සර්ව ආගමික ප්‍රේමය - Pls drop out to soul theory




".. සැන්ඩරු පොත ගෙනාවා...ද..? .." 

"..නෑ.." මං හිනා වෙලා උත්තර දුන්නත් ඒ මූණේ ඇඳුණු කළු පැහැයට වැරදි කාරය මං කියන හැඟීම දැනුණේ මට. 


මං එයාගෙන් ගණන් පොත ඉල්ලන් දවස් දෙක තුනක්ම ඇති. ඒත් මට ගේන්න බැරි උනේ ඒක මගේ අමතකවීම නිසාද නැත්නම් මං කිසිම දෙයක් ගණන් ගන්නේ නැති නිසාද කියල පැහැදිලි නෑ. 


එයා එයා කිව්වට එයාගේ නම ෆාතිමා, හරිම නිවුණු චරිතයක්.. මුස්ලිම් නිසා කොච්චරවත් රෙදි කෑල්ලකින් මුණ වහගෙන උන්නේ.  ඒකට එයාල කියන්නේ ඵර්දාව කියල. 


මගේ තිබ්බ විසේකාරකමට මං ඔය ෆර්දාව කොච්චරවත් ඇද්දා. ෆාතිමා ලස්සනට හිනාවෙන්න දැනගෙන උන්නා.. 

"... සැන්ඩරු අවුලක්ක් නඃ.. හෙට ගෙම්න.." 

".. ඔයාට මගේ නම කියන්න බැරිද ෆාතිමා තාම හරියට.." 

"..අනෙහ් සොරි.. " 

".. අනේ යනවා යන්න.. වැඩක් නෑ. ඔයාට පොත ලොකුනම් ගෙනත් දෙන්නං දැන් ගෙදර ගිහිං.. " මං අමනාප මූණක් මවාගෙන එහෙම කියද්දී ෆාතිමාගේ ඇස් දෙක නලියනවා මං දැක්කා. මං එතැනින් අයින් උණා. 


".. ඒ සඳා වරෙන් යන්නේ සෙල්ලං කරන්න.." 
".. බෑ බෑ.. බඩට මොනාහරි දා ගන්න ඕනේ.." මං එහෙම කිව්වේ චාමරගේ කරට අතක් දාන ගමන්.. 

".. උඹේ ඉතිං කන බණේ නේ යමං කැන්ටින්.. " එහෙම කියල කැන්ටිමට අපි දෙන්නම ගියත්, චාමරගේ මූණේ තිබ්බේ උදේම ක්‍රිකට් ගහන්න තිබ්බ ආසාව නැති නොහොද නෝක්කාඩුව.. 

අපි දෙන්න ඉස්කෝලේ වටේ කැරකි කැරකි කතා බස් කරගෙන කැන්ටිමට ගොඩ වෙත්දී ෆාතිමායි, කසුනයි, ඉෂාරායි, පියුමියි, කැන්ටිමේ උදේම කනවා. මං දකිද්දීම ෆාතිමාගේ මූණ දිලිසෙනවා වගේ දැනුණා. මට එහෙම දැනුණේ ඇයි දන්නේ නෑ. ඒත් මට ඒ හැඟීම විස්තර කරන්න සිංහල වචන දැනගෙන උන්නේ නෑ. 

".. මොනවද කන්නේ .." චාමර එක පාරටම කණට කරලා අහද්දී මං ගැස්සිලා ගියා. 

".. ඉඳි ආප්ප, ? රයිස්, ? පරාට .. ?.. " චාමර එකින් එක කියාගෙන ගියා. 

".. ඉඳි ආප්ප හොඳයි.." මං පිටි පස්ස බැලුවේ විමතියෙන් වගේ. වෙන කවුරුත් නෙමෙයි මොහොමඩ්, අපි පිටිපස්සට වෙලා බලාගෙන ඉන්නවා. 

".. උඹලා දෙන්න හොරෙන් ආව නේද..?.." මොහොමඩ් අපි දෙන්නට දෙස් දෙවොල් තියන්න ගත්තා. 

".. ඉඳි ආප්ප ගමු.." මං එහෙම කියල මොහොමඩ්ගෙනුයි චාමරගෙනුයි ඈත් වෙලා ඒ ලඟම තිබ්බ පුටුවකට බර උණා. 

".. අද අරුගේ කට වැහිලා. මොකෑ දන්නේ නෑ .." කසුනා මාව පෙන්නලා පියුමිට කියනවා ඇහුනත් මං වෙනදා වගේ කට ගහගෙන ගියේ නෑ. මට කල්පනා කරන්න ගොඩක් දේවල් තිබුණා. 
මං හිතුවේ මගේ හිතට වෙලා තියෙන දේ ගැන. ඕන මගුලක් උනාවේ කියල මං පියුමිලා ඉන්න තැනට කිට්ටු උණා. ෆාතිමා කොට බංකුවෙන් චුට්ටක් එහාට උනේ මට ඉඳ ගන්න කියල මම දැනගෙන උන්නත් මං ඉඳ ගන්නේ නැතුවම උන්නා. 

".. සැන්ඩරු, වාදී වෙන්න .." 

 
".. නම ..? .." මං එහෙම කියල අහක බලා ගත්ත. 
".. ඉඳ ගනිං. අද ෆාතිමාගේ උපන් දිනය.. මේ අපි පාර්ටි එකට කලින් පාර්ටි එක රස විඳින්නේ.. " 
කසුනා එහෙම කියද්දී මට මං ගැන දැනුණේ ලැජ්ජාවක්. උදේ ඉඳන් මං කෙල්ලට විශ් කළේවත් නෑ. අඩුගානේ හැමෝම දන්නා උපන් දිනය ගැන මට ගානක්වත් තිබ්බේ නෑ. මං ෆාතිමාගේ මූණ දිහා බැලුවේ මූ කියන්නේ ඇත්තද කියන්නා වගේ. 
මං ෆාතිමා ලඟින් වාඩි වෙලා ෆාතිමාට කිට්ටු උණා.. 

".. කවන්න..? ." මං එහෙම කියද්දී එතන උන්නු උන්ගේ කටවල් ඇරෙන හැටි බලන්න අපූරුයි. ඒක උන්ට අලුත් දෙයක් වෙන්න හේතුවකුත් නෑ. මගේ හැසිරීම ගැන දන්නා අය මගේ හැටිත් දැනගෙන උන්න. ඒත් මේ වගේ වේලාවක මං එහෙම කියද්දී පුඩුම හිතෙන්න ඇති.

".. කවන්න .." මං ආයෙමත් කිව්වා. 

ගුලි කරපු ඉඳි ආප්පයක් හොඳට හොඳි සම්බෝල එක්ක අනලා කවද්දී ඉස්පොල්ලේ නොයා බේරුනේ මගේ පූරුවේ පිනකටද කියල හිතුනා. උගුරෙන් පහලට රෝල් වේවි යන ඉඳි ආප්ප ගුලිය මගේ ස්නායු වලට අපූරුවට දැනුණා. 

".. මරන්නද හදන්නේ.." මං එහෙම අහල ෆාතිමාගේ පිඟානේ තිබ්බ ඉඳි ආප්ප තුන හතරකට වග කිව්වා. අපේ ඇඟිලි පැටලෙන්න ඇති. මෙහෙන්දි ගාපු ඇඟිලි වල ලස්සන මං දැක්කේ ඒ වෙලාවේ. ඒ ලස්සන ඇඟිලි තුඩු ඉඳි ආප්ප එක පිඟානක අනද්දී අපිටම නොදැනිම පැටලුන වාර තිබුණා. පැටලුනේ අතද හිත කියල මං තනියම හිතුවා . ෆාතිමාට නොදැනුන ගොඩක් දේවල් මට දැනුනද කියල මගේ හිත මගෙන් හිමිට ඇහුවා. 

".. අඩෝ උඹ කන්නේ එන්නේ නැත්ද..? .." මොහොමඩ් එහෙම කියලා කෑ ගහනවා ඇහෙද්දී මං ඇහුනේ නෑ වගේ ෆාතිමාගේ පිඟානේ තවත් ඉඳි ආප්පයක් ගුලි කළා. 
".. ෆාතිමාට නෙමෙයි අපිටත් පුළුවන් කවන්න.. මෙහෙ වරෙන්.." එහෙම කියද්දී මට බැලුනේ මොහොමඩ් දිහා නෙමෙයි ෆාතිමාගේ මූණ දිහා. මූණ අපුරුවට රතු වෙලා. කම්මුල් දෙක ලා රතු පාටින් දිලිසෙනවා. ෆාතිමා පිඟාන දිහා බලාගෙන ඉඳි ආප්ප අනනවා.
මං අනපු ඉඳි ආප්පේ එහෙම්ම ෆාතිමාට තියල. මොහොමඩ් ඉන්න තැනට කිට්ටු උණා. 

මට ලැජ්ජාව - භය කියන දේවල් යාළුවො අතර තිබ්බේ නෑ. අපි එව්වා දැනගෙන උන්නෙත් නෑ. අපිට අපේ චරිත වලට වඩා යාළුවො ගැන අධි විශ්වාසයක් තිබ්බ. ලේ බැඳීමක් වගේ අපිට ඒක දැනුණා. රුධිර නාල පවා යාළුවෙක්ගේ කරදරයක් ළඟ ගැහෙන්න ගත්තු වාර අනන්තයි. 

මොහොමඩ් - චාමර - මම එකම පිඟානේ උදේ ආහාරය ගත්ත. ඒක කාටවත් විශේෂ දර්ශනයක් නෙමෙයි. ඒක අපි හැමෝටම පොදු දර්ශනයක්. ඒ දේවල් වලින් අපේ බැඳීම් තව තවත් වැඩි උණා. 

මචං බෙල් එක වදිනවා. ඉක්මනට දුවමු. 

තුන් දෙනාම ඉඳි ආප්ප පිඟාන පැත්තකින් තියලා ටැප් එක ලඟට දිව්වේ හනිකට රැස්වීමට යන්න ඕනේ නිසා. අපි යනකොට පියුමිලා අත හෝදනවා. 

"..පීප්.. පීප්.. උඋව්.. උඋව්.. ! .." ඇම්බියුලන්ස් සද්දේ දා ගත්තු චාමරය ටැප් එක ලඟට කිට්ටු වෙලා කෙල්ලෝ ටික තල්ලු කරගෙනම අත වතුර වැස්සෙන ටැප් එකට ඇල්ලුවා. කෙල්ලෝ ටික ඈත් උනේ කවදාවත් අපේ තිබ්බ විසේකාරකමට කතා කරන්න නිදහසට කාරණා නොතිබ්බ නිසාද නැත්නම් අපේ හැටි දැනගෙන උන්න නිසාද කියල පැහැදිලි තිබ්බේ නෑ. 

මමත් එහෙම්ම අත ටැප් එකේ අල්ලං උන්නා. අත හේදිලා යනකොට, ඒ ටැප් එකෙන්ම වතුර බීලා එතැනින් පිට වෙන ගමන් ගත්තු දිය දෝත මූණක් නොබලාම ගැහුවේ ඕනේ එකෙක්ට වැදියන් කියලා. 
ෆාතිමා අත් දෙකින්ම මූණ වහගද්දී මගේ උපන් දින තෑග්ග මං දීල ඉවරයි. රෝස පාට මූණ වතුරින් පෙඟිලා ගියා. මගේ හිතට දැනුණේ වේදනාවක්. ඒත් හැමෝටම එක සාමාන්‍යය දෙයක් උන බව හිනාවෙන් තේරුනා. හැමෝම එක දැකලා මහා හයියෙන් හිනා වෙත්දී වරදකාරී හැගීමක් දැනුනත් ඒ අස්සේ දැනුණේ කම්පාවක්. 

"..සඳරු .. ! වරෙන් යන්න.. ! අන්න පන්සිල් ගන්න පෝලිම් හැදිලා.." ෆාතිමා දිහා බලන් ඉන්න මගේ අතින් මොහොමඩ් ඇද්දේ හරියට උගේ ආගම අදහන්න පරක්කු වෙනවා වගේ. මං අත ගසාදාල සාක්කුවේ තිබ්බ බොබ් ලේන්සුව ෆාතිමා දිහාට විසික් කරලා මොහොමඩ් ගේ අතින් ඇදගෙන පන්සිල් ගන්න පෝලිම් දිහාට දිව්වා. 

පේලියේ අවසානය විදියට උන්නු මගේ ඉස්සරහම උන්නේ මොහොමඩ්. මම වැඳ ගත්තේ බාගෙට. ශබ්ධ විකාශන යන්ත්‍ර වලින් දාපු පංශ ශීලය සමාදන් උනේ කිහිප දෙනයි. මොහොමඩ් ඒ අතර කෙනෙක්. ඔහු අපූරුවට හඬ නගල කියෙව්වා. ඔහුට තිබ්බ මධුර හඬ අපුරුවට ඒ ඒ වැකියන් හැඩ කළා. 
මං හැමදාම වගේ මනෝ පාරක් ගැහුවා. ඒ මොනවද කියන්න මටවත් නිනව්වක් තිබ්බේ නෑ. 

හැමෝම වගේ පන්සිල් අරගෙන පෝලිමට පන්ති වලට ගියා. ඒ වෙනකොට ෆාතිමාට මම ඇරෙන්න ඔක්කොම වගේ සුබ පතලා. පිට ඉස්සරහ පෝලිමේ උන්න ෆාතිමාට මං සුබ පතන්න හිතලවත් තිබ්බේ නෑ. ඒත් හිත ඇතුලේ අපූරු හැඟීමක් මූදු වෙන බව මටත් නොදැනී මගේ හිත කිව්වා. 


".. happy birth day to you..." 
".. happy birth day to you..." 
".. happy birth day to ෆාතිමා..." 
".. happy birth day to you..." 

හැමෝම නැගිටලා කියද්දී මම කලේ පහුගිය ගණිත අභ්‍යාස වල උත්තර මගේ පොතේ පිටපත් කරන එක. මොකද මම කවදාවත් වැඩක් කරපු මිනිහෙක් නෙමෙයි. මට ඒ දේවල් දැනුණේ කරදරයක් විදියට. අම්ම අප්පච්චිගේ හිත හදන්න උසස් පෙළ විෂය ධාරාව ලෙස ගණිතය තෝරා ගත්තත්, මට ඕනේ උනේ නෑ ඉලක්කම් අතර මගේ ජීවිතේ තනි කරන්න. ඒත් පුරුවේ පිණකට පන්තියේ දක්‍ෂතම ශිෂ්‍යයා උනේ හැම වෙලේම මම. 

හැමෝම පෞද්ගලිකව ෆාතිමාට සුබ පැතුවා. මොහොමඩ් - නුස්රියා වගේ අය දෙමළෙන් අරාබියේ සුබ පතනකොට සිනා හඬක් පැතිරුනේ ඔවුන්ගේ ආවේණික භාෂාවේ තිබ්බ ශබ්ධයන් ස්වදේශිකයින් වූ අපිට නුහුරු අත්දැකීම් ජනිත කල නිසා. 

භෞතික විද්‍යාව විෂයට අදාල සර් එනකොට මම උන්නේ සිංදුවකට තාලේ අල්ලන ගමන්. චමරටත් මටත් පන්තියේ සතුටු වෙන්න දෙයක් තිබ්බ නම් ඒ දේ විතරයි. 
".. චාමර ! තමුසෙලට එලියට යන්න ආසනම් ඔය අඩව්ව දිගටම අල්ලනවා.." කියන ගමන් නවරත්න සර් බෝර්ඩ් එකේ මොන මොනවදෝ ගානක් ලියන්න ගත්තා. මටයි චාමරටයි ඒක පෙනුනේ සර් අසීරුවෙන් අඳින චිත්‍රයක් වගේ. 

මං වෙනදා වගේම ෆාතිමාගේ ෆර්දාවෙන් ඇද්දා. ෆාතිමා කිසිවක් නොකියා සර් බෝර්ඩ් එකේ ලියන දේ දිහා බලාගෙන උන්නා. 

".. උඹ ෆාතිමාට කොච්චර ආදරෙයි ද..? .." 
".. අහස තරම්.. ! .." 
".. ඒ මදි .." 
".. පොලව තරම්.." 

මමයි චාමරයි ෆාතිමාව අවුස්සන අරමුණින් විහිලු කරන්න ගත්තා. වෙනදා නම් ෆාතිමා මොනාහරි කියනවා. ඒත් එදා මගේ මූණවත් බැලුවේ නෑ. මට දැනුණේ වේදනාවක් එක්ක කුතුහලය. 

ඒ කාලච්ඡේදය ඉවර වෙලා ඊළඟට ආවේ නිමල් සර් ගේ රසායන විද්‍යාව කාලච්ඡේදයයි. කිසිම දෙයක් හිතේ තිබ්බේ නෑ. ඉස්කෝලේ ඇරිලා යන වෙනවා එනකම් බලන් උන්නා මිසක හිතේ තිබ්බේ ෆාතිමා ගැන අමුතු හැඟීමක් විතරයි. 

".. ඊයේ කරගෙන ආපු වැඩ බලන්න ගන්න.." 
නිමල් සර් එහෙම කියන ගමන් පොත් බලාගෙන වේ වැල වනමින් අපි ඉන්න දිහාට ආව. 

".. good good.. හොඳට කරලා.." නිමල් සර් ගෙදර වැඩ කරපු ළමයින් ගේ පොත් වලට හරි ලකුණු මාර්ක් කරන ගමන් කියනවා යාන්තමට ඇහුනත් මං උන්නේ ඩෙස් එකට ඔලුව තියාගෙන ඇස් දෙකත් පියාගෙන. කම්මැලිකම රජයන මොහොතකම පොත් බැලිල්ල මට දැනුණේ එකට ඉනිමන් යැව්වා වගේ. 

".. ෆාතිමා මේ මොකද කොළ කෑල්ලක.." 
".. පොත බැරි උණා සර් ගෙදර.." 

මං ඔලුව උස්සලා බලද්දී නිමල් සර් වේවැල වනන ගමන් ෆාතිමාට බනිනවා. 

".. තමුසෙලට වෙන මොනවා අමතක වෙනවද දන්නේ නෑ.. බලනවා ඔක්කොම ඇඳුම් ඇඳලා ද කියලා... ඔය ෆර්දාව හදා ගන්නවා කෝ අයිසේ. මොකද එහාට මෙහාට ගිහිං.. අමතක වෙන එකට බෙහෙත් තියෙනවා. මෙයා බෙහෙත් දෙයි.. " 

නිමල් සර් වේවැලින් දැන් ගහයි දැන් ගහයි කියන භිය මගේ හිතට දැනෙද්දීම, මගේ හෘද සාක්‍ෂිය මාව පුටුවෙන් උස්සලා තිබ්බා. 

".. සර් පොත මගේ ළඟ. ඒක මං ගෙදර අරගෙන ගියා නෝට් ලියන්න. මටයි අමතක උනේ. අනික ෆර්දාව මමයි විහිළුවට වගේ පිටිපස්සේ ඉඳන් ඇද්දෙ.." 

 
මං එහෙම කියන ගමන් ෆාතිමාගේ මූණ දිහා බැලුවා. රෝස පැහැ ගත් කම්මුලින් කඳුළු දිය ගලාගෙන වැටෙනකොට හිත යවුලකින් හාරන්නා සේ දැනුණා. මං සර් දිහා බලන් උන්නේ මම ඕනේ දඬුවමකට යටත් කියන පණිවිඩය එක්ක. සර් මොන මොනවදෝ කියනවා ඇහුනත් මං නෑසුනා වගේ උන්නා. 
ෆාතිමාට ඉඳ ගන්න අණ කරපු සර්, මගේ දෑත මත වේවැල් පාරවල් වල සටහන් ඇති කළා. ඉඳි කටුවකින් තැන තැන අනින්නා සේ රිදුම් දුන්නත් මට දැනුණේ මගේ ආත්මය ගැන ගෞරවණීය හැඟීමක්.. 

විවේක කාලයට බොහෝ දෙනා එළියට ගියත් මං පන්තියේ තනි වුණා. මගේ හිත කිසිම දෙයකට ඉඩ දුන්නේ නෑ. ෆාතිමා මා සිටි තැනම මා දෙස බලාගෙනවත් උන්නේ අහිංසක විදියට. මං ඒ රූපයට වශී උනාද දන්නේ නෑ. මං ෆාතිමා ලඟට ගියේ ආදරෙත් අරගෙන. 

".. සුබ උපන් දිනයක් ෆාතිමා.." මං එහෙම කියලා දිලිසෙන ඇස් දෙක දිහා බැලුවා. 
ෆාතිමා මගේ අත අරගෙන රතු පැහැ ගැන්වුන තැන් පිරිමදින්න ගත්තා. වේවැල පාරවල් වැදුණ තැන් ස්පර්ශ කරනවිට නුහුරු වේදනාවකින් ස්නායු සලිත වී යන යුරු දැනුණා. මගේ මුවින් පිටවෙන සුසුම් ඇයට දැනෙන්නට ඇති. 

".. සමාවෙන්න සඳරු..." 

".. නම හරියට කිව්වා.." මං හිනා වෙලා ඒ අත් දෙකින් අල්ලා ගත්තා. 

".. සුබ උපන් දිනයක් වේවා..! .." මං ආයෙමත් කිව්වා. ෆාතිමා ඉවත බලාගත්තේ දැන් පරක්කුයි කියන්නා වගේ. 
".. කෝ මට තැන්ක්ස් කරන්නේ නැත්ද..? .." 

".. ඔයා මට තෑග්ගක් දුන්නේ නැහැනේ ඉතිං තැන්ක්ස් කරන්න..." කියන ගමන් ෆාතිමා ආදරෙන් හිනා උණා. 

".. මං ඔයාට ආදරෙයි.." මං ඒ ඇස් දෙක දිහා බලාගෙන හිමිට මුමුනද්දී ඒ ඇස් දෙක විශාල වෙලා ගියා. මං භය උනේ ඇහේ බොල දෙක බිමට වැටෙයි ද කියල. 
".. ඔන්න මගේ තෑග්ග මං දුන්නා.. මාව බලා ගන්න අද ඉඳන්... " මං එහෙම කියන ගමන් නළලට මගේ දෙතොලින් දුන්න හාදුවත් එක්ක ඇයව තප්පර කිහිපයකට වැළඳ ගනිමින් පිට්ටනිය දෙසට යන්න ගියා. ඇය මගෙ කම්මුල මත රෝස පැහැ දෙතොලින් තැබූ හාදුව අද වනතුරුත් මා ඉඳුල් නොකර රකිනවා. 

ඒ යන මොහොතේත් මං හිතුවේ ඒ ඇහේ කළු ඉංගිරියාව දැන් වැටෙයි කියල. 

**********************************************************

පුවතක්.. ! 

ඉස්ලාම් අන්තවාදීන් විසින් තවත් ශ්‍රී ලංකා හමුදා ට්‍රක් රථයකට පහර දෙයි. හමුදාවේ 5 දෙනෙකු පමණ මිය ගොස් ඇති බවත්, 16 දෙනෙකු පමණ තුවාල ලද බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසා සිටියි. 

**********************************************************

මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්.. ! 

හමුදා බුද්ධි අංශ නායකයෙක් වන, S.S දසනායක මහතාට එල්ල කල වෙඩි පහරකින් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි. 
ඔහුගෙ තත්ත්වය අසාධ්‍ය බව රෝහල් ආරංචි මාර්ග පවසයි.. 

**********************************************************

".. සඳරු.. මොකද මේ දෙයියනේ උනේ.. "

".. ෆාතිමා මේක හොඳට අහගන්න.. ලංකාව සුරක්ෂිත නෑ.. ඔයා දරුවොත් අරගෙන රට යන්න..." 

".. අනේ සඳරු.. ! .." 

".. යන්න.. සිංහල මිනිස්සුයි, ඔයාගේ මිනිස්සුයි අපේ දරුවොයි මේ තුන් ගොල්ල තෝරා ගන්න බෑ.. අපේ දරුවෝ අරගෙන ඔයා යන්න..."



!!!
Share on Google Plus

About සමීර සඳරුවන්

7 අදහස්:

  1. ලෙසටම ලියා ඇත.. හාඳුව නොයිදුල්ව තියෙනවා කියන එක ලොකු අර්ථයක් තමා කතාවට දුන්නේ.. සාර්ථකයි.. බොරේ...

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් වේවා.. ! :D බොරේ කියන්නේ මුකක්ද :p

      Delete
  2. ඉතාමත් සාර්තක නිර්මාණයක් මලයා. ඇත්තටම ආගමික ජාතික බැමිවලින් නිවහල්ව හිතන්න හැම දෙනෙක්ම හිතන්න හැකි නම් ලෝකය යහපත් වේවි. ඒත් මොන ආගමේ හෝ අන්තවාදියෙකුට පුළුවන් ඔබ කතාව අවසානයේ කියන පුවත් දෙක සත්‍යයක් කරවන්න. ඉතින් කෙනෙක් විතරක් මෙයින් මිදුණාට වැඩක් නොවේ. මං කැමතියි මේ ආගම් කියන දේ ලොකෙන්ම නැතිවෙලා යනවනං. ආගම් තමා ලෝකෙට ඇති ලොකුම ත්‍රස්තවාදය. මේ ගැන අද සතර දිගන්තය බිලොගෙත් ලිපියක් තිබුණා.

    ReplyDelete
    Replies
    1. ආගම් නැති වෙලා ගියාම ආයෙමත් බෙදීමක් නොයේවි කියලා විශ්වාස ද,,? මං හිතන්නේ නෑ. වෙනස් වෙන්න ඕනේ මිනිසුන්ගේ ආකල්ප විතරයි.

      Delete
    2. So touching ! Well done :)

      Delete
  3. යකෝ......මෙහෙමත් ලියනවද බොල ..............
    ලෙසටම සුපිරියි කොල්ලො ........
    මට තේරුම් නැහැ බං මේ ආගම්...ජාතිවාදී මල රෙද්දවල්.......

    ReplyDelete
  4. හිතාගන්න බැරි අවසානයක් .. ජය වේවා මචා..

    ReplyDelete

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..