෴ පාරමිතා ෴ --- පළමු කොටස ---

 

ජීවිතයේ මා විඳි වේදනාවන් අපමණ ය. ඒවායේ ඇරඹුම සටහන් කරන්නේ කොතැනක සිට දැයි දන්නවා නම් මා එහි මුදුන් මුල වුව උනා දමමි. එතරම් මා වේදනාව අප්‍රිය කළෙමි. රාත්‍රී අහසේ දිදුළන තාරකා මඩලක් සේ දුටු සතුට, හුදු නාම මාත්‍රයකට පමණක් කොටුව, මගේ හදවතේ ඇති කළ හැඟුම් දෙස බලා මා යැපුනෙමි. එකී එළියෙන් මා දෑස් නිරතුරුවම දිලිසෙන්නට ඇත. මා ලෝකයට වසන් වුයෙමි. ලෝකය මා සොය සොයා පහර පිට පහර ගැසුවේය. මා නොසෙල් වී පොළව අල්ලා ගතිමි. වෙන යම් දෙයක් මා හට වෙර දීමට මේ මිනිස් ලොව නොතිබිණි.
වඩු කුරුල්ලන් කණාමැදිරියන් අල්ලා සිය කූඩු ආලෝකවත් කරගන්නා සේ මා හට කිසිදා ආලෝකය අල්ලා  මගේ කූඩුවේ තබාගත නොහැකි වස් මගේ හදට ගෝචර වී ඇත. 

“... නිහඬ කල්පනා ලොවක තනිවෙලා නුඹ හඬයි...
ටකට ටකට..
කරන චෝදනා මොනවදෝ කියා නොම දැනෙයි...
ඩෙන්කුටු ඩෙන්කුටු ..
..........”

මා උදෑසන අඳුර හා බද්ධව ඇසෙන චුටි මල්ලිගේ හඬ ආ දෙසට කන් දුනිමි. ඔහු මගේ කාමරයේ උළුවස්ස මතට හේත්තුව දා මා දෙස බලාගෙනවත්ම සිටී. මා ඔහු දෙස බැලුවෙමි.

“.. මොකද අයියණ්ඩි නිකන් ටින්කිරි කාපු උගුඩුවා වගේ.. අහස පොළව වනසන්න කල්පනා කරනවා.. ආයේ මක්කැයි ඇඳ වියලේ නාරි ලතා නයිටියක් වත් ද ඈ ..”
මා දෙතොල්පට විකා ගතිමි. සිනා පහලවෙනු දුටුවතින් ඔහුගේ කටට බ්‍රේක් නැත. මා මවාගත් අමනාපයෙන් නැවත ඔහු දෙස බලා හිඳි අස්නෙන් නැගිට්ටෙමි.

“.. ඇයි දැන් උඹ මෙහෙ ආවේ..”
“.. නැන්දා නේ එන්න කිව්වේ අයියා..”

“... අම්මා උඹට එන්න කිව්වේ මාව බලන්න ද ..?..”
“.. නෑ .. අද පාන්දර ඉඳි ආප්ප හදනවා කිව්වා. ඊයෙම තමයි එපොයිමන්ට් එක දා ගත්තේ.... උණු උණුවෙන් අරගෙන යන්න..”

ඔහු ඔලුව පැත්තකට හරවා බයාදු ලෙස මා දෙස බලයි. මා තව තවත් ආවේගයෙන් මෙන් ඔහු අසලටම පැමිණියෙමි.

“.. කෝ දැන් ඉඳි ආප්ප...”
“.. මේ තියෙන්නේ අයියා.. අයියාටත් ඕනේයි.. ආ මෙන්න..”
තරමක් ලොකු මැටි මඩක්කුවකින් වසන ලද කඩදාසි කොළය උස්සා ඔහු මා හට පායි. ඔහුගේ මුහුණ තුළ ඇත්තේ අසරණ බැල්මකි. ඔහු සිටින්නේ කොටි වලසුන් ගහන කැලයක් තුළ අසරණව ඔබ මොබ බලන හා පැටියෙකු සේ ය.  මා තවත් ලං වූයෙමි.

“.. බොල රට හරකෝ.. තොට ආපු දේ හම්බ වුණා නේ.. එහෙනං අහවල් කෙන් ගෙඩියට ද මගේ අහවල් එක පිරිස්සන්න ආවේ.. පල යන්න..”

මා බැන එලවා ගතිමි. සිනහාවෙන් මුව පිරී ගියද හදවත පත්ලේ කුමක් දෝ මා නොදන්නා වේදනාවක් හට ගනී. චූටි මල්ලියා යනු අපට කිසිදු ඥාති සම්බන්ධයක් ඇති අයෙකු නොවේ. නමුත් ඔහු කුඩා කල සිට අප නිවසේ සිටි වග මතකය. ඔහුගේ මව නැත. සිටින්නේ පියා පමණි. කිසිදු ඉගෙනුම් ප්‍රගතියක් නැති ඔහු අකලට පිපි මලක් සේ අව් වැසි නොවඩුව ලබමින් ජීවිතය විඳි.. වැඩි හරියක් අම්මාගේ සෙවණ යට හිඳ උසුළු විසුළු කරමින් ඒ මේ අත යයි. කෙතරම් උගන්වන්නට වෙර වීර්ය යෙදුවද ඔහු එයට අකමැතිය. කිසිවෙකුට වඩා ඔහු ළෙන්ගතුවන්නේ අම්මාට ය. අම්මා ඔහුට දරුවෙකුට සේ සළකයි. ගෙදරට අවශ්‍ය බඩු බාහිරාදිය ගෙනෙන්නට ගියද අම්මා ඔහුව රැගෙන යයි. නැතිනම් මා හා යවයි. ඉඳින් ඔහු වසන්නේ කොතැනක වුවද හිඳින්නේ කිනම් පන්තියේ වුවද ඔහු සෑම දිනකම මාගේ නාමික සහෝදරයා විය. බාගදාට, මේ වේදනාව ඒ නිසා වන්නට ඇත. මා බැන වැදුනේ මගේ සහෝදරයාට යන වග හදවත පත්ලේ ස්පර්ශ විය. ඔහු හොරැහින් හෝ මා ගැන සොයා බලයි. විහිළුවක් කරමින් හෝ මා සිනහවෙන් පුරවන්නට වෙර දරයි.

“.. පුතේ..!..”

අම්මාගේ හඬ වෙනදා මෙන් නොවේ. පාන්දර අවදිවීමත්, අලුයම පින්නේ සීතල විඳිමින් එළිය ගෙයි තුළ බත් මාළු තම්බා  දවසේ ඇරඹුම කාටත් කලින් ආරම්භ කිරීමට වෙර දැරීමත් නිසා ඈ ස්භාවයෙන්ම රෝගයෙන් පෙලෙතයි මා හද කම්පා වේ.

“.. ඇයි අම්මා. මේ එනවා..”

මා කාමරයෙන් එළිබටව පිටුපස දොරෙන් මිදුලට ගියෙමි. යන්ත්‍රානුසාරයෙන් මගේ දෙපා නැවතුනාක් මෙන් මිදුලෙහි කෝපි ගස ළඟ මා නතරව, කෝපි ගසේ අතු කිණිති පුරුද්දට මෙන් අල්ලා ගතිමි. ඒවායේ මල් පිපී ඇත. මා නාස් පුඩු වලට මල් පොකුරු ළං කර දෑස් පියා ගතිමි. ඒවායේ සුවඳින් පපුව පිරි ගියා සේ දැනුණි. මා හුස්ම අල්ලාගෙන තප්පර කිහිපයක් එළෙසම සිටියෙමි.
කෝපි සුවඳ මගේ හදවතට කවදත් ලැදිය. ගෙයි දොරකඩ ඇති පිච්ච වැලට වඩා මා කෝපි ගසට ආලය කළෙමි. මන්දයත් කෝපි මලක සුවඳ සේම දුම් දමන කෝපි කෝප්පයක් මා රාත්‍රියක් නිදි දෙව්දුවගෙන් ඈත් කිරීමට මා හට උපකාර කල අවස්ථා බොහෝය. මා දෑස් පිය වසාගෙනම කෝපි මලක සුවඳ මගෙ හදවතට කා වද්දා ගන්නට උත්සහ කළෙමි.

“.. පුතේ..”
“.. අම්මා.. හරි සුවඳයි ..”

“.. හුස්ම නොගෙන ඉන්නවා නේද..”
“.. එහෙම ඉන්න හිතෙනවා... පුදුම සුවඳක් අම්මේ.. ඒක හරි අහිංසක සුවඳක්..”

“.. ඉස්සර මමත් ඔය කාලේ ඔහොමයි..”
“.. ඇයි අම්මා කතා කලේ.. කෝ අප්පච්චි..”

“.. අප්පච්චි ගියා, උදැල්ලත් කරේ ගහගෙන ඔන්න.. එයාටත් කුඹුර හැර වෙන නිවනක් නැහැනේ.. උදේම ගියා දරුවා බලන්න යනවා කියාගෙන..  මෙහේ එන්නකෝ කියන්න..”

අප්පච්චි කවදත් එසේ ය. ඔහු අසීමිත ලෙස පරිසරයට මෙන්ම හදන වඩන ගහ කොළට ආදරය කරයි. ඔහු ඒවා වෙනුවෙන් දහඩිය මෙන්ම සිය ප්‍රාණය වුව කැප කරන්නට දෙවරක් නොසිතන වග මා දනිමි. ඔහුගේ ජීවිතය ඇත්තේ මේ පරිසරය තුළ යන්න හොඳාකාරවම දන්නා කරුණකි. මා හට මතක කාලයේ පටන්ම උඩුකය නිරුවතින් තබාගෙන, උදැල්ල සිය බෑයෙකු  සේ සළකමින් ද  පොළව හා උරණ වුවෙකු මෙන් සිය දහඩිය වගුරවයි. අප කෙතරම් ඔහුට එපා යැයි කීවද ඔහු කෙදිනක හෝ අසන්නේ නැත. එතරම් ඔහු මහී කාන්තාව හා සරණ බන්ධනයෙන් මුසපත් ව ඇත.

මා අම්මා පසුපස වැටුනෙමි. කුමක් හෝ රහසක් විය යුතුය. අම්මා එවන් වැදගත් දෙයක් ඇත්නම් කාටත් පෙර මා හට කීමට පුරුදුව සිටියාය. මා එළිය ගෙයි බංකුව මත වාඩි වුයෙමි. අම්මා තවමත් කිසිදු වචනයක් පිට නොකරයි. මා කුතුහලයෙන් යුතුව ඈ දෙස බලාගෙන සිටියෙමි. කෝපි මල් වල සුවඳ නාස් පුඩුවලින් පහව නොගියා සේ හැඟීමක් දැනුණි. මා නැවතත් කෝපි ගස දෙස බලා අම්මා දෙස බැලුවෙමි. අම්මා මා හදේ ආශාවන් හඳුනනවා මෙන්,  දුම් දමන කෝපි කෝප්පයක් සාදා මා අත තැබුවා ය.

“.. ඔන්න කෝපි මල් ඉඹ ඉඹ උන්නා නේ.. කෝපි එකක්ම හැදුවා..”
“.. ෂෝක් නේ අම්ම.. දැන් කියන්නකෝ මොකක්ද ඔපේ..” 

ඈ පුංචි දරුවෙකු මෙන් මා දෙස බලා රවා, නැවත සිනහවක් පායි. ඒ සිනහව ආදරණීය ය. මගේ ජීවිතයට බලාපොරොත්තු ලැබුණේ එකී සිනහව නිසාය. එහෙයින් මා ඒ සිනහවට දැඩි ලෙස ආදරය කලෙමි.

“.. මේකයි.. චුටි මල්ලිට බනින්න එපා.. පව් පුතේ..”
“.. මම විහිලුවට අම්මා.. ඌ දන්නවා නේ ඉතිං..”

“.. නෑ පුතේ.. ඌ ඊයේ කිව්වා. මට කවුරුත් නෑ සුදු නැන්දා.. තාත්තත් මා ගැන හොයන්නේ නැහැ.. සුදු නැන්දා නැත්නම් මාත් නැහැ..”
“.. අනේ චුටියට පිස්සු අම්මේ..”

“.. ඊට පස්සේ ඔයා ගැන කිව්වා පුතේ..”
“.. මම ගැන..? මොනවද..” මා වික්‍ෂිප්ත දෑසින් අම්මා දෙස බැලුවෙමි.
“.. අයියාට මම ආදරෙයි සුදු නැන්දා.. අයියට ඒක තේරෙන්නේ නැහැ.. හැමදාම ටොක්කක් හරි ඇනලා යනවා ක්ලාස් යනකොට.. මට දුකයි සුදු නැන්දා..”
“.. ඒ මෝඩයට පිස්සු අම්මා..”

මා නෙත් බිමට බර වුයේ නොදැනුවත්වය. හදවත තේරුම් ගත නොහැකි රිදුමකින් පිරි ගියේය. චුටියාට මා ටොකු ඇන ගිය බව සැබෑ ය. එහෙත් මා එසේ කලේ සිතා මතා නොවේ. මා ඔහුව සැලකුවේ සහෝදරයෙක්ට මෙනි. මා සෑම විටම ඔහු ගැන සිතුවෙමි. මටත් රහසේ දියාරු කඳුලක් දෑස් අගින් විත් බංකු ලෑල්ල ස්පර්ශ කල වග දැනිණ.  අඳුරේ නළියන දෑස් වල දිලිසුම අම්මා නොදකිනු වස් මා නැගිට යන්නට සැරසුනෙමි.

“.. පුතේ.. මම දන්නවා.. ඔයා චුටියට ආදරෙයි.. ඔයාගේ හිතේ මනුස්සකම තියෙනවා.. ඒත් චුටියාට ඒක දැනෙන්නේ වෙනස් විදියට.. ඔයා කඳුළු හංගාගෙන ගියාට ඔයාගේ අම්මට පුලුවන්ද පුතේ කඳුළු වහන් කරන්න.. ඔයා චුටියට තේරුම් කරන්න..”

මා මිනිසුන් දෙස බලන්නේ වෙනස් ආරයකට බැව් දන්නේ අම්මා පමණි. ඈතින් පෙනෙන නිසකළ ආරණ්‍ය දෙසට හිස තබාගෙන මා ජීවිතය මෙනෙහි කල අවස්ථා නම් කෙබඳු වේ ද.. එතරම් මා සිතුවේ මිනිසුන් ගැනත් මිනිස් සිත් සතන් ගැනත් පමණකි. මා හට ජීවිතයේ තැනක වැරදි ගියානම්, මඟ හැරී ගියානම් ඒ මට සමාජය ගැන සිතන්නට, සමාජයට යම් දෙයක් කරන්නට වෙන් කල කාලය නිසා වග මගේ හෘදයට ප්‍රත්‍යක්ෂ වී ඇත.
කඳු මුදුනින් හිරු එබිකම් කරයි. උදෑසන අඳුර මෙන්ම සේද සළුවෙන් ලෝකය වසාගත් මිහිදුම් කුමරිය ද හිරු කුමරුට ඉඩ දී ගිමන් නිවන්නට යනවා මෙන් මිලිනව යයි. බොහෝ  සත්ව වර්ගයාගේ ගමනාන්තය මෙන්ම ගමනක ඇරඹුම  සුන්දර උදෑසනක් තුළ සිදු වන කාරණාවන් වග මා උගතිමි. වත්ත අසබඩින් ගලා යන දොළ පාරෙහි හඬ දෙසවන් වල ඇති කරන්නේ ගත සිහිලෙන් නාවා ගන්නට ආරාධනා කවියක පද වැයීමකි. ක්‍ෂණයෙන් කාමරයට ගොස් ඇඟ පිස්නාව ගෙන බෙල්ලේ දවටා ගතිමි.
එසැනෙහි දුරකථනය නාද විය. හදවත කියූ ඇනුම්පද නොතැකු සුරත දුරකථනයට ඇඟිලි තුඩු තබන්නට අණ කරයි.

“හෙලෝ”
“..හෙලෝ කොල්ලෝ මම ඩොක්ටර් ගජේන්ද්‍ර..”

“.. ඔව් සර් කියන්න..”
“.. මම කරදරයක් කරනවද මන්දා.. මට හරි බෝරින් වැඩක් සෙට් වුණා.. මම වෙන එකෙක්ව එතැනට දාන්නම් කිව්වා.. පොඩ්ඩක් කියවන්න බං තියෙන්නේ.. උඹ දන්නවා නේ මට වචන නැහැ කියලා.. ඔය ඩිජිටල් ගැජමැටික් මට බෑ.. පොඩ්ඩක් යමන්කෝ.. අනේ මං වෙනුවෙන්..”

“.. කොහෙද සර්.. මට වෘත්තීය සුදුසුකමක් නැතුව... ”
“.. හොලී එන්ජල් .. උඹට ගියෑකි.. මගේ පැටව් තව දෙන්නෙක් එනවා.. අනේ කොල්ලෝ යමන්.. මට විශ්වාස උඹව විතරයි.. සහතික, ඩිග්රි බලාගෙන වැඩ කලේ ඉස්සර බං.. මං ෆාදර් ට කියලා තියෙන්නේ.. කොල්ලා පොඩි උනාට ටැලන්ට් කියලා.. 

“... ඒ උනාට සර්..”
“.. අනේ කොල්ලෝ.. මම පැයෙන් එනවා. එතකන් කෙල්ලෝ ටිකට පොඩ්ඩක් වෙනසක් කරපං.. දන්නවා නේ.. මම ඇවිත් තියරියට වැඩේ කරගෙන යනකං..”

“.. හ්ම්ම්.. සර්.. මම කරන්නම්.. සර් එනකන්..”
“.. මට උඹව විශ්වාසයි.. මම උඹට වැඩසටහනට මම හදාපු ප්‍රසන්ටේෂන් එක එවලා ඇති. උදේම ගිහිං.. ලැප් එකෙන් බලන්න.. වචන පාවිච්චි කරන්නයි තියෙන්නේ.. වෙන දෙයක් නැහැ.. උඹට හිත් නිවන්න පුළුවන්නේ කොල්ලෝ.. උඹේ උදව්වට දෙතුන් දෙනෙක් ඉන්නවා..”

“.. හරි සර්.. මම කරන්නම්..”
“.. තෑන්ක්ස් කොල්ලෝ.. ඩෝන්ට් ඩිසපොයින්ට් මී.. අයි බිලිව් යු.. මයි ඉනසන්ට් බෝයි.. කමෝන්.. මම ගොඩක් බිසී පුතේ.. මම උඹට උදේ ආයෙම ගන්නම්.. බායි..” 

----- දෙවන කොටසින් මුණ ගැසෙමු ----- 


Share on Google Plus

About sameer sandaru

2 අදහස්:

  1. .
    සුන්දරයි....

    සතුටුයි...

    සඳූ...........

    ReplyDelete
  2. .
    සුන්දරයි....

    සතුටුයි...

    සඳූ...........

    ReplyDelete

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..