වකුගඩුව





".. චූ දනවා අම්මා.."
".. අපෝ දෝණි, පොඩි එකෙක් වගේ ඉවසං ඉන්න කෝ.."

".. ඉන්න බෑ අම්මා.. ඒ මදිවට මේ කෙහෙල් මල් කොන්දත් රිදෙනවා. යටි බඩ එක්කම.."
".. ඉන්න ගෙදර ගියාම සීනි ටිකක් දිය කරලා වතුර බීපුවම අඩුවෙයි.."

".. අම්මට තේරෙන්නේ නෑ නේ.."
".. අවුරුදු 19ක් වෙනවා තාම පොඩි එකා වගේ ඉවසගන්න බෑ... ඔය කාලේ තමයි මට ඔයාලගේ අක්ක හම්බෙන්නත් උන්නේ. ඔහොම ඉන්න තව ටිකයි නේ.."



රත් පැහැයෙන් බබලන ඇගේ කම්මුල් සිය දෙඅතින් වසාගෙන ගැස්සෙන බස් රථයට සිතින් ඈ සිතින් ශාප කරයි. ඈ උරණ වූ සෙයක් බැලු බැල්මට පෙනේ. දැවිල්ලත් දහඩියෙන් තෙත් වූ කයත් ශාප ලත් පිළලයක් සේ රිදුම් දේ. රත් පැහැයෙන් යුතු දුහුවිලි බස් රථය තුලට විත් නාස් පුඩු තුලට අවසරලත් බලවතුන් සේ රිංගා ගනී.

".. අනුරාධපුරේට යන අය විතරක් නගින්න. බස් එක මග නවත්වන්නේ නෑ.."

කොන්දොස්තර තැන අභිනවයෙන් කෑ මොර දෙයි. නැවත හේ නිහඬ ය. ".. ටක් .. ටක් " ගාමින් ජනෙල් වීදුරුවක හඬ සුරේඛාගේ කන්පෙති මත අගුල් දමන්නට වෙර දරයි.

".. දෝණි බහිමු.."
".. ආවද අම්මේ.."

".. ඔව් බහින්න.."

කතරක අතරමන් වූ මුව පොව්වෙකු ක්‍ෂේම භූමියක් දුටු කලක මෙන් ඇය බසයෙන් බැස නිවසට දිව යාමට වෙර දරයි. පය පැකිල්ලෙන්නට ගොස් නොවැටී බේරේ.

".. කෝ ඔය ළමයා ඉක්මන් කරන්න.. "
".. හරි හරි ඉන්න.."

".. ඉන්නවා තමයි.. මෙතැන ඉන්න යෑ කියන්නේ.." දෑස් අග නලියන කෝපයෙන් දමා ගැසූ ඇය දැනෙන වේදනාවද පරයා ඔරවමින් ද නැවත හිස බිමට නැඹුරු කර බසයෙන් බැස දුවයි.

තැන තැන ගොඩ ගැසුණු වියලි කොළ රොඩු දැල්වෙන සෙයක් පෙනේ. ඒ මත ඇති කොළ පැහැයෙන් යුත් නෙක කොලයන් ඇවිලී නැසී යන්නට අසීරු උත්සහයක යෙදී. ගිණි රස්මියට ඒවායේ සෛල හා පටකයන් පිලිස්සී අසීරු වේදනාවකින් බැට කන්නා සේ නොයෙක් විට ".. චර .. චර .." හඬින් රිද්මයක් ඇති කරයි.

_____________________________________

".. සුරේඛා මේ අහන්න කෝ.."
".. මොනා අහන්නද.. මගේ පස්සෙන් එන්න එපා.."

".. ඇයි එහෙම කියන්නේ සුරේඛා.. මගේ මොනවද අඩුවකට තියෙන්නේ..?.. "
".. ඔයාගේ කිසිම දෙයක් අඩු නෑ. මගෙයි හැමදේම අඩු.."

ඇය ඉවත බලයි. ඔහු යන්නට සිත් නොදෙයි. හරිත වර්ණයෙන් බබලන තුරු හිස් දැක කුස පුරවා ගැනීමට වැට කඩොලු බිඳ හෝ පැමිණෙන්නට වෙර යොදන සතෙකු සේ හේ ඇය අසලම හිඳ බලා සිටී.

".. මොනවද අඩු ඔයාගේ...?.. "
".. කුලය අඩු කුලය... ඔයාගේ තාත්තා වගේ බිස්නස් නෙමෙයි. අපේ අප්පච්චි හැමදාම උන්නේ මඩේ බැහැගෙන.. ඔයාල වගේ සත් මැදුරු වල නෙමෙයි, පොල් වතු වහලෙයි ගොම පොළවයි.."

ඇයගෙ බස් ඔහුගේ මුවට සිනාවකි. කිසිවකින් ඔහු සැනසෙන බවක් පෙනෙන්නට නොවන බව පිටත සිට බලන කල ඕනෑම කෙනෙකුට පෙනේ.

".. ඉතිං වෙන..?.."
".. වෙන..... වෙන තමයි අපි කන්නේ හැමදාම සම්බෝලයි බතුයි.."

".. ඒක හරි රහයි හැබැයි.."
".. ආ ඇත්ත ද..? තව අර වැව් දිය නැත්නම් අපි බඩගින්නේ.."

".. හ්ම්ම්.. ඉතිං තව.."
".. මාව ඔයාට ගැලපෙන්නේ නෑ.."

".. ගලපගමු.."
".. මට බෑ.. දුක් විඳින්න. මගේ තාත්තට එක එක්කෙනා බනිනවා බලන්න.."

ඔහු ඇගේ දෑසට එබෙයි. එක එල්ලයේ මුහුණ දෙස බලමින් ඇගේ දෙතොලට නොගැවෙන සේ හිඳ දෑස තුල කිමිදෙන්නට වෙර දරයි.

".. මං ඔයාට ආදරෙයි.. ඒත් ඔයාට මාව එපානම් මට බෑ පස්සෙන් එන්න සුරේඛා.. මට පුළුවන් ගැලපෙන්නේ නැත්නම් ගලපන්න.. මොකද අපේ ගෙදර අය යක්කු නෙමෙයි නේ.."
".. මට තේරෙන්නේ නෑ.."

".. ඔයා මට අකමැති නෑ.. ඔයා අකමැති මගේ දේවල් වලට නේ.. මං එන්නම් හැමදේම දාල.."
".. සිටු කුමාරයා පැල් රකින්න ද..?.."

වාසනාවේ සංඛේතයන් මවමින් ඇයගේ සිනා හඬ පැතිර යයි. ඔහු විලියෙන් යුතුව ඈ දෙස බලා සිටින්නේ, ඇගේ මුව සිප ගන්නට ඇත්නම් යෙහෙකැයි සිතමින්ද නොදැනේ.

".. අපෝ නෑ.. මං ඉගන ගත්තු දේ අරගෙන.. මට පුළුවන් සුරේඛා එක්ක ජීවත් වෙන්න.."
".. ඔයා පණ්ඩිතයි.."

".. ඉතිං.. ඔයා මගේ දේවල් වලට ආදරේ කරන්න එපා. මට ආදරේ කරන්න.."
".. තේරෙන්නේ නෑ දෙයියනේ. මාව මරාගෙන කනවා.. "

දළු ලා වැඩෙන තුරු හිසක් ඈතින් පෙනේ. එය ශෝභන ය. හේ එය දෙස බලාගෙන සිය නලියන දෙනෙත ඉනික්බිතිවය පියා ගනී. නැවත දෑස් හැර බලයි. දිය යට ගැසූ වායු බැලුනයක් සේ හදවත එක් සිතුවිල්ලක් මිහිරෙන් ඔද වැඩී එලිපත්තේ නලියයි.
කණාමැදිරි එලියට බය ගැමියන්ට කුමන විමුක්තිය ද.. ඔවුන් දිවා රැය වෙහෙසෙයි. කුස පිරෙයි. නැවත වියලෙයි. නමුදු සඳ අහිමි ඔවුන් කණාමැදිරි එළියටත් ප්‍රිය ය.

_____________________________________

".. දරුවා යන්න.. මං අම්ම එක්ක කතා කරන්නම්.."

ඈ එක වරම සිය මව දෙස බලා නැවතත් කුහුලෙන් යුතුව වෛද්‍යවරයා දෙස බලමින් එලියට ඇදෙයි. මනෝබාවය නලියමින් වද දේ. ප්‍රශ්නාර්ථ කුමකටදැයි හැඟෙ. නමුදු පෙරදා නොවූ හැඟුමක් තනිකම සදාකල්හිම තනි කල සෙයක් ඇයට හැඟෙ.

".. දුව ඉගෙන ගන්නවද තාම.."
".. ඔව් මහත්තයා..."

".. වැඩ ටික කොහොමද.."
".. රත්නත්තරේ පිහිටෙන් ඇස් වහක් කටවහක් නෑ මහත්තයෝ.."

".. දුවගේ රිපෝර්ට් වල විදියටනම්.."

රැලි ගැන්වූ නළලත හඟවන්නේ වේදනාවේ හැඟුමන් ය. ඈ දහඩියෙන් තෙමුණු සිය මුහුණත් බෙල්ලත් ඔසරි පොටෙන් පිස දමා බලාගෙනවත්ම සිටියි.

".. මහත්තයෝ දුවට මොකද..?.."
".. ම්ම්ම්.. කළබල වෙන්න එපා. දුවගේ වකුගඩුවක් සම්පූර්ණ අප්‍රානිකයි. අනිත් එකත් තියෙන්නේ දුර්වල තත්ත්වයේ.."

".. දෙයියනේ.. !.."
".. අඬලා දොඩලා පලක් නෑ අම්මේ.. "

".. මහත්තයෝ බේත් කාල ඕක හොඳ කොරන්ට බෑ ද..?.."
".. වකුගඩුවක් බද්ද කරන්න ඕනේ.. ඒක රජයේ ගානේ කරගන්න පුළුවනි. ඒත් වකුගඩුවක් හොයා ගන්න වෙනවා.."

".. වකුගඩුවක්.. !.."
".. හ්ම්ම්.."

".. දුවට මේ බවක් දන්වන්න එපා. මේ දින වලට සායනයට එන්න.."
".. අනේ මහත්තයෝ මගේ දෝණි.."

_____________________________________

".. පසිඳු ඔයා.."
".. සුරේඛා දැන් ඔයාට අඩුයි.."

".. කෝ අම්මල.."
".. එයාල එළියේ ඉන්නවා .."

".. මට භයයි පසිඳු.."
".. භය වෙන්න එපා රත්තරන්..."

".. ඒත්... "
".. සිහිය එන්නේ නැති ගැටළුවක් විතරයි තිබ්බේ සුරේඛා.."

".. ඔයා මගේ ලඟම උන්නද පසිඳු.."
".. ඔව් මං මැරෙනකම් ඔයා ලඟම ඉන්නවා.."

ඇය සිය සුරතින් ඔහුගේ දෑත තරයේ අල්වා ගනී. දෙපස වටවී සිටින මවත් ඔහුගේ මව් පාර්ශවයත් කඳුලින් දෑස සරසාගෙන ය.
එක්වරම අසල තිබු කිසියම් දෙයක් සුරේඛාගේ දෑත වැදී ගිලිහේ. ඇය ඔහුගේ ප්‍රේමණීය බව විඳින්නට තව තවත් ලං වේ.

".. ඉන්න මං ගන්නම් සුරේඛා.."
".. එපා පුතේ ඔයාට නැමෙන්න හොඳ නෑ.."

"..පසිඳු ඔයා..? දෙයියනේ.. "

පෙර විය කඳුලින් තෙත් වූ නෙතු , අනෙක් පස ඉකියකින් අවසන් විය. නෙතු අගිසි කකියමින් දෑස් පිය තෙමි බොඳ විය. එතරම් සෙනෙහසක්, ආත්මයම ඡේදනය වන්නා සේ දැනිණ.

" .... සංසාර ගමන් මග සෙනෙහස සොයා දිනෙක
ආ ගමන නිමාකළ ඔබේ හදවත ගාව
සෙනෙහසේ අවසාන කඳුළු බිඳුවක පහස
ගලා යයි අතීතේ මිය ඇදුන සොහොන ළඟ............. "

"... නුඹ නම් පෙම්වතෙකි නොකිලිටි හිතක් ඇති .. ප්‍රේමයම හද හොවා මරණයට සන් කල.. "

Share on Google Plus

About Unknown

2 අදහස්:

  1. නුඹ නම් පෙම්වතෙකි නොකිලිටි හිතක් ඇති .. ප්‍රේමයම හද හොවා මරණයට සන් කල///
    ඔක්කටම පස්සෙ එතනලු ආදරේ... හීනයක් වගේ... නැද්ද

    ReplyDelete
  2. ප්‍රේමය non-defined variable එකක් කියනවනේ බං...

    ReplyDelete

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..