පිළිවලක් නැති සිතුවිලි - No Topic In this LIfe





පංසලේ තියන අරලිය ගහේ මලක් වෙලා, චෛත්‍යයේ ගාව පරවෙලා යන්න ඇත්නම්....
අහසේ තරුවක් වෙලා හැමෝම දිහා බලාන තනි වෙලා ඉන්න ඇත්නම්..
මේ රාත්‍රිය වගේ හැමදාම කළුවරේ මේ සඳ එළියේ ජීවිතේ ගෙවන්න ඇත්නම්..
හැමදේම තේරුමක් නැහැයි කියලා දැනෙන මගේ හිතට, මේ ලෝකෙන් නැති වෙලා යන්න ඇත්නම්.... !



අරලිය ගහක පිපෙන මල් මට වඩා සතුටිං ඇති. අහසේ තනියම තනි වෙලා ඉන්න තරුවක් මට වඩා ඇත්ත ලෝකය දකිනවා ඇති. මේ කළුවර තුල හැම රහසක්ම ගැබ් වෙලා ඇති. හැමදේකම තේරුමක් හොයන මගේ හිතට මරණය සුන්දර සැනසීමක් වේවි. 

මේ නිහඬ රැයේ, වෙල් යායට හඳ එලිය වැටිලා , මේ නිසල හුළඟ සසල වෙලා වගේ ඒ ගොයම සැලෙනකම් බලං ඉන්නවා. ගමේ පංසලේ ඈතින් ( වැඩිය ඈත නෑ.. පාරෙන් පැනපුවාම පංසල තමයි ) පේන කොත් කැරැල්ල මාර සැනසීමක් දැනෙනවා.

එතන තමයි අර අරලිය ගහ තියෙන්නේ.. ඒ ගහේ පිපෙන මල් ඇත්තටම ගොඩක් ලස්සනයි. හැබැයි ඒ ලස්සන හැම මලක්ම හවසට පර වෙලා යනවා. 
 
අද මේ රැය හෙට උදේ වෙනකොට මේ තණ බිස්සට වැටුන සිනිදු පිණි බිංදුත් අරගෙනම ආයෙත් මේ වගේම රැයක් අරගෙන එනවා. හැබැයි හැමදාම ඇසි පිය අස්සේ හැඟුණ මගේ හීන අහන්නේ.....

“ උඹ මොනවද.. ? අද උබේ ජීවිතේට එකතු කර ගත්තේ......”  කියලා

ඇත්තටම මොනවද අපි අපේ ජීවිත වලට එකතු කර ගත්තේ. හැමදෙයින්ම ඇති වෙන වේදනාව විතරයි නේද ?
මමනම් හිනා වෙන්නත් භයයි. පුංචිම උනත් හීල්ලිමක් ඇහෙද්දී මගේ හිත කියන්නේ ඇයි ලෝකය මේ විදියට හැදුනේ කියලා.
මේ ලෝකේ ඇත්තටම තේරුමක් නැහැ. පුංචි කලාමැදිරි පැටියෙක් තරම් වත් ආලෝකයක් විහිදුවන්න බැරි මම හරියට වටිනාකමක් නැති කාසියක් වගේ. 

ලෝකයට ඉපදුන දවසේ ඉඳන් මේ හැම ලෝක න්‍යායකටම වෛර කරන මම ජීවිතේ පදනම තාමත් හොයනවා. 

ඇත්තටම ඉපදීම දුකක් බව දැනගෙනත් ඒ ඉපදීම ගැනත් ඒ ඉපදීමෙන් ලැබෙන ඇලීමෙන් ගැලීමෙන් තව තවත් වේදනාවට පත් වෙනවා. මේකද මට ලැබුන ජීවිතේ මම දන්නේ නැහැ. හැබැයි ලෝකයාගේ සමහර හැසිරීම් අපිව ඇත්තටම වේදනාවට පත් වෙනවා නොවේද ?

ශ්‍රුද්‍ර පරමාණුවක් දක්වා කුඩා කල පසු, මේ ලෝකයේ කිසි දෙයක ඇති  අර්ථයක් නැහැ. ශුන්‍ය උන හිස් බවක් විතරයි. හැබැයි හැමදේකම ආරම්භය ඇති උනේ එතනයි. ඒත් ඒ දේ නිර්මාණය උනේ කොහොමද ඒ දෙයෙහි ප්‍රයෝගිකත්වය ගැන අපිටම ගැටළුවක්. 

නසා එකටවත් හොයා ගන්න බැරි දේවල් මේ ඇසි දිසි මානයෙන් ඔබ්බට තියෙනවා. හැගීම් මත ගැහෙන හදවත් වල දැනෙන සමහර දේවල් නිර්මාණය උනේ කොහොමද කියලවත් අපිට වැටහීමක් නැහැ.
සමාජය ගැන කතා කිරීම විහිළුවක්. එය කවදාවත් නිසි ලෙස සැකසිය හැක්කක් නොවේ. සමාජ වටපිටාව නිර්මාණය කර ගත්තේත්, ඒ වට පිටාව දුෂණයට ලක් කර කෙලසන්නෙත් මේ බුද්ධිමත් යැයි කියන මිනිසාම නොවේද ?


අපි මත් උගුරෙන්, දුම් වැටියෙන්,  ආදරයෙන් සතුටක් පතනවා. ඒ සතුට යම් මොහොතකින් ඉවත් වෙන්නේ අපිට අපිවත් එපා වෙන තත්වෙට පත් කරලා. 

නසාරානි වෙන්න ගහලා කාණු පල්ලේ වැටුනත් අපේ හිතේ සතුට තියෙනවා. හැබැයි ඒ සතුටේ පැවැත්ම වර්තමාන මනෝ ලෝකයට එනකම් විතරයි. එතනින් පසුව රැවුම් ගෙරවුම් මැද අපේ ජීවිතේ අකුළං ඉන්න වෙනවා. 

ආදරයත් එහෙමයි.. අපි ආදරේ කරනවා. හැබැයි විශ්වාසය බිඳුන කල, සැකය ආ කල ඒ ආදරේ ආයුෂ පවතින්නේ බොහොම අඩුවෙන්. 

අපේ ආදරවන්තයා හිනා උනත් ගැටළුවක්, අඬනවා ද එතැනත් ගැටළුවක්, කතා නොකලොත් එතනත් ගැටළුවක්.
අන්තිමේ ගැටුමක්, ඒ ගැටුමේ අවසානය දුකක් විතරයි. 

අධ්‍යාපනය ද ඇතැම් විටක දුකක්. ඒ අධ්‍යාපන තුලින් අපි පතන හිතන තැනට යන්න පුළුවන් උනත්, ජීවිතේ ගොඩක් දේවල් මග හැරෙනවා. ඒ මග හැරුන අත්දැකීම් ජීවිතේට එකතු කරන්නේ දුකක්ම නෙමෙයි ද ?

කවුරු කොහොම ඔළුවෙන් හිටගෙන කිව්වත්, බුදුන්ගේ මධ්‍යම ප්‍රේතිපදාව ඇතුලේ විතරයි ජිවිතේ සැබෑ පැවැත්ම තියෙන්නේ.
මටනම් මේ ජීවිතේ කලකිරීමක් විතරයි. මේ සමාජේ සමහර ක්‍රියාවන් ජීවිතේට දුන්නේ කලකිරීම කියන දේ විතරයි.

අවුරුදු 16 දැරියක් 8 දෙනෙක් විසින් දුෂණය කරයි.
තම මව සිය දරුවා ගෙල සිර කර මරයි.
පියා විසින් සිය දියණිය දුෂණය කර මරා දමයි.
තම කලණ මිතුරා යැයි සිතා සිටි මිතුරා රන් මාලය කඩාගෙන මරා දමයි.
ගව ඝාතකාගාරයක් වටලයි.

මෙවන් පුවත් වර්තමානයේ බොහෝ ඇසෙන්නට ලැබෙන පුවත් ය. මෙවන් දේවල් එක පිට එක සිදු වන්නේ මක් නිසාදයත් මා නොදනිමි. මේ යතුරු පුවරුවේ ඇඟිල්ල තබන වාරයක් පාසා ලොව අසාදාරනකම් සිදු වෙනවා ඇත. 

එම කාලයට අනුරූපව ලෝක වාසින් බොහෝ දුකට පත් වෙනවා ඇත. මා ලොව ජීවත් වන බව සත්‍යක් බව දනිමි. නමුත් මා ලොවට ගැලපෙන ලෙස නොතැනි ඇති බව සත්‍යක් නොවේ. මා ජීවිතය දකින්නේ කෙසේ දැයි මා හටද ගැටලුවකි. ඒ දැක්ම තුලින් මට අහිමි වූ දෑ බොහෝය.


අහසේ සඳ පායයි. විලේ නෙලුම් මල් හෙටද පිපෙණු ඇත. තරු හෙටද කඩා වැටෙනු ඇත, මේ සුලඟ නිමේශයක් නිමේෂයක් පාසා මෙලෙසම රැඳෙනු ඇත, නමුත් මා ජීවිතය එක තැන නොරැදෙනු ඇත. මා ගඟක් නම් ඒ ගඟ ගලයි. රළු ගල් පර වල හැපෙයි. ගහ කොලේ වෙලෙයි.නමුත් මා ගඟක් නම් පමණි.

මිනිස් ජීවිත, පුදුමාකාරය. අපිටම ආවේනික ලෝක ඇත. අපටම ආවේනික සිහිනයක් ඇත. ඒ ලෝක තුල, ඒ සිහින තුල යහපත් සේම අයහපත් ආකල්පද ඇත. 

යහපත් දෙයෙහි ගැටෙමින් සිටින්නා යහපත බිහි කර පොලවට පස් වෙයි. අයපතෙහි වෙලෙන්නා ඉහත කියූ පුවත් බිහි කර සමාජ කෙලසිමෙන් යුතුව අභාගය ලෙස පිළිකුල් සහගතව සමාජයෙන් ඉවත්ව යයි.
මා දකිනා  විදියට මේ සැවොම පණ ගැහෙන හදවත්ය. ඒ හදවතේ ඇත්තේ දුක වේදනාව නොවේ යැයි කිව නොහැකිද ? නමුත් කුමක් අරඹයා කුමක් සඳහා මෙවන් සමාජ පිළල බිහි වන්නේ දැයි ගැටළුවකි.


අද මා මිය යා හැකිය. නැතහොත් හෙට එය සිදුවනු ඇතිය. නමුත් මරණින් පසු මට හිමි වන්නේ මා අතීතයේ කල කි දෑ පමණය. ඒ තුලින් රැස් කරගත් අත්දැකීම් ඇසුරින් මා නව ආත්මයක පුරුකක් වන්නේමය. 

පෙර දින රැය මා සිහිනයක් දුටුවෙමි. (මේ පොස්ටුවට හේතු උනෙත් ඒ හීනේ තමයි ) යක්‍ෂයෙක් යැයි කිව හැකි ( මාරයා ද කොහෙද ) කෙනෙක් මා හට කතා කළේය. ජීවිතය මෙය යැයි කිවේය. ඔබ දැන් එය විඳ කාලය අවසන් යැයි කිවේය. මා ලඟට එන්නට ආරාධනා කරමි යැයි කිවේය. 


මම අවදි උනෙමි. මා දුටුවේ වෙලාව ලෙස මගේ ජංගම දුරකථනයේ දෙක පසු වී විනාඩි දහයක් පමණ ගෙවී ඇති ආකාරයයි. 

සුදානම් වුවේ සිහිනය ගැන කීමට නොව, ඒ ඇසුරින් මහා රැයේ යහන මත සිතේ ඇති වූ සිතුවිලි වල සත්‍යතාව පැවසීමටයි.

නිහඩ රාත්‍රිය කියා පෑවේ භියකරු බවකි. හිත වෙනදාට වඩා ගැහුනේ කුමක් නිසාදැයි මා නොදනිමි. නමුත් මා ජනේලය තුලින් රාත්‍රී අහස මානව දුටුවෙමි. ඒ අහසේ මැවුන තරු කැට දිලිසෙමින් සිට හදිස්සියේ කඩා හැළුනේය. 
 
 ජීවිතයද එසේමය. ලොවට ශක්තිය ඇති පමණින් ආලෝකය දල්වයි. ඒ ආලෝකය නිවුන කල්හි තම ශක්තිය ශුන්‍ය වූ කල්හි බිඳී යයි. දැනුන කලකිරීම වචනයෙන් විස්තර කල නොහැක. පිණ තිබුණානම් මා එම රැයෙහි අභිනික්මන් කරනු ඇත. අසුන් මත නොවේ, ගංගා දියෙන් එතරව නොවේ.
මේ පිණි බිඳු මත, මේ නිසල රැයට භියකරු බවට පෙම් කරමින් මගේම ලොවක සැතපෙන අරමුණින් යුතුවය.

මා දන්නේ එක දෙයක් පමණි. මා හට යම් දෙයක් කිරීමට ඉතිරිව ඇති බව පමණි. එම නිසා මා ජීවත් සිටින්නෙමි. මා එය අවසන් කල වහාම මා පෙම් කරන මාගේ මරණය මා කරා එනු ඇත.

මම පෙම් කරමි. මගේ පෙම්වතියට මා භිය වෙමි. මන්ද ඈ මා තුරුළු කරගත් පසු මා ඈ ළඟ ඈ මා ළඟ පතිවත කැප කල පසු මා ඇයගේ පමණක් වන නිසාවෙනි. එතැන් පටන් මේ රංගනයේ මේ ආත්මය නමැති වේදිකාවේ මා දෙබස් අවසන් කල නළුවෙක් වෙන නිසාවෙනි. එම නිසා මරණය නමැති මා පෙම්වතියට මා බොහෝ සේ වෛර කරමි. නමුත් ඇතැම් කල්හි පෙම් කරමි. ඒ මන්ද ඈ හා මා සිතේ ඇති බැඳීම තර වූ නිසාවෙනි.


අප ලෝකයට ආවේ යම් දෙයක් අරමුණු කරගෙනය. අප තුලින් ලොවට යහපත් දෙයක් සිදු විය යුතුය. ගැහෙන හදවතක් ඔබටද මටද උරුම වන්නේ ඒ හේතුව නිසා විය යුතුය. විද්‍යාඥයන් විය නොහැකිය. ඔවුන් කරන්නේ කලාකරුවන් තැනු අමරණීය ලොව මරණිය තත්වයට පත් කිරීමය.
ලොව යම් දෙයක් ඇති කරනවා විනා, ඇති දේ විනාශ කිරීමට නිර්මාණයන් කිරීම අයහපතකි.
ඔබ හදවතින් යම් දෙයක් නිර්මාණය කරන්න. එය සිතුවිල්ලක් විය හැකිය. නමුත් එය තව ජීවිතයකට ආලෝකයක් විය හැකිය.




( ප.ලි - කට්ට කළුවරේ, හඳ පානේ මිදුලට වෙලා, පංසලේ චෛත්‍ය , වෙල් යාය හඳ තරු බලාගෙන ලිව්වෙමි. මෙලෝ රහක් නැති සිතුවිලි දාමයක් විය හැකිය. වැරද්දක් ඇත්නම් හිස් මුදුනෙන් පිලිගනිමි. සිතුවිලි එක්කාසු කළා මිස පිලිවලට පෙලගස්සුවේ නැත.  :D )
Share on Google Plus

About සමීර සඳරුවන්

9 අදහස්:

  1. Hi hi hamadama wage lassana adahas tikakagalapala oyagema wachan walin apita kiyala..
    adahas lassanai malli hamadama ohoma liyanna...
    ewa ballan mama godak asai
    Suba pathanawa.

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස්... තැන්ක්ස්... හැමදාම පොස්ට් එහෙක්ක පලවෙනි කමෙන්ට් එක දානවා. තැන්කු. ආ..

      Delete
  2. වන්න ප්‍රදීපයක්... තමන්ට තමන්...
    නො ඇලෙන්න.. නො ගැලෙන්න..
    හිතන්න .. ටිකක් කියවන්න ..
    වෙන්න පිස්සෙක්.. ලෝකයම වෙනස් කරන..

    ReplyDelete
    Replies
    1. හෑ... උඹ බිලා.. නිදා ගානින්

      Delete
  3. අමුතුවෙන් කියන්න ඕන නැ .. හැමදාමත් වගේ .. ලස්සන ලෝකයට වටිනා අදහස් ... විශිෂ්ටයි මචන් ... නුබ වගේ කුඩා පැටවුන් ලබන්නට අපේ ලක් මව භාග්‍ය සම්පන්නයි .. නුබට ජය

    ReplyDelete
  4. අපි අතේම තියනවා බන් විසදුම, ගැටලුව අපිට ඕන කමක් නෑ ඒක වෙනුවන් කැපවෙන්න

    ReplyDelete
    Replies
    1. විසඳුම අතේ තියාන, තවත් ඒ තුලම ගැබ් වෙන්නේ මොකද කියලා මටවත් නිනව්වක් නැහැ බං.

      Delete
  5. බෙනා ලියැවිල්ලේ කිසිම වරදක් නෑ. හැම ඉසව්වක් කෙරෙහිම ඔබ අවධානය යොමු කොට තිබෙනවා. අර අරලියමල් නම් මගේ හිතත් දැහැන් ගත කරනවා.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්.. හ්ම්ම්ම්ම්.. ඒ උනාට නලීන් අයියා හිතෙන්නේ නැත්ද ඕනෑවට වඩා ගැටුම් කාරිත්වයට ඇදෙනවා කියලා. :p

      අනේ මන්දා මගේ වැරදි මට පේනවා.
      හ්ම්ම් අරලිය මල් ඉතිං හිතට සහනයක් තමයි මටත්.

      තැන්ක්ස් ආ..

      Delete

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..