි රකියි. අජීවී ආභරණයක් වුව මා එයට ජීවී බවක් හදවතේ ඇති කර ගත්තද ඒවා මා ශෝබාසම්පන්නව තබනු නියා දැන මා හද සතුටින් ඉපිලිණි.
ටවුමට යන ඉන්ටර්සිටියක් හැල්මේ විත් අප අසල නැවත්තීමත් සමඟ සියලු දෙනා දිව ගොස් එහි නගින්නට වෙහෙසෙයි. සියල්ලටම අවැසි එකම දොරකින් බසයට එබෙන්නට ය. මා ඉදිරියට දුව ගොස් ඉදිරි දොරෙන් පහසුවෙන් බසයට රිංගා ගතිමි. පෙම්වතුන් යැයි සිතිය හැකි අය ද, යහළු මිත්‍රාදීන් යැයි සිතිය හැකි අයද එකට හිඳින බසයේ මා තනි අසුනකට බර වුයෙමි. කවුළුව හැර, ඈත තෙරක් නොපෙනන පරිසරය දෙස අරමුණකින් තොරව බලා වැඩසටහන කෙබඳු වේ දැයි මා කල්පනා කළෙමි. ගැහැණු ළමුන් අතරට වී ඔවුන්ව කිසියම් ආස්ථානයකට ගැනීම වෙරයෙන් යුතුව කළ යුතු දෙයක් වග දැනීම නිසා මා භියට පත්වී සිටි වග මගේ හදවතට ප්‍රත්‍යක්ෂ විය.  


----- තෙවන කොටසින් මුණ ගැසෙමු -----

Share on Google Plus

About sameer sandaru

1 අදහස්:

  1. nice story machan.... fb ekata mulu athawama danna epa kollo... bagayak dala blog ekata link karapan

    ReplyDelete

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..