නිදි යහන කැළඹී



කටුවන් කන්නාක් වැනි හැඟීමක්, පිට කොන්දට දැනුණි. පන් පැදුරේ නිදි වැදීම නිසා එසේ දැනුණා දැයි සොයන්නට මෙන් පැදුරේ රැළි මත ඇඟිලි තුඩු යවා බැලුවෙමි.. බෙක බෙක ගා හඬන ගෙඹි හඬ රෑ මැදියම වනතෙක් වැහි දිය වැටුණු බව හඟවයි. නිරාවරණය වූ කවුළු දොරින්, ඈත අහසේ දිලිහෙන තරුවක් දැකිය හැකිය.. ඒ හාම කවුළු දොරින් කුටියට එබෙන කෝපී මල් සුවඳ නැහැ පුඩු තුලට රිංගා සිත ප්‍රබෝධයෙන් පුරවයි.

හිරිගඩු පිපී තැවෙන මා ගත උණුහුමින් පුරාවලනු වස් මා සරම හිසේ සිට දෙපාවන තෙක් පොරවා ඉනික්බිතිව දෑතද බැඳ ගතිමි.
ක්රාස්.. ! ගා ඇසුණු හඬකින් දෙසවන් පිරි ගියේය.. ගැස්සී ඇහැරුණ මා නැවත නෙතු පියන් පොඩිකර හැර බැලුවෙමි. කබ තලියක් දෝ නෙතු අගිස්සෙන් ලාටු මෙන් ඇලී සුරතේ ඇඟිලි මත තෙත්ව දැනේ.
ක්රාස්.. ක්රාස් ගා කබල් වලඳක පතුල සූරන්නා මෙන් අම්ම උගුරින් ගොර හඬ පායි. 

පෙරදා ටවුමේ ඩිස්පැන්සරියෙන් ගෙනා බේත් නිමවී ඇතිදෝ යැයි සිතට දැනුන කුහුලින් යුතුව මා නලියන අඳුරේ විනිවිද දකින්නට වෑයම් කලෙමි.

".. අම්ම මොකද බොලං.. !.. " කිසිදු හැලහොල්මනක් නැතුවා සේය. ඇය නැවතත් නින්දට වැටෙන්නට ඇත.

කුඩා කල පියා හැර ගිය දා සිට ඇය, මමත් ඇතුළුව පවුලේ සිව් දෙනෙකු වූ මළනුවන් දෙදෙනාත් නැගණියත් ඇතුළු යටත් පිරිසේ සියල්ල වෙර වීර්ය යොදා ඇති දැඩි කළාය. නම්බු නාමයන් කබල් ගෑ ඇය එහි බෙලෙන් සියලු දෙනා උගතුන් නොවුනත් සමතැන් දෙන්නට උත්සුකු වූ මවකි.

ඉඳහිට ගෙදරට ගොඩවන ලොකු මල්ලි වත්තට එබී ".. පොලුත් තියෙන්නේ.." යැයි කියා යයි. නංගි දෙවැනි දරු උපතින් පසුව ඇගේ කොළඹ සැමියා සමඟ එහිම පදිංචි වී සිටී. ඇය ඉඳ හිට ආවද දැන් එන්නෙම නැත. ආවත් අම්මා බැලීමට නොව හිමිකම් උගුල්ලාගෙන යාමටය. පොඩ්ඩා නැතිවී දෑ අවුරුදු ගෙවී ගොස් ය. ".. පොඩි එකා හිටියානම්.." අම්ම නොයෙක් විට මතුරන මන්ත්‍රයක් වූ එය, මගේ සවනේ රිදුම් දෙන්නට වී තිබීම නම් කිසිසේත් ඉවසුම් නොදේ. ".. ඌ හිටියත් මොන මගුල කරන්නදැයි.." අසන්නට සිතුනත් මා නොයෙක් විට කරබාගෙනම සිටින්නෙමි.

කුකුලෙක් මොර දෙන හඬ ඇසේ. පියසෝමගේ නිවසේ විය යුතුය. කුකුලන් ඇති කරන්නේ ඔවුන් පමණකි. අළුයම දෙකේ කණිසම පසු කරන්නට ඇතැයි සිතේ. ලාම්පු එළියෙන් ඔරලෝසු කටු සොයන්නට නොගොස් මා දෑස් පියා ගන්නට උත්සුක වූවෙමි. නිදි දෙව්දුව අනවසරෙන් හෝ වැළඳ ගන්නට යැයි හදවත යැද්දේ ය.

".. සිරියෝ.. සිරියෝ.." ගැස්සී දෑස් පිය එසවෙත්දී මා වික්‍ෂිප්ත දෑසින් බැලීමි. අම්මා මුහුණට එබී වියපත් දෑසින් මා දෙස බලාගෙනවත්ම සිටී.

".. අම්ම.. මොකෝ.. ? "

".. මුකුත් නෑ. නැගිටපිය.. දැන් මගේ හිතේ 8 ට කිට්ටුයි.."

".. තව චුට්ටක් නිදා ගන්නවා අම්මේ.. ඊයේ රෑ නින්ද ගියෙත් නෑ මට.."

".. අර මක්කෙයි.. ! නැගිටලා වත්ත පැත්තට යමං අද පොල් කඩන්න එනවා මයේ හිතේ.."

".. පොල් කඩන්න පාන්දර එනවද..? ඔයා කරන දෙයක් කරන්න කෝ.. මං නැගිටින්නම්.."

කෝපය මුසු වාග් හඬ මා මුවින් පිට වත්ම, බිමට බරවූ දෙනෙතින් ඈ මුළුතැන්ගෙට යයි. මා නැවතත් පන් පැදුරේ වකුටු වූවෙමි. ඇඟ තලා දැම්මාක් වැනිය. කොට්ටයට ඔබා ගත් මුහුණ සීතල තැනක් සොයමින් විටින් විට කොට්ටයේ සියළුම ප්‍රදේශයන් හි තරණය කරයි.

මුනින් තලා වැටුණු මා ගත විටක සලිත වී යයි. වෙනදා මෙන් ගත සිත මට අවනත නොවේ. 

ක්‍ෂේම භූමියක් සොයමින් කතරක වැලි පහුරු ගානා වැලි මීයෙකු මෙන් මා පන් පැදුරේ පන් ගස් ගලවන්නට වෙමි. නින්ද පලාගොස් ය. නිදි දෙව්දුව ද මා වැනි වුන් වැළඳ ගැනීමට අකමැති වුවා සේ ය.

".. සිරිසෝම.. !.. සිරියෝ.. !.." කිසිවකු පිළිකන්න පැත්තේ සිට මුරගාන හඬ ඇසේ. මුවින් නොබැන සිතින් කෝපලන සිතුවිල්ලෙන් යුතුව මා පැදුරට බර දී නැගිට්ටෙමි.

".. සිරිසෝම.. !.. කෝ ගෙදර කවුරුත් නැත්දෝ.." පෙරටත් වඩා හඬින් ඔහුගේ හඬ ඇසේ. මවට ඇසෙන්නට නැතුවා ඇත. ඇයගේ දෙසවන් දුර්වලය ය. අඩියක දුරකින් හිඳ ඇයට හඬින් කතා කළහොත් පමණක් ඇසේ. නැතිනම් කිසිදු වගක් නැතුවා සේ නෙත් අයාගෙන ඇයගේ කාර්‍ය නිම කරයි.
".. හිටහන් මේ.. එනවා ..." මා පෙරලා හඬ අවදි කලෙමි. හඬ හාම මගේ දෙපය විසල් ගෘහයේ මැදින් පිළිකන්න දෙසට පියමන් කිරීමට උත්සුක වූවෙමි.

".. අඃ මේ පියා නේ.. මොකෝ බං මේ උදේම කුකුලා අතින් අරගෙන.. " සුරතේ වෙදගිල්ල මටත් හොරා නෙතු කෙවෙනි තුලට ලං කරමින් ද ඔහුට එය වසන් කරන්නාක් වැනි හැඟුමකින් නෙත පහුරු ගාමින් මා විමසුවෙමි.

".. උඹ අමු කාලද බං.. දැන් කොහෙද ඉර ගව්වක් පායලා... උඹේ සිහිය නම් නෑ .. ඊයේ නැන්දා ඇවිත් කිව්වා පොල් කඩනවායි අහුලන්න එන්න කියලා. මං ඒකයි මේ ගොඩ උනේ.. කෝ බං නැන්දා.." ඔහු කොරවක්කෙන් මෙන් බෙල්ල ගෘහය තුලට ඔබන්නට හරවමින් විමසයි.

".. අම්මා කුස්සි කාමරේ බං.. මොනාහරි තම්බනවා ඇති. උඹ කාලද..? මං ජුන්ඩක් මූණ හෝදාගෙන එන්නං හිටපන්. තව කෙකි කාරයෝ ඇවිල්ලා නෑ මයේ හිතේ.. !.."

පියදාස දුරින් නෑයෙක් වෙයි. විවාහක ඒ තොමෝ සිව් දරු පියෙකි. නිසි රැකියාවක් නොමැති වුවත් ලැබෙන කිසිවක් ගෙන රා පොලෙහි හවස් බාගයේ නිරන්තරයේ දැකිය හැකි අයෙකි. ගමේ කයියට මගුලට ඕනෑ තැනක හේ පැල පදියම් වී සිටී. වැඩක් කිවහොත් දුර පළල නොබලා කරයි. හේ සන්තෝෂමක් බලාපොරොත්තු නොවුනද මුවින් නොයිල්ලා අගහිග කියාපායි.

ලිං කණ්ඩිය මත තිබු බාල්දිය ගෙන ".. ජබූඃ .." හඬින් ලිං දියෙහි ඔබා කලත්තා පාවෙන රොඩු එයට නොයෙන දෙස දෙතුන් වරක් ගස්සා ඇද ගතිමි. ලිපෙන් ගත් හනසු අඟුරු ගෙන කහට වැකුණු දතේ තබමින් දබරගිල්ල ආධාරයෙන් දත් මදින්නට වෙමි. අඟුරු හිරි හිරි ගා දත් මත පොඩි වී කෙල හා මුසුව කට දෙපැත්තෙන් කළු පැහැතිව වැගිරෙන බව දැනේ.
මළනුවන් හා කෙළි සෙල්ලම් කරන කල පියා ලිඳ පිහිටි තැන සෙල්ලං කිරීම තහනම් කළේය. නිතර අපගේ ආරක්‍ෂාව ගැන සිතු ඔහු නියම කරගත් දවසක මෙම ලිං කණ්ඩිය සිමෙන්තියෙන් බැඳ දැමුවේය. සෙල් කුලක සලකුණු කල නිධන් ගත සලකුණුක් සේ පැහැදිලිව එහි තැබූ සටහන් අද ද හොඳින් බලන්නෙකුට පෙනේ.

පියා නැතිවූ දා සිටම අප වැඩුණේ මවගේ උණුහුමය යටතේය. කිකිළියක් බිජු රකින්නා සේ ඇය සියලු මෙහෙ කොට අප රැකි අයුරු සිහි වේ. රස නහර පිනවන්නට ඇයට නොහැකි වුවද ඇති තරමින් කුසගිනි නොදැනී ජීවිත් කරන්නට සමත් වූවාය. සොළොස් වියැති වත්ම පාසල් යාම හිසරදයක් සේ මා හට දැනෙද්දී නවතින්නට වුයෙමි. ඒ ගැන ඇය නොතැවී මා හට අනුබල දුන්නේ, අගහිගකම් නිසා නොවේදැයි වත්මනෙහි සිතේ.

ලණු ඇඹරීමෙන් ජීවිකාව ගැට ගසාගත් ඕ තොමෝ සැන්දෑ යාමයේ කෙඳිරි ගා යහන් තලාවට වැටෙයි. රැය දෙපළු කර ගොර අදින මල්ලි තුරුලෙන් අත හැර කුකුලා හඬන යාමයේ බත තම්බයි. පුරා වසර ගණනාවක්ම අපට මෙහෙ කල ඈ සියල්ලන්ගෙන් විශ්‍රාම ලබා වත්මනෙහි ආයු සැප විඳි.

කසාදයක් බැඳගන්නය කීවද මා හට ජීවිතය මග හැරුණි. අම්ම සමඟ එකට වී ඇගේ යහපතෙහි මෙන්ම ප්‍රියයන්ගේ යහපතෙහි නැහුනා විනා මා ගැන තකන්නට යාමයක් මා හට නොතිබුණේය.

ඉඳින් අම්මා සමඟ එකට දරදිය ඇඳි මා ඔවුන්ගේ යහපතෙහි කිමිදී, මා ද ඇයද තනිකර ඔවුනොවුන් කූඩු සදා ඉගිලුණි. එක හීයේ බත් කෑ ඔවුන් කල් යත්ම සියල්ල හැර අභිනික් කළෝය.
ගැහැණියක් ගැන සිතන්නට හද නොමැති මා දැන් වියපත් ය. නාඩි වැටේ නම් දරමිටියද සැපතකි කී කල පසුවී ය.

_______________________________________________

".. මේ සැරේ පොල් අඩුයි බං ගොඩක්.."
".. අර මක්කෙයි..? .." පියසෝම කුරුම්බා ගෙඩිය මුවට ලං කර උගුරක් බී, නැවත බිමින් තබමින් මා දෙස අයාගෙන සිටී.

".. නෑ බං.. බලපං .. මේ මයිටයෝයි.. හවසට එන හම්බාවෝයි .. තව ඔය දඬු ලේන් වගයක් ඉන්නවා උන් ටිකයි තියන්නේ නෑ නෙව ගහක ගෙඩියක්.. කනවා.. කනවා.. ! .. උනුත් නිකං අපිත් එක්ක තරහට වගේ බං.." පොල් ගසක කරටියේ එල්ලෙන කුරුම්බා ඉත්තක් දෙස බලමින් මා පිළිතුරු දුනිමි.

".. අනේ නිකා හිටහං බං.. මේ තියෙන්නේ ඕසෙට.. මේ මදිද බොල.. වැඩි පිරිසක් ඉන්නවා යෑ... උඹයි නැන්දයි විතරනේ බං.."

".. කට.. කට.. ! වසුරු කට උඹේ.. " සිනහවකින් රළු බව මකා දැමු, මා දහඩිය දමන කයට පවන් රොදක් ලැබෙන සේ ඇඟලාගත් කමිසය ගලවා දැමීමි.

".. රස්නෙයි බං.. ඉන්න බෑ පිච්චෙනවා වගේ. මයේ හිතේ දැන් සෑහෙන හවස් වෙලා.. හැන්දෑකොරේ ඒ පැත්තේ වර.. මට නා ගන්න ඕනේ.." මා පය ඉක්මන් කිරීමට සැරසුනෙමි.
".. ඉතිං බොල වර මා එක්ක ඇලේ ගිලෙන්න යන්න .. රන් කැටේට වතුර බං.. ආයේ මක්කැයි එක දවසක් ලිං වතුර නොනැව කියලා. උඹ ගේ අස්සට රිංගන් මක්ක කරනවයි.."

".. නෙදකින්, ඔය වතුරේ කිමිදෙන්න බෑ බොල.. හැම එකාගෙම කුණු ගෑවිච්ච ජරහන්ත.. මං යන්නං.."
".. ඊයේ වැස්සට අලුත් වතුර බොල.. එන ගමන් රා කට්ටක් බොන්ටත් බැරි යෑ.. "

කාලයකින් සප්පායම් වූ බවක් සිහියේ නොමැත. විඩාව දැනෙන කයට රා පොල්කටුවක් තොල ගා බත් පත උණුවෙන් කන්නට ඇත්නම් පංකාදු ය. ගතානුගතික හැඟුම් නලියමින්, හද මත් මිහිරෙන් පුරවන්නට සමත් වුණි. සීතල ලිං දියේ ගිලීමේ ආශාව පරයා රා බීමේ ආශාව ත්වුරව දැනෙන්නට විය.

".. යමන්කෝ එහෙනං ඇල පැත්තට.." කියමින් මා ආපසු හැරුණෙමි. 
".. උඹ ඔතැනින් මංකඩ පැත්තට ගාටපං හිමීට, මං සබන් පොත්තක් අරගෙන එන්නං .."
".. විගහට වර.."

පියසෝම අඩි පාර දිගේ, ඔහුගේ නිවස දෙසට පිය මනින දෙස මොහොතක් බලාසිටි මා කැලෑ රොද දිගේ ඇල මංකඩ දෙසට ඇවිද ගියෙමි. දිය බසින ".. හෝ..හෝ.." හඬ ත් සුළං හඬත් ඇල ඉවුරේ උණ පඳුරු වල හඬත් එක්ව රිද්මයට ගයන්නාක් වැනිය.. කුබුක් ගස් ගොමුව තුලින් මා මංකඩ වෙත ගියෙමි. ගතට දැනුණු විඩාව පරයා සීතල සුවයක් එහි ඇතිකරයි. නුහුරු කිතියකින් හද වෙලා ගියේය.

".. වලව්වේ කුමාරයා දොළට පනින්න ඇවිත් වගේ.." මා සැබවින්ම භියට පත් වුයෙමි. වික්‍ෂිප්ත දෑසින් හඬ ආ දෙස බැලු මා මුව, නොදැනීම සිනහවකින් සැරසුණි.

".. ඇඃ.. ! මේ ටිකිරි නංගි නේ.. මොකෝ මේ අවේලාවේ දිය නාන්නේ.."
".. මම නෙමෙයි අයියා තමයි අවේලාවේ ගෑණු නාන තැන් වල ඉන්නේ.."

ඇගේ හඬ පපුවේ ගැඹුරුම තැන් ස්පර්ශ කරයි. සැබවින්ම මා ගොළු වුයෙමි. ලැජ්ජාවෙන් හද පිරී මුහුණ බිම ඇද වැටෙන්නට මෙන් පහත් වුණි. ආවේගයෙන් යථාබාවයට පත්වන්නට හදට සන් කලද එය කල නොහැකිය. ඒ තරමට මා හදින් අවතැන් විය.

".. අනේ මම මේ පියසෝම කියපු නිසයි ආවේ නගේ.. එහෙම දේකට ආව නෙමෙයි.." අමාරුවෙන් ගැටගසාගත් වචන කිහිපයක් පිට කලෙමි.

".. කොහේ ඉන්න පියසෝම කෙනෙක් ද..? කෝ නෑ නෙව.." ඇය මුහුණ පුළුටු කරමින් මා දෙස බලයි.

".. ඌ ඔන්න සබන් පොත්තක් ගේන්න ගෙදර ගියා... මට ඇල දිහාට යන්නය කිව්වා. තාම නෑ නෙව.." වරදක් කල එකෙකු නිදහසට කරුණු කියන්නා වැනි හැඟීමකින් මා එසේ පවසා බැඳී දෑත් පියසෝම එන මගට දික් කලෙමි.

".. මං යන්නං නංගියේ.. වැරදියට හිතන්න එපා.." ලැජ්ජාවෙන් හද පිරුණු මා ඇය දෙස නොබලාම පිළිතුරු දුණි.

".. මං විහිළුවක් කලේ සිරි අයියේ.. අපෝ.. පුංචි එකෙක් වගේ නේ.. ඔන්න ඔහෙන් ඉඳින් මං දැන් යනවා.. " මදහස පෑ ඇය, මා දෑස එක එල්ලයේ බලා හිරිවැටුමකින් හදේ කොන නිර්ලජ්ජා කළාය.

මා කිසිවක් නොවිමසා අසල ගල් කුලකට බර වුයෙමි. දීයේ නලියන තිත්තින් යැයි සිතිය හැකි මාළු රැල සබන් පෙණ ගොබ වලට පනිමින් රිසි සේ මිහිර විඳි. ඔවුන්ට වෙන සැපතක් නැතුවා සේය. තිත්තින් පොකුරක් සිය රිදී පැහැ කුස පෙදෙස පෙන්වා මා හට ඔච්චම් පායි.

ටිකිරි දිය රෙද්ද අල්වා දියේ ගිලෙයි. නැවත දිය රෙද්ද සැරයෙන් අල්වා ගනී. නැවතත් ජබුක් ගා දියේ ගිලෙයි. නිදහස් කොන්ඩ රැලි දියට පෙඟී නිරුවත් පිටෙහි ඇලී දිලිසෙයි.
අමුකහ මෙන් දිදුළන පපු පෙදෙස දෙස නෙත දිව යත්ම නුහුරු කිතියකින් හද ගොළුව දෙපය හිරි වැටෙන්නා වැනි හැඟීමකින් සලිත වෙයි. ඇය සිනහවක් පා දියෙන් ගොඩ වූවාය. ගතට ඇලුණු දිය රෙද්ද ඇය නිරුවතින් මා ඉදිරියේ තැබුවාක් වැනි හැගීමක් දැනවුයෙන් මා තරහින් මෙන් ඉවත බලාගතිමි. හද කෝපයෙන් මෙන් මා සිත ඉරිතලන්නට විණි. 

මොහොතකුදු නොනැවතුණු මා පයට වෙර දෙමින් නිවෙසට දිව ගියෙමි.
සැනසීම සලසනු වස් නැවත ලිං කණ්ඩිය මත තිබු බාල්දිය ලිඳට ආවේගයෙන් යුතුව අත හැරියෙමි. ".. ජබුං.. !.." හඬින් ලිං දියේ බාල්දිය වදිත්ම මා දෑස් මෙන්ම හදවතද නලියන්නට විය.

____________________________________________

නිරාආහාරව පන් පැදුරට වැටුන මා අඳුරේ නලියන කුටියේ ඔබ නොබ දෑස් යැව්වෙමි. පෙරදා රැයෙහි කවුළුවෙන් දුටු තරු මඩල නැත. එය වසා ඇත්තේ අඳුර පිරුණු අහසකි. එකදු තරුවක්වත් නැති අහස ද අඳුරේම කොටසක් බැව් දැනිණ. කෝපි මල් සුවඳට නැහැපුඩු මහත් නොවුනි. රස සංවේදන මා තුලින් පලා ගියාක් වැනි හැඟීමකින් වෙලිණි.
සවස් යාමයේ මෙන්, දෙපය හිරිවැටී යයි. නුහුරු සීතලකින් කයේ හිරිගඩු පිපී වේදනා දෙයි. හදවත විලිගත් කිතියෙන් යුතුව ඒ මේ අත සක්මන් කරයි. නැවත වෙලාගත් කෝපයෙන් හද සනසනුවස් මා පැදුර මත හිඳ ගතිමි.
.
.
සිරි යහනේ ලණු ඉහිරී සුසුම් හෙලන රෑ ...
මකුළු දැලින් සිරි සිරියෙ වියන් බඳින රෑ...
යට ලීයෙන් නාරි ලතා මල් පූදින්නේ...
යට ලීයෙන් නාරි ලතා මල් පූදින්නේ... //
සඳෙන් සඳට මුවා වෙලා කලදවසත් ගෙවී ගිහිං...
නෙතට නුහුරු කඳුළු පැදුරට මුහු වෙලා හොරෙන්,,
යට ලීයෙන් නාරි ලතා මල් පූදින්නේ...
යට ලීයෙන් නාරි ලතා මල් පූදින්නේ...
සිරි යහනේ ලණු ඉහිරී සුසුම් හෙලන රෑ ...
මකුළු දැලින් සිරි සිරියෙ වියන් බඳින රෑ...
යට ලීයෙන් නාරි ලතා මල් පූදින්නේ...
යට ලීයෙන් නාරි ලතා මල් පූදින්නේ... //
යහන තලා සැප විඳිනා...
පලදී නැතුවා පෙර පිං... 

මාල වළලු නොතිත් අයට අප අමතක වෙලා ගිහිං.....
යට ලීයෙන් නාරි ලතා මල් පූදින්නේ...
යට ලීයෙන් නාරි ලතා මල් පූදින්නේ...
සිරි යහනේ ලණු ඉහිරී සුසුම් හෙලන රෑ ...
මකුළු දැලින් සිරි සිරියෙ වියන් බඳින රෑ...
යට ලීයෙන් නාරි ලතා මල් පූදින්නේ...
යට ලීයෙන් නාරි ලතා මල් පූදින්නේ... //
Share on Google Plus

About Unknown

1 අදහස්:

  1. එක පට්ට :O අර කෙල්ලව මැවිලා පෙනුනා x-) සිංදුවකුත් මතක් උනා

    දිය සෙද්ද ඇඳන් එනවිට සුදු ඔයා නංගියේ
    මට පෙනෙන්නේ ඔබ මලක් වගේ හරිම ලස්සන :-d

    ReplyDelete

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..