දේශපාලන සූරාකෑමක්, ජනතා අධිකරණය මත. A charge sheet

දේශපාලනය යනු කුමක්දැයි නිර්වචනය කිරීමට මා නොදනිමි. දේශ + පාලනයට වඩා මා දෑසින් දැක්කේ දේශ + පානය බැව් කීමට භියක් මා සතුව නොවේ. එය මාගේ අයිතිය ලෙස මා සටහන් කරමි.
නමුදු ව්‍යාඛ්‍යාන භාවිතයෙන් මා නිර්වචනය ඉදිරිපත් කිරීමට දැනුමින් අපොහොසත් වුවද මා දන්නා එක් කරුණක් ඇත. එනම් සොරකම, හිංසාව, සූරා කෑම, දූෂණය යන කාරනා කුමක් දැයි මා හොඳින් දනිමි. එයට නිර්වචන අවශ්‍ය ද..?

උදෑසන පිබිදෙන හිරු මඩල දහවල වෙත්ම රුධිරය උණුහුමින් වියලා දමයි. අව් රශ්මියේ මං සොයන මා හට බිම හැදුනු වලවල් - කඩා ඉහිලු ගෙවල් දකින කල්හි සිහිවන්නේ යුද්ධයක් අවසානයේ දැකිය හැකි සුන්බුන් ය.

ඡන්ද උණුහුම තිබුන කාලයේ නම් ඔවුන් ගම් වලට පැමිණියේ සැප රථයේ ය. එදින ඔවුන් මිනිසුන්ගේ වේදනාව දන්නා උන් ලෙස දොඩමළු උණි. අපේ මිනිසුන් ද වෙන කල හැකි දෙයක් නොමැත්තන් සේ ඔවුන්ගේ බසට පෙරදා මෙන් අවනත විය. බලවතුන් යකුන්ට දොළ පිදේනි දී සිය වැඩ කොටස කොරවා ගන්නට සදනවා සේ,  ඔවුන් සංගීත ප්‍රසංග හා මත් වතුර නොමිලේ සපයා ඡන්දහිමි නාමලේඛනය දේශපාලකයන්ගේ කර ගත්තේ ය. නැත එය උදුරා ගත්තේය. නිදහස් අයිතිවාසිකමක් ඔවුන් අල්ලස් දී රවටා ගත්තේය. එයින් ඔවුන් බලාපොරොත්තු වුයේ කුමක් ද..? රට වෙනුවෙන් සිය පරම යුතුකම ඉටු කිරීමද නැතහොත් මෙය සූරා කෑම ද...?



ඔවුන් මහ ජනතාවට අල්ලස් දුන්නේය. ඒවාට අල්ලස් කොමිසම වග විභාග කලේ නැත. එහෙව් නීතියක් ලංකාවේ නැත. මුදල් දී මිනිස් අයිතීන් ගත්තද රටේ එවැනි නීතියක් ගැන අසන්නට හෝ නැත.  වීදි පුරා පෝස්ටර් ගැසුවේය. වෙනදා හොරිකඩ බල්ලන් සැපසේ රමණය කල තැනෙහි පවා උන්ගේ නිදහසට අවුළුවා බැනර් ගැසුවේය. නගරය උත්සවශීයෙන් බැබලවුවේය.

නීතිය රකින පොලිස් නිලධාරින් කුණු අහුලන කාක්කන් සේ  සිය රාජකාරි වෙනතක දමා කළු තෙල් උලමින් නගර වීදිවල සැරි සැරුවේය.

සිය ස්වාමියා හා ගෙදරින් පිටවන බල්ලන් දෙස බලන්න. ඔවුන් හැසිරෙන්නේ උමතු විලාසෙයින් ය. උමතුව නම්, ස්වාමියාට පෙරට වඩා සෙනෙහසක් දක්වයි. මග දිගට සුළඟට සැලෙන කොළ කැබැල්ලට පවා බුරා පනියි. බල්ලා යනෙන ගමනේ දී භයෙන් ජීවත් වෙයි. මග දෙපස බලු රෑනක් දුටුවහොත් බල්ලා කරන්නේ නැට්ට අධෝ මුඛයේ වෙලා ස්වාමියාගේ පසුපස ආරක්‍ෂාව පැතීමයි.

ඡන්ද සටනේ දේ ඇතැම් නිලධාරීන්ට වෙන්නේද උක්ත කි ස්වාමියාගේ රාජකාරිය වේ. ඔවුන් එම කාලවකවානුවේ දී දෙවියන් සේ පිදුම් ලබයි. එපමණක් නොවේ, ඡන්ද හිමි ජනයාට බුදු වරයෙක්ට සේ වැඳුම් පිඳුම් කරයි. දේශපාලකයා සුනඛයෙක් සේ ය.

" ...ජනතාව ඉන්නේ අපි වෙනුවෙන් නොවෙයි. අපි ඉන්නේ ජනතාව වෙනුවෙන්. එය මතක තබා ගෙන වැඩ කළොත් අපෙන් විය යුතු යුතුකම හරියාකාරව ජනතාවට ඉටු වුණොත් ජනතාවටද තමුන්නාන්සේලා අමතක වන්නේ නැහැ. විශාල වගකීමකින් ජනතාව වෙනුවෙන් තීන්දු අපි පසුගිය කාලෙ ගත්තා. ... " ( ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ විධායක නියමු  මහින්ද රාජපක්ෂ )

උක්ත හඬ වැකිය මා උපුටා ගන්නේ අරලියගහ මන්දිරයේ පැවති ස්වර්ණපුර සම්මාන උළෙලේ දී  ප්‍රාදේශීය සභාවන් සම්මාන වලින් පිදුම් ලබා ජනපති කල ඇමතීමෙන් ය.

එදින ස්වර්ණපුර සම්මානයෙන් වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාරියපොළ ප්‍රාදේශීය සභාව ද පෙරකී සම්මානයෙන් පිදුම් ලැබූ ස්වර්ණපුරයක් ලෙස ලංකාවේ නගර අතරට එක් විය.

පහත හඬ පටය, වාරියපොළ ප්‍රාදේශීය සභාවේ නියමු ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ වාරියපොළ ප්‍රාදේශීය සභා පාලක නාවින්න මැතිතුමාට එම ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ මහජනතාව කරන චෝදනාවකි. මෙම හඬ පටය මා ගන්නේ අහඹු ලෙස ය. මෙයට කටුපත නගරයේ වැසියෙක් හා එම පොලිස් බල ප්‍රදේශයේ තවත් වැසියෙක් ද මා ද සම්බන්ධය.  සංස්කරණය නොකළ හඬ පටයක් වන මෙය, මෙහි සත්‍යතාව තරවුරු කරගැනීමට අවශ්‍ය කෙනෙක් ඇත්නම් එයටද ඉඩහසර වෙන් කර දීමට කැමැත්තෙමි.



දැයට කිරුල සංවර්ධනය ව්‍යාපෘතිය කියා සංවර්ධනය මවා පාමින් එය වයඹ මිනිසුන්ගේ ඉහමොළ වල කා වද්දා ඡන්දය වක්‍රව ලබා ගත්තේය. 

එපමණක් නොවේ. එහිදී සිදු කිරීමට නියමිතව තිබු කිසිදු ව්‍යාපෘතියක් තවමත් අවසන් වී නොමැත. කාපට් දැමු පාරවල් පවා වල ගැසී ඇත්තේ කොන්ත්‍රාත් කරුවන්ගේවරදින් ද නැතිනම් ඒවා නිරීක්ෂක බලවතුන්ගේ දුර්වලතාවයන් ගේ වරදින් ද නොදනිමි.

ප්‍රදේශයේ පාරවල් කාපට් කිරීමත් කොන්ක්‍රීට් කිරීමත් යන කරුණු කාරණා සඳහා ප්‍රදේශයේම දේශපාලනයේ නියතු බලවතුන්ගේ ගල් වලවල් හා එම ගල් කොටස් වශයෙන් කඩා නිෂ්පාදනය කරන මෝල් යොදා ගත් බවත්, මහා භාණ්ඩාගාරයෙන් එලිබට මුදල් සියල්ල වක්‍රව හෝ දේශපාලකයන්ගේ සාක්කුවට බැර වූ බවත් නොරහසකි. 

දුර්වලතා පිරිස්සිමෙදි ඒවා හසුනොවන්නේ මෙහි සිටින තක්කඩි ව්‍යාපාරකයින් සුක්‍ෂම ලෙස සංවිධානය වී සිටීමයි. තවද එහි ඇති ගැටළුව නම්, සමහර මිනිසුන් ජීවිතය යැපෙන්නේ පෙරකී කර්මාන්තයන් නිසාත් ඒවා ගැන වැටහීමක් ඔවුන්ගේ මොළ කුහර වල නොමැති නිසාත් ය. මන්ද ඔවුන් ගෙවන දුගී ජීවිත හා ඔවුන්ගේ සමාජ තත්ත්වය මත ඔවුන් රට ගැන සිතීමට පෙර ඔවුන්ගේ බඩ ගැන සිතීමට ඔවුන් පෙළඹී ඇති නිසාය. වර්තමාන ආණ්ඩුවේ ජයග්‍රහණයක් ලෙස මා එය දකිමි. සාමන්‍යය වැසියාගේ කට වැසීමට ඔවුන් කුසගින්න යොදාගෙන තිබේ.

දැයට කිරුල සංවර්ධන ව්‍යාපෘතියේ විවිධ අක්‍රමිකතා සිදුවූ බව ඉහත හඬ පටය ඉතාමත් හොඳ සාක්‍ෂියකි. එහි ඇති කරුණු කාරණා මගේ මුවින් පිටවූ කරුණු නොවේ. ඒවා කුරුණෑගල ජනතාවගේ හඬ ය. එවැනි සාක්ෂි බොහෝමයක් ඔබට කුරුණෑගල හෝ දැයට කිරුල ප්‍රදර්ශනය තිබු ප්‍රදේශය තුල සෝදිසි කිරීමෙන් සොයා ගත හැකිය. සාමාන්‍ය වැසියන් ජීවත් වන්නේ භියෙන් දැයි මා නොදනිමි. මන්ද ඔවුන්ගේ හඬ ටයි කෝට් ඉදිරියේ බාල වන නිසාවෙනි. ඔවුන් හදවතේ සිය ගෝත්‍රය ඇඳ තිබේ. එයින් ඔබ්බට ඔවුන් කිසිවක් ප්‍රසිද්ධියේ එලි කරන්නේ නැත. එසේ කළහොත් ඔවුන්ට දඩුවම් විඳී ද...? මා එය නොදනිමි.

තවත් ඡන්ද සටනක් අවසන් විය. පාඨක ඔබ දේශපාලනයට කැමැත්තක් දක්වනවා ඇත. නමුදු මා කුඩා කල සිට දුටු දුෂණය හා සූරාකෑම් හේතුවෙන් එය මට නයාට අඳු කොළ සේ දැනෙන දෙයකි. එම වචනයට පවා මා වෛර කරමි.

ඔබ ඔබගේ නියෝජිතයින් තෝරා ගන්නට ඇත. ඔබ ඔබගේ මනාපය ඔබගේ හිත මිතුරන්ට දෙන්නට ඇත. ඔබ එය දුන්නේ ඔබට යම් දෙයක් ලබා ගැනීමේ අරමුණින් නොවේ ද..? ඔබ තක්කඩියෙකි. ඔබට රට ගැන සෙනෙහසක් හෝ ඔබගේ දරුවන් ගේ අනාගතය ගැන දයාවක් තිබුනා නම්, ඔබ කිසිදා දේශයට අවැදගත් මිනිසුන් පත් කරන්නේ නැත. ඔබ කලේ ඔබගේ මනාපය ලබාදී ඔබට අවැසි දේ ලබා ගැනීමටය.

දේශපාලනය වෙළඳ භාණ්ඩයක් කලේ ඔබමය. ඔබම එය සිදු කර ඔබම ඔවුන්ට බැන වදී. වැරදි ඔවුන් නොවේ, එවැනි දූෂකයින් මුල් පුටුවට යැවූ ඔබ බව මතක තියා ගන්න. මා වෛර කරන්නේ ඔවුන්ට නොවේ. ඔබ ගැන පමණක් සිතු ඔබටමය.
Share on Google Plus

About Unknown

4 අදහස්:

  1. ලොකු දෙයක් කියල තියෙනව මේකෙන්. අපේ හරක්ට ඕව පෙන්නල දුන්නට වැඩක් වෙයිද කියන කුකුස තියෙනව. නැත්නම් වෙන අපරාද, විෂමාචාර දැක දැක මුන්ටම ඡන්දෙ දෙයිද? කොහොම උණත් සදරු ලොකු උත්සාහයක් අරන් තියෙනව.හැමෝම මොලේ පාවිච්චි කරළා දේශපාලුවො නැතුව දේශපාලකයො තෝරගන්නවනම් ලොකු දෙයක්!
    …ඔබට ජය!
    …බලාගෙන හැබැයි සුදු වෑන් එකක් හෙම එන්න පුලුවන් ඔයි පැත්තට.

    ReplyDelete
  2. පුළුවන් නම් ඔයාමඩුව ටත් ගිහින් බලන්න ඒ දැයට කිරුල නිසා අද වෙලා තියෙන දේ . ..ජනතාව බුද්ධිමත් එකයි මේ ගණන් ගන්න එපා

    ReplyDelete
  3. මෙවත් පුරශ්නද බන් ,මෙකට ජනතාවට බනින එක නම් වැරදි මං හිතන විදියට,ජනතාව ජන්දේ දෙන්නෙ නැතුව හිටියා කියලාවත් ,ඔය කියන විදියට හොද මිනිස්සු අපේ දේශපාලන ක්‍රමය තුල ගෙන්න අමාරුයි මොකද පක්ෂ ක්‍රමයට මුල් තැන,
    දැයටකිරුල ගැන නම් කතා කරලා වැඩක් නෑ නිකන් තිබුණ පරණ බෝඩ් ටික අලුත් කරා විතරයි ...රටේ හැමතැනම එහෙමයි,

    ReplyDelete
    Replies
    1. මෙව්වා ප්‍රශ්න වෙන්නේ පීඩිත පන්තියේ මිනිස්සුන්ට බෙදිලා යන නිසා. නැතුව වෙන හේතුවක් නෑ. ඔයාගේ කර මතින් ගියානං මේක ඔයාට ප්‍රශ්නයක් වෙයි.
      නැති මිනිස්සුන්ට නැතිකම දැනෙනවා මිසක ඇති මිනිස්සු වේදනාව දන්නේ නෑ

      Delete

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..