ලංගම - CTB



ධන ඇත්තා - ධන නැත්තා එකට යන රිය නම් බසය යැයි කීවොත් එහි වරදක් නැතුවාමය. ඒ තරමට අපගේ ජීවිත වලට මාර්ග බස්  රථය හිතවත්කමක් කියා පායි. සිරි ලංකාවේ සැවොම පොදු ප්‍රවාහන මාධ්‍යක් ලෙස බස් රථ සේවය යොදා ගනී. පොදු වූත් පෞද්ගලික වූත් මේ මහා භාරදුර කර්තව්‍යය තුල සිදුවන අක්‍රමිකතා බොහෝය.
ලඟදි දවසක ලංගම ඩිපෝවකට ගොඩ වැදෙන්නට පෙර පිණක් පෑදුණේය. කොහේ ගියත් කුණු අවුස්සන පුරුද්ද නිසාම යම් යම් දේ සොයා බලන්නට සිත්විණි.


පාසල් අපේ ජීවිත වලටනම් ලංගම යනු දෙවියෙකි. ලංගම දෙයියා, කෝප වන අවස්ථා නැතුවා නොවේ. ලංගම දෙයියා නැති උනොත් දවසක වියදම නිතැතින් කප්පාදු වේ. හුදෙක් එසේ වන්නේ සහනශීලී වාර ප්‍රවේශ පත්‍රයකට පාසල් සිසුනට දින 30 ම ලංගම සේවයේ යා හැකි නිසාමය. කන්න දුන් අත පා කෑමක් ඒ නිසා නොකරමි. මා ද යැපෙන්නේ දවස් තිහක් පාසා රු : 178 සීසන් එකක් නිසා වීම එයට ප්‍රධානම හේතුවයි.

ලංගම දෙයියා නැති දවසට අපි පාරේය. එදාටම මම මහත්තයා නම් හන්දියේ බයිසිකල් කටුව ගෙන ආපසු ගෙදර බලා පදින්නේය. සහෝදර මිත්‍රයෝ නම් ( උගැනීමට උණ ඇත්තන් සහ පාසල් පවුල් කාරයන් ) ලොරි කට්ටක නැගී කිලෝ මීටර 40ක් 50ක් ගෙවා පාසල බලා සරණාගතයන් සේ සංක්‍රමණය වේ ය. ගියත් පලක් නැත. රතු ඉර වැදිලාය. බින්දුවට එක දමන්නට වෙහෙසුනොත් ගුරු දෙයියෝ ගොඩ වෙන්නේ කරටමය. ඊට වඩා දුන් දෙය අරගෙන මුල්ලට වෙන්නට සැපය. 

 ලංකාවේ සුප්‍රසිද්ධ පාසලක ගේට්ටුවකින්, මා උත්ත කියූ බස් දෙයියාගේ කෝපය නිසා වැලි ලොරියක පිහිටෙන් මගට ගොස් එතනින් පෞද්ගලික බස් යම රජ්ජුරුවෙක්ගේ එල්ලී  ගියෙමි. 7.40 පසුවී තිබුන බව නගර මධ්‍යයේ පිහිටි පීසා කුලුනෙන් ( ඔරලෝසු ඈ ) දැක ගතිමි.
උදෑසනම හඳුනාගැනීමේ පෙරට්ටුවකි. පෙර වැරදි ඇත්තෝ වෙනම පෝලිමකය. පෙර වැරදි නැත්තෝ අධි ආරක්‍ෂිත කලාපයේ බෑග් පරීක්ෂාවෙන් පසුව පාසල් මධ්‍යට රැගෙන යයි. මමද එක පෝලිමකට කුකුල් ගමනින් ගොස් සිට ගතිමි. 

ඉදිරි පෙලින් පටාස් ගා කනේ පාරවල් ඇසේ. පාන් කුකුලෙක් මෙන් කොණ්ඩය ලෙසටම දෑත් පනාවෙන් පීරා සාන්ත දාන්ත තීන්ත කූඩුවක් මෙන් ඉහිරෙන්න නොදී මගේ වාරය එනතුරු සිටියෙමි.

“... උඹ මොකද පරක්කු උනේ...”

“... සර් අද බස් එක තිබ්බේ නෑ සර්...”

“...හරි බං බස් එක නැත්නම් මොකක් හරි එහෙක වරෙන් උදේම. උඹලා ටවුන් වලට වෙලා රස්තියාදු ගහලා මෙතනට එන්නේ දවල්ට කන ටයිම් එකට.. මොකද බොල රැවුල වවාගෙන ගෑණි මැරිලද..?... ”

“... අනේ නෑ සර්... ඊයේ මළගෙදරක ගියා...”

“... පලයන් ගිහිං රැවුල කපාගෙන වරෙන්.. තොපි හිතාගෙන ඉන්නේ අපි හරක් කියලාද...?..”

“... හා සර්...”

එදා කෙසේ හෝ බස් දෙයියාගේ කෝපය (නොපැමිණීම ) නිසා මා වැනි පාසල් අනාගත යුග පුරුෂයෝ කීප දෙනෙක්ටම පොකෙට් එකට කෙලවිණි. ( යුග කල්ප යුග ). නමුත් අප ලංගම සේවයට බොහෝ ආදරය කරන්නෙමු.

“...මචං... CTB එකනම් එනවා. උඹ සීසං ගත්තද...? ...” සහෝදර මිත්‍රයා ඈත එන බස් රථය පෙන්වමින් විමසද්දී මා බොහෝ ඈත සිහින දනව්වක මාලිගා බිඳ අවදි උනෙමි.

“... යමං වෙන එකක් නැහැනේ... මොකක් හරි ජිලක් බස්සමු..” ඇහැක් ඉඟි කරමින් පවසද්දී, කෑලි හැලෙයිදෝ කියා සිතුන ලංගම වයෝවෘද රථය අප ඉදිරියේ නිසල විය.

“...නගින්න නගින්න මල්ලි.. පරක්කු වෙනවා..” වයස අවුරුදු සතළිහක් පමණ යැයි සිතිය හැකි ඩ්‍රයිවර් උන්නැහැ පවසද්දී අපි බස් රථයට ගොඩ වී අසුන් ගෙනත් හමාරය.

පන්ච් කැබලි ඒ මේ අත විසිරි, කොල්ලන් කෙල්ලන්ගේ කැටපත් පවුරක් වූ බසයේ සීට් අතරේ පාසල් සිසුන් පොරකන්නේ දීර්ඝ ගමනකට අවශ්‍ය පහසු අසුනක් සොයා ගැනීමට විය යුතුය. බසයේ සීට් අතරට ගොඩ වදිද්දී කොතරම් අසීරුතා දැනුනත් දෑස නින්දකට අර අදින්නේ සිය යහනට ගොඩ වැදුනා සේ ය. 

කෙල්ලන්ගේ කතා අස්සේ, කොල්ලන්ගේ සිනා හඬ මධ්‍යයේ, “දකුස් ටුකුස්... චලං බලං...” ලෙස නැගෙන වීදුරැ හෙල්ලෙන ඝෝෂාව සවන් වැකෙද්දී මා අසුන් කොනේ වීදුරුව අසල පිහිටි යකඩ පොල්ලට හිස තියා නෙත් පියා ගතිමි.

“... මචං සඳරු අද මාසික පරීක්ෂණ ... උඹනම් මෙච්චර දවස් ඉස්කෝලේ නාවේ පාඩම් කරලා එහෙම වෙන්න ඇති නේද...?... ” නිදි දෑස් ඉලිප්පෙන එම අමිහිරි පණිවිඩය සවනකට එත්ම බසයෙන් පැන දිවි නසා ගන්නට සිතුනි.

“....මොකක් .. අනේ අම්මේ ඉස්කෝලේ එන්නේ නෑ මම...”

“... උඹට පිස්සුද වරෙන් යන්න... අද මේක ලියලා දාපං...”
“.. අපෝ බෑ.. මම ඔය ටෙස්ට් එකට කැමති නෑ.. මෙලෝ දෙයක් නොදැන කොහොමද මම ඕක ලියන්නේ...”

“...එහෙනම් පල දැන්ම බැහැලා...”

“... අවුලක් නැහැ.. යනවා ඩිපෝ.. සීසන් එක අරගෙන එනවා. සීසන් එකත් නැහැ නේ..” කියමින් නැවත කීරි ගැහුන හිත හදා දෑස් පියා ගතිමි.

දිරිය දියණිය, සප්නා, සිහින විල් උදෑසන බසයේ විකාශනය වේ. එහි රඟන්නො වයස අවුරු 15 -16 පුංචි කෙල්ලන් ය. ස්පනාගේ මධු රාත්‍රිය, දිරිය දියණි නැවේ යන හැටි, සිහින විලේ පෙම්වතුන් ගැන අපූරුවට ඔවු නොවුන් කතා කරයි. ජීවිතේට ටෙලි විශනයක් ලඟ රූප රචනයන් නොබලන මා වැනි උන්ට මල කරදරයකි. විටක සිතෙන්නේ මුන්ට අතේ පයේ ගෙදර දොර වැඩ නැත්ද කියාය. ඕනෑම දෙමව්පියෙකුට උදෑසන පාසල් කාල බස් රථයේ ගිය හොත් දරුවන්ට දුරස්ථ පාලකය සීමා කලයුතු බව වැටහෙනු නියතය. අධ්‍යාපනික කරුණු වලට වඩා ඒ මොළ වල දුවන්නේ පවුල් සංස්ථාවක් ගොඩ නැගීමේ කුතුහලය වේ.
මා බසයෙන් නගරයට පැමිණ බසු බැසීමි. පාසල් ගේට්ටුව දෙස බලමින් ආපසු හැරී ඩිපෝ පාරේ යන බසයකට නැගී ඩිපෝව ඉදිරියට එනවිට 7.15 බව දැනගත්තේ එහි සිටි මුරකරුවාගෙන් ය. 

මාර්ටින් වික්‍රමසිංහයන් ලියු ගම්පෙරලිය කෘතියේ එන ගරා වැටෙන වලව්වේ ස්වරූපයක් ලංගම මුලාස්ථානයේ අරක් ගෙන ඇත. කෞතුක වස්තූන් මෙන් සිතිය හැකි තරමට දුර්වර්ණ වූ පෙනුමක් දකින්නට ලැබේ. මුර කරුවාගේ කුටීරයද දිය සෙවල බැඳී රතු ගඩොල පෙනෙන තරමට ඇතැම් තැන් වල මතුපිට සිමෙන්තිය ගැලවී ගොසිනි. මුර කුටිරිය ඉදිරිපස කැඩුණු බාස්කට් බාල්දි හා ඇතැම් ඉවතලන භාජන යොදා ගනිමින් “බේබි රෝස, රෝස, කපුරු” වැනි මල් වවා තිබෙනු දැකිය හැකිය. ඉදිරිපස මෑතකදී කැපුවේ යැයි සිතිය හැකි විශාල ගසක මුල යැයි සිතිය හැකි කොටසක් දැකිය හැකිය. තුවාලයක ගලන ඕජාව මෙන් එහි මූල පද්ධතියෙන් ගලන ජලය ගලා එම කොටස නැහැවී ඇත. 

අඩි 10ක් -15ක් පමණ උසැති ගේට්ටුවක් දැකිය හැකි අතර, එයට කැඩුණු ඉබ්බෙක් දමා ආවරණය කර තිබෙනු දැකිය හැකිය. පරණ වයර් කැබලි, ලණු කැබලි යොදාගෙන එය බැඳ දැමීමට උත්සහ ගෙන ඇත. තැන තැන ඇදවී ගොස් තිබීමත් විවිධ අකුරු එහි ලියා ඒවා මකා දැමීමට ගෙන ඇති උත්සහයක් නිසාත් එයට අපූරු වූ නිර්මාණාත්මක දසුනක් නිර්මාණය වී තිබෙනු දැකිය හැක. විශාල සුදු පැහැති අකුරින් “ කුලියාපිය ඩිපෝව” ලෙස නම් කර තිබෙන්නේ එය නාමිකව දකින්නා කෙරේ ස්ථානය පිළිබඳව වැටහීමක් ලබා දෙන්නට විය යුතුය. තවත් අන්තයක “...වාහන ඇතුල්වීම කාර්යාලිය සේවකයන් සඳහා පමණි...” ලෙස ලේබල් කල බෝර්ඩ් එකක් දැකිය හැකිය.

“... මල්ලි මොකටද ආවේ... ? ..” මුරකරුවා මා දෙස බලා ඕනෑකමින් විමසන්නට ඇත්තේ මා පාසල් නිල ඇඳුමෙන් මෙවැනි වෙලාවක පැමිණීම පිළිබඳව විය හැකිය.

“..සීසන් ගන්න ආවේ අයියේ...” උක්ත සහෝදරාත්මක වචන උපාය කොටගෙන මා පෙරලා පිළිතුරු දුණි.

“... සීසං දුන්න මල්ලි ඔයාලගේ ඉස්කෝලෙට ඇවිත් ඊයේ අපි...”

“... මම ගන්න ඊයේ ඉස්කෝලේ ආවේ නැහැ... එන්න බැරි උණා...” අසරණාත්මක හඬක් වචනයන් තුලට ගැබ් කරමින් මම පිළිතුරු දුනිමි.

“....මෙහෙන් ඇවිත් ඉඳගෙන ඉන්න.. 8.30 වෙනකම් ඉන්න වෙනවා. සීසන් දෙන කෙනා එන්නේ ඒ වෙලාවට....” 

කියමින් බස් රථයක කැඩුණු පිට කවරය ඇතැම් තැන්හි ගැලවී ගොස් යම් තැනකින් පුස් බැඳුනු ඔහු අසල තිබු අසුනක් පෙන්වා ඉඳගන්නට අතින් සන් කළේය. මා අව්‍යාජ සිනහවක් පා ඔහුගේ ආරාධනයට සිනා මුවින් ස්තුති කලෙමි.

තීරණයක් සොයා ගැනීමට නොහැකිවන සිත ලහි ලහියේ එක්කාසු කොට එළඹෙන පැය කීපය ගතකොට අවශ්‍ය කාර්ය සිදුකරගෙන යාමට සිත්විණි. මද වෙලාවක් සිටගෙන සිටීමේ අපහසුව නිසාම මුරකරුවා සන් කල අසුනෙහි වාඩි ගතිමි. 

මුර කුටිය තුලට සහෝදර මුරකරුවෙක් පැමිණියේය. ඔවුන් දෙදෙනා ආ ගිය වගතුග කතා කරන බවක් පෙනුන අතර ඒ කතා අතර හුදෙක් දේශපාලන කථිකාවතක් හා සමාජීය ප්‍රශ්න තිබුණු බව අසන්නෙක්ට මනාව වටහාගත හැක.

මා පිටු පසින් වූ කොට්ටම්බා ගසින් හෙවණ ලද උක්ත කියූ අසුන හිඳවූ බිම මත මා යන්තමින් පොලිෂ් නොකළ ගැලවීමට ළංව තිබු සපත්තුවෙන් බිම ඉරි ඇඳ ඒ ඉරි රේඛා තුලින් විහිදෙන නියමාකාර හැඩයක් මනසින් එක් කරන්නට වෙහෙසුනෙමි. කොට්ටම්බා ගසේ හටගත් මල් එකිනෙක හිස මත හා මා උන් භූමියේ වැටෙන්නේ හිරි පොද වැස්සක් මෙනි. ඇතැම් තැන්හී මකුළු දැල්වැනි නූල් වල  එල්ලී බසින පණුවන් හෙලිකොප්පර වලින් බසින සොල්දාදුවන් මෙන් බැස තැන තැන ගොළු බෙලි ගමනින් සක්මන් කරන්නේ තම ඉලක්කය සපුරා ගැනීමට වෙහෙසෙන විශේෂ කාර්ය සෙබලෙක් මෙනි.

මා අසුන් ගත් එළිමහන් භූමියේ ඉදිරියේ සුවිශාල භූමි ප්‍රදේශයක් නිරාවරණය වී ඇත. ඒ මත තැන්හි තන්හි වැඩුණු කටු පඳුරු හා ඉළුක් මාන වැනි ශාක දැකිය හැකිය. කොළ පැහැති පිට්ටනියක් වන් එම භූමි ප්‍රදේශය තැන තැන කැඩුණු බස් රථයන්හි “චැසි” දැකිය හැකිය. ඒ මත වණ වැදී වල් පැල හටගැනීම නිසා ගුප්ත පෙනුමක් ආරුඩ වී පෙනේ. අසල නිවසක යැයි සිතිය හැකි කෙනෙක් තම ගවයාද රැගෙන එම භූමියේ තණ පිහිටි භූමියක් සොයා ගවයා මෙහෙයවයි. ඔහුට ඩිපෝ භූමියට පැමිණීමට ඕනෑ වෙලාවක අවසර ඇතුවා විය හැකිය. තම ගවයා අසල ගසක ගැට ගසා මුර කුටීරය දෙසට පැමිණියේය.

“... මල්ලි ලා... දයාසිරි ඔන්න දිනුම් ඈ.... UNP චන්ද කවුරුත් නොදාපු නිසා තමයි...” උක්ත කියූ අසල්වැසියා මෙසේ කියා කොක් හඬලා සිනාසෙයි. ඔහු මා දෙස ද බලයි. මමද ඔහු දෙස බලා සාවඥ සිනාවක් පෑවෙමි. 

“.... $^^&*(( තමයි... මොන චන්ද ද ..? දෙන්න උන්නු උන් ඔක්කොම දීලා..” කියමින් වයඹ චන්ද හිමියන් සංඛ්‍යාව හා චන්ද දුන් සංඛ්‍යාව කියමින් මුරකරුවා සිනා සුනේය. 

ඔවුන්ට අවේනික වූ එම කතාබහ තුල මා හට ගත හැකි දෙයක් නොමැති වූ කල මා ඉවත බලා වෙලාව ගතවෙන තුරු බලා සිටියෙමි. 

කතාබහ අවසන් කර අසල්වැසියා තර්කනය තුලින් පරාජවී ප්‍රීතිමත් මුහුණින් යුතුව අසල වැට පැන සිය නිවාස යැයි සිතිය හැකි නිවසකට ඇතුළු වෙනවා පෙනිණි. 

කාලය ගත වෙත්ම කාර්යාලීය නිලධාරි මඩුල්ල විටෙන් විට පැමිණෙන අයුරු දැකිය හැක. ඇතැම් පුද්ගලයන් මුර කුටිරයට ගොස් සිය අත්සන් ලේඛණය ඉදිරියේ අත්සන් කලද ඇතැම් හු එසේ නොකර ඩිපෝව දෙසට යනවා දැකිය හැකිය. එවන් වැදගත් මහත්මයෙකු සේ පැමිණි පුද්ගලයෙක්, මුරකුටිරය හා මා දෙස බලා
“ මල්ලි ඇයි ඔතන....?..” යැයි විමසුවේය.

“... සී... සීසන් ගන්න ආවා...” මා පැකිලෙමින් උත්තර දුනිමි.

“...ඔතන ඉන්න එපා එන්න ඩිපෝවට...” කියමින් ඔහු ඩිපෝව දෙසට සිය වාහනය මෙහෙයවයි.

මා වෙලාව විමසීමට මුරකුටිය දෙසට ගියෙමි. මුර කරුවා සහෝදර මුරකරුවෙකු සමග සිය උදෑසන ආහාරය ගැනීමට සුදානම් වේ. ඔවුන් එම කාර්‍යයේ නිරතවන්නේ ප්‍රීතිමත් වූ දෑසින් නිදහසක් භුක්ති විඳින්නා සේ ය.

“.... අයියා... වෙලාව කීයද...?..”

“... 7.45 යි මල්ලි.... තාමනම් ආවේ නැහැ නේද ...?”

“..... හ්ම්ම්ම්ම්....” කියමින් නැවත අසුන කරා නොගොස් මා ගේට්ටුවෙන් එලියට ගියෙමි.

සියළු දෑස් මා කරා යොමු වේ. මන්දයත් මා පාසල් නිල ඇඳුමින් සිටින නිසා විය යුතුය. මා එයින් ගැලවීමට මහත් ආයාසයක් දැරුවෙමි. පාර අයිනේ තැනුන පෙට්ටි කඩයක් දෙසට පිය මැනීමට සිත් වුවත් මිලදී ගැනීමට තරම් දෙයක් එහි නොවිණි. තැඹිලි ගෙඩි කිහිපයක් හා බුලත් විට කෑමට අඩුම කුඩුම පමණක් එහි විය.

“... රස්නේ පිටිං කෑවේ නැත්නම්, බත් එකෙන් වැඩක් නැහැ... ගෑණි ගේ බත් එක නම් මසුරං...” විටින් විට මුරකුටිය දෙසින් විවිධ වූ ඔවුනොවුන්ගේ කතා බස් ඇසෙ. මා එයින් ඔබ්බට සවන් යොමු කරමින් අවට සිරි නැරඹුවෙමි. ඔවුන්ගේ කතාවෙන් හා හැසිරීමෙන් ගම්‍ය වන්නේ කාර්යාලීය සේවය නම් ඔවුන් බොහෝ සේ ප්‍රිය කරන සේව්‍යක් බවය.

පාරේ එහාට මෙහාට සක්මන් කරමින් හෙමින් කාලය ගෙවා දැමීමට වෙහෙසුනෙමි. ඈතින් පෙනෙන ගොඩ නැගෙන දැයට කිරුළ ප්‍රදර්ශණ භූමිය දෙස බලා ප්‍රීතියෙන් සිත ඉපිලී ගියේ කිමදැයි නොදනිමි.

“... මල්ලි .. ඔයා යන්න දැන් 8.30 ට ලඟයි. සීසන් දෙන කෙනා ආවේනම් නැහැ. ඔයා ගිහිං ඉන්නකෝ....” පසෙකින් ඇසුණු මුරකරුවාගේ මුරගෑම සවන් වැකෙත්ම මා නොදැනුවත්ම ඉදිරියට පා ඉක්මන් විණි. නමුත් පියවර කිහිපයක් ඔබ්බෙන් තියා අමතක වූ දෙයක් විමසීමට යුහුසුළුව ක්‍රියා කලෙමි.

“... අයියේ, සීසන් දෙන්නේ කොතැනද...? මම කවදාවත් ඇවිත් නැහැ...” ස්ථානය නොදැන යනවාට වඩා විමසීමෙන් නිවැරදි තැන සොයා ගැනීමට මා සිත්විණි.

“... ඔහොම යද්දී ඩිපෝව හම්බ වෙනවා. වම් අත පැත්තේ සුදු පාට ගොඩනැගිල්ලක් ඇති. එකේ පලවෙනි දොර නෙමයි දෙවෙනි දොර ළඟ තමයි දෙන්නේ..”

“... පලවෙනි දොර නෙමෙයි... දෙවෙනි දොර.... පලවෙනි දොර නෙමෙයි... දෙවෙනි දොර....” මා මුවෙන්  හිමිහිට මුමුණමින් ඉදිරියට ඇදුනෙමි. ඉදිරි දොරටුවේ සිට  මීටර් 500ක් පමණ ඉදිරියට ඩිපෝ භූමියට යා යුතුය. කඩතුළු වී ගල් බේරුණු මාවතක සපත්තුව අදිමින් ද උඩ පනිමින්ද නැවත පාර වූ ගලකට පයින් ගසමින්ද ඉදිරියට ගියෙමි. 

පෙර කී අයුරින් ගොඩනැගිලි සොයමින් බැලු විට මුරකරුවා පැවසු පරිදි උක්ත කී ගොඩනැගිල්ල දැකීමට හැකිවිය. දුටු පමණින් සිනහ පහල වුයේ කිමදැයි නොදනිමි. ලංකාවේ රාජ්‍ය සේවා තුල දකින්න ලැබෙන දුප්පත්කමින් පීඩිතම ආයතනය මා දුටු එය විය හැකිය. සුදු හුණු දියවී ඒ මත කොළ පැහැති ඇල්ගී රජ දහනක් බඳුය. ඒ මේ අත විහිදුන කොළ කැබලි, ටින්, බෝතල්, සීසන් කාඩ්පත් දැකිය හැකිය. බිඳී ගිය මල් පෝච්චි කැබලි තැන තැන තැබූ තැන්හිම ඇත. 

පිරිසිදුකම හීන වී අප්‍රසන්න නොවූ පරිසරයක් දැකිය හැකිය. බස් රථ වල කළු පැහැති තෙල් තැන තැන වැටී විවිධ රටා මවයි. එක් තැනක උසට වැවුණ තණකොළ තවත් තැනක නැති තරම්ය. මම ඒ භූමියේ සිටගෙන අදාළ නිලධාරියා එනතුරු කල් හැරියෙමි.

ස්වල්ප වෙලාවකින් ඔහු ආවේය.

“.... බලන්නකෝ චන්ද්‍රසේන මහත්තයෝ... ඔයාල උදේම වැඩට එන්නේ නැහැ. ඔයාලගේ සේවය ගන්න ඉන්න මිනිස්සු රස්තියාදු වෙනවා නේ....” හාස්‍ය ලෙස සිනහ නගමින් අසල සිටියෙක් ඔහුට විහිළු කළේය.

“.... ඉස්කෝලේ ළමයි ඩිපෝවට එන්නේ නැහැ... ඉස්කෝලේ යනවා මිසක්...”  කියමින් ඔහුද පෙරලා මා දෙස බලමින් උත්තර දුණි. මා එයට සිනහවකින් උත්තර සැපයුවෙමි.

ඔහුගේ ආරාධනයෙන් මා මට හිමි සීසන් කාඩ්පත ද රැගෙන ඩිපෝ භූමියෙන් පිට වුණෙමි.

ලංගම මුලස්ථානයක් ඇසුරින් ඉහත ලිපිය ලියවෙන්නට හේතු කාරණා බොහෝය. ලංගම සේවයේ උපකාරය ලබන්නේ හුදෙක් දුප්පත් මිනිසුන් ය. නමුත් මෙහි ඇතුළු කාරණා බොහෝ බව දකින්නට වැටහේ. නියමිත කාලයට අනුරූපව වාහන නොමැතිවීම එක් කාරණයකි. තවත් එක් දෙයක් නම් පරිභෝකයාට නිවැරදි සේවයක් සැපයීමට ඇති නොහැකියාව වේ. හාස්‍යක් ලෙස ගෙනහැර දැක්වුවද පුංචි පුංචි කාරනා අතරට මැදිව එක්වන මෙවන් ආයතන වල පිළිවෙල ඒ ඒ ආයතන වටපිටාවෙන් නිදසුන් සපයයි.

පොදුවේ ගත්කල රජයේ පාඩු ලබන ආයතනයක් වන්නේ ලංගම එහි වූ ඇතැම් සේවකයන්ගේ ඇති අකාර්යක්‍ෂමතාව නිසා වන්නට ඇත. තම තමන්ගේ ආත්මයට වංචා නොකර නිවැරදි සේවයක් සපයන්නේ නම්, තම ආයතන ව්‍යුහය උසස් ලෙස පවත්වාගැනීමට හැකිවනු ඇත.
Share on Google Plus

About සමීර සඳරුවන්

5 අදහස්:

  1. ලංගම විතරක් නෙමෙයි රජයේ බොහෝ ආයතන පාඩු ලබන්නෙ වැඩ කරන මිනිස්සුංගෙ ගසා කෑම හින්ද තමයි.

    ReplyDelete
  2. ඉස්කෝලේ යද්දී මම තමයි සීසන් ලියන්නේ අපේ පන්තියේ. වැඩේ හරියට කෙරුවාම ගොඩ. කාලයක් තිබබා හොරට නම් ටිකක් දාලා වෙන බිස්නස් එකකුත් කරගත්තා. පස්සේ අත ඇරියා ඒක (පදිංචිය සනාත කරන ලියුමක්ද මොකක්ද ඕන උන හින්දා).

    ReplyDelete
  3. මේ වගේ දේවල් මෙහෙම හරි එළිදරව් කිරීම වැදගත්.

    ReplyDelete
  4. අපිත් ඉස්කොලෙ ගිය ලන්ගම දෙයිය නිසා තමයි නේ

    ReplyDelete
  5. ලංගම බස් අඩවියට ගොඩවෙන්න මෙතැනින්

    ReplyDelete

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..