sexuality and child



මා වටා වූ ලෝකය ඉදිරියට ගිය සෙයක් දැනෙන්නේ දැන් දැන් ය. මා ජීවත් වුයේ ක්‍රියාවෙන් හා මනසින් කුඩා ළමයෙක් සේය. නමුදු සමවයස් මිතුරන් අතර සිදුවෙන යම් යම් සමාජීය ක්‍රියාකාරකම් හේතුවෙන් මා මටද නොදන්වා ඉදිරිපෙළ ක්‍රියාකාරියෙකි.

වයසින් මේරු කල, කරදඬු උස් මහත්වූ කල තම සිතුවිලි මුලික කොටගෙන ජීවිතේ තමා නියමුවා කර ගනී. වයස 11 දී “කෝම් පිට්ටු” සදා වැලි සෙල්ලං බතින් හා සෙල්ලම් ගෙයින් පවුල් සංස්කෘතිය තුලට ගැබ්වෙන දරුවා වයස 17 -18 කාල වලදී ඒ හා වර්ධනය වූ බුද්ධිය තුලින් ප්‍රයෝගික පවුල් පසුබිමක් ගැන සිතන්නේය.

එය නිවැරදි සිතුවිල්ලක්ද කියා මා නොදනිමි.   වයස 18 පසුකල මටනම් තවම දැනෙන්නේ මා තවමත් දරුවෙක් සේ ය. තවමත් පියාගෙන් සිතූ කල්හි මට අවැසි කල්හී හුරතලෙන් බත් පිඩු කවා ගන්නේ ඒ ළමා මනස මගේ සිතේ ජීවත් වෙන නිසාවෙනි.

පෙර දිනක ලෝක ළමා දිනය සමරන්නට අපට අවස්තාව ලැබිණි. වසරකට එක දවසකට හෝ අපේ අයිතිවාසිකම් අපිට නොලැබෙන දෙයක් ගැන මහා ඉහලින් කියන්නට ලැබීම මා සතුටු වෙමි. “ ......එක දවසකට හරි අපිට අපේ දේවල් ගැන කතා කරන්න ලැබුනා නේ .....”  එසේ සිතා මා සිත හදා ගතිමි. ලෝක දරුවන් අතර මමත් එක් හිරිමල් දරුවෙක් නිසා මට ලැබුන ඉහලම වරප්‍රසාදය භුක්ති විඳීම ( නිදහස ) උදෙසා ගෙදර නතරවී දවසම නිදා ගතිමි. උත්සව හා පුහු ආටෝප තුලින් බබලන පාසල් සංස්කෘතිය මට ගැලපෙන්නේ නැත. “කේක් කෑල්ලයි , ලෝක ළමා දිනය  2013 කියා සලකුණු කල හා ඒ අස්සේ හීනියට තම නිෂ්පාදන නාමය, පාසල් නාමය සලකුණු කල සටහන් ලිවීමට දෙන පෑන” වෙනුවෙන් මට පාසල් ගාටන්නට සිතක් නොවිණි. 

විවිධ අමුත්තන් හා ගුරුවරුන්, ළමුන් එකතු වී අයිතිවාසිකම් ගැන පොර ටෝක් දෙන වේදිකාවට වඩා “ටෙඩි බෙයා(ර්)” තුරුලට ගෙන දකින සිහිනය වැදගත් ය. මොන පොර ටෝක් දුන්නත් ඔය කියන එවුං ඕවා රකීදැයි සිතේ ඇතිවන  සැකය නිවට සැකයක් නොවන බව පසුව එළඹී ලෝක ගුරු දිනය දවසේ සාක්‍ෂි මත නිගමනය වන්නේ මා දෑස් ඉදිරිපිටය.

ලෝක ළමා දින උණුසුම පසුවදා නොව වේදිකාව ගලවද්දීම නිමා විය. පෙර පරිදි අයිතිවාසිකම් වලින් ඔබ්බට ගොස් “මොන මගුල්ද ඔව්වා... ඔව්ව නිකං කතා විතරනේ” යන අර්ථ සපයමින් පෙර පරිදි වැඩ කටයුතු ඇරඹෙයි. පසුව එළඹෙන ලෝක ගුරු දිනයට ළමුන් වෙහෙසෙයි.


.... නමදිමු ගුරු උතුමන් .... සදාදර... කරමින හද බැතියෙන්....”

මදිමු ගුරු උතුමන් .... සදාදර... කරමින හද බැතියෙන්....”

ගුරු දිනයට අපට ඇති නිදහසක් නැත. තෑගී ගෙන, සංග්‍රහ කැවිලි පෙවිලි ගෙන, බුලත් අතයි, ඒ මත කිරි ඉද්ද මල් රැගෙන ගුරු දෙවියන් නැමදීමට යා යුතුය. වෙනදාට 8 -9 කාලය තුල පාසල් ගේට්ටුවෙන් එන ළමයින්ද, ජීවිතේට ගුරු පා ළඟ නොවඳින ළමයින්ද එදාට පැමිණෙයි. 

වෙනදා මෙන් පාසල් ගේට්ටුවේ මුරකාවල් නොමැත. කලිසමේ ෆෝල්ඩර් බලන්නේ නැත. බෑග් චෙක් කරන්නේ නැත. වෙනදා ගේට්ටුව ළඟ සිටින නකුටේ සිට ගාත් දක්වා හොරි සැදී කසමින්ද විටක කුණු කුණු හඬින් ඇවටිලි කරන බලු නයි දේ පෙර මෙන් ඔළුවට ලැබෙන මා අත් පහස ලබන්නට නොමැත. ගුරු මුහුණ සිනාමුසුය. ඇඳි වස්ත්‍රය වෙනදාට වඩා ප්‍රසන්න පෙනුමය. වෙනදා වේ වැල මෙදින නැත. වේ වැල වෙනුවට පහන් සිත් ගැබ් වෙන සිනහවය.

එළිමහන් වේදිකාව සැරසේ. සංවිධායකයන් පාසල් ශික්‍ෂ නායක කමිටුව වේ. බෆල් දෙපැත්තේ එක මත ගොඩ ගසා, වේදිකාව සුරපුරයක් සේ සරසා වේදිකා අන්තයේ ගුරු දිනය නිමිත්තෙන් විවිධ පාඨ ප්‍රදර්ශනය කෙරේ. මා සිතට දැනුන පරිදි නම් ඒ සටන් පාට වන්නට ඇත.

පන්සිල් සමාදන් වීමෙන් පසුව සිය පුටුවද රැගෙන එළිමහන් රංග භූමියට යන ලෙස ඉහලින් ලැබුන නියෝගයකි. පන්තියේ මිතුරු කැලට මැදිව අහුමුළු අස්සේ එබිකම් කරමින් අසුන් ගන්නට සුදුසු ස්ථානයක් සෙව්වෙමු. අසුන් ගන්නට ස්ථාන සෙව්වත් කිසිවෙක්ට තමා සොයන්නේ කුමන ස්ථානයක් ගැනයි නිවැරදි වැටහීමක් නැති ය. නැතිනම් ඔවුන් ඔහේ කාලය කනවා විය යුතුය. නැතිනම් ඔවුන් මග අරිනවා විය යුතුය.  “ ...මග අරින්නෝ මග ඇරෙති...” යනුවෙන් කොහේ හෝ පාසල් බිත්තියක් ඇඳි සටහනක් සිතට නැගේ. එය සිතින් මුමුනමින් අඳුරු මුල්ලක කාණ්ඩායම අසුන් ගත්හ.

අඳුරු මුල්ලේ තැන තැන වාඩි වුවන් මා හිත මිතුරන් ය. සිය පන්තියේ මිතුරන් නොවුනත් ඔවුන් හා ඇති මිතුරු සම්බන්ධතා නිසා මා හා බොහෝ සේ කුළුපගය. ආ ගිය වගතුක ද රට තොට විස්තරද ගෙන හැරේ. 

වේදිකාව සම්බන්ධව කුමක් සිදු වෙනවාදැයි කිසිදු නිනව්වක් නැත. වේදිකාව මත පාසල් නෘත්‍ය ශිල්පීන්ගේ රැඟුම් රඟ දැක්වේ. “... පාද තබන කිකිණි සළඹ.. තාල අනුව නද පෙවෙ...” ඈතින් ඇසෙන ගී රාවය සවන වැකෙන්නේ යාන්තමින් ය. දර්ශනය හුදු අල්ප මාත්‍රයක්වත් ගණන් ගන්නේ නැත.

“... මචං සඳරු.... ?.. ” කිසිවෙකු කරන මුරගෑමකි. මා ඒ දෙසට දෑස් පෑවෙමි. මා හිත මිතුරෙකි. මා සමග එතරම් ආශ්‍රයකට කාරනා නැතත්, ඔහු මා විමසන්නේ කුමක් හෝ ගැටළුවක් නිසා යැයි ස්වකීය බුද්ධියට ප්‍රත්‍යක්‍ෂ වන්නට එතරම් කල් ගත වුයේ නැත.

“... ඇයි මහේෂ්... කියහන්...” මම පෙරලා උත්තර දුණි. ඔහුගේත් මගෙත් පරතරය මීටර් තුනක් පමණ තිබිණි.

“... මෙතෙන්ට වරෙන්කො..” ඔහුගේ ආරාධනය පිළිගැනීමට සිත ඉඩ නොදේ.. “...උගේ වැඩේට මං මොකටද ඌ ලඟට යන්නේ...” මා සිත මගෙන් විමසද්දී වහ වහා මම ආරධනය ප්‍රතික්‍ෂේප කලෙමි.

“... උඹට ඕනෙනම් මෙතනට වරෙන්කො.. මට ඔහේ එන්න බෑ...” මා කීවෙමි.

“... අනේ ඔතන කතා කරන්න බැහැ බං... ප්ලීස් වරෙන් මෙතනට....” අසරණකමක් හා සරණක් සොයන දෑසින් පවසද්දී මා දරදඬු සිත ඔහුට ගෝචර විණි. මා ඔහු අසලට ගියෙමි.

“.. මොකද බං සීං එක...” මා සැකය මුසු දෑසින් විමසුවෙමි. ඔහු අසල ඔහුගේ මිතුරෙක් යැයි මා දන්නා හඳුනන නමුදු ඇසුරක් නොමැති තවත් අයෙකි. මුහුණු දෙකම බැරෑරුම් ය. මා සිනාමුසුය. නමුදු අප තුන් දෙනා අතර පැවති නිහඬත්වය මා සිනහවද පහව යවන්නට තරම්ය.

“...මචං මේකයි... මට උඹෙන් උදව්වක් ඕනේ... උඹ මේක කාටවත් කියන්න එපා.. මට උඹව ගොඩක් විශ්වාසයි.. මට මේක කියා ගන්න උදව් ගන්න කෙනෙක් නැහැ....” කියමින් ඔහු බැගෑපත් මුහුණක් පෑවේය. මා සිතේ කුහුල මිශ්‍ර සැකය උඩු දුවන්නේ පෙට්‍රල් මත ඇවිලෙන ගින්නක් මෙනි.

“.... පිස්සුද බං.... උඹ දන්නවා නේ දෙයක් මම බොක්කෙන් රකිනවා කියලා... වට වන්දනාවේ යන්නේ නැතුව මට සීං එක කියපන්....” මා සිතේ කුහුල වචනයට පෙරලමින් ඔහුගෙන් රහස බලාපොරොත්තු උනෙමි.

“.... මචං sex  කරලා අරවා ඇතුලට ගියාම දෙන ටැබ්ලට් තියෙනවද ? මොනවද ඒ ...?.... ප්ලීස් මට අරගෙන දීපං....” ඔහුගෙන් ලැබුන පිළිතුරට මා ඔලුවේ අත ගසා ගත්තේ මා ගතින් දුන් කුමන සංවේදනය උදෙසා දැයි නොදමිනි. නමුත් මා නිහඬ අව්‍යාජ සිනාවක් පෑවෙමි.

“....ටැබ්ලට් එකක් තියෙනවා මචං  පොස්ටිනෝ  ටු මචං.. පැය 72 ක් යන්න කලින් දෙන්න ඕනේ.... අරන් දෙන්නම් අවුලක් නැහැ.... ” මා සිනහ වෙමින් කීවෙමි. ඒ සිනහව තුල තිබුනේ ලැජ්ජාව මිස වෙන යම් වූ හැගීම් නොවේ. මක්නිසාදයත් මා ඉදිරියේ උන් වයසින් බාල කොල්ලා ගැන මට දැනුනේ ඔහු ගැන නොව මා ගැන ඇතිවූ ලැජ්ජාවකි. නමුත් ඔහුගේ මුහුණේ බැරෑරුම් බව වැඩි උනා මිස අඩුවක් නොදුටුවෙමි. ඔහුගේ දෑත් වෙව්ලයි. රෝගියෙක් සේ සුදුමැලිව මා දෙස බලා සිටියි.

“.... කොච්චර කල් ද  ඕක වෙලා... මට සිද්ධිය කියපං. ....? මා යලිත් පෙරලා විමසුවෙමි.

“.. මේකයි මචං දැන් දවස් දහයක් විතර ඇති... අනේ මන්දා.. ඒ දවස් දහයට දෙන්න එකක් නැත්ද බන්.... අනේ උදව් කරපං බං ” ඔහු මගේ දෑත තරයේ අල්ලයි. මා කල්පනා බරිත වුනෙමි. මොනවා කියන්නේ දැයි මා සිත පවා නොදනියි.

“.. යූරීන් ටෙස්ට් එක කළා ද....?...” ඔව් යැයි හැඟවෙන ලෙස දෙවරක් ඔළුව වැනු ඔහු මා දෙස අසරණ දෑසින් බලා සිටියේය.

“... රිසල්ට් එක කොහොමද...?..” මා නැවත ඇසුවෙමි.

“... අනේ මන්දා සඳරු... ප්‍රෙග්නට්....” කියමින් ඔලුව කසන්නට ගත් ඔහු ඔහුගේ අනෙක් යහළුවා දෙස බලාගත්තේය. ඔහුද බැරෑරුම් මුහුණකින් මා දෙස බැලුවේ “ කරන්නට දෙයක් නැත්දැයි ” විමසුම් දෑසිනි..

“....ලැබ් එකේ අවුලක් උනාද දන්නේ නැහැ... වෙන් එහෙකින් චෙකප් කලේ නැත්ද...? ”

“.... නැහැ බං... එහෙම හිතනත් බැහැ... ටැබ්ලට් එකක් නැත්ද බං...” ඔහු නැවතත් පෙරකී ගැටලුව මා ළඟ තබද්දී මා මොහොතකට ගොළු උනෙමි.

“.... තියෙනවා... හැබැයි ලොකු රිස්ක් එකක්.. මම හිතන්නේ නැහැ බං ගන්න ලැබෙයි කියලා. ඩොකෙක් ගේ පර්මිෂන් ඕනේ.... අනික ටැබ්ලට් එක ලයිෆ් එකට ගොඩක් බලපායි...” මා ඔහුට වටහා දෙන්නට වෙහෙසුනෙමි. ලිඳට වැටුන මිනිහා ලිං කටින් ගොඩ ආ යුතු බවක් කොහේදෝ ඇසුවා මතකය. ඔහුගේ ගැටලුව මගේ බුද්ධිය පසාරු කරගෙන මගේ ගැටළුවක් වී හමාරය. මා බොහෝ සේ සිතුවෙමි.

“... මොකද වෙන්නේ...? අනේ මට මොකක් හරි කමක් නැහැ ඕනේ බං... නැත්නම් මැරෙන එක සැපයි....” ඔහු හඬන්නට ළඟය. මට දැනුනේ තරහවක් හා කේන්තියකි. එය පිට කරන්නට මොහොතක් බලා සිටියෙමි.

“.... කුම්බලා කරවල කෑවානම් විඳවපං බලලෝ කිව්වලු... කරද්දී උඹට ඔහොම හිතුනේ නැහැනේ. යකෝ කොන්ඩම් එකක් ගන්න මොලයක් තිබුනේ නැත්ද... මොකෙක්ද බං උඹ .. $%&*()) උඹ දන්නවද ගබ්සා කරනවා... අන්න ඒ වගේ ඒ ටැබ්ලට් එක දුන්නම.. ඒක දුන්නම ලේ යනවා... ලොකු තුවාලයක් තියෙනවා බඩේ... සමහරවිට බඩේ බර්ත් එක ලොස්ට් වෙනකොට ඒකෙ කෑලි ඉතුරු උනොත් ගෙඩි ඇති වෙන්න පුළුවන්.. කෙල්ලට තමයි බලපාන්නේ... ස්කෑන් කරන්නත් ඕනේ...” මා ඔහුට බැරෑරුම් බව ඒත්තු ගන්වන්නට වෙහෙසුනෙමි.


ජීවිතේ ගැහැනියක් හා  කිසිදු දින සිප ගැනීමකට පවා නොගිය මා ද , වයසින් මට වඩා අවුරුද්දක පමණ බාලයෙක් වූ ඔහු අතර ඇත්තේ අහසට පොලව සේ ලඟා විය නොහැකි දුරකි. සිතිජය තුලින් අප එකිනකට ලං කලද කිසිදු දින සිතිජයට ලං වුවෙකු ලොව තුල නොමැත.
මා ගැහැණියකගේ අතින් අල්ලන්නේ පවා 13 වසරේ සිසුවෙක් වූ පසුවය. පෙම්වතෙක් සේ ඇය හා නුවර ගිය ගමනේදී පවා මා ඇගේ අල්ලාගෙන යාමට භිය වීමි. ඇය හා කඩයකට ගොස් තේ බී එන්නට පවා භියක් මගේ ගතානුගතිකත්වය තුල උඩු දිව්වේය. එය ලැජ්ජාව වන්නට ඇතැයි පසුකලක මා සිතුවෙමි.

ලිංගික හැගීම් දැනුනත් ලැජ්ජාව හා භය යන කාරණා නිසා සිතින් යටපත් කල මා එය ජීවිතේ නිසි වයසට එළඹෙන තුරු මරා සොහොන් ගැබක නොදිරන සේ තැන්පත් කලමි. නුවර වීදි අතරේ ඈ හා ගිය මතකය තුල ඈ මා දෑත බදාගෙන ගතට ළංව යද්දී හිස සිට පා දක්වා හිරි වැටී ගියා සේ දැනුනි. රිය සකකට මැදිව තැනුන වායුසමීකරණ බසය තුල ඈ මට තුරුළුව නිදද්දී දැනුනේ ආදරේ මිස රාගය නොවේ. මා දෑත අල්වා උරපත්තට බර දී නිදද්දී ඈ හා මා විඳි සුවය අපමණය. ඈ හිස අත ගාමින් හා දෑත තුරුලේ හොවමින් ඇයට නින්ද ගිය පසු හිසට දුන් හාදුව පවා මට දැනෙන්නේ ආදරය වැඩි කමට දුන් තිළිණයක් සේ ය.

පසු කලක ඈ මා හැරදා ගියේය. මා මතකයන් අතර තනි වුයෙමි. මිතුරන් අතරට පවා නොගියෙමි. පසුව මා ලඟින් ඇසුරු කල මිතුරෙකු පැවසුවේ, “... එකී උඹෙන් ඉල්ලුවේ ආදරේ නෙමෙයි.. එකී උඹට ළං උනේ වෙනදෙයකට... උඹ ඒ දේ දුන්නේ නැහැ... උඹට තිබුනේ ඇහැරෙන් මෙහෙන් මිරිකලා ගන්න... කෝ උඹත් දාර්ශනිකයා නේ.. ඔහොම ආදරේ කරන්න කෙල්ලෝ මේ රටේ නැහැ බං...” කියමින් ඔහු මට දොස් නැගුවේය. එතැන් පටන් ගැහැණිය යනු  මා හට අමිහිරි චරිතයකි.

උක්ත කී කතාවේ කතා නායකයා එනම් මා මහේෂ් ලෙස හැඳින්වූ පුද්ගලයා සතුව ඔහු කියනා පරිදි ගැහැණු යෙහෙලියන් බොහොමයකි. ආදරය ලෙස හුවා දක්වා ඔවුන් පෙළඹෙන්නේ උක්ත කියූ ලිංගික ක්‍රියාකාරකම් උදෙසාය. වයසින් මෝරා නැති, ජීවිතේ විඳින්නට දේවල් බොහොමයක් ඇති මෙවන් දරුවන් මනසින් දුෂ්‍ය මනසක් හිමි බව ඔබ විශ්වාස කරන්නේද..?

ලෝක ළමා දින, වැනි අයිතිවාසිකම් ගැන මහා ඉහලින් ඔබ මා කතා කරන්නේ මෙවන් ආකල්ප හිමි පරපුරක් උදෙසාමය. වැරැද්ද දරුවන් සතුව නොවේ. ඔවුන් ජීවත් වෙන සමාජ ක්‍රමයයි. ආදරය නොකළ යුතු දෙයක් නොවේ. ආදරේ කල යුතුය. විරුද්ධ ලිංගිකයන් එක් විය යුතුය. නමුත් සීමා සහිත විය යුතුය.

යහපත් ලිංගික අධ්‍යාපනයක් අපේ පාසල් විෂය පද්ධතියට ඇතුලත් විය යුතුය. මකරා ගැන කියන්න මෙන් කෙරෙන ඉගැන්වීම් ක්‍රියාවලියට තිත තැබිය යුතු කාලය උදාවිය යුතුය.
උක්ත කියූ මහේෂ් යන දරුවා ලිංගිකව එකතු වූ දැරිය දැක ගැනීමට මා හට අවස්ථාවක් ලැබිණි. දැරියට වයස 15ක් පමණය. දැරියගේ මව පාසල් ගුරුවරියකි. පියා කුඩා කලදීම අහිමි වී ඇත. එක වරක් නොව දින 7-8ක් පාසාම ඔහු ඇය හා ලිංගිකව එකතු වී ඇත.

සිතන්නට ඇත්තේ මෙතැනයි.. පාසල් ගුරුවරියකගේ දැරියක් නිසි දැනුම් පරිසරයක් තුල මෙසේ වන්නට නොහැක. ඒ දරුවට ලැබිය යුතු උපදේශයන පවුල් පරිසරය තුලින් නොලැබී ඇත. ඒ වෙනුවට ලැබී ඇත්තේ අසීමිත නිදහසයි. දරුවන් පිළිබඳව තම දෑස් හරින්නට දැන්වත් නිසි කාලය බැව් ඔබගේ බුද්ධියට ගෝචර විය යුතුය. නැතිනම් කොසොල් රජුගේ සිහින දහසයේ ඇතැම් සිහින වර්තමාන යුගයේම ඉෂ්ට සිද්ධ විය හැකිය. වගකීම ඔබ සතුය.

ලිංගිකත්වය යනු තහනම් කල යුතු දෙයක් නොවේ. ලිංගිකත්වය නිසාවෙන් මා ද අද මෙතනට වී සටහන් තබයි. නැතිනම් මගේ උත්පක්තියක් සිදු නොවනු ඇත.
යහපත් දැනුවත් කිරීමක්, ලිංගික අධ්‍යාපනයක් අප රටේ ලැබේනම් වැදගත් උපදේශන සේවාවක් අප රටේ සිදුවේ නම් මෙවැනි අපචාර හා අපරාධ සිදු නොවන්නට තිබිණි.




-        සත්‍ය කතාවක් ඇසුරින් ලියවුන සටහනකි. නම් ගම්  සියල්ල මනඃකල්පිතය. 



ප/ලි ;- මාතෘත්වය හා පීතෘත්වය යනු උතුම් වූ දෙයකි. එයට හිමි තැන කෙලසීමට ඉඩ නොදෙන්න. එය අපරාධයකි. ශ්‍රී ලංකාවේ නීතයට අනුව දඬුවම් ලැබිය හැකි වරදකි. නමුත් ප්‍රේතිපක්ති පවා ඉවත ලා ගැටළු වලට පිළිතුරු සැපයිය යතුය. එසේ නොවුනහොත් ජීවිත වල දීර්ඝකාලින පැවැත්මට එය මහත් වූ ඛේදවාචකයක් වෙනු නියතය.

Share on Google Plus

About Unknown

2 අදහස්:

  1. ඇත්තටම කණගාටු හිතුනා පෝස්ටුව කියෙවුවාම. ඔය වාගෙ අයාලෙ ගිය ළමයි මීට වසර හතර පහකට කලින් අපි ඉස්කෝලෙ යන කාලෙත් හිටියා.

    සඳරු මේ ලිපියෙන් දැකලා තියෙන්නෙ අසීමිත නිදහස නිසා අයාලෙ යන පාසැල් ලමයි ගැන. ඒත් මල්ලි අපේ පාසලේ හිටපු, ඔයවාගෙ දේවල් කරගත්තු ගොඩක් ගැහැණු ළමයින්ට ඒ දේ වුනේ එයාලගෙ දෙමවුපියෝ අනවශ්‍ය විදියට එයාලව හිර කරලා තියන්න හදන එකෙන්. හිරේ වැටුන මිනිහා බලන් ඉන්නෙ කොයිවිදියටද නිදහස ලබන්නෙ කියන එක විතරයි නෙ. මම ඉගෙන ගත්තු කොන්වන්ට් එකේම එක පන්තියෙ ඉගෙනගෙන ඒ විදියට දෙමාපියන්ගෙ විලංගු මැද හැදිලා නිදහස හොයාගෙන ගිහින් තමන්ගෙ කාර් එකේ ඩ්‍රයිවර් එක්ක, ගේ හදාපු මේසන් බාස් එක්ක පවුල් ජීවිත ගෙනියන්න වෙච්ච ළමයිනුත් හිටියා. සඳරුට පුලුවන්නම් අන්න ඒ විදියෙ සිදුවීම් ගැනත් සටහනක් තියන්න. මේ පෝස්ටුව වාගෙම ඒකත් දෙමවුපියන්ටත් යොවුන් වියේ ළමයින්ටත් ගොඩක් ප්‍රයෝජනවත් වේවි.

    ReplyDelete
  2. // එකී උඹෙන් ඉල්ලුවේ ආදරේ නෙමෙයි.. එකී උඹට ළං උනේ වෙනදෙයකට... උඹ ඒ දේ දුන්නේ නැහැ... උඹට තිබුනේ ඇහැරෙන් මෙහෙන් මිරිකලා ගන්න... කෝ උඹත් දාර්ශනිකයා නේ.. ඔහොම ආදරේ කරන්න කෙල්ලෝ මේ රටේ නැහැ බං..//

    ඒ කාලේ අපේ බොසත් ඔය කතාව ඔය විදියටම මට කිව්වා :3

    ReplyDelete

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..