මහින්ද රාජපක්ෂ සහ යහපාලනය

 
Mahinda Rajapaksa නමැති මිනිසාගේ උත්තුංග හෘද සාක්‍ෂිය වෙත,

නුඹ ගැන කවි ගොතා පළ කළ නොහැක. නුඹ ගැන කෙටියට කතා ගෙතිය නොහැක. ඉඳින් මා නුඹ ගැන ලිවීමට නොහැකි තවත් එක් කලාකරුවෙක් පමණකි. එහෙයින් මා මෙසේ ඉතිහාසයද වත්මනද ඇද මෙසේ පළ කරමි.

ඔබට දුටු ගැමුණු යැයි කීම ඉවසිය නොහැක. මන්ද ඔබ දුටු ගැමුණු නොවන නිසාය. කවුරුන් කෙසේ කීවද ඔබ මහින්ද රාජපක්‍ෂයන්ම වේ.

එළාර යනු චෝල රජෙකි. ඔහුගේ දහම ලෙස හින්දු ආගම ඔහු අදහයි. එළාර යනු සිය වර්ගයා වෙනුවෙන් සිය පරම යුතුකම ඉටු කළ රජෙක් වග මා පෞද්ගලිකව අදහමි.

සතළිස්වසක් මුළුල්ලේ සිහල රටෙහි රජව වසන ඔහුව පරාජය කිරීමට යුද්ධය මෙහෙයවන්නේ දුෂ්ටගාමිණි හෙවත් දුටු ගැමුණු නැමැති සිහල රට දකුණින් බිහිවන නායකයෙක් විසිනි.
මහාවංශය සපයන ඉතිහාස පදනම්වාද මත බලන කල, යුද්ධය අවස්ථාවේදී දුටු ගැමුණු රජුට සිංහල හමුදාවත්, එළාර පක්‍ෂපාති හමුදාවත් බෙදා වෙන් කර සටන් කිරීමට නොහැකි විය.
එහිදී ඔහු විසින් පාර්ථනාවක් කරයි. එකි පාර්ථනාවෙන් පසුව සිය හමුදාවේ ආයුධ දිලිසෙන්නට පටන් ගනී.

එයින් ගම්‍ය වන්නේ එළාර රජුගේ හමුදාවේ ද අතිවිශාල සිංහල හමුදාවක් සිටි වග නොවේ ද..? එසේනම් එළාර යනු දුෂ්ට පාලකයෙක් නොවන වගයි. එළාර යනු යහපත් පාලකයෙක් වග මහාවංශය වක්‍රව අපට සාක්‍ෂි සපයයි.

එළාර පරදා ජය ලැබීමට සටනක් ඇවැසි විය. එය එසේ තිබියදී එළාර හා සටනට ගැමුණු කුමරු යොමු වේ. එය ගරිල්ලා සටනක් නොවේ. මුහුණට මුහුණලා කෙරෙන ද්වන්ධ සටනකි. එහි අභිලාශය නම්, සිය හමුදාවත් සාමාන්‍ය වැසියනුත් නිකරනුනේ මිය යාම වලකා ගැනීම වේ.
තරුණ ගැමුණු කුමරුන් හා වයෝවෘධ එළාර රජු සිය හරඹය අරඹා එහි ජය ගැමුණු කුමරු ලබාගත්ත ද ඔහු එයින් ලබන්නේ පීඩාවකි.
එය මානුශීයමය ගැටළුවක් වග නොතේරෙන්නට තරම් ලාංකිකයන්ට නොතේරේ.

ගැමුණු කුමරු එළාර රජ සිහිවීමත් නිසි ගෞරව පුදකිරීමත් අරමුණින් එළාර සොහොන නිමවා, පසුව එයට ගෞරව පුදකිරීමට සිය වර්ගයා මෙහෙයවීම අපූරුය. එයනම් සිංහල නායකයෙක් සතු පරම ගතියක් බැව්, ආඩම්බරයෙන් කිව හැකිය.

එදා අද මාධ්‍ය මෙන්, "හතුරා මැරුණා තොපි කිරිබත් කාපියව්" කීවේ නැත. චිත්‍ර ශිල්පීන් එළාරගේ පපුව මත තැබූ කඩු පහරවල් ඇඳ ජනතාව ඉදිරියට ගෙන ගියේ ද නැත. හතුරාට වුව ගෞරවකිරීමට තරම් නිහතමානි ගතියක් එදා සිංහල ජනතාව අතර තිබුණේ බෞද්ධ දර්ශනය මුල් බැස තිබු නිසාය.

මා හට එක්තරා කාව්‍ය සංකල්පනාවක් සිහි වේ. එයනම් වෑත්තෑවේ හිමියන් විසින් ලියු ගුත්තිලයේ එන එක්තරා කවියකි.

ඉඳ ඉඳ එක වෙහෙර – විඳ විඳ දහම් මනහර
සිඳ බිඳ දුක් සසර – අහෝ දෙව්දත් නොදිටි මොක්පුර

සේරවාණිජ ජාතක කතා වස්තුවේ සිට බුදුන් වහන්සේට දෙව්දත් නොකළ දෙයක් නැත. අවසානයේ බුද්ධ ලෙය පවා සෙලෙව්වේ ය. ගල් පෙරළුවේය. නාලාගිරි ඇතා එව්වේය. බුදුන්වහන්සේව දුනුවායන් ඒවා ඝාතනය කිරීමට පවා සැලැස්සුවේ ය. ඒ සියල්ල සිදු කර, බුදුන් ඇසුරේම හිඳ සසර පුරාවට බුදුන් පසුපස ආ දෙව්දත් තෙරුන් සසර මඟ අවීචි මහා නරකාදියට හරවා දැම්මේ ය. බුදුන් වහන්සේ ධර්ම සාංකාවට පත් වූ වග ත්‍රිපිටකයේ සඳහන් වේ.
එසේනම් බුදුන් වහන්සේ හතුරාට පවා අනුකම්පා කල සේක.

එසේ බලන කළ, දුටුගැමුණු රජ තෙම ද බුද්ධ දර්ශනය අකුරටම පිලි පැදි අයෙක් වග හැඟෙ..

ඒ ඉතිහාසයේ එක් පරිච්ඡේදයකි. මෑත කාලීනව බලන කළ ආර් ප්‍රේමදාස යුගය ගත් විට එහිදී පවා ප්‍රේමදාස මැති සඳ ලාංකේය ජනතාවට ඉටු නොකළ සේවයක් නොමැත. උදාගම් නිර්මාණය කිරීම, සමෘද්ධි ක්‍රමය යටතේ අඩු ආදායම් ලාභී පවුල් වලට දහසකට වඩා වැඩි මුදල් පරිත්‍යාග කිරීම වැනි දෑ පමණක් නොව, අඩු ආදායම් ලාභී දිළිඳු පවුල් වලට නිවාස සාදා දීම යන එකී මෙකි නොකී සේවා රැසක් ඔහු විසින් කළේය. නමුදු එක්තරා මැයි දින රැළියක ඔහු ඝාතනය විණි.

මේ රටේ ඇතැමුන් කිරි බත් කෑහ. ඇතැමුන් ජය ගීතිකා ගැයූ හ. මා මේ පවසන්නේ ලාංකික ජනතාව සිය නායකයා මිය ගිය පසු හැසිරුණු ආකාරය වේ.

එවන් ජනතා සේවයක් කල ද ජනතාව එසේ හැසිරුනේ කිමදැයි ගැටළුවක් මතු වේ. එය එසේ වන්නේ ජනතාවට අවශ්‍යය වන්නේ ලාභ ප්‍රයෝජන පමණක්ම නොවන වගය. ජනතාව සොයන්නේ නිදහසකි. එය ගම්‍ය වන්නේ ලෝක ඉතිහාසයේ එන එක්තරා සිද්ධිදාමයක් ඇසුරෙන් ය.

ලිබියාව පාලනය කළ ගඩාෆි සිය ජනතාවට ලබාදුන් සේවය ගැන ඔවුන් කතා නොකරයි. ඔවුන් කතා කරන්නේ, ඔහුගේ චින්තනය පිලිබඳවය ( කොළ පොත ) ස්වාධීන අධිකරණයක් නොතිබූ බවය. මාධ්‍ය නිදහසක් ගඩාෆි විසින් නොදුන් බවය. ඒ නිසා සිය රටේ ජනතාව කැරලි ගැසීම ගඩාෆිට බලාසිටීමට සිදුවිණි. එක්සත් ජනපදය එයට ප්‍රති උපකාර කලේ ය.
ජනතාව විසින් ගඩාෆි අල්ලා ගනී.
ගඩාෆි නොමරන ලෙස ජනතාවගෙන් යදින්නට විණි.

".. නුඹලාට මා නොදුන්නේ කුමක් ද..? නුඹලාට සෑම දෙයක්ම දුණි. මාව නොමරන්න. මා නුඹලාට ඇති තරමින් මුදල් දෙන්නම්.."
".. උඹේ මුදල් තියා ගනින්.. අපිට ඕනේ නිදහස.." ජනතාව එසේ කියා ගඩාෆි මිලේච්ඡ ලෙස ඝාතනය කලේ ය.

එසේනම් ජනතාවට අවශ්‍යය වන්නේ නිදහසයි.

මහින්ද රාජපක්‍ෂ නැමැති ඔබ, ජනාධිපතිවරණයෙන් පරාජය ලබයි. එහිදී ඔබ වෙනුවෙන් පෙරදා කඳුළු සැලූ මිනිසුන්ම සතුටු සිනා මුසු කර කිරිබත් පිස අනුභව කරයි. එසේනම් ඔබ නොදුන් නිදහසක් මේ රටේ ජනතාව සාක්ෂි දරන බව නොවැටහේ ද...?

ඔබට පෙරදා සර් යැයි කියූ මිනිසුන් අභිමුවට ගොස් ඔබ යදින අගමැති අපේක්‍ෂකකම ගැන සිතන විට, මට දැනෙන්නේ නම් ඔබ බලලෝභී පාලකයෙක් වගයි. ඔබ අද සර් යැයි කියන්නට යන්නේ, පෙරදා ඔබට සර් යැයි කියා දෙකට නැමුණු මිනිසුන් ළඟටම නොවේ ද..? එය කණගාටුවට කරුණකි.

ඔබ එක්තරා කාලය ඔබගේ දරුවා වෙනුවෙන් රාජ්‍ය ප්‍රතිපක්තීන් හා නීතින් වෙනස් කරයි. මම දන්නා තරමට ඔබගේ දරුවා කලා විෂය ධාරාවෙන් උසස් පෙළ නිම කල අයෙකි. නාවුක හමුදාවේ කිසියම් තනතුරක් වෙනුවෙන් ඔබගේ දරුවාට අයදුම් කළ නොහැකි තත්වයක් තිබිණි.
එය අයදුම් කල හැකිව තිබුනේ විද්‍යා විෂය ධාරාවෙන් මුහුණ දුන් අයෙකුට පමණකි.
විෂයන් දෙකක් පමණක් සමත් වූ ඔහුට ඔබ එම අවස්තාව ලබාදීමේ අරමුණින් එකී වර්ෂයේ රජයේ ගැසට් නිවේදනය වෙනස් කලේ ය. ඔබගේ දරුවා එයට ඉල්ලුම් කර එකී තනතුර ලබාගත්තේ ය.
පසුව නැවත ඔබ ඉකුත් අවුරුද්දේ එකී ගැසට් නිවෙදනයම තිබු පරිදි යලි සකසයි.

පසුව ඔබ ඔබගේ ජනතාවට මෙසේ කියයි.

".. මගේ දරුවා ඉන්නෙත් හමුදාවේ.. මගේ දරුවා රට වෙනුවෙන් සටන් කරනවා.."

ඔබ එයින් ජනතා හදවත් රවටා දැම්මේ ය. එයින් නොනැවතුන ඔබ ජනතාවගේ දරුවන්ට යුද්ධය වෙනුවෙන් ආරාධනය කලේ ය. ඔවුන් රැවටී එකී ආරාධනය පිළිගත්තා පමණක් නොව, යුධ සේවයට ගොස් අත පය සිඳ ප්‍රාණය නිරුද්ධ සිරුර ගෙදරට සීල් කල පෙට්ටියක ඒවා දෙමාපිය හදවත් වල ගින්න ඇති කළේය.

සරත් ෆොන්සේකා හා ඔබ අතර ඇතිවූ බල තරඟය නිසා ජනාධිපතිවරණයෙන් ඔබ ජය ගත්තේ ය. ඔබ පත්වීම ලබා පසුදිනම ඔහුට විරුද්ධව හමුදා අධිකරණයට නඩු කියයි.
ඔබගේම විනිසුරුවන් යටතේ, ඔබ විසින් සාදාගත් චෝදනා ගොනු කර එකී තීන්දුව කැන්ගරු නඩු තීන්දුවක් වග මේ රටේ කොයි කවුරුත් දන්නා ප්‍රසිද්ධ රහසකි. ( කැන්ගරු තීන්දුවක් යනු, උසාවියක් තුළ නඩුවක් ඇසිය යුත්තේ ප්‍රසිද්ධියේ ය. එය සම්ප්‍රදායකි. එසේ නොවී හොර රහසේ නඩු කීම අයිතිවාසිකම් උල්ලංඝනය වීමකි. ඒවාට කැන්ගරු නඩු යැයි කියති )

තවත් අවස්ථාවක ඔබ විසින් අගවිනිසුරුතුමියට චෝදනා ගොනුකර නඩු මගට බසී. ඔබ විසින් ඇති කල ස්වාධීන යැයි කියනා කොමිසමක උසස් පෙළ අධ්‍යාපනයවත් නොමැති නීතිවේදය ගැන කිසිදු දැනුමක් නොමැති විමල් වීරවංශ වැනි අය විනිසුරුවන් කරයි. එසේනම් එයින් නිවැරදි සම්භාවිතාවක් තුල තීන්දුවක් ලබාදිය හැකිද..

ඔබ විසින් ඔබගේ ඕනෑ එපාකම් මත නීතිය වෙනස් කළේය. ඔබ ඒවා ප්‍රයෝජනයට ගත්තේ ය.

ජනතාව ඔබට පවුල් පාලකයා කීවේය. ඒ ජනතාවගේ හැටිය. ඔවුන් සැබෑවටම අන්ධ බාලයන් ය. එසේ නොවන්නේ නම්, සිය රටේ නායකයා මියදුන තැන එකී නායකයා මිය සතුටට කිරිබත් බුදින්නේ නැත.

ඔබ සේවයක් කළ අයෙකි. යුද්ධය නිමා කළ දේශපාලන නායකයා ඔබය. එයට හිමි නිසි ගෞරවය නිතැතින්ම ඔබට හිමිවිය යුතුය. 30 වසරක මර ලතෝනි අදටත් තැනින් තැන ඇසෙන්නේ ඒ අතීතය සිහි කරන්නට මෙනි.
මේ රටේ පවුල් පාලකයන් වන්නේ ඔබ පමණක්ම නොවේ. මේ රට වැඩි වශයෙන් පාලනය කලේ බණ්ඩාරනායකලා සහ සේනානායකලා ය.
එසේනම් ඔබ පවුල් පාලකයෙක් වන්නේ නැත. ඔබ තෝරාගත්තේ විශ්වාසනීත්වයෙන් යුත් මිනිසුන් පමණි. ඔබගේ තත්ත්වයේ මා සිටියද මා ගන්නේ ද එවැනි ක්‍රියා මාර්ගයකි.

නමුදු ඔබ අතින් වැරදීම් සිද්ධ වුණි. වැරදීම් සිද්ධවන්නේ මිනිසුන් අතිනි. ඔබ එක කාලයක ප්‍රසිද්ධියේ මෙසේ පවසයි.

".. ඔය කාගේ කාගේත් ෆයිල් මම ළඟ තියෙනවා..."

එසේනම් ඔබ හොරුන් ගැන හොඳ හැටි දැන සිටියේ ය. ඔබට පාපොච්චාරණය කරන්නට කාලය එළඹ ඇත. එසේ කළහොත් ඔබට ජනතාව විසින් ගෞරවණීය පිළිගැනීමක් ලැබෙනු ඇත. මේ ඔබ හෙලිකල යුතු ෆයිල් එළියට දැමීමට කාලයයි.

යහපාලනය ගැන මා හොඳක් නොකියමි. මන්ද හඳුන්වාදීමට යන නව ඡන්ද ක්‍රමය මත 225 මන්ත්‍රී ධූර සංඛයාවක් අසුන් ගැනීමට පාර්ලිමේන්තුව සැකසිය යුතුය. මා දන්නා තරමට එතරම් අසුන් ප්‍රමාණයක්වත් පාර්ලිමේන්තුව සතුව නොවේ. එසේනම් තවත් 30 දෙනෙකු පමණ වැඩි වේ. ආසනයකට එක් මන්ත්‍රීවරයෙක් පමණක් වන සේ ජනතාවගේ ගැටළු විසඳීමට ඔවුන් පත් කරගන්නට කටයුතු වත්මනෙහි සුදානම් වේ.

මා පාඨක නුඹලාගෙන් ගැටළුවක් අසමි.

මේ රටේ කිසිවෙකු පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් අවශ්‍ය යැයි කියා උත්ඝෝෂණ සිදුකර තිබේ ද ? මා දන්නා තරමින් නැත.
මා කුරුණෑගල සිට කොළඹ පුරවරයට යන සෑම අවස්ථාවකම කොටුව දුම්රිය පොළ ඉදිරියේ හෝ කැලණිය විශ්ව විද්‍යාලය ඉදිරියේ අට්ටාල ගසාගෙන උපාවස කරන සහෝදරවරුන් දකිමි.
ඔවුන් ඉල්ලන්නේ මේ රටෙහි පාර්ලිමේන්තුව තර කර, ජනතාවගේ මුදලින් ඔවුන්ව නඩත්තු කරමින් බදු මුදල් තවත් ඉහල දමන ලෙස ද...? එසේ ඉල්ලනවා නම් එයට කම් නැත. නමුත් සිද්ධවන්නේ ජනතාව ඉල්ලන දේ නොව අනෙක් පස දෙයකි. එයනම් තමන්ගේ මඩිය තර කර ගැනීමට හා සාමුහිකව කෑමට දරන ප්‍රයත්නයකි.

මේ රටේ ජනතාවට අවශ්‍ය වන්නේ නොමිලයේ ලබාදෙන බෙහෙත් ය. රෝහල් වලට වෛද්‍යවරුන් ය. නිදහස් අධ්‍යාපනය කප්පාදු වීම වලකාලීමය. ගුරු හිගය වලකාලිමය.
මේ රටේ නිසි කලට වේලාවට සේවය සපයන රාජ්‍ය සේවකයන් ය.

෴ උපුටා ගැනීම ; ෴ ( ප්‍රසිද්ධ මාධ්‍යකිනි )

".. මේ රටේ දෙකෝටි විසි ලක්ෂයක් වූ ජනතාවට සේවය සැපයීමට
පාරිභෝගික අධිකාරියේ නිලධාරින් 200ක් ද ජනතාවගේ වෛද්‍ය සේවය වෙනුවෙන් වෛද්‍යවරුන් 16,000ක් ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 1800ක් ද හෙද නිලධාරීන් 29,000ක් ද සිටී.
තවද විහිළුවට කරුණ නම්, ජනතාවගේ පෝෂණ ගැටළු වෙනුවෙන් සිටින්නේ පෝෂණවේදීන් තිදෙනෙකි. පරිපූරක වෛද්‍ය සේවාවේ පනස්දහසක් පමණ අඩු සංඛ්‍යාවක් ඇතිමුත් ඔවුන්ට පුහුණුව සැපයීමට කිසිදු ස්ථිර ආයතනයක්, විදුහල්පතිවරයෙක්, ආචාරවරයෙක් නැත.
........”

෴ උපුටා ගැනීම අවසන් ෴

එසේනම් ජනතාවට අවශ්‍යවන්නේ තවත් පාර්ලිමේන්තුව තුළ ලගිනා බලලෝභී මන්ත්‍රීවරුන් පිරිසක් ද..

ලංකාවේ දේශපාලනය සදා සොත්ති ය. එයට ගොඩ ඒමක් නැත. කවුරුන් අවංක වන්නට සිතුවද ඔවුන් සැමගේ ඇත්තේ වංක පරමාර්ථයන් පමණකි. මහින්ද වේවා, මෛත්‍රී වේවා, රනිල් වේවා, අනුර කුමාර වේවා, කවුරුන් ආවද මේ රට වෙනස් වන්නේ නැත.
මේ රටට අවශ්‍ය වන්නේ, ආවේණික වෙනසකි. මන්ද මේ රටේ ජනතාව පවා පාලකයන් සේ හැඩ ගැසී ඇති නිසාය. එසේනම් සිස්ටම් එක වෙනස් විය යුතුය. එය එසේ වූ කළ දේශපාලන පිළිවෙත් පවා වෙනස් වේ.

මහින්ද යනු මේ රටේ දශක 30ක් පැවති යුද්ධය අවසන් කළ පාලකයාය. එය කිසි දිනක මේ රටේ ජනතාවට අමතක නොවේ. ඔබ මේ දකින වීඩියෝ පටය තුළ සිටින්නේ මහින්දට එකී සේවය වෙනුවෙන් ඔහු පසුපස හඹා එන ජන ගඟයි..
බාගදාට,
ඔබතුමා, බලයට පත්ව යුද්ධය අවසන් කර හොරුන්ට ඉඩ නොදී මේ රට තවත් ස්වන්පොෂිත කළානම් ජනතාවගේ නිදහස සමාජීය වශයෙන් සීමා නොකර තබා ගත්තානම් ඔබ තුමා තවමත් ජනපති මහින්ද රාජපක්‍ෂ නම් මිනිසාය.
ඔබට පෞද්ගලිකව මා කවදත් කැමති ය. ඔබගේ චෝදනාවන් ඔප්පු වී නීතියේ දෙවඟන ඔබට දඬුවම් ලබා දුන්නද මා තුළ පවතින කැමැත්ත පහව නොයයි.
මන්ද මේ රටේ විධායක ජනාධිපතිවරුන් බොහෝ සිටියහ. ඔවුන්ට අවශ්‍ය බලය ඕනෑ තරම් තිබිණි. ඔවුන් නොයෙක් විට ත්‍රස්තවාදය හා ගිවිසුම් පමණක් ගසා අත පය හකුලා බලා සිටියහ. ඔබ එදා ගත් තීන්දුව නොගත්තානම්, බාගදාට කොලොන්තොට යන විටක මා බස් බෝම්බයකට යටව සිටින්නට ද තිබිණි. මගේ මවට පියාට මගේ කෑලි අහුලන්නට CIC පොහොර බෑගයක් රැගෙන එන්නටද පුළුවන්කම තිබිණි. එසේ නැත්නම්, මා හට යුධ පෙරමුණට යන්නට ද වාසනාව හිමිවන්නට තිබිණි.

අද මා නිදහසේ හුස්ම ගන්නේ ද ඔබගේ නායකත්වය යටතේ නිමාකල යුද්ධය නිසාවෙනි. ඉඳින්, අවසරය !
ඔබට හැකිය නැවතත් මේ කුණු ගොඩෙහි දඟලන්නට. නැතිනම් ෆයිල් එලියට දී ජන ප්‍රසාදය සමඟ ගිමන් නිවන්නට.. ඔබ කුමක් තෝරා ගනීදැයි මා නොදනිමි.
මගේ පෞද්ගලික ඡන්දය නම් ඔබට හෝ කිසිදු දේශපාලන පක්‍ෂයකට හිමි නොවේවි.


( සෑම දෙයක්ම සාපේක්‍ෂය. අධෝ මුඛයේ මුහුණ ඔබ්බවාගත්තවුන් පැමිණ මගේ මව හෝ හැදු පියා ගැන නොතැවෙනු ඇතැයි සිතමි. මා ඡන්දය පාවිච්චි කලේ මහින්දට ය. මා දන්නා මගේ මතය පැවසීමට සෘජු අයිතියක් ලාංකිකයෙක් සේ මට ඇත. )
 
වැදගත් :- වීඩියෝව මෙහි අප්ලෝඩ් කළ නොහැකි බව කරුණාවෙන් සලකන්න. මෙම වීඩියෝව මා ලබාගත්තේ නාරම්මල ප්‍රදේශයට හිටපු ජනපති පැමිණි අවස්ථාවක දී ය.ඔහුට ඇති ජනප්‍රසාදය පෙන්වීමට විනා අන් දෙයක් මෙම වීඩියෝ පටය තුල නැත. 

මෙම සබැඳිය ඔස්සේ එය නරඹන්න.. මහින්ද රාජපක්ෂ සහ යහපාලනය

Share on Google Plus

About Unknown

2 අදහස්:

  1. සඳරුට පොලිටිකල් ඇලජික් කියල මං හිතාන හිටියෙ. කාලෙකින් බ්ලොග් පෝස්ට් එකක් කියෙව්වෙ.

    ප්‍රේමදාස යුගයෙ තිබුනෙ සමෘද්ධිය නෙමේ ජනසවිය වගේ මතක.

    මහාවංශය. චූලවංශය වගේ එව්ව නම් ඒ කාලෙන් කාලෙට ලියපු අයගෙ පාක්ෂිකත්වය එක්ක වෙනස් උනේ නෑ කියන්නත් බෑ.

    උඹ කියපු ඔක්කොම ඇත්ත. හෝදන්න දෙයක් දැක්කෙ නෑ.

    පක්ශ දේශපාලනය නැති දවසක විතරයි රටක් හරියට හදන්න පුලවන්. පාර්ලිමේන්තුවට සාමජිකයො වැඩි වෙන එක අවුලක් නෙමෙයි. මන් නම් හිතන්නෙ වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදය කියන එක ශක්තිමත් වෙනව ඒකෙන්. පලාත්සභා කියන මෝඩ ආතල් එක අයින් කරල දාන්න ඕන.
    කොහොමත් ගේන්න හදන මැතිවරන ක්‍රමේට මන් නම් කැමති නෑ. මේ තියන විදිහ හොදා ඊට වඩා.

    මට පොලිටිකල් තහනම්. ඒ නිසා මේ ඇති.
    පෝස්ට් එක මල් හතයි

    ReplyDelete
    Replies
    1. ඔයා හරි. ඒක ජනසවිය ලෙස නිවැරදි විය යුතුයි.
      දේශපාලනය ඇලජික්..
      ඒ ගැන කතා දෙකක් නැහැ.. මේක තනිකර මඩ වලක්

      Delete

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..