පියවරු



"...පට්ට අව්ව.. ! ෂික්.. මොකක්ද බං මේ වෙන්න යන විනාසේ..." මා දෑතින් රත්වුණු කම්මුල වසමින් ද  CR පොතකින් පවන් ගසමින් ද  මිතුරාට ගෝරනාඩු කලෙමි.

".. මචං මේකට කියන්නේ ලෝක විනාසේ කියලා. උඹලගේ සයන්ස් ගැජට් එකක් දාල නවත්වන්න බලපං ඇමරිකන් ෆිල්ම් එකක් වගේ.." ඔහු සිනාසෙමින් එසේ මා ඉවතලද්දී, මා ආරුඩ කරගත් අමනාපයෙන් ඉවත බලා ගතිමි.

".. පට්ට කෑල්ලක් බං. එඑඑහ්හ.. අර බලපං කෝ.. " නැවතත් ඔහු මුර ගායි. මා එදෙස බලා නැවත අකුලාගත් පොතින් පවන් ගැසීමට පටන් ගතිමි. මා එය ගණනකට නොගත් බවක් ඔහුට තේරෙන්නට ඉඩ හැරියෙමි.


".. යන් ද..? ඒක ඕනේ මට.." කියමින් ඔහු මගේ දෑතින් අදින විට, මා අත ගසා දැමුවෙමි.

".. බෑ බං.. අප්පච්චි මං එනකං බලාගෙන ඇති. හවස මගෙත් එක්ක කොහෙද යන්න තියෙනවා කිව්වා බං ... මං ගියා. සැට් වෙමු.."  මා ඔහුගෙන් සමු ගතිමි. ඔහු අමනාපයෙන් බව දනිතත්, එය සුළු කාලයකට සීමා බැව් මා හොඳින්  දැන සිටියෙමි.

වෙන යම් දිනක නම් මිනිසුන් බසයේ අසුනක් සොයා එකිනෙකා පරයමින් පොර බඳී. මෙදින කිසිවෙකුට ඒ පිළිබඳව නිනව්වක් නැතුවා සේ ය. මා හිස් අසුනක වාඩිගත්වනම හිස බිමට නැඹුරු කර ගතිමි. හිස බර ගතියෙන් රිඳුම් දුන් නමුත් නින්ද නම් අහලක නොවිණි. නෙතු පියා ගත්වනම සිටි මා හදිස්සියේ කටෝර හඬකින් නෙතු පිය ගැස්සී ඇහැරිණි.

 ".. පෙපරමින්ට්.. මුරුක්කු.. ඉඟුරු දෝසි.. ඉඟුරු දෝසි...
.. පෙපරමින්ට්.. මුරුක්කු.. ඉඟුරු දෝසි.. ඉඟුරු දෝසි... " 

".. ගන්න නෝනා.. ! ගන්න මහත්තයා.. ! හරිම රසයි හරිම රසයි.. නිකං ඉන්න ගමන් හපන්න.. හරිම රසයි.. නෝනා ගන්නවා ද..? "

".. නෑ එපා.." කියමින් ගැහැණියක් අමනාපයෙන් ඉවත බලයි. හේ නැවත දෑත පාමින් ඉඟුරු දෝසි පෙන්වයි. ".. රුපියල් දායයි.. නෝනා ! " හේ බුලත් විටෙන් රත් පැහැ ගැහුණු දත් විලිස්සා සිනාසෙයි.

".. යනවා අයිසේ යන්න.. එපා කිව්වා නේද සැරයක්.. ෂිට්.. අපි කනවද ඔය ජරාව.." එම ගැහැණිය ගර්වයෙන් යුතුව හඬා ගා කියයි.

මිනිසුන් සියල්ල ඒ දෙස බලයි. මා දෑස් උස්සා බැලුවෙමි. ".. දෙයියනේ අප්පච්චි.. ! .."

හදවතින් රිදුමකින් වෙලා ගියේය. මා නැවතත් දෑස් පියා ගතිමි.
හදවත තුල කිසියම් දෙයක් අවලම්බනය වන්නා සේ දැනේ. එය හදවතේ බිත්ති අතර ගැටීමෙන් ඇතිවන වේදනාව නහර පවා උලුප්පා රිදුම් දුණි.

මා අසලින් සම වයසේ කිව හැකි කෙල්ලක් විත් හිඳ ගත්තේය. මා දෑස් උස්සා නැවත බැලුමුත් ඈ කවුදැයි මා නොහඳුනිමි. නැවතත් පෙරකී වෙළෙන්දා සිටීදැයි බැලුවත් ඔහු නැත. ඔහු පිටවන්නට ඇත.
බසයයේ හඬ මා සවන් පත වැදෙන්නේ මර හඬක් මෙනි. පසුබිම් සංගීතය  එය මලගීයකට වයන මල බෙරයක් ලෙසින් මා සවන් පත තුල වැයෙයි. දෑත් පියවුවත් මනසේ සැරිසරන සිතුවිලි නින්ද අහලකවටවත් ලං විය නොහැකි සේ පවුරු බඳී. මිනිසුන් හැසිරෙන අයුරු අංශු මාත්‍රයෙන් පවා හදවතේ ඇති කරන්නේ වේදනාව හා කලකිරීමයි.

".. ඇයි අප්පච්චි.."

".. ක්ලාස් ගිහිං එන්නකෝ දරුවෝ.."

".. අයියා එක්ක ඔය ගමන යන්න බැරි ද..? ." මා පෙරලා ඇසුවෙමි.

"... අයියා ගැලපෙන්නේ නෑ.. ඔයා එන්න. කැබ් එකේ යන්න.. " අප්පච්චි හිස අතගා පෙරට වඩා ස්නේහයෙන් කීවේය. මා සුසුමක් හෙලුවෙමි. කුතුහලය මිශ්‍ර දෑස ඔහු වෙත හෙළු මා ඔහුගේ දෑස් මත එක එල්ලයේ බලා සිටියෙමි.

".. එපා අප්පච්චි.. මං බස් එකේ යන්නං. මට ඒක හොඳයි. ඒත් ඇයි කියන්නකෝ අපි හවස කොහෙද යන්නේ..." මා පෙරලා නැවත පෙර ප්‍රශ්නයම ඇසුවෙමි.

".. අම්ම කිව්වා කවුද ළමයෙක් ගැන. මේ වැඩ අස්සේ ඔයා එක්ක කතා කරන්නත් බැරි උණා. අපි එලියට ගිහිං ඒ ගැන කතා කරමු..." උරපත්තට තට්ටු කරමින් කර වටා අතක් යැවූ හේ සිනාසෙමින් කිවේය. 

 ලැජ්ජාවකින් හැකිලී ගියාක් සේ දැනුණු මා සිත, සිරගත් නොහැකි කල්හි සිනාවකින් සැරසුණු මුවින් පිට කලෙමි.  සතුට මිශ්‍ර කුතුහලයෙන් යුතුව පිරුණු හදවත් ඇත්තෙකු සේ ගෙදරින් නික්මුණු මා විටක තනිව සිනාසුනු වාර අනන්තය.

".. මොකද බං හීන දකිනවද..?.." මිතුරා නොයෙක් විට ඇසුවත්, මා කිසිවක් නොපවසා සියල්ල තනිව විඳ ගතිමි. පිය සෙනෙහසින් හද වෙලාගෙන තිබිණි.

නෙතු පිය ඇහැරිණි. නැවත බසය නවත්වාගෙන සිටී. නැවතුම් ස්ථානයේ දී බසය සෙනගින් පිරී ගියේය. හිස රිදුම් දෙන්නේ මොලය යවුලකින් හාරන්නා සේ ය. බසයේ යනෙන විට ගැස්සෙන පැද්දෙන නොයෙක්  ගමන් වාර වලදී මෙය මා හට දිනපතා දැනුන කායික අපහසුතාවක් වුණි.

නෙතු පියා ගැනීමෙන් යම් තෘප්තියක් දැනුනද එය සුළු කාලයකට සීමා විය. සුව පහසුව සදා ගැනීමට නම් නෙතු පියාගෙනවත්ම සිටිය යුතුය. මා නෙතු පියා ගන්නට සැරසුණා පමණි. එහා ඉමේ පෙට්ටි කඩයක් අසල නොයෙක් වර්ගයේ මිනිසුන් ඔබ මොබ සැරි සරද්දී, බිම හිඳ ගත් නිසල දෑතින් විපරම් කරන,  ගොවියෙක් යැයි කිව හැකි ජටාවක් බැඳී අයෙක් බිම හිඳ බුලත් කෙල ගසමින් සිටි.

මා ඔහු දෙස ඕනෑකමින් බලමින්,  ඔහුගේ හැසිරීම අධ්‍යයනය කලෙමි.  බුලත් සපමින් ද අවුල් වූ  හිසකෙස් පිරි මදිමින් ද හේ එතන නවතන බස් ගැන විපරමින් බලයි. බසයට එබෙන ඔහු බලාපොරොත්තු කඩවූ මුහුණින් නැවත පෙර කී තැනම වාඩිගෙන හිඳී. මා ඔහුට ප්‍රිය වුයෙමි. බසයේ සිට ඔහු ගැන විපරම් කිරීම යෝග්‍ය නොවන බවත්, ඔහු මගේ කතාවක කතා නායකයෙක් විය යුතු බවත් මා සිතට ගෝචර වන්නටත් මත්තෙන් මා බසයෙන් බැස නැවතුම් ස්ථානයේ බැම්මක් මත ඔහුව හොඳින් පෙනෙන සේ හිඳ ගතිමි.

බෑගයේ තිබු කැමරාව සුරතට ගත් මා ඈත සිට ඔහුව ඡායාරූප ගත කලෙමි.

".. ඒ නාකියෝ.. ! මොකද බං කරන්නේ.. කඩේ ඉස්සරහා හිඟන්නා වගේ. මෙතන මූසලකම වපුරන්නේ නැතුව පලයන්කෝ යන්නේ.. නොදකින් අමනයා.."

වචන වලින් දමා ගසමින් ඒ අසල තිබු පෙට්ටි කඩයේ ගැහැණිය ඔහුට බැන වැදුණි. ඔහු කිසිවක් නොකියාම, ඔහු බැම්මට හේත්තු කර මලකඩ පැහැ ගත් පාපැදිය ද තල්ලු කර, ඉන් ඔබ්බට පිය මැන්නේය. මා ඔහුගේ නොන්ජල් කමට වෛර කලෙමි.

".. මොකෙක්ද මන්දා.. බුලත් කෙල ගහනවා මෙතැන.." ඔහු යන දෙස බලා නැවත පෙර ගැහැණියම අවලාද බස් කීවාය. එහි හඬ සවනේ ප්‍රතිරාව විය.  ඇගේ කඩය දෙස හොඳින් බැලු මට දඬු මත හොවා තැන්පත් කල බුලත් දැකිය හැකිය. ඒ ඔබ්බෙන් හුණු හා විටට අවශ්‍ය අඩුම කුඩුම බොහෝ විය. මා සුසුම් හෙළුවෙමි. ඒ සුසුමෙහි වුයේ කුමක් දැයි මා සිතන්නට කල් නොවිණි. නැතහොත් එය සිතීමෙන් පලක් නොවිණි.

".. ඒ මිනිහට කටක් නෑ නේ.. මං එහෙමනං හොම්බට දෙකක් අනිනවා ගෑනියක් කියලා බලන්නේ නෑ.." මා සිතින් ඔහුට බැන වැදුනෙමි. ඔහු පෙනෙන මානයක නැත. මා හට ඔහු ගැන දැනුනානම්   අසාර්ථක දුර්වල මිනිසෙක් ලෙස පමණක්ම බැව් මා හදවත තුල ගැබ් විය.  ඔහු ගැන මා කුමක් ලියන්නද..? එහෙත් ඔහුගේ දිලිසෙන දෑසත් අසරණ බැල්මත් මගේ හදවතේ පතුලම ස්පර්ශ කළේය. මා සිහිනයකට සමවැදුනාක් මෙන් සිටියෙමි.

"... සඳරු මල්ලි... ! .. මූ ට දැන් අපිව පේන්නෙත් නෑ.." මා උක්ත හඬ නිසාවෙන් පෙරකී සිහිනයෙන් අවදි වුයෙමි. හඬ ආ දෙසට හිස හරවන්නට පෙර, ඔහුගේ සුරත මා උර මත වැදී අවසන් ය.

".. අප්පද බොල කිව්වා ලු. දොස්තර මහත්තයා.. හික්ස්.. ! කොහෙද මේ වෙලාවේ කෝ වෙද නලාව.. මොකෝ මේ පැත්තෙන්..."

" බස් නෑ බං.. මං දුර බස් එහෙක ගොඩ වෙලා අනිත් පැත්තෙන් බැස්සා.. පයින්ම මෙතනට ආව..  වෙද නලාව තාම අපිට කැප නෑ මල්ලියා.. මොකෝ මෙතන බං..? බූට් කාල වගේ කොල්ලා බර කල්පනාව නෙහ් උන්නේ.." ඔහුගෙ සිනහවෙන් කම්මුල් වල ගැසී යයි. සිනහව උතුම්ම ත්‍යාගය නම් ඔහු එම ත්‍යාගයේ ප්‍රතිමූර්තිය බැව් මා හට පසක් විය. මා ඔහු දෙස බලා ඔහුගේ සිනහවට ප්‍රති සිනා පෑවෙමි.

".. යමු එහෙනං. මං ලොකු ගමනක් ගියා නෙව. බස් එකේ යන ගමන් කියන්නං.." මා අසල පිහිටි බසයට ගොඩ වන්නට ඔහුට ආරාධනා කලෙමි.

".. අනේ බෑ මල්ලි. අප්පච්චි එක්කං යන්න එනවා කිව්වා.. උඹ යමං.. පස්සේ සෙට් වෙමු..  " ඔහු අවට පිරිස්සමින් ද කොරවක්කෙක් සේ සිය බෙල්ල උස්සා යලි පාත් කරමින්ද මා හට කිවේය.

".. හ්ම්ම්ම්.. එහෙනං මමත් ඉන්නං.. තනියම ඉන්නත් බෑ නේ.."

".. එපා මල්ලි.. එයා දැන්ම එන එකක් නෑ.. හැබැයි මේ වෙනකොට ඉන්නත් ඕනේ.. මං මේ පැත්තේ ටිකක් බලලා එන්න ද..? " කියමින් ඔහු මා පසුකර ගියේය. අවට පිරිස්සන නෙතින් යුතුව පෙරට ඇදෙන රුව දෙස බලමින් මමද ඔහු පසුපස වැටුණි.

".. ඇයි ඔතැන.. " ඔහු කවුරුන් හෝ සමඟ කතා කරයි.

".. අහරේ අව්ව මං මෙහාට ආව. ඔයා මොකෙන්ද ආවේ දරුවෝ.."

".. යං එහෙනං.. ඔය බයිසිකලේ කොහොමද ආවේ අප්පච්චි.. මං කිව්වනේ අනික එන්න ඕනේ නෑ කියලා. මේ පාරේ වාහන ගොඩේ.. " ඔහුගේ ඇනුම් පදයන් ඇසෙයි. මා ඔවුන් සිටි තැනට පියමැන්නෙමි.

".. මේ ටවුමේ ඉස්සරත් මං මේකෙන් ආවේ ගියේ.. විභාගේ අමාරුද දරුවෝ.. " ඔහු දත් විලිස්සා සිනාසෙයි.

".. නෑ අප්පච්චි batch first මම තමයි.."

".. ඒ කිව්වේ පුතේ ඒකෙන් පස්සේ අලුත් රස්සාවක් ද..?.."

".. යන් මං ගෙදර යන ගමන් තේරුම් කරන්නම්.." යැයි කියා ඔහු ආපසු හැරුණි. මා දෙස බලා සිනාවක් පෑ ඔහු ".. මේ අපේ තාත්තා මල්ලි.." කියමින් බයිසිකලයට තට්ටුවක් දැම්මේය.

මා සිනාවකින් සංග්‍රහ කලෙමි. එය සිනහවක් දැයි මා නොදනිමි. දුර්මුඛ මුව සිනාසුනාදැයි මා ස්නායු වලට නොදැනුණි.

"..අයියේ අර පෙට්ටි කඩේට ගොඩ වෙලා යන්.. මට ගන්න දෙයක් තියෙනවා... මං දැක්කා පෑන් තියෙනවා ඒකෙ.." කියමින් මා කුරිරු ලෙස අහිංසක පුද්ගලයා දෙස බලා සිනාසෙනු බවක් දැනුනි. ඔහු ද කිසිවක් නොකියා මා දෙස බලාගෙන සිටියේ මා පෙර සිදුවීම දුටු බව දැනුණු නිසාවත්ද..?

"... පෑනක් දෙන්න.."

".. අනේ පෑන් නැහැ මහත්තයෝ..."

".. මොනවද තියෙන්නේ.." මා පෙරලා රළු ලෙස ඇසුවෙමි.

".. බුලත් විට, මුරුක්කු, සුකිරි වගේ ජාති තමයි.." එම ගැහැණිය අසරණ වූ බවක් පෙන්වා අප දෙස බැලුවාය. එහි ඇත්තේ කපටිකම බැව් මා දැන සිටියෙමි.

".. එහෙනං අයියේ ඔයාගේ අප්පච්චිට විටක් ගමු.."

".. එහෙනං විටක් දෙන්න.." ඔහු ඉල්ලයි. අප දෙස හොඳින් බැලු ඈ, නැවත ඇයගෙන් වචන වලින් පහර කෑ මිනිසා දෙස බලා ඇහි බැම උස් පහත් වන වෙනස මා දුටිමි.

"..අපි යන්නං ඇන්ටි... ! අප්පච්චි අඃ.. ගන්න.. " කියමින් ඔහු පියාගේ කරට අතක් දාගත්තේ ය.

මා බිම බලාගෙනවත්ම නෙතින් වැටුණු කඳුලු බිඳු පිසදා දැම්මෙමි..

".. අනේ අප්පච්චි.. ! .."



 
Share on Google Plus

About සමීර සඳරුවන්

8 අදහස්:

  1. මගේ අප්පච්චිත් මතක් වුනා....

    ReplyDelete
    Replies
    1. මොන වගේ හැගීමක් ද :o

      Delete
  2. අප්පච්චි........... :/

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්හ් :( කොහොමද එයාට දැන්.. !

      Delete
  3. ???????????????????????????????????????????

    ReplyDelete
  4. ;-(
    ඇඬෙන්න ලියලා තියෙනවා මල්ලි.

    අමුතුවෙං කියන්න දෙයක් නෑ ඉතිං උඹ කොහොමත් එහෙමනේ.

    කාටවත් නොපෙනෙන (නෑ නෑ, උවමනාවෙන් බලන්නේ නැති), ඒත් දැකිය යුතුම දෙයක් උඹ මේ පෙන්නුවේ මල්ලි. උඹ ගැන අමුතු ආඩම්බරයක් දැනෙනවා. (h)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අයියේ ඇගයුමට :)

      Delete

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..