෴ කැමැත්ත ෴ A Short Naval



කැමැත්ත 



රාජකීයන් හා සසඳන කළ මා සෙන්කොට්ටෙක් බඳුය. නමුදු මා ඔවුන්ගේ පුහු මාන්නයට වෛර කලෙමි. මා අසීමිත ලෙස ඔවුන්ව පිළිකුල් කළෙමි. පාසල් මාතාවට සෙනෙහස වඩනවා විනා පාසල් මාතාව මා දුටුවේ මා හට වින කරන  කුඩම්මෙක් සේ  යැයි හැඟෙ. පළල් කමිසය මා හට දැනුණේ උර වසාගත් සිවුරක් මෙනි. ස්භාවයෙන්ම අනෙකුන්ට වඩා කෘෂ වූ මා හට එය කිසි සේත් ගැළපෙන්නේ නැත. කාර්‍යබහුලත්වය නිසා කපා දමන්නට නොහැකි වන රැවුල් ගස් කිහිපය සෑම වරකම රාජකීයන්ගේ විනය කමිටුව විසින් ප්‍රසිද්ධියේ මා තබා කපා දමන්නට තරම් රළු වූහ. එය ඔවුන් දුටුවේ පාසල් මාතාවට අගෞරව කරන පිල්ලියක් ලෙස දැයි විටක සිතේ. අඟල් 15ක් පමණ විශාල විය යුතු කලිසමේ බෝඩරය තරම් මා අකමැත්තෙන් සිටි වෙන යම් දෙයක් නොවේ. මා පසුපස කලිසම් කකුල නිතර ඇදී ආහ. එයින් මාගේ ශෝබාසම්පන්න බව කෙළසී ගියා යැයි හැඟීමක් හදවත වෙලා ගන්නට අර අදියි. එහෙයින්  රාජකීයන්ගේ න්‍යාය ධර්මතා වලට මා තරම් වෛර කළ වෙන කිසිවෙක් නැතැයි මා හට සිතේ.

ජීවිතයේ මා අනෙකුන්ගේ ආදරය විඳි අයෙකු වෙමි. මා ඔවුන්ට ද පෙරලා ආදරය කෙළෙමි. මා හැරදා පැමිණි පාසල් මාතාවගේ තුරුල රාජකීයන් අතර කළුනික සොයන්නාක් මෙන් සොයන්නට ගියේ ඒ නිසාවෙන් වන්නට ඇත.
නමුදු මා හට ලැබුනේ ගැරහුම් ය. සිත පීඩාවට පත් කරන වදන් ය. මා හදවත ඔවුන්ව පිළිකුල් සහගත ලෙස හෙලා දුටුවෙමි. මනුක්ෂත්වය අහිමි ඔවුන්ගේ හදවත් දෙස මා අනුකම්පාවෙන් යුතුව බලන්නට යම් විටක පුරුදු වන්නට ඇත්තේ මෙතෙක් කල් නිහඬව ගත කිරීමෙන් වග මා ඔවුන්ට සිහි කැඳවන්නට වෙහෙසුනෙමි.



“.. ඔය ළමයා ඇයි ආර්ට් එකට එන්නේ.. මේ තරම් හොඳ රිසාල්ට් එකක් තියාගෙනත් බයෝ කරන්න ඇත්තේ අරමුණක් ඇතුව නේ.. මොකද ඒකට වුණේ..”



සම්මුඛ පරීක්ෂණයක් අතරට වැදුන එකෙකු මෙන් සබකෝලය වැඩුණු දෙනෙත මා බිමට බර කර ගතිමි. මා ජීව විද්‍යාව තෝරා ගත්තේ වෛද්‍යවරයෙකු වීමේ අරමුණ පෙර දැඩි කරගෙන වග දනිමි. නමුදු පාසල් පන්ති කාමරය මා හට එයට අවැසි සහය සලසා නැත. සැම අත ඇත්තේ නොහොඳ නෝක්කාඩු සහිත හාස්‍ය මුසු බස් ය. මා එයින් තෙරපීමෙන් ද  මිරිකීමෙන්ද  විඳි වේදනාව දන්නේ මා හා එය විඳින හදවත පමණක්ම හැර වෙන කවුරුන්ද. එහෙයින් මා හීන අහලකට විසි කර මිනිසුන් අතර මිනිසුන් සොයා ගියෙමි.

මා අනෙකුන්ට වඩා වෙනස් අයෙක් වෙමි. මා සිතන්නේ ද පතන්නේ ද වෙනස්ම ආකාරයට වග මා දැන සිටියෙමි. මා හට අනෙකුන් සේ හැසිරෙන්නට උවමනා වුව ද මා හට ඔවුන් මෙන් අනුවර්තනය වන්නට නොහැකි විය. එහෙයින් මා දුර්වලයෙක් ලෙස හංවඩු ගැසිණ. පොත පතේ දැනුමට වඩා මා ප්‍රායෝගිකත්වය ප්‍රශ්න කළෙමි. පොතින් ලද දැනුමෙහි හෝ ඇතැම් න්‍යායාත්මක කරුණු තුල මා දුටුවේ එබ්බවූ ප්‍රයෝගිකත්වයකි. මා ඒවා ප්‍රශ්න කළ විට මා හට ලැබුන ඇගයුම් නම් හාස්‍ය හා ගැරහුම් ය. එහෙයින් මා ජීව විද්‍යාවට අකමැත්තෙන් වුව සිහින අවුළුවා දමමින් තිත තැබුවෙමි.



“.. කැම්පස් යන්න ඕනේ සර්.. මට කෙමෙස්ට්‍රි අමාරුයි..”



මා කලා අංශය බාර ගුරුවරයා දෙස එක එල්ලයේ බලා පිළිතුරු දුනිමි. මා එයින් ප්‍රකට කරන්නට පෙළඹුනේ මා හට ඇති අරමුණ වග ඔහුට පසක් වන්නට ඇත. එහෙයින් ඔහු වෙනත් ප්‍රශ්න නොඇසීමත්, මා එයින් අපහසුවට පත් නොවීමත් නිසා සිතට සහනයක සේයාවක් ඇතුළු විය.



“... ඔයා තෝරා ගත්තු සබ්ජට් තියෙන ක්ලාස් එකක් ආර්ට් එකේ නැහැ දරුවෝ.. එක ක්ලාස් එකක් තියෙනවා. එකේ තියෙන්නේ සබ්ජට් දෙකයි ඔයාගේ ඒවාගෙන්.. අයි ටී ඉකොන් විතරයි.. ලොජික් එකට ඔයාට වෙන ක්ලාස් එහෙකට යන්න වෙනවා ඒ පීරියඩ් වලදී.. ඔයා කැමති ද නැත්නම් ඒ ක්ලාස් එකේ තියෙන හිස්ට්‍රි සිංහල වගේ සබ්ජට් එකක් තෝරා ගන්නවා ද..?.. ”



“.. අවුලක් නැහැ සර්.. මට ලොජික් කරන්න ඕනේ.. මම ඒ පීරියඩ් එකේ යන්නම් වෙන එහෙකට..”



ඔහු මොහොතක් මා දෙස බලා හිඳ හිස වනා නැවත ඔහුගේ කාර්ය සිදුකරගෙන යයි. මා දෙස දහසක් නෙත් වැටී ඇතැයි යන භියෙන් ඔබ මොබ බැලුවෙමි.



“.. හරි යන්.. ගන්න බෑග් එක.. ඔයාව මම ක්ලාස් එකට දාන්නම්.. ක්ලාස් එකේ ප්‍රශ්න ආවොත් මට කියන්න.. හොඳට ඉගෙන ගන්න.. කැම්පස් යන්න.. මගෙන් සුබ පැතුම්.. හොඳ රිසාල්ට් එකක් දාන්න ඕනේ පුතා.. සයන්ස් වලින් ආපු හැමෝම දක්ෂයෝ... එයාලා වාර්තා තියලා ආර්ට් එකෙන් එලියට බැස්සේ.. මට උඹෙන් හොඳ රිසාල්ට් එකක් ඕනේ...”



ඔහු මා දෙවුරින් අල්ලා වැළඳ ගන්නට මෙන් පැමිණ ගුරු ගෝල ස්නේහයෙන් යුතුව පිටට තට්ටුවක් දමයි. මා සිනාසුනෙමි. මා හදවත දුන් පොරොන්දුවක් ඇත. කිසි කලෙක මා අදින් පසු අසමත් නොවෙමි. මා හට හැකි උපරිමයෙන් සිදු කරන්නට හැකි යුතුකම් පාසල් මාතාව හා මා වෙනුවෙන් සිහින දකින මා පියන්ට ඉටු කරන්නට සැදී පැහැදී බලා සිටියෙමි. මගේ හදවතේ නැගුණු බලාපොරොත්තු වලින් හදවත පිම්බි ගොස් නව පණක් ලැබුනාක් මෙන් දැනිණ. පාසල් බෑගය ගෙන ඈතින් පෙනෙන විද්‍යාගාරයද ඒ හාම හාත්පස වූ විද්‍යා අංශය දෙස බලා සුසුමක් හෙළුවෙමි. හදවත පත්ලෙන් නැගුනු වේදනාව උණු කඳුලකින් මා දෑස් දෝවනය කරන්නට සමත් වූ වග ස්නායු වලට පසක් විය. ඒ මගේ පාර්ථනා ය. ඒ මගේ සිහිනයන් ය. ඒ මගේ අනාගතය ගැන මා දුටු අසීමිත බලාපොරොත්තු ය. අද ඒ සියල්ල අලුයම හිරු දුටු පිණි බිඳු සේ වියලී ගොස් ඇත. අපාය සහයන් අතින් මිඳී සංවේදී මිනිසුන් අතරට වැදීමේ අරමුණින් යුතුව මා කලා අංශයේ දොර ගුළු විවර කළෙමි.



“.. මේ ඉන්නේ ඔයාලගේ පන්තියට අලුත් ළමයෙක්.. බයෝ එකෙන් ආවේ.. මෙයාව බයිටක් කරගන්න එපා.. මොකද උඹලට වඩා මූ සුපිරිම කබ්බෙක්.. මූට පාඩුවේ ඉන්න දියල්ලා.. නැත්නම් තොපි හම ගහනවා..”



ඔහු මා දෙස බලා සිනහවකින් මුව සරසාගෙන පිළිතුරු දෙයි. එහි ඇත්තේ චෝදනාවක් හා මුසු වූ තර්ජනයක් යන වග මගේ මනසට වැටහිණි. මා එහෙයින් නව මිතුරන් දෙස බැලුවේ ඔවුන් අනෙකුන්ට වඩා නොවෙනස් වූ චරිතයන් ද යන භියෙනි.



“.. උඹත් පුලුවන්නම් මුන්වත් ගොඩ අරගෙන ගොඩ යමන්..”



ඔහු මා දෙස බලා නැවතත් පවසන්නට විය. මා හට හිමිකර දුන් අසුනින් මා බෑගය තබා අසුන් ගතිමි. නව මිතුරන් මිත්‍රලීලාවෙන් මා අමතන්නට විණි. එයින් මා පත්වූ අපහසුව මදක් ලිහිල් විය. මා කවුදැයි යන වග ඔවුන්ට හඳුන්වා දීමත් ඔවුන් කවුරුන්දැයි හඳුනාගැනීමත් නිසා ඔවුන් අතර යම් බැඳීමක් මා සිත පිළිසිඳ ගත්තේ ය. කලා අංශයේ අමුතුවෙන් ඇඳුරුම්කමක් ඇති කරගන්නට කෙනෙකුන් සිටියා යැයි මා සිතුවේ නැත. බොහොමයක් මිතුරන් මා හොඳින් දත් නිතර මා  හට හමුවන අයවලුන් වීම නිසා සිතට යම් සහනයක් ගෙන ආවේය.



“.. මම කසුන් උඹගේ නම මොකක්ද බං.. මට අර වෙලේ සර් කිව්වට ඇහුනේ නැහැ....”



මා අසළම අසුනේ හිඳි මිතුරා මා දෙස නෙත අයාගෙන විමසයි. ඔහු මා දෙස බැලුව ද මා ගණනකට ගත්තේ නැත. ඔහු අනෙකුන්ට වඩා වෙනස් ගති පැවතුම් ඇති රළු අයෙකු යැයි මා සිතුවෙමි. නමුදු ඔහුගේ සිනහව මා සිත තුළ ඇති කලේ මිත්‍රශීලි බවකි.



“.. ගිම්හාන දිසානායක ..”



මා සිනාමුසුව පැවසුවෙමි. පෙරළා ගත් පොතක රූල් අතර ඔහු කිසියම් දෙයක් සටහන් කරයි. ඔහුගේ දිගටි අත් අකුරු අපැහැදිලි මුත් ඒවා තුළ කිසියම් කලාත්මක හැඩයක් ඇතැයි සිතුණි.



“.. උඹ බයෝ කබ්බෙක් නේ.. සයන්ස් එකෙන් පැනපු එකා නෙව.. මට මේ ගාන කියා දියන් හදන හැටි.. අයි ටී ගානක්.. උඹ මේක දන්නේ නැතුව ඇති.. මම තියරිය කියා දෙන්නම්.. මට මෙතැන උත්තරය එන හැටි හිතා ගන්න බෑ..”



මා ඔහුගේ පොතට එබුනෙමි. ඔහුගේ අපැහැදිලි අකුරු තුළ මා මනස මෙහෙයවීම රළු අත්දැකීමක් වූ අතරම, නමුදු ඔහු අපැහැදිලි තැන් තේරුම් කිරීමත් ඒ ඇසුරින් අප අතර ඇතිවූ දෙබස් ඛණ්ඩයන් නිසා අපූර්ව මිතු දමක් ඇති වීමට මඟ පෑදිණි.

පසුපස පේළියේ මිතුරන් හැර අනෙක් සියල්ල හා මා මිත්‍ර වුයෙමි. ගැහැණු ළමුන් හා මා වේගයෙන් මිත්‍ර වීම නිසා ඔවුන් මගේ සමීපතියින් වීමට වැඩි දවසක් ගත වුයේ ද නැත. එහෙයින් කලා විෂය දේහය තුළ රාජකීයන් අතර මගේ ගුණය වඩාත් පැතිරිණි. නමුදු මා කිසිවෙක් හා වැඩි කතාවට නොගියෙමි. මා ඔවුන් තේරුම් ගැනීමටත් ඔවුන්ගේ අදහස් විඳීමටත් බලා සිටියෙමි. මා මුව පිරුණු සිනහව පමණක් ඔවුන්ට දැක ගත හැකි විය. ඔවුන් මා දුටුවේ කිසිවක් නොදත් අහිංසකයෙකු සේ ය. නමුදු මගේ හදවතේ පැන නගින සිතුවිලි නැමැති රැල්ල මා ආයාසයෙන් යුතුව මැඩගත් වග ඔවුන් දන්නේ නැත.



විදුහලට මා පැමිණියේ පුංචි සිරගෙයක් බඳු බෝඩින් කාමරයක සිටය. එහෙයින් මා හට අම්මාගේ ආදරයත් තාත්තාගේ රැකවරණය පිරි දෑසත් දකින්නට සිත පුරා ඇති වුයේ දැඩි ආශාවකි. අම්මා නොදැක බෝඩින් කාමරයකට කොටුව දින පහක් ගෙවා දමන්නේ දැඩි සිත් තැවුලෙනි. ප්‍රියයන්ගෙන් වෙන්ව ගෙවන ජීවිතය මෙතරම් රළු වෙතැයි මා කිසිදා නොසිතුවෙමි. පාන් බාගයෙන් ද කැකුළු බත් ද සමඟ ජීවිතය ගැට ගසාගෙන ක්ලෝරීන් වතුරෙන් දිවඟ තෙමන මා නොයෙක් විට  අම්මාගේ උණු බතෙහි රසය දැනී හඬා වැළපෙන වාර අනන්තය. අම්මාගේ උණු බත් පිඩක් වුව තාත්තාගේ සුරතින් අනාගෙන කවා ගන්නට ඇත්නම් සැපතකි. මා වයසින් මුහුකුරා යන තරුණයෙකු වුවද කුඩා දරුවෙකු සේ ඔවුන් ඉදිරියේ හැසිරෙන්නට වුයෙමි. පවුලේ එකම දරුවා ලෙස ඉපදී හැදුනු වැඩුණු මා හට හිමි අසීමිත ආදරයේ අඩුව බෝඩින් කාමරය තුළ දැඩිව දැනිණ. එළඹෙන සිකුරාදා දිනය ගැන නොසිතාම නිවස බලා යන්නට දැඩි අදිටනින් යුතුව මා බසයට ගොඩ වුයෙමි.



“.. අළුත් සබ්ජට් කොහොමද දරුවෝ..”



මා දෙස අයාගත් නෙතින් යුතුව අම්මා විමසයි. මා කිසිවක් පවසන්නට ප්‍රථම අම්මා පිළියෙළ කල දහවල් ආහාර මොනවා දැයි කෑම මේසයේ වසා තිබු කූඩය හැර බැලුවෙමි. මා මුහුණ නෝක්කාඩුවෙන් පිරී ගියේය. මුහුණ ද අකුළුවාගෙන මවාගත් අමනාපයෙන් යුතුව පුටුවකට බර දුනිමි.



“.. සලාද කොළ තියෙනවා.. මම හැදුවේ නැහැ ඔයා එනකන්.. ඔයා හදලා තිබ්බට කන්නේ නැහැ නේ..”



අම්මා තරම් මා හඳුනන කෙනෙකුන් මේ ලොව නැතැයි සිතේ. මා මස් මාංශ පිළිකුල් කළෙමි. කොළ පැහැති ශාකමය ආහාරයක් නැතිනම්  මා කෑම වර්ජනය කරන වග අම්මා දනී. එහෙයින් ඈ මා වෙනුවෙන් රසයෙන් පිරි හොඳම දේ දෙන්නට අසීමිත උත්සයක් ගනී. මේවායේ අඩුව දැනෙන්නේ බෝඩින් කාමරයක වසන විටය. එකී කටුක ජීවිතය ගෙවා දමන්නට මා දින ගැන්නෙමි.



“.. හොඳයි අම්මේ.. අලුත් කොල්ලෝ කෙල්ලෝ පට්ට.. සුපිරිමයි..”

“.. මොනවද ඔය වචන.. දැන් හැදෙනවා අන්තිමයි වගේ..”



“.. අනේ අම්මා...”

“.. මොකද..?..”



“... මුකුත් නැහැ.. ඔයාලා ඉන්නේ රාමුවකට කොටු වෙලා.. ඕකෙන් එළියට එන්නකෝ..”

“.. රාමුවකට කොටු වෙලා නෙමෙයි.. ඔහොම කතා කරන්න එපා.. ඉස්සර ඔයා ඔහොම නැහැ..”



“.. එහෙම තමයි දරුවෝ වැඩෙන කොට..”



අම්මාගේ හුස්ම ඉහල පහල යන හඬ ඇසෙ. ඈ සිටින්නේ කෝපයෙනි. සුළු දෙයටත් කේන්ති ගන්නා අම්මා දෙස බලා මා සිනාසුනෙමි. කුඩා දරුවෙක් සිය අකමැත්ත ප්‍රකාශ කරනු වස් මුහුණ අකුලා ගන්නවා සේ අම්මා මා දෙස බලා ඔරවයි. ඇගේ ගතිගුණ මා තුළ ද පැන නැගී ඇත. නොයෙක් විට මා අකැමැති දෙයක් වෙනෙකුගෙන් සිදු වේ නම් මා උරණ වන්නේ ද ඔවුන් නොසිතන පරිද්දෙනි. එවැනි අවස්ථාවන් වලදී මා හටවත් මගේ කෝපය පාලනය කරගත නොහැක. නමුදු අම්මා උරණ වන්නේ මා සමඟ නොව මගේ සිතුවිලි සමඟ වග මා දනිමි. ඇය මා හට රිසි සේ හැසිරීමට නිදහස දී ඇත. දරුවෙකු ලෙස මෙවැනි අම්මා කෙනෙකු ළඟ වැඩෙන්නට තරම් මා පින් කල යුතුය. ඈ තරම් විවෘත වූත් මෙතරම් මා හට  අසීමිත සෙනෙහසක් දක්වන කෙනෙකුන් ද නැති වග මා තේරුම් ගතිමි.



දවස ගත වන්නේ ද වේගයෙනි. දින සති ගෙවී කාලය අප හඹා යන්නේ ද නොසිතු පරිද්දෙනි. මා අද වනවිට රජකීයන් යටතේ වැඩෙන පිරිපුන් දරුවෙක් මෙනි. කාලයක මහත ! අපව කාලය විසින් කොතෙක් වෙනස් කර ඇත්දැයි සිතේ. මා කලා අංශයට ආ අරමුණ පවා අමතක වන තරමට මා වෙනස් වූ අයෙකු වෙමි. ජීවිතය ගෙවෙන්නේ ද නොහික්මුණ අයුරිනි. මා සිතුවිලි පවා මා හට අවනත නොවන්නා සේ දැනෙන ලෙස මා වයෝ මනසින් වයෝවෘධ වුවෙකු සේ හැඟෙ.  

දවස් කිහිපයක් හරි හැටි නින්දක් නොලද නිසාවෙන් මා හිස සිට දෙපතුළ දක්වා පොරවාගෙන නිදා ගතිමි. . බොහෝ කලකින් හමුවූ මිතුරෙකු වැළඳ ගන්නා මිතුරෙකු මෙන් මා කොට්ටය තදින් වැළඳ ගතිමි. හිස මත තිබු කොට්ටයට මුහුණ ඔබාගෙන දහවල් වන තුරු නිදා ගන්නට තිබු ඒකායන පාර්ථනය උඩු හුළඟට ගසාගෙන ගියේ තාත්තාගේ ආගමනය තුළින් කාමරය දෙවනත් වීමයි.




“... සුදු... තමුසේ තාම නිදි ද..? නැගිටිනවකෝ..”

“.. අනේ තාත්තා ඉස්කෝලේ යන්නේ නම් නැහැ.. කියන්නත් එපා.. මම යන්නෙත් නැහැ.. නිදා ගන්න දෙන්න කෝ.. අදම අස්වීම ගන්න ඕනේ ද..? හෙට යාළුවෝත් එනවා අනිත් ක්ලාස් වල...”



මා නැවතත් පොරෝනයෙන් හිස ආවරණය කර ගතිමි. කුඩා දරුවෙකු සිය කෙලි සෙල්ලම් බඩු උදුරා ගනීවි යැයි බියෙන් ඒවා තදින් අල්ලා ළයට තබා ගන්නවාක් වැනි හැඟීමෙන් යුතුව පෙර තුරුලේ තිබු කොට්ටය මත කකුලක් දමාගෙන දෑස තදින් පියා ගන්නට අර අදිනු දුටු තාත්තා පොරෝනයෙන් අදින්නට විය.



“.. මොකද අප්පා වෙලා තියෙන්නේ..”  මා කෝපයෙන් යුතුව තාත්තා දෙස බැලුවෙමි. ඔහු සිනාමුසුව සිය කාර්ය සිදුකරගෙන යයි.

“.. අන්න ඔයාගේ යාලුවෙක් ඇවිදින්.. දැන් නමයයි කොල්ලෝ වෙලාව.. දැන් ඉස්කෝලේ යන්න බෑ.. නැගිටිනවා.. මේ වෙලාවට අස්වීම් නෙමෙයි මුකුත්ම ගන්න යන්න බෑ තමයි.. අන්න අම්මත් වැඩට ගියා..”

“.. මොකාද මේ උදේම ආපු බූරුවා.. ෂික් ..! නින්දත් ඉවරයි..” මා එසේ කියාගෙනම පොරෝනය සයනයේ මුල්ලකට වන්නට ගුලිකර විසි කර දැමුවෙමි. මේසය මත තිබු වතුර වීදුරුවෙන් උගුරු කිහිපයක් බී නැවත සයනය මත හිඳගෙන පියවෙන්නට එන දෑස හැර නිදි මත මා කෙරෙන් ඉවත ලන්නට අසීරු උත්සහයක යෙදුනෙමි. තාත්තා කොට්ටා එක දෙක ගොඩ ගසමින් පොරෝනය අකුලයි. ඒ අතර මා දෙස බලා සිනාසෙයි. ඔහු සිනාසෙන්නේ කුමකට දැයි අසන්නට සිතුනත් මා ගොළු මුව රැක්කෙමි. මා සිතේ මා ගැනම හට ගත්තේ කෝපයකි. තාත්තා පොරෝනය අකුලන තෙක්ම මා යහන මත හිඳගෙන සිටීම එයට හේතුව වී තිබිණ.



“... මචං ඩගියා.. උඹ කොයි වෙලේ ද ආවේ..” මා කිසිවක් නොදත් එකෙකු සේ මිතුරා සිටි සෝපාව මත හිඳගෙන ඉදිරියේ වූ ටීපෝව මත කකුලක්ද තබා ඇසුවෙමි.

“.. අනේ පලයන් රට හරකා යන්න.. තෝ මට බූරුවා කියලා බැනලා දැන් මෙතැන බබා පාර්ට් දානවා..”

“.. උඹට ඒවා ඇහුණා ද..?..”

“.. උඹ හිතුවා ද බීරා කියලා මම..”

“.. නෑ එහෙම නම් හිතුනේ නැහැ.. ඒත් බං.. මේ..”

“.. මම කල්පනා කලේ යකෝ, උඹ කසාද බැඳපු දවසක මොනවා කියයි ද කියලා ගෑණි එක්ක...... අපි ආපුවම.. බලහන් උඹ තාත්තා එක්ක ඔහොම අපිට බැන්නා නම්, ගෑණි එක්ක කොහොම බනී ද..?..”

“.. මේ උදේ පාන්දර තොපි ගෙවල් වලට ගොඩ වෙන්නේ මොන මගුලටද කියාන්..”

“.... උදේ ..! කුරුණෑගල ටවුන් එකට උදේ වෙන්නේ නමය වෙනකොට වෙන්න ඇති මගේ හිතේ.. ඇඳුමක් දාගෙන වර යන්න ගමනක්.. උඹ එක්කන් යන්න ආවේ..”

“... උඹ කොහොමද මම ඉන්නවා කියලා දන්නේ.. අනික කොහෙද ගමන කියාන්.. කප්පම් ගන්න එක්කන් යනවද දන්නෙත් නැහැ නේ.. මේ දවස් වල ලස්සන කොල්ලෝ උස්සලා කෙල්ලන්ට විකුණනවා ලු.. මම දැක්කා ෆේස් බුක් එකේ කවුද එකෙක් දාලා තියෙනවා කෙල්ලෝ වගයක් කොල්ලෙක්ට අතවරත් කරලා..”

“.. සමාජ රෝග කාරයෝ උස්සන්නේ නැහැ.. වාහනේ සර්විස් එකට දාන්න ඕනේ.. වරෙන්කො යන්න අනේ.. තනියම යන්න බෑ..”



දෙවරක් නොසිතාම ඇඳ පැළඳගත් මා වෑන් රථයට ගොඩ වුයෙමි. මිතුරෙකුගේ ඇරයුම් බසට පිටු පෑමට තරම් මා රළු හදවත් ඇත්තෙකු නොවෙමි. මගේ නිදහස අද දවසට සීමා වුව ද මා ඔහුගේ ඉල්ලීමට එකඟ වුයේ ඒ නිසාය. ඔහු සෙමෙන් වෑන් රිය අරලිය ලන්ද සර්විස් සෙන්ටර් එක බලා පදවයි. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් එකදු විෂයක්වත් සමත් නොවීම නිසා ඔහුට උසස්පෙළ වරම් නොලැබුණි. නමුදු එදා සිට අද දක්වාම අප අතර ඇති මිත්‍රත්වයේ බැඳීම වෙනදාටත් වඩා තරව පවතී. මා මිතුදම් රැක ගත්තේ දේව භක්තියෙනි. එදා පටන් අද දක්වාම මා තනි වූ විට වේදනාවෙන් හද බරවන විට මා ලඟින් සිටියේ මිතුරන් පමණකි. කොතරම් විවෘත වුවද අම්මාට හෝ තාත්තාට මගේ සිතැඟියාවන් ප්‍රකාශ කරන්නට මා භිය වුයෙමි. එසේ වුයේ හුදෙක්ම ඔවුන් කෙරේ ඇති ගෞරවය නිසා වන්නට ඇත.

අරලිය ලන්ද සර්විස් සෙන්ටර් අසළ වාහනය ගාල් කර තබා අප අසළ පිහිටි අපට හුරු පුරුදු වූ  කුඩා කඩයකට ගොඩ වූයෙමු. දුම් දමන පරාටා සමඟ එයටම ගැළපෙන මාළු හොදිත් පරිප්පු හොදිත් ඇණවුම් කල ඔහු මා දෙස බලා කතාවකට මුල පුරයි.



“.. උඹට මතකද ඉස්සර මේකේ පරාටා කන්න ඉස්කෝලේ ඉඳන් යුනිෆෝම් එක පිටින් බයික් වල එනවා.. මට මතකයි බං එක බයික් එකේ හතර දාගෙන ඇවිත් තියෙනවා මේකට.. උඹෙන් තමයි බේරෙන්නම බැරි ගිමා... මට තනියම මේකට වෙලා කනකොට සිරාවට උඹලා මතක් වෙනවා.. ”



ඔහු පවසන්නේ සත්‍යය කි. මා එකල පරාටා කන්නට දැඩි ලෙස ගිජු විය. මා ආශා කලේ පරාටා කෑමට වඩා අපට ලබාදෙන මාළු හොද්දත් පරිප්පු හොද්දත් හා එයටම දමා ගන්නා ලුණු මිරිස පරාටා කා අවසානයේ සුරුස් ගා බොන්නට ය. පිටස්තරයෙකුට එය අප්පිරියාසන්න හැඟීමක් වුවද ලුණු ඇඹුල් මිශ්‍ර ,මුහුණ රතු වන සේ දැවිල්ල අල්ලන එකී රසය තුළ ගැබ්වෙන අතරම පරාටා ඇනීමෙන් තල්පයක් බඳු හොද්ද මා හටනම් අමෘතයක් බඳු විය.

ලුණු මිරිසෙහි රසය මතකයට නැගී මටත් හොරා උගුරින් පහලට කෙළ පිඩක් ගිලුණි. එකළ තරම් මා සතුටින් සිනාසුන වාරයන් අද මගේ ජීවිතයේ නැත. ඇත්තේ කාර්යබහුලත්වය මුසු වූ විඩාපත් ජීවිතයකි. අමානුෂිකත්වය පිරුණු නගරය තුළට වැද මා කුමක් කරන්නේ දැයි මගෙන්ම අසන්නට පුරුදු වී සිටියෙමි. යාළු මිත්‍රාදීන් සිටියේ පාසලට පමණකි. පාසලින් පරි බාහිරව අප නොහඳුනන ඇත්තන් වූවෙමු.



“.. උඹ මොනවද කල්පනා කරන්නේ ගිමා..”

“.. නෑ මචං මට ඉස්සර මතක් වුණා..”



“.. අතීතය සිහිනයාක් පමණයි කියලා උඹ අහලා නැත්ද..? .. අහපන් කෝ.. දැන් ඉස්කෝලේ කෑල්ලක් එහෙම නැත්ද බං..”

“.. අඩෝ ඉන්නවා නේ.. කියන්න අමතක වුණා..”



“.. කියහන් කෝ වස්තුවේ... කෝ ෆොටෝස් පෙන්නපන්.. කෝ !  ගනින් ගනින් ෆෝන් එක..”

“.. කෑලි ගොඩක් ඉන්නවා.. උන් හැම එකාටම කොල්ලෙක් ඉන්නවා..”



“.. ඇයි යකෝ.. උඹේ සිකුරා දැන් පැනලා ගිහින් ද..?..”

“... ඉන්නවා බං.. ඌට හරි මහන්සියි..”



“.. උඹ අවුලෙන් නේද ගිමා.. මොකෝ ඉස්කෝලේ ලතැවුල් ද.. කොල්ලෝ ගේමට ද..?  අඩෝ බලහන් සුදු වෑන් අපිටත් තියෙන්නේ ඈ ... කේස් එකක් දැම්මොත් කියහන් ඉස්සුවා ගැහුවා...”

“.. එහෙම එකක් නැහැ බං.. උඹලා තරම් එකේ එවුන් සෙට් වෙන්නේ නැහැ තමයි.. ඒ උනත් මේ අවසාන කාලේ නේ බං.. මොකටද නිකන් ජරා සීන් නේද..? මම ඉස්කෝලේ යනවත් අඩුයි දැන්.. ක්ලාස් තමයි සෙට් වෙන්නේ..  ..”



කැලුමා මිතුරන්ගේ ගැටළු ළඟ පමණට වඩා ආවේගශීලි වී ඇතැයි සිතේ. එපමණට ඔහු මනෝභාවය එහි පටලාගෙන ජීවත් වෙයි. තාරුණ්‍යය කවදත් එසේ ය. ඔවුන් සිතන්නේ තමා වටා සිටින පුද්ගලයින්ගේ වේදනාව ගැන පමණි. නමුදු සමස්ථයක් ලෙස පුද්ගලයන් ගත් කල ඔවුන් සැවොම කිසියම් කරුණක් නිසා විඳවීම් තුළ ජීවත් වන වග මා උගත්තෙමි. ඒවා මා හට හුදකලාව මනා කොට වටහා දුණි.



“.. නැත්තේ නැහැ බං.. මම දන්නවා ඔවාගේ ඉන්නේ පාදඩ එවුන්.. මටනම් සෙට් වෙන්නේම නැහැ.. උන් ඉන්නේ අලි ඔලුවෙන්.. කියහන් කෝ ලව් එක ගැන.. එකක් හිතේ නැතෙයි..”

“.. ඉන්නවා බං..”



මගේ පපු කුහර තුළ කැලතෙන වායු ධාරා මටත් නොදැනී නාස් පුඩු තුළින් පිටව යන්නාක් මෙන් දැනේ. ගර්ත තුළින් ඇසෙන සිහින් කෙඳිරියක් ලෙය හා මුහුව හදවතේ අභ්‍යන්තරයේ පැලපදියම් ව ජීවිතයේ සදාකල් ලැතවුල්ලක් සිර කර තබන්නාක් මෙන් හදවත වේදනාවෙන් රිදුම් දෙයි.



“.. අඩෝ ගිමා.. කියහන් කවුද අපේ නෑනා..”

“... උඹලාගේ නෑනා වෙන්නේ නැහැ බං එකී. ඒත් මම උඹලාගේ නෑනා කරවන්න බලාගෙන ඉන්නවා..”



“.. මොකක්ද ගැඩවිල් මොටෝ ඒ හරුපේ..”

“.. ඒකිට එකෙක් ඉන්නවා බං කැලුමා...”



කැලුම්ගේ මුව විරූපී වී ගොස් පරාටා කැබැල්ලක් ඉස්පොල්ලේ ගියාක් මෙන් කහින්නට පටන් ගත්තේය. මා හුස්නෙන් නැගිට වතුර වීදුරුව ඔහුගේ මුවට ලං කර නොනවත්වා කසින ඔහු අසළට ගොස් පිටට වේගයෙන් පහරක් ගැසුවෙමි. එයින් සහනයට පත් වූවාක් මෙන් ඔහු මා දෙස නැවතත් වික්‍ෂිප්තව බලයි.



“.. යකෝ තොගේ කතා අහන අපි මැරෙනවා.. මේ උඹ ද ගිමා.. හිටහං වෙන හොල්මනක් ද මන්දා.. මට අල්ලලා බලන්න ඕනේ උඹේ මුහුණ..”



මවාගත් විසුළු මුහුණින් යුතුව කට ද ඇදකර ගනිමින් ඔහු මගේ මුහුණට ඇඟිල්ලෙන් ඇන්නේය. මා කිසිවක් නොපවසා සිනාසුනෙමි.



“.. ඒ සිරාද ගිමා.. මේ උඹ..!  කොල්ලෙක් ඉන්න කෙල්ලෙක්ට ලව් කරනවා..”

“.. මම දන්නේ පස්සේ බං කොල්ලෙක් ඉන්නවා කියලා මගුල..”



“.. ඒ කෙල්ල මරන්න නේ වටින්නේ බං..”

“.. ඒකිගේ වැරද්දක් නැහැ බං..”



“... ඈ ගොනෝ ලව් කරන්න උපදෙස් දුන්න උඹම,  රට වටේ කෙල්ලෝ ඉඳලත් උන්ට බණ කිය කියා ආදරේ කරන්නේ එක සැරයයි කියපු උඹම..!  .. ඒ කලොත් බඳින්න බලාගෙන කොරන්නේ කියපු උඹම...! , ආයෙම යාලුවන්ට කෙලවෙනකොට කෙල්ලෝ මරාගෙන කන්න හදපු තෝම කියනවා ද බං ඒ කෙල්ල හොඳයි කියලා..”

“.. ඔව් බං .. එයා දන්නේ නැහැ මම ආදරෙයි කියලා..”



“.. මේවා අහන්න ඉන්න තිබ්බේ චාමරයයි පැතුමායි බං.. සිරාවට.. මම ඉස්පොල්ලේ ගිහිං බේරුණා.. උන්ට පපුව අමාරුව හැදිලා විසි දෙකේ වාට්ටුවේ දාන්න වෙනවා..”

“.. ඒ මොකද බං.. විසි දෙකේ වාට්ටුව..?..”



“.. නෑ බං ඒකට දාන්නේ පිස්සෝ නේ.. ඒකයි..”

“... ම්ම්ම්ම්හ්...”



“... මට කියහන් කෝ ෆුල් ස්ටොරිය.. උඹව ගොනා කරපු එකී බලන්න වටිනවා ගිමා..”

“.. අනේ පලයන් ගන් කබරයා..”



මහේෂිගේ හමුවීම මා හට ද පුදුමයකි. මා කලා අංශයට බාර කල ගුරුවරයා මා හැර ගිය පසු මා නැවතත් හුදකලා වුයෙමි. තර්ක ශාස්ත්‍රය ඉගෙන ගැනීමට මා යා යුතුව තිබුණේ වෙනත් පන්තියකට බැව් ඔහු කීවද මා එය කුමක් දැයි නොදැන සිටියෙමි. මා එකී විෂය ඉගෙන ගත් ළමුන්ගෙන් අසා දැනගෙන පන්තිය සොයා ගත්තද මා සිටියේ එම පන්තියට එබෙන්නට ලැජ්ජාවෙනි. මන්ද මා ඔවුන්ට අමුත්තෙකු වූ නිසාය.

කවදා ගියද මා යා යුතුව තිබුනේ එකී පන්තියට නිසා මා පෙර හැඳින තිබු යහළුවන් කීප දෙනෙකු සමඟම  පන්තියට ගොඩ වැදුනෙමි. වාසනාවකට මෙන් පන්තියේ සිටියේ කිහිප දෙනෙකි. මා පන්තියේ ඉදිරිපෙළ අසුනක හිඳ කිසිවෙකු දෙස නොබලා අකුරකින් පවා තොර වූ සටහන් පොතේ රූල් අතර දෑස රඳවා ගතිමි. එසැනම, එය හාස්‍යයට කරුණක් වේ යැයි හටගත් භියෙන් යුතුව අසළ සිටි මිතුරෙක්ගෙන් ඉල්ලාගත් සටහන් පොතක් ගෙන මෙතෙක් උගන්වා ඇති සටහන් එකින් දෙක බලන්නට වුයෙමි.



“... හේ ඔයා අලුත් ළමයෙක් නේද..? කලින් කොහෙද උන්නේ..”



දෙසවන් මත පතිත වූ කටහඬ ආ දෙසට මා දෙනෙත යොමු කළෙමි. රාජකීයන් අතර කුමරියක බඳු ඈ යම් විශේෂයකට ලඝු කිරීමකට මෙන් ළයෙහි පැළඳි ලේබලයෙන් ද ඒහාම කළුවන් කෝට් එකෙන්ද කියා පෑවේ ඈ ළමුන් අතර විශේෂණයකොට දැක්වූ අයෙක් වගය. ඈ මා දෙස එක එල්ලයේ බලා සිටින්නේ මා වරදකට හසු කරගත් එකෙකු මෙන් ය. මා එකී බැල්මට මුහුණ දීමට නොහැකිව බැට කෑවෙමි. ඇගේ සිනාවත් දෑසත් හදවතේ බැමි බිඳමින් ආගන්තුක බවද දුරස් කර පුරුදු කාරියක සේ ලැඟුම් සොයයි. එක මොහොතක් තුළ ජීවිතය උඩුකුරුව ගොස් හදවතේ සේයාවන් තුළ රිදී පටියක් නිර්මාණය කරන්නට වුණි. සසරේ පුරුදු හැඟීමක් සිත වෙලා ගන්නට වූ නියා දන්වමින් ඉවසීමේ සීමා පටක බිඳින්නට වෙර දරයි. මා ආයාසයෙන් ඇගේ නෙතින් මිදුනෙමි.



“.. හිනා වෙන්න නෙමෙයි කිව්වේ.. ඔයා කලින් මොනාද කලේ..?..”



පෙම්වතුන් යුවලක් වැහි දියෙහි වැද කුඩයක් හිසට සෙවණක් සේ සදා මටසිළුටු නොවූ මඟක ඇදෙන කළ ඔවුනොවුන් වැහි දියෙන් බේරීමට කුඩ සෙවනේ ඉඩකඩ සොයන්නා මෙන් ද දෙදෙනාම පාද තබන රිද්මයද හදවතේ ගැස්මට සමාන වන්නා සේ, ඔවුනොවුන් වැළඳ ගෙන උණුහුම බෙදා ගන්නා මොහොත තුළ හදවතේ පිරී යන ආදරණීයත්වය මැද සිය පෙම්වතියගේ නළල් තල සෙනෙහසින් සිප ගන්නා පෙම්වතෙක් මෙන් මා ඈ කෙරේ ලැජ්ජාවෙන් පසුවුයෙමි. ඇගේ දෑස් දෙස බලන කළ එකී දෑසෙන් මා හා සන්නිවේදනය වන්නට දඟලන හැඟුම් සමුදාය වෙනෙකෙකු දකී යන අනියත භියෙන් මා සලිත වී ගියෙමි. හුදු නිමේෂයක් තුළ බැඳුනු සෙනෙහසේ දළු ලෑම මගේ හදවතට යම්තාක් පුදුමයක් එක් කලද මා ඒ ගැන තකන්නට ගියේ නැත.



“.. කලින් බයෝ එකේ.. දැන් ආර්ට් එකේ..”



ඇගේ දෑස් මඟ හරිමින් මා ඉවත බලාගෙනම පිළිතුරු දුනිමි. නමුදු මගේ සිනහව කිසි සෙත් වසා ලිය නොහැකි සේ ඈ හට තිළිණ කරන්නට මා ප්‍රිය වුයෙමි.



“.. අහිංසක හිනාව.. අනේ...”



කුඩා දරුවෙකු සුරතල් කරන්නාක් මෙන් කොහේදෝ සිට ආ හඬක් මා දෙසවන් අතරින් නිදැල්ලේ ගියේය. මා එය ගණනකට නොගත්තේ එවැනි වදන් වලට මා වඩාත්ම හුරු පුරුදු වී සිටි නිසාය. මා සිනාසෙන්නේ අනෙකුන් මෙනි. මා එහි දුටු විශේෂත්වයක් නැත. නමුදු මා සෑම විටම සිනාවෙන් සිටීමට කැමැත්තෙන් පසු වුයෙමි. සෑම විටකම මා සිනාසෙනු දුටු ඇතැමුන් මගේ සිනාවට යම් යම් දේ ආරුඩ කිරීමට හුරු පුරුදුව සිටියහ. ඔවුන් මගේ සිනාවෙන් ලද විශේෂත්වය කුමක් දැයි මා නොදනිමි. නමුදු මා සිනහව යනු පිදිය හැකි උතුම් වූ ත්‍යාගයක් වග වටහාගෙන සිටියෙමි.



තර්ක ශාස්ත්‍රය බාරව සිටි ගුරුවරිය පැමිණියාය. ඈ මා දෙස බලා පෙර ගුරුවරු සේම පොදු වූ ප්‍රශ්න කිහිපයක් ඇසුවද ඒවා අනෙකුන් තරම් රළු වූ වදන් නොවුණි. ඈ මගේ පෞද්ගලිකත්වය ගැන කිසිදු ගැටළුවක් ඇසීමෙන් වැළකීම ගැන සිතට මහත් සහනයක් විය. අනෙක් ගුරුවරාදීන්ට වඩා ඈ වෙනස් වුණි. ඒ නිසාවෙන්ම ඈ සියලු ගුරුවරුන්ට වඩා මා හට ලැදි ගුරුවරියක විය.



“.. ඔය ළමයාට ලොජික් අල්ලාගන්න බැරි වෙයි දැන් නම්.. මහේෂි ඔයාට පුළුවන් නේද නිවාඩු වෙලාවට මෙයාට කියලා දෙන්න.. ව්‍යුත්පන්න ගණන් එහෙම..”

“.. මට පුළුවන් මිස්..”

ඉබ්බා දියේ දැම්මා මෙන් මා හදවත ඉපිලී ගියේය. මා හදවතින් ඇයට ස්තුතිවන්ත වුයෙමි. රාත්‍රී අහසට අරක්ගත් දෙවියන් එළි දල්වමින් අහසින් පොළවට වඩින කළ ඇතැමුන් දෑත නළලේ තබන්නා සේ මහත් වූ භක්තියෙන් යුතුව ඇගේ නෙතඟ දෙස බලා ස්තුතිපූර්වකව දෑස් පිය සැලුවෙමි. ඈ අඹරේ පෑයු දේවතා එළියක් සේ මගේ ලෝකයේ ප්‍රේමණීය පහන් දල්වා සීනු වයන්නට උර දුණි. නමුදු පූජාසනය මත පිදෙන මල ඉටි මලක් වග දන්නේ මා පසුවය.

ඇගේ නම මහේෂි ය. මා සිතින් දෙතුන් වරක් ඇගේ නම මුමුණන්නට වෙමි. මා නැවතත් ඈ දෙස බැලුවෙමි. ඇගේ දෑස් මා වෙත ඇඳි තිබුනාක් මෙන් ඈ පෙරලා සිනාසෙයි. හදවතේ සීනු එක දෙක සැලෙන්නට පටන් ගෙන තිබේ. හදවත් දෙවොලේ පහන් දල්වා ආලෝකයෙන් බබලයි. ඉතිරිව ඇත්තේ පාර්ථනා හා බලාපොරොත්තු දෙවියන් ඉදිරියේ භක්තියෙන් යුතුව තැබීම පමණි.

මා තනිව සතුටු වුයෙමි. ඈ හට ළං වීමට ආශා කළෙමි. දුටු දසුනින්ම ඈ මගේ සිත සොරාගෙන ය. මා ඕනෑ තරම් ගැහැණුන්ට ළෙන්ගතු වී තිබේ. ගැහැණුන් යනු මා හට අරුමයක් නොවන වග මා දැන සිටියෙමි. නමුදු මගේ අහංකාරකමත් ප්‍රතිපක්තිගරුක බවත් නිසා මා කිසිදු ගැහැණියකට මගේ ආදරය නොදුන්නෙමි. මා ප්‍රේමය ගැන සිතනුයේ අනෙකුන්ට වඩා වෙනස් අයුරකට වීම එයට හේතුවක් වුවා යැයි සිතේ. මා හට අවැසි වුයේ හදවත නිවා සනසන මගේ ලෙය තුළ කිඳා බසිනා සේ ප්‍රේමය වඩ වඩාත් මනස තුළ පුරවාගත් පෙම්වතෙක් වන්නට ය. වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම මා පූජණීය ලෙස ප්‍රේමය ගැන සිහින දකින්නට වෙමි. දසුනකින් වුව ප්‍රිය උපදවන ගැහැණියක් හා ප්‍රේමයෙන් වෙළීමට ඇත්නම් ඈ හා සරණ යන්නට ඇත්නම් මා එය වාසනාවක් සේ සැළකුවා පමණක් නොව හදවත පැලෙන්නට වුව ආදරය කරන්නට මා බලා සිටියෙමි.



දවස් කීපයක්ම ගෙවී ගියේ නොසිතු පරිද්දෙනි. මහේෂි හදවතේ ලැඟුම් ගත්තේ මගේ ඉවසීම ද මා කෙරෙන් උදුරා දමමිනි. ඇගෙන් ආදරය යදින්නට මා හට සිත් විණි. නමුදු මා එයට වැඩි වේලා ගත්තේ ඈ ගැන තව දුරටත් සොයා බැලීමේ අරමුණි. මන්ද ප්‍රේමය යන බැඳීම දුටු වනම පුදන්නට තරම් මා කිසිසේත්ම වෙස්සන්තරයෙකු නොවූයෙමි. එසේ දෙන්නට තරම් මා ළඟ ප්‍රේමණීය හැඟුම් ද නොතිබිණි. මා හට උවමනා වුයේ එක් ගැහැණියකට මියෙනා තුරු පෙම් කරන්නට ය. වයසින් මුහුකුරා යන ගමනේ දී ඈ වෙනුවෙන්ම ජීවිතය පවත්වා ගන්නට ය. මහේෂිගේ කුස මා වෙනුවෙන් නෙරා එන විට ආදරයෙන් ඈ වැළඳගන්නට මා සිහින දැක්කෙමි. එපමණකින් නොතැවී ඇගේත් මගෙත් දරුවන් ලෝකයා ඉදිරියට පැමිණ අපව සොම්නසින් තබන දිනය ගැන ද මා සිහින දැක්කෙමි.



“... ඔයාට මේ ගණන් කියලා දෙන්න මට තේරෙන්නේ නැහැ අප්පා.. බලන්න ඔයා මේ ලෝකේ නෙමෙයි ද මන්දා ඉන්නේ..”



සටහන් පොතක රූල් අතර දිවෙන ඇගේ ඇඟිලි තුඩු අල්ලා සිප ගන්නට ඇත්නම් සිතුණා මිස ඈ ඉගැන්වූ කිසි දෙයක් මගේ සවනට ඇතුළු නොවිණි. මා නුඹට අසීමිත ලෙස ආදරය කරන වග කියන්නට ඇගේ දෑස් දෙස බැලු මුත්, ඈ එය වටහා ගන්නේ ද නැත. සියල්ල අවසානයේ සිදුවන්නේ,  ඈගේ සියලු බස් හමුවේ මා සිනාමුසුව සිටීම  පමණකි.



“.. මචං අර ගෑණු ළමයා කවුද..? මට විස්තර කියපන්.. ඒකිව ඕනේ බං මට.. මම ඒකිට කැමතියි..”



කලා අංශයේ ආගන්තුක බව මා කෙරෙන් පහව ගියේය. මහේෂි වෙනුවෙන් හදවතේ පිළිසිඳ ගත් ආදරය විළිරුදාවෙන් වේදනා විඳි. එය ඉවසාලිය නොහැකි තැන මා කසුන්ට සියල්ල හෙළි කරමින් යම්තාක් දුරට හෝ සිත නිදහස් කර ගැනීමට මාන බැලුවෙමි. 



“.. මහේෂි නේද උඹ කියන්නේ.. උඹත් මාර පොරක් නේ.. ඉඳලා ඉඳලා අත ගහලා තියෙන්නේ මාර කෑල්ලකට නේ.. ඕක බ්‍රයිට් කේස් එකක් මචෝ..”

“... යකෝ මමත් බ්‍රයිට් කේස් එකක් තමයි.. උඹලා වනපොත් කරලා ආවේ.. මම පොතක් අතින් අල්ලන්නේ නැතුව මේකට ආවේ..”

“.. හරි බං.. ඕකට කලින් නම් අර එකෙක් බැල්ම දැම්මා.. මම හොයලා කියන්නම්.. කට්ටිය නම් කියනවා සෙට් කියලා..”

“... හිත බිඳිලා යන කතා එපා කසුනා.. මට ඒකිව ඕනේ..”



“.. සිරාවටම උඹ ලව් ද යකෝ.. මට කලින් කියන්න එපැයි.. දැන් ඔය බබා හම්බෙන්න ඉන්නේ කොච්චර කල් ඉඳන් ද..?..”

“.. සති තුන හතරක් වෙනවා බං බඩ ට..”



“.. මට හිතුණා ලොජික් පීරියඩ් එක එනකං වෙලාව බලනකොට මොකක් හරි ඇති කියලා.. පරිස්සමින්.. ! ඉස්සර එකක් ටෝක් කරා ඕකිව.. කැමති තිබ්බේ නැහැ එයා.. දැන් කොහොමද දන්නේ නැහැ බං...”

“.. එකී මගේ ... එකී මගේ.. මහේෂි මගේ බං..”



“.. පිස්සෙක් වගේ කියවන්න එපා ගිමා.. නිකං කොහෙවත් යන කුණු බක්කි උඹේ කරේ වැටෙයි.. ස්කූල් සර්විස් එකේ කෙල්ලෙක් උඹ ගැන කැමැත්තෙන් ඉන්නවා කිව්වේ.. ඒ ගැන හිතපන් කෝ.. ඔය කුණු බාල්දි ඇඟේ පටලා ගන්නේ නැතුව..”

“.. හිත ගිය තැන මාලිගාව රත්තරනේ.. මහේෂි නැත්නම් මට වෙන කවුරුත් එපා බං..”



මා අසළ තිබු කුණු බක්කියට පහරක් ගැසුවෙමි. හිතේ හටගත් වේදනාව නිසා වෙන කල හැකි යම් දෙයක් නොතිබිණි. මහේෂිව හිමිකරගෙන සිටින්නේ කවුරුන් දැයි මා සිතුවෙමි. මා ඉදිරිපෙළ ක්‍රීඩා කරන ප්‍රිතිකරුවෙක් නොවේ නම් මා තරම් ඉදිරියෙන් ක්‍රීඩා කරන්නේ කවුරුන් දැයි සිතේ. කසුන් කියන්නේ බොරුවක් විය යුතුය. ඈ කිසිවෙකුට කැමැත්තෙන් සිටිනවා යැයි බැලු බැල්මෙන් පෙනෙන්නේ ද නැත. එය එසේ වී නම් ඇගේ දෑස් මා ඉදිරියේ දැල්වෙන්නේ ද නැත. මා කසුන්ට දින කිහිපයක්ම කරදර කළෙමි. මහේෂි ගැන තොරතුරක් සොයා දෙන ලෙස ඉල්ලමින් ඇවටිලි කළෙමි. එක්තරා දිනක ඔහු මා වෙත පැමිණියේ හති දමමිණි.



“.. යමන්කෝ උඹලාට ලොජික් කරන ක්ලාස් එකට උඹට බඩුවක් පෙන්වන්න..”

“.. මේ අයි ටී ගාන ගොඩ දාලා යමු වස්තුවේ.. මම දැන් ඉන්නේ අවසන් බාගයේ.. මේක ගොඩ දැම්මොත් ගොඩම තමයි..”



මා පොතින් හිස ඉහළට නොගෙනම කීවෙමි. ඔහු මගේ උරහිසින් අදියි. මා අමනාපයෙන් මෙන් නැවත ඔහු දෙස බලා සිදු කාර්ය කරගෙන ගියෙමි.



“.. අඬ බෙර ගහන්න බෑ බං.. වරෙන් යන්න.. මහේෂි ගැන ප්‍රශ්නයක්..”

“.. ඒ..හ්හ්.. මොකක්..”



“.. ඇස් ලොකු කරගෙන ඉන්න එපා බං.. සීන් එක මිස් වෙයි.. වරෙන්කො යන්න..”

“.. අඩේ .. මොකෝ බං.. එකී උදේ උන්නෙත් ඔලුව බිම ගහගෙන .. අහනකොට ඔලුව රිදෙනවා කිව්වා.. පව් බං අහිංසකී.. මොකක් හරි වෙලාද බං..”



මා දෙවරක් නොසිතාම පුටුවෙන් ද පැන ඉදිරියේ වූ ඩෙස් එකට ද පා පහරක් දී ඇවිරී ගිය මඟ පාදා කසුන්ට ද පෙර මහේෂි සිටිනවා යැයි කී දෙසට ගියෙමි. එක්වරම කසුන් මා සුරතින් අල්ලා වේගය සීමා කළේය.



“.. මොකද බං..”

“.. මුකුත් නැහැ.. කලබල වෙන්න එපා.. උඹ ඒ පැත්ත බලාගෙන ලයිබ්‍රි එකට යමන් උඹ මොකක් දැක්කත් නවතින්න එපා.. වඳින්නම්.. ප්‍රශ්න දා ගන්න එපා.. උඹ අහිංසකයා.. කෙලින්ම ලයිබ්‍රි යන්.. ගිහින් කතා කරමු..”



මා හද කුහුලින් පිරි ගොසිණි. කසුන් කියන්නේ කුමක් ගැන ද යන සැකය හදවතේ නළියයි. ඔහු කිසිවක් එක එල්ලයේ නොකීම ගැන හටගත්තේ අමනාපයක් වුව ද මා එය වැඩි තැකීමක් නොකළේ ඒවා ගැන සිතීමට තරම් වේලාවක් අප සතුව නොතිබුණ බැවිණි.

එළිමහන් පන්තිකාමරයක් තුළ ඈ හිස මේසයකට බරකරගෙන සිටී. ඈ හඬන වග මා ඈතදීම දිටිමි. ඒ හාත්පසම මා දුටුවේ ඈ දෙසට සුරත දිගුකරගත් කලා අංශයේම සිටි වෙනත් අයෙකු බැන වදින බවයි. ඔහුගේ වචන ගැන නොසැලකු ඈ ඉකි ගසමින් වැගිරෙන කඳුලට නිමාවක් ද නොතබා ඔහු හා පැටලෙයි. මා ඔවුන් දුටුවනම යන්ත්‍රයක් අඩපණ වුවා සේ එක තැන නැවතුනෙමි. අදහාගත නොහැකි සේ ඈ වෙතට බර වූ ඔහු ඇගේ දෑත අල්ලා ගත්තා පමණක් නොව ඇගේ දෙනෙත දෙස බලාගෙන නැවතත් කුමක් දෝ කියයි. මගේ හදවත නැවතුනාක් මෙනි. වේදනාවෙන් ඉකි ගසන්නට සිත් වුයේ මා හටය. ඈ හඬන හේතුව කුමක් වුව ද ඔහු ඇගේ පෙම්වතා වග නොසිතන්නට මා බොළඳ නොවූයෙමි. කසුන් මගේ සුරතින් ඇද ලයිබ්‍රිය දෙසට තල්ලු කලේ ය.



“.. උඹ අප්සට් ගන්න එපා.. ඌ තමයි මහේෂි දාගෙන ඉන්නේ.. හැබැයි හැමදාම වලි.. ඔය ලව් එක වැඩි දවසක් තියෙන එකක් නැහැ..”

“.. අරකි අඬනවා බං..”



හදවත් දෙවොල භූමිකම්පාවකට අසු වූවාක් මෙනි. එය කඩා වැටී ඇති. දෙවියන් ලැඟුම් ගත් හදවතේ යක්ෂයින් නවාතැන් ගත්තාක් සේ මා හද වෛරයෙන් පිරී ගියේය. හැඬුම් එන්නට ආ මුත් මා ආයාසයෙන් මෙන් කඳුළු දිය නොසලන ලෙස සිතට යැද්දෙමි.



“.. ගිමා, උන්ගේ ප්‍රශ්න නේ කොල්ලෝ.. අපි මොකටද උදලු දාන්නේ.. ඔන්න ඔහේ වෙන එකක් ටෝක් කරහං.. වෙන කෙල්ලෙක් උඹට අකැමැති වෙනවා කියලා යෑ..”

“.. වෙන කෙල්ලෝ මොකටද බං.. මහේෂි ගැන හිතේ තිබ්බේ.. ෂික්.. මගෙනම් කරුමේ බං..”



“.. උඹට පිස්සුද බං.. උඹමනේ කිව්වේ උඹ කෙල්ලන්ට ආස නැහැ කියලා.. අනික උඹ කෙල්ලෙක් දකිද්දී පුදුම විදියට වැරදි කියන එකෙක් .. උඹ ඒ තරම් කෙල්ලන්ට නපුරුයි.. මොකටද බං මහේෂි ගැන දුක් වෙන්නේ.. එකී ඒකිගේ ලව් එක කරගෙන යයි..අන්න බලපන් කෙල්ල.. බලපන් පට්ට සුදුයි.. ඒ වගේ ද බලහන් කඳ.. පාර්ථනාලු නම උඹට සෙට් කරලා දෙන්නද..? උඹට මාර විදියට කැපෙනවා ඒක.. ඔය ඔලුව ගහගෙන ඉන්න එපා.. අන්න ඒක මෙහාට එන්නේ බන්.. ”

“.. එකී දුක් විඳිනවා බං... අරු මහා මෝඩයෙක්.. ඌට පිණ නැහැ ඒ වගේ කෙල්ලෙක්ගෙ ආදරය දිනා ගන්න.. දිනා ගත්තු ආදරේ අඩු ගානේ රැක ගන්න වත්.. මට මගුල වෙන එවුන් එපා බං.. නවත්තගනින් ඔය කියවිල්ල..”



“.. අනුන්ගේ දේවල් අපිට වැඩක් නැහැ බං.. කෙල්ලෝ මෝස්‌තර සල්ලි සබන් පෙණ.. අප්සට් ගන්න එපා.. ඕක තමයි කතාව.. මම කිව්වට උඹ විශ්වාස කරන්නේ නැහැ.. ඒකයි මෙහෙම පෙන්නලා උඹට කිව්වේ..”



ආදරය යනු හිමිවීම නොවේ. ඈ අහිමිවීම වේදනාවක් වුව ද මා හට එය දරාගන්නට ශක්තිය තිබිණි. නමුදු ඈ හඬා වැටීමෙන් මා සිතේ ඇතිවූ කම්පනය කිසි දිනක පහව  නොයන වග දැනිණ. එය තව දුරටත් ඈ වෙනුවෙන් ප්‍රේමයෙන් මුසපත් වන්නට හදවතට කළ ආරාධනයක් වැන්න..



ජීවන මන්තලාව වියලී ගොසිණි. ඒ මත වැදුණු කැලෑ මල් පවා අව්රශ්මියට වියලී ගොස් එහි සුන්ගන්ධයද  මොට කර දමයි. රළු පොළව මත මා පා පිය වදින වරක් පාසා මා වේදනාවෙන් ඇඹරි ගියද එය මා හට වේදනාවක් නොවිණ. හදවතේ ඇවිළෙන ගින්න හිස සිට දෙපාතෙක් මා දවයි. ජීවිතයම මෙසේ දවා අළු කරනු ඇත. මහේෂි ගැන ඇති කරගත් බලාපොරොත්තු හා පාර්ථනාවන් උඩු හුළඟට මිමිණු වදන් පෙළක් සේ මා කෙරෙන් සදහට නික්මී යන්නට ඉඩ නොදෙමි යන ඒකායන හැඟීම හදවතේ අස්සක ඔබා ගතිමි. ඈ නමින් හටගත් ප්‍රේමය ඇවිලෙන්නට ඉඩ නොදී කඳුළු දියෙන් මකා දැමු මා අළු යට ගිණි පුපුරු කිහිපයක් ඈ වෙනුවෙන් ඉතුරු කරගන්නට ත්‍යාගවන්ත වුයෙමි. මතු දිනක ඈ හා එක්ව ජීවිතය සිහි කරන දිනය ගැන මා තනිව සිහින මාලිගා ගොඩ නැගුවෙමි. ඈ වෙනෙකුගේ වුවද එකී ප්‍රේමයට ආයුෂ නිමාවී, මිලිනව යන දින වැඩි ඈතක නොවන වග මා තේරුම් ගෙන සිටියෙමි.



මා සිනාවකින් මුව සරසා හොද්දෙහි පොඟවන්නට ප්‍රථම උණුවෙන්ම පරාටාවක් ගිජු ලෙස ගිල්ලෙමි.



“.. අඩෝ මේ උඹ ද බං.. උඹ මාර රොමෑන්ටික් පොරක් වෙලා ගිමා.. සිරාවටම..”

“... හ්ම්ම්ම්..”



“.. මොකෝ බොල.. සිරා කියන්නේ.. උඹ අහිංසකයා වගේ උන්නට එහෙම නැහැ පට්ට නපුරුයි.. ඒ උනාට උඹේ බොක්ක හොඳයි.. උඹ ආදරේට නම් අහිංසක වැඩියි බං.. උඹ තාමත් එකී ගැන හිතනවා.. එහෙම හිතනකොට ආදරේ කරන අපි කැලේ බං.. අපිනම් දමලා ගහලා වෙන එකක් එක්ක සෙට් වෙනවා නේ ඒකිට පේන්න.. ග්‍රේට් බං..”

“.. පිස්සු හැදෙයි ඉක්මනට කාපන් මට යන්න ඕනේ.. සූරිය බණ්ඩාර සර් අද එනවා කිව්වා පොත ප්‍රින්ට් කරන්න දන්කොටුවට යන්න..”



“.. ගිමා බඩුවක් කියන්නම්.. මේක කියන එක හරිද මන්දා..”

“.. මොකක් ද..? ..”



“.. උඹට හිතෙන්නේ නැත්ද උඹ වෙන එකියක්ට ආදරේ කලොත් එකී උඹ වෙනුවෙන් ඉඳි කියලා..”

“.. නැහැ බං.. මම ආදරේ මහේෂි ට.. ඇයි දන්නේ නැහැ බං.. සංසාර බන්ධනයක් වෙන්න ඇති සමහරවිට.. මට එකී දකිද්දී ආදරේ හිතෙනවා.. තේරෙන්නේ නැහැ බං කියන්න..

..... දවසක, අරූ ඒකිව අත අරිනවා.. මම කියන්නේ නැහැ එහෙම වෙන්න කියලා.. ඒත් මට ෂුවර්..එදාට මම ඒකිව ආදරෙන් පුරෝනවා ඩගියා සිරාවටම.. අද කිවා කියලා හිතාගනින් පැලෙන්න ආදරේ දෙනවා..”



“..උඹත් කොල්ලෙක් නේ බං.. බැරි වෙලාවත් ඒකිගෙන් ගන්න ඕනේ දේවල් අරගෙන උඹට රොඩ්ඩ විතරක් දුන්නොත්.. උඹ ඒත් යනවද ගිමා.. ඒකි ගාවට ආදරේ අරගෙන..”

“.. ඇයි එහෙම එපා ද බං... මං හරි ආදරෙයි බං.. මං එකී එක්ක නිදා ගන්න ආසයි.. මාත් පිරිමියෙක් නේ.. ඒකිව තුරුළු කරගෙන ඉඹගෙන යන්න ආසයි.. ඒත් බං, ඒ හැමදේම ආදරෙන් බං.. මට එකී රොඩ්ඩක් නෙමෙයි, පොත්තක් උනත් මහේෂි තමයි ජීවිතයම..”



ජීවිතයේ සෑම අහිමීවිමක්ම දරා ගන්නට මා සමාජයෙන් අත්දැකීම් ලැබුවෙමි. මා එයට හුරු වුයේ අනෙකුන්ගේ වේදනාව මා යටතේ තබාගෙන ඒවා වින්දනය කිරීමෙනි. එයින් මා වේදනාව පරයා ආත්මයට බද්ධ කරගත් සතුටක රසය වින්දෙමි. හදවතේ ඇති වූ තුවාල මැකී ගියද කිසි කලෙක ඒවායේ කැළැල් මැකී යන්නට නොදුන්නෙමි. ඒවා අතීතයේ දුටු සිහින නැවත සිහි කරන්නට අනුබල දුණි. මා එයින් ලැබුවේ වේදනාව මුහු කල සතුටකි. එහි මිහිර මා හදවතින් බදා ගත්තෙමි. ජීවිතයට න්‍යායක් මා බද්ධ කර නොගතිමි. එය මෙසේ විය යුතු යැයි මා කොතැනක හෝ සටහන් කරන්නට ද නොගියෙමි. ජීවිතයට නිදහසේ ගලා යන්නට මා ඉඩ හසර වෙන් කළෙමි. කාලය ගැන නිනව්වක් නැත. හිමීවිම අහිමිවීම ගැන ද තැකීමක් නොකළෙමි. හදවතේ උපන් සියළු හැඟීම් සඟවා තබන්නට සියලු වෙර යෙදුවෙමි. පෙම්වතුන්  කපුරු මල් වල ඇලවූ කඩදහි මත සිය අහිමීවීම් හා පාර්ථනාවන් පැරීසියේ  සේන්  නදියට එක් කර ඔහේ පාවා යන්නට ඉඩ හසර දී සුසුම් හෙලනවාක් මෙන් මා ජීවිත මග ඔහේ පාවී යන අයෙකු වුයෙමි. කිසිවෙකු නොදත් රහසක ඇති හදවත් පැතුම් ඈ කවදානම් වටහාගනීදැයි යන සිතුවිල්ලෙන් කාලය යැව්වෙමි.



------------ මාස 18කට පසුව ------------





“.. උඹේ හිත පිස්සු වට්ටලා උඹේ හිතේ තලාගෙන අද මෙහෙම උඹ ඉන්නකොට උඹ හිතන්නේ අයියේ තාමත් මේ ගැන මම අක්කට කියන්න එපා කියලා ද..? ..”

“.. ඒකෙන් වැඩක් නැහැ.. බං.. ! ..”



“.. දැන් එයාට ලව් එකක් නැහැ.. අරු දැන් එයාගේ ජීවිතේ නැහැ.. ඌ නිසා පුදුම විදියට එකී අඬලා තියෙනවා.. ඌට පින නැහැ අයියේ... එකා දකිනකොට මටත් එන්නේ වෛරයක්..”

“... කාලෙකින් වහිනවා මලයා.. මේ වැස්සට තෙමුනොත් බාගදාට ලෙඩ වෙන්නත් පුළුවන්.. මම මේ බස් එකේම නැගලා යන්නම්..”



අකාලයේ වහින වැසි විශ්වාස කළ නොහැක. ඒවා හිස මත වැටෙන්නේ රෝගකාරක ද සමඟ ය. මහේෂිට ප්‍රේම කළෙමි. එකී ප්‍රේමය වැඩුනේ ඈ හිමිකරගැනීම අරමුණුකරගෙනම නොවන වග වටහාගෙන තිබුනේ මගේ හදවත පමණි. පොද වැස්ස අතරින් මා නගරය දෙස බැලුවෙමි. මේ නගරයේම මහේෂි දකින්නට පාසල් නිල ඇඳුමින් පෙරමඟ බලමින් ඔහේ සිටි කාලය සිහි වේ. එකල ඈ එන්නට පෙර බසයට ගොඩවන්නට මා අදිමදි කළෙමි. නමුදු  ඈ නම් මා දෙසවත් නොබලා  මා බලා සිටියදීම බසයට ගොඩ වී යන්නට යයි. එවිට වේදනාවෙන් දෙස් දෙවොල් තබන හදවත ගැන මා කිසිවෙකුට කියන්නට ගියේ ද නැත. මා එකී වේදනාව සතුටින් තුරුළු කර ගත්තේ අපමණ වූ භක්තියෙන් යුතුවය. අවුරුදු එකහමාරක් නොදුටු ඈ දකින්නට ඇත්නම් ඒ තරම් සහනයක් හදවතට තවත් නැත. ඇගේ මිතුරා කියන්නාක් මෙන් ඈ ඔහුගෙන් වෙන්ව තනිව වසයි නම් එය නැවතත් මගේ ආදරයට අත් වැනීමක් නොවේ ද

කලකින් වැසි නොලැබී වියලී ගිය පොළව වැසි දියෙන් තෙත්ව නැවුම් සුවඳින් නැහැපුඩු පුරවාලයි. දුහුවිල්ල ද පහව ගොස් මඟ දෙපස ජල ධාරා ගලා යන්නේ මෙතෙක් කල් හදවතේ පැවති වේදනාව සෝදා හරින්නාක් මෙනි. අකල් වැස්ස වුව ඒ මතට පැන ගී කියා නටන්නට ඇත්නම් යැයි සිතේ. ඒ තරමට මා සතුටින් පසු වුයෙමි.



ආදරයට වාරණ හෝ බාධාවන් පලක් නොවේ. ආදර ගඟ ගලන්නේ කටු අකුල් මතින් ද සැඩ ගල් කුළු මතින්ද යන වගද වැඩකට නැත. එය ගමනාන්තය වන්නේ අවසානයේ සප්ත මහා සාගරයටය. එහෙයින් මා ගඟට බැස සාගර දිය කළඹන නියමයෙන් ගල් කුළු වල හැපුනෙමි.



“.. ඔයා මගේ හොඳම යාළුවා ගිම්හාන්.. ඔයා චුට්ටක් නෝටියි තමයි.. ඒ උනාට ඔයා හොඳම යාළුවා..  මට හරි පාලුයි තනියි.. හැමෝම මාව දාලා යනවා.. ඔයත් එහෙම කරයි ද දන්නේ නැහැ නේ..”



ඇගේ හඬ බාල වී ඇත. මම නුඹට ඉන්නවා යැයි කියන්නට අවැසි වුවද මා කිසිවක් නොකීවෙමි. ඈ හට මා දැනෙන්නේ මිතුරෙකු සේ නම් මා ඉවසා සිටිය යුතුය. ඇගේ ළෙන්ගතුකම අභියස දෙවන වරද මා පත් වුයේ අසීරුතාවයකට වග ඈ නොදනී.



“.. ඔයාට ලොජික් තේරෙනවා ද දැන්..”

“.. ඔව්..”

“... අද මොකද අප්සට් එකේ වගේ..”

“... එහෙම එකක් නැහැ....”



“... හ්ම්ම්ම්..”

“.. හ්ම්ම්ම්ම්ම්... හ්ම්ම්ම්ම්...”



වෙනදා මෙන් මා ඈ අසළට නොගියද ඈ සිටියේ මා පටලවාගත් මිතුදමක් සමඟය. එහෙයින් මා ඈ හට ලං වුයෙමි. ඈ නිරතුරුව මගේ දුරකථනයේ කෙටි පණිවිඩ වල සිටියා පමණක් නොව මගේ තනිකම සමඟ වෙලී හදවතට නැවතත් එබිකම් කරන්නට වෙර ගත්තාය. සැබවින්ම ඈ මගේ තනිකම මා කෙරෙන් දුරස් කර, හදවතේ ඇති අඳුර තුළ ආලෝකය දල්වන්නට යුහුසුළු වුවාය.  ඈ ළඟ සඟවාගත් ප්‍රේමය හා එය වසාගත් අහංකාරකම නිසා මා බැට කෑවෙමි. මිතුදම අතරතුර මගේ නුගුණ නිසා අප විරසක වූ අවස්ථා ද එමටය. සිත සිහින දකින්නේ නිරතුරුව ඈ වෙනුවෙනි. පෙරදා බැල්මකින්වත් අප එකතු නොවූ සඳ අද අප යන්නේ එකම මඟකය. එක ළඟ ය. වෙනසකට ඇත්තේ අපගේ දැඟිලි නොබැඳි තිබීම පමණකි.



“.. මේ ගෙදර හිර ගෙයක් ගිම්හාන.. මට දැන් එපා වෙලා.. මට ඕනේ කිසිම නිදහසක් නැහැ.. අනේ එපා වෙනවා... මට කවුරුත්ම ආදරේ නැහැ.. හරි තනිකමක් දැනෙනවා... ඒකයි ඔයාට කතා කරන්නේ... ඔයා මගේ හොඳම යාළුවා නේ...”



ඈ විටකදී මා හා හඬයි. තවත් වරක සිනාසෙයි. එවැනි තැනේදී මා හට වාවාගත නොහැකි සේ ආදරය ද  දළුලා වැඩෙන්නට ගනී. තව දුරටත් වාවාගත නොහැකි තැන මා හදවත නවතින්නට මෙන් එයි. මා හට කිව නොහැකි ආදරයක් හදවතේ වෙලාගෙන ජීවත්වන වග ඈ දන්නේ නැත.



“.. හරි මම ඉන්නවා නේ ඔයාට.. මම ඔයාට ආදරෙයිනේ ඉතිං.. ”



මා එවන් විටක සිනාසී පිළිතුරු බඳිමි. ව්‍යංගයෙන් හෝ ඈ හට ආදරය කියවා සිතේ සැනසීම මා ලබාගන්නට වෙර දරන බැව් ඈ හට වැටහෙන්නේ ද නැත. අංශුමාත්‍රයක් හෝ මා ගැන ආකල්පයක් ඇගේ හදවතේ නැත්තාදැයි එවැනි විටක මා හට සිතේ.



“.. ඔයාගේ විහිලු.. ඕවා කියන්න වෙන කෙනෙක්ට..”



මා කිසිවක් නොකියමි. මා බලා සිටින්නේ ඇගේ දෑස් වලට එබී එක එල්ලයේ ආදරය ගැන කියන්නටය. එවිට ඇගේ මුහුණේ මැවෙන හැඟීම් කෙබඳු වේ දැයි මා සිතින් නොයෙක් විට චිත්තරූප මවන්නට පුරුදුව සිටියෙමි.

අප හමුවන තැනෙහි සිට සමුගන්නා තැන දක්වා අප එකිනෙකා තුළ අප කෙරෙහි ඇතිවන ගැටළු නිසාවෙන් එකිනෙකාට ලං වන වග අප නොදන්නෙමු. එකී ගැටළු වලට අප සොයන පිළිතුරු තුළම බැඳීමක තිරසාර බව වර්ධනය වී ඇතැයි සිතේ.

ජීවිතයක් යනු බැඳීම් නම් ජලය මත දිවෙන නෞකාවක් බඳු ය. ජලය මත සුළි පිහිටියේ නම් එකී නැව ගිලෙන්නට හෝ වට කැරකෙන්නට ඇති අවස්ථා වැඩිය. මා ඇගේ උපදේශකයෙකු නොවේ. එහෙයින් මා ඈ හට ජීවිතය ගැන කියා දෙන්නට නොගියෙමි. මා හට අවැසි වුයේ මා ඈ දුටු වනම බැඳුණා සේ ඇගේ නෙතඟ මා වෙනුවෙන් බබලනු දකින්නටය. නමුදු බැඳීම් යනු විවිධාකාරයෙන් ඇතිවෙන දෑය. එකෙකු ආදරය වඩද්දී තවත් කෙනෙකු එයට පරිභාහිරව වෙනත් අයෙකු ගැන සිහින දකියි. ඒවා සිදු වන්නේ එකිනෙකාගේ මානුෂීය හැඟීම් තුළ ඇති අනන්‍ය බව නිසායැයි මා විශ්වාස කළෙමි.



“.. ගිම්හාන ඔයා මගේ හොඳම යාළුවා නේ.. මට දෙයක් අහන්න තියෙනවා ඔයාගෙන්..”

“.. අහන්න මහේෂි..”



මා කුහුල මිශ්‍ර දෙනෙතින් ඈ දෙස බලා කීවෙමි. ගෙමිදුල සිය සිත්තම් කැන්වසය කරගත් කුඩා වියේ දී බලි රූප අඳිනා දරුවෙක් මෙන් ඇගේ පා තුඩු වලින් බිම බලාගෙනවත්ම කිසියම් සිතුවමක් අඳි. ඈ සිටින්නේ නොසන්සුන්කාරීව වග මගේ මනසට ගෝචර විය.



“... මගෙන් යාළු වෙන්න ඇහුවා අයියා කෙනෙක්.. මට හිතෙනවා එයාට කැමැති වෙන්න ...”

“.. ඉතිං කැමැති වෙන්න..”



මා සිනාසුනා නොව මගේ මුවඟට සිනාවක් නැගුණි. මා පැවසුවා නොව හදවත එසේ පවසන ලෙස යදින්නට වෙර දුන්නේය. මා හඬනවා නොව, මගේ දෑස කඳුළු වියලා තබන්නට ඇර අදින්නට විය. මා මොහොතක් තුළ සිතුවිළි සියල්ල මොටකර දමමින් පාරමී දම් පුරන්නෙකු සේ ජීවිත හුස්ම වෙනස් කරගතිමි. මා එසේ කළා නොව, මගේ මානුෂීයත්වය යතාර්ථය තුළ එසේ කරන ලෙස නොවිසිලි ලෙස ගෝරනාඩු කරන්නට විණි.



“.. මට භයයි ගෙදරින් අවුලක් වෙයි කියලා ..”

“... අවුලක් වෙන්නේ නැහැ.. මම ඔයාට උදව් කරනවා..”



“.. ඔයාට ෂුවර් ද..? අනේ ඔයා අවසානෙට මාව දාලා ගියොත් ..”

“.. ඔයාට ආදරේ කරන අය ඔයාව කවදාවත්ම දාලා යන්නේ නැහැ මහේෂි..”



“.. අනේ තෑන්ක්ස් ගිම්හාන්.. ඔයා හරි හොඳයි.. ඔයා තමයි මගේ හොඳම යාලුවා..”

“.. හ්ම්ම..”



හඬනවා නම් ලෝකයටම ඇසෙන්නට කෑගසා හඬන්නට පුළුවන. සාගර දිය ද පරදවන කඳුළු දිය නෙතඟින් ගලන්නට උත්සහ කරයි. මා සියල්ල උත්සාහයෙන් යුතුව පෙරදා මෙන් දරාගතිමි. මා හඬන්නට පවා හෙම්බත් වී සිටියෙමි. මෙතරම් ප්‍රේමයක් හදවතේ පුරවාගත් මා ඈ ගැන සුබ සිහින දුටුවද,  කිසි විටකත් මා ගැන ප්‍රේමනීය දෑසකින් ඈ නොබලන්නේ බාගදාට දෛවය විසින් ඈ මා හට අහිමි කල වග වටහා දෙන්නට විය හැකිය..... එසේ තිබියදීත්  මා හඬන්නේ කුමට.. ඈ සතුටින් සිටින්නේ ද බොහෝ කලකිණි. ඈ ජීවිතයේ සියලු පාර්ථනා ඔහු කෙරේ ගොඩගසාගෙන සිටී. ඈ නැවතත් මා හට අහිමිව ගියේය. එපමණක් නොව හදවත පාලුවෙන් හා සාංකාවෙන් බර විය. පෙර දින මා කොට්ටයක් වුව යහනට වැද  තුරුළු කරගත්තේ ඈ වෙනුවෙනි. ඈ නමින් වෙන් කරගත් බොහෝ දෑ මා අසළ නිරතුරුව තිබිණි.. අද ඒ සියල්ල මා දෙස බලා සරදමින් මෙන් සිනාසෙයි.

බාගදාට මගේ ජීවිතයට ආදරය කියා දෙයක් හිමි නැතුවා ය. එසේ නැතිනම් මා එය ලබන්නට පාරමී දම් පුරා නැත. එවරස්ට් කන්දට නගින්න කීවා නම් මා ඈ වෙනුවෙන් නගින්නට බලා සිටියෙමි. නමුදු ඈ කියන්නේ එවරස්ට් කන්දට නැග ඈ වෙනුවෙන් එයින් පනින්නට කියා ය. මා පනින දෙස බලා ඈ සිනාසෙයි. ඈ ඒ තුළින් තෘප්තිමත් වේ. මා එය සතුටක් කරගතිමි. සැබෑවටම මා මමත්වයද විකා ගනිමින් පරිත්‍යාගශිලියෙකු කළේය. නමුදු හදවත කියන්නේ මා දකින්නේ සිහිනයක් කියාය. එහෙයින් මා සෘජු මිනිසෙක් ලෙස බැඳීම් ලිහා දමන්නට තීරණය කළෙමි. නැවත නැවතත් දුක් නොවන්නට සියලු දේ වමාරන්නට කාලය එළැඹ ඇතැයි සිතේ.



“.. මහේෂි ඔයා අර අයියට කැමතියි කිව්වා ද...? තව එක පාරක් ඒ ගැන හිතන්න බැරිද..? ඔයාට හොඳටම ෂුවර් ද ඔයාගේ හිතේ වෙන කිසිම කෙනෙක් නැහැයි කියලා.. ...”

“.. ඔව් ගිම්හාන්... එයා අරයත් එක්ක එෆෙයාර් එක තියෙද්දිත් මං වෙනුවෙන් බලාගෙන හිටියා.. එයාට කැමතියි කියලා මම පණිවිඩයක් යැව්වා..”



“.. එතකොට එයා දැන් කතා කරනවා ද ඔයත් එක්ක..”

“.. හ්ම්ම්.. දැන් ටිකකට කලින් කතා කරා..”



මා ඇගේ වත රහසින් සිප ගත්තෙමි. ඈ දුර තියා දුටු පමණින්  මා මවා ගත් රූපකයෙන් පමණක් ඈ අල්ලන්නට උත්සහ කළෙමි. ඇගේ අත අල්ලා මා නොගිය තැනක් නැත. මා ඈ සිප නොගත් තැනක් නැත. නමුදු ඈ සැබෑවටම මා වෙනුවෙන් කිසිදා නොආවාය. මා මෙතරම් ආදරය කරන වගවත් ඈ නොදත්තාය.



“.. හ්ම්ම්.. හොඳයි..”

“.. මොකද ගිම්හාන අප්සට් එකෙන් වගේ..”



“.. නෑ මමත් ඔයාට ආදරෙයි නේ..”

“.. ඔයා හැමදාම මට විහිලුවට ආදරේ කියනවා.. ඕක නවත්තගන්න හරිද..?..”



“.. මම සීරියස් කිව්වේ..”

“.. පිස්සුද ගිම්හාන.. ඔයා මගේ හොඳම යාළුවා.. ඔයා යාලුවෙක් විතරයි..”



මා සුසුමක් හෙළුවෙමි. ප්‍රියන්ගෙන් වෙන්වීම සදාකල් වේදනාවකි. නමුදු මා ඇගෙන් වෙන්ව මගේ ජීවිතය තනිව ගොඩ නගා ගැනීමට කාලය එළැඹ තිබේ. රෑ අහසේ තරු කැට ගණන කොතෙක් වේද ඈ මා හට හිමි නොවන තවත් එක් ඉරබටු තරුවක් පමණි.  මා ඈ දකින්නට ඒ අහස දෙස බලා වැහි බිඳු වලට තෙමුනෙමි. හදිස්සියේ වැටුණු අකල් වැස්ස ද මොරසූරන වැස්සක් ව මා ගත තෙමා දමයි. දෙසවන් බිහිරි කරමින් පුපුරණ හෙණ හඬ ද  ඒ හා අහස වසාගත් කළුවන් වලාකුළු ද කියා පෑවේ කුනාටුවක පෙර නිමිතිය. මා අහස දෙස බලා එහි පිපෙන තරු මල් ගැන සිහින දකින්නට ඉදිරි කාලය වැය නොකරමි යන අදිටන හදවත තුළ ගැබ් කර ගතිමි.



+++++++++++++++++++++++++++++++++++++++++++++++



“.. මචං උඹේ ස්ක්‍රිප් එක නියමයි.. ඒක සිරා කතාවක් ද....”



දුරකතනයේ එහා කෙලවරින් ආ හඬ මා මොහොතක් නිහඬ කළේය. මා නැවතත් අතීතය සිතුවම් පට සේ එකිනෙක ගළපන්නට අසීරු උත්සාහයක යෙදුනෙමි. ජීවිතයේ අප වැරදි බොහෝ සිදු කරන්නේ ය. ඒවා ජීවිතයට අත්දැකීම් වේ. වැරදීම් කියා දෙයක් මා වසන ලෝකයේ නැත. යම් වැරදීමක් ජීවිතයට අත්දැකීමකි. ඒවා රළු වුවද සිනාමුසුව හදවතින් විඳ ගත යුතුය.  ඒවායෙන් අප ජීවිතය උගත යුතුය යන හැඟීම මා තුළ විණි.



“.. නෑ ඒක, හිතේ තිබ්බ කතාවක් විතරයි....”

“..සුපිරි වැඩක් කොල්ලා.. මට උඹව විශ්වාසයි.. ප්‍රඩියුසර් වැඩේට කැමතියි.. ලබන මාසේ වැඩ පටන් ගමු... සුබ පැතුම්...”



“.. හැබැයි ඕකට අවසානයක් ඕනේ නේද මචං..”

“.. උඹ ඒක ගොතපන්..”



මා කිසිවක් කියන්නට නොගියෙමි. ජීවිතයද ඇවිලී යන සිගරට්ටුවක් වැනි යැයි සිතේ. මා සුරතේ ඇඟිලි කරු මත පැටලුනු සිගරට්ටුව නිසා ඇඟිලි කරු පිච්චෙන්නට තරම් රස්නය දැනේ. මා එය අසළ පිහිටි කුණු බාල්දියට ඉලක්කයට මෙන් සුරත පද්දමින් විසික් කළෙමි. නැවතත් සිගරට් පැකට්ටුවෙන් සිගරට්ටුවක් ගෙන දෙතොල් මත තබා යතුරු පුවරුවට එබුණා පමණි දුරකථනය නාද වන්නට විණි.



“.. ඇයි ගිම්හාන මට ආදරේ කළේ..”

“.. මට ආදරේ හිතුන නිසා..”



“.. මම එහෙම දැනෙන්න දුන්නා ද ඔයාට..”

“.. දවස් ගානක් ගෙවිලා ගියා.. ඕක අහන්න ඕනේ දෙයක් ද දැන්.. ඒ හැමදේම ඉවරයි.. මම ඔයාව අමතක කරලත් ඉවරයි..”



“.. හ්ම්ම්.. මට ආදරේ කරන්න එපා..”

“.. ඔයාට එහෙම කියන්න අයිතියක් නැහැ. මට ඕනේ කෙනෙක්ට ආදරේ කරන්න අයිතියක් තියෙනවා. මේ මගේ හිත..”



මා දුරකථනය විසන්ධි කර දැමුවෙමි. තව දුරටත් මා ඈ ගැන සිතිය යුතු නොවේ. ඈ තනාගත් ලෝකයේ ඈ සියලු සැප සම්පත් ඔහු හා බුක්ති විඳි. එය එසේ තිබියදීත් මා ඈ හට ලං වන්නට ගියහොත් මා කඩාකප්පල් කාරයෙක් වනවා මිසක ආදරය කරන්නෙකු නොවේ. එහෙයින් ඇගේ සතුට දැක එකී සතුට වෙනුවෙන් සුබ පතමින් මා ඇගෙන් වෙන් වුනෙමි. දින සති ගෙවී අප අපට අමතක වන්නට කාලය ගලා ගියද මගේ හදවතේ වරින් වර නලියන පටක මා වේදනාවට පත් කළේය.



“.. මං ඔයාගේ දේවල් කියෙව්වා.. ඔයා මරුනේ..”

“.. මහේෂි කොහොමද දැක්කේ..”



“.. මට ඔයාව හම්බ වෙන්න ඕනේ.. හෙට ලවර් එන්න පුළුවන් ද..”

“.. මම..?..”



“.. ඔව් ඔයා..!..”

“.. බලමු..”



“.. මාව පුදුම කරන්න දෙයක් තියෙනවා කිව්වා නේද..? ..”

“.. හ්ම්ම්ම්..”



“.. ඒක අරගෙන එන්න..”

“.. හරි ෂුවර්..”



සඳ මඩල වුව අමාවක දිනයක් අපට දී අපව සදා අඳුරේ තබයි. අවපස සඳ අඳුර හා මිශ්‍රව ආලෝකය දෙන්නේ ද කුඩම්මාගේ බත් පත සේ ය. ඇය ද එසේ යැයි සිතේ. නෙලුම් කොලයක දිය නොරැදෙන්නා සේ ඇගේ හදවතේ මා කියා කෙනෙක් නැත. නෙලුම් කොළය අංශුවක් පාසා ඇඟිලි තුඩුවලින් පිරිමැද ඒවාට ජලය යෙදු කළ එය ජලයෙන් නැහැවෙන්නා සේ මා හට ඈගේ හදවත ස්පර්ෂ කිරීමට තහනම් ය. ඈ වෙනෙකුගේ බව දැන දැනම මා කෙසේ එලෙස හැසිරෙන්නේ දැයි නොදනිමි.

අදින් පසුවට ඈ හා මා මේ මඟෙහි හමු නොවනු ඇත. ඈ නමින් මගේ හදවතේ යටගියාව සදාකල් අළු ගොඩක් කරන්නටද අපේ මතකයන් ජීවිත කාලය තුලදීම අපව සිහි කරන්නට ඉතිරි කර දැමුවෙමි. ඈ පුදුමවිය යුත්තේ අන් කිසිවකට නොව එදා මෙදාතුර ඈ නමින් මා ඉතිරිකරගත් ආදරය නිසාවෙනි. ඈ පුදුම විය යුත්තේ මගේ හදවත ඈ වෙනුවෙන්, ඇගේ සතුට වෙනුවෙන් වේදනා සයුරි ගිලි මළ හදක් වන්නට දරණ උත්සාහය නිසාය.

ඇගේ මුහුණ දෙස එක එල්ලයේ බලමින් මා වෙනුවෙන් ආදරය ඉල්ලා මගේ දෝතින් ඇගේ මුහුණ අල්ලා එකින් දෙක හාදු තබන්නට මා ආශාවෙන් බලා සිටිමුත් හෙට දින මා වෙනුවෙන් හාදු තබන්නට ඇයට බොහෝ අය සිටිනු ඇත. නමුදු මගේ මතකයන් තුළ ඈ ඉඳුල් නොවූ සදාදර පෙම්වතියගේ කිරුළු නිතැතින්ම දරනු ඇත.

මා අවදිව ගෙවන මේ හුදු නිමේෂය වුව ඈ නමින් වෙන් කල ආදරය සාක්ෂි දරනු ඇතයි මා සිතමි. නිමාවක් නොවූ ගමනක, කමාවක් නොව අවසානයක් දකින්නට මා කැමැත්තෙන් පසුවෙමි. මා ඇගෙන් මෙන්ම ඈ මා කෙරෙන්ද වෙන්ව යා යුතු වුව ද ඈ මගේ ශරීරයේ රුධිරය තුළ දළුලන පිළලයක් සේ ප්‍රේමය ගොතා අවසන් ය. එහෙයින් මා සදාකල් ඈ වෙනුවෙන් විඳින්න වේදනාවක් හදවත් මඩලේ රහස් තැනක රතු පලස් එලා ඒ මත ඈ නමින් තබා ගතිමි.



“... පිළිගන්න.. ! වසරේ හොඳම තිර පිටපත් රචකයා.. ගිම්හාන් දිසානායක.. ඔයාට මේ අවස්ථාවේ කියන්න තියෙන්නේ මොකක්ද..? ක්‍ෂේත්‍රයට ප්‍රවීණයෙක් වෙන්නෙත් නැති ආධුනිකයෙක් මේ තරම් මේ ඉක්මනට ආපු ගමන ගැන මොනවද හිතෙන්නේ.. හැමෝටම ඇහෙන්න කියන්න.. ගොඩක් සතුටින් ඉන්නවා වගේ ..”



“.. මේ මගේ කතාව නෙමෙයි.. මේ අපේ කතාව.. ඔයා අද දරුවන් හුරතල් කරනවා.. මම මගේ දරුවන් ඉස්කෝලේ අරගෙන යනවා.. ඔයා ඒ ඉස්කෝලෙම ටීචර් කෙනෙක්..”



“.. ඔයාගේ ව්‍යංගය අපේ හිත් වල කුහුලක් ඇති කරනවා ගිම්හාන්.. අපි කැමතියි මේ කතාව ඇතුලේ කතාව දැනගන්න.. මොකද ඔයා අද මේ රටේ ප්‍රසිද්ධ කෙනෙක් වෙලා.. හැමෝම ආස ඇති මේ ගැන අහන්න.. ”

“...හැම කතාවකම ඉන්නේ එක චරිතයක්.. ඒ හැම කතාවක්ම තියෙන්නේ එකම තැනක.. නමුත් ඒ හැම කතාවේම ඉන්නේ චරිත ගොඩක්.. ඒ හැම කෙනෙක්ම කියන්නේ එක කතාවක්.. ඒ හැම කතාවක් ඇතුලේම ඉන්නේ එක මිනිහෙක්.. ඒ මිනිහා හැමදාම කියන්නේ එක දෙයක්.. ඒ කතාව තමයි මේ කතාව ..”



ජීවිතයේ ඉනිපෙත්ත මත ලෙළදෙන මා ගැහෙන ස්වරයෙන් ගුවන් තලය කළඹන්නට වෙමි. සියලු දෑස් මා වෙත යොමුව තිබිණි. මා සිහින දැක්කේ මෙයට නොවේ ද.. මා සිහින දැක්කේ වේදිකාවක හිඳ මා ගැන ලෝකයාට කෑ ගසා කියන්නට නොවේ ද..? හදවත මහා හඬින් යුතුව මුරගාන්නට විණි.



“.. ගිම්හාන්, ඔයා දිහා බලන් ඉන්න හැමෝටම ඔයාගේ කතාව තේරෙන්නේ නැහැ..”

“.. ඔයා හරි කමල්.. මේක කතාවක්.. මේකට කතා නායකයෙක් ඉන්නවා. ඒ ඇතුලේ තියෙන්නේ ජීවිතයක්.. මේ කතාව ඇතුළේ තියෙන්නේ කැමැත්ත ගැන ප්‍රශ්නයක්..”



“.. මේ සම්මාන උළෙලේදී ඔබට ලැබුණු ඇගයුමත් එක්ක ඔබට අනිත් ආධුනිකයින්ට කියන්න තියෙන්නේ මොකක් ද..?..”



“..ඉවර කරන්න බැරි කතා අද, ගොතාගන්න බැරි විදියට ගලා යනවා.. ඒ හැම කතාවම එක තැනක ලියන්න.. බාගදාට ගොතපු දේවල් දවසක අතීතයත් එක්ක බද්ධ වෙයි..”



ප්‍රේක්ෂකයන්ගේ ඔල්වරසන් හඬත් කැමරා ශිල්පීන්ගේ විදුලි සැරයක් බඳු ආලෝක ධාරා මධ්‍යයේ මා වේදිකාවෙන් බැස ආවෙමි. අතීතය සිහිනයක් වග මා දනිමි. එකී සිහිනය දහවල දුටු සිහිනයක් මෙන් හුදු සිතුවිල්ලක් පමණක් වන සේ ඉතිරි කර ඉවතට ගොසිණි.. නමුදු සෙනෙහස කවදා කෙසේ වියකෙන්න ද..? මා ඒ සිහිනයට වැද නැවත ඇසුවෙමි.





හිත් අගිසි පොඩි වෙන්නේ කඳුලක් අරන්..
නුඹ දන්නේ නැතිවාද මගෙ හිත දුකින්..
උණු කඳුළු නෙත පළුදු කරමින් හොරෙන්..
රෑ සිහින වල උන්නේ නුඹමද කියන්..


දියවුණු සිහිනෙක මා,
උණු කඳුලක් තනි රැක්කා..
අප ගැන ලොව කියනා...
පද අරගෙන මම වින්දා..


ලියවා තැබූ ඉරණමක් දෝ අපේ..
දෛවය කෙසේ සරදමින් අද මෙසේ ..
නුඹ ගියපු දුර හිතට බර දෙයි මගේ..
මම කොහොම පිළිගන්නේ නුඹ දුර වගේ..


මිතුදම් අගෙයි අපට ලොවටත් වඩා..
නුඹ කියන විට කඳුළු එයි නෙත පුරා..
සිහිනයක පමණක් ද රැජිණක් වෙලා....
අපි දුරද පවසන්න වදනින් පවා..
මට දුරද පවසන්න හැඟුමක් දවා..



Share on Google Plus

About Unknown

0 අදහස්:

Post a Comment

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..